Saturday, May 12, 2012

යුරෝපා සිතියම මතට රතු පැහැය මුසු වීම


ග්‍රීක කොමියුනිස්ට් පක්ෂයේ (KKE) රැලියක් 

ගෝලීය ආර්ථික අවපාතය තවදුරටත් ගැඹුරු වෙමින් පවතින වටපිටාවක් තුල යුරෝපයේ ප්‍රධාන පෙලේ මැතිවරන දෙකක් පසුගිය සතියේ දී නිමාව දුටුවේය.ප්‍රංශ ජනාධිපතිවරනයේ දෙවැනි වටය අවසානයේදී හිටපු ජනාධිපති නිකොලාස් සාර්කෝසි පරාජය කරමින් සමාජවාදී පක්ෂයේ අපේක්ෂක ප්‍රන්සුවා ඔලොන්ද් ජය ලබා තිබුනි.2007 දී විශාල ඡන්ද සංඛ්‍යාවක් සහිතව බලයට පැමිනි  ජනාධිපති සා‍ර්කෝසිගේ ඇදවැටීම ඔහුගේ මෙන්ම ප්‍රංශ රජය පසුගිය වසර කිහිපය තුල අනුගමනය කල ප්‍රතිපත්තියේ ද බරපතල පරාජයකි.මේ අතර ග්‍රීසියේ මහ මැතිවරනය කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් ව්‍යවස්ථාදායකය තුල හිමිකරගැනීමට අවකාශ නොදෙමින් අවසන් වී තිබේ.එහිදී කැපීපෙනෙන ප්‍රතිඵලයක් ලබාගනිමින් වාමාංශයේ රැඩිකල් සන්ධානය - Radical coalation of the left -  ( මෙය SYRIZA නමින් හදුන්වයි ) ප්‍රකාශිත මුලු ඡන්ද සංඛ්‍යාවෙන්  17% හිමිකරගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබේ.පලමු ස්ථානය දිනාගත් New Democracy ( නව ප්‍රජාතන්ත්‍රවාදය ) නම් ධනේශ්වර පක්ෂය හිමිකරගෙන තිබෙනුයේ ඡන්ද 19 % පමනි.

2008 හටගත් ගෝලීය ආර්ථික අර්බුදය තවමත් සංහිදියාවකට පැමින නැත.ලෝකයේ ප්‍රධාන ආර්ථික කලාපයක් වන යුරෝපය මෙමගින් දරුනු පසුබෑමකට ලක්වූ අතර එම ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් ලෙස වැඩී ඒමේ සලකුනු  මෙම මැතිවරන ප්‍රතිඵල විස්තරාත්මකව විශ්ලේෂනය කල විට පෙනී යයි.යුරෝපා රටවල් අතරින් ආර්ථික අර්බුදයේ ගැඹුරු කුහරය තුල ගිලී යමින් තිබෙන ප්‍රධාන රටක් වනුයේ ග්‍රීසියයි.එරට වසර කිහිපයක් තිස්සේ බරපතල මූල්‍ය අර්බුදයකට ගොදුරු වී තිබෙන අතර  2010 වනවිට එහි රාජ්‍ය නය දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 120% ඉක්මවා තිබුනි.එම වසරේදීම ග්‍රීසිය ආර්ථික අර්බුදයෙන් "ගලවාගනු" වස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යුරෝ බිලියන 110 ක නය පැකේජයක් යෝජනා කලේය.එම පැකේජයේ තීරනාත්මක කොන්දේසිය වූයේ සුබසාධනය සදහා වූ රාජ්‍ය වියදම් කප්පාදු කිරීමයි.මෙම කප්පාදු පැකේජය ක්‍රියාත්මක වීමත් සමග රටපුරා දැවැන්ත වි‍රෝධතා හා කැරලිකාරී හැසිරීම් උද්ගත විය.පසුගිය මැතිවරනය පවත්වන ලද්දේ එම නොසන්සුන්තාවය මධ්‍යයේය.

මැතිවරනයේ දෙවැනි ස්ථානය දිනාගත් SYRIZA සංවිධානය ග්‍රීසියේ වාමාංශික කන්ඩායම් කිහිපයක සන්ධානයකි.එම සංවිධානය 2009 දී හිමිකරගත් 5% ක ඡන්ද ප්‍රතිඵලය හා සැසදීමේදී මෙවර ප්‍රතිඵලය දැවැන්ත වර්ධනයකි.එම සංවිධානය මැතිවරන ව්‍යාපාරය තුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ආන්ඩුව අතර එකගතාවය ඉරා දැමිය යුතු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේය.එම සංවිධානයට පරිබාහිරව තරග කල ග්‍රීක කොමියුනිස්ට් පක්ෂය මුලු ඡන්ද වලින් 8% දිනාගෙන තිබෙන අතර  කවර අර්ථයකින් බැලුවත් රැඩිකල් වාමවාදී පක්ෂ විශාල ප්‍රතිචාරයක් මැතිවරනයේදී ලබා තිබෙන බව පැහැදිලිය.2009 දී ග්‍රීසියේ ප්‍රධාන ධනේශ්වර පක්ෂ දෙක ( New Democracy සහ Pan Hellenic Socialist Movement) මුලු ඡන්ද වලින් 80% කට ආසන්න ප්‍රමානයකට හිමිකම් කියූ අතර එය 2012 වනවිට 31% දක්වා පහල බැස තිබේ.

ප්‍රංශයේ සාර්කෝසි වෙනුවට බලයට පැමින තිබෙන ඔලොන්ද්ගේ සමාජවාදී පක්ෂය සැබැවින්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයකි.එය රැඩිකල් වාමාංශයේ නැගීමක් ලෙස විස්තර කිරීම අපහසුය.කෙසේ වුවද වාමාංශික පක්ෂ වෙත කැපීපෙනෙන ප්‍රතිචාරයක් එම මැතිවරනයේදී හිමිව තිබුනු අතර  මැතිවරනයේ පලමු වටයේදී ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය ද ඇතුලත් වාමාංශික පෙරමුන මුලු ඡන්ද වලින් 11% ලබාගෙන තිබුනි.2007 ජනාධිපතිවරනයේදී ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය වෙත හිමිව තිබුනේ ඡන්ද 1.93% පමනි.කෙසේවෙතත් අන්ත දක්ෂිනාංශික ප්‍රංශ ජාතික පෙරමුනද මෙම මැතිවරනයේදී කැපීපෙනෙන ප්‍රතිඵලයක් ලබාගෙන තිබේ.එහි අපේක්සිකා මරීන් ලෙ පෙන් ප්‍රථම වටයේ මුලු ඡන්ද වලින් 19% දිනාගෙන තිබුනු අතර සංක්‍රමනික කම්කරුවන් සම්බන්ධ විරෝධය එහි වැඩපිලිවෙලෙහි මුඛ්‍ය තේමාවක් වූයේය.මෙම පක්ෂය උග්‍ර ජාතිකවාදය මත පදනම් වූවකි.සංක්‍රමනිකයන්ට එරෙහි වර්ගවාදී විරෝධය එහි කේන්ද්‍රීය සංරචකයකි.

යුරෝපයේ සමකාලීනව සිදුවෙමින් පවතින දේශපාලන චලනයන් අතිශය වැදගත්ය.ගෝලීය ධනවාදයේ අවපාතය උග්‍ර වීම ග්‍රීසියේ මෙන් රැඩිකල් වාමාංශයේ නැගීමක් ලෙස මෙන්ම ප්‍රංශයේ මෙන් උග්‍ර දක්ෂිනාංශික ප්‍රවනතාවල නැගීමක් ලෙසත් යන දෙයාකාරයටම ප්‍රකාශ විය හැක.ග්‍රීසියේත් ප්‍රංශයේත් වාමාංශික කන්ඩායම් නගරබදව විශාල ලෙස ප්‍රතිචාර ලබා තිබූ අතර එම රටවල වැඩකරන ජනයා ආර්ථික අර්බුදය අභියස රැඩිකල්කරනය වෙමින් තිබෙන බවට එය සංඥාවකි.අර්බුදය විසින් ඇතිකරන අවකාශය වාමාංශය විසින් අත්පත් කර නොගන්නේ නම් 1933 දී ජර්මනියේදී සිදුවූවාක් මෙන් ෆැසිස්ට් ලක්ෂන සහිත දක්ෂිනාංශය වෙත සමාජය තල්ලු වනු ඇත.ප්‍රංශ ජාතික පෙරමුනේ මැතිවරන සාර්ථකත්වය පෙන්නුම් කරන යථාර්තය එයයි.ලෝක ධනවාදයේ කේන්ද්‍රය වූ කලී බටහිර අර්ධගෝලයයි.ලංකාව වැනි පරිවාරයේ රටවල ඉරනම කේන්ද්‍රයේ මෙම දේශපාලන චලනයන් සමග සෘජු ලෙස සම්බන්ධ වී තිබේ.



3 comments:

  1. "ලංකාව වැනි පරිවාරයේ රටවල ඉරනම කේන්ද්‍රයේ මෙම දේශපාලන චලනයන් සමග සෘජු ලෙස සම්බන්ධ වී තිබේ."

    ඇත්තකි. එහෙත්, වත්මන් සංදර්භය තුළ, ලංකාව වැනි රටවල මහජන ක්‍රියාකාරිත්වය වාමාංශය වෙත චලනය වනු ඇතැයි අපේක්ෂා කළ හැකි ද? එය වැඩි වැඩියෙන් ම්ලේච්ඡත්වය දෙසට චලනය වනු ඇතැයි සිතමි.

    මහජනතාව ම්ලේච්ඡත්වයේ දිශාව වෙත යොමු කිරීමේ 'ගෞරවය' ලංකාවේ වමට හිමි වේ. එය වැළැක්වීමට මේ වමට හැකි වනු ඇතැයි සිතිය නො හැති ය.

    ReplyDelete
    Replies
    1. වම පැත්තකට දැමු ලංකාවේ විපක්ෂය කියල දෙයක් තියෙනවද? එහෙත් රජතුමාගේ මෙහෙත් රජතුමාගේ.

      Delete
    2. @ Ajith

      ලංකාවේ කවරක් වනු ඇද්දැයි පුරෝකථනය කිරීම අපහසුයි.මහජන ක්‍රියාකාරීත්වය වාමාංශය වෙත චලනය වීම වැලැකී තිබෙන ප්‍රධාන හේතුව දැනට අධිනිශ්චය වෙලා තියෙන සිංහල-දෙමල විභේදනයයි.මෙම තත්වය ඇතිකිරීමට ලංකාවේ වම ද දායක වූ බවත් ඇත්තක්.කෙසේ වෙතත් මෙම තත්වය වෙනස් කරනවා නම් එය වෙනස් කිරීමේ විභවය තිබෙන්නේත් වාමාංශයටම පමනි.මම සර්වසුභවාදියෙක්වත් සර්වඅසුභවාදියෙක්වත් නොවෙමි.නමුත් එක්තරා දුරකට සුභවාදියෙක් වෙමි.

      Delete