Friday, January 18, 2013

දූෂිත රාජ්‍යයක දූෂිත අත්තිවාරම්


නීතිය අවි ආයුද සහ මුදල් 
ව අගවිනිසුරු ලෙස තමාගේ දේශපාලන සුරතලෙක් පත්කිරීමට ජනාධිපති රාජපක්ෂ තීන්දු කොට තිබේ. මොහාන් පීරිස් වූ කලී 2011 දී ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ සම්මේලනයක දී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී නැති බවත් ඔහු විදේශගතව ජීවත්වන බවත් පැවැසූ රජයේ නීති උපදේශකවරයෙකි.දැන් ඔහු අගවිනිසුරුධූරය දරයි.ශ්‍රේෂ්ඨාධිකරන නීතිඥවරු My Lord යැයි කියමින් ඉදිරියේ දී හිස නමනු ඇත්තේ මෙම දේශපාලන සුරතලා ඉදිරියේය.

එක් අතෙකින් එහි ඇති වෙනස්කම කුමක්ද? අගවිනිසුරුධූරයට පත්කරන අවස්ථාවේ සරත් එන් සිල්වා චන්ද්‍රිකා කුමාරතුංගගේ දේශපාලන සුරතලෙක්ව නොසිටියේද? ශිරානි බන්ඩාරනායක මහින්ද රාජපක්ෂගේ හිතෛශියෙක්ව නොසිටියේද? ජනාධිපතිගේ දේශපාලන සුරතලෙක් නොවී අගවිනිසුරු තනතුර ලබාගත හැකිද?

මොහාන් පීරිස් නීතිපති ලෙස කටයුතු කල අවධියේ සිදුකරන ලදැයි කියන වෘත්තීමය විෂමාචාරයක් සම්බන්ධ සාක්ෂි පසුගිය දිනෙක Colombo Telegraph වෙබ්අඩවිය විසින් ප්‍රකාශයට පත්කරන ලදී.එම වෙබ් අඩවියට අනුව නීතිපති වීමට පෙර ඔහු පෙනී සිටි එක්තරා සමාගමකට අදාල නඩුවක් සම්බන්ධව එකගතාවයකට පැමිනෙන ලෙස නීතිපති වූවාට පසු හෙතෙම එම නඩුවේ අනෙත් පාර්ශවය වූ රේගු අධිකාරියට උපදෙස් දී ඇත. අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසම ඉදිරියේ ඔහුට එරෙහිව පසුගියදා පෙත්සමක් ද ගොනු කෙරුනි.

අධිකරනයේ ස්වාධීනතාවය පිලිබද සියලු චාටු කථා දැන් රජය විසින්ම තූ තූ කොට ඉරා දමා තිබේ. විෂමාචාර චෝදනා සහිත අයවලුන් මෙබදු තනතුරු වලට පත් කෙරෙන්නේම දැනුවත්වය. යම් හෙයකින් ( පසුකාලීනව ශිරානි බන්ඩාරනායක සිදුකලා සේ ) පුද්ගලික ප්‍රතිවිරෝධයක් මත අදාල තනතුරුධාරියා රජය හා වෙනස් මතයක් දරන තැනකට ගියහොත් අතීත විෂමාචාරය කරලියට ගෙන ඔහුට එරෙහිව පියවර ගත හැක.

මෙම අලකලංචිය හමුවේ නීතිඥ ප්‍රජාවේ හැසිරීම මෙහිලා පවතින සිත්ගන්නා සුලු අනෙත් කරුනයි. දෝෂාභියෝගය විභාග වූ සමයේ රැස් වූ නීතිඥ සංගමය දෝෂාභියෝගයට "එරෙහිව" දියාරු යෝජනා කිහිපයක් සම්මත කලේය.දෝෂාභියෝගය ගැන සලකා බලන්නැයි රජයෙන් ඉල්ලා සිටීම, පත්කරන නව අගවිනිසුරු පිලිගැනීම සදහා සාම්ප්‍රදායිකව පවත්වන උත්සවයට සහභාගී නොවී සිටීම එකී යෝජනා ගොන්නට අයත්ය.නව අගවිනිසුරුව පත්කල පසු නිවේදනයක් නිකුත් කල නීතිඥ සංගමය ප්‍රකාශ කොට සිටියේ ඔහු යට‍තේ සාමාන්‍ය ලෙස රාජකාරි කිරීමට තමුන් සූදානම් බවයි.මෙම නිවේදනය නිකුත් කරන ලද්දේ නීතිඥ සංගමයේ සභාපති ඇතුලු කන්ඩායමක් අරලිය ගහ මන්දිරයේදී ජනාධිපති සමග පැවැත්වූ සාකච්ඡාවකින් ඉක්බිතිය.

ඉතින් දැන් කිසිදු අමුත්තක් සිදු නොවූවා සේ යලිත් පෙර පරිදි කටයුතු ආරම්භ වනු ඇත. රාජපක්ෂ හුරතලා නඩු විචාරීමෙහි යෙදෙනු ඇත. දින කිහිපයකට පෙර නීතියේ ආධිපත්‍යය හා අධිකරනයේ ස්වාධීනතාවය වෙනුවෙන් මරාගෙන මැරෙන්නෙමැයි ගර්ජනා කල නීතිඥවරු ඔහු ඉදිරියේ My Lord යැයි පවසමින් දෙකට නැමෙනු ඇත. අධිකරනය යනු ස්වාධීන ආයතනයකැයි දේශපාලන විද්‍යාව ඉගෙන ගන්නා සිසුන්ට පෙර පරිදිම ඉගැන්වෙනු ඇත. ඔවුහු ද එම මුසාව කටපාඩම් කොට විභාග වලට ලියා ඉන් ලැබෙන ප්‍රතිඵල ගැන උදම් වනු ඇත.

යම් හෙයකින් ඉදිරි අනාගතයේ යම් ‍හේතුවක් මත මොහාන් පීරිස් හා ජනාධිපති අතර පුද්ගලික ආරවුලක් ඇතිවුව‍හොත් පීරිස් රජයේ නිල මතයට වඩා වෙනස් තීන්දුවක් දීමට පෙලඹෙනු ඇත.එවිට ඔහුගේ අතීත විෂමාචාර පදනම් කරගෙන රජය පරීක්ෂනයක් අරඹනු ඇත.එවිට නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන්නන්ට "සීසන්" එක එලැඹෙනු ඇත. ස්වාධීන අධිකරනයට ඇගිලි ගහන දේශපාලකයන්ට එරෙහිව පෙලපාලියක් දෙකක් යාමට,වොයිස් කට් එකක් දීමට / දේවාලයක පොල් ගෙඩියක් ගැසීමට නීතිඥයින් ඇතුලු පිරිසට අවස්ථාව හිමිවනු ඇත.

මෙම විගඩම නැවත සිදුවීම වැලැක්විය හැකි එකම මාර්ගය විධායකය මෙන්ම අධිකරනය ද කුනු වූ දූෂිත ආයතනයක් බව නොවලහා සමාජය ඉදිරියේ ප්‍රකාශ කිරීමයි.එයම පමනි. මෙම ඒකාධිපති සමාජයේ ගරු අගවිනිසුරුවරු නැත. ඉන්නේ ලෝගුධාරී දේශපාලන හෙංචයියන්ය. ස්වාධීන අධිකරන නැත. තිබෙන්නේ ආන්ඩුවේ රූකඩයකි. නීතියේ මහිමය වෙනුවෙන් පෙනී සිටින විද්වත් නීතිඥවරු නැත. සිටින්නේ මුදල් ඉපයීම සිය ජීවිතයේ පරම නිෂ්ඨාව කරගත් පරමාදර්ශයන් වෙනුවෙන් සිය ජීවිතවල සැප අහිමි කරගැනීමේ සුලු හෝ අවදානමක් ගැනීමට සූදානම් නැති කබා හැදගත් තක්කඩීන් පිරිසකි.මේ ඇත්ත සමාජය ඉදිරියේ කිව යුතුය.මේ ඇත්ත නැවත නැවතත් සමාජය ඉදිරියේ කිව යුතුය.

4 comments:

  1. what to say laugh also coming!!

    ReplyDelete
  2. මින්පසු දේශපාලනය,අරගල වැනිදේ වලින් අශ්චාර්ය කරා යන ලංකාවේ ගමන වෙනස් කළහැකියැයි විශ්වාශ කල නොහැක.ලංකාව වෙනස් වීමට මෙවැනි දේ මගින් සිදුවිය හැක.
    1. උල්කාපාතයක් කඩාගෙන වැටීම.
    2. පිටසක්වල ආක්‍රමණයක් වීම
    3. මෙගා සුනාමියක් හෝ භූමිකම්පාවක්
    4. රාජපක්ෂ රජය ඇතුලතින් කඩා වැටීමක් උදාහරණයකට ජනාධිපති තුමාට සසර කලකිරී ගිහි ගෙයින් නික්ම යෑම.
    5. ලංකාවේ තෙල් අරාබියටත් වඩා තෙල් සම්පත් හමුවී ඒවා ගැනීමට ඉරාකය මෙන් කවුරුහරි අපිව ආක්‍රමණය කිරීම

    තව තියේනම් හරි මිට වඩා හොඳ විදි වියහැකි නම් යෝජනා කරන්න.

    ReplyDelete
    Replies
    1. උදිත,
      මේ ලැයිස්තුවේ 03ට තියන සිදුවීම වුනොත්, එකෙන් කොහෙද ලංකාව වෙනස් වෙන්නේ. මතකයිනෙ ගියලාර සුනාමිය නිසා මේ පෝස්ටුවේ පාත්‍රවර්ගයා සුනාම් අධාරවලින් ගහපු ගැහිල්ල. ඒ නිසා අංක 03 සදහන් කරුණ සම්බන්ධව මගේ බලවත් විරෝධය...

      Delete