Friday, January 25, 2013

ගනදුරු මැදියම දුටු ව්‍යාජ අරුනැල්ල



ගුනදාස අමරසේකරගේ "ගමනක අග" නවකථාවේ අවසන් භාගයේදී එහි කථානායකවරයා වන පියදාස නැවත ලංකාවට පැමිනේ.පියදාස පා තබන්නේ එල්ටීටීඊ සංවිධානය අතුගා දමන ලද "නිදහස් කරගනු ලැබූ" ලංකාවටයි.ඔහු ලංකාවට එන්නේ දීර්ඝ කාලයක් විදේශගතව ජීවත්වීමෙන් අනතුරුවය.

ඔහු දකින ලංකාව විදෙස්ගත වීමට පෙර ඔහු දත් රටට වඩා මුලුමනින්ම වෙනස් එකකි. විශාල ඉදිකිරීම් , වීදි පුරා පිරී ඉතිරී යන වාහන ඔහු දකී. අධික තදබදයක් ඇතිකරමින් නාගරිකව ධාවනය වන වාහන කන්දරාව ඔහු තුල මහත් විස්මයක් දල්වයි. වෙලද භාන්ඩ ආනයන කිරීම මගින් සත් මහල් ප්‍රාසාදයක් ඉදිකරගෙන සිටින ව්‍යාපාරිකයෙක්ගේ නිවෙස හෙතෙම පසුකරයි.මේ සියල්ල මධ්‍යයේ ලංකාවේ අලුත පලවන පතපොත ගැන හෙතෙම මිතුරෙක්ගෙන් විමසයි.ගාමන්ට් කෙල්ලන් වෙනුවෙන් පලවන බාල නවකථා හැර කිසිවක් දැන් වැඩිපුර මුද්‍රනය වන්නේ නැති බව මිතුරා ඔහුට පිලිතුරු දෙයි.යුද්ධය ජයගැනීම නිසා ඇතිවූ ආස්වාදයත් සංවර්ධනය නමින් ධනවාදී නර රකුස් සමාජයක් ලංකාවේ බිහිවෙමින් තිබීම නිසා ඇති වූ ඉච්ඡාභංගත්වයත් යන පරස්පර හැගීම් පියදාස තුල ජනිත කරමින් නවකථාව සමාප්තියට පත්වේ.

අමරසේකරගේ "ගමනක මුල" නවකථාවෙන් ආරම්භ වන නවකථා පෙල """''ගමනක අග" කෘතියෙන් අවසන් වන්නේය.මෙම පෙල අර්ධ වශයෙන් ස්වයංචරිතාපනාදනමය ස්වභාවයක් දරයි.එහි ප්‍රධාන චරිතය වන පියදාස තුලින් අමරසේකර නිරූපනය වන බවට පොදු පිලිගැනීමක් තිබේ. අමරසේකරගේ දේශපාලන අදහස් දැක්වීම්වල  එන ප්‍රධාන ප්‍රස්තූතයන් දෙකක් හදුනාගත හැක.

අ) ධනවාදී සමාජයට විකල්පයක් ලෙස සමාජවාදය නිර්මානය කිරීමට මාක්ස්වාදය අසමත්ය.ලංකාව අවශ්‍ය සමාජවාදය බුදුදහම හා සිංහල ජාතික චින්තනය තුල ඇත.

ආ) එකී අරමුන ( සිංහල ජාතික චින්තනය මත පදනම් වූ සමාජවාදය නිර්මාණය කිරීම) සාක්ෂාත් කරනු ඇත්තේ සිංහල උගත් ගැමි තරුන පරපුර විසිනි.

මාක්සියානු සමාජවාදයට විකල්පයක් ලෙස මේ අනුව අමරසේකර යෝජනා කරන ලද්දේ බෞද්ධ සමාජවාදයකි. හෙතෙම එහිදී තම ව්‍යාපෘතිය ස්ථානගත කලේ සිංහල බෞද්ධත්වය ( ජාතිය ) මතය. එල්.ටී.ටී.ඊ සංවිධානය අධිරාජ්‍යවාදීන් විසින් සිංහල බෞද්ධත්වය සුන් කිරීමට යොදාගන්නා බලල් අන්ඩක් ලෙස දුටු හෙතෙම සිවිල් යුද්ධයේ උද්‍යෝගිමත් ආධාරකරුවෙක් වූයේය. අවසානයේ ජාතිය පිලිබද ඔහුගේ සිහිනය ජයගත්තේය. දැන් සිංහල බෞද්ධත්වය ලංකාව තුල පරමත්වයට පත්ව තිබේ.

සිංහල බෞද්ධත්වයේ මෙම ජයග්‍රහනයට සමගාමීව ලංකාව ධනවාදී සමාජයක් සිය ස්වභාවය වඩ වඩා තහවුරු කරගනිමින් සිටී. මෙහිදී ධනවාදී නර රකුස් සමාජයට එරෙහිව අමරසේකර ගෙන ආ විවේචචනය අර්බුදයට යයි. සිංහල බෞද්ධත්වය ජයගත්තද ජාතික චින්තනය තුල තිබෙනවා යැයි අමරසේකර පැවසූ බෞද්ධ සමාජවාදය වෙත සමාජය ගමන් කරන සේයාවකුදු නොමැත.ඒ වෙනුවට ලංකාව ගිලී යමින් තිබෙන්නේ අමරසේකර උග්‍ර ලෙස විරුද්ධ වූ ජේආර් ජයවර්ධන සංවර්ධන මොඩලය තුලය.සිංහල බෞද්ධත්වය විසින් ධනවාදය විස්ථාපනය කරනවා වෙනුවට ධනවාදය විසින් සිංහල බෞද්ධත්වය තමා තුලට උරාගනු ලැබ ඇත.  

එනම් සිංහල බෞද්ධ ධජය විජයග්‍රාහීව ලෙලදෙද්දී විනෝද ආර්ථිකයක් සහිත නගරයක් බවට කොලඹ නගරය පරිවර්තනය කෙරෙමින් තිබේ. මෙය වූ කලී අමරසේකර විසින් හෙලා දකින ලද වසල වෙලද කුලය ට රිසි සේ ආයෝජනය කිරීමටත් එතුලින් ආර්ථික දියුනුව උදා කරගැන්මටත් රුකුල් දෙන වර්ගයේ ආර්ථික චින්තනයකි. මෙම ක්‍රියාවලියේ තාර්කික අවසානය වනුයේ අමරසේකර විසින් හෙලාදුටු බඩ පුරවා ගැනීම පමනක් ජීවිතයේ පරමාර්ථය කරගත් නර රකුසාය.පරිභෝජනවාදී සත්වයාය. ජේආර් ජයවර්ධන ආකෘතිය විසින් සමාජයේ ඇති කරන ඇති නැති පරතරයේ ඝෝර යථාර්තය පීඩිත ජනයාගෙන් වසන් කිරීම සදහා පමනක් සිංහල බෞද්ධ ධජය ලෙලවෙමින් තිබේ. ඇත්ත ලෝකයේ සිදුවන්නේ අමරසේකර ලා පරිකල්පනය කල දෙයෙහි සම්පූර්න පරස්පරයයි.

ජාතිය මූලික කරගෙන බෞද්ධ සමාජවාදයක් නිර්මානය කිරීම පිලිබද අමරසේකරගේ උපන්‍යාසය සම්පූර්නයෙන්ම බිදවැටී ඇත. ධනවාදය නමැති භෞතික ක්‍රියාවලියට ජාතිය හෝ ආගම මූලික කරගෙන මුහුන දිය නොහැක. අමරසේකර විසින් විමුක්තිය ගෙන එනු ඇතැයි සිහින දුටු ගැමි උගත් පරම්පරාව එම උගත්කමේ පිහිටෙන් සිය පරිභෝජන ස්ථරය මාරු කරගෙන තිබෙනවා පමනි. එම පරම්පරාව වශී වී තිබෙන්නේ නාමල් මහතාගේ නයිට් රේස් වලට මිස බෞද්ධ සමාජවාදය ගැන අමරසේකරගේ ධාර්මික ප්‍රවාදයන්ට නොවේ.

බැලූ බැල්මට පශ්චාත් යුද මොහොත අමරසේකරලාගේ මොහොත ලෙස පෙනී ගිය ද සැබැවින්ම අමරසේකරලාගේ ප්‍රස්තුතය බිදවැටී තිබේ. සිංහල බෞද්ධත්වය සිය සටන් පාඨය ලෙස ගත් වත්මන් රෙජිමය දිනෙන් දින විශාල වන ඒකාධිපති යක්ෂයෙකි. එම පසුබිම තුල අමරසේකර වැන්නන්ට නියම වී තිබෙන්නේ එම ඒකාධිපති ව්‍යාපෘතිය සදහා ජාතිකවාදී සායම් තවරමින් පොදුජන වසගය පවත්වාගැනීමට උදවුදීමේ භූමිකාවය. දෙමලාට එරෙහිව සිංහලත්වය උඩ දමමින් දිවයිනට ලියුම් ලියන අමරසේකර ( දැනුවත්ව හෝ නොදැනුවත්ව ) පන පොවමින් සිටින්නේද එකී භූමිකාවට මිස අනෙකකට නොවේ.

4 comments:

  1. එම පරම්පරාව වශී වී තිබෙන්නේ නාමල් බබාගේ නයිට් රේස් වලට වුවත් , එම සංස්කෘතිය තුලට ආර්ථික හේතු මත ඇතුලු වීමට නොහැකි පහල පංති වල කොටස් තමන්ගේ එම නොහැකියාවට හා කොන්වීමට හේතුව සිංහල නොවන ජන කොටස් යැයි හඳුන්වන බොදු බල සේනා , හෙල උරුමය හා වීරවංශ වැන්නවුන්ගේ ප්‍රචාර හමුවේ ශීඝ්‍රයෙන් වර්ගවාදි ස්ථාවරයන් වෙතට තල්ලු වෙමින් පවති.

    ReplyDelete
  2. සියලු මිනිසුන් සමානය යන්න ජිය්ව විද්‍යාත්මකව මිථ්‍යාවකි , මිනිසා සමාජීය සත්වයකි , එහි කොදු නාරටිය විවිධ ස්තරවල ශ්‍රම හා බල විභේදනයය් ... සමාජවාදය සුරංගනා කතාවක් පමණි , පරිනාමිකව ඉඩක් නැත

    ReplyDelete
  3. මා සිතනා ආකාරයට ගුණදාස අමරසේකර පමනක් නොව වාසුදේව නානායක්කාර, ඩීව් ගුණසේකර, තිස්ස විතාරණ පමණක් නොව කොල්වින් ඇන් ඇම්ලද විජේවීර ඇතුලුව ලාංකීය බෞද්ධ සිංහල වාමාංශිකයා පැතු ලොව මහින්ද මහතා ගොඩනගා ඇත. අද එය සාධාරණීය කරනවා හැර කිරීමට වෙන යමක් නැත. එසේ කලහොත් ඔවුන් සළු පිලි නොමැති නිරුවත් ජනතාවක් බවට පත්වීම නොවැලක්විය හැක. දේශපාලකයන් පමණක් නොව කළාකරුවන්ගේද සිවිල් පොරවල්ගේද තත්වය එයමය.

    ReplyDelete
    Replies
    1. මේක කිසි තේරුමක් නැති කමෙන්ට් එකක් නෙ මචං.

      Delete