Saturday, November 26, 2011

සෙල්වම් - ජයග්‍රාහී මධුපානෝත්සවයේ දමිල කටගැස්ම / Selvam - An entertaining object in a victorious orgy



1
වු මම කොටියෙක්“ යන වචන සහිත පෝස්ටරයක්  බාල කඩදාසියක අදිනු ලදුව කොලඹ නගරය පුරා ඇලවී තිබෙනු සති දෙකකට පමන පෙර දක්නට ලැබුනි.පෝස්ටරය අග දෙමල භාෂාවෙන් අත්සනක් ද යොදා තිබුනි.එම ප්‍රචාරක ව්‍යාපාරයේම  ඊලග අදියර ලෙස “මම දැන් පුනරුත්ථාපනය උනා“ යනුවෙන් තවත් පෝස්ටර් වටයක් දියත් වූ අතර මේ දිනවල එහි අවසාන අදියර ලෙස “ මම දැන් සෙල්වම් සිංහල චිත්‍රපටියේ නලුවෙක්“ යන වචන රැගත් අලුත් පෝස්ටරයක් ඇලවී තිබේ.

මෙම ප්‍රචාරක ව්‍යාපාරය ඉදිරියේදී තිරගත වීමට නියමිත “සෙල්වම්“නම් සිංහල චිත්‍රපටයක් පිලිබදව වන අතර එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සටන්කරුවෙකු  ( පුනරුත්ථාපනය වුනු ) එහි ප්‍රධාන චරිතය රගපාන බව කියැවේ.සිනමා වෙලදපොල විනෝදාස්වාද වෙලදාම්කරනයේ විෂය පථයට වැටෙන්නකි.විනෝදාස්වාද කර්මාන්තයේ ලක්ෂනය නම් ලාභ උපරිම කරගැනීම සදහා සෑමවිටම අමුතු හා වෙනස් භාන්ඩයක් අලෙවිය සදහා ඉදිරිපත් කල යුතු වීමයි.මෑතකදී පුවත්පත් වෙලද ලෝකයට බට රන්දිව පුවත්පතේ හිමිකරු එලෙස අලෙවි කිරීම සදහා “සකෘද්ධාගාමී වූ පිටිදූවේ සිරිධම්ම“ නැමැති අද්භූත ප්‍රපංචය සොයාගත්තේ යම් සේද දැන් සෙල්වම් නිෂ්පාදකයාට සිංහල මධ්‍යම පංතික පේක්ෂක ප්‍රජාව වෙත සිත්සේ විකුනාගැනීම උදෙසා “පුනරුත්ථාපනය වූ කොටියා“ නැමැති විස්මිත අමුතු සත්වයා පහල වී තිබේ. පුනරුත්ථාපනය වූ කොටියෙක් චිත්‍රපටයක රගපෑමේ අසිරිමත් දසුන බලාගැනීම උදෙසා ප්‍රේක්ෂකයෝ ඉදිරියේදී මහත් කුතුහලයෙන් යුතුව සිනමා ශාලා ඉදිරියේ රොද බදිනු ඇති අතර ගිනි අවි අත දැරූ තරුනයන් සිනමා තාරකාවන් බවට පත්කල රජයේ මානුශිය මෙහෙයුම කොයිතරම් සෞන්දර්යාත්මක දැයි සිංහල පුවත්පත් වල  විචාර පලවනු ඇත.

දැන් මෙම ප්‍රචාරක ව්‍යාපාරය පසුපස පවතින මනෝ විද්‍යාව අපට පහත පරිදි සටහන් කරගත හැක.කොටියා යනු භයානක අශ්ලීල සතෙකි.දෙමල තරුනයන් වසර කිහිපයකට පෙර සිටියේ එම වේශයෙනි.පුනරුත්ථාපන ක්‍රියාවලියකට පසු මෙම සැහැසි සත්ව කොට්ටාශය මෙල්ල වී තිබේ.උන් දැන් “සිංහල“ චිත්‍රපටවල රගපාති.පෝස්ටරයේ “සෙල්වම් චිත්‍රපටය“ යැයි සදහන් නොවී “සෙල්වම් සිංහල චිත්‍රපටය“ යනුවෙන් විශේෂනයක් ඈදා තිබෙන්නේ ඇයි?එම වචන යෙදීම හුදු අහඹුවක්ද?තුවක්කු අරන් සිංහලයාට පාට් දැමූ උන්ට දැන් නගුට හකුලාගෙන අපේ චිත්‍රපටයක රගපාගෙන ජීවිකාව ගැටගසාගෙන ඉන්නට සිදුව තිබේ.උන්ට කෙලවී ඇත.සිංහලත්ව ව්‍යාපෘතිය ඉදිරියේ දමිලයා දනගසා තිබේ. එනම් ඔවුන් ( දමිලයා) අපේ  ( සිංහලයාගේ ) අනන්‍යතාවය තුලට අවශෝෂනය වී ඇත.එම ජයග්‍රහනය සංකේතාත්මකව පෙන්නුම් කරන මෙම චිත්‍රපටය බලන්න පැමින ඔබේ ප්‍රමෝදය උපරිම කරගන්න!සිනමා වෙලෙන්දා සිංහල මධ්‍යම පංතික සමාජය සමග බෙදාගන්නා පනිවුඩයේ තර්කනය එයයි.

2

මෙම සිංහලෝත්තමවාදී දෘෂ්ටිය ලංකාවේ ජාතික ප්‍රශ්නය විසදීමට එනම් පොදු ලාංකීය අනන්‍යතාවයක් බිහිකරගැනීමට එරෙහිව පවතින එක් බරපතල බාධකයකි.පසුගියදා ප්‍රකාශයට පත්වූ සුදු කොඩි නඩු තීන්දුව මෙම සිංහලත්ව දෘෂ්ටිය විසින් කෙතරම් ගැඹුරින් අප සමාජය සිය වසගයට ගෙන තිබේද යන්න පැහැදිලි කරයි.මෙම නඩුවේදී සරත් ෆොන්සේකාව තවත් වසර තුනකට සිරගත කරනු ලැබූ අතර එහිදී ෆොන්සේකා නිවැරදිකරු ලෙස යම් හෙයකින් අධිකරනය තීන්දු කලා නම්ය අප පුදුම විය යුත්තේ.ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් සහිත ලංකාවේ අධිකරන ශාලා පවතින අතර අධිකරන නැත.විනිශ්චයකාර ලෝගුධාරීන් සිටින අතර විනිශ්චයකාරවරුන් නැත.ෆෙඩ්‍රිකා ජෑන්ස්ගේ සාක්ෂිවල තිබෙන පරස්පරතා මොනතරම් ඕප්පු කරන්නට නලින් ලද්දුවහෙට්ටි වලි කෑවත් ඉන් ඇති ප්‍රයෝජනයක් නැත්තේ ඒකාධිපති සමාජයක නඩු තීන්දු ලියැවෙන්නේ නඩුව විභාග වීමට පෙර හෙයිනි.

මෙම තීන්දුවට පක්ෂව මෙන්ම විපක්ෂවද අදහස් පලවනු පසුගිය දිනවල දක්නට ලැබුනි.යුද්ධයේ අවසන් දිනවල සුදු කොඩි ගෙන යටත්වීමට පැමිනි කොටි සංවිධානයේ නායකයන්/සාමාජිකයන් මරා දැමීමට ආඥා කල බවට පාපොච්චාරනය කිරීමෙන් ෆොන්සේකා රට පාවා දුන් බව එක් පිරිසක් මෙහිදී පැවැසූ අතර ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටින බහුතරය ඔහු එවැනි ප්‍රකාශයක් නොකල බව හා ෆෙඩ්‍රිකා ජෑන්ස් මුසා දොඩන බව පමනක් පවසන්නට යෙදුනි.

මේ මතවාද දෙක අතරම අප්‍රකාශිත සම්මුතියක් පවතී.මේ සියල්ලෝ වාද කරන්නේ සුදු කොඩි කතාව ෆොන්සේකා කිව්වද නැද්ද යන්න ගැන විනා එබදු සිදුවීමක් ඇත්තට සිදුවීද යන්න ගැන නොවේ.සිරභාරයට පත්වන /යටත්වන දේශපාලන සිරකරුවන් නඩු විභාගයකින් තොරව මරා දැමීම ජාත්‍යන්තර නීතියට අනුව යුද වරදක් වන අතර ජාත්‍යන්තර නීතිය පසෙකින් තැබුවත් මානුශික අර්ථයෙන් හෝ දේශපාලනික අර්ථයෙන් එබදු මරාදැමීම් අනුමත කල නොහැක.දේශපාලන සිරකරුවන් මරා දැමීම ලංකාවේ පාදඩ ධනපති රාජ්‍යයේ චිරාගත පුරුද්දකි.1971දී හා 1989 දී දකුනේ සටන්කාමී පරම්පරාවන් දෙකක් මෙන්ම එම පරම්පරාවන්ට නායකත්වය සැපයූ නායකයන් ද ශිෂ්ට සම්මත වටිනාකම් පාගාදමමින් ගොඩනගා තිබෙන රාජ්‍යයේ මෙම කෲරභාවයේම ගොදුරු බවට පත්වූහ.මතවාදීව වෙනත් ධ්‍රැවයක ස්ථානගත වූවද 2009 දී  උතුරේ  තරුන පරම්පරාවටද නැවත අභිමුඛ වනුයේ එදා දකුන ගොදුරු කරගත් රාජ්‍යයේ පාදඩභාවයමැයි.

කෙසේවුවද එම පාදඩභාවයේ එක් ප්‍රකාශනයක් වන සුදු කොඩි සිදුවීම අභියස සමාජය කතාකරන්නේ එවැන්නක් ෆොන්සේකා කිව්වාද නැද්ද යන්න ගැන විනා රජය එලෙස ‍දේශපාලන සිරකරුවන් මරදැමීම නිවැරදිද නැද්ද යන්න ගැන නොවේ.දෙමල තරුනයන් එලෙස මරාදැමූ බව පිලිගැනීම අධිපතීත්වය උසුලන "සිංහල අභිමානයට" කැලැලක් වන අතර ෆොන්සේකාවාදීහුද ෆොන්සේකා විරෝධීහුද මෙම තීරනාත්මක ප්‍රශ්නය අභියස මුනිවත උසුලති.

- 2011 නොවැම්බර් 27ජනරළ ඉරිදා සංග්‍රහය 





16 comments:

  1. පෝස්ටරයේ “සෙල්වම් චිත්‍රපටය“ යැයි සදහන් නොවී “සෙල්වම් සිංහල චිත්‍රපටය“ යනුවෙන් විශේෂනයක් ඈදා තිබෙන්නේ ඇයි?

    ---
    මට පෙනෙන විදිහට මෙතන ඔබය් ජාති වාදී වී තිබෙන්නේ ... සෙල්වම් යනු දෙමල නමක් නිසා ච්රපටිය සිංහල බව විශේෂණ පදයක් යෙදීම වැරදි නෑ... නැත්තම් මට උනත් හිතෙන්නේ මේක දෙමල චිත්‍රපටියක් කියා .... වසර 30 ක අවාසනාවන්ත යුද්ද්යකින් පීඩා විදි අප යලිත් සහජීවනයකට එනවිට ඔබවන්නවුන් යලිත් මෙවැනි ජාතිවාදී රාමුවකින් බැලීම ඇත්තටම කණගාටුවට කාරණයක් .... ඔබ ගැන ලැජ්ජය් ...

    ReplyDelete
  2. @Ano 1
    ලංකාවේ දෙමළ හෝ ඉංග්‍රීසි චිත්‍රපට නිපදවෙන්නෙම නැති තරම්. ලංකාවේ නිශ්පාදය වූ එවැනි චිත්‍රපටයක් දන්න කාලෙක ලංකාවේ තිරගත වූවාද යන්න ඔබම සොයා බලන්න. ඉතින් සිංහල අධ්‍යක්ෂවරයෙක්, සිංහල පබ්ලිසිටි එකක් පෝස්ටර් හා මාධ්‍ය හරහා සිංහලයන් වෙත ගෙන එනවානම් එය සිංහල චිත්‍රපටයකි. භාෂාවේ වචනයක් අනුව ඒක වෙනත් මාධ්‍යයක චිත්‍රපටයක් ලෙස වටහාගන්න තරම් අපේ රටේ මන්ද බුද්ධිකයෝ නැත. ඔබට අනුව නම් රංජන් රාමනායකගේ "වන් ෂොට්", "පාර්ලිමන්ට් ජෝක්ස්" චිත්‍රපටද ඉංග්‍රීසි චිත්‍රපට ලෙස මිනිසුන් වටහා ගනු ඇත. ඒත් ඒවා ප්‍රචාරණයේදී ද වන් ෂොට් සිංහල චිත්‍රපටය යනුවෙන් ප්‍රචාරණය කලේ නැත. එය අනවශ්‍යයි. මොකද ලංකාවේ තියෙන්නේ තවම මූලික වශයෙන් සිංහල සිනමාවක් බැවිනි. කලාතුරකින් වෙනත් මාධ්‍ය චිත්‍රපටයක් බිහිවෙලා ඇති.
    (ඒ වගේම දෙමළ නම් තියෙන සිංහල චිත්‍රපටත් සමහර විට මීට කළින් තියෙන්න ඇති.)

    ඒත් මෙතනදි සිංහල කියන විශේෂණ පදය ඔවුන්ට අත්‍යාවශ්‍ය වෙළඳ උපක්‍රමයක් ලෙස අවශ්‍යව ඇත. ඊට හේතුව තමයි මේ ලිපියෙන් රාමචන්ද්‍ර විග්‍රහ කරල තියෙන්නෙ. ඒ අනුව ජාතිවාදී රාමුවක සිටින්නේ කවුද යන්න ඔබ විසින් තේරුම් ගත යුත්තකි. එය තේරුම් ගත නොහැක්කේනම් ඔබ හැමදාම මෙහෙම චෝදනා අනෙකාට එල්ල කරමින් සිටුනු ඇත.

    ReplyDelete
  3. අඩු වියදමින් චිත්‍රපටයක් කරන්න මරු ක්‍රමේ මේක. මොකද බලෙන්ම වගේ ගන්න නඵවො අහවල් ගාණක් ඉල්ලල ගිවිසුම් ගහන්නෙ නෑනෙ.
    බරපතල වැඩ ඇතිව හිරගේට ගිය අයවත් මේ විදියට භාවිතා කරන්න පුඵවන්. මොකද රඟපෑමත් බරපතළ වැඩක්නෙ. ගෙවීම් කරන්න අවශ්‍යම වෙන්නෙ නෑ. පණ බයට රඟපායි.

    ReplyDelete
  4. පළවෙනි ඇනෝ :
    නිකන් ගොන් කතා කියන්ඩ එපා. බලෙන් රඟපාවල චිත්තරපටි හදල, බලෙන් අත්සන් අරන් පෝස්ටර් ගහල මොන සහජීවනයක්ද ඕයි...

    ReplyDelete
  5. ලංකාවේ දෙමළ හෝ ඉංග්‍රීසි චිත්‍රපට නිපදවෙන්නෙම නැති තරම්. ලංකාවේ නිශ්පාදය වූ එවැනි චිත්‍රපටයක් දන්න කාලෙක ලංකාවේ තිරගත වූවාද යන්න ඔබම සොයා බලන්න

    මම නම් වැල්ලවත්ත , නුවරඑලිය පැති වල අනන්තවත් දැකලතියෙනවා දෙමල ෆිල්ම් සිංහලෙන් ලියල පොස්ටේර් ගහලතියෙනවා .... මම නම් බලන්න ගිහින් නෑ දෙමල තේරෙන්නේ නැති නිසා ... මේක සිංහල එකක් නිසා එහෙම දාලතියෙන එක නිවරදිය් , ප්‍රශ්නේ තියෙන්නේ ඔබ මේක දිහා බලන ජාතිවාදී රාමුව ...
    අපි එකම රටේ මිනිස්සු විදිහට හිතන්න ඔබ වැන්නවුන් කවදාද වෙනස් වන්නේ .... එදින එනතුරු බලා සිටිමි

    -පළවෙනි ඇනෝ

    ReplyDelete
  6. @second Ano
    නිකන් ගොන් කතා කියන්ඩ එපා. බලෙන් රඟපාවල චිත්තරපටි හදල, බලෙන් අත්සන් අරන් පෝස්ටර් ගහල මොන සහජීවනයක්ද ඕයි...

    ටෙලිනාට්‍ය පෙන්නන මාද්‍ය ඇමතිය පාගා ගන්නවා කියල කොහේදෝ දල තිබ්බ ... හොද වෙලාවට එව්වා ගන්නේ සිංහල එව්වගෙන් ... නැත්තන් මේ ජාතිවාදියෝ කෑගහය් මෙන්න දෙමල අයිතිවාසිකම් කඩකරනාවෝ කියල ..... ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙය් කියල මේ මැට්ටන්ට තේරෙන්න ජාති වැඩි කන්නාඩි දැම්මම ... නැද්ද ඔයි ....
    -පළවෙනි ඇනෝ

    ReplyDelete
  7. සුදු කොඩි ඔසවාගෙන කිසිවෙකු යටත්වීමට නොපැමිණි බවත් තම හමුදාව විනයගරුක හමුදාවක් බවත් ෆොන්සේකා මහතා අධිකරණය ඉදිරියේ සාක්ශි දෙමින් කියා සිටියා.ඒ දිනවල මේ ප්‍රකාශ පුවත්පත් වලත් පල වුණා.

    ReplyDelete
  8. @ ජය ශ්‍රී

    එම මහතා නඩු තීන්දුව අවසානයේ කල ප්‍රකාශය නැවත කියවා බලන්න.ක්‍රිෂාන්ති කුමාරස්වාමි,ගලෙන්බිදුනු වැව සිදුවීම් වැනි අවස්ථා වලදී අපරාධකාරීව ක්‍රියා කල නිලධාරීන්ට දඩුවම් දුන්නා නම් මෙහිදී වෙනසක් විය යුත්තේ ඇයිදැයි තමන්ට නොතේරෙන බව එම මහතා පැහැදිලිව එහිදී කියා සිටියා.ඒ ගැන ඔබ සිතන්නේ කුමක්ද?

    ReplyDelete
  9. Google for "Eternal Jew" and you will find certain similarities

    ReplyDelete
  10. "ගෙවීම් කරන්න අවශ්‍යම වෙන්නෙ නෑ. පණ බයට රඟපායි" හි හි ඔව් අධ්‍යක්ෂක තුමා තුවක්කුවක් ඔලුවට තියල බය කලා කියල තමා අපිටත් අරංචිවුනේ. මුණ බැලුවම පේන්නෙ නැත්ද බයෙන් රඟපාන්නෙ කියල.

    ReplyDelete
  11. මේක advertise කරන්න ඔය විදිහේ poster ගහපු බව පේනවා.
    කලකට පෙර ප්‍රේමදාස president කලෙත් drama එකක් ආව.. යක්ෂාගමනය කියල. එකේ dictator කෙනෙක් කතා කරනවා ප්‍රේමදාස වගේ.. එකත් advertising කියල මම හිතනවා.. එකේ පිටපත (translated ) සුනිල් විජේසිරිවර්දන..
    අනිත් NGO කට්ටියත් එකේ හිටිය.. ඉතින් කව්රුත් මෙහෙම කත්කරේ නැ ඒ ගැන.. තමන්ට ඕනේ තැනදී විතරක් කතා කරන්න කටත් right එකක් තියෙනවා..

    ReplyDelete
  12. @රාමා,විත්තියේ දේශනය ලෙස ගරු අධිකරනය ඉදිරියේ කල ප්‍රකාශයට මිසක් තීන්දුව දුන්නට පසු මාධය ඉදිරියේ කරන ප්‍රකාශයකට නිල පිළිගැනීමක් නෑ නේද?

    බලයට තියෙන කෑදරකම නිසා මේ දෙපාර්ශවය එකිනෙකාට බොරු චෝදනා එල්ලකරගැනීමේ වාසිය යන්නේ කොටිහිතවාදීන්ට.අවසානයට මේ සේරම නිසා විනාශ වෙන්නේ රටේ ප්‍රතිරූපය.

    ReplyDelete
  13. @ ජය ශ්‍රී

    මම අදහස් කරන්නේ සරත් ෆොන්සේකා නඩුව අවසාන වී කී යමක් නොව නඩු විභාගයේ තීන්දුව දීමට පෙර අධිකරනය අමතා විත්ති කූඩුවේ සිට කරනු ලැබූ ප්‍රකාශය පිලිබදවය.නඩු විභාගය පිලිබද පුවත්පත් වාර්තා කියවන්න.

    ReplyDelete
  14. එය (ක්‍රිශාන්ති/බිඳුනු වැව ගැන ප්‍රකාශය) නඩු විභාගයේ තීන්දුව දීමට පෙර අධිකරනය අමතා විත්ති කූඩුවේ සිට කරනු ලැබූ ප්‍රකාශයක් යයි ඔබ කියනවා නම් මම පිලිගන්නනම්.

    නමුත් සුදු කොඩි ඔසවාගෙන කිසිවෙකු යටත්වීමට නොපැමිණි බවත් තම හමුදාව විනයගරුක හමුදාවක් බවත් ෆොන්සේකා මහතා විත්තියේ දේශනයේ දී පැහැදිලිවම කියා සිටියා.

    ReplyDelete
  15. http://sinhalaravaya.com/?p=1339

    ReplyDelete
  16. mona selwamda me balannako wedak

    www.cinelanka.net

    ReplyDelete