Saturday, February 16, 2013

මූලස්ථානයට බෝම්බ ගසනු!



" Reign to foes' fear
Orthodox Tsar
God protect the Tsar.."
                                               -  රුසියානු ජාතික ගීය 1833-1917
යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වූ ජනාධිපති රාජපක්ෂ රදවා ගනු ලැබ සිටි යාපන සරසවි සිසුන් දෙදෙනා නිදහස් කරන ලෙස ආඥා කලේය. පවුල්වාදී සාර්වරයා එම නියෝගය නිකුත් කරන ආකාරය රූපවාහිනී නාලිකා මගින් රට පුරා විකාශය කරන ලදී. අත්අඩංගුවට ගනු ලැබූ සරසවි සිසුවාගේ මව තම දරුවා රාජ්‍යද්‍රෝහී වැඩකටයුතු වලට සම්බන්ධ නැති බව බැගෑපත්ව කියන්නීය. ඔහු මින් මතු  දේශපාලනයට සම්බන්ධ නොවන බවට මවට සහතිකයක් දිය හැකිදැයි සාර්වරයා සිංහලයෙන් මවගෙන් අසයි. කැම්පස් ආවෙ ඉගෙන ගන්න මිස දේශපාලනය කරන්න නෙමෙයි. සාර් උද්දච්ච ස්වරයෙන් පවසයි. දරුවා නිදහස් වූ පසු නැවත  දේශපාලන කටයුතු නොකරන බවට වගබලාගන්නා බවට මව "පොරොන්දු වූ නිසා" ඔහු නිදහස් කරන්නැයි ඉක්බිති හෙතෙම ‍පොලිස්  නිලධාරීන්ට උපදෙස් දෙයි.

රාජපක්ෂ පාලනය යටතේ ජනමාධ්‍යය සහයෝගය සහිතව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් නමැති රංගය යොදාගැනෙන්නේ සියලු ප්‍රශ්න විසදන ගැලවුම්කරුවා ලෙස මහලු  සාර්වරයා අභිෂේක කිරීම වෙනුවෙනි. විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් හෙතෙම නිලධාරීන්ට බැන වදිනු, තග දමනු රූපවාහිනී නාලිකා තුලින් විකාශය කෙරේ. 'රාජ්‍ය නිලධාරීන් තමයි ‍අකාර්යක්ෂම , අතිගරු ජනාධිපති තුමා මැදිහත් නොවී කිසි ප්‍රශ්නයක් විසදගන්න බැහැ නෙව' යන ආකල්පය ජනයා තුල පින්තාරු කිරීම මේ හරහා සිදුවේ.රජු නිකැලැල්ය. උදාරය. රටේ වැරදි සිදුවෙනවා නම් සිදුවන්නේ සෙසු ඇමතිවරු හා නිලධාරීන් නිසාය.

දැන් යාපනයේ දී රාජපක්ෂ සරසවි සිසුන්ගේ දෙමාපියන්ට පවසනුයේ "දේශපාලනය නොකර ඉගෙන ගන්න" කියාය.

අත්අඩංගුවට ගත් යාපන සරසවි සිසුන් කල දේශපාලනය කුමක්ද? 

සරසවි ක්‍රියාකාරකම් වලට හමුදාව අනිසි ලෙස මැදිහත්වීමට එරෙහිව විරෝධතාවයක් සංවිධානය කිරීමය ඔවුන් කල දේශපාලනය වූයේ. මෙම විරෝධතාවය ආන්ඩුවේ අධිකාරිවාදී අන්තනෝමතිකභාවයට එරෙහි ප්‍රජාතාන්ත්‍රික විරෝධය පෑමක් මෙන්ම සිය දේශපාලන අයිතීන්ගේ නාමයෙන් ජාතික පීඩනයට එරෙහිව පාන ලද විරෝධයක් ද වන්නේය.

උතුරට පමනක් නොව දකුනේ සරසවි සිසුන්ටද රජය මෙයම පවසයි. පාඩුවේ ඉගෙනගන්න.දේශපාලනය නම් කරන්න එපා.දකුනේ ශිෂ්‍ය ව්‍යාපාරය මූලික වශයෙන් ගොනු වී තිබෙන්නේ අධ්‍යාපනයේ සම අයිතිය පිලිබද සටන්පාඨය වටාය. ආන්ඩුව එපා කියන්නේ සිය නවලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය සමග ඝට්ටනය වන ශිෂ්‍ය ව්‍යාපාරයේ එම දේශපාලනයටය.

රාජපක්ෂ සරසවිවල තරුනයන්ට එසේ පවසන්නේ තවමත් පැගිරි නාම්බෙකු වන නාමල් මහතා මහත් ලාලසාවෙන් යුතුව දේශපාලනය කරන පසුබිමකය. විශ්ව විද්‍යාල තුල ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය සංවිධානය නමින් රජය විසින් අටවා ඇති ශිෂ්‍ය සංගමයක් ද තිබේ. දැන් සංඥාව පැහැදිලිය. නාමල් මහතාට දේශපාලනය කල හැක. අවශ්‍යම නම් සරසවි සිසුන්ට ඔහුට ( හෝ වෙනත් ආන්ඩුවේ දේශපාලකයෙකුට) කඩේ යාමේ දේශපාලනය සිදුකල හැක. ඒ සදහා නිදහස් ශිෂ්‍ය සංගමය තිබේ. එහෙත් පවතින ක්‍රමය ප්‍රශ්න කරන දේශපාලනය කිරීම තහනම්.ජාතික පීඩනය ප්‍රශ්න කරන දේශපාලනය කිරීම තහනම්. එක්කෝ තොප අප සමග. නැතිනම් තොප ත්‍රස්තවාදීන්. දේශප්‍රේමී රාජපක්ෂ දිගින් දිගටම ක්‍රියාවේ දමමින් සිටින්නේ ජෝර්ජ් බුෂ්ගේ මෙම දේශපාලන  සූත්‍රයයි.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය එල්ටීටීඊ සංවිධානය සමග සම්බන්ධ බවට මඩ පත්‍රිකා තොගයක් පසුගිය දිනවල රජය විසින් සරසවි තුල බෙදාහැර තිබුනි. යාපනයේ සිසුන් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමේ දී ශිෂ්‍ය ව්‍යාපාරය ඊට එරෙහිව පෙනී සිටීම මෙම ප්‍රචාරයේ පදනමයි. අවිවිශිබමට සිසුන් අතර ඇති සහයෝගය බිදිය නොහැකිව බාල ලෙස ජාතිවාදය අවුලා හෝ එය කඩාගැනීමට රජය මේ අනුව වෑයම් කරන බව පැහැදිලිය.

රජය මෙලෙස ජාතිවාදය, රාජාන්ඩු ස්වභාවයේ අන්තනෝමතිකත්වය නියෝජනය කරන සන්දර්භයක් තුල ප්‍රගතිය නියෝජනය කරන්නට සිදුව තිබෙන්නේ විකල්ප සමාජ ව්‍යාපාරයන්ටය.සරසවි දේශපාලනයට අදාලව මෙම මොහොත උතුරේ හා දකුනේ සිසුන්ගේ පලල් එක්සත්භාවයක් ඉල්ලා සිටී. උතුර පෙලන ජාතික පීඩනයට එරෙහි නොවී උතුරේ සිසුන්ගේ සහයෝගය එක්සත් ක්‍රියාමාර්ගයක් සදහා දිනාගත නොහැක. අනෙත් අතට දකුනේ ශිෂ්‍ය බලවේග සමග එක්සත් නොවී උතුරට හුදෙකලාව රාජපක්ෂ සාර්වරයාගේ පරමබලධාරීවාදයට මුහුන දිය නොහැක.

දේශපාලනය කරන්න එපා නමැති රාජපක්ෂගේ තර්ජනයට පිලිතුරු දිය යුත්තේ එකම එක විධියකිනි. එනම් තව තවත් දේශපාලනය කිරීමෙනි.නව ලිබරල්වාදයට, ජාතිවාදයට ,ඒකාධිපතිවාදයට එරෙහිව වඩ වඩා දේශපාලනය කිරිමෙනි.


11 comments:

  1. ඔවුන්ට ප්‍රශ්නය ඇත්තේ දේශය පාලනය කරන්නට ඒම සමගයි. මන්ද, ඔවුන් සිතන්නේ එය ඔවුන්ගේ වැඩක්ය කියායි. පොලිටික්ස් නම් දෙය කිරීම ඔවුන්ට ප්‍රශ්නයක් නැත.

    ReplyDelete
  2. @“නව ලිබරල්වාදයට, ජාතිවාදයට, ඒකාධිපතිවාදයට එරෙහිව වඩ වඩා දේශපාලනය කිරිමෙනි.“ - විකල්පය කුමක් වියයුතුද?

    ReplyDelete
    Replies
    1. සමාජවාදය,වාර්ගික සමගිය සහ ප්‍රජාතන්ත්‍රවාදය

      Delete
  3. මම නිව්ස් වලට දැක්ක ඒ කොටස..

    මාර විහිළුවක්..

    අර අම්ම නැගිටල පුතා නිදහස් කරන්න කියනවා. එයා කතා කලේ දෙමලෙන්. දෙමලෙන් ජනතාව අමතන ජනාධිපතිතුමා හෙඩ් සෙට් එක දාගෙන පරිවර්ථනය අහගෙන සිංහලෙන් උත්තර දෙනවා. එතකොට එයා වෙනදට දෙමල කතා කරන්නෙ කොහොමද? ඇයි එදා දෙමලෙන් උත්තර දෙන්න බැරිවුනේ.

    දරුවව නිදහස් කරන්න කිව්වම, මහින්ද මාමා කියනවා “ලමයා මේ වගේ වැරදි නොකරන්න හොදට බලා ගන්න පුලුවන්නම් හෙට නිදහස් කරනවා“ කියලා. ඒ අතර නිදහස් කරන්න කියල පොලිසියට යෝජනා කරනවා.

    එතැනින් කියවෙන්නේ නීතිය, පොලිසිය, උසාවිය නැහැ කියල නේද? මහින්ද මාමා ඉන්න තැන ඕව වැඩක් නැහැ කියල නේද??

    වීඩියෝව ලැබුනෙ නැති නිසා ඒ ගැන මම ලියන්න හිටිය හොද ලිපියක් මග හැරුණා.. මේ ටික අඩංගු කලේ ඒකයි..

    ජය !

    ReplyDelete
    Replies
    1. 2013.02.12 සිරස ප්‍රවෘත්ති සරච් කල විට මේ වීඩියෝව ලබාගත හැකියි.දෙවන හෝ තෙවන ප්‍රවෘත්තිය බලන්න.

      Delete
    2. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා සහභාගිවන රැස්වීමක ඕනෙ එකෙකුට ඕනෙ ප්‍රස්නයක් අහන්නට නොහැකිය. ඒ අනුව මෙය ජනාධිපති මාධ්‍ය අංශය විසින් කලින් සැලසුම්කල රංගනයක් වීමටද ඉඩක් ඇත.

      Delete
    3. මාත් සිතන්නේ සමස්ත සිදුවීමම රංගනයක් බවයි.මෙම තරුණයන් දෙදෙනා නිදහස් කරන ලෙස කියන්නට ඇත්තේ කමලේෂ් ශර්මා හෝ වෙනත් විදේශ බලවතෙකු විය යුතුය.නම්බුව බේරාගැනීමට මෙසේ කරන්නට ඇත.

      Delete
    4. මේවා නියම ටෙලි ඩ්‍රාමා.... 70-77 කාලෙත් මුකුත් නොකලත් සෝ එකක් බලන්න ගියාම රජයේ සංවර්ධනය කියලා ෆිල්ම් පෙන්නුවා හෝ ගලා. ඇත්තටම ඒවා වල මක්කා තිබුනාද කියා මතක නෑ. ඒත් ඇඟට දැනෙන කටහඬක් නම් තිබුනා අදත් මතකයි....

      Delete
    5. @ Charmi
      //සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා සහභාගිවන රැස්වීමක ඕනෙ එකෙකුට ඕනෙ ප්‍රස්නයක් අහන්නට නොහැකිය. ඒ අනුව මෙය ජනාධිපති මාධ්‍ය අංශය විසින් කලින් සැලසුම්කල රංගනයක් වීමටද ඉඩක් ඇත.//

      Most Probably.

      Delete
  4. හැබැයි ඔය රැස්වීමෙදිම තවත් ද්‍රවිඩ ජාතිකයෙක්ම ඇහුවා යාපනයට යන රේල් පාර යන්නේ කොහෙන්ද කියලා (මට මතක හැටියට) එතකොට මහින්ද උත්තර දුන්නෙ කොහොමද...
    "ඔයාට ඒක වැඩක් නෑ. ඒක යන තැනකින් යයි. ඔයාගෙ වැඩක් ඔයා බලාගන්න. මෙතන අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා" ආදී උත්තර තමා දුන්නෙ. ඒකත් බොහොම කෝපාවිශ්ඨ ස්වභාවයකින්.

    ReplyDelete