Tuesday, March 6, 2012

නානායක්කාර මහතා සහ කරුනාරත්න මහතා / Mr.Nanayakkara and Mr.Karunarathna


නම - වාසුදේව නානයක්කාර , ආගම - යූඇන්පී විරෝධය 
"වාසුදේව - මේ ආන්ඩුවත් යන්නේ අධිරාජ්‍යවාදී මාවතේමයි.අපි හදන්නේ එමගින් මුදවලා නිවැරදි මගට ගන්න.

ප්‍රශ්නය - එහෙනම් ඔබලාට ආන්ඩුවෙන් ඉවත් වීමට පවා සිදුවන්න පුලුවන් නේද?

වාසුදේව - නැහැ.අපි ආන්ඩුවෙන් යන්නෙ නැහැ.අපි ගියොත් ආන්ඩුවක් කොහෙද තියෙන්නෙ.එහෙම උනොත් එජාපය බලයට එයි.අපි ඒකට ඉඩ තියන්නෙ නැහැ."

මෙම සම්මුඛ සාකච්ඡාව 1996 දී ප්‍රකාශයට පත් සිතිජය වාර සගරාවේ කලාපයකින් උපුටා ගන්නා ලද්දකි.1996 වන විට පොදුජන එක්සත් පෙරමුනු ආන්ඩුව බලයට පත්ව වසර දෙකක් ගතව තිබුනි.එම ආන්ඩුව විසින් 1995 හටගත්  උද්ඝෝෂනයකදී කම්කරුවෙකු වෙඩිතබා මරා දැමීම එවකට විශාල ආන්දෝලනයක් ජනිත කලේය.එජාපයේ විවෘත ආර්ථික ගමන් මාර්ගයෙන් කැඩී වෙන් වන බවට ප්‍රතිඥා දී බලයට පැමිනි චන්ද්‍රිකා බන්ඩාරනායක ලිබරල් ධනවාදයේ උද්යෝගිමත් සත්කාරිකාවක බවට මේ වනවිට පත්වී සිටියාය.

එවකට ආන්ඩු පක්ෂ මන්ත්‍රී වාසුදේව නානායක්කාර තමාම සාමාජිකයෙකුව සිටි ආන්ඩුවේ ගමන පුවත්පත් සාකච්ඡාවකදී විවේචනය කරන්නේ එවැනි සන්දර්භයක් තුලය.පොදු පෙරමුන පැරනි "අධිරාජ්‍යවාදී" මාර්ගයේම ගමන් කරමින් සිටින බව පවසන වාසුදේව ඉන්පසු එම කරුන මත ආන්ඩුවෙන් ඉවත් වනවාද යනුවෙන්  මාධ්‍යවේදියා නගන ප්‍රශ්නය අභිමුව ආරක්ෂාකාරී පහරකට යොමුවේ."එජාපය බලයට පත්වීමට ඉඩ තිබෙන නිසා" තමා එවැන්නක් නොකරන බව එහිදී හෙතෙම පවසයි.ඒ වසර 16 ට ඉහතදීය.

ඉතිහාසයේ සමානතා නිර්මානය වන ආකාරය එක් අතෙකින් හාස්‍යජනක වන්නේය.පසුගිය ඉරිදා (පෙබරවාරි 26) මව්බිම සතිඅන්ත පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබූ වියපත් වාසුදේව නානායක්කාර ජාතික ප්‍රශ්නය සම්බන්ධව ආන්ඩුව ජාතිවාදී ලෙස කටයුතු කරන බවට මැසිවිලි නගා තිබුනි.කන්තලේ අක්කර හාරසියයක් රාජපක්ෂ සහෝදරයින් විසින් සමාගමකට විකිනීමට දැරූ ප්‍රයන්තයක් පිලිබද ද හෙතෙම එහිදී පැමිනිලි කොට තිබුනි.තමා රාජ්‍ය භාෂා ඇමතිවරයා ලෙස සියලුම රාජ්‍ය ආයතනවල නාමපුවරු භාෂා ත්‍රිත්වයෙන්ම තිබිය යුතු බවට තීන්දු කලත් ආරක්ෂක ලේකම්වරයා එම තීරනය කිසිදු ලෙසකින් නොතකන බවට ඔහු පුවත්පත් ඉදිරියේ නෝක්කාඩු නගා තිබුනේ සති කිහිපයකට පෙරදීය.

වාසුදේව නානායක්කාර - ඔහු තමන්ව හදුන්වාගන්නා පරිදි - ලිබරල් ධනවාදයට,ඒකාධිපතිවාදයට විරුද්ධය.ජාතීන්ගේ සමානත්මතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂය.එසේවුවද මෙම දේශපාලඥයා මෑත ඉතිහාසයේ බිහිවූ වඩාත්ම ජාතිවාදී,වඩාත්ම අධිකාරිවාදී වඩාත්ම නව ලිබරල්වාදී ආන්ඩු තන්ත්‍රයේ ඇමතිවරයෙකු වන්නේය."ඔබ මෙම ජරපත් රජයට සහය දෙන්නේ ඇයි"දැයි විමසූ විට නානායක්කාරගේ මුවග පවතිනුයේ "එජාපයට අවස්ථාවක් දිය නොහැකිය" යන පහසු පිලිතුරයි.

වැල් මී සමග මිශ්‍ර වූ කූනිස්සෝ 
මෙහිදී අපට මෙසේ විමසිය හැක.වාසුදේව නානායක්කාර යනු තක්කඩියෙක්ද?තමා නියෝජනය කරන රෙජිමය තමා ප්‍රකාශ කරන දෙයෙහි සම්පූර්න පරස්පරය බව දනිමින්ම සිය පැවැත්ම සදහා ආන්ඩුවේ ලැගසිටින නරුමයෙක්ද?එසේත් නැතිනම් එජාපය බලයට ඒම වලක්වමින් තමා සැබැවින්ම යහපත් කාර්යයක් ඉටු කරමින් සිටී යැයි ඔහු සද්භාවයෙන්ම විශ්වාස කරනවාද?

ඉහත ප්‍රශ්න මදක් විවෘතව තබා අප නානායක්කාරගේ මෙම භාවිතය ඔහුගේ නිවුන් අනෙකා යැයි සිතෙන තරමට පොදුජන ව්‍යවහාරය තුල ඔහුගේ නම සමග කියැවෙන (වාසු-බාහු) වික්‍රමබාහු කරුනාරත්න මහතාගේ භාවිතය සමග අභිමුඛ කරමු.වාසුදේව මෙන්ම වික්‍රමබාහු ද සමසමාජ සම්ප්‍රදාය මගින් ශික්ෂනය ලැබූ දේශපාලකයන් වන අතර 1976 දී සමසමාජ පක්ෂයේ සභාග දේශපාලනය කෙරෙහි විවේචනයක් සහිතව ඉන් කැඩී පිහිටවූ නව සමසමාජ පක්ෂයේ ආරම්භක නායකයෝ වූහ.

ජනවාරි 01 දින ලක්බිම ඔහුගේ කොලමට "ශක්තිමත් නොවන වමක් සහ රනිල්ගේ අභියෝග" නමින් ලිපියක් ලියන වික්‍රමබාහු මෙසේ ලියයි."මේ වෙලාවේ ජාතිවාදී නවලිබරල්වාදී රජයට එක්තරා අභියෝගයක් කල නායකයෙක් හැටියටයි රනිල් ඉදිරියට ඇවිත් ඉන්නේ.වම ශක්තිමත් නැති වෙලාවේ එයාගේ ඒ අභියෝගය වැදගත්.ඒ වම කල යුතු වැඩක් තරමකට හෝ ඔහුගෙන් වන නිසයි"

වික්‍රමබාහු තමා එක්සත් ජාතික පක්ෂය සමග පවත්වන සම්බන්ධතාවය "වැඩි නරකට එරෙහිව අඩු නරක" සූත්‍රය මගින් විග්‍රහ කරනු ලබයි.එනම් ජාතිවාදී මහින්දට වඩා ලිබරල්වාදී රනිල් හොදය.රනිල් වික්‍රමසිංහ නව ලිබරල්වාදයට එරෙහි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ලෙස වික්‍රමබාහු සිය තීරු ලිපිවල බොහෝ අවස්ථාවලදී විස්තර කරයි.වාසුදේවට අනුව අධිරාජ්‍යවාදී රනිල්ට වඩා ජනතාවාදී මහින්ද හොදය.වාසු සහ බාහු දෙදෙනාම මේ අනුව බැලූ බැල්මට පරස්පර මාර්ග දෙකකින් ගොස් ලගාවනුයේ එකම මංසන්ධියටය.වඩා නරක ධනේශ්වර නායකයෙක් වෙනුවට ඊට වඩා "ටිකක් හොද" ධනේශ්වර නායකයෙක් පිලිබද මොවුන් දෙදෙනාම පරිකල්පනය කරයි.වාසුදේව සිය ටිකක් හොද ධනේශ්වර නායකයා ලෙස රාජපක්ෂ තෝරාගනිද්දී වික්‍රමබාහු රනිල් වික්‍රමසිංහ සිය සගයා ලෙස තෝරා ගනී.

මෙම දේශපාලකයන්ගේ හිස්වල තිබෙන ධනපති පක්ෂවල සාපේක්ෂ හොද නරක පිලිබද සියලු ඇගැයුම් හුදු පරිකල්පනයන් පමනි.ලංකාව වැනි පසුගාමී රටක බෙලහීන ධනපති පංතිය නව ලිබරල්වාදයට එරෙහි පවුරක් වන්නේ යැයි සිතීමම ප්‍රලාපයකි.මෙම යුගයේදී ගෝලීය ධනවාදය සමග සුරතල් වීම හැරෙන්නට මෙම දුබල ධනේශ්වර නායකයන්ට අන් විකල්පයක් නැත.සමසමාජයෙන් රැඩිකල් විවේචනයක් සහිතව කැඩී ආ හිටපු ‍ට්‍රොට්ස්කිවාදී නායකයන් දෙදෙනා මෙය නොදන්නවා විය හැකිද?

වම මේ මොහොතෙහි ප්‍රබල නැතිනම් සිදුකල යුත්තේ වමේ දේශපාලනය ශක්තිමත් කිරීම වෙනුවෙන් සටන් කිරීමද?එම සටන අතහැර එක් හෝ වෙනත් ප්‍රභූ නායකයෙකු වඩා ප්‍රගතශීලි යැයි ඒත්තු ගන්වනු වස් තර්ක සම්පාදනයෙහි යෙදීමද?

චෞරත්වයට එරෙහිව සම්මුති විරහිතව සටන් කිරීම මිස එක් කොල්ල කල්ලියකට එරෙහිව තවෙකක් සමග සිටගැනීම - කෙතරම් අවංක වාමාංශිකයෙකු වුවද - වාමාංශිකහරනය කිරීමෙහි සමත්ය.වාම දේශපාලනයෙහි යෙදීමේ විශ්වාසය සහ ධෛර්යය නොපවතී නම් යමෙක් කෙතරම් දේශපාලන න්‍යාය උගතෙකු වුවද ඔහුව ක්‍රමය විසින් ජීරනය කරගන්නවා ඇත.













17 comments:

  1. මඩිස්සලේට හෙන ගැහුවට පස්සෙ කිල්ලොටේ ගැන අහල පලක් තියේද මන්ද?

    ReplyDelete
  2. කතාව ඇත්ත සහෝදරයා! කෙළින් හිටගන්න පුළුවන් එවුන් ටික ඇදල එළියට ගන්න උත්සාහ කරමු. ඒත් මා දකින දෙයක් තමයි, අපේ රටේ මිනිස්සු කෙළින් කතා කළාම එක පාර එන්න බයයි. වටෙන් ‍වටෙන් කිය කිය ඉන්නකොට අපේ කාලෙ හරි. දැනට වෙලා තියෙන්නෙ ඒකයි.

    ReplyDelete
  3. වාසුදේව ගැන ඔබ දී ඇති ඇගයීම් දෙකෙන් මගේ තේරීම පළමුවැන්න. වික්‍රමබාහු සම්බන්ධයෙන් ඔබේ තර්කය 100%ක් නිවැරදි නෑ. මොකද වාසු (රෙදිත් නැතිව) මංසන්ධියට ආවට බාහු ඇවිත් නෑ. අනාගතයේදීත් එයි කියල හිතන්න බෑ. තමන්ගෙ තීරු ලිපියෙන් පොඩි සැසදීමක් පමණයි කරල තියෙන්නෙ.

    ReplyDelete
  4. රනිල් පස්සෙ ගිහින් බාහු ලබන්නේ මොනවද ? මහින්ද පස්සේ ගිහින් වාසු ලබන්නේ මොනවද ? කියන එක අනුවත් වෙනසක් තියෙයි , ඒ වගේම වාසු මහින්ද සමඟ සිටීමෙන් මහින්දට වාසියක් තියනවා (සුලුවෙන් හෝ ) , නමුත් බාහුව ලංකර ගත්තාය කියල රනිල්ට පාඩුවක් මිසක් වාසියක් නැහැ

    ReplyDelete
    Replies
    1. බුවා එක්ක මමත් එකඟ වෙමි. වික්‍රමබාහු කියන්නෙ දේශපාලනමය වශයෙන් බංකොලොත් තමන්ගෙ හීන දේශපාලනයක ඉන්න කෙනෙක්. ඒ විදිය කරන්න එයාට වෙනම ග්‍රහලෝකයක් හොයල දෙන්න වෙනව

      Delete
    2. බාහු කියන්නෙ/කරන්නෙ හීන දේශපාලනයක් වෙන්න පුළුවන්. ඒත් ඒක අවස්ථාවාදී එකක් නෙවේ වාසුගෙ තරම්. මොකද බාහුගෙ දේශපාලනය ලංකාවෙ ඡන්ද දායකය ෆෝම් කරන්නෙ නෑනෙ. රනිල් එක්ක දීගයකින් බාහු හෝ රනිල් දෙන්නටම වැඩක් වෙන්නෙ නෑ. මොකද කියනව නං බාහු වගේම මේ ආත්මෙදි රනිල් රජ නොවන නිසා.

      Delete
    3. මගේ අදහසත් බාහුගේ දේශපාලනය පෞද්ගලික වාසි සඳහා සිදුනොවෙත්දි වාසු ගේ දේශපාලනය දැන් යන්නේ පෞද්ගලික වාසි බලාගෙන . වාමාංශික දේශපාලනය කරන කවුරුත් ඉන්නේ හීන ලෝක වල තමයි

      රාජ් හිතන්නේ රනිල්ට බෑ මයි කියලද ? සජිතුයි වටේට ඉන්න මී හරක් රෑනයි කකුලෙන් අදින්නේ නැතුව සපෝට් එක දෙනවා නම් රනිල්ටත් බැරි නෑ මේ යන විදිහට

      Delete
    4. පලවැන්නට එකගයි. දෙවැන්න ගැන කෙටියෙන් උත්තර දෙන්න බෑ.

      Delete
  5. ඕකුන් එකෙකුටවත් ඇති දේශපාලන ප්‍රතිපත්තියක් නෑ. දන්න කාලෙ ඉඳන් පොල් ගෙඩියක් කඩන තරමකවත් රස්සාවක් ගැන නොදන්න එවුන් දේශපාලනය රස්සාව කරගෙන ඉන්නව විතරයි. උන්ගෙ මාසික ගතමනාව වෙනුවෙන් යමක් කල යුතු නිසා හැරෙන හැරෙන අතට කයිවාරු කෙලින එක විතරයි උන්ගෙ ප්‍රතිපත්තිය. මේ රටේ නම් වෙලා තියෙන්නෙ රස්සාවක් විදියට දේශපාලනය කරන පවුල් බිහිවීමයි. උන් වෙන කර්මාන්තයක් දන්නෙ නෑ. දන්නෙ මහජන මුදලින් කාළකණ්නි ජීවිත ගත කිරීම විතරයි. මේ කවුරුවත් සමාජවාදීවත්, ලිබරල්වාදිවත් නෙවෙයි. නිකම් රස්සාවක් විදියට ලේසියෙන් වැඩියෙන් ධනය හම්බ කරන්න පුඵවන් රස්සාවකට සෙට් වෙලා ඉන්නව විතරයි. මේ රටේ දේශපාලකයො කියල කොටසක් නෑ. ජනතාව කියල කොටසකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. වික්‍රමබාහු කරුණාරත්න ගේ දෙමළ ජාතීයේ ස්වයං නිර්න අයිතිය කියන බහුබූත මතය එක්ක මම මුලුමනින්ම විරුද්ධයි.ඒත් මිත්‍රයා ඔබ ඉහත දක්වපු විස්තරය ඔහු සම්බන්ධයෙන් නම් සත්‍යය නොවේ.වික්‍රමබාහු (මා දන්නා ලෙසට) විද්‍යුත් චුම්භක පිළිබද ලෝකයම පිලිගන්නා විද්‍යාඥයෙක්.මේ දේශපාලනය නොකලාට ඔහුට තම දැනුමෙන් සුපිරිම මට්ටමේ දිවියක් ගතකරන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතිව.

      Delete
    2. ජයශ්‍රි නිවැරදියි , වික්‍රමබාහු අයිලන්ඩ් රැන්ක් එකක් එක්ක උසස් පෙල සමත් වෙලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උසස් ගණිතය හදාරපු කෙනෙක් (මම දන්න තරමින් )

      වාසුදේව දුප්පත් මිනිස්සු වෙනුවෙන් නොමිලේ නඩු කථා කරපු , බොරු සෝභන , හොරමැර කම් , ආඩම්බර කම් නැති හොඳ මනුස්සයෙක් (අදටත් ඔහුව මුනගැහෙන්න පුලුවන් ඕනිම තරාතිරමක කෙනෙකුට , කිසිකෙනෙකුට පන්දම් අල්ලන්නේ නතුව )

      Delete
  6. @බුවා එක්ක මමත් එකඟ වෙමි. වික්‍රමබාහු කියන්නෙ දේශපාලනමය වශයෙන් බංකොලොත් තමන්ගෙ හීන දේශපාලනයක ඉන්න කෙනෙක්.

    අම්මපා?ඔබතුමාගේ දැනීම ,පුහ්!

    @වික්‍රමබාහු කරුණාරත්න ගේ දෙමළ ජාතීයේ ස්වයං නිර්න අයිතිය කියන බහුබූත මතය එක්ක මම මුලුමනින්ම විරුද්ධයි
    ඔබතුමාට ඔය වැළදිලා තියෙන්නේ රෝගයක් !සුවපත්වෙලා පසුව කතාකරමු !

    ReplyDelete
    Replies
    1. @99 වඳුරා ,// වික්‍රමබාහු කියන්නෙ දේශපාලනමය වශයෙන් බංකොලොත් තමන්ගෙ හීන දේශපාලනයක ඉන්න කෙනෙක්.
      //

      ඔය අදහස මගේ නම් නෙවෙයි

      Delete
    2. @99 වෙනි වඳුරා,
      දැන්ම කතාකරමු.හැබැයි ඉතිං ඔය ගැන අපි දෙන්න ඇටමැස්සගේ අඩවියේ දී ඇති පදං කතාකරල ඇති නේද?

      Delete
    3. පලක් නැහැ ජයශ්‍රී ඔබ ජාති ආලේ හැදුන ලෙඩෙක්!අනික ඔබ වැනි යුධ අපරාධ කරුවෙකු සමග කතිකාවත් අරහං!

      Delete
  7. @99වෙනි වඳුරා,ඔබ යුධ අපරාධයක් යයි කියන්නේ වන්නි මානුශීය මෙහෙයුම අනුමත කිරීම වෙන්න ඇති.ඔබ මෙන් අර මිලේච්ච මිනිමරු කොටින්ට කඩේ යනවට වඩා අපේ රණ විරුවන් අගැයීම දාහෙන් සම්පතක්.

    ReplyDelete
  8. @අපේ රණ විරුවන් අගැයීම දාහෙන් සම්පතක්.


    ආත්ම වංචාව කියල හදුන්වන්න පුළුවන් මේ තත්වය !
    ඔබට අපේ රණවිරුවන් පූජනීය වන තරමටම ඔබට විරුද්ද දිශාවේ අයවලුන්ට ඔවුන් අළුගෝසු යුධ අපරාධ කරුවන් යන්නත් සතයක්!මෙන්න මේ දෙපැත්ත ඇති ගුරුත්වයට යට නොවී ඉන් ඉහල කක්ෂයකට පැමිණ ප්‍රශ්නය දකින්න!සරලව කියන්නේනම් යුධයේ දෙපාර්ශවය විසින්ම සිධු වූ මිනිස් ඝාතන පිළිබද වගකිඉම් බාරගත යුතුය!

    ReplyDelete