Friday, December 7, 2012

ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් තුලින් විමුක්තිය ලැබීම

අහිතකර සේවා කොන්දේසි වලට එරෙහිව දකුනු එංගලන්තයේ මැක්ඩොනල්ඩ්ස් අවන්හලක්
ඉදිරිපස සිදුකෙරෙන විරෝධතා දැක්වීමක් 

මැක් ඩොනල්ඩ්ස් ආයතනය "මැක් සේවර්ස්" නමින් අලුත් ආහාර පැකේජයක් හදුන්වා දී ඇති බව දැනුම් දෙන දැන්වීම් දැන් කොලඹ නගරය පුරා දක්නට ලැබේ.මෙම නව පැකේජය අනුව රුපියල් සියයක පමන මුදලකට ආහාර වට්ටෝරුවක් මිලදී ගත හැක.කලෙකට ඉහත KFC ආයතනයත් මෙවැනිම ක්‍රියාමාර්ගයකට යොමු වූ අතර සාමාන්‍ය පාරිභෝගිකයෙක්ට දැරිය හැකි මිලකට ප්‍රමානයත් ගුනයත් අඩු කරනු ලැබූ ආහාර පැකේජ හදුන්වා දීම හරහා තමා වෙත ඇද ගන්නා පාරිභෝගිකයන් පිරිස ඔවුහු වැඩි කර ගත්හ.

මැක්ඩොනල්ඩ්ස් පන්නයේ අවන්හල් ඒවා මෙරටට හදුන්වා දුන් මුල් කාලයේදී යම් පාංතික අනන්‍යතාවයක් හගවන ආයතන ලෙසය සලකන ලද්දේ.එනම් ඒවායේ ආහාර වල සාපේක්ෂ ඉහල මිල නිසා මෙබදු අවන්හල් ඉහල පංතියේ පරිභෝජනය සදහා පමනක් විවෘත වූ ඒවා ලෙස සලකන ලදී.ඒ නිසා මේවා වෙත යාම පහල පාංතිකයෙකුගේ දෘෂ්ටියෙන් ගත් කල "මාර" අත්දැකීමක් විය.පීසා හට් අවන්හලට සිය පෙම්වතිය සමග ගොස් එහි ඇති අධික මිලැති ආහාර අතරින් සාපේක්ෂව අඩු මිලට මිල දී ගත හැකි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් අනුභව කිරීමට පුරුදු ව සිටි මිතුරෙක් මෙම ලියුම්කරු දැන සිටියේය.මෙහිදී ඔවුන් පීසා හට් වෙත යන්නේ ආහාර අවශ්‍යතාව මතම නොව එබදු ස්ථානයකට ගිය විටදී භුක්ති විදිය හැකි "මාර" හැගීම විදගැනීමටය.එය තමුන් පොෂ් වැඩක් කලා යැයි සිතීම තුල දැනෙන හැගීමකි.

අඩු මිලැති ආහාර පැකේජ හදුන්වා දීම මගින් මෙබදු අවන්හල් දැන් දැන් සිය පාරිභෝගික තීරුව ප්‍රසාරනය කර ගනිමින් සිටී.KFC බදු අවන්හලක් වෙත වර්තමානයේ ගිය කල්හි එහි ආහාර පෝලිම්වල බොහෝ විට දක්නට ලැබෙන්නේ සාමාන්‍ය පාංතික ගැහැනුන් හා මිනිසුන්ය.සියොලග දාඩිය පෙරාගෙන බස් රියේ,දුම්රියේ දෛනික ගමන් සිදුකරන මෙම ජනයා එබදු 'පොෂ්' අවන්හල් වෙත ‍ගොස් අඩු මිලැති ආහාර පැකේජයක් මිලදී ගෙන භුක්ති විදිති.අවන්හල් සේවකයෝ  සර් හෝ මැඩම් යනුවෙන් ආමන්ත්‍රනය කොට ඔවුන් පිලිගනිති.

මෙබදු ස්ථානයකට ඇතුලු වන සාමාන්‍ය පංතික මිනිසාගේ මානසිකත්වය තුල ඇතිවෙන පරිවර්තනය මෙහිලා සිත්ගන්නා සුලුය.දෛනික ජීවිතය තුල දහසක් පීඩාවන්ගෙන් හෙම්බවත්ව සිටින්නෙක් වෙත නිල ඇදුමක් හැදගත් අවන්හල් සේවකයෙක් පැමින සර් යැයි ගරුසරු සහිතව ඇමතූ කල්හි ඇතිවන මනෝභාවය කවරක්ද?මීට පෙර ධනවත් අය සදහා පමනක් වෙන් වූ අවන්හලක් වෙත තමා දැන් පැමින සිටිනවා පමනක් නොව එහි සිටින සේවකයින් තමාට සර් කියා ද අමතයි.දැන් දෛනික ජීවිතය තුල පීඩිතයාගේ ජීවන කොන්දේසි අබ මල් රේනුවකින් වෙනස් වී නැත.වැටුප් ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න හා ජීවන අරගලය පිලිබද ප්‍රශ්න සියල්ල එසේමය.එහෙත් එක් මොහොතකට ඔහුත් සර් කෙනෙකි.

මේ අනුව තවදුරටත් තමා පෙලන පීඩක යථාර්තය ජයගැනීම සදහා තමා අවට තිබෙන සමාජ ‍කොන්දේසි සමග පොර බැදීම අවශ්‍ය නොවේ.අවශ්‍ය වන්නේ හුදෙක් මැක්ඩොනල්ඩ්ස් බදු අවන්හලකට ගොස් අඩු මිලට තිබෙන ආහාර පැකේජයක් භුක්ති විදිමින් හෝරාවක් දෙකක් ගත කිරීම පමනි.පරිභෝජනය විසින් විමුක්තිය පිලිබද ව්‍යාජ හැගීමක් පීඩිතයා තුල ජනිත කරන අතර පීඩිතයා ඒ හරහා වඩ වඩා පරිභෝජනය වෙතම යොමුවීම පෙරලා සේවය කරන්නේ ඒ ඒ ව්‍යවසායන්ගේම ප්‍රාග්ධනය ඉහල නැංවීම වෙනුවෙනි.

මෙහි ඇති විරුද්ධාභාසය වූ කලී බාහිර සමාජයේ පීඩිතයාට විමුක්තිය පිලිබද මනෝභාවය සපයන මෙබදු ව්‍යවසාය වල අභ්‍යන්තර සේවකයින් ගොදුරු වන පීඩාකාරී මනෝභාවයයි.KFC වැනි ආයතන දැන් වැඩි වැඩියෙන් බදවා ගන්නේ අර්ධකාලීන සේවකයින්ය.බොහෝවිට සරසවි සිසුන් වැනි ආර්ථික අපහසුතා සහිත පිරිස් මේවායේ සේවයට යොමුවෙති.අතිශය වෙහෙසකාරී වැඩ දිනයක් මෙම සේවකයින් මත පැටවෙන අතර ඊට ඔවුන් ලබනුයේ සොච්චම් ගෙවීමකි.අවන්හලට එන (පාරිභෝගික) පීඩිතයාට සර් යැයි අමතන්නේ සිය දෛනික ජීවිතයේ පීඩාවෙන් මිදෙනු වස් සුලු වේතනයකට මෙබදු ආයතන වෙත සේවයට බැදෙන, එම ආයතනය තුලමත් නැවත වටයකින් සූරාකෑමට ගොදුරු වන පීඩිතයෙකි.

එම අභ්‍යන්තර කම්කරුවාගේ විමුක්තිය සදහා ධනවාදය යෝජනා කරන විසදුම කුමක්ද?වෙහෙසකාරී වැඩ දිනය අවසානයේ නිවෙස බලායන අතරතුර ඔහුට ඇවැසි නම් ඒ වාගේම තවත් අවන්හලකට ගොඩවැදිය හැක.එවිට වෙනත් පීඩිතයෙක් පැමින ඔහුට සර් යැයි අමතනු ඇත.


13 comments:

  1. නිකං පිස්සු කියවන්නේ නැතුව ඉන්න ලොක්කා....ඉගෙන ගන්න ගමං, දෙමව්පියන්ට බරක් වෙන්නේ නැතුව, කීයක් හරි හම්බ කර ගන්න තියෙන එක කොච්චර හොද අවස්තාවක්ද? නිකං ඉදලා කන්න හදන එක නෙන්නම් මේ රටට වෙලා තියෙන හෙනේ...

    මැක්.කෙෆ්සී, පීසා හට යන සමහර පොරවල් ගාව අරකියලා තියෙන වගේ හැගීම නම් ත්යෙනවා ..ඒත් මොකක්ද එකේ වෑ‍රැද්ද,,කෑම කොන්ටිටි එක පොඩ්ඩක් අඩු උනාට කොලිටි එකයි ස්ර්විස් එකයි හොදයි....තමුන්ගෙ සල්ලි නේ...අනුන්ගේ සල්ලි හොරකම් කරලා හරි නිකං ඉදලා කන්න හදන වට වඩා නම් ඒක හොදයි..

    ReplyDelete
    Replies
    1. @ Mayya

      "දැන් දෛනික ජීවිතය තුල පීඩිතයාගේ ජීවන කොන්දේසි අබ මල් රේනුවකින් වෙනස් වී නැත.වැටුප් ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න හා ජීවන අරගලය පිලිබද ප්‍රශ්න සියල්ල එසේමය.එහෙත් එක් මොහොතකට ඔහුත් සර් කෙනෙකි."

      "මේ අනුව තවදුරටත් තමා පෙලන පීඩක යථාර්තය ජයගැනීම සදහා තමා අවට තිබෙන සමාජ ‍කොන්දේසි සමග පොර බැදීම අවශ්‍ය නොවේ.අවශ්‍ය වන්නේ හුදෙක් මැක්ඩොනල්ඩ්ස් බදු අවන්හලකට ගොස් අඩු මිලට තිබෙන ආහාර පැකේජයක් භුක්ති විදිමින් හෝරාවක් දෙකක් ගත කිරීම පමනි.පරිභෝජනය විසින් විමුක්තිය පිලිබද ව්‍යාජ හැගීමක් පීඩිතයා තුල ජනිත කරන අතර පීඩිතයා ඒ හරහා වඩ වඩා පරිභෝජනය වෙතම යොමුවීම පෙරලා සේවය කරන්නේ ඒ ඒ ව්‍යවසායන්ගේම ප්‍රාග්ධනය ඉහල නැංවීම වෙනුවෙනි."

      Delete
    2. Ramachandra, what do you smoke machan?

      Delete
    3. //.වැටුප් ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න හා ජීවන අරගලය පිලිබද ප්‍රශ්න සියල්ල එසේමය// ඉතින් මහත්තයෝ කේ එෆ් සි කාරයද ඒකට පලි ?

      Delete
  2. කම්කරුවාගේ විමුක්තිය සදහා සමාජවාදය යෝජනා කරන විසදුම හොඳයි හැබැයි රටේ හැමෝම මිනිස්සු හැම සේවකයෙක්ම හැම කම්කරුවෙක්මටම වැඩකරන්න තියන්නේ එක සමාන කාර්යක්ෂම බවක් කඩිසර කමක් උද්යෝගයක් කියල උපකල්පනය කරොත් සහ හැමෝම එකා වන්ව ස්වේච්ඡාවෙන් එහෙම වැඩකරනවා නම් විතරයි නේද? එහෙම නැත්නම් අපි කවුරුත් බෝධිසත්වයන් වගේ තමන්ට වඩා අඩුවෙන් කාර්යක්ෂම වැඩකරන නිපදවන අලස අසල්වැසියාටත් තමන් ලබන වරප්‍රසාදම සමානව ලැබීම බුක්ති විදීම ගැටළුවක් නැත්නම්. අවාසනාවකට මිනිස්සු යන්ත්‍ර වගේ එක සමාන නෑ. එහෙම නිකං කන්න දෙන්න කැමතිත් නෑ. පුලුවන්නම් වමේ අය තම තමන්ගේ පක්ෂ ඇතුලේ සමාජවාදී ක්‍රමය ක්‍රියාත්මක කරලා පෙන්නවන්න ඇතුලේ ගහ මරාගන්නේ නැතිව.දුකයි තමයි එත් සමාජවාදය ප්‍රයෝගික නැහැ දැන්වත් හිත හදාගන්න බලන්න

    ReplyDelete
    Replies
    1. මාක්ස්වාදීන්ට අනුව ආණ්ඩුව රටේ සියළු දෙනාටම පිනට කන්න බොන්න දිය යුතුය. නමුත් මේ මාක්ස්වාදීන් කවදාවත් නොකියන්නේ එසේ පිනට කන්න බොන්න දෙන්න සල්ලි සොයා ගන්නේ කෙසේද යන්නයි. මුන්ගේ මොලේ කචල්ය. ගණන් ගත යුතු නැත. නොසලකා හරින්න.

      Delete
  3. same story on waters edge and other foot paths. same concept.

    ReplyDelete
  4. ඔබ ඔය කියන විදියට සර් මැඩම් කියන් එක අපේ රට වගේ කාලකන්නි රටවල මාකර්ටින් ට්‍රික් එකක් විතරයි කියලා ඔය සර් කියන අයත්. සර් කියලා අහගන්න අයත් දන්නවා. සර්ලා ධනවාදයෙත්, සමාජවාදයෙත් ඇත්තටම ඉන්නවා. එයාලා දන්නවා ඔවුන් සර්ලා කියලත්. වාදේ ප්‍රශ්ණයක් නෑ. කොයි වාදෙදිත් ඇත්ත කතාව ඒකයි. හැමෝම තමන් කවුද කියලා දන්නවා. මම හොඳ කතාවක් කියන්නම්.

    මම ඉස්සර වැඩ කරපු ඔෆීස් එකක පියුන් මහත්තුරු දෙන්නෙක් ඩ්‍රින්ක් එකක් දාන්න කොලෝනියල් එකට ගිහින්. එකෙක් මාරි, අනිකා චන්ද්‍රසේන. මුන් මම ආශ්‍රය කරන්නේ යාලුවෝ වගේ. මුන් දෙන්නට වැඩි වෙලා ඉන්න කොට වේටර් ඇවිත් අහනවලු. සර් තව මොනවද ගේන්නේ කියලා. චන්ද්‍රසේනයා කිව්වලෞ අපි සර්ලා නෙමෙයි මචං අපි පියන්ලා කියලා. වේටරයා කියනවලු. අපි දන්නවා මචං. ඒත් ඉතින් සර්ලට වඩා අපිට සලකලා යන්නෙ උඹලා. ඒ නිසා කලිසම අඳින හැම එකාටම අපි සර් කියනවා කියලා. අද පීසා හට්, කේ එෆ් සී, මැක් ඩොනල්ඩ්ස් තත්වෙත් එහෙමයි. ඔබ මුලින් සඳහන් කරපු සෙට් එකට යන්න වෙනම තැන් දැන් තියෙනවා. නමුත් මේක මම දකින්නේ යහපත් දෙයක් හැටියට. දියුණුවක් හැටියට.

    ඔය සර් කිව්වට අපි සර්ලා නෙමෙයි කියලා හැම එකාම දන්නවා. අනික කියන එකා සර් කියන්නේ හදවතින් නෙමෙයි. උගේ රස්සව නිසා.

    ReplyDelete
  5. අනේ බං ඔය මැක්ඩොනල්ඩ්ස් වලට යන එවුන්ට ඒකෙ වැඩ කරන එවුන්ට ප්‍රශ්නයක් නැත්නම් උඹට තියෙන ප්‍රශ්නෙ මොකද්ද? නියම ඇට්ටකුණා මාක්ස්වාදී චින්තනය! කරන්න වෙන දෙයක් නැත්නම් චූ කරල බුදිය ගනින් මෝඩ කතා නොලියා.

    ReplyDelete
    Replies
    1. වැඩේ ඇත්ත මචන්, කොහෙවත් ඉන්න එවුන්ට රුදාව. එහෙම හරි කියක් හරි හොයා ගන්නවා. මෙයාලගේ ආණ්ඩුවක් ආවොත්, හිඟා බැරි වෙනවා. ඇයි හැමෝම හින්ගන්නොනේ!

      Delete
  6. /සියොලග දාඩිය පෙරාගෙන බස් රියේ,දුම්රියේ දෛනික ගමන් සිදුකරන මෙම ජනයා එබදු 'පොෂ්' අවන්හල් වෙත ‍ගොස් අඩු මිලැති ආහාර පැකේජයක් මිලදී ගෙන භුක්ති විදිති.අවන්හල් සේවකයෝ සර් හෝ මැඩම් යනුවෙන් ආමන්ත්‍රනය කොට ඔවුන් පිලිගනිති./

    ඉතින් උඹට ඉරිසියාවද?

    ReplyDelete