Friday, February 1, 2013

හදවත අහිමි සමාජයක අත අහිමි වීම




කොලඹ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන අචලා ප්‍රියදර්ශනී නමැති නීති ශිෂ්‍යාවගේ අත ශල්‍ය කර්මයකින් ඉවත් කිරීමේ සිදුවීම පසුගිය සතියේ බොහෝ ජනමාධ්‍යයන්ගේ අවධානයට ලක්වූ ප්‍රධාන මාතෘකාවක් වූයේය. වම් අතෙහි වූ සුලු බිදීමක් නිසා රෝහල්ගත කල ඇගේ අත ප්ලාස්ටරයකින් වෙලා ඇති අතර එය රිදුම්දෙන  බවට ඇය පැමිනිලි කල ද ඒ ගැන නිසි අවධානයක් යොමු වී නැති බව පැවසේ. ඉක්බිති එම වෙලුමේ තදභාවය නිසා අතේ සෛල හා ස්නායු මියගොස් තිබේ. අවසානයේ අත කපා දැමීමට සිදුව තිබෙනුයේ මෙලෙස අතේ සෛල මියයාම නිසාය.

අතෙහි වූ සුලු බිදීමක් අත කපා දැමීමක් දක්වා දිග්ගැස්සුනේ වෛද්‍ය නොසැලකිල්ල නිසා බවට මේ වනවිට බරපතල චෝදනාවක් ඉදිරිපත් වි ඇත. මාතර ප්‍රදේශයේ සාමාන්‍ය පවුලකින් පැවත එන මෙම සිසුවියගේ මව මැදපෙරදිග රැකියාවක් සදහා විදේශගතව සිටී. පසුගිය දා පැවැති පුවත්පත් සාකච්ඡාවක දී සිසුවියගේ පියා හැගීම්බරව ඉල්ලා සිටියේ එම තරුනියට වූ අසාධාරනය සදහා යුක්තිය ඉටු කරන ලෙසය.

මෙම සිදුවීම බොහෝ පුවත්පත් වල සිරස්තල බවට පත්ව තිබෙනුයේ මෙහි වින්දිතයා නීති සිසුවියක වූ බැවිනි. විශ්වසනීය ආරංචි මූලාශ්‍රයකින් මෙම ලියුම්කරු දැනගත් පරිදි ආරම්භක අවස්ථාවේ අත කපා දැමීමේ හේතුව ඇයගේ මිතුරන් ශල්‍යකර්මයට සම්බන්ධ වූ වෛද්‍යවරයාගෙන් විමසූ විට ලැබී තිබුනේ
" හේතුව හොයල දැන් වැඩක් නැහැ.මෙතැනින් එහාට මේ ලමයගෙ හිත හදන්න බලන එකයි කරන්න පුලුවන් ලොකුම දේ" වර්ගයේ පිලිතුරකි. එම ප්‍රකාශය පිලිනොගෙන යම් සිවිල් බලපෑමක් කල හැකි පිරිසක් ලෙස විශ්ව විද්‍යාල සිසුහු සංවිධානය වී මෙම පුවත යටපත් වීමට ඉඩ නොදුන් නිසා දැන් මෙය ප්‍රධාන තලයේ මාතෘකාවක් බවට පත්වී ඇත.

මෙහිදී පැනනගින ගැටලුව වනුයේ මෙබදු සිදුවීම් තව කොතෙක් රට තුල සිදුවනවා ඇද්ද යන්නයි. "හේතුව හොයල වැඩක් නැහැ" යන පිලිතුර සිවිල් බලපෑමක් සහිත සමාජ ස්ථරයක් විසින් පිලිගැනීමට සූදානම් නොවූ නිසාය මෙය මතුපිටට පැමිනියේ.  රටේ බහුතර පොදු ජනකාය එබදු බලපෑමක් කල හැකි අය නොවෙති. මෙම තරුනිය යම් හෙයකින් නීති සිසුවියක නොවූවා නම් වැඩි සම්භාවිතාවය තිබෙනුයේ වෛද්‍ය නොසැලකිල්ල පිලිබද විස්තරාත්මක අවබෝධයක් රහිත සාමාන්‍ය ගැමි‍යන් වන ඇගේ ඥාතීන් වෛද්‍යවරයාගේ උපදෙස පිලිගෙන නිහඩ වීම‍ට නොවේද?

වෛද්‍ය නොසැලකිල්ල නමැති නීති අංශය පාර්ශවයෙන් ලංකාව අතිශය පසුගාමී තැනක පසුවන්නේය. ප්‍රතිකාර කිරීමේ දී වෛද්‍යමය නොසැලකිල්ලක් තිබුනා ද යන්න තීන්දු කිරීමේ දී තීරනාත්මක වන්නේ විශේෂඥභාවය සහිත වෛද්‍ය සාක්ෂිය. තමන්ගේම වෘත්තියේ සගයන්ට එරෙහිව සාක්ෂි නොදීම යනුවෙන් නිර්මානය වී ඇති මුග්ධ සම්ප්‍රදාය නිසා මෙබදු සිදුවීම් නීතිය අභිමුව ඔප්පු කිරීමේ අපහසුතාවයක් පවතී. තමාගේ වෘත්තියේ අයෙක් කරන වරදකට එරෙහිව "තමාගේ කම" මත පෙනී නොසිටීම නමැති මෙම මුග්ධ පිලිවෙත වෛද්‍ය පමනක් නොව නීති වෘත්තිය ඇතුලු බොහෝ වෘත්තීන් තුල දක්නට ලැබෙන්නකි. වරප්‍රසාද ලත් වෘත්තීන් පවත්වාගෙන යන මෙබදු මාෆියාවාදී පුරුදු අපගේ සමාජයේ මානුශික වටිනාකම් ගරා වැටී ඇති ප්‍රමානය හකුලුවා දක්වන නිදර්ශනයෝ වෙති.

අචලා ප්‍රියදර්ශනී මුහුන පෑ ඛේදවාචකය සැබැවින්ම පෙන්නුම් කරන්නේ අපගේ සමාජවල බලපවත්වන සමාජ ඇපාතයිඩමය තත්වයේ යථා ස්වභාවයයි. ඔබ ධනවත් නම් අගනා සැලකිල්ල සහිත සුඛෝපභෝගී සෞඛ්‍ය සේවා ඔබට මුදල් ගෙවා ලබාගත හැක. ඔබ එසේ නොවේ නම් ඔබට හිමි වන්නේ රජයේ සෞඛ්‍ය සේවයයි. එහිදී ( යම් ගැටලුවක් වුවහොත් ) ඔබට මුන ගැසෙනු ඇත්තේ 'අත කපා දැමීමේ හේතුව හොයල දැන් වැඩක් නැහැ' වර්ගයේ වෘත්තීමය තග දැමිලිය.

එක රටක්. සෞඛ්‍ය සේවා වර්ග දෙකක්. එක සමාජයක්. සැලකීමේ විධි දෙකක්.

ඔබ මුහුන දෙන අයුක්තිය ප්‍රසිද්ධ කිරීමට ඔබ බලපෑම් සහගත සමාජ කන්ඩායමකට ගෑවී හෝ සිටිය යුතුය. මෙම තරුනියට අතක් බද්ධ කිරීමට අදාල වියදම් දැරීමට දැන් රජයේ දේශපාලකයින් ඉදිරිපත්ව සිටී. ඔබ යම් ප්‍රමානයකට හෝ බලපෑම් කල හැකි සමාජ කන්ඩායමකට අයත්ව සිටියා වුවද සහනයක් ලබාගැනීමට නම් දේශපාලකයින් ගේ අනුකම්පාව ලැබෙන තුරු සිටිය යුතුව පවතී. සහනයක් ලබාගැනීමේ වඩා ශිෂ්ට සම්පන්න ක්‍රමවේදයක් වන නඩු දැමීමක් කිරීමට ඔබට ඇවැසි නම් ඒ සදහා අතිමහත් මුදලක් අවශ්‍යය. මෙබදු නඩු වසර ගනන් දිග්ගැස්සේ. එතරම් දිගු කාලයක් නීතිඥ ගාස්තු ගෙවමින් රස්තියාදු වනවාට වඩා සාමාන්‍ය මිනිසෙක් බොහෝ විට කරන්නේ ප්‍රශ්නය ගොඩින් බේරාගෙන සමාදාන වීමය. සිද්ධිය සිදුවී සති කිහිපයක් යන තුරු මාධ්‍ය ආයතන වලට මෙය ප්‍රවෘත්තියක් වනු ඇත. එහෙත් වසර ගනන් නඩු කීමට සිදුවනුයේ, එම පිරිවැය දරාගැනීමට සිදුවනුයේ වින්දිතයාටමය.ඇයගේ හෝ ඔහුගේ ඥාතීන්ටමය. මෙවැනි සිද්ධියක දී නඩු කීමට සිදුවන්නේ රජයේ නිලධාරීන්ට එරෙහිව වන අතර රජයේ පාර්ශවයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රබල නීතිඥවරයෙක් ඉදිරිපත් කරන ලදහොත් ඔබට අති දක්ෂ නීතිඥයෙක්ගේ සේවය පතා යෑමට සිදුවේ. 

සියල්ලෝ දන්නා පරිදි අති දක්ෂ නීතිඥවරු වූ කලී අති දක්ෂ ලෙස මුදල් ගැරීමෙහි සමර්ථයෝය.

නාමිකව නීතිය ඉදිරියේ සියල්ලෝ සමානය. එහෙත් දුගීන් හා සසදන කල්හි ධනවතුන් නීතිය ඉදිරියේ වැඩිපුර "සමානය".



6 comments:

  1. සියලු සතුන් එක සමානය. එහෙත් සමහර සතුන් අනික් සතුන්ට වඩා සමානය

    ReplyDelete
  2. දුගීන් ඉදිරියේ නිතිය රුද්‍ර ව්‍යග්‍රයෙකු වන අතර ධනවතුන් ඉදිරියේදී ලොම් හැලුණු කැහැටු බල්ලෙකු බවට පත්වේ

    ReplyDelete
  3. මුදල් ගෙවා ලබාගන්නා සෞක්‍ය සේවා ගුණාත්මක බවින් ඉහල බව යටි සිතින් වාමාංශිකයන් පවා දනිති. රජයේ උන ගමන් ඔහොම තමයි. හැමෝටම අඩුමිලට ගුණාත්මක සෞක්‍ය පුද්ගලිකව ලබාගැනීමට ක්‍රමයක් ඇත ඒ වෙනුවට වම්මු සටන් කරන්නේ හොඳ රජයේ පිං හොස්පිටිතාල සමාජවාදී මනෝ රාජ්‍ය තුල ඇතිවෙයි කියාය. රජයන් ට මේ කප තියන තුරා ගුණාත්මක සේවා දෙන්න බෑ කියන සත්‍යයට පිටුපා ධනවාදී බොරු ඈපාතයිඩ මනෝ විකාර හේතු මවයි. පුද්ගලික සෞක්‍ය සේවා මිලදී ගන්නා විට ඒවා විකුණන පුද්ගලයා අත්වැරදීම් වලට වන්දි ගෙවිය යුතුය ඒ නිසා නොසැලකිල්ල අවම වේ. මේ ප්‍රශ්නයට සාර්ථකම ප්‍රයෝගිකම විසඳුම ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ඇතුළුව පුද්ගලිකකරණය කිරීම සහ සියලුම රෝහල් පුද්ගලිකකරණය කිරීමයි. ආණ්ඩුවට ඕනෑ නම් මුදල් නැති රමච්න්ද්‍රලගේ ආදරණිය ඈපාතයිඩ කම්මැලි නිකමුන්ට නොමිලේ පිං සෞක්‍ය රක්ෂණයක් දුන්නනම් පිනට බෙහෙත් ගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. යන්නෙ කොහෙද මල්ලෙ පොල්

      Delete
  4. එක රටක්. සෞඛ්‍ය සේවා වර්ග දෙකක්. එක සමාජයක්. සැලකීමේ විධි දෙකක්.මම යථාර්තයක් නොවේද?මෙම වැකිය මම කොෆි කර ගනිමි.ඇයගේ ජිවිතය ඇයගේ පවුලට මහමෙරක් උනාට වෛද්‍යවරුන්ට සමාන්‍ය රෝගියෙකු පමණි.ජිවිත මේ තරම් අසරණ වන්නේ ඒ හැඟිම නිසාවෙනි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  5. ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කර මරා දැමීමේ සිද්ධිය හා ලංකාවේ මේ සිද්ධිය සමාන සමාජ ඉස්මතුවීම් පෙන්නුම් කරයි. ධනවත් වීම, බලවත් වීම හෝ සමාජ ඇදහීමට ලක්වන වෘත්තීමය තත්වයක් සහිත වීම යන කාරණා වලදී පමණක් අසාධාරණයට එරෙහිව දැඩි සමාජ මතයක් ගොඩනැගී ඒම ලංකාවට පමණක් සීමා නොවන්නක් බව මේ සිද්ධින් වලින් පෙනී යන කරුණකි. හදවත අහිමි සමාජය බො‍හෝ රටවල් වල යථාර්තයකි.

    ReplyDelete