Friday, August 26, 2011

ග්‍රීස් යකා වීදි බසී


බ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස්ගේ හෝ ඉසබෙල් අයියන්දේගේ නවකථා තුල පමනක් දැකිය හැකි යැයි සිතිය හැකි වර්ගයේ සිදුවීම් දාමයක සජීවි සාක්ෂිකරුවන් සමූහයක් බවට දැන් අපි පත්වී සිටිමු.ග්‍රීස් යක්කු අන්ධකාරයට මුවාවී ගම්මාන අතර සැරිසරති.ඔවුහු කාන්තාවන් ඉලක්ක කරති.ග්‍රීස් යකාට බියෙන් ග්‍රාමීය ජනජීවිත ඇන හිට තිබේ.ග්‍රීස් යකුන් යැයි සැකකරමින් ගම්මු දකින දකින ආගන්තුකයාට පහර දෙති.ඔවුහු පොලිස් ස්ථාන පමනක් නොව ත්‍රිවිධ හමුදා කදවුරු පවා වටලති.වාහන ගිනි තබති.ග්‍රිස් යකා යනු කවුද?එය හුදෙක් මාධ්‍ය ප්‍රබන්ධයක්ද?හදිසි නීතිය යාවත්කාලීන කිරීම සාධාරනීකරනය කරගනු වස් ආන්ඩුව විසින් ඇටවූ සූක්ෂම උපායක්ද?රටේ සාමය අවුල් කරනු සදහා කඩාකප්පල්කාරී සංවිධාන විසින් ගෙනියන කුමන්ත්‍රනයක්ද?එසේත් නැතිනම් ලිංගික අවපීඩනයෙන් පෙලෙන පිරිස් හදිසියේ රංචු ගැසී රට පුරා සැරිසරන්නට පටන් ගෙන තිබේද?කිසිවෙක් මේ කිසිවක් නොදනී.සියල්ලෝ සාමූහික උන්මාදයකට ගොදුරුව දකින දකින අය දඩයම් කරති.ග්‍රීස් යකා යනු මනෝවිකාරයක් යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසද්දී එබදු ක්‍රියාකාරකම් පිලිබද සිදුවීම් තමාට වාර්තා වී තිබේ යැයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මෙවැනි විකාර ජවනිකා දැකිය හැක්කේ මාර්කේස්ගේ නවකථා වල මිස අන් කොහිද?

ග්‍රීස් යකාගේ සම්භවය හෙලිකිරීම ගවේෂනාත්මක මාධ්‍යවේදින් වෙත භාර කරමින් මෙම ලියුම්කරු අවධානය යොමු කරනුයේ මෙම සිදුවීම් පෙලෙහි එක් වැදගත් ලක්ෂනයක් දෙසය.එනම් මෙවැනි සිදුවීම් අභිමුව පොදුවේ රට පුරා ගම්වාසින් දක්වා තිබූ ප්‍රකෝපකාරී හා ප්‍රචන්ඩ ප්‍රතික්‍රියාව දෙසයි.හපුතලේදී වතුකම්කරුවෝ සමූහයක් ග්‍රීස් යකුන් යැයි සැකකරනු ලැබූ සංචාරක වෙලෙන්දන් දෙදෙනෙකු අල්වා මියයන තුරු පහර දුන්හ.පුත්තලමේදී සමාන උද්ගතයකදී පොලිස් නිලධරයෙකු මැරෙන තුරු ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්විය.කින්නියා හිදී ගම්මු කලහකාරී ලෙස නාවික හමුදා කදවුරක් වැටලූහ.පසුගිය අගෝස්තු 22 දින කහවත්තේදී අපස්මාර රෝගියෙකු ලෙස හදුනාගත් 37 හැවිරිදි දෙදරු පියෙකු සමාන පහර දීමකින් මරා දමා තිබූ අතර එදිනම රාත්‍රියේ ග්‍රීස් යකාට රැකවරනය දීම පිලිබද හමුදාවට චෝදනා කරමින් සිවිල් වැසියන් හා හමුදාව අතර ඇතිවූ ගැටුමකින් පසු යාපනයේදී පුද්ගලයන් සියයකට ආසන්න පිරිසක් සිරභාරයට පත්වූ අතර තවත් 27 දෙනෙකු රෝහල්ගත කරන ලදී.

ඉහත කෙටි විස්තරයෙන් පෙන්නුම් කෙරෙනුයේ සිංහල කහවත්තේදී හෝ වේවා දමිල යාපනයේදී හෝ වේවා මුස්ලිම් කින්නියා හිදී හෝ වේවා කිසිදු වෙනසක් රහිතව ජනයා විසින් පෙන්නුම් කොට තිබූ ආවේගාත්මක ප්‍රතික්‍රියාවයි.එම ප්‍රතිචාර දැක්වීම වියරු එකක් බවට සැකයක් නැත.එය වගකීම් විරහිත සහ අරාජක ලෙස කෝපය පිටකිරීමක් බවද සත්‍යයකි.නමුත් මෙලෙස පිටකරනු ලැබූ ආවේගය කුමක්ද?එය හුදෙක් ග්‍රීස් යකා නැමැති හුදෙකලා සිදුවීම නිසා හටගත් ආවේගයක් පමනද?මෙබදු වියරු ප්‍රතිචාර ග්‍රාමීය ප්‍රදේශ වලින් පමනක් උද්ගත වූයේ ඇයි?කුරුදුවත්තේදී හෝ බම්බලපිටි‍යේදී ග්‍රීස් යකෙකු මුන ගැසුනහොත් එහි වැසියනුත් ඔහුට මියයන තුරු පහර දීමට හා පොලිස් වාහන ගිනි තැබීමට ඉදිරිපත් වනු ඇද්ද?බම්බලපිටියේ ජීවත් වනුයෙත් පුත්තලමේ ජීවත් වනුයේත් එකම දේහ ව්‍යුහය සහිත එකම මානවයෙකි.එම එකම මානවයා බම්බලපිටියේදී එක් විදිහකටත් පුත්තලමේ හෝ කහවත්තේදී තව විදිහකටත් ප්‍රතිචාර දක්වන්නේ ඇයි?

අපට සමාන ප්‍රශ්නයක් මීට දින කිහිපයකට පෙර ලන්ඩනයේ හටගත් තරුන පැනනැගිම ආශ්‍රිතවද මතු කල හැක.ටොටෙන්හම්හි සිදුවූ පොලිස් වෙඩි තැබීමකින් කලු ජාතික තරුනයෙකු මියයාම ඇසුරු කොට ගෙන ලන්ඩනයේ තරුන කොටස් වීදි බට අතර සාමූහික උන්මාදයකින් මෙන් එංගලන්තයේ යෞවන ජනයා පොලිස් රථවාහන ගිනිතබමින්,මහදවල් කඩසාප්පු කොල්ල කමින් එංගලන්තයේ සුප්‍රකට නීතියේ විධානය (Rule of law)  සිය දෙපා මුල දන ගැස්වූහ.මෙම පැනනැගීම්වල ඉදිරියෙන් සිටියෝ කලු ජාතික තරුනයෝය. ලන්ඩනයේ ඉහලම විරැකියා අනුපාතය පවතිනුයේ කැරලි ආරම්භ වූ ටොටෙන්හම් හි වන අතර කලු ජාතික ප්‍රජාවන් සහ පොලිසිය අතර තිබෙන අයහපත් සබදතාවය ද කැරලි සදහා හේතුවක් ලෙස හදුනා ගනු ලැබින.

කැරලි අභිමුව අසහනයට පත් ප්‍රජාතන්ත්‍රවාදී එංගලන්තයේ  අග්‍රාමාත්‍යවරයා ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි තහනම් කිරීමේ අවශ්‍යතාව පිලිබද පවා අදහස් දැක්වීය!ශිෂ්ට සම්පන්න ලන්ඩන් නගරය පිලිබද පැරනි එක්ස් කන්ඩායමේ සියලු න්‍යායන් මෙම තනි  ප්‍රායෝගික සිදුවීමෙන් හුදු ජෝක් එකක් බවට පත්වූ අතර කහවත්ත සිංහල ගැමියා සහ ලන්ඩන් නාගරික තරුනයා යනු මොහොතකට දෙදෙනෙකු නොව එක් අයෙකු බවට පත්වූයේය.

ලන්ඩනයේදී මෙන්ම ග්‍රාමීය ලංකාවේදිද අරාජක ලෙස පුපුරා යන්නේ අන් කිසිවක් නොව සමාජ ආර්ථිකමය ලෙස පීඩනයට ලක්වූවන් තුල කැකෑරෙන අසහනයයි.පීඩනයයි.ලන්ඩනයේ පීඩිත යෞවනයන්ට සිය පීඩනය මුදාහැරීම සදහා පොලිස් වෙඩි තැබීම නම් අවස්ථාව මුන ගැසුනු අතර ලංකාවේ ග්‍රාමීය පීඩිතයන්ට ඒ සදහා ග්‍රීස් යකා නම් අවස්ථාව හිමිව තිබේ.ග්‍රීස් යකා පසුපස තිබෙන කුමන්ත්‍රනකාරී රහස්වලට වඩා මෙම සමාජ දේශපාලනික යථාර්තය අපගේ අවධානයට හසුවිය යුත්තේය.

2011 අගෝස්තු 28 - ලංකා ඉරිදා සංග්‍රහය