Friday, January 11, 2013

දුම් පානය හොදයි : පිලිකාව නරකයි

පොලිස් පහර දීමෙන් තුවාල ලත් නේචර් සීක්‍රට්ස් ආයතනයේ කම්කරුවෝ

වසානයේ යාපනය සරසවිය නැවත විවෘත කර තිබේ.ඒ මාසයකට අධික කාලයක් සිසුන් විසින් පවත්වා ගෙන ගිය අඛන්ඩ පංති වර්ජනයකින් පසුය.පසුගිය නොවැම්බර් 27 දින එම සරසවියේ පැවැති උද්ඝෝෂනයකට හමුදාව කඩා වැදී මිලේච්ඡ ලෙස පහර දුන් අතර සරසවි සිසු නායකයින් සිවු දෙනෙක් අත්අඩංගුවට ගැනුනි.එම නායකයින් "ත්‍රස්ත විරෝධී" නීති යටතේ රදවා ගනු ලැබ සිටී.ආරක්ෂක ලේකම් විසින් ඔවුන් "පුනරුත්ථාපනය" සදහා යොමු ‍කොට ඇත.

ත්‍රස්ත විමර්ශන නීති යටතේ පසුගිය මාසය තුල අලුතින් දෙමල තරුනයින් 48 ක් අත්අඩංගුවට ගන්නා ලදී.තවත් තරුනයින් 1000 ක් අත්අඩංගුවට ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇති බව උතුර භාර හමුදා ආඥාපති මහින්ද හතුරුසිංහ මාධ්‍ය වෙත පවසා තිබුනි.

යම් ජාතියක් තවත් ජාතියක් පෙලන්නේද එම පීඩක ජාතිය කවදාවත් නිදහස් නොවනු ඇති බව එංගල්ස් A Polish Problamation හි දී ලීවේ 1874 දීය.ලංකාවේ සිංහල ධනපති ආන්ඩුව පැහැදිලිවම දෙමල උතුර මත පවත්වාගෙන යන්නේ පීඩක තන්ත්‍රයකි.උතුරේ ඇතැම් පාසල්වල දරුවන්ට සිංහල ඉගැන්වීම සදහා ගුරුවරුන් ලෙස හමුදා භටයින් පත්කොට එවා ඇති බවට තොරතුරු පසුගිය දිනවල වාර්තා වූයේය. මේවා වනාහි ජාතික පීඩනයේත්,ජාතික වහල්භාවයේත් පැහැදිලි ප්‍රකාශනයෝ වෙති.

උතුරට එරෙහි මෙම ජාතික පීඩනය සම්බන්ධව සිංහල පොදු සමාජය තුල සමස්තයක් ලෙස ඇත්තේ විරෝධයක් නොව අනුමත කිරීමකි. අධිපති ජනමාධ්‍ය විසින් මෙම පීඩනය "ප්‍රශ්නයක්" ලෙස නොව "ජයග්‍රහනයක්" ලෙස දැකීමට සිංහල පොදු සමාජය පුරුදු කොට තිබේ.වවුනියාව බන්ධනාගාරය වටලා නිරායුද දෙමල සිරකරුවන් මිලිටරිය විසින් කුදලාගෙන ගොස් පහර දී මරා දමන කල්හි එය වීරෝදාර මෙහෙයුමක් ලෙස සලකා දකුනේ පොදු සමාජය අත්පොලසන් දෙන්නේ මේ නිසාය.

හමුදා පහර දීමෙන් තුවාල ලත් යාපන සරසවි ශිෂ්‍යයෙක්
මෙලෙස උතුරේ සමාජයට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අහිමි කිරීම‍ පෙරලා දකුනේ සමාජයට බලපාන්නේ කෙසේද? යාපන විශ්ව විද්‍යාල සිදුවීම හටගෙන සති කිහිපයක් යාමට පෙර කැලනි සරසවියේ හිටපු මහා ශිෂ්‍ය සංගම් සභාපතිවරයා පහර දීමකට ලක්විය.පහර දුන් මැරයින් ආරක්ෂක අංශවලට සම්බන්ධ බවට සැක කෙරේ.පහර දුන් පිරිස ඔහුට තර්ජනය කොට තිබුනේ "අපි අමාරුවෙන් දිනාගත්ත රට විනාශ කරන්න එපා" යනුවෙනි.මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය මූලික වශයෙන් ගොඩනැගී තිබෙනුයේ අධ්‍යාපන අයිතිය නමැති අක්ෂය වටාය.මෙම අක්ෂය වටා සිසුන් හා සමාජය සංවිධානය කිරීම සිංහල ‍දේශප්‍රේමී කතිකාවත තුල අර්ථනිරූපනය කෙරෙන්නේ "අමාරුවෙන් දිනාගත් රට විනාශ කිරීමක්" වශයෙනි.

මේ අතර නේචර් සීක්‍රට්ස් සමාගමේ කම්කරුවන් හා එහි පරිපාලනය අතර  ගැටුමක් පසුගිය සතියක උද්ගත විය.එහිදී පොලිස් විශේෂ කාර්ය බලකායේ පහර කෑමට ලක්ව එහි සේවිකාවන් ගනනාවක් තුවාල ලැබූහ.2011 දී කටුනායක දීත් හලාවත දීත් හටගත් කම්කරු හා ධීවර සටන්වලදී වෙඩි තබා පුද්ගලයන් මරා දමන ලද්දේ මෙම විශේෂ කාර්ය බලකාය විසින්මය.වැලිකඩ බන්ධනාගාරය වටලා සමූහ වශයෙන් එහි විරෝධතා දැක්වූ සිරකරුවන් ඝාතනය කිරීමෙන් නොනැවතී තෝරාගත් සිරකරුවන් වෙන වෙනම මරා දැමීමක් ද පසුගිය මාසයේ අපි අත් දුටිමු.

මෙම සිදුවීම් විසින් පෙන්නුම් කරනුයේ කුමක්ද? ඒ මර්දනයේ සාහසිකත්වයට උතුරු - දකුනු භේදයක් නොමැති බවයි.වැදගත්ම ප්‍රශ්නය වූ කලී - ඉහත සිදුවීම් වලදී ප්‍රජාතන්ත්‍රවාදී/මානවවාදී සම්මතයන් නොතකා සාහසික ලෙස හැසිරීමට රාජ්‍යයට අවසර ලැබී තිබෙන්නේ කෙසේද යන්නයි.

දමිල උතුරට එරෙහිව සිංහල පොලිසිය 
මෙහිදී සිදුව තිබෙන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්ධනකාරීත්වය ආයතනගත වී තිබීමයි.මිලිටරිය පාලකයින්ගේ ආරක්ෂාව සදහා ඇති මර්ධක තන්ත්‍රයක් ලෙස නොව ජාතික ආරක්ෂාව සදහා පවත්වාගෙන යන වීරෝදාර ආයතනයක් ලෙස අභිෂේක කොට තිබෙන්නේ සිංහල දේශප්‍රේමී කතිකාවත විසිනි.තම බංකොලොත්භාවයට එරෙහිව විරෝධය දක්වන කම්කරු,ශිෂ්‍ය,ධීවර වැනි පීඩිත බලවේග කුඩුපට්ටම් කිරීම සදහා පාලකයින් පෙරලා යොදාගන්නේ සිංහලවාදී කතිකාවත විසින් රාජ්‍යයේ මර්ධන උපකරන වෙත සපයා දී ඇති සුජාතභාවයයි.සිංහල ධනපති ආන්ඩු විසින් උතුර මත පවත්වාගෙන යන ජාතික පීඩනය/මිලිටරි මර්දනය මේ අනුව සිංහල පොදු සමාජයට "ආස්වාදයක්" වූව ද සිංහල පොදු සමාජය සිය සැබෑ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පලමු මොහොතේදීම එලෙස අයිතීන් ඉල්ලන ප්‍රජාවන් චප්ප කරදැමීම සදහා භාවිත කරනු ලබන්නේ ද උතුරට එරෙහිව යොදවන මිලිටරිවාදයම මිස අනෙකක් නොවේ.

උතුරට එරෙහි මර්දනය සදහා අත්පොලසන් දෙන දකුනේ පොදු සමාජය ඒ අත්පොලසන් දීමත්  සමග තමාගේම ප්‍රජාතාන්ත්‍රික හා සමාජ නිදහස අහිමි කරගැනීම සදහා වරෙන්තුව ලියාගන්නේ ඒ ආකාරයෙනි.උතුර මර්දනය කිරීම සදහා රාජ්‍යය විසින් මර්ධක උල් දත් වවාගනිද්දී ,එම උල්දත් වැවීම අනුමත කරමින් , ඒ උල්දත් වලින් උතුර හපාකෑම සාදරයෙන් පිලිගන්නා දකුනට පෙරලා එකී උල්දත් තමා වෙත යොමුවූ කල්හි ඊට පමනක් විරුද්ධ වීමට හැකියාවක් නැත. උතුරේ ජනයා පෙලීමට මර්ධනය පාවිච්චි කිරීම අනුමත කිරීම තුලින් මර්ධනය ආයතනගත කිරීමට අනුමැතිය හිමි වේ.දකුනට එරෙහිවත් මර්ධනය යොදාගැනීමට පාලකයින්ට ඉඩ ලැබෙනුයේ එලෙස මර්දනය ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ආයතනගත වී තිබෙන බැවිනි.ප්‍රජාතන්ත්‍ර විරෝධය ආයතනගත වී තිබෙන විට එය උතුරට එරෙහිව පමනක් ක්‍රියා කොට නතර වනු ඇතැයි සිතීම මන්ද බුද්ධික කල්පනාවකි.

ඔබට සිගරට් බීමට ඇවැසි නම් , සිගරට් ධූමයේ ආස්වාදය විදීමට අවැසි නම් ,ඒ සමග එන රෝගාබාධ භාර ගැනීමටද ඔබ සූදානම්ව සිටිය යුතුය.රෝගාබාධ අත්හැර සිගරට් පමනක් මිලට ගත නොහැක.ඔබ සිගරට්ටුවට අනුමැතිය පල කරන පලමු මොහොතේ දීම ඔබ රෝගාබාධ සදහා ද අනුමැතිය පල කරනු ලබන්නේය.


3 comments:

  1. යාපනය සරසවිය යනු කොටි ගුහාවක් වග ඔබට නොපෙනුනාට සරසවි සිසු ප්‍රජාව දන්නවා. එම තත්වය යම්තාක් දුරකට අඩු වවුනියා මණ්ඩපයේ විතරයි.

    ReplyDelete
  2. ඉතින් මොකක්ද උඹලා කරන්න යන්නේ.... කොටින් කියලා‍ ඒ ඔක්කොමලාවත් මරලා දාන්නද ? දැනටමත් ලක්ෂගාණක් දෙමළ මිනිස්සු මරලා දැම්මා වාගේ. තොපි වගේ ජාතිවාදි හිගන්නෝ හොදයි මහරජාටම

    ReplyDelete
  3. well said ramachandra..

    ReplyDelete