Saturday, March 23, 2013

සැබෑ ප්‍රශ්නයක් : ව්‍යාජ ගැලවුම්කරුවෝ දහසක්


කූඩන්කුලම් - දෙමල ජනයා හා හැපෙන තමිල්නාඩු රාජ්‍යය

ම්.කරුනානිධිගේ පක්ෂය ඉන්දීය මධ්‍යම ආන්ඩුවෙන් ඉල්ලා අස්වී තිබේ. ලංකාවේ යුද අපරාධ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දීය රජය "දැඩි ස්ථාවරයක්" නොගැනීම ඊට හේතුව ලෙස ප්‍රකාශ කෙරී තිබේ. එලෙස ඉල්ලා අස්වීමට කරුනානිධිගේ පක්ෂය ගත් තීන්දුව පසසමින් තමිල්නාඩු විපක්ෂ නායිකා ජයලලිතා ජෙයරාම් ද ප්‍රකාශයක් නිකුත් කොට තිබුනේය.

කරුනානිධිගේ මේ අස්වීමට සමාන්තරවය තමිල්නාඩුවේ දී ලංකාවෙන් පැමින සිටි බෞද්ධ භික්ෂූන් දෙනමකට මැර පිරිස් විසින් කල පහරදීම වාර්තා වූයේ. නිරායුධ සංචාරකයින් වූ එම භික්ෂූන්ට ප්‍රසිද්ධියේ කල පහරදීම කවර තත්වයක් යටතේ වත් සාධාරනීකරනය කල නොහැකි පිලිකුල්සහගත සිදුවීම් වෙති. එම්.කරුනානිධිගේ ඩී.එම්.කේ පක්ෂය ද පාර්ශවකරුවෙක් වන දෙමල ඊලාම් සහයෝගිතා සංවිධානය (TESO) පසුගිය දිනෙක ප්‍රාන්තය පුරා මහා වැඩවර්ජනයක් සදහා කැදවුම් කල අතර ලංකාව සම්බන්ධ තදබල ස්ථාවරයක් ගැනීමට ඉන්දීය රජයට බලකිරීම එම වැඩවර්ජනයේ ප්‍රකාශිත අරමුනයි. ලංකාවේ දෙමල ජනයාට "සාධාරනය ඉටු කිරීම" නමැති සටන්පාඨය වටා සමස්ථ තමිල්නාඩුවම පෙලගැස්වීමට තමිල්නාඩු ප්‍රභූ තන්ත්‍රය අදහස් කරගෙන සිටිනවා වැන්න.

දැන් සිංහල ජාතිහිතෛශීන් වෙත පෑදී ඇත්තේ කදිම ඉල්ලමකි . තමිල්නාඩුවට එරෙහිව ජනමාධ්‍ය ඉදිරියේ සිංහ නාද කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබී තිබේ. බොදුබල සේනා සංවිධානය තවත් ඉදිරියට ගොස් අදාල පහරදීම මුස්ලිම්වරුන්ගේ ගිනුමට බැර කොට තිබුනි !

තමිල්නාඩු ප්‍රභූන් ලංකාවේ ජාතික ප්‍රශ්නය ගැන දක්වන උනන්දුව කවරක්ද? එය හුදෙක් ලංකාවේ හා ඉන්දියාවේ දෙමල ජනයා අතර ඇති සංස්කෘතික සමානකම තුලින් මතුවන අහිංසක සහෝදර කැක්කුමක් පමනද ?

ප්‍රතිමල්ලවයා පත්බෙරියේ ඥානාලෝක තෙරද?
ඉහත ප්‍රශ්නය විග්‍රහ කරගැනීමට සමකාලීන ඉන්දියාවේ සමාජ ආර්ථික චලනයන් කෙරෙහි අප වඩාත් විමර්ශනශීලී විය යුතුය. මීට මසකට පෙර, 2013 පෙබරවාරි 20-21 දෙදින තුල, ඉන්දීයවෘත්තීය සමිති සමස්ත ඉන්දීය වැඩවර්ජනයක් කැදවුම් කලේය. වැඩිවන ජීවන වියදමට සහ පුද්ගලිකකරනයට විරෝධය පෑම - ඒ වැඩවර්ජනයේ මූලික තේමාවයි. එම දෙදින තුල ඉන්දියාව පුරා කම්කරුවෝ මිලියන සියයකට ආසන්න ප්‍රමානයක් වැඩවර්ජනයට එක්වූ බව පුවත්පත් වාර්තා කලේය. තමිල්නාඩුවේදීද වැඩවර්ජනය සදහා සැලකිය යුතු ප්‍රතිචාරයක් පලවිය. කාර්මික නගරයක් වන තිරුපූර්හි ඇගලුම් කම්කරුවෝ ලක්ෂ දෙකකට ආසන්න පිරිසක්  විරෝධය පාමින් සිය වැඩ අත්හලෝය. බැංකු හා රක්ෂන ‍සේවා මුලුමනින් ඇනහිටීමට ලක්වූයේය.

ඉන්දියාව පුරා භාවිතයේ යොදවා තිබෙන වෙලදපොල හිතවාදී නවලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරන විසින් සමාජයේ පීඩිත ස්ථරයන්ගේ අසහනය තීව්‍ර කොට තිබේ. අඛන්ඩ උද්ධමනය ජනයා මත එල්ල කොට තිබෙන්නේ මහත් පීඩනයකි. වැඩකරන ජනයාගේ සංවිධාන තුලින් ඉන්දීය ආන්ඩුවේ එම ප්‍රතිපත්තීන්ට එරෙහි සටන් ක්‍රියාමාර්ග මතුවන්නේ ඒ තතු යටතේය. පෙබරවාරි වැඩවර්ජනය විසින් මතුකෙරෙන්නේ රැඩිකල් සංඥාවකි. එහිදී විවිධ ප්‍රාන්ත වල විවිධ ජනවර්ගයන්ට අයත් ලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනයා - කම්කරුවෝ - එක් සටන් ක්‍රියාමාර්ගයක් තුල එක්සත් වූහ. වාර්ගිකත්වය වෙනුවට පංතිය.

2013 පෙබරවාරි වැඩවර්ජනය - වීදි බට තමිල්නාඩු විදුලි සේවකයෝ
පංති දේශපාලනයට එරෙහිව අනන්‍යතා දේශපාලනය නමැති ක්‍රීඩාව ප්‍රභූ සංස්ථාපිතය පැත්තෙන් මතුකෙරෙන්නේ මෙතැනදීය. තමිල්නාඩු ප්‍රභූහු "ලංකාවේ සිංහල" නමැති අනන්‍යතාවයට එරෙහිව "දෙමල" නමැති අනන්‍යතාවය ඉදිරියට ගෙන තිබේ. පෙබරවාරියේ දී වැඩකරන පංතියේ ජනයා වීදි බැස්සේ ඩී.එම්.කේ පක්ෂයේ ද ආශිර්වාදය සහිත නව ලිබරල්වාදී ආර්ථික ක්‍රියාදාමයට එරෙහිවය. එම ජනයා වෙනත් අක්ෂයක් වටා - එනම් ලංකාවේ සිංහලයින්ට පාඩමක් ඉගැන්වීම - සංවිධානය කිරීමට දැන් කරුනානිධි උත්සාහ කරයි. සමාජ අර්බුදය තුල අසහනයට පත්වෙමින් සිටින ජනයාගේ කෝපය වෙනත් සතුරෙක් වෙත හැරවීමට එමගින් කරුනානාධි (ලා)  බලාපොරොත්තු වෙති. තමා පෙලන සමාජ තත්වයන්ට එරෙහිව සටන් කරනු වෙනුවට තමිල්නාඩුවේ දෙමල පීඩිත ජනයා තමිල්නාඩුවට සංචාරය සදහා එන සිංහලයින්ට ගල් ගසමින් සිටිනවා දැකීමට තමිල්නාඩු ප්‍රභූන් ඉතාමත් ආශා කරනු ඇත්තේය.

කවර වේශයෙන් පැමිනියද ජාතිවාදය පංති සහිත සමාජයක් තුලදී සේවය කරන්නේ පාලක ප්‍රභූවේ අවශ්‍යතාවය වෙනුවෙනි. තමිල්නාඩු සිදුවීම් හරහා ලංකාවේ සිංහල සමාජය තුල ඇතිවන කෝපය දෙමල සමාජයට/මුස්ලිම් සමාජයට එරෙහිව යොදවමින් සැබෑ සමාජ අර්බුදය වසන් කිරීම සදහා දැන් සිංහල ප්‍රභූ නායකයින්ට ද අවස්ථාව ලැබෙනු ඇත. සිංහල ජාතිවාදය දෙමල ජාතිවාදය පෝෂනය කරයි.දෙමල ජාතිවාදය පෙරලා සිංහල ජාතිවාදයට හුස්ම පිඹී.

කූඩන්කුලම් න්‍යෂ්ඨික බලාගාරයට එරෙහිව තමිල්නාඩුවේ ඇතිවූ විරෝධතා වලදී විරෝධතා දැක්වූ සාමාන්‍ය දෙමල ගැහැනුන්ට හා මිනිසුන්ට බල්ලන්ට බලලුන්ට මෙන් එලව එලවා පහර ගැසූ කරුනානිධි රජයට එරට දෙමල ජනයා ගැනවත් මෙරට දෙමල ජනයා ගැනවත් ඇති කැක්කුමක් නැත. ඒ හරියටම සිංහල ජාතිය ගැන උගුරේ ලේ රස සීරී එනතුරු මොරගසන හෙල උරුමය වැනි කන්ඩායම් වලට සිංහල පොදු ජනයා මුහුන දෙන ජීවිතයේ සැබෑ ප්‍රශ්න ගැන කිසිදු හැගීමක් නැතිවා හා සමානවමය. දෙමල ජනයා මුහුන දි සිටින සැබෑ ප්‍රශ්න වලට මේ ව්‍යාජ ගැලවුම්කරුවන්ගෙන් විසදුම් අපේක්ෂා කල නොහැක. ඒ ප්‍රශ්න අතික්‍රමනය කල හැකි වනුයේ දෙමල සමාජය සහ සිංහල ප්‍රගතශිලීන් අතර ඇතිකරගන්නා එක්සත් ක්‍රියාමාර්ගයක් තුලින් පමනකි.










4 comments:

  1. හැමෝම සමාජය බෙදනවා....ජාතිකවාදීන් සමාජය ජාතින් ලෙස බෙදනවා...අන්තවාදීන් මේ බෙදීල්ල වෛරයකට හරවනවා.....මාක්ස්වාදින් සමාජය පංති වලට බෙදනවා....ඊට පස්සේ පංති වෛරයක් අතිකරනවා...

    කොටින්ම කිව්වෝත් බුදුහාමුදුරුවෝත් සමාජය බෙදුවා. භික්ෂු, භික්ෂුණී, උපාසක උපාසිකා කියලා..එකම වෙනස වෛරය වපුරන්නෙ නැති එක විතරයි...

    වෛරය වපුරනතාක් කල් සමාජය කොයි විදිහට බෙදලා අර්ථ දැක්වුවත් සමාජ ප්‍රගමනයක් වෙන්නේ නෑ............

    ReplyDelete
    Replies
    1. මයියා,ජාතීන් විදිහට හෝ පංති විදිහට ‍හෝ සමාජය බෙදන්න දෙයක් නැහැ. මේව සමාජයේ තිබෙන අනන්‍යතා.ජාතිකවාදීන් දේශපාලනය සංවිධානය කරන්නෙ ජාතිකත්වය කියන අනන්‍යතාවය වටේ.ඒත් මනුශ්‍යයාගේ පැවැත්මට ඔහුගේ සත්තාවට ඇත්තටම බලපාන අනන්‍යතාවය පංති අනන්‍යතාවය කියායි අපි කල්පනා කරන්නේ.යමෙක්ගේ භෞතික ජීවිතය,ඔහුගේ සංස්කෘතික ජීවිතය තීන්දු කරන තීරනාත්මක සාධකය සමාජ ධූරාවලිය තුල ඔහු ස්ථානගත වෙන තැන.ඒ නිසා දේශපාලනය පංති අනන්‍යතාවය වටා සංවිධානය කලොත් පමනක් මනුශ්‍ය වර්ගයාට තමා පෙලන පීඩාවන්ගෙන් නිදහස ලබාගත හැකි බව අපි සිතනවා.මෙන්න මේකයි මාක්ස්වාදීන් හා ජාතිකවාදීන් අතර වෙනස.ජාතිකවාදීන් පවතින ව්‍යුහය පවත්වාගෙන යන්න උපකාරී කරනවා.මාක්ස්වාදීන් පවතින පීඩාකාරී ව්‍යුහයන් අතික්‍රමනය කිරීමට යෝජනා කරනවා.

      Delete
  2. "මාක්ස්වාදින් සමාජය පංති වලට බෙදනවා....ඊට පස්සේ පංති වෛරයක් අතිකරනවා..." ඔයාට මේක තවටිකක් විස්තරකරල දෙන්න පුලුවන්ද? සමහර විට අපි කියවන්නේ ඔයා කියවන මාර්කස් නෙමෙයිද දන්නැනේ එකයි.

    ReplyDelete
  3. එම එක්සත් ක්‍රියා මාර්ගය ඇතිකර ගැනීමට සිටින්නාවු ප්‍රගතිශිලීන් අද ලිබරල්වාදින්ගේ පදයට නටන්නාවූ රූකඩ පමණි. එසේ රූකඩ බවට පත්වෙමින් ලිබරල් බූමිකාව ධනවාදීන්ටත් වඩා භාවතීශාත්මකව මෙන්ම ප්‍රභුද්ධ ලෙසද රඟදක්වමින් ඉඳ හිට මොළේ නරක්වූ පුගතිශීලීන්ටද පොඩි ආතල් එකක් දෙනු ලබන්නේය. වාසූද අද මොනවාදෝ කියා බෙරිහන් දෙනවා රූපවාහිනියෙන් දුටිම්. එය ප්‍රචාරනව වන මොහොතේ ඔහු විමලේ හා මහින්ද අයියා සමඟ ෂිවාස් රීගල් උගුරක රහ බලමින් සිටිනවා විය හැක. තමිල්නාඩුවේද් මීට වඩා වෙනසක් නොමැති බව, එහි සිටිනා හිතවතුන් අපට පවසයි.

    ReplyDelete