Wednesday, April 17, 2013

ඉන්දියාවේ පහලට කාන්දු වීමේ විප්ලවය - 2 / Trickle down revolution - අරුන්දතී රෝයි

ගිනිගෙන දැවෙන මනිපූරය - විරෝධය පෑමේ අවස්ථාවක් 

මෙහි පලමු කොටස සදහා මෙම සබැදිය යොදාගත හැක.)
න්දියාවේ 64 වන නිදහස් සැමරුම දිනයේ අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං ආවේග රහිත,අස්ථි පවා කුසීතභාවයෙන් ශීතල කරවන සුලු ඒකාකාරී කථාවක් පවත්වනු වස් රතු බලකොටුවේ තබා ඇති ස්වකීය වෙඩි නොවදින සබන් පෙට්ටිය වෙත නැංගේය.මෙම කථාවට සවන් දෙන අතරතුර,මොහු මේ ආමන්ත්‍රනය කරන්නේ - ලෝකයේ දෙවන වේගවත්ම ආර්ථික වර්ධන වේගය පවතිද්දීත් - අප්‍රිකාවේ දිලිදුම ජාතීන් 26 ක මුලු ජනගහනය එකතු කල විට ලැබෙන සංඛ්‍යාවටත් වඩා වැඩි දිලින්දන් පිරිසකින් යුක්ත ජාතියක් බව කිසිවෙකුටවත් සිතෙනු ඇද්ද?
"ඔබ සියලු දෙනා ඉන්දියාවේ ප්‍රගතිය වෙනුවෙන් දායක වී තිබේ"ඔහු පැවසීය."අපගේ කම්කරුවන්ගේ,ශිල්පීන්ගේ හා ගොවීන්ගේ දැඩි කැපවීම අද සිටින ස්ථානය වෙත අපගේ දේශය රැගෙන ඒමෙහිලා උපකාරී විය.සෑම පුරවැසියෙකුටම සමාජයෙහි අයිතියක් පවතින,සෑම පුරවැසියෙකුටම ගෞරවයෙන් අභිමානයෙන් යුක්ත සාමකාමී හා යහපත් අධිෂ්ඨානය සහිත පරිසරයක ජීවත් විය හැකි,සමෘද්ධිමත් වූත් සෞභාග්‍යමත් වූත් ඉන්දියාවක් අපි ගොඩනගමින් සිටින්නෙමු.එය කවර ගැටලුවක් වුවද ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයන්ගෙන් විසදිය හැකි ඉන්දියාවකි.එය සෑම පුරවැසියෙකුගේම මූලික අයිතීන් ආරක්ෂා කරනු ලබන ඉන්දියාවකි"
ඇතැම් විට මෙය මාරාන්තික හාස්‍යයක් යැයි යමෙකුට සිතෙනු ඇත.එතුමා ජාතිය අමතනු අසන අයෙකුට මොහු ෆින්ලන්තයේ හෝ ස්වීඩනයේ ජනතාව අමතනවා වැනි හැගීමක් පහල වුවහොත් එහි පුදුමයක් නැති.

පෞද්ගලික අවංකභාවය පිලිබද අපගේ අග්‍රාමාත්‍යවරයාට තිබෙන කීර්ති නාමය ඔහුගේ කථාපිටපත් තුලටත් කාන්දු වන්නේ නම්,ඔහු විසින් කිව යුතුව තිබුනේ මෙවැනි දෙයකි.

"සහෝදරවරුනි,සහෝදරියනි.අපගේ විභූතිමත් අතීතය සිහිපත් කරන මෙම අවස්ථාවට පැමිනි ඔබ සියලු දෙනා සාදරයෙන් පිලිගනිමි.යම් යම් දේවල් තරමක් මිල අධික වී ඇති බවත්,ආහාර මිල පිලිබද ඔබ මැසිවිලි නගමින් ඉන්නා බවත් මම දන්නවා.නමුත් එදෙස මෙලෙස බලන මෙන් මම ඉල්ලා සිටිමි.ඔබ අතුරින් මිලියන හයසිය පනහක් දෙනා ජීවත් වනුයේ ගොවීන් හා කෘෂි කම්කරුවන් වශයෙන් කෘෂිකර්මාන්තයෙනි.නමුත් ඔබගේ ඒකාබද්ධ දායකත්වයෙන් සංයුක්ත වනුයේ මුලු ජාතික ආදායමින් 18% ක් පමනි.එබැවින් ඔබෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?අපගේ තොරතුරු තාක්ෂන ක්ෂේත්‍රය දෙස බලන්න.එහි සේවා නියුක්තව සිටිනුයේ ජනගහනයෙන් 0.2% පමනි.නමුත් ජාතික නිෂ්පාදිතයේ 5% ක් සමන්විත වනුයේ ඔවුන්ගේ නිෂ්පාදනයන්ගෙනි.ඔබට ඒ හා සමවෙන්නවත් පුලුවන්ද ?අපගේ රටේ ආර්ථික වර්ධනයට සමගාමීව රැකියා උත්පාදනයක් සිදුව නැති බව ඇත්තකි.නමුත් වාසනාවකට මෙන් අපගේ ශ්‍රම බලකායේ 60% පමන ස්වයංරැකියාවල යෙදෙන්නවුන් වෙති.ශ්‍රම බලකා‍යේ 90% පමන සේවයේ යෙදී සිටිනුයේ අසංවිධානාත්මක අංශයේය.ඔවුන්ට කිරීමට වැඩ ලැබෙනුයේ හුදෙක් මසකට දින කිහිපයක් පමනක් බව මම පිලිගනිමි.නමුත් ඌන සේවානියුක්තිය යනුවෙන් ප්‍රවර්ගයක් අප හදුනා නොගන්නා නිසා අපට ඒ ගැන වැඩිදුර නොවෙහෙසී සිටිමට පුලුවන.ඔවුන් විරක්ෂාවෙන් පෙලෙනවුන් වශයෙන් අපගේ සංඛ්‍යා ලේඛන තුල ඇතුලත් කිරීම නිවැරදි නැත.මෙබදු ප්‍රශ්න අපට පසුව විසදාගත හැක.අපගේ "පහලට කාන්දු වීමේ විප්ලවය" සම්පූර්න වූවාට පසු,සෞඛ්‍ය සේවාවන් සම්පූර්නයෙන්ම පෞද්ගලිකකරනයට ලක්වූවාට පසු අපට මේ ගැන සිතා බැලිය හැක.මේ අතර ඔබ සියලු දෙනා සෞඛ්‍ය රක්ෂනයන් මිලදී ගනු ඇතැයි මම උදක්ම අපේක්ෂා කරමි.ඒකශීර්ෂ ආහාර සුරක්ෂිතතාවය පසුගිය වසර 20 තුල පහත වැටී තිබේ යන කරුන සැලකුවහොත් - ඒ වසර විස්ස අපගේ සීඝ්‍ර ආර්ථික වර්ධනය සිදුවූ කාලයද වන්නේය - මාව විශ්වාස කරන්න,එය හුදෙක් අහම්භයක් පමනි.

"මාගේ ආදරනීය වැසියනි,කෝටිපතියන් හා ප්‍රකෝටිපතියන්ගෙන් යුක්ත අපගේ පොහොසත්ම පුරවැසියන් 100 දෙනා ජාතික ආදායමේ 25% ක වත්කම් උසුලන නව ඉන්දියාවක් අපි ගොඩනගමින් සිටින්නෙමු.සීමිත හා අතිශය සීමිත පිරිසක් අතර ධනය සංකේන්ද්‍රනය වන තරමට කාර්යක්ෂමතාවය ඉහල නගී.කෝකී පිරිස ඕනෑවට වඩා වැඩිවූ විට සුප් හොද්ද දියාරු වන බව ඔබ දන්නවා නෙව.අපගේ ආදරනීය ප්‍රකෝටිපතියන්,සිය ගනනක් වූ කෝටිපතියන්,ඔවුන්ගේ ඥාතී මිත්‍රාදී සමීපතමයන්,ඔවුන්ගේ ව්‍යාපාරික හා දේශපාලන හවුල්කරුවන් සමෘද්ධිමත් වූත්,සාමකාමී හා යහපත් අධිෂ්ඨානය සහිත සිය මූලික අයිතිවාසිකම් සුරක්ෂිත වූත් පරිසරයක ගෞරවයෙන් සහ ආත්මාභිමානයෙන් යුක්තව ජීවත්වනු දැකීමට අපි කැමැත්තෙමු.

"මාගේ සිහිනය මුලුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමෝපායන් භාවිතා කිරීමෙන් මුදුන්පත් කරගත නොහැකි බව මම දනිමි.මේ නිසා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය තුවක්කු කට තුලින් උපත ලබන බව විශ්වාස කිරීමට මම පෙලඹී සිටිමි.අපගේ හමුදාව,පොලිසිය,මධ්‍යම රජයේ සංවෘත පොලිස් බලකාය,දේශසීමා ආරක්ෂක බලකාය,ඉන්දු ටිබේට දේශසීමා පොලිසිය,නැගෙනහිර දේශසීමා රයිෆල් බලකාය - ගෝනුස්සන්,සුනඛයන් හා සර්පයන් සමගින් - අපගේ ඛනිජ සම්පතින් පොහොසත් ප්‍රදේශ වෙත යොමු කොට එහි ඇතිව තිබෙන නොමග ගිය කැරලි චප්ප කර දැමීමට මා කටයුතු කරමින් සිටින්නේ එබැවිනි."

"ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද අපගේ අත්හදාබැලීම් ආරම්භ වූයේ නාගලන්තයෙන්,මනිපූරයෙන් හා කාශ්මිරයෙන්ය.මෙතැනදී නැවත නැවතත් කාශ්මිරය ඉන්දියාවට අයත් අභ්‍යන්තර කලාපයක් බව මතක් කර දීම අවශ්‍ය නැතැයි මම සිතමි.එහි ජනතාව වෙත ප්‍රජාතන්ත්‍රවාදය උදාකර දීම සදහා මිලියන භාගයකට ආසන්න සොල්දාදුවන් අප එහි යවා ඇත.පසුගිය මාස දෙක පුරාවට ඇදිරි නීතියට එරෙහි වෙමින් සහ පොලිසිය වෙත ගල් ගසමින් සිය ජීවිත අවදානමට ලක්කරගනිමින් සිටින කාශ්මිර තරුනයන් වනාහි ත්‍රස්තවාදී සහායකයෝ වෙති.ඔවුන්ට අවශ්‍යව තිබෙන්නේ සැබැවින්ම රැකියා අවස්ථාවන්ය.නිදහස නොවේ.අවාසනාවකට මෙන් රැකියා ඉල්ලුම් පත් සලකා බැලීමට පෙර ඔවුන් 60 දෙනෙක් මරනයට පත්ව තිබේ.මෙම නොමගගිය තරුනයන් මරා දමනු වෙනුවට ඔවුන් විසුරුවා හැරීම සදහා වෙඩි තබන මෙන් මම මේවනවිටත් පොලිසිය වෙත උපදෙස් දී ඇත්තෙමි"

සිය වසර හතක් වූ ධූර කාලය තුල මන් මෝහන් සිං සෝනියා ගාන්ධිගේ අනිශ්චිත,මෘදු මනසක් සහිත නියෝජිතයා/සහායකයා වශයෙන් පෙනී සිට තිබේ.මෙය වනාහි පසුගිය වසර 20 තුල මුලින්ම මුදල් අමාත්‍යවරයා ලෙස හා පසුව අග්‍රාමාත්‍යවරයා ලෙස ඉන්දියාව අද තිබෙන තත්වය වෙත ගෙන ඒමෙහිලා ක්‍රියාකාරී වූ නව ආර්ථික වැඩපිලිවෙල මත පදනම් වූ රෙජිමයක් විසින් ශක්තිමත් කොට තිබෙන බලසම්පන්න පුද්ගලයෙකු වටා මවා තිබෙන කදිම වෙස්වලාවකි.මන්මෝහන් සිං ගාන්ධිගේ සහායකයෙකු බවක් මින් ප්‍රතික්ෂේප නොවේ.ඉන් අදහස් වන්නේ ඔහුගේ ආඥාවන් සෝනියා ගාන්ධි කෙරෙන් පැන නොනගින බවයි.බටහිර බෙංගාලයේ හිටපු මුදල් අමාත්‍ය අශෝක් මිත්‍රා ස්වකීය චරිතාපදානයේදී (A Prattler’s Tale) මන්මෝහන් සිං බලය වෙත ක්‍රමානුකූලව එසවුනු අන්දම විස්තර කරයි.1991 දී ඉන්දියාවේ විදේශ සංචිත ප්‍රමානය භයානක ලෙස පහත වැටුනු විට,නර සිහ රාඕ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හදිසි නය මුදලක් ඉල්ලා සිටියේය.මූල්‍ය අරමුදල කොන්දේසි දෙකක් මත ඊට සහය පල කලේය.පලමුවැන්න ආර්ථික ප්‍රතිසංස්කරන හා ව්‍යුහාත්මක ගැලපුම් ක්‍රියාවට නැංවීමයි.දෙවැන්න තමා නම් කරන පුද්ගලයෙකු මුදල් ඇමති ලෙස පත්කිරීමයි.මිත්‍රාට අනුව මූල්‍ය අරමුදලේ "තෝරාගත් පුද්ගලයා" වූයේ මන්මෝහන් සිංය.

ගෙවීගිය වසරවලදී ඔහු විසින් සිය කැබිනට් මන්ඩලය හා නිලධාරී තන්ත්‍රය සෑම දෙයක්ම - ජලය,විදුලිය,ඛනිජ සම්පත්,කෘෂිකර්මාන්තය,ඉඩම්,සන්නිවේදනය,අධ්‍යාපනය,සෞඛ්‍යය - මේ සියල්ල මහා සමාගම් වෙත පවරා දීම වෙනුවෙන් ඉවැන්ජලික කැපවීමකින් කටයුතු කරන පිරිසකගෙන් පුරවා දමා ඇත.

සෝනියා ගාන්ධි සහ ඇයගේ පුත්‍රයා මෙම සමස්ථ ක්‍රියාවලිය තුල වැදගත් භූමිකාවක් රගදක්වයි.ඔවුන්ගේ වගකීම වනුයේ දයාව හා ආකර්ශනය පිලිබද අංශය භාරව වැඩකිරීම සහ මැතිවරන දිනා දීමයි.මහජන කෝපය සංසිදවීම හා මහා නෞකාවේ ගමන බාධා රහිතව ගමන් කිරීමට උපකාර කරන ප්‍රගතශීලී යැයි පෙනෙන,එනමුත් අතිශය උපක්‍රමික හා සංකේතාත්මක තීරන ගැනිමටත් ඒවායේ වාසිය ලබාගැනීමටත් ඔවුන්ට අවස්ථාව තිබේ.( මේ සදහා කදිම නිදර්ශනයක් ලෙස නියම්ගිරි ප්‍රදේශයේ බෝක්සයිට් ලෝහය සදහා පතලක් කැනීමට වේදන්තා සමාගමට ලබාදුන් බලපත්‍රය අහෝසි කිරීම සැමරීම සදහා රාහුල් ගාන්ධි විසින් කැදවූ රැලිය දැක්විය හැක.නියම්ගිරි සටන වනාහි ඩොන්ග්‍රියා කොන්ද් ගෝත්‍රය සහ දේශීය විදේශිය ක්‍රියාධරයන් ගේ එකමුතුකම මගින් වසර ගනනක් තිස්සේ සිදුකරන ලද්දකි.රැලිය අමතමින් රාහුල් ගාන්ධි තමා "ගෝත්‍රික ජනයා වෙනුවෙන් සටන්කරන සොල්දාදුවෙකු බව" ප්‍රකාශ ක‍ලේය.ගෝත්‍රික ජනතාවගේ මහා පරිමාන අවතැන්වීම් වලට හේතුව ස්වකීය පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති බව සදහන් නොකිරීමට කෙසේවුවද හෙතෙම ප්‍රවේශම් විය.එසේම මෙම "ගෝත්‍රිකයන් වෙනුවෙන් සටන් කරන සොල්දාදුවා" අහක බලා සිටියදී අසල්වැසි ප්‍රදේශවල තිබෙන අනෙකුත් සෑම බෝක්සයිට් කන්දක්ම අපායට යන තුරු පතුලට කැනෙමින් තිබේ යන කරුනද හෙතෙම සැගවීය.රාහුල් ගාන්ධි වැදගත් මහත්මයෙකු විය හැක.නමුත් තමා නියෝජනය කරන පක්ෂය කිසිසේත්ම වගකිව යුතු නැති,තමන්ට කිසිම සම්බන්ධයක් නැති දෙයක් ගැන කතාකරන්නාක් මෙන් "පොහොසත් ඉන්දියාව" හා "දුප්පත් ඉන්දියාව" ලෙස ඉන්දියාවන් දෙකක් තිබේ යනුවෙන් කියමින් රට වටා යාම අසා සිටින ඕනෑම කෙනෙකුගේ මෙන්ම ඔහුගේද බුද්ධියට කෙරෙන උපහාසාත්මක නිග්‍රහයකි)

"ජනතාවගේ කුමාරයා " - රාහුල් ගාන්ධි ඩොන්ග්‍රියා කොන්ද් ගෝත්‍රික  ලමුන් පිරිසක් සමග 
ජනතා පදනමක් සහිත,ඡන්දය දිනිය හැකි දේශපාලකයන් සහ (විනිශ්චයකාරවරු හා නිලධාරීන් වැනි) ජනතාවට ඉදිරියට යා යුතු නැති එසේත් නැතහොත් (අග්‍රාමාත්‍යවරයා වැනි) මැතිවරන දිනීම පිලිබද වෙහෙසීමේ වගකීමෙන් මුක්ත කරනු ලැබූ,එනමුත් සැබැවින්ම තීරන ගන්නා දේශපාලකයන් අතර පවතින ශ්‍රම විභජනය වනාහි ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයෙහි පවතින විශිෂ්ට උපබෙදිමකි.සෝනියා හෝ රාහුල් ගාන්ධි ආන්ඩුව භාරව සිටින බවට උපකල්පනය කිරීම බරපතල වරද්දා ගැනීමකි.විනිශ්චයකාරවරුන්,නිලධාරීන් හා දේශපාලඥයන්ගෙන් සමන්විත සීමිත පිරිසකගෙන් යුක්ත පර්ෂදයක් අත සැබෑ බලය ඒකරාශී වී තිබේ.ඔට්ටු තැබීමේ තරග වල දිවීමට දමනු ලැබූ අශ්වයන් සමූහයක් මෙන් මොවුන් කලින් කලට - අඩු වැඩි වශයෙන් රටේ සියලු දේවල් අයිතිව සිටින මහා සමාගම් කිහිපයක් විසින්- පත්කරනු මෙහෙයවනු හා සහය දක්වනු ලැබේ.මොවුන් වෙනස් පක්ෂ වලට අයත්විය හැක.එසේම එකිනෙකාගේ දරුනු දේශපාලන පසමිතුරන් ලෙස මහා රගදැක්වීම්වලදී කටයුතු කිරීමටත් ඉඩ ඇත.නමුත් එය හුදෙක් මහජනයාගේ විනෝදාස්වාදය උදෙසා නිෂ්පාදනය කරන ලද ප්‍රයෝගයකි.එකම සැබෑ පසමිතුරුතාවය වනාහි මහා සමාගම් අතර පවතින ව්‍යාපාරමය පසමිතුරුතා පමනි.

පී.චිදම්බරම් වූ කලී මෙම සමාගම්වාදී පර්ෂදයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි.ඇතැමුන් පවසන පරිදි මොහු කොංග්‍රසය ඊලග මැතිවරනයේදී පරාද වුවහොත්,පරාජයෙන් පසුව පවා අභ්‍යන්තර කටයුතු භාර ඇමති ලෙස දිගටම කටයුතු කිරීමට තරම් විපක්ෂය අතරේද ජනප්‍රිය පුද්ගලයෙකි.එවැන්නක් සිදුවීම කෙසේ වුවද වඩා යහපති.ඔහු මත පැවරී තිබෙන රාජකාරිය අවසන් කිරීම සදහා ඔහුට අමතර වසර කිහිපයක් කුමන අතින් බැලුවත් අවශ්‍ය වනු ඇත.

2007 ඔක්තොම්බරයේදී සිය පැරනි විශ්ව විද්‍යාලය වූ හාවඩ් සරසවියෙහි පැවැත්වුනු දේශනයකද චිදරම්බරම් සිය කාර්යභාරය හා රාජකාරිය කවරක්දැයි ලුහු කොට දැක්විය.දේශනය නම් කොට තිබුනේ " දුප්පත් කමින් පෙලෙන පොහොසත් රටවල් - සංවර්ධනයේ අභියෝග" නමිනි.නිදහසින් පසු ගත වූ දශක තුන ඔහු එහිදී හැදින්වූයේ "අපතේ ගිය වසරවල්" ලෙසිනි.2002 දී 6.9% ක් වූ ආර්ථික වර්ධන වේගය 2007 වන විට 9.4% දක්වා වැඩි වීම පිලිබද ඔහු උදම් ඇනීය.එහිදී ඔහු පවසන්නට යෙදුනු දෙය ඔහුගේ දලදඩු ගද්‍යයෙහි කොටසක් ඔබ වෙත උපුටා දැක්වීට තරම් මා හට වැදගත්භාවයෙන් ප්‍රාමානිකය.

"... ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුල ආර්ථිකය ඉහල වර්ධනයක් පෙන්නුම් කරද්දී සංවර්ධනයේ අභියෝග ජයගැනීම එතරම් බැරෑරුම් කටයුත්තක් නොවන බව යමෙකු කල්පනා කරනු ඇත.නමුත් සත්‍යය ඊට සම්පූර්නයෙන් වෙනස්ය.ප්‍රජාතන්ත්‍රවාදය - වි‍ශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ සමාජවාදී යුගයේ උරුමය සත්තකින්ම සංවර්ධනයේ අභියෝග වඩාත් තීව්‍ර කොට තිබේ.උදාහරන කිහිපයක් ඇසුරින් මෙය පැහැදීමට මට අවසර දෙන්න.ලෝකයේ හතර වනුව විශාලතම ගල්අගුරු සංචිතය ඉන්දියාව සතුයි.ඒ වගේම යකඩ,මැංගනීස්,බෝක්සයිට්,ටයිටේනියම්,මිනිරන්,ක්‍රෝමේට්,දියමන්ති,ස්වභාවික ගෑස්,පෙට්‍රෝලියම්,හුනුගල් යනාදී ඛනිජ ඉන්දියාවේ ඛනිජ සංචිතය තුල අඩංගුයි.මෙම සම්පත් හැකි ඉක්මනින් සහ වඩාත් කාර්යක්ෂමව කැනිය යුතුයි යන්න ඕනෑම සාධාරන පුද්ගලයෙකුට වැටහෙන සරල සත්‍යයක්.මේ සදහා විශාල ප්‍රාග්ධනයක්,කාර්යක්ෂම ව්‍යවසායන් හා වෙලදපොල බලවේගයන්ට ක්‍රියාකාරී වීමට ඉඩ සපයන ප්‍රතිපත්ති රාමුවක් ඇවැසියි.මේ කිසිදු සාධකයක් වර්තමාන කැනීම් ක්ෂේත්‍රය තුල දකින්නට නැහැ.මේ සම්බන්ධ වූ නීතී යල් පැන ගොස් තිබෙන අතර පාර්ලිමේන්තුව සමත් වී තිබෙනුයේ හුදෙක් අවශ්‍ය නෛතික ප්‍රතිසංස්කරනයන්හි මායිම දක්වා පැමින මායිමට වී ක්‍රීඩා කරමින් සිටීමට පමනයි.කැනීම් ක්ෂේත්‍රය විෂයෙහි පෞද්ගලික ආයෝජන ආකර්ෂනය කරගැනීම සදහා අප විසින් ගෙන තිබෙන උත්සාහයන් සම්පූර්නයෙන් හා එහෙම් පිටින්ම පාහේ අසාර්ථක වී තිබෙනවා.මේ අතර සමස්ථ කැනීම් විෂය ක්ෂේත්‍රය තවමත් ප්‍රාන්ත රාජ්‍යයන්ගේ හස්තය තුල සිර වී තිබෙනවා.මෙම පවතින තත්වයෙහි කවරාකාර හෝ වෙනසක් සිදුකිරීමට ගනු ලැබෙන කවර උත්සාහයක් වුවද වනාන්තර,පරිසරය හෝ ග්‍රෝතික ජනගහනය වැනි තේමාවන් යටතේ නීත්‍යනුකූලවම ක්‍රියාත්මක වන විවිධ කන්ඩායම් වල විරෝධයට ලක්වීම අනිවාර්යයක්.එමෙන්ම කැනීම් අංශය රජයේ ඒකාධිකාරයක් විය යුතු යැයි විශ්වාස කරන හා එනයින් අදාල අංශයට පුද්ගලික අංශය ප්‍රවේශ වීම සම්බන්ධයෙන් දෘෂ්ටිවාදාත්මක විරෝධතා සහිත දේශපාලන පක්ෂත් සිටිනවා.ස්ථාපිත වෘත්තිය සමිති වෙතින් එම පක්ෂ වෙත සහය සැපයෙනවා.එම වෘත්තිය සංගම් දැනුවත් වුවත් හෝ නොදැනුවත් වුවත්, ඔවුන්ගේ සටන්පාඨ පසුපස පවතින්නේවෙලද මාෆියාවේ හස්තයයි.මෙහි ප්‍රතිඵලය වනුයේ සැබෑ ආයෝජන ස්කන්ධය ඉතාමත්ම අඩු අගයක් ගැනීමත්,කැනීම් අංශයේ වර්ධනය මන්දගාමි වීමත් එය ආර්ථිකයේ වර්ධන වේගය පසුපසට ඇද දමන බාධකයක් ලෙස ක්‍රියාකිරීමත්ය.මම ඔබට තවත් නිදර්ශනයක් සපයන්නම්.කර්මාන්ත සදහා පහසුකම් සැපයීමට විශාල වශයෙන් ඉඩම් අවශ්‍ය වෙනවා.කැනීම,සකස් කිරීම හා නිෂ්පාදනය කිරීම සදහා ඛනිජ සම්පත් ආශ්‍රිත ඇලුමිනියම් හා වානේ වැනි කර්මාන්තයන්ට විශාල පරිමානයන්ගෙන් ඉඩම් අවශ්‍ය කරනවා.මෙම කර්මාන්තයන්ට අදාල පරිපූරක සේවා සම්බන්ධීකරනය කිරීමට අවශ්‍ය ගුවන් තොටුපොල,වරාය,වේලි හා බලශක්ති නිෂ්පාදනාගාර වැනි යටිතල පහසුකම් ව්‍යාපෘති සදහාත් මහාමාර්ග සහ දුම්රිය මාර්ග සදහාත් විශාල වශයෙන් ඉඩම් ඕනෑ වෙනවා.මේ නිසා ආන්ඩු විසින් තමා වෙත පැවරී තිබෙන බලතල ප්‍රකාරව ස්වකීය පරිපාලන බල මන්ඩල හරහා ඉඩම් පවරා ගනු ලැබුවා.ඉඩම් පවරා ගැනීමේදී සලකා බැලිය යුතුව තිබුනු එකම ගැටලුව වූයේ වන්දි පිලිබද ප්‍රශ්නයයි.එම තත්වය දැන් වෙනස් වී තිබෙනවා.සෑම ව්‍යාපෘතියක් සම්බන්ධවම දැන් නව පාර්ශවකරුවන් සිටිනා අතර ඔවුන්ගේ ඉල්ලීම්ද සලකා බැලිය යුතුව තිබෙනවා.මේ යටතේ පරිසර තත්ව වාර්තා සකස්කිරිම,අනිවාර්ය ඉඩම් පවරා ගැනීම් සදහා හේතු සැපයීම,නිසි වන්දි ලබාදීම,අවතැන් වන අය පුනරුත්ථාපනය හා නැවත පදිංචි කිරීම සහ සෑම අවතැන් පවුලකටම නිවාස,රැකියා හා විකල්ප කෘෂිකාර්මික ඉඩම් සපයා දීම වැනි වගකීම් අප මත පැවරී තිබෙනවා"

සම්පත් "කාර්යක්ෂමව" හා "හැකි ඉක්මනින්" කැනීම සදහා "වෙලදපොල බලවේග" සදහා ඉඩ සපයා දීම යනු නිශ්චිතවම යටත් විජිත වාදීන් සිය යටත්විජිත වල සිදුකරන ලද දෙයයි.ස්පාඥ්ඥය සහ උතුරු අමෙරිකාව දකුනු අමෙරිකාවේදීත්,යුරෝපය අප්‍රිකාවේදීත් සිදුකලේ හා සිදුකරමින් සිටින්නේ එයයි.දකුනු අප්‍රිකාවේදී ඇපාතඩයිඩ් රෙජිමය සිදුකලේද එයයි.එමෙන්ම කුඩා රටවල රූකඩ ඒකාධිපතීන් සිය ජනයා රුධිර මුහුදු තුල ගිල්වමින් සිදුකරන ලද්දේ ද එයයි.එය වර්ධනය සහ සංවර්ධනය සදහා වන ඉපැරනි සූත්‍රයකි.මෙම සූත්‍රය පිලිබද කථාන්දරය පැරනිය.අති පැරනිය.අතිශයින් පැරනිය.අප තවමත් මෙම සූත්‍රය වටා භ්‍රමනය වෙමින් සිටිය යුතු වෙමුද?

දැන් හදිසි කාර්යයක් ලෙස සලකා කැනීම් බලපත්‍ර නිකුත් කිරීම හරහා ඔබට ඩොලර් බිලියන ගනන් දක්වා ව්‍යාප්ත වන වංචාවන් සමග,කැනීම් සමාගම් විසින් ගංගා දූෂනය කර දැමීම් සමග,ප්‍රාන්ත දේශසීමා හාරා දැමීම් සමග,පරිසර පද්ධතීන් කාබාසීනියා කර දැමීම් සමග සහ පාලනයෙන් තොරව පැන නැගෙන සිවිල් යුද්ධ සමග සම්මුඛ වීමට අවස්ථාව සැපයෙනු ඇත.මේ සියල්ල දුගීන්ගේ සිරුරු සහ විනාශ වී ගිය භූමිදර්ශන මතින් ඉපැරනි ශෝකාන්තයක් ලෙස පැන නැගෙනු ඇත.

දාන්තේවාද් හි මාඕවාදීන් දඩයම් කිරීමෙහි යෙදී සිටින හමුදාව 
අග්‍රාමාත්‍යවරයාගේ දේශනයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදී වගකීම් සම්බන්ධ කොටසේදී ඔහු දක්වන පශ්චාත්තාපී ස්වරය මොහොතකට සිහියට නගාගන්න."ප්‍රජාතන්ත්‍රවාදය - විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන - සහ සමාජවාදී යුගයේ උරුමය සත්තකින්ම සංවර්ධනයේ අභියෝගය තීව්‍ර කොට තිබේ".මෙම ප්‍රකාශය හෙතෙම අවතැන් වූවන්ට වන්දි ගෙවීම,රැකියා ලබාදීම හා යලි පදිංචි කරවීම පිලිබද සුවිනීත ලෙස ගොතනු ලැබූ බොරු මගින් ඌන පූරනය කරයි.ඔහු කතාකරන්නේ කුමන වන්දි ගැනද?කුමන යලි පදිංචි කිරීම ගැනද?සෑම පවුලකටම ලැබුනු කවර රැකියා අවස්ථාව පිලිබදවද?(ඉන්දියාවේ වසර හැටක කාර්මිකකරනය විසින් ජනනය කොට තිබෙනුයේ ශ්‍රම බලකායේ 6 % ක් සදහා ප්‍රමානවත් වූ රැකියා අවස්ථාවන් පමනි).අනිවාර්ය ඉඩම් පවරා ගැනීම් සදහා "හේතු දැක්වීම" සම්බන්ධව රජයට පවතින "බැදීම" පිලිබද කථාකරන්නේ නම්,1996 සම්මත කල පංචායත් ( ලැයිස්තුගත කලාප දක්වා දීර්ඝ කිරීමේ ) පනත -Panchayat (Extension to Scheduled Areas) Act - PESA- යටතේ ගෝත්‍රික ජනප්‍රජාවන් ජීවත් වන ඉඩම් අනිවාර්ය පවරා ගැනීමට ලක්කිරීම හා ඒවා පුද්ගලික කැනීම් සමාගම් වල දේපල බවට රූපාන්තරනය කිරීම නීතියට හා ව්‍යවස්ථාවට පටහැනි බව ඕනෑම කැබිනට් අමාත්‍යවරයෙකු අනිවාර්යයෙන්ම දැන සිටිය යුත්තකි.මෙම පනත 1950 ඉන්දීය ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව පැනවූ අවස්ථාවේ සිට ගෝත්‍රික ජන ප්‍රජාවන් සම්බන්ධයෙන් සිදුවුනු ඇතැම් වැරදි සැලකීම් හා අසාධාරනකම් දුරලීම සදහා උත්සාහයක් ලෙස ගෙනෙනු ලැබූ සංශෝධනයකි.මෙම පනත ඒ සමග අනනුකූල වන අන් කවර නීතියක් වුවද අබිබවා බලධාරී වේ.පනතේ තිබෙන්නේ ඒ විදිහටයි. එය ගෝත්‍රික ප්‍රජාවන් සම්බන්ධයෙන් ගැඹුරු වෙමින් තිබෙන ආන්තිකකරනය පිලිගනු ලබන සහ බල තුලනය රැඩිකල් ලෙස ප්‍රතිස්ථාපනය කිරීම අරමුනු කරගනු ලැබූ නීතියකි.නීතියක් වශයෙන් මෙය සුවිශේෂි වන්නේ එය විසින් ප්‍රජාව - සාමූහිකය - නෛතික ඒකකයක් ලෙස පිලිගනිමින් ලැයිස්තුගත කරනු ලැබූ කලාප වල ජීවත් වන ගෝත්‍රික ප්‍රජාවන් වෙත ස්වයං පාලන බලතල සහතික කරන නිසාය.මෙම පනත ප්‍රකාරව ගෝත්‍රික ඉඩම් "අනිවාර්ය පවරා ගැනීමකට ලක්කිරීම" කවර තත්වයක් යටතේ වත් සාධාරනීකරනය කල නොහැක.මේ අනුව උත්ප්‍රාසාත්මක ලෙස ආන්ඩුව ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නිෂ්පල වන ලෙස කටයුතු කරමින් සිටින විට සැබැවින්ම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම වෙනුවෙන් සටන් කරන්නේ "මාඕවාදීන්" යනුවෙන් හදුන්වනු ලබන පිරිසය!(රජය විසින් මෙම මාඕවාදී ගොඩට ඉඩම් පවරා ගැනීමට විරෝධය පාන කවරෙකු වුවද ඇතුලත් කරනු ලබයි)

2008 හා 2009 කාලය ඇතුලත,පංචායත් සභා පිලිබද අමාත්‍යංශය විසින් රට තුල පංචායත් ක්‍රමයේ ප්‍රගතිය සම්බන්ධව සකස් කරන වාර්තාවක් සදහා පරිච්ඡේදයක් සැපයීම උදෙසා පර්යේෂකයන් දෙදෙනෙකු පත් කරන ලදී.අජය දන්ඩේකාර් හා චිත්‍රංගඩා චෞද්රි මෙම පරිච්ඡේදය රචනා කල අතර එහි මාතෘකාව වූයේ "PESA පනත : වාමාංශික අන්තවාදය හා රාජ්‍ය පාලනය - ඉන්දියාවේ ගෝත්‍රික දිස්ත්‍රික්ක ආශ්‍රිත අභියෝග සහ උද්ගතයන්" යන්නයි.පහත දැක්වෙන්නේ වාර්තාවෙන් උපුටා ගනු ලැබූ කොටස් කිහිපයකි.

"1894 මධ්‍යම ඉඩම් පවරා ගැනීමේ පනත අද වනතුරු PESA පනතේ ප්‍රතිපාදන සමග අනුකූල වන පරිදි සංශෝධනය වී නැත.මේ මොහොත වන විට ඉහත යටත්විජිත යුගයේ නීතිය පුද්ගලික හා ප්‍රජා ඉඩම් පුද්ගලික කර්මාන්ත සදහා පවරා ගැනිම සදහා ඉතාමත් පලල් ලෙස අයුතු ලෙස භාවිතා කෙරී තිබේ.බොහෝ අවස්ථාවන්හිදී ප්‍රාන්ත රජයන් පුරුදු වී සිටිනුයේ පලමුව මහා පරිමාන සමාගම් සමග අවබෝධතා ගිවිසුම් වලට එලැඹ ඉක්බිති ඉඩම් පවරා ගැනීමේ පනත යටතේ රාජ්‍ය ව්‍යවසායන් වෙනුවෙන් ඉඩම් අත්පත් කර ගැනීමයි.ඉන්පසු ඉතාම පහසුවෙන් එලෙස පවරා ගත් ඉඩම් පුද්ගලික සමාගම් වෙත බදු දෙනු ලැබේ.මෙමගින් පනතෙහි දක්වා තිබෙන "ඉඩම් පවරා ගත හැක්කේ මහජන අරමුනක් සදහාය" යන ප්‍රතිපාදනය මුලුමනින්ම හා පහසුවෙන් මග හරිනු ලැබේ.

පංචායත් සභා විසින් නිසි උපචාරයන් අනුගමනය කරමින් අනුමත කරගන්නා ලද වි‍රෝධය දැක්වීමේ ප්‍රඥප්තීන් යට ගැසීම හෝ ඒ වෙනුවට ව්‍යාජ ලේඛන ආදේශ කිරීම පිලිබද ඇතැම් සිද්ධීන්ද අපට වාර්තා විය.මෙහි ඇති බරපතලම කරුන වනුයේ රජය විසින් ඒවාට වගකිව යුතු නිලධාරීන් සම්බන්ධව කිසිදු පියවරක් අනුගමනය කිරීමට මෙතෙක් සමත්ව නොතිබීමයි.පනිවුඩය කිසිදු සැකයකට ඉඩ නොතබන තරමට පැහැදිලිය.මෙබදු ගනුදෙනු පසුපස සෑම මට්ටමකදීම කුමන්ත්‍රන හා රහසිගත එකගතා බලපවත්වයි.

ලැයිස්තුගත කලාප වල පවතින ගෝත්‍රික ඉඩම් මේ සෑම ප්‍රාන්තයකදීම ගෝත්‍රික නොවන පිරිස් වෙත පැවරීම නීති විරෝධී වේ.නමුත් පශ්චාත් ලිබරල්කරන යුගය තුල එබදු ඉඩම් හුවමාරු කිරීම සිදුවනවා පමනක් නොව එසේ සිදුවීම මෙම යුගය තුල වඩාත් ස්ථාවරභාවයක්ද අත්පත් කරගෙන ඇත"

සිය වාර්තාව සමාලෝචනය කරමින් ලේඛක‍යෝ මෙසේ කියති.

"ප්‍රාන්ත ආන්ඩු සහ කර්මාන්ත ආයතන අතර අත්සන් කරනු ලැබූ ගිවිසුම්,වහාම මහජන අවකාශයක් තුල යලි විමසා බැලිය යුතු වන අතර,පංචායත් ග්‍රාම සභාවන් එම විමර්ශනයේ සක්‍රීය කොටස්කරුවන් බවට පත්කරගත යුතුය"

මෙහිදී කැනීම් සම්බන්ධව අත්සන් කල අවබෝධතා ගිවිසුම් යලි සලකා බැලිය යුතු බවට ඉල්ලා සිටිනුයේ - කරදරකාරි සමාජ ක්‍රියාකාරීන් හෝ මාඕවාදීන් හෝ නොව රජයේම වාර්තාවකි.රජය මෙම ලියවිල්ල සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය කුමක්ද?ඊට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?2010 අප්‍රේල් 24 දින නිල උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මෙම වාර්තාව ප්‍රසිද්ධියට පත් කලේය.කෙතරම් අව්‍යාජ පියවරක්ද.ඔබ සිතනු ඇත.නමුත් අවාසනාවකට මෙන් ප්‍රසිද්ධියට පත්කල වාර්තාවෙහි උක්ත පරිච්ඡේදය අන්තර්ගත නොවීය.එය හැලී ගොස් තිබුනි.

අඩ සියවසකට පෙර,තමා මරා දැමීමට වසරකට ‍ප්‍රථම චේ ගෙවාරා මෙසේ ලිවීය."පීඩක බලවේග තමා විසින්ම ස්ථාපනය කරනු ලැබූ නීති අබිබවා ඒවා කඩ කරමින් බලය අභ්‍යාස කරන විට,සාමය එනයින්ම කඩ වී තිබෙන බවට සැලකිය යුතුය"

සැබැවින්ම එය එසේ විය යුතුය.මන්මෝහන් සිං පාර්ලිමේන්තුවේදී මෙසේ පැවසීය."ඛනිජ සම්පතින් අනූන ස්වභාවික සම්පත් සහිත ප්‍රදේශයන්හි වාමාංශික අන්තවාදය ව්‍යාප්ත වීම තවදුරටත් සිදු වේ නම් ආයෝජන සදහා වූ පරිසරය නිසැක වශයෙන්ම බිද වැටෙනු ඇත".මෙය වක්‍රොක්තිය භාවිතා කරමින් යුද ප්‍රකාශ කිරීමකි.

( මෙහිදී මදක් මාතෘකාවෙන් පිට පැනීමට මට අවසර දෙන්න.සික් ජාතිකයන් දෙදෙනෙකු පිලිබද කුඩා පුවතක් මෙහිදී මා මතකයට නැගේ.බ්‍රිතාන්‍ය පාලකයන් විසින් 1931 දී එල්ලා මරා දැමීමට පෙර පන්ජාබයේ ආන්ඩුකාරවරයා වෙත සිය අවසන් පෙත්සම ලියමින් පසුව ජනාදරයට පත් වූ සික් ජාතික විප්ලවවාදයෙකු හා මාක්ස්වාදියෙකු වූ භගත් සිං මෙසේ පැවසීය."ඉන්දීය ජනතාව හා එහි ස්වභාවික සම්පත් අතලොස්සක් වූ පරපෝෂිතයන් විසින් සූරා කනු ලබන තාක් දුරට යුදමය තත්වයක් පවතින බව අපි ප්‍රකාශ කරමු.මෙම සූරාකන්නන් පිරිසිදු බ්‍රිතාන්‍ය ධනපතීන් වුවද,ඉන්දීය හා බ්‍රිතාන්‍ය මිශ්‍ර ධනපතීන් වුවද අඩුම තරමින් ඔවුන් පූර්න ඉන්දියානුවන් වුවද තත්වයෙහි වෙනසක් සිදු නොවනු ඇත)

මේ කැනීම් කුමක් සදහාද? ඇලුමිනියම් සදහාද?
වෙනත් රටවල අවි කර්මාන්තය සදහාද?
ඉන්දියාවේ පැන නැගී තිබෙන බොහෝ අරගල දෙස ඔබ සැලකිල්ලෙන් යුතුව අවධානය යොමු කල හොත් ජනතාව විසින් ඉල්ලා සිටිනුයේ සිය ව්‍යවස්ථානුකූල අයිතීන් මිස අන් කිසිවක් නොවන බව ඔබට පෙනී යනු ඇත.නමුත් අපගේ ප්‍රජාතන්ත්‍රවාදයට අදාල නෛතික හා සදාචාරාත්මක රාමුව සකස් කරන ව්‍යවස්ථාව ගරු කිරීම තවදුරටත් අවශ්‍ය වූවක් ලෙස ඉන්දීය රජය කල්පනා නොකරනවා වැන්න.ඒ වෙනුවට මෙම ව්‍යවස්ථාව භාවිතා කෙරෙමින් තිබෙනුයේ මහජන යහපත නම් නාමයට මුවා වි රජය විසින් තමාගේම ජනතාවට එරෙහිව දියත් කොට තිබෙන ප්‍ර‍චන්ඩ ප්‍රවාහය ඉදිරියේ ඊට අවනත නොවී එයට එරෙහිව විරෝධය දක්වන ජනතාවට පහර දීම සදහා වූ යකඩ මුගුරක් ලෙසිනි.රාජ්‍යයේ සහ විශාල සමාගම් වල ආරක්ෂාව සදහා එම මුගුර වනමින්  බී.ජී.වර්ගීස් Outlook සගරාවට මැයි මස 3 දින ලිපියක් සපයමින් මෙසේ පවසා තිබුනි."මාඕවාදීන් දිය වි යනු ඇත.කෙතරම් කලක් ගත වුනත් ඒ සදහා කෙතරම් වේදනාවක් විදීමට සිදු වූවත් අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදී ඉන්දියාව සහ එහි ව්‍යවස්ථාව ජයග්‍රාහී වනු ඇත".

මෙම ලිපියට අසාද් මෙසේ ප්‍රතිචාර දැක්වීය.

අසාද්ගේ මෙම ප්‍රතිචාරය ඔහු මරා දැමීමට පෙර ඔහු විසින් ලියනු ලැබූ අවසාන ලියවිල්ල වූයේය.

"ඔබගේ ව්‍යවස්ථාව ජයග්‍රාහීව වැජඹෙනුයේ ඉන්දියාවේ කවර ප්‍රාන්තයකද,වර්ගීස් මහත්මයානෙනි?දාන්තේවාද්හි,බිජාපූර්හි,කන්කර්හි,නාරායන්පූර්හි?නැතිනම් ජාර්කන්දයේ හෝ ඔරිස්සාවේ?ලාල්ගාර්හි?ජන්ගල්මහාල්හි?කාශ්මීර නිම්නයේ?මනිපූර්හි?දහස් ගනන් සික් ජාතිකයන් සමූලඝාතනය වන විට,දහස් ගනන් මුස්ලිම් ජාතිකයන් වල දැමෙන විට පසුගිය වසර 25 පුරා ඔබගේ ව්‍යවස්ථාව සැගවී සිටියේ කොහිද?ලක්ෂ ගනන් ගොවීන්ට සිය දිවි නසා ගැනීම සදහා බල කෙරෙන විට,දහස් ගනන් ජනයා රජය විසින් අනුග්‍රහ දක්වන සල්වා ජුදුම් අනු හමුදාව විසින් මරා දමන විට එම ව්‍යවස්ථාව හැංගී සිටියේ කොහේද?ආදිවාසී කාන්තාවන් සමූහ වශයෙන් දූෂනය කෙරෙන විට?මිනිසුන් නිල ඇදුම් හැදගත් මැර කන්ඩායම් විසින් පැහැර ගෙන යන විට?සැබැවින්ම ඉන්දියාවේ අති බහුතරයක් ජනයාට ඔබගේ ව්‍යවස්ථාව වූ කලී වැසිකිලි කඩදාසියක් තරම් වත් නොවටිනා අර්ථ ශුන්‍ය ලියැවිල්ලකි"

අසාද් මරා දැමුනු විට,ඇතැම් මාධ්‍ය ආයතන එම අපරාධය සාධාරනීකරනය කිරීම සදහා ලැජ්ජා විරහිත ලෙස අසාද් ඉහත ලියවිල්ලේ කල ප්‍රකාශය,එනම් ඉන්දීය ව්‍යවස්ථාව වැසිකිලි කඩදාසියක් තරම්වත් නොවටී යන්න සන්දර්භයෙන් උගුලුවා ගෙන නැවත නැවත උපුටා දැක්වූහ.

රජය ව්‍යවස්ථාව ගරු නොකරන්නේ නම් අපට විකල්පයක් ලෙස ව්‍යවස්ථාවේ පූර්විකාව සංශෝධනය කල හැක."ඉන්දියාවේ ජනතාව වන අපි,ඉන්දියාව ස්වාධීන,සමාජවාදී,ඓහික,ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් ලෙස පවත්වාගෙන යාමට බැදී සිටිමු" යන්න පහත පරිදි වෙනස් කල හැක."ඉන්දියාවේ ඉහල කුල හා පංති වලට අයත් ජනතාව වන අපි,ඉන්දියාව සමාගම්වාදී,හින්දු,සැටලයිට් රාජ්‍යයක් ලෙස පවත්වා ගැනීමට බැදී සිටිමු"

***

ම්බද ඉන්දියාවේ,නිශ්චිතව ගෝත්‍රික වාසභූමි පුරා පැනනැගී තිබෙන කැරලිකාරී වාතාවරනය ඉන්දීය රාජ්‍යයට පමනක් නොව ඕනෑම විරෝධය පෑමේ ව්‍යාපාරයක් වෙත රැඩිකල් අභියෝග සමූහයක් ඉදිරිපත් කොට තිබේ.එය ප්‍රගතිය,සංවර්ධනය පමනක් නොව ශිෂ්ටාචාරය පිලිබද පවා වන සම්මත හා පිලිගත් අදහස් වල වලංගුභාවය ප්‍රශ්න කිරීමට ලක් කොට ඇත.එය විරෝධය පෑමේ අරගලයන්හි ආචාර ධාර්මික වටිනාකම් මෙන්ම එකී අරගලයන් තුල භාවිතා වන විවිධාකාර උපක්‍රමවල කාර්යක්ෂමතාවයද ප්‍රශ්න කරනු ලබයි.සැබෑය.මේ ප්‍රශ්නය මීට පෙරද ඉදිරිපත්ව තිබේ.වසරින් වසර,සිය ගනනක් වූ විවිධ ආකාර වලින් - චත්තිස්ගර්හි මුක්ති මෝර්චා ව්‍යාපාරය,ගාන්ධමර්ධන් උද්ඝෝෂන හා අනෙකුත් සිය ගනනක් වූ මහජන ව්‍යාපාරයන් හරහා නැවත නැවතත් සාමකාමී ලෙස මෙම ප්‍රශ්නය මතු කෙරී ඇත.එය වඩාත් ඒත්තු යන සුලු ලෙස සහ වඩාත් පැහැදිලි ලෙස නර්මදා නිම්නයේ වේලි විරෝධී ව්‍යාපාරය මගින් මතු කරන ලදී.ඉන්දීය රජය මීට දක්වා තිබෙන එකම ප්‍රතිචාරය වී තිබෙනුයේ මර්ධනය,නොසලකා හැරීම සහ බුම්මා ගත් නිශ්ශබ්දතාවය පමනි.එම ප්‍රතිචාරය සාමාන්‍ය මිනිසුන් කෙරෙහි වන ඛේදජනක නිග්‍රහාත්මක ආකල්පයක් තුලින් පැන නැගුනකි.ඊටත් වඩා එම ප්‍රතිචාරය විසින් අවතැන්වීමේ හා සන්තකය අහිමි වීමේ ක්‍රියාවලිය කෙතරම් දුරට වේගවත් කොට තිබේද සහ ඉදිරියට තල්ලු කොට තිබේද යත් මහජන ප්‍රකෝපය පාලනය කල නොහැකි මට්ටමට ඉහල නැගීම එහි ප්‍රතිඵලය වී තිබේ.අද ලෝකයේ ඉතාමත්ම දිලිදු ජනතාවක් ලොව වඩාත්ම ධනවත් හා ඉසුරුමත් සමාගම් සමූහයක ගමන පමා කිරීමට සමත්ව සිටිති.එය දැවැන්ත ජයග්‍රහනයකි.

කැරලි ගසා නැගී සිටි සියල්ලෝ මෙම දේශය හදිසි හා අන්තරාදායක තත්වයකට වැටී තිබෙන බව මනා කොට දැන සිටිති.වචනයෙන්,ක්‍රියාවෙන් පමනක් නොව සිතිවිල්ලෙන් පවා පලවන ඕනෑම ආකාරයක විරෝධය පෑමක් අපරාධයක් ලෙස ප්‍රකාශයට පත් කෙරෙන නීති විරෝධි කටයුතු වැලැක්විමේ පනත හා චත්තිස්ගර් විශේෂ මහජන ආරක්ෂක පනත වැනි නීති මගින් කාශ්මීරයේ,නාගලන්ත‍යේ හා ඇසෑම‍යේ ජනතාවගේ මෙන්ම තමාගේද සිවිල් අයිතීන් තමාගෙන් උදුරා ගෙන තිබෙන බව ඔවුහු මනා ලෙස දනිති.

හදිසි නීතිය බල පැවැත්වූ අදුරු යුගයේ පවා මහජනයාට යුක්තිය පිලිබද සිහින දැකීමට හා සිය විදවීම් අබිබවා නැගී සිටීම පිලිබද සිහින දැකීමට අවසර තිබුනි.1975 ජූනි 25 දින මධ්‍යම රාත්‍රියේ ඉන්දිරා ගාන්ධි විසින් හදිසි නිතිය ප්‍රකාශයට පත් කල විට ඇය එය සිදු කලේ මතු වෙමින් තිබූ ලදරු විප්ලවය චප්ප කර දැමීමටය.බෙංගාලයේ නැක්සලයිට් නැගිටීම අඩු වැඩි වශයෙන් මුලිනුපුටා දමා තිබුනි.නමුත් ඒ මොහොතේ මිලියන සංඛ්‍යාත ජනයා සම්පූර්න විප්ලවයක් පිලිබද ජය ප්‍රකාශ් නාරායන්ගේ සටන් පාඨය වටා ඒකරාශි වෙමින් සිටියහ.මේ සියලු කලහකාරී උද්ගතයන්හි කේන්ද්‍රය ලෙස පැවතියේ ඉඩම් පිලිබද ඉල්ලීමය.( ඒ කාලයේ පවා - අද මෙන්ම - ව්‍යවස්ථාවේ මූලික නියාමනයක් වන ඉඩම් ප්‍රතිව්‍යාප්තිය බලාත්මක කරන ලෙස ඉල්ලා සිටීම සදහා විප්ලවයක් අවශ්‍ය වූයේය)

අවුරුදු තිස් පහකට පසු,අද වනවිට,බොහෝ දේ නාටකීය ලෙස වෙනස් වී තිබේ.යුක්තිය නමැති ඒ ශ්‍රේෂ්ඨ,සුන්දර අදහස මානව අයිතිවාසිකම් නමැති අර්ථය දක්වා පටු වී ඇත.සමානත්මතාවය හුදෙක් යුටෝපියානු ෆැන්ටසියක් බවට පත්ව තිබේ.දුගීන් බිත්තියට හේත්තු කරනු ලැබ තිබේ.ඉඩම් අහිමි දුගීන් වෙනුවෙන් අලුතින් ඉඩම් ලබාගැනීම උදෙසා සටන් කිරීමේ සිට හුදෙක් එම ජනයාට ඉතුරු වී තිබෙන දේ ආරක්ෂා කරගැනීමේ අයිතිය වෙනුවෙන් සටන් කරන තැනට මාරු වීමට විප්ලවකාරී පක්ෂ සහ විරෝධය පෑමේ ව්‍යාපාරයන්ට සිදුව ඇත.සිදුවෙමින් තිබෙන එකම ඉඩම් ප්‍රතිව්‍යාප්තිය ලෙස පෙනෙන්නට තිබෙන්නේ විශේෂ ආර්ථික කලාප යන නාමයට මුවාවී සිදුකෙරෙන දුගීන්ගේ ඉඩම් පැහැර ගනු ලැබ ධනවතුන්ට පවරා දෙන ලැබෙන ක්‍රියාවලියයි.ඉඩම් අහිමි වූවන් ( ඔවුන්ගෙන් බහුතරය දාලිත්වරු වෙති),විරැකියාවෙන් පෙලෙන්නන්,මුඩුක්කු වාසීන් සහ නාගරික වැඩකරන පංතික ජනයා අඩු වැඩි වශයෙන් නොසලකා හැරීමට ලක්ව ඇත.බටහිර බෙංගාලයේ ලාල්ගාර්හ් වැනි ප්‍රදේශවල දී ජනයා පොලිසියෙන් හා ආන්ඩුවෙන් ඉල්ලා සිටින්නේ හුදෙක් තමාගේ පාඩුවේ ඉන්නට ඉඩ හරින ලෙස පමනි.පොලිස් කෲරත්වයට එරෙහි ජනතා කමිටුව නම් ආදිවාසී සංවිධානය ආරම්භ වූයේ එක් සරල ඉල්ලීමකිනි.එනම් පොලිස් අධිකාරීවරයා ලාල්ගාර්හ් වෙත පැමින ඔහුගේ පොලිස් භටයන් විසින් එහි ගම් වැසියන්ට සිදුකල තාඩන පීඩන සම්බන්ධව සමාව ආයාචනා කල යුතු බවට වූ ඉල්ලීමෙනි.මෙම ඉල්ලීම විකාර එකක් ලෙස සලකා බැහැර කෙරින.( රජයේ නිලධාරියෙකු තමාගෙන් සමාව ගනු ඇතැයි අර්ධ නිර්වස්ත්‍ර මිලේච්ඡයන් සමූහයක් අපේක්ෂා කරන්නේ කෙසේද?) මේ නිසා ජනයා සිය ගම් බැරැක්ක බවට පත් කරගත් අතර පොලිසියට ඇතුලු වීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කලහ.පොලිසිය ඊට ප්‍රචන්ඩ ලෙස ප්‍රතික්‍රියා දැක්වීය.ජනයා එම ප්‍රචන්ඩත්වය වියරු ලෙස පිලිගත්හ.දැන්,වසර දෙකක් ගෙවී අවසන් වූ තැන,සාහසික ස්ත්‍රී දූෂන,ඝාතන හා ව්‍යාජ වැටලීම් සමූහයකට පසු මේ සියල්ල යුද්ධය තුල ගිලී ගොස් තිබේ.ඉහත සංවිධානය තහනම් කොට තිබෙන අතර එය මාඕවාදී අතකොලුවක් ලෙස හංවඩු ගසා තිබේ.එහි නායකයන් එක්කෝ සිරගත කොට ඇත.නැතිනම් මරා දමා ඇත.( ඔරිස්සාවේ  නාරායන්පට්නා හි චාසි මුල්යා ආදිවාසී සංග් හා ජාර්ක්ලන්ද් හි විස්තප්පෙන් විරෝධී එක්තා මන්ඩ් යන සංවිධාන ද සමාන ඉරනමකට මුහුන දුන්නේය)

එක්තරා යුගයක යුක්තිය හා සමානත්මතාවය ගැන සිහින මැවූ ජනතාවක්,වගා කරන්නා වෙත ඉඩම් ඉල්ලා සිටීමට තරම් නිර්භීත වූ ජනතාවක්,අද වනවිට පත්ව ඇත්තේ හුදෙක් පොලිස් පහර දීම් හා දාමරිකකම් සම්බන්ධයෙන් සමාව ඉල්ලා සටන් කරන්නට සිදුව තිබෙන තත්වයකටය.සංවර්ධනය කියන්නේ මේකටද ?

( අප විසින් පරිවර්තනය කරන ලද කොටස මින් අවසන් වේ. සම්පූර්න ලිපිය වෙත මෙම සබැදිය ඔස්සේ පිවිසිය හැක )

12 comments:

  1. ඔයාගේ ජාතියේම නෝන කෙන්ගේ ලිපියක් පරිවර්ථනය කරලා තියෙන්නේ .

    එක දෙයක් විතරක් කියන්නම් . මන් මෝහන් ලා එදා ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙනල්ලා , නැව දකුණට හැරෙව්වේ නැත්නම් . අරුන්දති නෝනලට කථා කරන්න වෙන්නේ ඔයිට වඩා බොහොම කණගාටුදායක ඉන්දියාවක් ගැන .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බුවා. ඒත් ප්‍රශ්නය දැන් ගොඩනැගිලා තිබෙන "සතුටුදායක" ඉන්දියාව සතුටුදායක කාටද කියන එක නේද?ආර්ථික වර්ධනය වැඩි වෙලා.ඒත් සමාජ විෂමතාවය තවත් උග්‍ර වෙලා.රෝයි මේ කථා කරන දහස් සංඛ්‍යාත පදික වේදිකාවාසීන්ට,පැල්පත්වාසීන්ට,ගොවීන්ට,ආදිවාසීන්ට එදා ඉන්දියාවයි අද ඉන්දියාවයි කියල එතරම් වෙනසක් නැහැ නේද?

      Delete
    2. ඔය කුලකය එදත් ඉන්දියාවේ හිටියා . ඇත්තටම කිව්වොත් අනුව දශකයේ මුල වෙන කොට තිබුන දරිද්‍රතාවය මේ වෙනකොට අඩුවෙලා , ඒක පුද්ගල ආදායම් , මානව සංවර්ධන දර්ශකය වගේ දේවල් ඉහල ගිහින් තියනවා . ඒ ප්‍රමාණය නිදහසේ ඉඳන් 90 වෙනකන් ලබාගත්ත ප්‍රමාණයට වඩා බොහොම වැඩියි . ඉන්දියාවේ තියන ප්‍රශ්න සම්පූර්ණයෙන් විසඳන්න ලේසි නෑ , නමුත් ඒවා බොහොමයක පදනම දූෂණය , කුලබේදය මිත්‍යා විශ්වාස වගේ දේවල් මිසක් ආර්ථික ලිබරල් කරණය නෙවෙයි . ඔබ අහල ඇති ලෝකේ වේගයෙන්ම වර්ධන වෙන මධ්‍යම පන්තියක් ඉන්දියාවේ තියනවා කියලා , ඒ අරුන්දතී රෝයිලා හාස්‍යට ලක් කරන "පහලට කාන්දු වීම " යම් පමණකින් හෝ ඉන්දියානු දරිද්‍රතාවය තුරන් කරමින් ඉන්න බවට සාධකයක් .එක් පිරිසක් ධනවත් වීල පිලිබඳ ඉරිසියා නොකර , ලාබ ශ්‍රමය හොයාගෙන එන ව්‍යාපාරිකයින්ට අවුරුදු ගණන් ගත නොවී ව්‍යාපාර ඉදිකරගන්න (රැකියා අවස්ථා ඉක්මනින් උත්පාදනය කරගන්න ) , අවශ්‍ය කරන දූෂණයෙන් තොර කාර්යක්ෂම පරිපාලනයක් වෙනුවෙන් , කුල බේදය , ස්ත්‍රිත්වය පදනම් කරගෙන සිදුවෙන වෙනස්කොට සැලාකීම් ඉවත් කිරීම වෙනුවෙන් පෙනි සිටිනවා නම් අරුන්දතී නෝනලාට වඩා යහපත් ඉන්දියාවක් දැක ගන්න ලැබෙයි

      Delete
    3. අරුන්දතී රෝයි මතු කරන එක නිශ්චිත ප්‍රශ්නයක් අරගමු.ආදිවාසී ජනතාව ජීවත් වන ප්‍රදේශ විශාල සමාගම් වලට රජය බදු දෙනවා.එතනදී අර ජනතාව ලක්ෂ ගනනින් අනාථ වෙනවා.ඉන්දියාවේ ආදිවාසී ප්‍රදේශවල විශාල සන්නද්ධ අරගලයක් මේ වනවිට මතුවෙලා තිබෙන්නේ මේ නිසා.දැන් මේ "සංවර්ධනය" කතුරක තල දෙක වගේ දෙපැත්තට ක්‍රියා කරන හැටි පැහැදිලියි නේද? ආර්ථික ලිබරල්කරනය සමාගමට වාසිදායක උනාට එහි ආවස්ථික පිරිවැය තමයි ලක්ෂ ගනනක් මිනිස්සු අනාථ වීම සහ අවතැන් වීම.ඒ අසහනයට පාත්‍ර වන අය වි‍රෝධතා දක්වද්දී රජය රාජ්‍ය බලය යොදාගෙන ඒ විරෝධතා මැඩලනවා."සංවර්ධනයේ" ප්‍රතිලාභ සමාජයේ එක් කන්ඩායමක් අත සංකේන්ද්‍රනය වීමයි නව ලිබරල් ආකෘතියේ ඇති ගැටලුව.එතනදී සංවර්ධනය කියන සංකල්පය තුලින් "සාධාරනත්වය" කියන සංරචකය හැලී ගිහින්.සමාජ සාධාරනත්වය රහිත සංවර්ධනය සැබෑ සංවර්ධනයක්ද? මේක තමයි ඉන්දීය සමාජ විවේචකයින් මතුකරන අදහස.මේක කුලභේදය,දූෂනයට එහා ගිය සංවර්ධන මොඩලයේ ස්වභාවය ගැන ප්‍රශ්නයක්.මේ අදහස් මත ඔබ දරන ස්ථාවරය වෙනස් කරගනීවි කියා මා සිතන්නේ නැහැ.ඒත් මේක ලීවේ ඔබ අවධානයට ලක් නොකරන වෙනත් පැතිකඩක් මේ ප්‍රශ්නය තුල තිබෙන බව කීමටයි.

      Delete
    4. ඔය කියන ප්‍රශ්නයම ගමු. ඔතනත් ගැටලුවේ ආරම්භය තියෙන්නේ කුල ගෝත්‍ර වශයෙන් බෙදා වෙන් වීම මත . ඔය ආදීවාසින් වශයෙන් හැඳින්වෙන කුඩා ගෝත්‍ර අඩු වරප්‍රසාදලත් කොට්ටාශයක් වශයෙන් සැලකීම ඉන්දියාවට ආවේණික ඓතිහාසික ප්‍රශ්නයක් මිසක් ලිබරල් කරණයේ ප්‍රශ්නයක් නෙවෙයි . දෙවැන්න පරිපාලනයේ තියන දූෂිත අකාර්යක්ෂම භාවය . යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉඩ කඩම් සපයා ගැනීමට සමාගමක් මුදල් වැය කල යුතුයි , ඉඩම් හිමිකරුවන්ට යා යුතු මුදල් දේශපාලකයින්ගේ සාක්කු වලට ගිහින් අර මිනිස්සුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමත් ඉන්දියාවට ආවේණික ප්‍රශ්නයක් මිසක් ලිබරල් කරණයේ වරදක් නෙවෙයි. ඉන්දියාව තමන්ට් ආවේණික මේ ප්‍රශ්න විසඳ ගන්න අවශ්‍යයි ,නමුත් ඒ සියලු සමාජ විශමතාවයන් අවසන් වෙනතෙක් බලා නොසිට ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වලට යෑමේ වාසිය , ක්‍රම ක්‍රමයෙන් සුලු පිරිසක් හෝ නරා වලෙන් ගොඩ ආපු නිසා . දූෂිත දේශපාලකයින් සහ නිලධාරින් වෙනස් වෙලා අංග සම්පූර්ණ ක්‍රමයක් වෙනුවෙන් තවත් දශක ගණනාවක් සමස්ථ ජනගහණයම වලේ සිටිනවාද , හැකි පමණින් පිරිසක් හෝ ගොඩ එනවාද කියන වෙනසයි මම ඔතන දකින්නේ

      Delete
    5. මෙතැනදී ඉඩම් බලහත්කාරයෙන් මිස වෙන විදිහකට අත්පත් කරගන්න බැහැ බුවා.ඒ ජනතාව ජීවත් වන ප්‍රදේශ ඛනිජ සම්පත් වලින් පිරුනු ප්‍රදේශ.රජය ඒ ඉඩම් පවරා ගෙන සමාගම් වලට බදු දීමයි කරන්නේ.මෙය නිලධාරීන්ගේ දූෂනය ගැන ප්‍රශ්නයක් නොව ගැටෙන සුලු අවශ්‍යතා වලදී ප්‍( සමාගම්වල ලාභය සහ ප්‍රජාවගේ ජීවත්වීමේ අයිතිය) රමුඛතාවය ලැබී තිබෙන්නේ කුමකට ද කියන එක පිලිබද ප්‍රශ්නයක්.සංවර්ධනය තමයි.හැබැයි ඒ සංවර්ධනයට කාටද?කාගේද? මේ තත්වය දැන් සිවිල් යුද්ධයක් දක්වා දිග්ගැසසිමෙන්ම මේ ක්‍රමවේදයේ තිබෙන ගැටලුව පෙනෙනවා.

      Delete
  2. නියම ලිපියක්.
    ඔක තම සවර්දනයේ මිත්‍යාව.
    කරුමේ කියන්නේ ලකාවේත් ඔය සවර්දන නාටකය රගදෑක්වෙමින් තියනකොට,ඔය කියන සවර්දනයේ ප්‍රතිලාබ නිසා ජීවත් වෙන්න වත් බෑරි තරමට පීඩනය උග්‍ර වෙලා ඉන්නකොටත්,ව්‍යාජ සවර්දනයේ බොරුව අපි වඩාත් හොදින් අත්විදිනකොටත් බුවාල වගේ බුද්දිමත් ජනතාව ඉන්දියාව රගදෑක්වේන ලකාවේ සවර්දන මෙගා ටෙලියේ ඉන්දියන් මෙගාවට රෑවටී හුරේ දමමින් මෝඩ ජෝක් වේන හෑටිය.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙයි ඉන්දියාවෙයි තියෙන්නේ ආකාර දෙකක ප්‍රශ්න . කොහොම වුනත් මගේ තර්කය ඉන්දියානු සංවර්ධනය අති සාර්ථකයි කියන එක නෙවෙයි . ලිබරල් ආර්ථික මාවත තෝරා ගැනීම නිවැරදියි කියන එක පමණයි

      Delete
    2. නැහැ. ලංකාවේ හා ඉන්දියාවේ ඇත්තේ එක ප්‍රශ්න. එනම් ඇති නැති පරතරය එන්නම වැඩි වෙමින් දුගී බවේ රේඛාවෙන් පහලට වැටෙන ප්‍රමාණය වැඩි වීමයි. ඒ අතර ‍තෝරාගත් යම් පිරිස් වරප්‍රසාද ලබනවා.

      පරිවාරයේ සිට ක්‍රමය ආරක්ෂා කිරීමට උත්සහ කරන්නේ එම වරප්‍රසාද ලාහින්ද ?

      අනික් අතට බුවා බඳු අයගේ ඛේදවාචකය ඔහුගේ කොමෙන්‍ටුවේම තියෙනවා. ඔහු කියන්නේ යම් පමනකින් හෝ දිලිඳු බව තුරන් කිරීමක් ගැනයි. කොපමනකින්ද ඔහුට කිව හැකිද?

      Delete
    3. ඉන්දියාවේ තරමට දරිද්‍රතාවය ලංකාවට ප්‍රශ්නයක් වෙල නෑ , ඇති නැති පරතරය , සමාජ සංවර්ධන දර්ශකය ආදිය සැලකුවත් ලංකාව සහ ඉන්දියාව ඉන්නෙ තැන් දෙකක . විශාල වෙලඳ පොලක් තියන දැවැන්ත රටකුයි , කුඩා දිවයිනකටයි තියෙන්නෙ එකම ප්‍රශ්න කියල පෙන්නේ තමන් ගේ හීන ලොකේ අස්සට හැම මගුලම ඔබන්න යන වයර් මාරු සමාජවාදියොන්ට විතරයි . ඉන්දියාවේ විවෘත ආර්ථිකය ආරම්භ කරපු දවසේ ඉඳන් අද වෙන කන් දරිද්‍රතාවය ප්‍රතිශතයක් විදිහට අඩු වීමක් මිසක් වැඩි වෙලා නෑ , එක්සත් ජාතින්ගේ පුරෝකථනයන් අනුව ඉදිරියට තවත් අඩුවීමට නියමිතයි . මේකට කාලයක් ගතවෙනවා , සාක්ෂරතාවය අඩු , පවුල් සැලසුම් ක්‍රම ක්‍රියාත්මක නොවෙන රටක් දඩස් ගාල දරුද්‍රතාවයෙන් ගොඩ ගන්න බෑ , ඉන්දියාවේ දුප්පත් මිනිස්සු එකා දෙන්නා හරි ඒ කෙන් ගොඩ එන්නේ ඔය සමාජවාදීන් ඉරිසියා කරන ධනපතියන්ගේ ආයෝජන , ලාබ ශ්‍රමය වෙනුවෙන් , වෙලඳ පොල වෙනුවෙන් ආපු ආයෝජන නිසා , ඒ අවස්ථාව නැතුව හිටියා නම් අම්බානිලා , රතන් ටාටල විතරක් නෙවෙයි ඒ මිනිස්සු උපද්දපු රැකියාවල් නිසා නරාවලෙන් ගොඩ ආපු ලක්ෂ ගාණක් මිනිස්සුත් අද ඉන්න තැන නෑ . හීන ලෝක වල ඉදන් සල්ලි තියන එකාට ඉරිසියා නොකර මහ පොලොවට එනවා , අරුන්දති රෝයිලගේ මඤ්ඤ්ං විතරක් නෙවෙයි , විවෘත ආර්ථිකයට කලින් ඉන්දියාව සහ නූතන ඉන්දියාව සංසන්දනය කරල අනික් මිනිස්සු ලියපු දේවලුත් කියවල බලනවා , නැත්නම් හැමදාම වරප්‍රසාද ලබපු පන්තියක් ගැන කියව කියව හුල්ලන්න විතරයි වෙන්නේ

      මම ධනවාදය ආරක්ෂා කරනවා තමයි , මොකද අන්තර්ජාලෙට ඇවිත් මෙහෙම මගේ අදහස් කියන්න ප්ලැට්ෆොර්ම් එකක් හැදුනේ වගේම , සාමාන්‍ය පවුලක මනුස්සයෙක් වෙච්ච මට දරාගන්න පුලුවන් මිලකට අන්තර්ජාල පහසුකම් ලැබිලා තියෙන්නේත් , ධනවාදී ක්‍රමය නිසාවෙන් හින්ද , අනිත් අතින් ඔහෙලගේ සමාජ වාදී උතුරු කොරියාවේ ජනතාව වගේ සුප්‍රිම් ලිඩර්ලට වැදගෙන , දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න මගේ කැමැත්තක් නැති නිසා

      Delete
  3. Rama,

    I have a suggestion.

    I earnestly believe that these type of articles should be read by the people who have unlimited access to internet (or in similar capacity) like people who comment frequently ,along with the people who even dispossess a mobile phone, the grass roots of very remote areas of (sri) Lanka.Otherwise your stark effort on reading, translating and publishing effort of classic articles is not given its deserved attention by the mass public. Personally I have the same stance towards Ajith's W3 lanka ,too.

    Printing media is one of the options we still have to bring forward these types of articles to a massive reading crowd.

    I could remember once the SSA published one of Arundathi's article 'The end of Imagination' in Singhalese on India's nuclear weapon testing.

    I am not too pessimistic to think that there are less people to give you a hand if you have a will to do so.

    Thanks.

    Clement Peris
    Calgary
    MT time 5.39 pm





    ReplyDelete
    Replies
    1. Thank you Clement! I also have the idea of publishing these and currently I'm working n that. Thanx again for your suggestion !

      Delete