Friday, December 28, 2012

අධිරාජ්‍යවාදීහු සුදු කොටිද?


ලැඹෙන මාර්තුවේදී (2013) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටු සැසිවාරයේදී එල්.එල්.ආර්.සී වාර්තාව රජය විසින් නොතකා හැරීම ගැන කරුනු දැක්වීමට දෙමල ජාතික සන්ධානය සූදානමින් සිටී.එම නිල සැසිවාරය ඇමතීමට දේශපාලන පක්ෂ වලට අවස්ථාවක් නොලැබෙන නිසා තමාට වූ අසාධාරනය ගැන එම සභාව දැනුවත් කිරීමට තමන්ට යොදාගත හැකි වෙනත් සියලු ක්‍රමවේද භාවිතා කිරීමට සූදානම් බව ඔවුහු පවසති.

එල්ටීටීඊ සංවිධානය සහ දෙමල ජාතිකවාදය යනු රට බෙදීම සදහා අධිරාජ්‍යවාදී බලවේග විසින් යොදාගන්නා බලල් අන්ඩකි යන්න සිංහල ජාතිකවාදී කතිකාව තුල විශාල අධිකාරියක් දරන ප්‍රවාදයකි.මේ මොහොතේ ලංකාව "බෙදීම" සදහා ගෝලීය ධනවාදි බලවතුන්ගේ පාර්ශවයෙන් දැඩි උවමනාවක් පවතී යැයි සිංහල ජාතිකවාදීහු විශ්වාස කරති.මෙරට පැරනි වමේ ව්‍යාපාරයත් එල්ටීටීඊය හා සිංහල ධනපති ආන්ඩුව අතර යුද්ධයේදී රාජ්‍ය හමුදා සමග එක පෙලට හිටගත් අතර එසේ පෙලගැසීම සාධාරනීකරනය කලේ "රට බෙදීමේ" අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනය පැරදවීමට ධනපති හමුදා සමග වුව එකට ලැගීමේ වරදක් නැති බව පවසමිනි.මේ නිසා මානව හිමිකම් කමිටුව නැවත රැස්වන එලැඹෙන මාර්තුවේ දීත් රට බෙදීම පිලිබද මෙම "න්‍යාය" සිංහල සමාජය තුල රැව්පිලිරැවු දීම අපේක්ෂා කල හැක.

ගෝලීය ධනවාදයට ලංකාව වැනි පරිධියේ පිහිටි රටවල් වැදගත් වන්නේ කෙසේද?එහි ආකාර දෙකකි.ඒ පලමුව සිය කර්මාන්ත සදහා ලාභ ශ්‍රමය ඇතුලු අමුද්‍රව්‍ය සපයා ගැනීමටය.දෙවනුව සිය භාන්ඩ අලෙවි කල හැකි වෙලදපොලක් ලෙසය.ගෝලීය බලවතුන් අප වැනි රටවලට අදාල සිය ස්ථාවරය සකස් කරගන්නේ මූලික වශයෙන් මෙම අරමුනු මතින් ප්‍රේරනය ලබමිනි.මෙකී අරමුනු ඉටු කරගැනීම උදෙසා අප වැනි රටවල සාපේක්ෂ සාමයක් ( කාර්මික සාමය ) පැවතිය යුතුය.බෝම්බ පුපුරන,ෂෙල් වෙඩි වැටෙන පසුබිමක ගෝලීය ප්‍රාග්ධනයට ආරක්ෂාකාරීව පැලපැදියම් විය නොහැක.

මෙරට පැවති වාර්ගික යුද්ධය ගෝලීය ප්‍රාග්ධනයේ ව්‍යාප්තිය කෙරෙහි බාධාවක් වූයේ එම අර්ථයෙනි.මෙම තතු යටතේ ගෝලීය බලවතුන් මුල්කාලීනව එල්ටීටීඊය සහ රජය අතර සාම සන්ධානයක් ඇතිකරමින් කාර්මික සාමය උදා කරගැන්මෙහිලා වෙහෙස වූහ.2002 සටන් විරාම ගිවිසුම එම උත්සාහයේ ප්‍රකාශනයකි.

ඒ මොහොතේ දී සිංහල ජාතිකවාදය ( සහ ජාතිකවාදී වෛරසය ආසාදනය වූ  වම) එකී උත්සාහය කියවා ගත්තේ මෙම බලවතුන් "රට බෙදීමේ" පවිටු උවමනාවෙන් මෙම මැදිහත්වීම් කරනා බවයි. එහෙත් එල්ටීටීඊය අවසානයේ එම සාම ක්‍රියාවලියෙන් ඉවත් වූයේද ජාත්‍යන්තරය තමාට ශ්‍රී ලංකා රජය හා "සම තැන" නොදෙන බවට නෝක්කාඩු නගමිනි.මෙය උත්ප්‍රාසාත්මකය.සිංහල ජාතිකවාදීන් ජාත්‍යන්තර බලවතුන් වෙනම දෙමල රාජ්‍යයක් සදහා මෙරටට මැදිහත් වන බවට පරිකල්පනය කරද්දී දෙමල ජාතිකවාදීන් කල්පනා කලේ සිය අරමුන ඉටු කර දීමේ උවමනාවක් එම බලවතුන්ට නැති බවයි.

දෙමල සුලු ධනේශ්වර සමාජ කොටස් මත පදනම් වූ කේඩරයක් සහිත එල්ටීටීඊය වෙනම රාජ්‍යයක් පිලිබද ජාතිකවාදී ඉල්ලීමෙන් මෙහා ඒමට කිසිවිටෙක සූදානම් නොවීය.නමුත් එල්ටීටීඊයටත් පාලන බලයට හවුල් වීමට ඉඩ ලැබෙන ෆෙඩරල් වර්ගයේ රාජ්‍යමය ප්‍රතිසංස්කරනයකින් එහා යාමට ‍ගෝලීය බලවතුන්ටත් අවශ්‍යතාවයක් තිබුනේ නැත.කුඩා දූපතක පිලිමල් සතුරු රාජ්‍යයන් දෙකක් - එල්ටීටීයේ මෙම ඉදිරිදර්ශනය ගෝලීය බලවතුන්ගේ වෙලද අරමුනු සමග සමපාත වූවක් නොවීය.

සාම සාකච්ඡා බිද වැටී යුද්ධය ආරම්භ වූ කල්හි එල්ටීටීඊය රජයේ හමුදා අතින් සමූලඝාතනය වනවිට නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ගෝලීය බලවතුන් යොමු වූයේ එල්ටීටීඊයේ  අසම්මුතිකාමී චර්යාව තවදුරටත් කලමනාකරනය කල නොහැකි බවට ඔවුන් වටහා ගෙන තිබුනු බැවිනි.සුලු ධනේශ්වර එල්ටීටීඊය මෝඩ ලෙස විශ්වාස කලේ අවසන් මොහොතේ හෝ ගෝලීය බලවතුන් මැදිහත්ව තමන්ව ගලවාගනු ඇති බවයි.එහෙත් එල්ටීටීඊය පනිවුඩ පිට පනිවුඩ යවද්දීත් වන්නියේ දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් මියයද්දීත් රජයට යුද්ධය නතර කරන ලෙස ආඥා නිකුත් කිරීමට ගෝලීය බලවතුන් ඉදිරිපත් වූයේ නැත.

එසේ ඉදිරිපත් නොවූයේ ඇයි? සිංහල ජාතිකවාදීන් අදටත් අමන ලෙස කල්පනා කරන්නේ එවැන්නක් සිදුනොවූයේ මහින්ද රාජපක්ෂගේ රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ ඔහුගේ මහානුභාවසම්පන්න පෞරුෂය නිසා බවයි.එහෙත් සැබැවින්ම එල්ටීටීඊය විනාශ වීම වැලැක්වීමේ උවමනාවක් අධිරාජ්‍යවාදයට නොවීය.ඔවුහු  එහි විනාශය නිහඩව අනුමත කලහ.අවම වශයෙන් තම රටවල පැනැවූ එල්ටීටීඊ තහනම ඉවත් කිරීමට හෝ පියවර නොගත්හ.

එල්ටීටීය විනාශ වූ පසු දැන් ගෝලීය ප්‍රාග්ධනය දිවයින තුල බාධා රහිතව ගලායමින් පවතී.දෙමල ප්‍රභූ පංතිය සමග යම් බලය බෙදාගැනීමක් සිදුකරන ලෙසට ගෝලීය බලවතුන්ගේ පාර්ශවයෙන් සිංහල ධනපති ආන්ඩුවට තෙරපීමක් ඇත.එවැන්නක් සිදුනොකලහොත් පවතින ජාතික පීඩනය පුපුරා ගොස් නැවත රටේ කාර්මික සාමය බිද වැටිය හැකි බවට ගනන් බැලීමක් ඔවුන්ට පවතී.මානව හිමිකම් හා බලය බෙදීම යනාදිය පිලිබද තෙරපුම ආන්ඩුවට එනුයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.දෙමල ප්‍රභූ පංතිය සමග සම්මුතියකට යන ලෙස ගෝලීය බලවතුන් බල කරන්නේ රට බෙදීමේ ඊනියා උවමනාවක් මත නොව රට තුල ගෝලීය ප්‍රාග්ධනයේ ගලායාම කල්පවතින ලෙස තහවුරු කල හැකි එකම මාර්ගය එවැනි ප්‍රතිසංස්කරනයක් බවට ඔවුන් තක්සේරු කර ඇති බැවිනි.ප්‍රාග්ධනයේ චලිතය ගැන අවබෝධය රහිත ජාතිකවාදී අප්‍රබුද්ධයින් සිංහල සංස්කෘතියට රටේ ඇති තැන අහිමි කරන "බටහිරයන්ගේ කුමන්ත්‍රනයක්" ලෙස වටහා ගන්නේ ගෝලීය ධනවාදයේ මෙකී හැසිරීමයි.

9 comments:

  1. මෙම ලිපියේ රාමචන්ද්‍ර දේශපාලන බල අධිකාරීන් 3ක්, ආර්ථික ක්‍රමයක් සහ එහි උපකරණ හඳුනාගනියි.

    1.අධිරාජ්‍යවාදී ගෝලීය ධනවාදි බලවේග
    2.සිංහල ජාතිකවාදීහු (වම + දකුණ )
    3.දෙමල ජාතිකවාදීහු (+එල්ටීටීඊ)

    A.ගෝලීය ධනවාදය
    B.ගෝලීය ප්‍රාග්ධනය

    ලේඛකයා මෙහි නගන තර්කය නම් ඉහත අංක 1 අධිරාජ්‍යවාදී ගෝලීය ධනවාදි බලවේග විසින් කරන්නේ ඔවුන් සැලසුම් කොට හසුරවන ලබන ගෝලීය ධනවාදය නම් ආර්ථික ක්‍රමයේ තියන ගඟක් මෙන් ගලා යා හැකි ප්‍රාග්ධනය නම් දෙය බාධාවන් නැතිව ගලායාමට ඇති නිදහස තහවුරු කිරීම මිස ඉහත 2 සහ 3 පාර්ශව වලට පක්ෂව හෝ විපක්ෂව බටහිරයන්ගේ කුමන්ත්‍රනයක් නොමැති බවයි.
    මට මේ කුමන්ත්‍රණය තිබේද නැද්ද යන්න පිළිබඳව රාමා කියන දෙය සමග ගැටළුවක් නැත. ගැටලුව ඇත්තේ රාමා කියන පරිදි ධනවාදයට කේන්ද්‍රයක් සහ පරිධියක් තිබේ කීම සහ ධනවාදය වැඩකරන්නේ ඉහත අංක 1 අධිරාජ්‍යවාදී ගෝලීය ධනවාදි බලවේග වලට වාසිදායක විදියට සහ ප්‍රාග්ධනය යනු ගලායන දෙයක් යයි කීමයි.
    මට අනුව මෙය සම්පුර්ණයෙන් වැරදි අදහසකි ධනවාදය වැඩකරන්නේ මෙසේ යයි සිතීම ප්‍රාග්ධනය යනු කුමක්දැයි තේරුම් ගැනීමට මාර්ක්ස්ගේ සුරාකෑම නම් (කල්පිත) න්‍යාය (theory of exploitation) මත දෘෂ්ටිවාදයක් ලෙස එල්ලී සිට සිතන්නට යාම නිසා බිහිවන්නකි. නූතන ලෝකය වැඩ කරන්නේ මාර්ක්ස් සිතු ලෙස නොවේ. අඩු තරමේ ඩේවිඩ් රිකාඩෝ ගේ labor theory of price වත් අද කාලයේ වලංගු නොවේ. කොරියාවේ PSY ගැන්ගන්ම් ගීතය යුටියුබ් දමා ඇමරිකාවේ සමාගම් වල වෙළඳ දැන්වීම් වලින් මුදල් උපයා කෙටි කලකින් බිලියන පතියකු වීම මාක්ස් ගේ යල්පැන ගිය දෘෂ්ටිවාද මත පදනම් වූ ධනවාදයට කේන්ද්‍රයක් සහ පරිධියක් ඇතැයි කීම සමග ගලපන්නේ කෙසේද?
    නුතන ලෝකය වැඩකරන්නේ භූගෝලීය ලෙස කේන්ද්‍රයක් සහ පරිධියක් ලෙස නොව කාලයේ ගමන්මග(passage of time) සහභාගී වන වටරවුම්සහගත (Roundaboutness)ලෙසය. මෙම වටරවුම් ක්‍රියාවලිය නිසා නිෂ්පාදිත භාණ්ඩ සඳහා labor value එකට වඩා වැඩි මුදලක් නිතරම ලැබේ. එමනිසා තවදුරටත් ප්‍රාග්ධනය තේරුම් ගැනීමට සුරාකෑම නම් කල්පිතය වලංගු නොවේ.
    ධනවාදය මෙහෙයවන හිමිකරුවකු නොමැත එයට කේන්ද්‍ර පරිධිය නොමැත. පාරිභෝගිකගේ ඉල්ලුම මත මිස(consumer demand) ප්‍රාග්ධනයේ ව්‍යාප්තිය රාමා කියන අධිරාජ්‍යවාදී ගෝලීය ධනවාදි බලවේග වල අවශ්‍යතාවයන් අනුව සිදු නොවේ.

    ReplyDelete
  2. වඩා නිරවුල්ව පහැදිලි කරන්නේ නම් ධනවාදය විසින් ප්‍රාග්ධනය ආයෝජනය කරන්නේ ලෝකයේ කුමන රටක කුමන කර්මාන්තයක් තුලද යන්න තීරණය කරන්නේ පාරිභෝගිකගේ ඉල්ලුමයි. නිදහසේ ගලා යාමට ඉඩ තිබුනා කියා යාපනේ තල් ගස් සහ වැලි පමණක් ඇති තැන් වලට ගලායාමට එයට අවශ්යතාවයක් නැත. මෙය පැහැදිලි කිරීමට ඔබ ඉහත යොදාගත් ලංකාවේ ජනවාර්ගික ගැටලුවම උදාහරණයට ගත්තොත් ඉහත 2.සිංහල ජාතිකවාදීහු (වම + දකුණ ) සහ 3.දෙමල ජාතිකවාදීහු (+එල්ටීටීඊ) පාර්ශව අතර යුද්ධය තිබෙන විට යුධ අවි සඳහා පාරිභෝගික ඉල්ලුමක් ඇත එවිට එම ඉල්ලුම සඳහා චීනයේ යුධ අවි කර්මාන්තශාලාවක හදන තුවක්කු සඳහා ඉල්ලුමක් ඇතිවේ එවිට ප්‍රාග්ධනය එහි ආයෝජනය වෙයි. ලංකාවේ ඉල්ලුම නිසා මෙම තුවක්කු වල ශ්‍රම වටිනාකමට වඩා වැඩි මිලකට එය ලංකාවට විකිණිය හැකිය.

    ReplyDelete
    Replies
    1. උදිත - //වඩා නිරවුල්ව පහැදිලි කරන්නේ නම් ධනවාදය විසින් ප්‍රාග්ධනය ආයෝජනය කරන්නේ ලෝකයේ කුමන රටක කුමන කර්මාන්තයක් තුලද යන්න තීරණය කරන්නේ පාරිභෝගිකගේ ඉල්ලුමයි.//

      ධනවාදී ව්‍යවසායක් ප්‍රාග්ධනය ආයෝජනය කරන්නේ කවර රටක කවර කර්මාන්තයක් මත ද කියන එක ගැන තීන්දු ගන්නේ තමන්ගේ ලාභ අරමුන මත.තුන්වෙනි ලෝකයේ රටවල්වල ශ්‍රමය ලාභයි.ඇපල් සමාගම චීනයේ සිය කර්මාන්තශාලා පිහිටුවන්නේ ඇයි අමෙරිකාවේ පිහිටුවන්නේ නැතිව?මෙය පැහැදිලි කල හැකි එකම ආකාරය ලාභ අරමුන පමනයි.

      //ගැටලුව ඇත්තේ රාමා කියන පරිදි ධනවාදයට කේන්ද්‍රයක් සහ පරිධියක් තිබේ කීම සහ ධනවාදය වැඩකරන්නේ ඉහත අංක 1 අධිරාජ්‍යවාදී ගෝලීය ධනවාදි බලවේග වලට වාසිදායක විදියට සහ ප්‍රාග්ධනය යනු ගලායන දෙයක් යයි කීමයි.//

      ප්‍රාග්ධනය ගලා යාම - මේක ධනේශ්වර අර්ථ ශාස්ත්‍රඥයිනුත් පිලිගන්න සරල නිරීක්ෂනයක් නේද?යුරෝපයේ සමාගමක් පැමින ලංකාවේ ඇගලුම් කම්හලක් ඇරඹූවා යැයි සිතමු.එතනදී සිදුව තිබෙන්නේ යුරෝපා ප්‍රාග්ධනය ලංකාවට ගලා ඒම.ප්‍රාග්ධනය විශාල වශයෙන් සම්මුචිගතව තිබෙන්නේ දියුනු ධනවාදී රටවල්වල නිසා මේ ගලා ඒම බොහෝ විට ඒක දිශාගතයි ( එනම් කේන්ද්‍රයේ සිට පරිධියට ) උදිත ජීවත් වන ඇමරිකාව ප්‍රමුඛ බටහිර දියුනු ධනවාදී ලෝකය තමයි කේන්ද්‍රය.ලංකාව ඇතුලු සෙසු රටවල් භ්‍රමනය වෙන්නේ ඒ කේන්ද්‍ර‍ය වටේ.ලෝකයේ ආර්ථික දේශපාලන කටයුතු සම්බන්ධයෙන් වැඩි බලපෑම් කිරීමේ හැකියාවක් ඒ රටවල් වලට ලැබී තිබෙන්නේත් ඔවුන් මේ පද්ධතියේ කේන්ද්‍රය බවට පත්ව තිබෙන නිසා.

      //කොරියාවේ PSY ගැන්ගන්ම් ගීතය යුටියුබ් දමා ඇමරිකාවේ සමාගම් වල වෙළඳ දැන්වීම් වලින් මුදල් උපයා කෙටි කලකින් බිලියන පතියකු වීම මාක්ස් ගේ යල්පැන ගිය දෘෂ්ටිවාද මත පදනම් වූ ධනවාදයට කේන්ද්‍රයක් සහ පරිධියක් ඇතැයි කීම සමග ගලපන්නේ කෙසේද?//

      //මට අනුව මෙය සම්පුර්ණයෙන් වැරදි අදහසකි ධනවාදය වැඩකරන්නේ මෙසේ යයි සිතීම ප්‍රාග්ධනය යනු කුමක්දැයි තේරුම් ගැනීමට මාර්ක්ස්ගේ සුරාකෑම නම් (කල්පිත) න්‍යාය (theory of exploitation) මත දෘෂ්ටිවාදයක් ලෙස එල්ලී සිට සිතන්නට යාම නිසා බිහිවන්නකි.//

      මේක තරමක් සංකීර්න කතාවක්.කෙටියෙන් කියනවා නම් මාක්ස්ගේ විධික්‍රමය මොකක්ද කියන එක මෙහිදී පැහැදිලි කරගත යුතුයි.මාක්ස් සිදුකලේ දයලෙක්තික විධික්‍රමය යොදාගෙන ඔහුගේ යුගයේ පැවති ධනවාදය විශ්ලේෂනය කිරීම.එම ධනවාදය එලෙසින්ම පවතිනු ඇතැයි මාක්ස්වත් අපේක්ෂා කලේ නැහැ.දේවල් වල චලිතය හා සංවර්ධනය දයලෙක්තික භෞතිකවාදයේ ප්‍රධානම පිලිගැනීමක්.

      මාක්ස්ගේ කාලයේ තිබුනු ධනවාදය නෙමෙයි අද තිබෙන්නේ කියන එක ප්‍රත්‍යක්ෂ සත්‍යයක්.අද "මාක්ස්වාදය" කියා මා විශ්වාස කරන්නේ දේවල්වල සිදුව ඇති වෙනස මාක්ස්ගේ විධික්‍රමය යොදාගෙන විශ්ලේෂනය කිරීම.එතැන දී ඇතැම් දේවල් ( ඔබ උදාහරනයකට ගෙන ඇති මියුසික් වීඩියෝව වැනි බුද්ධිමය නිශ්පාදනයන් ) පැරනි මාක්ස්වාදී විග්‍රහය තුලින් පැහැදිලි කල නොහැකි බව මා පිලිගන්නවා.නෙග්‍රි හා හර්ඩ්ට් වැනි අය Cognitive capitalism තත්වය මාක්ස්වාදී විධික්‍රමය හරහා විග්‍රහ කරමින් සූරාකෑමේ නව ප්‍රභේද ගැන අදහස් දක්වා තිබෙනවා.

      ඒත් මාක්ස් ‍ඔහුගේ කාලයේ කල විශ්ලේෂනය එලෙසම යොදාගත හැකි අවස්ථා අපමන පවතිනවා.කාර්මික ව්‍යවසායන් තුල පවතින තත්වය ඒ හරහා නිශ්චිතවම පැහැදිලි කල හැකියි.ඇපල් සමාගමේ උදාහරනයට ගියොත් ස්ටීව් ජොබ්ස් ගේ බුද්ධිමය නිෂ්පාදනයට කල හැකි දෙය ගැන මාක්ස් පුරෝකථනය නොකල බව සත්‍යයක්.ඒත් ඒ බුද්ධිමය සිතුවිල්ල සැබෑ නිෂ්පාදනයක් බවට පත්වන අවස්ථාව - එනම් ශ්‍රමය හරහා ප්‍රාග්ධනය ප්‍රසාරනය වීම - පැහැදිලි කල හැක්කේ අන් කවර ආකාරයට ද?

      පහත සබැදියට පිවිසෙන්න

      http://www.counterpunch.org/2012/02/16/rotten-apple/



      Delete
    2. නැහැ මම "බුද්ධිමය නිෂ්පාදන" වලට මාක්ස් ගේ විශ්ලේෂන යොදාගැනීම නොහැකි බව හෝ දයලෙක්තික විධික්‍රමය යොදා මාක්ස් එකල ධනවාදය විශ්ලේෂනය කිරිම ගැන නොවෙයි කියන්නේ.මම කියන්නේ ප්‍රාග්ධනය කෘතියේ නිෂ්පාදනය වන භාණ්ඩ වල වටිනාකම නිර්ණයේදී ශ්‍රමය තීරණාත්මකයි ඒ කාලයේඅද එහෙම නෑ ඒ ගැන මාක්ස් කියූ දේවල් අද වන විට වලංගු නැහැ රිකාඩෝ පවා වැරදියි කියන එකයි මම කියන්නේ එත් Böhm-Bawerk ප්‍රාග්ධනය ගැන කියන එක අද ප්‍රායෝගික සත්‍යයක් .
      ඔබ ඇපල් සමාගම චීනයේ ෆොක්ස්කොන් එකේ ඉන්න (ඇමරිකාවට වඩා ලාභ කම්කරුවන්) ලවා චීනයේ කර්මාන්ත ශාලාවක සෑදීම ඇපල් සමාගමේ ලාභයට සහ ප්‍රාග්ධනයට සම්බන්ධ කරන පොයින්ට් එක මේ ශ්‍රමය පිලිබඳ යල් පැන ගිය න්‍යායයි.
      ඇපල් අයිෆෝන් එකේ මිල දැන් තිබෙන ගානට අඩුවී තිබෙන්නේ සහ කොරියාවේ ලාභ ශ්‍රමයෙන් හදන සැම්සුන් ගැලැක්සි සමග තරඟ කරන්නට හැකියාව ලැබී ඇත්තේ ලාභ චීන ශ්‍රමය නිසා මුත් එම භාණ්ඩයේ වටිනාකමෙහි වැදගත්ම පංගුව සහ අතිරික්ත වටිනාකම මාක්ස් සිතූ ලෙස සහ ඔබ කියන පරිදි චිනාගේ ශ්‍රම සාධකය නොවේ. හිතන්න මේක නිෂ්පාදනයේදී අයිෆෝන් එකේ තිරය කොටස ජපානයෙන් මිලදී ගන්නවා කියල අන්න ඒ වගේ එහි එක්තරා කොටසක් විතරයි ශ්‍රමය කියන්නේ.ඒක චීනයෙන් ගන්නවා. මේක වටිනාකම ඇත්තටම සම්බන්ධ වන්නේ චිනාගේ ශ්‍රමයට නොවෙයි අයිෆෝන් එකට තියන ඉල්ලුම, පාරිභෝගිකයා මේකට ගෙවන්න ලෑස්තිද කියන තැන.
      ලංකාවේ ඔයා කියන ඇඟලුම් උදාහරණයම ගන්නවානම් ලංකාවේ ශ්‍රමය යොදා සාදන වික්ටෝරියා සික්‍රට් කාන්තා යට ඇඳුම් වල මිල තීරණය වී ඇත්තේ ඒ වෙළඳ නමට තියන ඉල්ලුම හින්ද. මේ නම හදල ඒවායේ ඉල්ලුම ඇති කරන වටිනාකම සංකේතීයව වැඩිකරන්න පෙනී සිටින එම සමාගමේ සිටින Adriana Lima වගේ නිරුපිකාවන් ගේ රූමත් බව අදාළ නිෂ්පාදිත ඇඳුමට එකතු කරන වටිනාකම ලකාවේ ඇඟලුම් කම්හලේ කම්කරු තරුණිය එකතු කරන වටිනාකමට වඩා තීරණාත්මකයි. මේක මාක්ස්ට හිතාගන්නවත් බෑ.

      Delete
    3. ප්‍රාග්ධනය ප්‍රසාරනය වෙන්නේ ශ්‍රමය හරහා කියන එක පිළිගන්න එක අත හැරියොත් ඔබට වමාන්ශිකයෙක් විදියට ඔබේ අනන්‍යතාවය ගෙනියන්න බැරිවෙනවා එය මට තේරුම් ගත හැකියි නමුත් අවාසනාවකට අද ලෝකයේ ප්‍රාග්ධනය ප්‍රසාරණය වන්නේ ශ්‍රමය හරහා නොවෙයි. සමහර භාණ්ඩ වලට එය ඉතා නොවැදගත් කොටසක් පවා වෙලා.

      Delete
    4. උදිත, ඇයි එහෙමනම් ඇමරිකානු සංගත චීනෙ ලාබ ශ්‍රමය සොයාගෙන එන්නෙ?

      ඔබ කියන්න හදන්නෙ ප්‍රවර්ධනය, ශ්‍රමයට වඩා මූලිකයි කියලද? එහෙමනම් වඩා තීරනාත්මක ප්‍රවර්ධනයට මූලිකත්වය දෙමින්, අඩු තීරනාත්මක ශ්‍රමය ඇමෙරිකාවෙන්ම ගන්න පුලුවන්නෙ. ඇයි චීනෙට එන්නෙ?

      ප්‍රවර්ධනය (හෝ වෙනත් දෙයක්) ශ්‍රමයට වඩා මූලික නම් එය පහදා දෙන්න / සනාත කර පෙන්වන්න. මාක්ස්ට හිතා ගන්නවත් බෑ වගේ දේවල් කීමෙන් ඔබේ මතය සනාත වෙන්නෙ නෑනෙ.

      - Dimithri

      Delete
    5. @- Dimithri
      //ප්‍රවර්ධනය (හෝ වෙනත් දෙයක්) ශ්‍රමයට වඩා මූලික නම් එය පහදා දෙන්න//
      මම එහෙම දෙයක් කියන්නේ නැහැ මට අවශ්‍යතාවයනක් නැහැ නේ එකක් ප්‍රධාන කරලා එලියට ගන්න ඕන උනේ මාක්ස් ට එයා ශ්‍රමය කියන එක එලියට අරන් ලාභය නොගෙවන ලද ශ්‍රමයේ වටිනාකමට සමාන කරල දැම්මේ. මේ සියවසේදී ඒක විහිළුවක් සමහර තැන් වල ශ්‍රමයට ඕනෑවටත් වඩා ගෙවනවා. ඔබගාව මුදලක් තියනවා ඔබ අවදානමක් අරන් මෙය ආයෝජනය කරනවා මේ හදන බඩුව විකුණලා ලාභ ලබන්නත් පුළුවන් පාඩු වෙන්නත් පුළුවන් ඉතින් මේ මුදලින් ආප්ප කාල නිකං ඉන්නේ නැතුව භාණ්ඩයක් නිපදවන්න යොදවන මොහොතේ ගන්න අවදානමේ වටිනාකම තමයි ලාභය කියන්නේ කියල මම කිව්වොත් ඔබ කොහොමද එය මම මේ භාණ්ඩය හදන්න ශ්‍රමිකයට ගෙවන මුදල අඩුවෙන් ගෙවීම කියල සනාථ කරලා පෙන්වන්නේ? මම කිසි දෙයක් මුලික කරන්නේ නැහැ මේ ශ්‍රම අතිරික්තය සුරාකෑම සනාථ කරන්න වම්මු ගේන ශ්‍රමය ප්‍රධාන කිරීමට එකඟ නෑ.එච්චරයි

      Delete
  3. ප්‍රාග්ධනය, ප්‍රාග්ධන..!!, ප්‍රාග්ධනය....!!??, ප්‍රාග්ධනය...???, ප්‍රාග්ධනය.......##$$%%?????? අක්ක මට පිටු එක්දහස් ගණනක පොතක් දීලත් ප්‍රාග්ධනය කියනේ මොකක්ද කියල තාම තේරුම් ගන්න බැනේ බන්.දැන් බලපන් ලංකාවේ ලව් ජුස් ගැටලුවම උදාහරණයට ගත්තොත් ගනු සහ පිරිමි පාර්ශව අතර කුමන හෝ හැමිනිමක් තිබෙන විට ලව් ජුස් ඳහා පාරිභෝගික ඉල්ලුමක් ඇත. එවිට එම ඉල්ලුම සඳහා සඳහාඇමරිකාවෙ ලව් ජුස් කර්මාන්තශාලාවක හදනලව් ජුස් සඳහා ඉල්ලුමක් ඇතිවේ එවිට ප්‍රාග්ධනය එහි ආයෝජනය වෙයි. ලංකාවේ ඉල්ලුම නිසා මෙම ලව් ජුස් වල ශ්‍රම වටිනාකමට වඩා වැඩි මිලකට එය ලංකාවට විකිණිය හැකිය. .අයියියෝ ........ප්‍රාග්ධනය, ප්‍රාග්ධන..!!, ප්‍රාග්ධනය....!!??, ප්‍රාග්ධනය...???, ප්‍රාග්ධනය.......##$$%%??????මට ඔලුව තෝන්තු වෙලවගේබන්. රාමචන්ද්‍ර උබ කොහිද? මගේ අසහනයට බෙහෙත උබේ බ්ලොගේ' බන්.

    ReplyDelete
    Replies
    1. http://kathandara.blogspot.com/2012/12/what-colour-is-love-juice.html

      Delete