Saturday, March 17, 2012

සිවිල් යුද්ධය ජංගම දුරකථනගත වීම



මුදා සෙබලුන් පිරිසක් විසින් දූෂනය කොටමරා දමා තිබෙන බවට සැලකිය හැකි එල්.ටී.ටී.ඊ සටන්කාරියකගේ තැතිගන්වන සුලු ඡායාරූප පෙලක් මේ දිනවල අන්තර්ජාලයේ සංසරනය වෙමින් පවතී.සොල්දාදුවන් එම මෘත ශරීරයේ යට ඇදුම් පහත් කොට සිය ජංගම දුරකථන භාවිතා කරමින් රහස් අවයවන්ගේ පින්තූර ගන්නා ආකාරය  එම ඡායාරූප වල සටහන්ව තිබේ.මෙම ඡායාරූප පෙල පසුගිය වසරේ බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී සේවාව විසින් ප්‍රචාරය කල Sri Lankan killing fields  වාර්තා වැඩසටහනේ අඩංගු වූ මීට සමාන දර්ශනයක් සිහිගන්වයි.නිරුවත් කරනු ලැබූ ගැහැනු මල සිරුරු සමූහයක් සමග හමුදා සෙබලුන් පිරිසක් විනෝද වන ආකාරය එම වීඩියෝ දර්ශනය මගින් පිලිබිඹු වූ අතර ජංගම දුරකථන යොදාගෙන මෘත ශරීරවල රහස් තැන් රූපගත කරන ආකාරය එමගින්ද දැක්වුනි.

යුද භූමියේදි සොල්දාදුවන්  ජංගම දුරකථන භාවිතා කොට සිය මතක සටහන් ලෙස රූගත කරගත් දෑ මෙලෙස එලියට පැමිනීමත් සමග යුද්ධය පිලිබද බාහිර ලෝකයා නොදත් බොහෝ කරුනු හෙලිදරවු වීම ආරම්භ වි තිබේ.සිවිල් යුද සමයේදී දෙස් විදෙස් ජනමාධ්‍ය රජයේ දැඩි පාලනයට යටත් වූ අතර පුවත් වාර්තා කිරීම සදහා ස්වාධීනව යුද බිමට  යාමට මාධ්‍යවේදීහු අවසර නොලද්දාහ.රජය විසින් සංවිධානය කරන සංචාර පැකේජ් හරහා මාධ්‍යවේදීන් යුදබිමට ගිය අතර එලෙස නික්මුනු මාධ්‍යවේදීහු "වන්නි සටන","රනබිමෙන් අටට" වැනි රියැලිටි වැඩසටහන් දකුනේ සිංහල ප්‍රෙක්ෂකයා වෙත ගෙන ආහ.දකුනේ මධ්‍යම පංතික ප්‍රේක්ෂකයා යුද්ධය කියවා ගත්තේ සිය ආලින්දයේ වාඩි වී බට්ටි හෝ පබා ප්‍රචාරය වීමට පෙර විකාශය වූ මෙවැනි රියැලිටි වැඩසටහන් හරහාය.

මෙබදු වැඩසටහන් සහ රජයේ නිල ප්‍රචාර මගින් මේ අනුව මැවුනු චිත්‍රයක් විය.ජනාධිපතිවරයාගේ වචනයෙන් කිවහොත් අපගේ සොල්දාදුවන් රනබිමට ගියේ අතෙකින් තුවක්කුවත් අනෙත් අතින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියත් රැගෙනය.ආරක්ෂක ලේකම්වරයාට අනුව යුද්ධය කිසිදු සිවිල් වැසියෙකුට හානි නොවන ආකාරයට ( Zero single casualties) සිදුකරන ලදී.එම මෙහෙයුම මානුශික මෙහෙයුමක් වූ අතර දමිල ජනයා කොටි සංවිධානයේ ආඥාචක්‍රයෙන් ගලවා ගැනීම හැර අනෙක් අරමුනක් එහි නොවීය.

මෙම ෆැන්ටසිය තුල ස්වප්නගතව සිටි දකුනේ ප්‍රේක්ෂකයා සැබැවින්ම උතුරේ සිදුවනුයේ කවරක්දැයි නොදත්තේය.තමා රූපවාහිනියෙන් නරඹමින් සිටි රමනීය රියැලිටි වැඩසටහන උත්කර්ෂයට පත් 2009 මැයි 19 වනදා මේ අනුව ප්‍රීත්‍යෝනමාදයෙන් ඔවුහු ඔල්වරසන් නැගූහ.

සොල්දාදුවන්ගේ මොබයිල් වීඩියෝ සහ සේයා රූ හරහා දැන් එලියට එමින් තිබෙන්නේ වන්නි සටන වර්ගයේ යුදකාලීන රියැලිටි වැඩසටහන් වලට හසු නොවුනු රියැලිටියයි.රනබිමට යන සොල්දාදුවා තුවක්කුව හා මානව හිමිකම් ප්‍රඥප්තියට අමතරව ජංගම දුරකථන ද රැගෙන ගොස් තිබෙන බව ජනාධිපතිවරයාට අමතක වූවා විය හැක.වසර කිහිපයකට පෙර කාන්දු වූ නිරුවත් කොට අත් ගැටගසනු ලැබූ කොටි සටන්කරුවන් පිරිසක් සොල්දාදුවන් විසින් වෙඩි තබා මරා දමන දර්ශනය සහිත වීඩියෝව මෙලෙස ප්‍රසිද්ධියට පත් පලමු වීඩියෝවයි.යුද්ධයකදී යටත් වන අයවලුන් මරාදැමීම ( Extra judicial killings) ජාත්‍යන්තර යුද නීතියට අනුව බරපතල වරදක් වන නිසා මෙම වීඩියෝව එකල මහත් ආන්දෝලනයක් ජනිත කලේය.මේ සම්බන්ධව රජයේ ක්ෂනික ප්‍රතිචාරය වූයේ මෙම දර්ශන ව්‍යාජ ඒවා බවත්,මේ සියල්ල රටට එරෙහිව සිදුකරන කුමන්ත්‍රනයක ප්‍රතිඵල බවත්ය.රජය පමනක් නොව එවකට මෙරට ප්‍රධාන වාමාංශික පක්ෂයක ප්‍රචාරක ලේකම්වරයා පවා මෙම ජංගම දුරකථන වීඩියෝව මාධ්‍ය ඉදිරියේ විස්තර කලේ "කුමන්ත්‍රනයක්" ලෙසය.

ඉන්පසු 2010 ජූනි මාසයේදි මෙවැනි ජංගම දුරකථන වීඩියෝ පට රාශියක් ඇතුලත් කොට චැනල් ෆෝ නාලිකාව සිය වාර්තා වැඩසටහන නිෂ්පාදනය කලේය.මෙම වීඩියෝ පට හා ඡායාරූප යුද්ධය පිලිබදව මවා තිබූ රමනීය චිත්‍රය තූ තූ කර දැමිමෙහිලා සමර්ථය.නිරුවත් ගැහැනු මල සිරුරු සමග කුනුහරුප කියමින් කෑ ගසමින් විනෝද වන සාමාන්‍ය පිරිමියෙකුගේ දර්ශනය  සමග වීරෝදාර මානුශික රනවිරුවා පිලිබදව මවා තිබුනු චිත්‍රය අනන්‍ය කිරීම එතරම් පහසු නොවේ.රජය විසින්ම පත්කල උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම අදාල වීඩියෝ පට පිලිබද පරීක්ෂනයක් පැවැත්විය යුතු බවට නිර්දේශ කොට තිබේ.යුද්ධය යනු දකුනේ මධ්‍යම පංතිකයා පරිකල්පනය කරගෙන සිටි ආකාරයේ වීරෝදාර,රමනීය මානුශික මෙහෙයුමක් නොව ප්‍රචන්ඩත්වයෙන්,මානව හිමිකම් කෙලෙසීම්වලින් හා පිලිකුල් සහගත හැසිරීම් වලින් කිලිටි වී ගිය ගොරතර  ක්‍රියාදාමයක් බව මේ වනවිට සැගවිය නොහැකි ලෙස හෙලිදරවු වෙමින් පවතී.

ධනේශ්වර හමුදාව වූ කලී ධනේශ්වර රාජ්‍යයේ සාහසික මර්ධකයායි.රාජ්‍යයට කවර අන්දමකින් හෝ අභියෝග කරන්නේ කවර සමාජ කොටසක්ද රාජ්‍යය විසින්  කිසිදු මානව චර්යා ධර්මයක් නොතකා එම අභියෝගය චප්ප කර දමනු ඇත.එම චප්ප කරදැමීමේ සාහසිකත්වය දමිලයාගේ සිට හලාවත ධීවරයා දක්වා සියල්ලන්ටම පොදුය.එහි කිසිදු වෙනසක් නැත.මානුශික මෙහෙයුම්, Zero civilian casualties  වැනි ප්‍රබන්ධයන් ගත වන මොහොතක් පාසා කඩා හැලෙමින් තිබේ.රජය යුද්ධය සදහා පැරා මිලිටරි කන්ඩායම් යොදාගත් බවත් ඔවුන් අපරාධ කල බවත් පිලිගැනීමට එල්.එල්.ආර්.සී කමිටුවට සිදුව තිබේ.ලොව වඩාත්ම විනයගරුක හමුදාව සිය හමුදාව බවට පාරම් බෑ ආරක්ෂක බලධාරීන්ට දැන් අශෝභන සිදුවීම් සිදුව තිබේ නම් ඒ ගැන පරීක්ෂන පවත්වන බවට මූනිච්චාවට හෝ කීමට සිදුව තිබේ.ඉතිහාසයට බොරු කල නොහැක.ඉතිහාසය අවසානයේ ජයග්‍රහනය කරනු ඇත.යුද්ධය යනු රියැලිටි වැඩසටහනක්වත් විසිල් ගැසිය යුතු කානිවල් එකක්වත් නොව බිහිසුනු ඝාතනවලියක් බවටත්,හමුදාව පිලිබද රනවිරු ලේබලය පාලකයින්ගේ දෘෂ්ටිවාදී කෙබරයක් බවත් අනාගතය විසින් ඉගෙනගන්නවා ඇත.

[[රාමචන්ද්‍ර සටහන 2012.03.18 - ජනරල ඉරිදා සංග්‍රහය ]]

6 comments:

  1. ලොව සිටි ම්ලේච්ච්තම ත්‍රස්තවාදියා සමග නිරන්තර සටන් වැඩි සිටි හමුදා සෙබළුන්ගේ මානසික තත්වය එයට අනුරූපව කල්යත්ම වෙනස්වූයෙයය් සිතමි ..... ඔවුන් යුදබිමේ මුහුණදුන් ම්ලේච්ච්ත්වය හමුවේ මෙය ඔවුන්ට සාමාන්‍ය දෙයක් වුවා වියහැක ..... අපගේ මානසිකත්වයෙන් ඔවුන්ගේ මානසිකත්වය විග්‍රහ කල නොහැක

    ReplyDelete
  2. "ඉතිහාසයට බොරු කල නොහැක" - ඇත්ත,වසර 30 ක් තිසිසේ මිලේච්ච කොටි ත්‍රස්තවාදීන් විසින් මනුශ්‍යත්වයට එරෙහිව සිදුකරන ලද සාහසික අපරාධ ඉතිහාසයෙන් වසන් කළ නොහැක.

    ReplyDelete
  3. රාමා ඔබ අතින් ලියැවුණු, එක්තරා මට්ටමකට අසම්පූර්ණ, එහෙත් හොඳ ලිපියක්. ඔබ ඉතිරිකළ රික්තය අනාගතයේදී පුරවනු ඇතැයි සිතනවා.

    සොල්දාදුවන් යුදබිමට ජංගම දුරකථන රැගෙන යාම රාජපක්ෂලා නම් අමු ගොඩයින්ට කිසිසේත් සිතන්නට නොහැකි වූ නූතන ප්‍රවණතාවයක්. නිකමට හරි හිතුණා නම් ජංගම දුරකථන යුද බිමට රැගෙන යාම තහනම් කරනවා සහතිකයි. එසේම මේ වැඩවසම් අමු ගොඩයින් viral effect කියා දෙයක් දැන සිටියේත් නැති බව මෙයින් පෙනෙනවා. දැන් ඉතින් විඳවාපන්කො බළලෝ, කුම්බලා මාලු කෑවා නම්!

    මට හිතෙන විදියට සිංහල බෞද්ධ අන්තවාදීන් පවා දැන් මේවා සත්‍ය බව පිළිගන්නවා. මේවා ගැන කතා නොකර ඇෆ්ඝනිස්ථානය, ඉරාකය ගැන ඔවුන් කතා කරන්නේ ඒකයි. ඇෆ්ඝනිස්ථානයේ ඉරාකයේ විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ තැන් වල යුද බිමේ මානව හිමිකම් අහිමි මියැදුණු බවට සැක නෑ. නමුත් අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩට වඩා අපේ ඇහේ තියෙන පොල් පරාලේ අපට පේන්න ඕනැනේ.

    මදෑ රාජපක්ෂ ගොයියා නොබෙල් තෑග්ග ගන්න කෙළ හළ හළා හිටියා.

    ReplyDelete
  4. රාමා උතුරේ දී රියලිටි සහ රියල් ගැන ඔබේ අවබෝධය නිවැරිදිය "වන්නි සටන","රනබිමෙන් අටට" තුල රියලිටි සටහන් වූ අතර සොල්දාදුවන්ගේ මොබයිල් වීඩියෝ සහ සේයා රූ තුල රියල් සටහන් විය.හාර්ඩ් කෝර් වමේ පොරකගේ ෆැන්ටසි ය තුල ධනවාදය නම් මැක්කාගෙන් සියලු දෙය අවසන් කරන්න යාම නිසා මුලින් වූ ඒ නිවැරිදි අවබෝධය පසුව ගඟේ යයි.
    //ධනේශ්වර හමුදාව වූ කලී ධනේශ්වර රාජ්‍යයේ සාහසික මර්ධකයායි// යන්න ඔබගේ රියලිටි ස්වප්නයයි.ධනේශ්වර රාජ්‍යයේ හමුදාව ට වඩා ස්ටාලින් ගේ හමුදා වෙනස් වන්නේ ඔබගේ රි‍යලිටි ස්වප්නය තුල පමනි.

    ReplyDelete
  5. ඉහත පළමු වෙනි ඇනෝ කියනවා වගේ යුද බිමේ විකෘති මානසිකත්වයෙන් සොල්දාදුවෝ හැසිරුනා වෙන්නත් පුලුවන්, ඒ වගේම සොල්දාදුවෝ කියන්නේ අපේ සමාජයේ පහළ සහ පහළ මධ්‍යම ආර්ථික පණ්තියේ පැතිකඩක් කියලා හිතලා අපිට මේක් විශ්ලේෂනය කරන්නත් පුලුවන්.

    එකම ආර්ථික පණ්තියේ, විවිධ සමාජ පණ්තීන් තියෙනවා කියන එකත් මතක තියා ගන්න ඕනේ.

    ඉතින් අපිට එදිනෙදා අහන්න ලැබෙන ස්ත්‍රී දූෂකයෝ, මිනී මරුවෝ, බස් වල කෝච්චි වල යන විකෘති කාමුකයෝ, පර පීඩක කාමුකයෝ ඔක්කොමත් ඔය නියැදියේ එක කොටසකට අහු වෙනවා.
    නීතියක් නැතිව, අවි බලය ලැබෙද්දී, ඔය සමාජ විරෝධී මානසිකත්වයන් සමාජ විරෝදී හැසිරීම් වලට පෙරලෙන එක අහන්න දෙයක් ද?

    හැබැයි, කොටි, සංවිධානයක් විදිහට සමාජ විරෝදී ක්‍රියා කරද්දී, රජයේ හමුදා සෙබලු තනි පුද්ගලයින් විදිහට සමාජ විරෝදී වුනා කියලයි මම හිතන්නේ... ඒ කියන්නේ, සෙබලුන්ට ඉහලින් එහෙම අන ලැබුණා වෙන්න අමාරුයි. කොටින්ට නම්, එහෙම වෙන්න ඇති කියලයි හිතෙන්නේ.

    ඉහත උදිත ගේ කමෙන්ටුව සමග මම ද එකඟ වෙමි.

    ReplyDelete
  6. ජිනීවා සම්මුති එකක්වත් කඩ නොවෙන පරිදි යුද්ධයක් කරනවා යැයි කීම ග්‍රීස් බිංදුවක් වත් ගෑවෙන්නේ නැතිව ග්‍රීස් ගහේ නගිනවා වැනි අභව්‍ය වැඩකි. ලෝකයේ සිදු වූ සෑම යුද්ධයකදීම අඩු වැඩි වශයෙන් යුධ අපරාධ සිදුවී තිබේ. ඇමරිකන් හමුදා ඉරාකයේදී කළ මෙහෙයුම් වල සිදුවුන දරුණු ගණයේ අපරාධ රැසක් මේ ආකාරයෙන් ම මාධ්‍යට නිකුත් විය. නමුත් අදාළ අපරාධ වලට වැරදි කරුවන් වූ සියලු දෙනාට ප්‍රසිද්ධියේ දඩුවම් දීමට ඇමරිකන් රජය ක්‍රියා කලේය. ඇමරිකන් හමුදා කළ සියලු යුධ අපරාධ හෙලි වූ බව හෝ සියලු යුධ අපරාධ කාරයන්ට දඩුවම් කල බව එයින් අදහස් නොවේ. නමුත් සාක්ෂි ඇතිව ඔප්පු කල හැකි චෝදනා ඉදිරිපත් ව තිබියදී මාධ්‍ය ඉදිරියේ විකාර නටමින් සමස්ත ජතියම යුධ අපරාධකාරයන් ලෙස හංවඩු ගැහෙනකන් බලා ඉන්නවාට වඩා පැහැදිලිව අපරාධකාරයන් ලෙස හදුනා ගත් සෙබලු කිහිප දෙනෙකුටවත් දඩුවම් දී රටේ ගෞරවය බේරා ගෙනීම ඇමරිකන් රජයේ උපාය විය. ලංකාවේ සිදු වී ඇත්තේ යුධ අපරාධ දේශපාලනීකරණය වීම ය. ආණ්ඩුවේ දේශපාලනීක පැවත්ම, යුධ අපරාධ වලට සෙබලුන් පෝරකයට යැවීම හෝ නොයැවීම මත තීරණය වන තැනට පත් කර ගත්තේ ආණ්ඩුවමය. මේ නිසා එක අතකින් තමන් කරන ඕනෑ ම අපරාධයකට සිවිල් සමාජයට ඉහලින් විනිර්මුක්තියක් ලැබෙන බවට අදහසක් සෙබලුන් තුල ඇති විය. අනික් අතට, වැරදි කරුවන් සුලු පිරිසක් පමණක් බිල්ලට දී වැරදි කරුවන් ද නිවැරදි කරුවන් ද අතුලු විශාල පිරිසක් රැක ගැනීමේ ඇමරිකානු සරල උපාය ලංකාණ්ඩුවට අහිමි විය.

    ReplyDelete