Thursday, April 25, 2013

මුස්ලිම්වරු එනයින්ම දුෂ්ට ද? - 2

2012 ඉරාකයේ බැග්ඩෑඩ් හි පැවැති මැයි දින පෙලපාලියට සහභාගී වූ තරුනියක් -
මොට්ටැක්කිලිය වෙනුවට රතු තරුව 

20 වන සියවස මැද වනවිට මුස්ලිම් ලෝකය තුල ජාතිකවාදී හා වාමාංශික බලවේග මහත් බලයක් ඉසිලූ ආකාරය අප පසුගිය ලිපිය තුල දී සාකච්ඡා කලෙමු. මෙලෙස මේ ලෝකය තුල මහත් පරාක්‍රමයක් ඉසිලූ එම දේශපාලන ප්‍රවාහයන්ට එරෙහිව ඉස්ලාම් මූලධර්මවාදය පෙරමුනට ගැනීමෙහිලා තීරනාත්මක කාර්යභාරය ඉටු කලේ එ.ජනපදයේ නායකත්වය යටතේ ගෝලීය ධනවාදය විසිනි. එලෙස එම ප්‍රවාහයන්ට විරුද්ධව ඉස්ලාම් මූලධර්මවාදය උසි ගන්වන්ට ගෝලීය ධනවාදී බලවතුන්ව පෙලඹවූ තර්කනය ඉතා සරලය. නසර් වැන්නන් නියෝජනය කල රැඩිකල් ජාතිකවාදී ව්‍යාපෘතීන් මෙන්ම වාමාංශික දේශපාලන ව්‍යාපෘතිය ද ගෝලීය ධනවාදයේ ආර්ථික හා දේශපාලන ව්‍යාප්තිවාදයට බාධා කල පවුරු ලෙස ඉස්මතු වී තිබුනි. 

උදාහරනයක් ඊජිප්තු ජනාධිපති අබ්දුල් ගමල් නසර් විසින් සූවස් ඇල ජනසතු කිරීම දැක්විය හැක. මේ පියවරත් සමග නසර් සටන්කාමීව බටහිර කදවුර සමග අභිමුඛ වූයේය.සෝවියට් සංගමයේ පිටුබලය මෙවැනි නායකයන් සදහා සැපයින. තෙල් සම්පතින් අනූන අරාබි ලෝකය අධිරාජ්‍යවාදයට එරෙහිව එක්සත් වියයුතු බවට  නසර් කලාපය පුරා මහත් උද්ඝෝෂනයක් ගෙනගිය අතර ඔහු තමාට එරෙහි තර්ජනයක් ලෙස සැලැකූ බටහිර බලවතුන් නසර්වාදයට එරෙහිව පෝෂනය කිරීමට තෝරාගත්තේ මුස්ලිම් සහෝදරත්වය සංවිධානයයි. මුස්ලිම් සහෝදරත්වය  වෙත ආධාර බ්‍රිතාන්‍ය සූවස් ඇල සමාගම, එ.ජනපදය හා සෞදි අරාබිය තුලින් ගලා ආවේය.

සෞදි අරාබි කලන මිතුරා 

අරාබි ලෝකයේ ආධිපත්‍යය සදහා වූ ව්‍යාපෘතියේ දී ස්වකීය විශ්වසනීය සගයා ලෙස බටහිර බලවතුන් තෝරාගන්නා ලද්දේ සෞදි අරාබියයි. අමෙරිකානු ජනාධිපති අයිසන්හවර් කලාපීය නායකත්වය සදහා නසර්ට විකල්පයක් ලෙස සෞදි රජපවුල ගොඩනැංවීම කෙරෙහි අවධානය යොමුකල යුතු බවට වරෙක විවෘතව අදහස් දක්වා තිබුනි. වෙනත් මුස්ලිම් රටවල මෙන් සටන්කාමී ජාතිකවාදී හෝ වාමවාදී උද්ගතයන් තම රට තුල පැනනැගීමට ඒකාධිපති සෞදි රජපවුල කිසිදු ඉඩක් නොතැබීය .එවැනි යම් හෝ විසමුම්තික ව්‍යාපාරයක් පැන නැගෙන සලකුනක් හෝ සෞදිය තුල වී නම් එය සිය යකඩ හස්තයෙන් තලා පෙලා මුලිනුපුටා දැමීමට මෙම කුප්‍රකට රජ පවුල පසුබට නොවීය. ඉස්ලාම්වාදයට " විරුද්ධ" ලිබරල් බටහිර රාජ්‍යයන්ට උග්‍ර මූලධර්මවාදී සෞදි රාජ්‍යය එදා මෙන්ම අදත්  " මිත්‍රයෙකි"!

ඇෆ්ගනිස්ථානයේ දී මොහාමඩ් නජිබුල්ලාගේ වාමවාදී ආන්ඩුවට එරෙහිව මුජහදීන් - ශුද්ධ වූ සටන්කරුවන් - හදාවඩා ගැනීමෙහිලා සීඅයිඒ සංවිධානය කල මැදිහත්වීම අද වනවිට සියල්ලෝ දනිති. සෝවියට් ආධාර ලැබූ නජිබුල්ලාගේ රජය පෙරලා දැමීමේ දී ශුද්ධ වූ ඉස්ලාමීය සටන්කරුවන් සමග එක්සත් වූ එක්සත් ජනපදය මොවුන් වෙත මුදල් හා විවිධාකාර ආධාර නිර්ලෝභීව සැපයීය.පසුකාලීන තලෙයිබාන්වාදයට උපත දුන්නේ මෙම මුජහදීන් සටන්කරුවන්ය. නජිබුල්ලාට එරෙහිව මුජහදීන්වරු ගොනු කල එක් මූලික සටන් පාඨයක් වූයේ ඔහුගේ ආන්ඩුවේ " ඉස්ලාම් විරෝධී" ස්වභාවයයි.කාන්තා සාක්ෂරතාවය නංවමින් සමාජ හා දේශපාලන ජීවිතය තුල කාන්තා සහභාගීත්වය නැංවීම සදහා නජිබුල්ලාගේ රජය ගෙන තිබූ ක්‍රියාමාර්ග මොවුන්ගේ දැඩි විවේචනයට පාත්‍ර විය. තලෙයිබාන්වරුන්ගේ මූල බීජ මෙම මුජහදීන්වරු තුල පැහැදිලිවම විද්‍යාමාන වූ අතර සැබැවින්ම  තලෙයිබාන්වාදය නමැති දරුවා ඉස්ලාම්වාදය නමැති ඩිම්බය සමග ගෝලීය ධනවාදය නමැති ශුක්‍රානුව සංසේචනය වීම තුලින් උපන්නෙකි. තලෙයිබාන්වාදය "දුෂ්ට" හා " නපුරු" බව අද බටහිර ලිබරල්වාදීන් කියද්දී  ඔවුන් නරුම ලෙස අමතක කරන කරුන වන්නේ එම දරුවාගේ පිතෘවරයා තමාම බවයි.

රැඩිකල් ජාතිකවාදයේ සීමාව සහ වාමාංශයේ පරිහානිය 

කෙසේවුවද '70 දශකය වනවිට මුස්ලිම් ලෝකය තුල අරාබි ජාතිකවාදය සහ වාමාංශය සතුව පැවැති පරාක්‍රමය දුර්වල වීම ආරම්භ වී තිබුනි. මේ සදහා බල පෑ හේතු රාශියකි.

රැඩිකල් අධිරාජ්‍ය විරෝධී එලැඹුමක් දැක්වූවද ඊජිප්තුවේ නසර්වාදය වැනි  ජාතිකවාදී ප්‍රවනතා අභ්‍යන්තර දුර්වලතා රාශියකින් ගහන වූයේය. මැද පංතික දෘෂ්ටියකින් මෙහෙයවුනු මෙම ප්‍රවනතාවෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයක් ඇටවීමෙන් එහා ගමන් කිරීමට අසමත් වූහ. සුබසාධක රාජ්‍යය එම සමාජ තුල බලපැවැත්වූ සමාජ අසමානතා ආමන්ත්‍රනය කිරීමට තරම් ප්‍රමානවත් එකක් වූයේ නැත. 1973 ආර්ථික අර්බුදය විසින් ලොව පුරා සුබසාධක රාජ්‍ය ආකෘතිය අර්බුදයට යවද්දී අරාබි ජාතිකවාදී සුබසාධකවාදය ද එම අර්බුදයෙන් ගැලවුනේ නැත. 

මොස්කව් නුවර මගපෙන්වීම යටතේ කලාපීය කොමියුනිස්ට් පක්ෂ 60 දශකය පුරාම තම රටවල ජාතිකවාදී රෙජිමයන් අරභයා අනුගමනය කරමින් සිටියේ අවිවේචනාත්මකව සහය දීමේ ප්‍රතිපත්තියකි.සෝවියට් සංගමයේ විදේශ ප්‍රතිපත්තිය යටතේ නසර්ගේ ආන්ඩුව වැනි ජාතිකවාදී ආන්ඩු සමග හිතවත්කමක් පවත්වා ගැනීම අවශ්‍ය වී තිබුනි. සෝවියට් සංගමය මේ නිසා ඒ ඒ රටවල කොමියුනිස්ට් පක්ෂ වලට එම ආන්ඩු කෙරෙහි "මෘදු" පිලිවෙතක් අනුගමනය කරන ලෙස බලපෑම් කලේය. සමාජවාදී ජාත්‍යන්තරවාදය පිරිහුනු රාජ්‍යයක් වූ සෝවියට් සංගමයට තවදුරටත් අදාල නොවීය.එය සිය විදේශ ප්‍රතිපත්තිය වෙනුවෙන් ලෝකයේ සමාජවාදී අරගල ද්විතීක කිරීම ඉතා විවෘතව මේ යුගය වනවිට සිදුකරමින් සිටියේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස  අරාබි ජාතිකවාදී රෙජිමයන් අර්බුදයට යනවිට වාමාංශය ද දුර්වල වන්නට වූයේය. ඒ සදහා බල පෑ එක් හේතුවක් වූයේ ජාතිකවාදී පාලනයන්ට දැක්වූ අවිවේචනාත්මක සහයෝගය නිසා වාමාංශිකයන් සහ ජාතිකවාදීන් අතර කැපී පෙනෙන වෙනසක් පොදු සමාජය තුල සටහන්ව නොතිබීමය.

මෙලෙස ඓහිකවාදී වාමාංශය හා ජාතිකවාදය මුස්ලිම් ලෝකය තුල දුර්වල වීම අත වැනුවේ රැඩිකල් ඉස්ලාම්වාදයේ පැමිනීමටය. 20 වන සියවසේ අවසන් දශක තුන යනු දේශපාලනික ඉස්ලාම්වාදය ජයග්‍රහනය කිරීමේ දශක තුනයි. සමාජ ආර්ථික ගැටලු වලින් පීඩාවට පත්වන පීඩිත සමාජ කොටස් වෙත " ඉස්ලාමීය විසදුමක් " යෝජනා කල කුමේනිගේ ඉරාන """""විප්ලවය" මෙකී මූලධර්මවාදයේ ජයග්‍රාහී සන්ධිස්ථානයක් විය. අද සටන්කාමී මූලධර්මවාදී සංවිධාන සිය සොල්දාදුවන් බදවා ගන්නේ සමාජයේ අවවරප්‍රසාදිත පීඩිත පංතීන් අතරිනි. අරාබි ලෝකය තුල වාමාංශය බලවත්ව සිටි 40,50 දශක වල මෙම පීඩිත සමාජ පංතීහු පංති අරගලයේ ධජය යටතේ සංවිධානය කරනු ලැබූහ. අද ඔවුන් සංවිධානය කෙරෙන්නේ ආගම්වාදයේ නිස්සාර ධජය යටතේය. ඕනෑම සමාජයක වාමාංශය බලවත් වන තරමට ඒ සමාජවල ආගම්වාදය, ජාතිවාදය යනාදිය දුර්වල වන්නේ වාමාංශය විසින් සමාජය පංති පදනම මත සංවිධානය කිරීම හේතුවෙන් ජාතික සහ ආගමික බෙදීම් යටපත් වී යාම සිදුවන නිසාය.

වර්තමානයේ බටහිර රටවල් හා ඇතැම් ඉස්ලාමීය සංවිධාන අතර ඇති ආරෝව කුමක්ද? මෙය වූ කලී සමෘද්ධිමත් මැදපෙරදිග කලාපයේ ධනය බෙදාගැනීම පිලිබද කාලකන්නි ආරවුලක් විනා බටහිර මාධ්‍යයන් විසින් හුවා දැක්වෙන ආකාරයට "සුන්දර ලිබරල්වාදය" සහ "දුෂ්ට ඉස්ලාම්වාදය" අතර ගැටුමක් නොවේ. මෑතක දී ඊජිප්තුවේ බලයට පත් 'මුස්ලිම් සහෝදරත්වය' බදු පක්ෂ හරයෙන් ගත්කල ධනේශ්වර සංස්ථාවෝය. මේවා ගෝලීය ධනවාදයට කිසිසේත්ම විකල්පයක් නොවේ.

මේ මොහොතේ සැබැවින්ම මැදපෙරදිගට අවශ්‍යව තිබෙන්නේ වාමාංශික ව්‍යාපෘතියේ නව පුනර්ජිවනයකි. ඊජිප්තුව හා ටියුනීසියාව පසුගිය කලෙක දෙදරුම් කැවූ ජනප්‍රිය මහජන අරගල වලදී ඒ රටවල වැඩකරන පංතියේ ජනයා දැක්වූ සටන්කාමී පුරෝගාමීත්වය එබදු වාමාංශික පුනර්ජීවනයක් සදහා ඒ සමාජවල ඇති විභවය විදහා දක්වන්නේය.ඊජිප්තුවේ හොස්නි මුබාරක් ආන්ඩුව බිද වැට්ටවූ මහජන අරගලයේ දී සුවිශේෂී කාර්යයක් ඉටු කරන ලද්දේ වැඩ වර්ජන කැදවමින් වීදියේ සටන් කල වැඩ කරන ජනතාවෝය. එම ජනතාව දේශපාලනිකව සංවිධානය වී නොසිටීම මත එම අරගලය අවසානයේ මුස්ලිම් සහෝදරත්වය වැනි ඉස්ලාම්වාදී සංවිධානයක් වෙත ජය ගෙන දෙමින් නිමා විය. එසේ නිමා වුවද, එම සටන් වලදී ඒ රටවල වැඩ කරන ජනතාවෝ දැක්වූ සටන්කාමීත්වය ගෝලීය ධනවාදයෙන් හා ආගමික අන්තවාදයෙන් අන්ධකාර වී තිබෙන මැදපෙරදිග අහස මත පෑයූ දීප්තිමත් තාරකාවකි. එම සටන්කාමීත්වය නිසි ඉදිරි දැක්මක් සහිතව මෙහෙයවීම සමග මුස්ලිම් ලෝකය තුල වාමාංශික කතිකාව පුනර්ජීවනය කිරීම පිලිබද ප්‍රශ්නයට ගැට ගැසී තිබේ.

11 comments:

  1. රාමචන්ද්‍රන් මේක ලියලා තියෙන විදිහට මුස්ලිම් අන්තවාදයේ ඇරඹුම ඇමෙරිකන් ප්‍රොජෙක්ට් එකක් ලෙස හැගෙනවා....ඒත් මට හිතෙන විදිහට නම් ඇත්තටම අමෙරිකාව කරන්නේ බලලුන් ලවා කොස් ඇට බෑමක් කියලා.....
    ඒත්කොට සෞදි රජත් එක්ක තියෙන ඇයි හොදයිය දේශපාලන එකකට වඩා ආර්ථික එකක්..අඩු ගනනේ ඒ සම්භන්දේ මුල් අවදිය ගත්‍තෝත්.....අමෙරිකාව සෞදි රජාට තෙල් ටික අරං දීලා 80-20 ට බෙදා ගන්නවා...

    ReplyDelete
    Replies
    1. //රාමචන්ද්‍රන් මේක ලියලා තියෙන විදිහට මුස්ලිම් අන්තවාදයේ ඇරඹුම ඇමෙරිකන් ප්‍රොජෙක්ට් එකක් ලෙස හැගෙනවා//

      එය අනවශ්‍ය ලෙස මා කියූ දෙය සරල කිරීමක්.මුස්ලිම් අන්තවාදය අමෙරිකානු ප්‍රජෙක්ට් එකක් කියා නොවේ මා කියා තිබෙන්නේ.එය අද තිබෙන බලවත් තත්වයට පත්කිරීමෙහිලා බටහිර ධනවාදී රටවල් දැනුවත් කාර්යභාරයක් ඉෂ්ට කල බවයි.

      //ඒත්කොට සෞදි රජත් එක්ක තියෙන ඇයි හොදයිය දේශපාලන එකකට වඩා ආර්ථික එකක්.//

      මැද පෙරදිග එක්ක බටහිර ලෝකයට තිබෙන බැදීම කොහොමත් ආර්ථිකයි. දේශපාලනය ගලා එන්නේ මෙන්න මේ ආර්ථික සබදතා තුලින්.ඕනෑම තැනකදී එය එහෙමයි.

      Delete
  2. සමස්ථ මුස්ලිම් ලෝකයම ධනවාදී හා සමාජවාදී කඳවුරු දෙකකට පමනක් බෙදා දේශපාලන විග්‍රහයක යෙදී ඇති නිසා, යුරෝපා යටත්විජිත අවසන් කාලපරිච්ඡදයේදී බිහි වූ ඉස්ලාමීය ප්‍රතිසංස්කරණවාදීන් මගහැර තිබීම, ලිපිය, 'දේශපාලන ඉස්ලාමය' ගැන යම් හෝ අවබෝධයක් පාඨකයන්ට ලැබීමට බාධාවක් වී ඇති බව මාගේ අදහසයි.

    මුස්ලිම් සමාජය තුල 'රැඩිකල්' පිරිසක් බිහි වීම ඇතැම් විට ආගමික මූලාශ්‍රයන් අර්ථනිරූපණය කිරිමේදී ඔවුනොවුන් අනුගමනය කරන ක්‍රමවේදයන් නිසා හෝ නිවැරදී දූරදර්ශී දැක්මක් නැතිවීම නිසා හෝ විය හැක. නිදසුනක් ලෙස වත්මන් මුස්ලිම් දේශපාලන සංවිධානයන් බොහෝ විට බලපොරොත්තු වන්නේ කෙසේ හෝ තිබෙන ආණ්ඩු පෙරලා 'ෂරියා' නීතීය පිහිටුවා සෑහීමට පත් වීමක් වන අතර ඉන් ඔබ්බට ගොස් ලෞකිකකව හා අධ්‍යාත්මික වශයෙන් මිනිසා ප්‍රතිසංස්කරණයට ලක් නොකිරීම යන්න ගත හැක. (නමුත් ඉස්ලාමීය මූලධර්මය මේ හැම එකකටම වඩා වෙනස් බවත් එය ආගමික මූලාශ්‍රයන් තුලින් පෙන්වා දිය හැකි බවත් කරුණාවෙන් සලකන්න ) කෙසේ වෙතත් සෑම සංවිධානයක්ම ඒ තත්වයේ ලා සැලකීම අසාධාරණ බව මාගේ හැඟීමයි. ඊජිප්තුවේ හා ටියුනීසියාවේ තත්වය ගැන දැන්ම පුරෝකථනය කල නොහැකි වන්නේ තවමත් එකී රටවල් දේශපාලන වශයෙන් ස්ථාවර වී නොමැති නිසයි. සෞදි අරාබියානු රාජාණ්ඩුව යනු එවකට තුර්කිවරුන්ගේ බලය අභියෝග කිරීම සඳහා බ්‍රිතාන්‍යයින් විසින් 'ෆෝම්' කරන ලද ගම්බද, නූගත්, ගෝත්‍රිකයින් පිරිසකි. තවමත් ඔවුන් බලයේ රඳවා තීන්දු තීරණ ගන්නේ බටහිර රටවල්ය. ඔවුන්ගෙන් නිරූපණය වන 'මූලධර්මයක්' නැත.

    ඒ හැරුණු කොට සමස්ත ලිපිය පුරාවටම ඔබ මතුකරන 'මුස්ලිම් මූලධර්මවාදය හා අන්තවාදය' යන වදන් මෑත කාලයක සිට, විශේෂයෙන්ම 09/11 ප්‍රහාරයෙන් පසු ශබ්දකෝෂයට එකතු වූ වදන් වේ. සමාජවාදියකු වන ඔබ මෙහිදී 'ධනෙෂ්වර වදන්' භාවිතා කිරීම ගැන ඇත්තෙ පුදුමයකි. එසේම ඊජීප්තු විප්ලවයදී පෙන්නුම් කල ඒ පූර්ණ ජන සහභාගිත්වය වැඩ කරන පංතියට පමනක් සීමා කිරීම හෝ එහි සම්පූර්න 'ක්‍රෙඩිට්' එකම වැඩකරන පංතිය වෙත නතු කිරීමට උත්සහ දැරීම ගැන ඇත්තේ තරමක විවේචනයකි.

    ReplyDelete
    Replies
    1. //ඒ හැරුණු කොට සමස්ත ලිපිය පුරාවටම ඔබ මතුකරන 'මුස්ලිම් මූලධර්මවාදය හා අන්තවාදය' යන වදන් මෑත කාලයක සිට, විශේෂයෙන්ම 09/11 ප්‍රහාරයෙන් පසු ශබ්දකෝෂයට එකතු වූ වදන් වේ. සමාජවාදියකු වන ඔබ මෙහිදී 'ධනෙෂ්වර වදන්' භාවිතා කිරීම ගැන ඇත්තෙ පුදුමයකි. //

      එකග නොවෙමි.මුස්ලිම් අන්තවාදය/ මූලධර්මවාදය ඇත්ත ලෝකයේ පවතින්නකි.මූලධර්මවාදයට මූලධර්මවාදය කියා කීම ධනේශ්වර වචන පාවිච්චි කිරීමක් නොව හුදෙක් ඇත්ත ප්‍රකාශ කිරීමක් පමනි.

      Delete
    2. මා අදහස් කලේ ඇත්තෙන්ම 'මුස්ලිම් මූලධර්මවාදය හා අන්තවාදය' යන්න දේශපාලන වටිනාකමකින් යුක්තව ඉලක්කයක් සහිතව ප්‍රචාරයට නැගෙන්නේ 9/11 පසුව බවයි. එය, පසු කාලීනව තම ආර්ථික අරමුණු අත්පත් කරගැනීමට අනිකුත් රටවල්ද භේදයකින් තොරව අනුගමනය කලෝය. චෙච්නියාවට එරෙහිව තම ප්‍රහාරය වේගවත් කිරීමට රුසියාවට හැකිවන්නේද මේ ආකාරයටය. කලින් කොමෙන්ටුවේ එය 'විශේෂයෙන්' සඳහන් නොවී තිබීම මගෙ අතින් වූ අතපසු වීමකි.

      Delete
    3. මේ කොටසත් එකතු වෙන්න ඕනේ. ඔබ කියන විදිහට අනුව බැලුවොත් එහෙනම් හැම මුස්ලිම් කෙනෙකුම 'මූලධර්මවාදී/ අන්තවාදී' වෙන්න ඕනේ. මොකද 'මූලධර්මවාදය / අන්තවාදය' කියලා කියන්නේ තමන් විශ්වාස කරන මතවාදයේ මූලධර්මයන් මත පදනම්ව ඉඳ කටයුතු කරන එක. ඒක ලෝකේ හැම ආගමකට මෙන්ම දර්ශනවලටද පොදුයි. නමුත් අපි එදිනෙදා ජිවිතයේ දකින මුස්ලිම් කෙනෙකුට මේ වචනය පාවිච්චි කරන්නේ නැහැ. අපි ඔවුන් ඇමතුවේ 'මුස්ලිම් බැතිමතා' කියලයි. ඉතින් මං මෙතන මතු කලේ මේ වචනයේ ඇති දේශපාලන භාවිතය ගැනයි. ඒක ලෝකයට හඳුන්වලා දුන්නේ බටහිර ධනේෂ්වර රටවල් කියන එකයි මගේ තර්කය.

      මේක මේ විදිහටත් පැහැදිලි කරන්න පුලුවන්. මොහොතකට 9/11 ප්‍රහාරය සිදුවුනේ නැහැයිය කියලා උපකල්පනය කරමු. (මේකත් මතභේදාත්මකයි කියලා තවත් මතයක් තියෙනවා) එතකොට මැදපෙරදිග කලාපයට ජාත්‍යන්තර අවධානය යොමු නොවෙන්න තිබුනා. කොහොමත් බටහිර මාධ්‍යයන් ඒ රටවල්වලට (ධනපති පංතිය වෙනුවෙන්) කඩේ යන නිසා මේ ගැන පුලුල් ප්‍රචාරයක් ලබා දෙන්නේ නැහැ. එවැනි අවස්තාවක ඔබගේ අතින් මෙවැනි වචනයක් පාවිච්චි වෙනවාද? මම මතු කලේ අන්න ඒ වගේ අදහසක්.

      Delete
    4. //මොකද 'මූලධර්මවාදය / අන්තවාදය' කියලා කියන්නේ තමන් විශ්වාස කරන මතවාදයේ මූලධර්මයන් මත පදනම්ව ඉඳ කටයුතු කරන එක//

      ඔබතුමා ගේ මේ තර්කය සකීර් නායක් උන්නැහෙගෙත් මම දැකලා තියනවා . ධ්වනිථාර්තය පමණක් සලකලා ඔය විදිහට කියන්න පුලුවන් , නමුත් ඉස්ලාම් මුලධර්ම මතපදනම් වූ (අවම වශයෙන් ඔවුන් විසින් එසේ ප්‍රකාශයට පත් කරනු ලබන ) සංවිධාන , ක්‍රියාකාරකම් සහ අනිකුත් ආගම් සැලකුවාම , ඒ මුලධර්මවාදී කියන වචනයත් එක්ක ගැටගැගෙන වෙනත් අර්ථකතනයක් මතුවෙනවා . ඒක බටහිර නිර්මාණයක් කියල අහක දාන්න බැරි ප්‍රයෝගිකව දකින්න අහන්න ලැබෙන නිසා . ඉස්ලාමීය අන්තවාදි සංවිධාන ඉස්ලාම් මූලධර්ම අනුව කටයුතු නොකරන්නන් බව(ඒක එහෙම නම් ) සමාජ ගත කරලා තහවුරු කරන්න මුස්ලිම් සමාජය අපොහොසත් වෙලා ඉන්නේ ඇයි ?

      Delete
    5. //ඉස්ලාමීය අන්තවාදි සංවිධාන ඉස්ලාම් මූලධර්ම අනුව කටයුතු නොකරන්නන් බව(ඒක එහෙම නම් ) සමාජ ගත කරලා තහවුරු කරන්න මුස්ලිම් සමාජය අපොහොසත් වෙලා ඉන්නේ ඇයි ?//

      මම උඩින්ම දාලා තියෙන කොමෙන්ටුවේ ඒ ගැන පැහැදිලිව සඳහන් කරලා තියෙනවායි කියලා හිතනවා.

      //නමුත් ඉස්ලාම් මුලධර්ම මතපදනම් වූ (අවම වශයෙන් ඔවුන් විසින් එසේ ප්‍රකාශයට පත් කරනු ලබන ) සංවිධාන , ක්‍රියාකාරකම් සහ අනිකුත් ආගම් සැලකුවාම , ඒ මුලධර්මවාදී කියන වචනයත් එක්ක ගැටගැගෙන වෙනත් අර්ථකතනයක් මතුවෙනවා .//

      ඒකට මුලධර්මවාදී යැයි කීමට මා එකඟ නැහැ. ඕනේ නම් 'රැඩිකල්වාදී' යැයි කිවහැකි. මොකද 'මූලධර්මවාදී' කියනකොට එහෙනං රැඩිකල් නොවන්නනුත් ඒකට ගෑවෙනවා.

      \\ඒක බටහිර නිර්මාණයක් කියල අහක දාන්න බැරි ප්‍රයෝගිකව දකින්න අහන්න ලැබෙන නිසා //

      මගේ මෙතන තර්කය මේකේ තියෙන දේශපාලනය භාවිතය ගැනයි. ඒක ව්‍යාපෘතියක් හැටියට ක්‍රියාවට නැංවෙන්නේ තනිකරම දේශපාලන-ආර්ථික අරමුණ උඩ කියන එකයි මං කියන්නේ. නැත්තං තලිබාන් සංවිධානය පමණක් මූලධර්මවාදී වෙලා සෞදි අරාබියාව එහෙම වෙන්නේ නැත්තේ ඇයි?

      Delete
  3. මේ ලඟදි මම නැරඹුවා රූපවාහිනි වැඩසටහනක් සිරියාව ගැන. එහිදී කියැවුනේ 1930-40 ගනන් වල සිට 1970-80 පමන සිරියාවේ දේශපාලනය විකාශනය වුන අන්දම සහ එහිදී ඇලවයිට්ස් (Alawites) නමැති සුලුතර ආගමික ජනතාවකගේ සහභාගිත්වය. එහි කියවුන ආකාරයට මුස්ලිම් සංස්කෘතිය තුල වන සුන්නි - ශියා මූලික බෙදීම සමාජ ආගමික දේශපාලන ආදී සෑම අංශයකම ප්‍රධාන සාධකයක්. මම හිතන්නෙ අපි හරි අඩුවෙන් මේ ගැන දන්නෙ සහ අපිට එය ගෝචර වෙන්නෙත් නැහැ. ඔබ කියන දේ ඉතාම අදාලයි සිරියාවට; එය අනාගමික රාජ්‍යයක්ව පැවතුනා. එයට ඇලවයිට්වරු ලෙස අල්-අසාද් පරපුර විශාල කාර්ය භාරයක් කර තිබෙනවා. අද ජනාධිපති බශාර් අල්-අසාද්ගේ පියා (හිටපු ජනාධිපති ) එහි ප්‍රධානියෙක්. සිරියාව අනාගමික රාජ්‍ය ක්‍රමයක් වෙත නැඹුරු වීමට ප්‍රධාන හේතුවක් තමයි එරට තිබූ මෙම සුන්නි-ශියා ආතතීන් සමනය කිරීමේ අවශ්‍යතාවය. සිරියානු බාත් පක්ශය මෙහිදී මූලිකත්වය ගත්තා.

    ඔබේ ලිපියෙත් මම දකින අඩුව තමයි මේ ගැන - එනම් සුන්නි-ශියා බෙදීම - මෙහිදී අතහැරී තිබීම.

    -Dimithri

    ReplyDelete
    Replies
    1. ස්තුතියි එකතු කිරීමට.

      Delete
  4. අන්තවාදයේ නැගීමට හේතු දැක්වීම තේරුමක් නැහැ. එසේ හේතු දැක්වීමෙන් අන්තවාදය සාධාරණීකරණය වීමක් සිදු වෙනවා. අනෙක් පැත්තෙන් එවැනි හේතු දැක්වීම් ආංශික විග්‍රහ මිස පූර්ණ විග්‍රහ නොවෙයි. මෙවැනිම හේතු දැක්වීම් නාසිවාදය සම්බන්ධයෙන් වුවත් කරන්න පුළුවන්. තමන් ජීවත් වන සමාජය අන්තවාදයට ගොදුරු වීම වළක්වාගැනීම ඒ සමාජයේ මිනිසුන්ගේ සමාජ වගකීමක්.

    මෙහි අරමුණ ලොව පුරා ගොඩනැ‍ෙඟෙමින් තිබෙන මුස්ලිම් හෝ මුස්ලිම් හෝ විරෝධය සමනය කිරීම වන්න පුළුවන්. මුස්ලිම්වරුන්ගේ 'වරදට' හේතුව අප තුළ ද තිබෙනවා කියා නැවත සිතන්න මිනිසුන් පෙළඹවීම වෙන්න පුළුවන්. ඒත්, අපි එහෙම වුණේ මේ නිසායි කියා හේතුවකුත් 'වගඋත්තරකරුවන්' විසින් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට අපි ඒකටත් හේතුවක් නැවත සොයනවාද?

    අවශ්‍ය වන්නේ අන්තවාදී ප්‍රවණතාවලට ගොදුරු වූ මිනිසුන් ඉන් මුදා ගන්න උදව් කිරීම මිසක්, ඔවුන් එසේ වීමට හේතු සොයමින් එය සාධාරණය කිරීම නොවෙයි.

    ReplyDelete