Friday, September 14, 2012

අනගාරික ධර්මපාල සමග අඩ නිරුවත් ගැහැනු



GO (Guys Only) නමැති සගරාව වසර කිහිපයකට පෙර හදුන්වා දෙන ලද්දේ තරුනයන් සදහා වූ ප්‍රකාශනයක් ලෙසිනි.බටහිර රටවල පලවන Men's magazine ආකෘතිය අනුව මෙරට සම්පාදිත පලමු දේශීය සගරාව එය විය.ඉහල ප්‍රමිතියෙන් යුක්ත කඩදාසියෙන් මුද්‍රිත එය අලෙවි කරන ලද්දේද තරමක අධික මිලකටය.සගරාවේ ඉලක්කගත පාඨක පිරිස වූයේ සිංහල කථාකරන මධ්‍යම පංතික යෞවන ප්‍රජාවයි.ඉහල මිලක් ගෙවා KFC අවන්හල් වෙතින් ආහාර මිලදී ගැනීම පොෂ්භාවය නිරූපනය කරන සංඥාවක් වන්නේ යම් සේද මධ්‍යම පංතික නාගරික තරුනයන් ඉහල  මිලකට GO සගරාව මිලට ගැන්මද සලකන්නට වූයේ ස්වකීය පොෂ්භාවය/මොඩ්භාවය පෙන්නුම් කරන විලාසිතාවක් වශයෙනි.

මෙම සගරාවේ කැපීපෙනෙන ලක්ෂනයක් වූයේ තරුනයන් උනන්දුව දක්වන නවීන තාක්ෂනික උපාංග,මෝටර් රථ,රගර් වැනි ක්‍රීඩා පිලිබද විශේෂාංග පලකිරීමට අතිරේකව සෑම කලාපයකම කවරය සැරසීම පිනිස කාන්තා නිරුපිකාවක් යොදාගැනීමය.බොහෝ විට අඩ නිරුවත් ලලනාවක මේ සදහා යොදාගනු ලැබුනි.සංස්කෘතික වශයෙන් ගතානුගතික රටක මෙලෙස අඩ නිරුවත් දේශීය නිරූපිකාවන්ගේ ඡායාරූප විවෘතව යොදාගැනීම මෙම සගරාව තරුනයන් අතර ජනප්‍රිය වීමට බලපෑ වැදගත් හේතුවකි.

GO සගරාවේ 2012 ජූලි කලාපයේ "සිංහලයෝ ජාතිවාදීහුද?බෞද්ධයෝ ආගම්වාදීහුද?"යන හිසින් විශේෂාංග ලිපියක් පලව තිබුනි.එම ලිපිය මෙම ලියුම්කරුගේ අවධානයට හසු වූයේ අදාල සගරාවේ සුවිශේෂී අනන්‍යතාවය තුල සැලකූ කල්හි එය කැපී පෙනෙන්නක් වූ බැවිනි." බොහෝ කලකට පෙර රාවනා යුගය තුල සිංහලයෝ දඩුමොන්රයේ නැගී අහසින් ගියෝය.රාවනා පරපුර සිහල නමින්ද හදුන්වයි.ශුද්ධ අධ්‍යාත්මික සංයමයක් සහිත අති දක්ශ රනකාමීහු එකල සිටියහ" යනුවෙන් රාවනා යුගය පිලිබද වර්නනයකින් ඇරඹෙන එම ලිපිය මගින් අවධාරනය කොට තිබුනේ මෙරට භූමිපුත්‍රයන් වන සිංහලයන්ට දිවයින තුල තිබිය යුතු සුවිශේෂී අයිතිය පිලිබදවය.මෙරට සිංහල බෞද්ධ අනන්‍යතාවයට සුලු ජාතීන් තර්ජනයක්ව ඇති ආකාරයත් සිංහල දේශපාලකයින් සිංහල උරුමය වෙනුවෙන් වඩ වඩා පෙනී සිටීමේ අවශ්‍යතාවයත් එමගින් ප්‍රකාශ කොට තිබුනි.එම ලිපිය සැරසීමට අනගාරික ධර්මපාලගේ ඡායාරූපයක් යොදාගෙන තිබුනු අතර ධර්මපාල සිංහලයන්ට සුලු ජාතීන්ගෙන් විය හැකි උපද්‍රව පිලිබද කරනු ලැබූ "අනතුරු හැගවීමක" උපුටනයක් ද ලිපියේ විය.

GO පන්නයේ සගරා නූතන ධනවාදයේ නවීන සංස්කෘතික නිමැවුම්‍ ලෙස සැලකිය හැක.වෙලදපොල විසින් - මොඩ් තරුනයා යනු මෙවැන්නෙකි - යනුවෙන් කතිකාමය ගොඩනැංවීමක් නිර්මානය කොට ඇත.GO වර්ගයේ ප්‍රකාශනයන් එම කතිකාමය සන්දර්භය තුල අර්ථ ගැන්වී ඇත්තේ නවීනභාවයේ සංඥාවන් ලෙසය.නවීන පන්නයේ විද්‍යුත් උපාංගවල විස්තර වල සිට අඩ නිරුවත් විලාසිතා දක්වා සියල්ලට එහි පිටු තුල ඉඩ වෙන් කෙරෙනුයේ මේවා මගින් නවීනත්වය ප්‍රකාශයට පත්වේ යන පදනම මත සිටය.

එබදු සන්දර්භයක නවීන විලාසිතාවෙන් සැරසුනු නලගනන් සමග සගරා පිටු තුල එකට අනගාරික ධර්මපාල ලැගීම අප‍ වටහා ගත යුත්තේ කෙසේද?නවීනත්වයේ ප්‍රකාශනයක් යැයි කියන සගරාවක රාවනා යුගය වැනි දූපත්වාදී ග්‍රාම්‍ය අදහස් වර්න ගැන්වීම පැහැදිලි කල හැක්කේ කෙසේද?විසිවස සියවස මුල දී යටත් විජිත සන්දර්භයක් තුල සිංහල වෙලද ස්ථරවල පැවැත්ම වෙනුවෙන් ධර්මපාල වැනි අය පල කල පසුගාමී ජාතිවාදී අදහස් විසිඑක් වන සියවසේ නූතන ධනවාදයේ වෙලදපොල තර්කනය යටතේ පලකෙරෙන සගරාවල එලෙසම මුද්‍රනය වන්නේ ඇයි?

මේ නූතන ධනවාදය ජාතිවාදය,ආගම්වාදය වැනි පසුගාමී අගතීන් සමග සන්ධානගතව ඇති ආකාරය සම්බන්ධ කදිම නිදර්ශනයකි.වෙලදපොල බලවේග වල දෘෂ්ටියෙන් ගත් කල්හි සමාජයේ පවතින මෙබදු පසුගාමී මනෝභාවයන් යනු ලාභ ලබනු වස් ඉලිප්පිය හැකි මුදල් උලපත් වෙති.ඒ නිසා ඒවා සමග සටන් වදිනු වෙනුවට ධනවාදය විසින් ඒවා මූල්‍යෝත්පාදක මාර්ග බවට පරිවර්තනය කෙරෙනු ලැබේ.ධර්මපාලගේ මුස්ලිම් විරෝධී ග්‍රාම්‍ය වර්ගවාදී අදහස් GO සගරාවේ වර්නවත් පිටු අතර නැවත මුද්‍රනය වන්නේ ඒ අනුවය.පෙනුමින් නවීන විලාසිතා අනුගමනය කලද පසුගාමී මනෝභාවයන්ගෙන් අත් නොමිදුනු සිංහල කථාකරන තරුන ජනයා අතර ධර්මපාල මෙන්ම රාවනා ද කදිමට විකිනිය හැකි බව වෙලද‍පොල දනී.ධනවාදය තව තවත් ව්‍යාප්ත කිරීම මගින් පසුගාමී සමාජ මනෝභාවයන් පරාජය කිරීම පිලිබද සිහින දකින්නවුන් අර්බුදයට යන්නේ වත්මන් ධනවාදය යනු අනගාරික ධර්මපාලත්,රාවන රජුත්,අඩ නිර්වස්ත්‍ර නිරූපිකාවනුත් එක මිටට ගනු ලැබූ සංකලනයක් වන හෙයිනි.

13 comments:

  1. කඳෙන් සෙනුරිල ෂෙහාන්ල උනාට ඔලුවෙන් තාමත් අප්පුහාමිල සුමනාවතීල...ලංකාවේ තරුණ පරම්පරාවේ ඇත්ත ඕක තමයි.

    ReplyDelete
    Replies
    1. ado patta machang umba kiyapu kathawa . atthhatama siri

      Delete
  2. ඉරිදා පත්තර ගැන සිකුරාදා සෙනසුරාදා දවස්වල යන ටීවී එකේ යන ඇඩ් ටික බලන්නකො.

    ReplyDelete
  3. වීරවංශ ප්‍රමුඛ ජවිපෙ, හෙල උරුමය සමග තර‍ඟෙට වපුල ජාතිවාදය දැන් හොඳින් දලු ලා වැඩෙමින් තිබේ.

    ReplyDelete
    Replies
    1. 2.50හේ සිල්ලර තර්කයක්.
      මේරටේ සිහල ජාතිවාදය කියන ඵක විජය රජ්ජුරුවො ලoකාවට ගොඩබෑහෑපු දවසේ ඉදන්ම තියන දෙයක් මිසක් ජවිපෙ හරි හෙල උරුමය හරි ඈතිකරපු ඵකක් නෙවෙයි.
      අනික ලoකාවේ දේසපාලන පක්ශ අතරින් ජාතික සමගිය ගෑන කතා කරන ඵකම පක්ශය ජවිපෙ විතරයි.නෑගෙනහිර චන්දයේදී මහපක්ස දෙක ජාතිවාදය අවුස්සපු හෑටි බලන්න.
      දේසපාලන මන්භ්ද්දිකයො ටිකක ජවිපෙ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට ඵරෙහිවුන ඵක දෙමළ ජනතාවට ඵරෙහිවීමක් කියලා ගොන් පාට්ඵකක් ඵකක් දාන්න ට්‍රයි කරනවා. (කොයි ජාතියෙත් ජාතිවාදය, ජාතිවාදයමයි කියලා මුන්ට පේන්නෑ )
      මහජනතාව වශයෙන් අපි දේසපාලන මන්දබුද්දිකයන්ට අනුකම්පාකරනවා ඈරෙන්න මොනවාකරන්නද?

      Delete
    2. එතකොට සිංහල ධනපතීන්ගේ කුලී හමුදාවලට මානෙල් මල් දෙමින් දේශහිතෛශී ජාතික ව්‍යාපාරය වගේ එව්ව හරහා කොරේ ජාතිවාදය අවුස්සන එක නෙමෙයි නම් වෙන මොකක්ද බොස්?අධෝමුඛය බිම ඇනගෙන වත් තාම තේරෙන්නෙ නැහැ තමුන්ට කොතැනද වැරදුනේ කියල

      - අර්ජුන

      Delete
  4. අපේ රටේ මේ බොරු දේශප්‍රේමය,බොරු බොදු බැති බව මෑත කාලයේ වඩාත් වැඩියෙන් සමාජ ගතවූ බව පෙනේ.අසපු සංස්කෘතිය,යුද්ධය අධික ලෙස දේශපාලනීකරණය වීම.වන් හේතු සමුදායක් මෙයට බලපාන්නට ඇත. සරම් සහ ළමා සාරී හැඳ පන්සල් යාම.ත්‍රීරෝද රථ නැවතුම්පළවල් වල බුදු පිළිම ඉදිවීම,බස් රථවල මේ බුදුන්ගේ දේශයයි වැනි වැකි ලියා ගැනීම වැනි දේවල් දක්නට ලැබුනත් ඒ සම දෙයක්ම මතු පිට සැරසිලි පමණකි.සැබෑව නම් ඩෙනිම් සහ T ෂර්ට් ඇඳි ගෝත්‍රික සමාජයක් ඇතිවී තිබීමය.

    ReplyDelete
  5. ගෝ අරගෙන කියවන්නේ රාවණලා තමයි ඉතින් පුදුම වෙන්න දෙයක් නෑ. ඔය කවරෙ ඉන්න කෙල්ල බැන්දත් පතිවත හොයනවා. දෑවද්ද ඕන. ගෑනි ගෙදර ඉන්න ඕන. විප්ලව කාරි පුවත් පත් කතෘවරු ලියන්නෙත් ඒ ටිකමයි. බයිලා ගැහුවට වැඩිපුරම ඉන්නේ රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ බයියලා. හැබයි අන්‍රොයිඩ් එක අතේ. මොළේ........

    ReplyDelete
  6. කියන්නට ඇති සියල්ලම බොහෝ දෙනා කියා තිබේ ,

    //මේ නූතන ධනවාදය ජාතිවාදය,ආගම්වාදය වැනි පසුගාමී අගතීන් සමග සන්ධානගතව ඇති //

    ප්‍රශ්නය ඇත්තේ අපේ ඇත්තන්ගේ මිස ධනවාදයේද?

    ReplyDelete
  7. අපේ තරුණ පරමපරාව කඳ සැම්සුන්-ගැලැක්සි ඔලුව මනමේ. මේ අද්බුත සත්වයා 1956 බණ්ඩාරනායක විසින් පංච මහා බලවේගය දෙමුහුන් කිරීමෙන් ජාන තාක්ෂණිකව බිහිකරන ලදී.ඉන්පසු දෙවැනි පරම්පරාවේ ඔලුව එසේම තිබියදී 77 දී ජේ ආර් කඳ ජපන් කරන ලදී පසුව ගුණදාස අමරසේකර සහ නලින්ද සිල්වා විසින් චාතුස්කොටික න්‍යාය යොදා ජේ ආර්ගේ කඳට දැන් පවතින ඔලුව බ්රීඩ් කර නුතන පරම්පරාව තනා ඇත.

    ReplyDelete
  8. "ධනවාදය තව තවත් ව්‍යාප්ත කිරීම මගින් පසුගාමී සමාජ මනෝභාවයන් පරාජය කිරීම පිලිබද සිහින දකින්නවුන් අර්බුදයට යන්නේ වත්මන් ධනවාදය යනු අනගාරික ධර්මපාලත්,රාවන රජුත්,අඩ නිර්වස්ත්‍ර නිරූපිකාවනුත් එක මිටට ගනු ලැබූ සංකලනයක් වන හෙයිනි."

    Obe yojanawa kumakda me gataluwata?

    ReplyDelete