Friday, May 27, 2011

හමුදා පුහුනුව හරහා පුරවැසියන් විනයගත කිරීම

මාතර දිසා අධිකරනයේ කේ.ඩී.එල්.සමන් කුමාර විනිශ්චයකාරවරයා පසුගිය 22 වන දින දරුනු පහර කෑමකට ලක්වූයේය.අධිකරනයේ සිට නිවෙස බලා යමින් සිටියදී සිය මග හරස්කොට තිබූ යතුරු පැදියක් ඉවත් කරගන්නා ලෙස ඔහු සංඥා කොට තිබුනි.අවාසනාවට යතුරු පැදිය හමුදා සොල්දාදුවෙකු සතු වූවක් විය.කෝපයට පත්වූ සෙබලා විනිශ්චයකාරවරයාට දිගට හරහට පහර දෙන්නට වූ බවත් තමා අධිකරන විනිසුරෙක් බව කියද්දීත් පහර දීම නොනැවතුනු බවත් ක්ෂනයෙන් එතැනට රැස්වුනු තවත් සෙබලුන් කන්ඩායමක් විනිශ්චයකාරවරයාට අඛන්ඩව බැට දුන් බවටත් පුවත් පත් වාර්තා කොට තිබුනි.හමුදා සෙබලුන් මාතර දිස්ත්‍රික් විනිශ්චයකාරවරයාට “නීතිය” ඉගැන්වූයේ එලෙසිනි.

සරසවි ප්‍රවේශය ලැබූ සිසුන් වෙනුවෙන් වූ “නායකත්ව පුහුනුවේ” සමාරම්භක උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත්වුනේ හරියටම ඉහත පහර දීම සිදුවූවාට පසුදිනය.එහි රැස්ව සිටි 3000 ක සිසුන් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කොට සිටියේ “යුද බිමේ විනය වැඩබිමට ගෙන යා යුතු” බවයි.විනයගත වනු වස් මෙරට ඇති වඩාත්ම සුදුසු ස්ථානය ත්‍රිවිධ හමුදාව බව එහිදී ජනාධිපතිවරයා නිවේදනය කලේය.මාතර අධිකරන විනිශ්චයකාරවරයාට විනය ඉගැන්වූ විනයගරුක හමුදාව දැන් මේ මොහොතේ රට පුරා තිබෙන හමුදා බැරැක්ක තුලදී සරසවියට තේරී සිටින දස දහසක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද විනය උගන්වමින් සිටී.

එස්.බී.දිසානායකගේ වචන වලින් කියනවා නම් ආන්ඩුවේ අභිලාෂය ලංකාවේ විශ්ව විද්‍යාල ජාත්‍යන්තරය සමග තරග කල හැකි මට්ටමකට ගෙන ඒමය.සරසවියට තේරෙන සිසුන් හමුදා බැරැක්ක තුල ගාල් කොට පුහුනු වැඩසටහන් කෙරෙන්නේ ජාත්‍යන්තරයේ කවර රටේ කවර ප්‍රාන්තයේදැයි දිසානායක පැහැදිලි කර නැත.මෙම පුහුනුව සම්බන්ධව දෙමව්පියන්ගෙන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් විවිධ මැසිවිලි නැගෙමින් තිබේ.පසුගියදා රූපවාහීනී සංවාදයකට සම්බන්ධ වූ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පෙරේරා මෙම පුහුනුවට සහභාගී වීම ප්‍රතික්ෂේප කරමින් සිය ආසනයේ එක්තරා මුස්ලිම් ශිෂ්‍යාවක් සිය දිවි නසාගැනීමට තැත් කල පුවතක් හෙලිදරවු කලේය.ශිෂ්‍යයන්ගේ කැමැත්තට පටහැනිව ඔවුන්ගේ අධ්‍යාපනයට මුලුමනින් බාහිර මෙවැනි පුහුනුවකට සහභාගී වීමට බල කිරීමෙන් රජය පැහැදිලිව සිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කොට තිබේ.අවාසනාවකට මෙම වැඩසටහන කල්තැබිමට හැකිදැයි “සලකා බලන ලෙස” සිදුවූ මෘදු දැනුම්දීමක් මිස අධිකරනය මේ පිලිබද මෙතෙක් ගත් කිසිදු ක්‍රියාමාර්ගයක් නැත.

ආන්ඩුවට අනුව මෙය සිසුන්ගේ “නායකත්ව හැකියා වර්ධන” පුහුනුවකි.මෙම ලියුම්කරුට අනුව අදාල ව්‍යාපෘතිය කුමක් වුවත් එය නායකත්ව පුහුනුවක් නම් නොවේ.සරසවි වලට ඇතුලත් කරගැනීමේ Z ලකුනු හෝ තවම නිකුත්වී නැත.අඩුම තරමින් තමා තේරී සිටින‍්නේ කුමන විශ්ව විද්‍යාලයේ කුමන පාඨමාලාවටද යන්නවත් මෙම සිසුන් තවමත් දන්නේ නැත.මෙවැනි පසුබිමක හදිසියේ මෙවැනි ආන්දෝලනාත්මක “නායකත්ව” පුහුනුවක් සංවිධානය කිරීමට බලධාරීන්ට සිතෙනුයේ කුමක් නිසාද?

මෙරට සරසවි වනාහි මුදානොගත් කලාප විශේෂයකි යන්න පසුගිය කාලයේදී බලධාරීන් මුවග පැවති සුලබ ප්‍රකාශයකි.කුමාර් සංගක්කාරගේ සිට රටේ යුක්තිය පසිදලන ඉහලම බලධාරීන් දක්වා සියල්ලන් අනුහස් සහිත රාජපක්ෂ ශ්‍රී නාමය ඉදිරියේ දමනයව සිටින සන්දර්භයක උන්වහන්සේගේ එම ආධිපත්‍යය ප්‍රශ්න කිරීමට තරම් නිර්භයත්වයක් පෙන්නුම් කල අතලොස්සක් පිරිස් අතර පසුගිය කාලයේ සරසවි සිසුහු ඉදිරියෙන් සිටියහ.මෙම සිසුහු තෘතීය අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ නව ලිබරල් ව්‍යාපෘතිය සංවිධානාත්මකව ප්‍රශ්න කල අතර  රටේ අනික් සෑම ක්ෂේත්‍රයකම විශාල සාර්ථකත්වයක් ලබා ඇති නව ලිබරල්කරන ක්‍රියාවලිය අධ්‍යාපනය සම්බන්ධව මන්දගාමී වූයේ සංවිධානාත්මක ශිෂ්‍ය විරෝධය හේතුවෙන් බව පැහැදිලිය.සරසවි “මුදාගැනීම” යනු මෙම ශිෂ්‍ය සංවිධානාත්මකභාවය දියකර දැමීම මිස අන් කිසිවක් නොවේ.

නවක සිසුන් මොල ශෝධනයකට ලක්කොට ඔවුන් තුල රාජ්‍යයට යටත් මනෝභාවයක් නිර්මානය කිරීම මිස ක්‍රියාවට නැගෙන නායකත්ව පුහුනුවේ ඇති වෙනත් අරමුනක් නැත.එකී මොල ශෝධනය වෙනුවෙන් දැන් රජය ස්වකීය සමස්ථ සුපිරි මිලිටරි බලය යොදවා තිබේ.යුදබිමේ විනය වැඩබිමට ගෙනයනවා යන්නේ අදහස කුමක්ද?බලධාරීන් සීරුවෙන් සිටින් කී විට ප්‍රශ්න නොකොට සීරුවෙන් සිටින,ගමනේ යා යැයි කී විට හරි වැරැද්ද නොවිමසා ගමනේ යන එහෙයියන් පිරිසක් බිහිකිරීම මිස අන් කවරක්ද? සංවිධානාත්මක ශිෂ්‍ය ව්‍යාපාරය සමග ඇති දේශපාලන ගැටුම පියවාගැනීමට මෙසේ අලුත සරසවියට තේරුනු සිසුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමෙහි ඇති යුක්තියුක්තභාවය කුමක්ද?රජය කල්පනා කරන්නේ පුරවැසියන් වූ කලී සිය ඕනෑම අන්තනෝමතික තීරනයක් ඉවසා සිටින,අවශ්‍ය ඕනෑම විටෙක ගුද සංසර්ගයට යොදා ගත හැකි දේශපාලන ඩමියන් පිරිසක් බවද?

සරත් ෆොන්සේකා ජනාධිපති වුවහොත් සිදුවන මිලිටරිකරනය ගැන එවකට මොර ගෑ ධම්ම දිසානායක පන්නයේ සිවිල් මහත්වරු මිලිටරිය බුද්ධිමතුන් හා විනිශ්චයකාරවරුන්ටත් ඉහලින් ස්ථානගත ශුද්ධ ආයතනයක් වීමේ වර්තමාන ඛේදවාචකය පිලිබද කරුනු පැහැදිලි කල යුතුය.




( 2011 මැයි 29 - ලංකා ඉරිදා සංග්‍රහය - රාමචන්ද්‍රගේ සටහන )

Monday, May 16, 2011

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ වෙනුවට බුදුන්ගේ සාක්ෂිකරුවෝ / Buddha's Witnesses instead of Jehova's Witnesses

උපතින් කතෝලිකයෙකු වූ උන්වහන්සේගේ පියා
 අත්විදි ප්‍රාතිහාර්යයක් සියල්ල වෙනස් කිරිමට හේතු වූයේය

"අපෙන් ගිලිහුනු ඒ සුන්දර රජදහනේ කිරීටය අපි නැවතත් පැලදිය යුතුයි.ඒ සෙනෙහසේ රජදහනේ පවුරු පදනම් අපි ශක්තිමත් කල යුතුයි.හෙල දේශයේ ඒ සොදුරු මනුශ්‍යත්වය යලි රජයා යුතුයි.ඒක අපට කරන්න හැකි දෙයක්.අපේ ගුන දහම් පෝෂනය කරගන්න අපි කැපවෙන්න ඕන.ගල්වන් සිත් වෙනුවට මල් වන් සිත් ලබන්න අපි කැමති වෙන්න ඕන.එතකොටයි මනුශ්‍යත්වයේ සොදුරු මාවතේ අසිරිමත් අත්දැකීම් අපටත් විදින්න හැකි වෙන්නෙ"

- මහාමේඝ පුවත්පත 2010 සැප්තැම්බර් කලාපය.26 පිට

***
ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රිස්තියානිය සාම්ප්‍රදායික කතෝලික සංවිධාන ව්‍යුහයට එරෙහිව ගසන ලද කැරැල්ලකි.ප්‍රොතෙස්තන්ත්‍රවාදය මතු වන යුගය වන විට කතෝලික පල්ලිය යුරෝපා වැඩවම් ක්‍රමය සමග ඓන්ද්‍රීයව බැදුනු සංස්ථාවක් වූ අතර එහි සමස්ථ ධූරාවලිය වැඩවසම් ස්වභාවයක් පෙන්නුම් කලේය.ප්‍රොතෙස්තන්ත්‍රවාදය යනු එක්තරා ආකාරයකින් ධනේශ්වර යුගයට ගැලපෙන ලෙස සාම්ප්‍රදායික කතෝලික ආගම ප්‍රතිඅර්ථකතනය කිරීමක් ලෙස සැලකිය හැක.දෙවියන් වහන්සේ සහ මිනිසා අතරට අතරමැදියෙක් අනවශ්‍ය බව කී ප්‍රොතෙස්තන්ත්‍රවාදය සාම්ප්‍රදායික කතෝලික සංස්ථාව තුල පූජකවරයා සතුව තිබූ භූමිකාව රැඩිකල් වෙනස් කිරීමකට ලක්කලේය.කතෝලික පල්ලි තුල අපට මුන ගැසෙන වැඩවසම් යුගයේ ආයිත්තම් වලින් සැරසි පූජකවරු වෙනුවට මේ නිසා බොහෝ ක්‍රිස්තියානි සභා වලදි මුනගැසෙන්නේ එදිනෙදා සරල ඇදුමක් ඇද සිටින සාමාන්‍ය මිනිසුන් හා සම පෙනුමක් සහිත පාස්‍ටර්වරයෙකි.පූජකවරයාගේ භූමිකාව පිලිබද මෙම වෙනස එක් අතෙකින් එකල යුරෝපයේ නැගෙමින් තිබූ මානවවාදී අදහස් වලට නෑකමක් දක්වන අතරේම අනිත් අතට ආගමේ මුල් සාරය සොයායාමේ අවශ්‍යතාවය සන් කරන සංඥාවක් ලෙසද සැලකිය හැක.ක්‍රිස්තියානි නිකායක් වන පෙන්තකොස්ත සභාවේ දෙවියන් වහන්සේ සහ මිනිසා අතර නිර්බාධිත සබදතාවයක් ගොඩනැගීම නම් මෙම සංකල්පය ප්‍රබලව දක්නට ලැබේ.දේව ස්පර්ශය පිලිබද දැඩි විශ්වාසයෙන් ඔවුහු වෛද්‍ය ප්‍රතිකාර පවා ප්‍රතික්ෂේප කරන බව ප්‍රසිද්ධ කරුනකි.කතෝලිකයන් විසින් ගොඩනගාගෙන තිබෙන පිලිම වන්දනාවද ක්‍රිස්තියානීන් ප්‍රතික්ෂේප කරන අතර පිලිම වන්දනාව ක්‍රස්තියානීන් දකින්නේ පසුකාලීනව කතෝලිකයන් විසින් මුල් කිතුදහමට සිදුකරනු ලැබූ විකෘතියක් ලෙසිනි.මෙබදු බොහෝ කරුනු මගින් හෙලි වන දෙය නම් ක්‍රිස්තියානි ව්‍යාපෘතිය එක් අතෙකින් වැඩවසම් යුගයේ පැවති කතෝලික සංස්ථාවේ පෙනුම ධනේශ්වර යුගයට අනුරූපීව වෙනස් කරන ප්‍රතිසංස්කරනවාදී බ‍ලවේගයක් වූවා සේම දාර්ශනිකව ආගමේ මුල් සාරය සොයා යන එක්තරා ආකාරයක සිද්ධාන්තවාදී ස්වභාවයක් ගනු ලබන ව්‍යාපෘතියක් බවයි.

21 වන සියවසේ ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රිස්තියානිය යනු තවදුරටත් කැල්වින්ගේ හෝ මාටින් ලූතර්ගේ ක්‍රිස්තියානිය නොවේ.එය බොහෝ සංකීර්න බෙදීම් වලට අද හසුව තිබේ.ක්‍රිස්තියානි සභා අතුරිනුත් පෙනුම අතින් වඩ වඩාත් නූතන ස්වභාවයක් උසුලන සභා විශේෂ බිහිවෙමින් තිබෙන අතර දර්ශනය අතින් පැරනි සභා අබිබවා පිරිසිදු ක්‍රිස්තියානිය වෙත ලගාවීමේ වැදගත්කම මේවා විසින් අවධාරනය කරනු ලබයි.යෙහෝවාගේ සාක්ෂිකරුවෝ යනු එබදු "නූතන" සභාවකි.

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ සභාව එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් ලෝක ව්‍යාප්ත ජාලයකි.එය විසින් ප්‍රකාශයට පත්කෙරෙන "පිබිදෙවු" සගරාව අතට හසුවන ඕනෑම දෙයක් කියවීමෙහි උමතු පුරුද්දකින් මෙම ලියුම්කරු පෙලුනු බාල වියේදී මෙම ලියුම්කරු ප්‍රිය කල සගරාවක් විය.මතුපිටින් ආකර්ශනීය ස්වභාවයක් උසුලන එකී ප්‍රකාශන මුල් බැල්මට ආගමික ප්‍රකාශනයක් යැයි නොසිතෙන තරම්ය.මෙම සගරා ජීවිතයේ විවිධ පැතිකඩ ස්පර්ශ කරයි.බිරින්දෑවරුන්ට යහපත් පවුල් ජීවිත ගත කරන ආකාරය ගැන,ලමුන්ට යහපත් ක්‍රිස්තියානි ජීවිතයක් ගත කරන ආකාරය ගැන ඉන් උපදෙස් සැපයේ.නිදසුනක් ලෙස ප්‍රේමය පිලිබද කතා කරන්නේ නම් නූතන යුගයේ යෞවනයන්ට උචිත වන ලෙස කතා කරන මාතෘකාව තෝරා ගනු ලැබෙන අතර ආගමික "තෙල" වදිනුයේ අවසානයේය.බොහෝ විට මෙම සගරා සමාන වනුයේ ධනාත්මක චින්තනය අලෙවි කරන ඉතා ඉහල ජනප්‍රියත්වයක් සහිත ග්‍රන්ථවලටය.එම ධනාත්මක චින්තන ග්‍රන්ථ මගිනුත් වැදිය යුතු තැනට ඊතලය විදිනු ලැබෙන අතර තරුනයන්,ගෘහනියන්,පෙම්වතුන් වැනි ඉලක්ක කන්ඩායම් වැඩියෙන්ම පෙලන ප්‍රශ්න වලට සාර්ථකව අමතා ඔවුන්ගේ අවධානය දිනා ගනු ලබයි.කතෝලික ආගමට සාපේක්ෂව සම්භාව්‍ය ක්‍රිස්තියානිය 18 වන සියවසේදී "නූතන" පෙනුමක් සහිත ආගමක් වී යැයි පවසන්නේ නම් සම්භාව්‍ය ක්‍රිස්තියානියට සාපේක්ෂව යෙහෝවාගේ සාක්ෂිකරුවෝ වැනි නව ක්‍රිස්තියානි නිකායන් 21 වන සියවසේදී වඩා නූතන පෙනුමක් අත්පත් කරගැනීමට සමත්ව ති‍බේ.

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ : ආකර්ශනීය ප්‍රකාශනයක්
ක්‍රිස්තියානිය පිලිබද උක්ත විස්තරය අපගේ මාතෘකාව සදහා ප්‍රවේශයක් ලෙස යොදාගැන්මෙහිලා උචිතය.සංස්ථාවක් ලෙස ලාංකීය බුද්ධාගම පසුගිය ශතවර්ශ කිහිපය තුල ක්‍රිස්තියානි කතිකාවත මුහුන දුන් වෙනස්කම් හා සමාන වූ වෙනස්කම් සමූහයකට මුහුන දෙමින් සිටී යැයි තර්ක කල හැකි පොහොසත් පදනමක් මේ වනවිට බිහිව පවතී.ප්‍රොතෙස්තන්ත්‍ර බුදුදහම යන වහර මෙම ලියුම්කරු දන්නා පරිදි මුලින්ම යොදාගනු ලැබුවේ මහාචාර්ය ගනනාථ ඔබේසේකර විසිනි.හෙන්රි ස්ටීල් ඕල්කට් හා අනගාරික ධර්මපාල වැනි බෞද්ධ උගතුන් විසින් මෙරට එක්තරා ආකාරයකට සිදු කරන ලද්දේ බෞද්ධ ප්‍රතිශෝධන ව්‍යාපාරයකි.සාම්ප්‍රදායික සංස්ථාවක් ලෙස පැවති ලාංකීය බුද්ධාගමට මෙම ක්‍රියාකාරීන්ගේ කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස  20 වන සියවස මුල වන විට වඩා නූතන පෙනුමක් හිමිවන්නට පටන් ගෙන තිබුනි.වෙසක් භක්ති ගීත,ඉරිදා දහම් පාසල්,ලෞකික අධ්‍යාපනය ලබාදෙන බෞද්ධ පාසැල්,වෙසක් කාඩ්,බෞද්ධ කොඩි හා ඒ වර්ගයේ එතෙක් නොතිබූ නවීන අංගෝපාංග රැසක් මෙම ක්‍රියාවලිය තුල බිහිවූ අතර මෙම ක්‍රියාකාරකම් පැහැදිලිවම සාම්ප්‍රදායික වැඩවසම් පන්සල් සංස්ථාවක් තුල සිරව තිබූ බුද්ධාගම නව අර්ථනිරූපනයකට ලක්කලේය.ක්‍රිස්තියානිය යුරෝපාකරයේදී සිදුකලාක් මෙන් සටන්කාමී,පෙරලිකාරී ස්වභාවයක් මතුපිටින් නොපෙන්වූවත් හරයාත්මකව ඕල්කට්-ධර්මපාල ව්‍යාපෘතිය හරහා සිදුවූයේ පාරම්පරික පැරනි ලාංකීය බෞද්ධ සංස්ථාව නව යුගයට ගැලපෙන ලෙස ප්‍රතිඅර්ථකතනය කිරීමකි.

කාර්මික ධනේශ්වර යුගයේදී පැරනි බෞද්ධ සංස්ථාව ඕල්කට්-ධර්මපාල ව්‍යාපාරය මගින් ප්‍රතිසංස්කරනයට ලක්කලේ යම් සේද අද - සයිබර් යුගය වනවිට ලාංකීය බුදුදහමේ හැඩය යලිත් ප්‍රතිනිර්වචනය කරන ප්‍රවනතාවයක් මේ වනවිට තීරනාත්මක ලෙස පැන නැගෙමින් තිබේ.මෙම ලිපිය ආරම්භයේ දැක්වූ උපුටනය සහිත මහාමේඝ නම් පුවත්පත මහමෙව්නා ආයතනයේ ප්‍රකාශනයකි.කිරිබත්ගොඩ ඥානානන්ද හිමි විසින් අධිපතිත්වය දරන මහමෙව්නාව අසපුව ලංකාවේ විශාල ජනප්‍රියත්වයක් ලබමින් තිබෙන ආයතනයක් වන අතර එය මෙසේ පැනනැගෙමින් ඇති නව බෞද්ධ ප්‍රවනතාවයේ ස්වභාවය මනාව නියෝජනය කරන්නකි.

අහම්බෙන් ඇස ගැටි එම මහාමේඝ පුවත්පත කියැවූ සැනින් උත්ප්‍රාසාත්මකව මෙම ලියුම්කරුගේ මතකයට එක්වනම පිවිසියේ බාලවියේ දී කියැවූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ "පිබිදෙවු" සගරා පිලිබද ස්මරනයන්ය."අපෙන් ගිලිහුනු සුන්දර රජදහනෙහි කිරුලු පැලදීමක්" පිලිබද මහාමේඝය පවසන විට එම වචන හා "අනාගතයේ පහල වෙන්නා වූ සුන්දර වූද පවින් මිදුනා වූද ස්වර්ගරාජ්‍යයේ ප්‍රීතියෙන් ජීවත් වීම" පිලිබද යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වචන අතර තිබෙනුයේ අපූර්ව සාම්‍යත්වයකි.මහාමේඝ පුවත්පත අතිශය නූතන උත්සාහයකි.එහි ජපානය හා හිරෝෂිමාව පිලිබද විස්තර කෙරෙන විශේෂාංග ලිපි ඇත.රූපවාහිනිය බැලීමට ඇබ්බැහි වීමෙන් වැලකීම පිලිබද යෞවනයන්ට ලියැවුනු උපදේශ ලිපි ඇත.රසායනික නොවූ අපේ ගොවිතැන පිලිබද සිත්ගන්නා - බැලූ බැල්මට කිසිදු ආගමික ස්වරූපයක් රහිත - ලිපි මෙන්ම පොලොස් සීනි සම්බෝල සාදාගන්නා අන්දම ගැනද විස්තර එහි ඇත.ගතානුගතික ආගමික ස්වරූපී බුදුසරන වැනි පුවත්පතක් හා සැසදූ විට මහාමේඝ මුලුමනින්ම වෙනස් වූද පෙනුමින් නවීන වූද ප්‍රකාශනයකි.

සාම්ප්‍රදායික පන්සල වෙනුවට අසපුව නමින් ජනප්‍රියත්වයට පත්වෙමින් තිබෙන සංකල්පය මෙකී නව බෞද්ධ ප්‍රවනතාවය තුල හදුනාගත හැකි සුවිශේෂ ලක්ෂනයකි.ගතානුගතික පන්සල් සංස්කෘතිය කෙරෙහි උකටලීව ආගම කෙරෙහි එතරම් උනන්දුවක් රහිතව සිටි නාගරික මධ්‍යම පංතික තරුන මහලු බොහෝ දෙනා තමන් වෙත ඇද ගැනීමට මෙකි අසපු සංචිත සමත්ව තිබෙන බව නොරහසකි.ක්‍රිස්තියානිය කෙරෙහි උකටලීව ආගමික කතිකාවතෙන් ඈත්ව සිටි නූතන බටහිර යෞවන ගනයා අතර නව ක්‍රිස්තියානි නිකායන් ලබන සාර්ථකත්වය සමග මෙය සැසදිය හැක.සාම්ප්‍රදායිකව භික්ෂුව යනු පන්සලක වැඩ වාසය කරන්නෙක් යනුවෙන් පැවති අදහස ප්‍රශ්න කිරීමට ලක්කරමින් පන්සල් වලින් බැහැරව ජීවත්වන භික්ෂූන් සමූහයක් මෙකී නව බෞද්ධ ප්‍රවනතාවය තුල හදුනා ගත හැක.ඔවුන් බොහෝ විට "ආශ්චර්යමත් ලක්ෂන" සහිත භික්ෂූන් ලෙස ගිහියන් විසින් වර්නනා කරනු ලබන අය වෙත්.පන්සල් වර්ජනය කොට ඇති මෙබදු භික්ෂූන් ගිහි නිවාස වල වැඩවාසය කරනු දැකිය හැකිය.අනෙත් අතට අසපු වල ජීවත් වන භික්ෂූහු පිඩු සිගා  යාම හෝ ගිහි ගෙවල්වල දාන මානවලට යාම යනාදී සාම්ප්‍රදායික කටයුතු ප්‍රතික්ෂේප කරන අතර ගිහියන් අසපු වෙතට දානය ගෙන එනු ඇතැයි අපේක්ෂා කරති.

වරින් වර සිය දායකයන්ගේ නිවාස වල ටර්න්ස් ගනිමින් වැඩ වාසය කරන මහනුවර ප්‍රදේශයේ එක්තරා භික්ෂුවක් පිලිබද මෙම ලියුම්කරු සතුව පෞද්ගලික දැනුමක් ඇත.එම භික්ෂුව වටා පවුල් සමූහයක් - මේවා බොහෝවිට නාගරික මධ්‍යම පංතික පවුල් වෙති - ඒකරාශිව සිටී.රෝග සුවකිරීමේ හාස්කම් බලයක් එම භික්ෂුව වෙත පවතින බව එම දායකයින් විශ්වාස කරයි.මෙම දායක නිවාස වල ධර්ම වැඩසටහන් සංවිධානය වන අතර මේවා සමග ගමේ පන්සල්වලට කිසිම සම්බන්ධයක් නැත.අදාල භික්ෂුව සහ එම පවුල් වල අය අතර තිබෙන්නේ අමුතු ආකාරයක බැදිමකි.භික්ෂුව ඔවුන් බොහෝ දෙනා - දරුවන් පවා - නමින් හදුනයි.එම භික්ෂුව පවුල් සමූහයක් යා කරන වරප්‍රසාද ලත් වැඩිහිටියෙකු වැන්න.ෆේස්බුක් ප්‍රොෆයිලයක් හරහා සයිබර් අවකාශයේද වැඩවාසය කරන එම භික්ෂුව වනාහි වචනයේ නියම තේරුමින්ම සාම්ප්‍රදායික බෞද්ධ සංස්ථාවෙන් වෙනස් වූ මොඩර්න් ප්‍රපංචයකි.

අසපු සංකල්පය සාම්ප්‍රදායික පන්සල් අබිබවා යෞවන ජනයාගේ සිත්ගෙන ඇති සෙයකි
කෙසේ වුවද මෙම නව බෞද්ධ ප්‍රවනතාවය සාම්ප්‍රදායික/සම්භාව්‍ය බෞද්ධ සංස්ථාව ප්‍රශ්න කිරීමකට ලක්කොට තිබෙන බව පැහැදිලිය.පසුගිය දිනෙක සගරාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් දොඩම්පහල රාහුල හිමි "අසපු බුද්ධාගම" දැඩිව විවේචනයට ලක්කොට තිබුනි.මෙම තරගකාරී ප්‍රවනතා දෙක අතර ප්‍රතිවිරෝධය තවමත් ප්‍රබල ලෙස ඉස්මත්තට පැමින නැති නමුත් ඒ අතර පවතින ගැටුම සදහා උක්ත ප්‍රතිචාරය කදිම සාක්ෂියකි.කිරිබත්ගොඩ ඥානානන්ද හිමි විසින් ලියනු ලැබ ප්‍රකාශයට පත්කෙරෙන ග්‍රන්ථ සමූහය සාම්ප්‍රදායික බෞද්ධ සංස්ථාව හා මෙම නව ප්‍රවනතාවය අතර වෙනස හකුලුවා දක්වන්නකි.මෙම පොත් ඉතාම සරල භාෂාවෙන් ලියනු ලැබෙන අතර එසේම ත්‍රිපිටකය සිංහලෙන් ලිවීමටත් එම හිමියන් විසින් කටයුතු කොට තිබේ.කතෝලික කතිකාවත තුල ලතින් භාෂාව ආධිපත්‍යය හෙබවූයේ යම් සේද සම්භාව්‍ය බෞද්ධ කතිකාවත තුල පාලිය සතුවනුයේ  භාෂාමය ඒකාධිකාරයකි.ඥානානන්ද හිමි පැහැදිලිවම ඉන් බැහැරට ගොස් තිබේ.එසේම පාලියෙන් ගැයෙන පිරිත් යනාදිය සිංහලයට හැරවීමේ කටයුත්තකටද එම හිමි අවතීර්න වී තිබුනු අතර එය වනාහි සාම්ප්‍රදායික බෞද්ධ භික්ෂූන් සිහිනෙනුදු නොසිතූ කටයුත්තකි.

මේ වනවිට කුන්ඩසාල මහමෙවුනා පරිශ්‍රයේ විශාල චෛත්‍යයක් ඉදිවෙමින් තිබේ. ඥානානන්ද හිමිගේ වචන වලින් කියතොත් එය "රජුන් විසින් නොව පොදු ජනයා විසින්" තනනු ලැබෙන සෑයකි.සාම්ප්‍රදායික බෞද්ධ සංස්ථාව තුල මෙවැනි කටයුත්තක් සමග බොහෝ විට දේශපාලඥයෙකු සම්බන්ධ වීම දක්නට ලැබෙන නමුදු මහමෙවුනා සෑයෙහි මුල්ගල තැබීම අත්තිවාරම කැපීම වැනි කිසිදු වැදගත් අවස්ථාවකට එවැනි දේශපාලකයෙකු ආරාධිතයා ලෙස ගෙන්වා ගනු ලැබුනේ නැත.යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙන් කිසිදු ජාතික ගීයකට හෝ ජාතික ධජයකට ආචාර නොකිරීමේ නිර් රාජ්‍යමය ස්ථාවරයක මෙම නව බෞද්ධ ප්‍රවනතාවය පසුනොවන බව පැහැදිලි නමුත් ඉහත නිරික්ෂනය නොසලකා හැරිය හැක්කක් නොවේ.පසුගිය දිනෙක මෙම ලියුම්කරු විසින් දුටු බස්රියෙක "බුදුන් වහන්සේ ජීවමානයි" යනුවෙන් ස්ටිකරයක් අලවා තිබුනි.මහමෙවුනා පරිශ්‍රයේ පසුගියදා පැවති ශීල ව්‍යාපාරයකට සම්බන්ධ වූ මෙම ලියුම්කරුගේ සමීපතමයෙකු - ඔහු ඊට සහභාගිව තිබුනේ පලමු වතාවටය - මෙම ලියුම්කරු හා ප්‍රකාශ කර සිටියේ එහි සිදුවන සෑම දෙයක්ම වෙනස් ස්වරූපයක් ගන්නා බවත්,බුදු ගුන පවා ගායනා කරන්නේ වෙනස් ආකාරයකට බවත්,එය බොහෝ දුරට ජේසුස් වහන්සේගේ ගුන වයන ක්‍රිස්තියානි අභිචාර විධි සිහිගන්වන බවත්ය.අවශ්‍ය නම් මෙම සමානතාවන් නිසා මෙම නව ප්‍රවනතාවය යෙහෝවාවාදී බුදුදහම ලෙසද නම් කල හැක.කෙසේ වෙතත් මෙම "වෙනස්" අභිචාර විධි බෞද්ධ සමාජයේ විශාල පිරිසක් ආකර්ශනය කරගනු ලැබෙමින් තිබෙන අතර අද (17) වෙසක් පොහොය නිමිත්තෙන් කුන්ඩසාලේ මහමෙවුනා පරිශ්‍රයේ පැවැත්වෙන ශීල ව්‍යාපාරයට ලක්ෂ 2 ට ආසන්න පිරිසක් සහභාගී වනු ඇති බවට අපේක්ෂා පල කෙරේ.

සුනාමි මරන වූ කලී පෙර කර්මයයි.එබැවින් නොතැවෙනු!
පෙනුම අතින් නවීන හා ආකර්ශනීය ස්වභාවයක් ගන්නවා සේම මෙම නූතන බෞද්ධ ප්‍රවනතාවය හරයාත්මක වඩා සිද්ධාන්තවාදී දාර්ශනික ප්‍රවේශයක් ඉල්ලා සිටින ලක්ෂන පෙන්නුම් කරයි.නිදසුනක් ලෙස සුනාමියෙන් මිනිසුන් මිය යාම කර්මය සමග සම්බන්ධ කොට ඥානානන්ද හිමි විසින් කල විග්‍රහය මෙම ලියුම්කරුගේ මතකයේ තවමත් පවතින්නකි.රූපවාහිනී නාලිකාවක් හරහා එහිලා උන්වහන්සේ සිදු කරනු ලැබූයේ  සුනාමියෙන් මිය ගිය අය මියයාමට ප්‍රධාන හේතුව ඔවුන් පෙර කල කර්මයයි වර්ගයේ ප්‍රකාශයකි.මහාමේඝය පුවත්පතේ සැප්තැම්බර්-ඔක්තොම්බර් කලාපයේ විඩූඩබ නම් රජෙකු මිය යාම පිලිබද පැරනි පුවතක් ගැන කෙරෙන විස්තරය තුලින්ද දැකගත හැක්කේ එවැනි එලඹුමකි.

"... එදා මියයාමට කර්මයක් නොතිබූ ගග ඇතුලේ නිදා සිටි පිරිස අසල කඩියන් මතු වී ඔවුන්ට දෂ්ට කලා.එම නිසා ගගෙන් ගොඩට විත් ගොඩබිම් ප්‍රදේශයේ නිදාගැනීමට ඔවුන්ට සිදුවුනා.එසේම එදා මිය යෑමට කර්ම සකස් වී තිබූ ගොඩබිම් ප්‍රදේශයේ නිදාගෙන සිටි අය අතරද කඩියන් මතුවී ද්ෂ්ට කලා.එවිට ඔවුන් සිදු කලේ ගංවැල්ලට ගොස් එහි නිදා ගැනීමයි.මේ අයුරින් පින් කල අය තේරී ගොඩට ආ විටත් පවුකල පිරිස තේරී ගං වැල්ලට ගිය විටත් ගගෙහි ඉස්මත්තට විශාල වැස්සක් ඇද වැටී මහා වතුරක් පැමිනියා.ගංවැල්ලෙහි නිදා සිටි විඩූඩභ රජු ඇතුලු පාපී පිරිස් සියලු දෙනාටම එම ගංවතුරෙන් මරනය අත්වුනා"

-මහාමේඝය සැප්තැම්බර් කලාපය 2011 පි.15

සුනාමිය වැනි ස්වභාවික විපතක් නිසා මිය ගිය වුන් පෙර පවු කල අය බව ප්‍රකාශ කිරීම එක්තරා අන්දමක කාලකන්නි ප්‍රකාශයක් යැයි පැවසිය හැක.මෙබදු ප්‍රකාශ සිදුවනුයේ ආගමෙහි මූලධර්ම වෙත කෙරෙන අසීමිත නැඹුරුව මගිනි.ආගමෙහි පිරිසිදු සිද්ධාන්ත පාදාගෙන ඒ අනුව තමන් කරනුයේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් යැයි සද්භාවයෙන්ම විශ්වාස කරන්නා එබදු ප්‍රකාශයක පවතින කාලකන්නි ස්වභාවය හෝ නොහගී.පැරනි තෙස්තමේන්තුවේ එන දෙවියන්ට අකීකරු වීම නිසා යෙහෝවා විසින් ගම්මාන පිටින් විනාශ කිරීමේ ප්‍රාථමික කතන්දර සහ මෙම "බෞද්ධ" විග්‍රහයන් අතර වෙනසක් නොතිබීම උත්ප්‍රාසයකි.එසේම බුදු රජානන් වහන්සේ යමා මහ පෙලහර පෑවා සේ,විශාලා නුවර තුන් බිය දුරු කලා සේ පවතින්නේ යැයි විශ්වාස කරන ධර්ම බලයෙන් හාස්කම් පෑමට දැරෙන උත්සාහද මෙම සන්දර්භය තුල සිට වටහා ගත යුතුය.ඥානානන්ද හිමිගේ මූලිකත්වයෙන් පසුගිය වසරෙහි සිදුවූ ආන්දෝලනාත්මක සෝමාවතී සිදුවීම මෙම හාස්කම් ප්‍රවාදයෙහි ස්වභාවය මනාව විදහා පාන්නකි.නව ක්‍රිස්තියානි නිකායවාදීන් දෙවියන් වෙත ලගාවීම හා එමගින් කෙරෙන මහාපරිමාන හාස්කම් ගැන අදහන්නේ යම් සේද බුදු රැස් විහිදීම හා වසින වැසි නවතාලීම වැනි ධර්ම බලයේ හාස්කම් පිලිබද විශ්වාසය තබමින් කෙරෙන අභිචාරයන්ද ආගමේ "පිරිසිදුභාවය" වෙත ලංවීම සදහා අසීමාන්තිකව ගනු ලබන උත්සාහයන්ගේ ප්‍රතිඵලයකි.

කෙසේ වෙතත් ඉහත සියලු කරුනු සලකා බැලිමේදී ලාංකීය බුදුදහමේ දෙවන ප්‍රොතෙස්තන්ත්‍ර යුගය එලඹෙමින් තිබේද යන ප්‍රශ්නය මෙම අවස්ථාවේදී සාධාරන‍ ලෙස නැගිය හැක.සයිබර් ධනවාදී යුගයට අනුරූපීව සාම්ප්‍රදායික සම්භාව්‍ය බෞද්ධ සංස්ථාවට පිටස්තරව නව පන්නයේ බුදු දහමක් බිහි වෙමින් තිබේ යන්න පැහැදිලි නිරීක්ෂනයකි.යෙහෝවාගේ සාක්ෂිකරුවන් වැනි නව ක්‍රිස්තු භක්තික නිකායන්ගේ බෞද්ධ අර්ධ සොහොයුරා ලෙස මෙම නව ප්‍රවනතාවය සැලකිය හැකි බව මෙම ලියුම්කරුගේ යෝජනාවයි.මෙම ප්‍රවනතාවය "ශාසනයට" කොතරම් හොදද නැද්ද යන්න පිලිබද වෙහෙසිම මෙම ලියුම්කරුගේ විෂය පථයට අදාල නොවන්නකි.එය සමාජයට කරන යම් බලපෑමක් වේ නම් ඒ පිලිබද පමනක් ලියුම්කරු උනන්දු වනු ඇත.කෙසේ වූවද ලංකාව වූ කලී සතරවරම් දෙවිවරුන්ගෙන් සමන්විත "අපේ විද්‍යාවක්" ගොඩනැගීම පිලිබද මනස්ගාත කියවමින් සිටින නලින් ද සිල්වා පන්නයේ විහිලුකාරයන් ජාතියේ න්‍යායාචාර්යවරුන්/චින්තකයන් ලෙස නම් කරගෙන ඉන්නා වර්ගයේ රටකි.ඇතැම්විට ඥානානන්ද හිමියන්ගේ යෙහෝවාවාදී නවීන බෞද්ධ ප්‍රවනතාවය එම සාමූහික මුග්ධභාවය සමග වඩාත් හොදින් පෑහෙන්නක් වීමටද ඉඩ තිබේ.

Friday, May 13, 2011

සරසවි ආචාර්යවරුන්ට එරෙහිව ඇමති එස්.බී.ඊරියගොල්ල

ස්.බී.දිසානායක සීඝ්‍රයෙන් අයි.එම්.ආර්.ඊරියගොල්ල ගත් මග වෙත පිවිසෙමින් සිටින බව පසුගිය මැයි 05 දා මහවැලි කේන්ද්‍රයේදී පැවති සම්මන්ත්‍රනයක් අමතමින් ආචාර්ය සුමනසිරි ලියනගේ ප්‍රකාශ කොට තිබුනි.1965-70 රජයේ අධ්‍යාපන අමාත්‍යධූරය දැරූ ඊරියගොල්ල මෙරට ඉතිහාසයේ විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන් සමග විශාල ආරෝවක් ඇති කරගත්තෙක් ලෙස සැලකේ.පසුව ඩඩ්ලි සේනානායක රජයට විරුද්ධව සමගි පෙරමුනේ මැතිවරන වේදිකාවලට නැගීමට ආචාර්යවරුන් පොලඹවන හේතුවක් වන තරමට මෙම ප්‍රතිවිරෝධතාවය දිග්ගැස්සුනි.ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය සම්මුතිකාමීව විසදගන්නවා වෙනුවට ඔවුන්ගෙන් ගේම කෝල් කරන ප්‍රවේශයක් ගෙන ඇති එස්.බී.දිසානායක රාජපක්ෂ ආන්ඩුවේ ඊරියගොල්ල බවට පත්වෙමින් සිටින බව මෙසේ ප්‍රකාශ කරන ලියනගේ වනාහි පසුගිය මැතිවරන කාලවලදි රාජපක්ෂ ආන්ඩුවේ යහපත්භාවය පිලිබද සහතික නිකුත් කල ආචාර්යවරයෙකු වීම සිත්ගන්නා සුලු ලක්ෂනයකි.

කෙසේ වුවද එස්.බී.දිසානායක හෙලා දැකීමෙන් ඔබ්බට නොයා සිය කතාව අවසන් කිරීමට ලියනගේ ප්‍රවේශම් වී තිබුනි.දිසානායක යනු නියෝජිතයෙක් පමනක් බවත් ඔහු හරහා මේ ක්‍රියාවට නැගෙමින් තිබෙනුයේ “කම්කරු නායක” මහින්ද රාජපක්ෂගේ  ප්‍රතිපත්තිය බවත් සදහන් කිරීමට තරම් ඔහු ධෛර්යමත්ව තිබුනේ නැත.

මෙම ලිපිය ලියන මොහොත වන විට විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය මෙරට සරසවි පද්ධතිය අරාජක කරමින් පැතිර යමින් පවතී.සරසවි ආචාර්යවරුන් සතු සිවිල් බලය හේතුකොට ගෙන ජනමාධ්‍ය පවා මෙය වාර්තා කරන්නේ තරමක වෙනස් තාලයකිනි.සිය ඉල්ලීම් වෙනුවෙන් සටන් කරන ශිෂ්‍යයන්,වෙනත් කම්කරුවන් වෙත අලවන කඩාකප්පල්කාරී ලේබලය බුද්ධිමය සමාජයේ බලයක් සහිත ආචාර්යවරුන් වෙත ඇලවීම එතරම් පහසු නැත.

කෙසේ වුවද එම අපහසුවද නොතකා එස්.බී.දිසානායක මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුපස අදිසි දේශපාලන හස්තයක් පවත්නා බවට ප්‍රකාශ කොට තිබුනි.ස්වේච්ඡා තනතුරු වලින් ඉවත් වන ආචාර්යවරුන් දඩයම් කරන චක්‍රලේඛයක් දැනටමත් නිකුත් වී ඇත.එසේ තනතුරු වලින් ඉවත් වන ආචාර්යවරුන්ට “වැඩ වරදිනු” ඇති බවටත් අමාත්‍යවරයා පවසා තිබේ.පේරාදෙනියේදී තමන්ට හූ කියූ ශිෂ්‍යයන් සමග ගනුදෙනු බේරාගත් ශෛලියම ආචාර්යවරුන් සමග අභිමුඛ විමටත් අමාත්‍යවරයා යොදාගෙන තිබෙන බව පැහැදිලිය.

සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ මොහොතේ යටත් පිරිසෙන් ආකාර දෙකකින් වැදගත් වන්නකි.පලමුව සරල වෘත්තීය සමිති තේරුමකින් ගතහොත් යුක්තිසහගත වැටුපක් සදහා වූ මෙම සටන සාධාරන එකකි.දෙවනුව මෙය මේ මොහොතේ රජය විසින් ඉදිරියට ගෙන තිබෙන ජාතිහිතෛශී මහෝත්සවය දේශපාලනිකව මුහුනට මුහුන ලා අභියෝගයට ලක්කරන්නකි.

ස්වකීය අකාර්යක්ෂමතාවය සගවනු වස් පාලකයන් “බඩ වෙනුවට රට” සටන්පාඨය නැවත මහා පරිමානව එලියට ගැනිම ආරම්භ වන්නේ බැන් කී මූන්ගේ වාර්තා‍වේ සිදුවීමත් සමගිනි.දරුස්මාන්ට එරෙහිව පිටකොටුවේ සිට අත්සන් දස ලක්ෂයක් එකතු කිරීම,දරුස්මාන්ට බැන වදින ප්‍රවෘත්ති සිරස්තල එකදිගට පල කිරීම යනාදිය මගින් සමාජයේ රනකාමී ආනන්දය නොනිවා පවත්වා ගැනීමට රජය උපරිම උත්සාහය යොදමින් සිටී.”බඩ වෙනුවට රට” සටන්පාඨයේ රට යනු පාලකයන්ට හා බඩ යනු සමාජයට යෙදෙන පර්යාය වචන දෙකකි.මින් සමාජයට දෙන සැබෑ පනිවුඩය පාලකයන්ගේ අභිවෘද්ධියේ නාමයෙන් තම තමන්ගේ ප්‍රශ්න ගැන නොසිතා පාලකයන් සමග එක්සත්ව සිටිනු යන්නයි.

මෙවැනි සන්දර්භයක තමන් රට (පාලකයන්) ගැන නොව බඩ (තමන්ගේ ජීවන ප්‍රශ්න) වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බව කීමට එක්තරා සමාජ කන්ඩායමක් නිර්භීත වී තිබේ.සරලව යුක්තිසහගත වැටුපක් හරහා තමන්ට හිමිවිය යුතු සමාජ ගෞරවය දිනාගැනීම මෙම සටනට සම්බන්ධ වන බොහෝ ආචාර්යවරුන්ගේ අභිලාෂයයි.නමුත් සමස්තයක් ලෙස මෙකී ක්‍රියාවලියේ දේශපාලන වැදගත්කම ඊට වඩා ගැඹුරුය.රැවටීමට ලක්ව තිබෙන එකම සමාජ කොටස සරසවි ආචාර්යවරු පමනක් නොවෙති.පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුප් ලබාදීම යන ආකර්ශනීය පාඨයට මුවාවී එක් අතෙකින් සිය මූල්‍ය අර්බුදය විසදා ගනු වස් අරමුදල් සම්පාදනයක රජය යෙදී සිටී.අනෙත් අතින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම පිලිබද ප්‍රතිඥා සියල්ල කඩ කෙරී තිබේ.වතු අංශයේ වැටුප් සටනක ගිනි පුලිගු අලු යට දැල්වෙමින් පවතී.

1980 ට පසු මෙරට වෘත්තීය අරගලයන්හි කොදු බිද දැමීමට රාජ්‍යය විසින් වරෙක ප්‍රචන්ඩත්වයත් තව වරෙක ජාතිහිතෛශී බැනර් එසවිමත් වරින්වර යොදාගෙන තිබේ.2008 ජූලි වලදී ඔප්පු වූ පරිදි මින් වඩාත් සාර්ථක ක්‍රමවේදය ජාතිහිතෛශී බැනර් ප්‍රවේශයයි.ජාතියේ ආරක්ෂාව නම් වූ පාරභෞතික අදහස වෙනුවෙන් සිය සැබෑ ජීවන ප්‍රශ්න අමතක කරනු වෙනුවට ඒ වෙනුවෙන් සටන් වැදීම හරහා වැදගත් සංඥාවක් ආචාර්යවරුන් විසින් නිකුත් කොට තිබේ.මෙකී සංඥාව අනෙකුත් සමාජ කොටස් ග්‍රහනය කරගන්නේ නම් පාලකයන්ගේ ජාතිහිතෛශී බැනර ඉරී යාම හුදෙක් කාලය පිලිබද ප්‍රශ්නයක් පමනක් වනු ඇත.