Monday, December 19, 2011

තාරුන්‍යයේ දේශපාලනය අතුරුදන් කිරීම / Disappearing politics of the youth




"සැබෑ මිනිසා ආර්ථික ලාභය ඇති මාවත නොසොයයි.ඔහු සොයන්නේ යුක්තිය හා සාධාරනත්වය රැදි මාවතයි.අද දින ඔහුගේ සිහිනය හෙට දවසේ දේශයේ නීතිය බවට පත්වනු ඇත"

- ජොසේ මාටි

ලිත් කුමාර් වීරරාජ් යාපනයේදී අතුරුදහන් වී මේ වනවිට දින කිහිපයකි.දෙසැම්බර් 10 වනදා සවස 5 ට මෝටර් සයිකලයක නැගී සිය නිවෙසින් පිටවූ තැන් සිට මේ දක්වා ලලිත් කුමාර් ආ ගිය අතක් පිලිබද හෝඩුවාවක් නොමැත.ලලිත් කුමාර් සමග කුගන් මුරුගානන්දන් නම් තරුනයාද අතුරුදහන් වී ඇත.

මනුශ්‍යයෙකු අතුරුදහන් වීම යනු තරමක ගූඪ අර්ථයක් දනවන්නකි.මිනිසෙකු මියයාම එකකි.ජීවත්වනවාද මියගොස්ද යන්න දැනගැනීමට ඉඩක් නොතබා මිහිමතින් අතුරුදහන් වී යාම තවෙකකි. පෙන බුබුලු ස්වයංසිද්ධව පුපුරා යා හැක.එහෙත් සිය පැවැත්ම පිලිබද කිසිදු සලකුනක් ඉතිරි නොකොට අවතාරයක් මෙන් මනුශ්‍යයෙකුට ක්ෂනයෙන් "අතුරුදහන්" විය හැකිද?අපට ජීවත් වීමට නියම වී තිබෙන්නේ මනුශ්‍යයන් හුදු අවතාර බවට පත්කොට තිබෙන අවිචාර සමයකය.

උතුරු අර්ධද්වීපය යනු මහා පරිමානයේ හමුදා බලකොටුවකට තිබෙන තවත් සමාන පදයක් පමනක් වන සන්දර්භයක ලලිත් කුමාර්ගේ අතුරුදහන් වීමට වගකිව යුත්තේ රජයේ හමුදාව බවට සැකයක් තිබිය නොහැක. පනස්දහසක පමන හමුදා ‍හා පොලිස් බලමුලු රැදී සිටින උතුරේ රජයේ දේශපාලන විරුද්ධවාදියෙකු අතුරුදහන් වන්නේ නම් එම අතුරුදහන් වීම සහ රජය අතර සම්බන්ධතාවය ගැන අමුතුවෙන් පරිකල්පනා ඇතිකරගැනීම අවශ්‍ය නොවේ.
ලංකාවේ රාජ්‍යය යනු මිනිසුන් අතුරුදහන් කිරීම සම්බන්ධ අපකීර්තිමත් කලු පැල්ලමින් අවලස්සන වූ රාජ්‍යයකි.ඉතිහාසය පුරා දේශපාලනිකව තමන්ට එරෙහිවූ දස දහස් සංඛ්‍යාත ගැහැනුන් සහ මිනිසුන් රාජ්‍යය විසින් පැහැරගෙන අතුරුදහන් කොට තිබේ.ආශ්චර්යය උදා වනවා යැයි ප්‍රභූ දේශපාලකයන් විසින් උදම් ඇනූ පශ්චාත් යුද ලංකාවේ පවා රාජ්‍ය ත්‍රස්තවාදය කිසිදු වෙනසක් ‍නොමැතිව නග්න ලෙස දත් විලිස්සමින් සිටී.

ලලිත් කුමාර් යනු කවුද?මේ ප්‍රශ්නයට අපට පිලිතුරු කිහිපයක් ගොනු කල හැක.ඔහු දේශපාලන ක්‍රියාධරයෙකි.හුදු දේශපාලන ක්‍රියාධරයෙකු නොව වාම ක්‍රියාධරයෙකි.හෙතෙම තරුනයෙකි.දමිල තරුනයෙකි.ජීවත්විමේදී සාමාන්‍ය තරුනයෙකු මේ යුගයේ ‍තෝරාගන්නා ජීවන රටාව වන්නේ පරිභෝජනවාදයේ ගිලීමයි.භාන්ඩ පරිභෝජනය පිලිබද නිමා‍ නොවන උමතු ආශාවක කිමිදී ක්‍රමය විසින් නිමවා දී තිබෙන ජීවිතය එලෙසින් භාරගෙන ජිවිතය ගෙවා දැමීම මේ යුගයේ තරුනයෙකුගේ "සාමාන්‍ය" ජීවන ශෛලියයි.ලලිත් කුමාර් තෝරාගනුයේ එම සාමාන්‍ය ජීවන රටාව නොව දේශපාලනය කිරීම නැමැති වෙනස් ජීවන භාවිතාවයි.

ඔහු එලෙස තෝරාගත් දේශපාලනය කුමක්ද?ඔහුට ඉතා පහසුවෙන් සියගනනක් වෙනත් තරුනයන් මෙන් ප්‍රභූ දේශපාලකයෙකුගේ අතවැස්සෙකු වීමේ දේශපාලනය තෝරාගත හැකිව තිබුනි.එසේත් නැතහොත් ජාතික පීඩනයේ තීව්‍රතාවය සලකා බැලීමේදී මේ යුගයේ නිසගයෙන් දෙමල තරුනයෙකු නැඹුරු විය හැකි සුලු ජාතික ජාතිවාදී දේශපාලනය තෝරාගත හැකිව තිබුනි.එහෙත් හෙතෙම තෝරාගනුයේ වාමාංශික දේශපාලනයයි.පරිභෝජනවාදය සහ ජාතිවාදය වෙනුවට ඔහු තෝරාගන්නේ සමාජ සාධාරනත්වයේ දේශපාලනයයි.

මෙරට සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සියල්ල වාර්ගික ප්‍රජාවන්ගේ සමගිය වෙනුවෙන් දේශපාලනය කිරීම අත්හැර දමා මේ වනවිට දශක කිහිපයකි.වාමාංශික දක්ෂිනාංශික භේදයකින් තොරව පසුගිය දශක කිහිපය පුරා අප අත් දැක්කේ සියලුම දේශපාලන ව්‍යාපාර තරගයට මෙන් ජාතිවාදයේ සරන යාමකි.වර්තමානයේද පාලක පක්ෂය සිය පැවැත්ම බවට සිංහල ජාත්‍යොත්තමවාදය උසිගැන්වීම පත්කරගෙන තිබෙන අතර සිංහල ආන්ඩුවටත් වඩා සිංහල වීමේ තරගයක එක්සත් ජාතික පක්ෂය නිරත වී සිටී.සිංහල ජාතිකවාදය අභිමුව දෙමල ජාතික සන්ධානයේ ප්‍රභූ දේශපාලනයත් සරල ස්වොත්තමවාදයේ සිවුකොන ඉක්මවා යාමට සමත්ව නැත.

මෙවැනි පසුබිමක ලලිත් කුමාර් දේශපාලනය විසින් නියෝජනය කරන්නේ සුවිශේෂී විභවයකි.දෙමල දේශපාලන සිරකරුවන්ගේ අයිතීන් වෙනුවෙන් කතාකිරීම,යුද්ධයෙන් අවතැන්වූවන් අතුරුදහන් වූවන් වෙනුවෙන් පෙනී සිටීම,උතුරේ හමුදා මර්ධනයට එරෙහිව ජනයා සංවිධානය කිරීම සිංහල ජාතිවාදය උත්කර්ෂයට පත්ව තිබෙන දකුනේ සමාජය තුල එතරම් පහසු ජනප්‍රිය තෝරාගැනීම් නොවේ.අනෙත් අතට ජාතිවාදී මැතිරීම් හැර දශක ගනනාවකින් වෙනත් දේශපාලනයක් අත් නොදුටු දමිල සමාජය තුල උතුරේ පිඩිතයාගේ නිදහස රැදී තිබෙන්නේ දකුනේ පීඩිතයා සමග ඇතිකරගන්නා අරගලකාරී සන්ධානයක් තුල මිස හුදෙකලා වීම තුල නොවේ යනුවෙන් අවධාරනය කිරීම ද සරල ජනප්‍රිය තෝරාගැනීමක් නොවේ.කෙසේවුවද ජාතීන් අතර සමගිය ගොඩනැගීමට නම් එවැනි නිර්භය පෙනී සිටීමක් ඇවැසිය.මේ මොහොතේ කෙතරම් දුෂ්කර වූවත් කෙතරම් අසීරු වූවත් නිරවද්‍ය පෙනී සිටීම වනුයේ එම ස්ථාවරය මිස අනෙකක් නොවේ.

මේ නිසා ලලිත් කුමාර් යනු මේ මොහොතට අදාලව දේශපාලන වීරයෙකි. දකුනේ ජනමාධ්‍යායන්ට ලලිත් කුමාර්ගේ අතුරුදහන් කිරීම එතරම් "ප්‍රවෘත්තියක්" බවට පත්වූ ආකාරයක් පෙනෙන්නට නැත.රාගම ‍දේවාලයේ ලොකු සීයාගේ අතුරුදහන්වීමට දුන් වැදගත්කමවත් මෙම ක්‍රියාධරයාගේ අතුරුදහන් කිරීමට ලැබී ඇති බවක් නොපෙනේ.අපට වීරයන් ලෙස දකින්නට පුරුදු කර තිබෙන්නේ ජනමාධ්‍යයන් විසින් පුම්බනු ලබන ශෝභමාන චරිතය.එසේත් නැතිනම් දේශපාලන වේදිකාවන්හි කථා පවත්වන අනුරාගික චරිතය.නමුත් සැබෑ වීරයන් ජීවත් වන්නේ රූපවාහිනී තිර මත හෝ දේශපාලන ‍වේදිකා මත නොව ඔබ හා අප අතරය.ජාතිවාදය අවුලමින් මානව විරෝධී දේශපාලනයක් අනුයන,එනමුත් මාධ්‍යයන් විසින් "චරිත" බවට පත්කොට තිබෙන මහින්ද රාජපක්ෂ වර්ගයේ ප්‍රභූ ජඩයන් හා සැසදීමේදී සාමාන්‍ය කම්කරුවෙකු වන ආරුමුගම් වීරරාජ්ගේ පුත් ලලිත් කුමාර් වීරරාජ් වූ කලී නිසැකවම වීරයෙකි.









9 comments:

  1. නන්දන මාරසිංහව මර දාපු මිනිසා ඔයාට වීරයෙක්ද? එයත් විකල්ප දේශපාලනයක් දැකපු කෙනෙක් වෙන්න ඇති.. විකල්ප දේශපාලනයක් කල කියල වීරයෙක් වෙන්නේ නැ.. වීරයෝ තෝරන්නේ TV වලින නෙවෙඉ වගේම BLOG වලිනුත් නෙමෙඉ.. ඉතිහාසය.. ලිපියේ තියෙන අනිත් කරුණු වලට එකග වෙන්න පුළුවන්..මේගොල්ලන්ගේ අතුරුදහන් වීම ගැන රජය මැදිහත් වෙන්න ඕනේ..

    ReplyDelete
  2. @ඇනෝ 1
    ඉතිහාසය කියන්නෙ මොකක්ද? ඉස්සර වගේම දැනුත් පාලකයන්ට අවශ්‍ය විදියට වන්දිභට්ටයන් විසින් කෘතිමව නිපදවන්නක් පමණි. ඒක පැවසෙන විදියටම සත්‍ය යැයි විශ්වාස කිරීම අන්ධ භක්තියකි.
    උදාහරණයක් ඕනිනම් දැන් ලංකාවෙ පහුගිය කාලෙ ඉවර වෙච්ච යුද්ධෙ ජයග්‍රහණය තමන්ගෙ මල්ලට දාගන්න දෙගොල්ලක් පොරකෑව. අන්තිමට රාජපක්ෂල ඒක තමන්ගෙ මල්ලට දාගත්ත වගේම පොන්සේකා කියන සාධකය සම්පූර්ණයෙන්ම යුද්ධය සම්බන්ධයෙන් අවලංගු කරල. අවම වශයෙන් දැන් වෙද්දි ඔහු යුධ හමුදාවෙ සේවයේ යෙදී සිටි බව ලේඛන ‍වලින් ඉවත් කරල. තව අවුරුදු දෙසීයක් යද්දි ඉන්න පරපුර දන්නෙ අද දවසේ මේ ලියවෙන දේවලුයි ඉතිහාසය විදියට. ඔවුන් අද මේ ඇත්තටම සිදුවෙමින් පවතින දේවල් දැක නැති නිසා ඔවුන් දන්නෙ නෑ. ඉතින් ඉතිහාසය මගින් නිපදවන වීරයෝ බොහෝ වෙලාවට වන්දිභට්ටයන්ගේ නිර්මාණ වීමට ඇති සම්භාවිතාව අධිකයි.
    රාමචන්ද්‍ර සමග එකඟවෙන්න පුඵවන් මේ කාරණේදී.

    ReplyDelete
  3. ඉතිහාසේ අව්ලක් තියෙනවා. එත් තත්වය දැන් වෙනස්. පාලකයන්ට ඕනේ විදිහට දේවල් හංගන්න දැන් ඉඩකඩ අඩුවේගෙන යනවා. ඒ සනිවෙදන හා තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක. කොටින්න්ම ඇමෙරිකාවටවත් බැහැ ග්වන්තමෝ වල උණු දේවල් මකල දාන්න. අපි ගනුදෙනු කරන්නේ පුස්කොල පොත් එක්ක නොවී ඉලෙක්ත්රොනික් තොරතුරු එක්ක නිසා. ඔබ හිතනවද මහින්දට පුළුවන් කියල SF ව ඉතිහසෙන් ඉවත් කරන්න. ? අනිත් පැත්ත ගමු.. SF ඇමෙරිකාවට ඕනේ විදිහට සාක්කි දීල මහින්දව හා අනිත් නිලදරින්ව හිරේට දැම්ම කියල.. එතකොට SF ට මහින්ද හා අනිත් හමුදා නිලදරින්ව මකන්න පුළුවන් වේවිද ඉතිහසෙන් ? මහවන්සේ ලියපු තාලෙට ඉතිහාසේ ලියන්න බැහැ තවදුරටත්. අපි මහවන්සේ කියවපු තාලෙට, ප්‍රශ්න නොකර ඉතිහාසේ කියවෙන එකකුත් නැහැ ඉදිරි පරම්පරා. කොහොම උනත් මගේ තර්කය ඉතිහාසය ගැන නොවෙඉ.
    රාමා මේ තරුණයන් වීරයන් කරන්නේ ඔවුන් විකල්ප දේශපාලන මාවතක් තෝරගත්ත කියල. මම හිතන්නේ ඇත්ත හේතුව, එක රාමා අනුමත කරන දේශපාලනයක් වීම. එහෙම නැත්තනම්, රාමා එයාගේ දේශපාලනය ඔවුන්ට ආරෝපණය කරන්න හදනවා...(මොකද රාමා ලොකු ජෙදයකින් එක define කරනවා).. මොකද දැන් මෙතන market එකක් හැදිලා තියෙනවා, ඔවුන්ව අතුරුදහන් වීම නිසා.. (හරියට අජන්ත මෙන්ඩිස්ට crickect නිසා වගේ.. රාමාගේ වචන වලින්) . රාමා දැන් කැමතියි මේක ගලපන්න "තාරුන්‍යයේ දේශපාලනය" කියල. අන්තිමේදී ලංකා e -නෙව්ස්, රුපවාහිනී සහ රාමාගේ BLOG එක ඉන්නේ එකම තැන. එත් රාමා වැඩේ ලස්සනට කරනවා..

    ReplyDelete
  4. මේ දේශපාලන වීරයාම යාපනේ වි.වි. සිංහල සිසුන් ලව්ව ප්‍රභාකරන්ගේ පින්තූරෙට වැන්දෙව්ව. ඒක වෙන්න ඇති විරකම සමහරවිට

    ReplyDelete
  5. අතුරුදහන්වූවන් සම්බන්ධ හොද විචාරයක් තියනව අපේ රෙදිහෝදන ඇමතිතුමාට. මේකටත් එයා කියන්නෙ "එයා ඉන්නව" කියනඑක තමයි ඉන්නෙ කොහේද කියනඑක වැදගත් නැහැ. එක්නැලිගොඩ ගැනත් කිව්වෙ ඔය ටික තමයි.

    ReplyDelete
  6. @ Annonymous - මැට්ටො මැටිකම ඔලුවෙ තිබුණට ඒක ප්‍රදර්ශනය කරන්න එපා.යාපනය විවි ශිෂ්‍යයො ලවිව ප්‍රභාකරන්ට වන්දන්න මේ මනුස්සයා යාපනේ ශිෂ්‍යයෙක්ද?නිකම් පච කෙලින්න එපා.

    ReplyDelete
  7. {යාපනය විවි ශිෂ්‍යයො ලවිව ප්‍රභාකරන්ට වන්දන්න මේ මනුස්සයා යාපනේ ශිෂ්‍යයෙක්ද?}

    ඇයි මූට යාපනේ යන්න බැරි වෙන්න තහනම් නියෝගයක් දාලද?

    ReplyDelete
  8. එනමුත් මාධ්‍යයන් විසින් "චරිත" බවට පත්කොට තිබෙන මහින්ද රාජපක්ෂ වර්ගයේ ප්‍රභූ ජඩයන්
    එයා ජඩයනම් ඔයා පඩයෙක්

    ReplyDelete
  9. "යාපනය විවි ශිෂ්‍යයො ලවිව ප්‍රභාකරන්ට වන්දන්න මේ මනුස්සයා යාපනේ ශිෂ්‍යයෙක්ද?" තො මටි කම පෙන්නන්න එපා .. UNIVERSITY අවුල් කරන බගයක් උන් පිට උන් කියල ඔනෙම බූරුවෙක් ඩන්නව

    ReplyDelete