![]() |
| IRA සංවිධානයේ ප්රචාරක සිතුවමක් |
දස හැවිරිදි ශේදු රාඝවන්
බන්දුල ගුනවර්ධන ඇමැතිගේ දෙපා නැමැදීම ප්‍රතික්ෂේප කලේය.පසුගිය සැප්තැම්බර් 20 වන
දා යාපන පුස්තකාල පරිශ්‍රයේදී ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලම ලකුනු ලබාගත් සිසුන් සදහා
ත්‍යාග පිරිනමනු වස් පැවති උත්සවයකදී මෙම
ප්‍රතික්ෂේප කිරීම සිදුවිය.මනි දර්ශිකා,රමේෂ් සහ ශාර්මිකා ශර්වානන්ද නම් එම
අවස්ථාවට සහභාගී වූ අනෙත් සිසුන් තිදෙනා ඇමැතිවරයාගේ දෙපා නමස්කාර කල අතර හුදෙකලා
ශේදු රාඝවන් ත්‍යාග ලබාගැනීමේදී ඇමැති ඉදිරියේ දන නොගැසීය.තමා මුලතිවු දිස්ත්‍රික්කයේ
ඉතාම අසීරු තත්වයන් යටතේ ඉගෙන ගත් බවත්,සිය ජයග්‍රහනයේ ගෞරවය හිමි විය යුත්තේ සිය
දෙමවුපියන්ට හා ගුරුවරුන්ට පමනක් මිස අන් කිසිවකුට නොවන බවත් මෙම ක්‍රියාව පිලිබද
පසුව විමසූ කල්හි ශිෂ්‍යයා මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශ කොට තිබුනි.
මෑතකාලයේ මෙම ලියුම්කරු දුටු හුදෙකලා පුද්ගලයෙකු විසින් සිදුකල
වඩාත්ම රැඩිකල් ක්‍රියාව සිදුකිරීමේ ගෞරවය කුඩා ශේදු රාඝවන් වෙත හිමි වේ.රාඝවන් සහ
බන්දුල ගුනවර්ධන අතර ඇති සම්බන්ධතාවය අනන්‍යතා කිහිපයක් යටතේ අපට ගොනු කල
හැක.පලමුව ගුනවර්ධන ඇමැතිවරයෙකු (ප්රභූවරයෙකු) වන අතර රාඝවන් හුදු සාමාන්‍ය
සිවිල් වැසියෙකි.දෙවෙනුව ගුනවර්ධන වැඩිහිටියෙකු වන අතර රාඝවන් බාලයෙකි.තෙවනුව
ගුනවර්ධන සිංහලයෙකු වන අතර රාඝවන් දමිලයෙකි.
ඉහත අනන්‍යතා අතර සම්බන්ධතාවය පවතින සමාජය තුල ස්ථානගත වී
තිබෙන්නේ කෙසේද?එහි සෑම එක් අනන්‍යතාවයක්ම ආධිපත්‍යය පිලිබද හැගවුමක් වන අතර ඊට
පසමිතුරු අනෙක් අනන්‍යතාවය යටත්භාවය පිලිබද හැගවුමක් නියෝජනය කරයි.ප්‍රභූ
දේශපාලකයා යනු පවතින සමාජයේ ආධිපත්‍යය
සහිත භූමිකාවකි.ආධිපත්‍යය ගොනු වී තිබෙන්නේ දේශපාලකයා නම් ව්‍යුහය තුලය.පුරවැසියා
යනු එම ව්‍යුහය වන්දනාමාන කරන යටත් චරිතයකි.සමාන ආකාරයකින් තවමත් ශේෂ වී පවත්නා
පූර්ව ධනේශ්වර ආසියාතික මිනිස් සබදතාවන් තුලදී වැඩිහිටියා යනු ආධිපත්‍යය
දරන්නාය.ලමයා යනු ඔහු වෙතින් ශික්ෂනය වන,එම නිසා ඔහු වෙත අවනතභාවය පල කල යුතු යැයි
අපේක්ෂා කරන්නෙකි.සිංහල - දෙමල අනන්‍යතා අතර ද ඉහත කී ආකාරයේම බල සම්බන්ධතාවයක්
පවතී.පශ්චාත් යුද සන්දර්භය තුල “සිංහල” යනු ජයග්‍රාහී අනන්‍යතාවයක්
වන අතර “දෙමල” - විශේෂයෙන් උතුරේ
දෙමල- යනු පරාජිත / යටත් අනන්‍යතාවයකි.ආධිපත්‍යය සංයුක්තව තිබෙනුයේ සිංහල නමැති
අනන්‍යතාවය තුලය.උදාහරනයක් ලෙස දකුනේ සිංහල ජනයාට යුද්ධය අවසන් වීම යනු උතුරුකරයේ
ට්‍රිප් යාමට,නාගදීපය වැදීමට,බිදුනු වතුර බටේ මතට වී ෆොටෝ ගැසීමට උදා වූ රමනීය
අවස්ථාවකි.උතුරේ දමිලයාට එය වනාහි අපේක්ෂා භංගත්වයේ සහ පරාජිතභාවයේ
මොහොතකි.එල්.ටී.ටී.ඊ ඒකාධිපතිත්වය වෙනුවට ආදේශ වූ හමුදා ඒකාධිපතීත්වයට යටත්ව
දකුනින් උතුරට විනෝද චාරිකා එන පිරිස් දෙස බලා සිටීම යනු මේ මොහොතේ උතුරේ දමිලයාට
නියම වී ඇති භූමිකාවයි.එනම් යුද්ධය අවසන් වීම නැමැති තනි සිදුවීම සිංහලයාට හා
දමිලයාට දනවන්නේ අර්ථ දෙකකි.මෙම වෙනසට හේතුව බහුතරය සහ සුලුතරය අතර තිබෙන පීඩක -
පීඩිත සම්බන්ධතාවයයි.
කෙටියෙන් කියන්නේ නම් රාඝවන් හා ගුනවර්ධන අතර ගනුදෙනුවේදී ප්‍රභූ
දේශපාලකයා/ආසියාතික වැඩිහිටියා/ජයග්‍රාහී සිංහලයා ලෙස බන්දුල ගුනවර්ධන පීඩකයාගේ
භූමිකාවට පන පොවන ප්‍රකාර කිහිපයකි.රාඝවන් නම් පීඩිතයා නිර්ප්‍රභූ වැසියා/ආසියාතික
ලමයා/පරාජිත දමිලයා ලෙස අනන්‍යතා තුනකින් යුක්තව පෙනී සිටී.
දැන් බන්දුල ගුනවර්ධනට වන්දනා කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් රාඝවන් අභියෝග කරන්නේ කවරකටද?ඉහත කී බල සබදතා ප්‍රකාරයන් ත්‍රිත්වයම
රාඝවන් මෙහිදී අභියෝගයට ලක් කරයි.ප්‍රභූ දේශපාලකයාට සාමාන්‍ය වැසියන් වැදිය
යුත්තේ ඇයි?වැඩිහිටියන් අභිමුව බාල වයස්කරුවන් දන ගැසිය යුත්තේ ඇයි?ඔබ ජයග්‍රාහී
සිංහල ධනපති රාජ්‍යයේ කැබිනට් ඇමතිවරයෙකු විය හැක.නමුත් ඔබ ඉදිරියේ මා දන ගැසිය
යුත්තේ ඇයි?රාඝවන්ගේ ක්‍රියාව
කලාතුරකින් දැකිය හැකි වර්ගයේ රැඩිකල් සංසිද්ධියක් වනුයේ එහි තිබෙන මෙම බහුමානීය ස්වභාවය
නිසාය.
පවතින බල ව්‍යුහයන්ට අනුගත වනවාද,ඒවාට එරෙහිව
කැරලි ගසනවාද යන විවාදය උනුසුම්ව නැගෙමින් තිබෙන වකවානුවක රාඝවන් සිදුවීම අප වෙත
ගෙනෙන සංඥාව අතිශයින් වැදගත්ය.සමාජයේ අධිපතිත්වය දරන බල ව්‍යුහයන්ට අනුගත වීම හා
ඒවා ඉදිරියේ දන නැමීම පහසුය.එය “ඇග නොරිදෙන”
භාවිතාවකි.ජයතිලක කම්මැල්ලවීරගේ චුම්බන කන්ද නවකථාවේ එන ලොකු විජේ නම් චරිතය 71
කැරැලිකරුවෙකි.අරගලය පරාජය වී පසුබසිද්දී හෙතෙම රැකවරනය ලබන්නේ චුම්බන කන්ද නම් වන
පෙදෙසකය.පසුව “පුනරුත්ථාපනය” වන ඔහු ප්‍රධාන පක්ෂයකට එක්ව ඇමැතිවරයෙකු බවට
පත්වන අතර හේ ඉක්බිති චුම්බන කන්දට එන්නේ එය හොලිඩේ රිසෝට් එකක් බවට පත්කිරීමේ
යෝජනාව රැගෙනය.වන අඩවිය ගරිල්ලා කලාපයක් බවට පත්කරගැනීම පවත්නා බල ව්‍යුහයන්ට
එරෙහි ඇග රිදෙන වැඩකි.එය හොලිඩේ රිසෝට් එකක් බවට පත්කරගැනීම පවතින දෘෂ්ටිවාදයට
අනුගත වීමකි. එනයින් පහසු ක්‍රියාවකි.එහෙත් මෙහිදී අපගේ ගෞරවය හිමි වන්නේ ලොකු
විජේ නම් ගරිල්ලා සටන්කරුට මිස හොලිඩේ රිසෝට් යෝජනා ගෙනෙන ඇමැතිවරයාට නොවේ. එලෙසින්ම
ජාතිවාදය,ආගම්වාදය වැනි සමාජයේ බලපවත්නා පැරනි අගතීන්ට ආමන්ත්රනය කරමින්,පවතින
බල ව්‍යුහ සමග ගැටෙනවා වෙනුවට ඒවාට අනුගත වෙමින්,ඒ මත්තෙන් ගොඩ යාමට උත්සාහ කිරීම
අව්‍යාජ විකල්ප දේශපාලනයක් වෙනුවෙන් සටන් කරනවාට වඩා භෞතිකව පහසුය.සරලය.නමුත්
භෞතිකව දුෂ්කර වූ දෙවැන්න මිස පලමුවැන්න කිසිසේත්ම අපගේ ගෞරවයට හෝ විශ්වාසයට හේතු
නොවේ.


