Sunday, March 31, 2013

මිහිතලය පරිභෝජනයට සුදුසු වෙලද භාන්ඩයකි


ක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති අල් ගෝර් පාරිසරික අර්බුදය ගැන 2006 නිපද වූ වාර්තා චිත්‍රපටයකදී (An Inconvenient Truth) මෙසේ අදහස් පල කලේය. " අපි හැමදෙනාම ගෝලීය උනුසුමට දායක වෙනවා.ඒ නිසා අපි හැමෝටම අ‍පේ පෞද්ගලික කාබන් විමෝචනය බිංදුවක් වන ලෙස ජීවිත හැඩගස්වා ගැනිමෙන්,අපි එලවන වාහන අපි පාවිච්චි කරන විදුලිය යනාදිය හරහා, මෙය සමනය කරන්ට දායක විය හැකියි".

ලංකාවේ දේශපාලන වේදිකා වල කථාබහට ලක්නොවූවද ගෝලීය පාරිසරක අර්බුදය සංවර්ධිත රටවල දේශපාලන විවාදයන්හිදී සාකච්ඡා කෙරෙන වැදගත් මාතෘකාවකි. ඒ රටවල ධනේශ්වර දේශපාලකයෝ පරිසර හිතෛශීන් ලෙස පෙනී සිටීමට රුචිකත්වයක් දක්වති. බ්‍රිතාන්‍ය දක්ෂිනාංශික කොන්සර්වැටිව් පක්ෂය භාවිතා කල "නිල් පාටට ඡන්දය දී කොලපාට ලබාගන්න " ( Vote blue go green) නමැති මැතිවරන පාඨය මෙම පරිසර "උනන්දුව" සම්බන්ධ කදිම නිදර්ශනයකි. හරිතාගාර වායු විමෝචනය තුලින් ඇති වී තිබෙන ප්‍රතිවිපාක, ගෝලීය උනුසුම යනාදී ප්‍රශ්න මිහිතලය හා සමස්ථ මානව වර්ගයා අභිමුව මතුකොට තිබෙන්නේ දැවෙන ප්‍රශ්නයකි.

අල් ගෝර් වැනි "පරිසරවාදී" දේශපාලකයින් මේ ප්‍රශ්නයට පිලිතුරු ලෙස යෝජනා කරන්නේ එක්තරා විදිහක පෞද්ගලික තලයේ විසදුමකි . පරිභෝජනයේදී පරිසරය ගැන හිතන ලෙස ඔවුහු ජනතාවට යෝජනා කරති. අධික වූත් කෑදර වූත් පරිභෝජනය මේ සියලු විපත්වල මුල බව මෙම යෝජනාව තුලින් ගම්‍ය වේ."පරිසර අර්බුදයට අධි පරිභෝජනය බලපා තිබේ" යන සත්‍යය නිරීක්ෂනය සිදුකොට පුරවැසියන්ට එම ප්‍රශ්නය පුද්ගලික තලයන්හිදී විසදාගන්නා ලෙස පවසමින් අල් ගෝර් වැන්නවුන් නතර වූව ද අප එසේ නතර විය යුතු නැත. අප තව ඉදිරියට යමින් ප්‍රශ්නය අධික පරිභෝජනය නම් එම අධික පරිභෝජනය කවරක් තුලින් හටගත්තේද යන මූලධාර්මික ප්‍රශ්නය නැගිය යුතුය.

අප මේ ජීවත් වන්නේ ගෝලීය ධනවාදයේ යුගයේය. ලාභ අරමුන වෙනුවෙන් නිෂ්පාදනය කිරීම ධනවාදී ශිෂ්ටාචාරයේ තිබෙන මූලිකම ලක්ෂනයයි. ලාභ වෙනුවෙන් නිපැයෙන භාන්ඩ අලෙවි කරගත නොහේ නම් ව්‍යාපාර පාඩු ලබනු ඇත. මේ නිසා භාන්ඩ පරිභෝජනය අවිචාරවත් උමතුවක් බවට පත්කිරීම ධනවාදී ක්‍රමයේ ව්‍යුහාත්මක ලක්ෂනයකි. විශාල ව්‍යාපාර වලට ලාභ ඉපයිය හැක්කේ ජනයා විචාරයකින් තොරව අධික ලෙස පරිභෝජනය කරන්නේ නම් පමනි. වෙලද දැන්වීම්කරනය මත අති දැවැන්ත ආයෝජනයක් කරමින් මේ නිසා සමාගම් පරිභෝජනවාදී සංස්කෘතිය ප්‍රවර්ධනය කරයි. මෙම අධික පරිභෝජන රටාව නඩත්තු කිරීම සදහා පසුගිය දශක වලදී බටහිර රටවල මූල්‍ය වෙලදපොල රෙගුලාසි ලිහිල් කරමින් ක්‍රෙඩිට් කාඩ් හරහා නය සපයමින් කෘතිම පරිභෝජන බුබුලක් මැවීමට ආන්ඩු,විශාල ව්‍යාපාර හා බැංකු ක්‍රියා කලේය.

මේ අනුව පරිභෝජනවාදී සංස්කෘතිය යනු පුද්ගලයින්ගේ හැදියාව ගැන ප්‍රශ්නයක් නොව පවතින ධනවාදී ශිෂ්ටාචාරයේ ජාති ලක්ෂනයකි. අධි පරිභෝජනවාදී ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමෙන් තොරව පාරිභෝගිකයින්ව අධිපරිභෝජනය සදහා පොලඹවන්නේ නැතිව ලාභ අරමුන මත පදනම් වූ ධනවාදී සමාගම්වලට පැවතිය නොහැක. මේ ශිෂ්ටාචාරය තුල පරිසරයට වඩා වැදගත් වන්නේ ලාභයයි. මේ නිසා එක් අතෙකින් පරිභෝජනවාදී කෑදර සතෙක් බවට මනුශ්‍යයා පත්කිරීම සිදුවන අතර එම සත්වයා වෙනුවෙන් වෙලදපොල විසින් මවන උවමනා සංසිදුවීම සදහා සමාගම් විසින් වැඩි වැඩියෙන් මිහිතලය සූරාකනු ලබයි. ගෝලීය පරිසර අර්බුදයේ මූලය පවතින්නේ ධනවාදී ශිෂ්ටාචාරය පදනම් වන මෙන්න මේ තර්කනය තුලය.

පරිසර අර්බුදයට ධනවාදය තුල විසදුම් සෙවීම නිෂ්පල වන්නේ මේ හේතුවෙනි. මන්ද ප්‍රශ්නය ධනවාදයම වන බැවිනි. පරිභෝජනවාදය ප්‍රවර්ධනය කෙරෙන ශිෂ්ටාචාරයක් තුල තනි තනි පුද්ගලයින්ගෙන් අල්පේච්ඡ වන ලෙස ඉල්ලීමේ ඇති අර්ථයක් නැත. අනිත් අතට මහා ව්‍යාපාර හා සමාගම් නිෂ්පාදනයේ දී දැවැන්ත පරිසර විනාශයක් සිදුකරන අතරේ තනි තනි පාරිභෝගිකයින්ට පරිසර හිතකාමී වන ලෙස පැවසීමේ ඇති ප්‍රයෝජනය කුමක්ද? චීනය හා ඉන්දියාව වැනි රටවල් මේ වනවිට ධනවාදී පදනමක් මත වේගයෙන් කාර්මිකකරනය වෙමින් සිටී. දැනට බටහිර අර්ධගෝලයේ අධිපතිව ඇති අධිපරිභෝජනවාදී සංස්කෘතිය මේ දැවැන්ත කලාපයන් හිදීද ආධිපත්‍යයට පැමිනි කල්හි පරිසර අර්බුදය කවර ස්වභාවයක් ගනු ඇද්ද?

ධනවාදය ගැන ප්‍රශ්නය තවදුරටත් ධනය බෙදීයාමේ විෂමතාව ගැන ගැටලුවක් පමනක් නොවේ. එය පෘතුවි තලයේ හා මුලුමහත් ජීවයේම අනාගතය ගැන ප්‍රශ්නයක් බවට මේ වනවිට පත්ව තිබේ.


5 comments:

  1. ධරණීය සංවර්ධනය (sustainable development) කියල සංකල්පයක් තියෙනව නේද?
    ධනවාදී හෝ සමාජවාදී අර්ථක්‍රමයක් තුල මේ සංකල්පය ක්‍රියාත්මක කිරීම නේද කළයුත්තේ?

    ReplyDelete
    Replies
    1. පරිභෝජනවාදී සංස්කෘතියක් තුල ධරනීය සංවර්ධනය හෝ පරිසර හිතවාදී සංවර්ධනය ගැන කථා ප්‍රායෝගික නැහැ.එකිනෙක ගැටෙන සුලුයි.තර්කය එයයි.

      Delete
  2. කතාව ඇත්ත, ඒත් වෙලා තියෙන්නේ. සමාජවදී රටවලුත් ධනවාදී පරිභෝජන රටාවට ප්‍රේම කිරීම නෙවැ.

    ReplyDelete
    Replies
    1. පොදුවේ ගත්තොත් එය මිනිසා තම වර්ගයාගේ පැවැත්ම තහවුරු කරගන්න ගන්න උත්සාහයේ ප්‍රතිපලයකි සොබාදහම අතික්‍රමණය කරමින් තම වර්ගයාගේ පැවැත්ම තහවුරු කර ගැනීම අතින් අනෙක් ජීවිනට් වඩා මිනිසා බොහෝ ඉදිරියෙනුයි ඉන්නේ.ධනවාදී වුවත් සමාජවාදී වුවත් පරිසරය සමග මිනිසාට ඇති අනවරත ගැටුම එසේමයි.නමුත් ධනවාදී ජීවන ක්‍රමය තුල පවතින උග්‍ර පරිභෝජන රටාව පරිසරට ප්‍රභල ලෙස හානිදායක වෙනවා එය සමාජවාදී රටවලදීත් එසේ වෙන්න පුළුවන් ......

      Delete
  3. සමාජවාදී සාමූහික ගොවිපලවල් ඒ කාලයේ සාධනීය ධනවාදය කවර කලකවත් නොකළ ලෙස පරිසරය විනාශ කරා. මට අනුව නම් මේ පරිසරවාදය වෙන මුකුත් නොවෙයි වාමාංශිකයන් සහ සමාජවාදීන්ට එල්ලෙන්න තියන අන්තිම පිදුරුගහ. වැලේ වල් නැති උනාම අන්තිමට පරිසරයේ නොඑල්ලි පුලුවන්නම් මේ පැත්තත් බලන්න environmentalism has become the last refuge of the socialist and leftist scoundrel

    ReplyDelete