Friday, November 18, 2011

දෙමල කැන්වසයේ සිංහල ජනපද සිත්තම් කිරීම / Painting Sinhalese colonies on a Tamil Canvas


මිල්ලෙ සොයා උතුරුකරයට

තුරු නැගෙනහිර පලාත්වල සිදුවන සිංහල ජනපදකරනයට විරෝධය පලකරමින් දෙමල පක්ෂ කිහිපයක නායකයෝ සමූහයක් පසුගිය ඔක්තෝබර් 17 වනදා වවුනියාව නගර සභා ක්‍රීඩාංගන භූමියේදී සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පැවැත්වූහ.කොටි සංවිධානය දෙමල ජනතාවගේ අසහාය නියෝජිතයා බව කලෙකට ඉහතදි පැවසූ දෙමල ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජාගේ සිට කොටි සංවිධානය මුලිනුපුටා දැමීම සදහා රජය වෙත සහයෝගය පලකල වී.ආනන්දසංගරී දක්වා විවිධ දේශපාලකයෝ මෙම විරෝධතාවයට එක්ව සිටියහ.පශ්චාත් ප්‍රභාකරන් යුගයේ දෙමල ජාතිකවාදී දේශපාලනය පූර්ව ප්‍රභාකරන් යුගයේ බලපැවැත්වූ චෙල්වනායගම් පන්නයේ ශෛලියක් හරහා වර්ධනය වෙමින් තිබෙන බවට මෙම සාමකාමී සත්‍යග්‍රහය සාක්ෂි දරයි.

මෙම සත්‍යග්‍රහය පෙන්නුම් කරන්නේ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිංහල ජනපද උතුරු නැගෙනහිර ස්ථාපනය කිරීම මගින් එම පලාත්වල ජන අනුපාතය වෙනස් කිරීම විවිධ ජාතිකත්වයන් අතර සම්බන්ධතා කලමනාකරනය කිරීමේ උපාය මාර්ගයක් ලෙස වත්මන් රජයත් අනුදකින බවයි.මුලතිවු දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රදේශය ආශ්‍රිතව නව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක් ප්‍රකාශයට පත්කිරීම හරහා සිංහල කොලනියක් එම ප්‍රදේශයේ ස්ථාපනයට රජය වෑයම් ගන්නා බවට චෝදනා නැගී තිබේ.

ජනපදකරනය යන්නෙන් අදහස් වන්නේ ස්වභාවිකව සිදුවන මිනිස් සංක්‍රමනයන් නොවේ.ජීවත් වීමට,රැකියාවක් කිරීමට එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට ස්වභාවිකව ගමන් කිරීම සමග මෙම ක්‍රියාවලිය පටලවා නොගත යුතුය.නිදසුනක් ලෙස එල්.ටී.ටී.ඊ සංව්ධානයේ ප්‍රචන්ඩ ක්‍රියා ආරම්භ වීමට ප්‍රථම යාපනය ප්‍රදේශයට ව්‍යාපාරික හා වෘත්තීමය අරමුනු වෙනුවෙන් ගමන් කොට එහි පදිංචි වූ සිංහල ජනයා අපමන සිටියහ.අනිත් අතට අද වන විට කොලඹ නගරයේ විශාල ජනපංගුවක් බවට සිංහල නොවන ජනකොටස් පත්ව තිබෙන්නේත් මෙලෙස සිදුවූ ස්වභාවික සංක්‍රමන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසය.එලෙස තනි තනි පුද්ගලයන් තමන්ටම සුවිශේෂී හේතු මත සිදුකරන යාම් ඊම් වලට වඩා සැලසුම්සහගතව,සිතාමතා රජය විසින් කරනු ලබන පදිංචි කිරීම් හා කොලනි ඉදිකිරීම් අතර බරපතල ගුනාත්මක වෙනසක් පවතී.

සිංහල ජනපදකරනය පිලිබද මෙම ආන්දෝලනාත්මක මාතෘකාවේ  ඉතිහාසය ඩී.එස්.සේනානායක විසින් ආරම්භ කල ගල්ඔය නිම්න සංවර්ධන ව්‍යාපාරය දක්වා දිවයන්නකි.දෙමල භාෂාව කථාකරන ජනයා බහුතරයක් ලෙස ජීවත් වන ප්‍රදේශවල  සිංහල ජනපද ඇතිකිරීම ඩී.ඇස්.සේනානායකගේ සිට සෑම ප්‍රභූ දේශපාලකයෙකු විසින්ම හුවා දක්වන ලද්දේ ඉඩම් අහිමි ජනයාට ඉඩම් ලබාදීමේ අහිංසක සංවර්ධන ව්‍යායාමයක් ලෙසය.නමුත් මෙම ව්‍යාපෘතියේ ඇතුලාන්ත දේශපාලනය එතරම් අහිංසක නොවේ.

1948 න් පසු මෙරට ගොඩනැගුනු රාජ්‍යය ධනේශ්වර ප්‍රභූ රාජ්‍යයක් වනවාට අතිරේකව එය උග්‍ර  සිංහල කේන්ද්‍රීය ස්වභාවයක්ද පෙන්නුම් කලේය.බ්‍රිතාන්‍යයන්ගෙන් පසු රාජ්‍ය බලයේ සැබෑ රසය දිව ගෑවෝ සිංහල ප්‍රභූහු වෙති.එම රසය දිවගෑමේ අවස්ථාව රාජ්‍යයේ  ඒකීය ස්වභාවය නිසා දෙමල ප්‍රභූ පංතිය වෙත නොලැබුනු අතර 48 සිට ’70 දශකය අගභාගය දක්වා දිග්ගැස්සෙන ෆෙඩරල් පක්ෂය හා සිංහල කේන්ද්‍රීය ආන්ඩු අතර ආරෝව සදහා පාරකපන ලද්දේ රාජ්‍ය බලයේ පංගුවක් දෙමල ධනපති පංතිය වෙත නොලැබීම පිලිබද අවනඩුවයි.

දෙමල කථාකරන ජනයා බහුතරයක් ජීවත්වන ප්‍රදේශවලදී සිය ආන්ඩු අභියෝගයට ලක්වීම වලක්වා ගැනීම සදහා සිංහල ප්‍රභූ ආන්ඩු විසින් අනුගමනය කල උපක්‍රමයක් වූයේ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිංහල ජනපද එම පලාත්වල පිහිටුවීමයි.මෙම උපක්‍රමය ලත් සාර්ථකත්වය සිත්ගන්නා සුලුය.නිදසුනක් ලෙස 1921 දී ත්‍රිකුනාමල දිස්ත්‍රික්කය තුල සිංහල ජනගහනය 4.5% පමන සුලුතරයක් වූ අතර 1981 වනවිට එය 33.6% දක්වා අට ගුනයකින් ඉහල ගොස් තිබුනි.අම්පාරේදී මෙම ප්‍රතිශතය 8.2%  සිට 37.6% දක්වා වැඩිවී තිබුනි.මෙලෙස දෙමල ජනයා අතිබහුතරයක් වන ප්‍රදේශවල සිංහල ජන අනුපාතය සැලසුම්සහගතව ඉහල නැංවීම මගින් මෙම පලාත් මත සිය බලපෑම රදවා ගැනීමට නිදහසින් පසු ආන්ඩු උත්සාහ කරනු ලැබීය.රාජ්‍යය වෙත විවිධ ජාතිකත්වයන්ගේ අනුමැතිය දිනාගැනීම සදහා එනයින් දිගින් දිගටම භාවිත වූයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් වෙනුවට නග්න බලහත්කාරයයි.

මෙකී ජනපදකරනය සිංහල ප්‍රභූ පංතියට තවත් ආකාරයකින් ප්‍රයෝජනවත් විය.ඩී.එස්.සේනානායක වැනි ඉඩම් හිමි වැවිලිකරුවන් යටත්විජිත යුගය තුල ධනවත් වන්නේ යටත්විජිත ආන්ඩුවට හිතවත් පවුල් කිහිපයක් අත මහා පරිමානව සිදුවූ ඉඩම් සංකේන්ද්‍රන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසය.මෙමගින් දකුනේ සිංහල ගැමි ජනයා අතර ඉඩම් හිගය බරපතල අර්බුදයක් ලෙස ඉස්මතුව පැවැති අතර එම ජනයාගේ කැරලිකාරී කෝපය තමා වෙත යොමු වීමට පෙර ඒවා වෙන අතකට හැරවීමද මේ නිසා අවශ්‍ය වූයේය.ඉඩම් අහිමි සිංහලයන්ට උතුරු නැගෙනහිරින් ඉඩම් පිරිනැමීමේ කරුනාව සිංහල ප්‍රභූන් වෙත පහල වන්නේ මේ අනුවය.එම පලාත්වල පදිංචි කරවනු ලැබූ සිංහල පීඩිතයින්ට මේ හරහා නව සතුරෙක් සිංහල ප්‍රභූන් විසින්ම හදුන්වා දෙන ලදී.ඒ වූ කලී ඔවුන්ගේ ජනපදයන්ට අසල්වාසී දෙමල කථාකරන ජනතාවයි.අතෙකින් දෙමල ජනයා සිංහල ජනපදිකයින්ව දුටුවේ සිය වාසභූමි ආක්‍රමනය කල සතුරන් පිරිසක් ලෙසය.එම  පසමිතුරු දෑස් අභිමුව වඩ වඩාත් ආක්‍රමනශීලි වනවා හැර සිංහල ජනපදිකයාටද විකල්පයක් නොවීය.1958 ගල්ඔයදී හටගත් වාර්ගික කෝලාහලය වැනි පසුකාලීන සිදුවීම් හරහා පුපුරා ගියේ ප්‍රභූ පංතිය විසින් සිංහල-දෙමල පීඩිතයන් අතර ඇටැවූ මෙම ප්‍රතිවිරෝධතාවයයි.

මෙම අතීතය නැවත අප්‍රසන්න ලෙස පුනරුච්චාරනය කරමින් දැන් මහින්ද රාජපක්ෂ පාලනයත් සිය පූර්වගාමීන්ගේ අපකීර්තිමත් ජනපදකරන ක්‍රියාදාමය ආරම්භ කොට තිබේ. දෙමල ජාතික සන්ධාන මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් පසුගිය අගෝස්තු 2 වනදා තමිල්නාඩුවේදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) නැමැති පාර්ලිමේන්තුවාදී පක්ෂය විසින් කැදවා තිබූ සම්මන්ත්‍රනයක් අමතමින් සිංහල ග්‍රහනයෙන් සිය ජනයා මුදාගැනීමට මැදිහත්වන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටින්නේ මෙම පසුබිම තුලය.සාම්පූර්හි දෙමල ජනයා අනාථ කරමින් විශේෂ ආර්ථික කලාප ගොඩනගන ඉන්දීය රජයට යාඥා කිරීමේ සිට ඇගට සනීප සංකේත වර්ජන පවත්වමින් සිටීම දක්වා දෙමල ප්‍රභූ දේශපාලනයේ විරෝධය දැක්වීම ලඝු වී තිබේ. බංකොලොත්භාවය හැර සමාජය වෙත පෑමට තමන් සතුව අන් කිසිවක් නොමැති බව මෙලෙස උතුරේත් දකුනේත් ප්‍රභූහු යලි යලිත් සනාථ කරමින් සිටිද්දී උතුරේත් දකුනේත් පීඩිතයෝ එම ජරපත් ප්‍රභූන් වෙනුවෙන් ඒ ඒ මැතිවරනයේදී දිගින් දිගටම කතිරය ගැසීමෙහි නියුක්තව සිටිති.

2011 නොවැම්බර් 20 ඉරිදා ජනරල ඉරිදා සංග්‍රහය - රාමචන්ද්‍ර සටහන

19 comments:

  1. ලෝකෙ හිටපු එකම ජාතිය දෙමල වෙන්ටෑ?

    හැබැයි දැන් නම් මුලු ලෝකෙම පර්චස් එකක රටක් වත් නෑ. යන යන රටවල් වල මල වදේ නේද!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  2. න යන රටවල් වල මල වදේ නේද! ............. ELA ela :D

    ReplyDelete
  3. උතුරේ ක්‍රියාත්මක තේසවලමෙයි වගේ බහු බුත නීති වෙනස් කරල රටේ හැමෝටම පොදු නීති පද්ධතියක් ස්ථාපිත කරන්නයි ඕන.

    ReplyDelete
  4. @ජය ශ්‍රී
    දකුණේ හැමෝටම පොදු නීති පද්ධතියක් හදන්න පළමුව උත්සාහ කළ යුතුයි. යමක් කමක් කර කියාගන්න බැරි පොඩි මිනිහට විතරක් ක්‍රියාත්මක වන බල්ලට ගිය නීතියක් දකුණේ දැනට තියෙන්නෙ. ඔබ යෝජනා කරන්නෙ ඒක උතුරටත් ගෙන යා යුතුයි කියලද?

    ReplyDelete
  5. සිංහලයන්ට උතුරින් ඉඩම් ගන්න බැරි වෙන්න තියෙන තේසවලාමෙයි ගැන කොළේ වහල ගහන්න‍නෙ මොකෝ?

    ReplyDelete
  6. @ Annonymous

    තේසවලමෛ නීතිය මෙන්ම විශේෂ නීති ලෙස සැලකෙන උඩරට හා මුස්ලිම් නීති ද ක්‍රමානුකූළව පොදු ලාංකීය නීතියක් දක්වා වර්ධනය විය යුතුයි.ඒ අර්ථයෙන් තේසවලමෛ නීතිය ඉවත් විය යුතුයි කියල මම හිතනව.නමුත් ඒක ඉවත් විය යුතුයි කියල මම හිතන්නෙ ඔබ කියන තේරුමින් neme.ඔබ මතුකරන කරුන කරුනක් ලෙස මුලුමනින් වැරදියි.තේසවලමෛ ගැන මගේ අදහස කියන්න ඉස්සර වෙලා “සිංහලයන්ට යාපනෙන් ඉඩම් මිලදී ගැනීම තේසවලමෛ මගින් තහනම් කරල තියෙනව“ කියල ඔබ කරන ප්‍රකාශය සනාථ කරන කරුනු ඉදිරිපත් කරන්න.

    ReplyDelete
  7. ඉඩම් මිළදී ගන්න නීතිමය බාධාවක් නෑමය කියමු. නමුත් සමාජයීය බල පෑම කොහොමද? අනිතිමට යාපනය සරසවියෙන් උපාධිය අරන් පිට වෙච්ච සින්හල ශිෂ්‍යයා ගැන කතා කරමු. එහෙම නිදහසක් සිංහලයට නැත්නම්, අකැමැත්තෙන් වුණත් එක්කෝ මිලිටරීකරණය පවත්වා ගන්න වෙයි. නැත්නම් ජනපදකරණය කරන්න වෙයි. සිංහල ශිෂ්‍යයන් යාපනෙන් පළැවා හරින යාපනයේ ශිෂ්‍ය නායකයන් ගැන ඔබලාට ඇත්තේ පුදුම නිශ්ශබ්දතාවයක්.

    ReplyDelete
  8. රාමා මට ඔබතුමාගෙ ජාතිය පිළිබඳ ගැටලුවක් ඇතිඋනා! ඔබතුමාත් සිංහලයෙක් තමන්ගෙ අයිතිය ගැන කියද්දි ජාතිවාදෙ කියන කෙනෙක් වගේ... අවංකවම කියන්න එහෙනම් දෙමළ ජනතාව රටේ දකුනට ඒමේ හා සිංහල ජනතාව උතුරට යාමේ වෙනස...

    ReplyDelete
  9. @ Annonymous 1

    තේසවලාමෛ නීතිය යටතේ සිංහලයන්ට උතුරේ ඉඩම් ගන්න තහනම් යැයි ඔබ කලින් සදහන් කලේ ප්‍රත්‍යයක්ෂයක් ලෙස හැගෙන අයුරින්.මේ නොමග යන සුලු ප්‍රකාශය නිතරම සිදුකෙරෙනවා.එම ප්‍රකාශය පහදන ලෙස පැවසූ විට ඔබට දීමට පිලිතුරක් නැහැ.ඔබ හා ඔබ වැනි වෙනත් අය කරන මේ ප්‍රකට ප්‍රකාශය නිසි ලෙස නීතිමය කරුනු විමසීමට උත්සාහයක්වත් නොගෙන ඔහේ පුරුද්දට කියන දෙයක් විතරයි.තේසවලමෛ නීතියේ නෛතිකත්වයට අභියෝග කල ඔබ ඒ ගැන විස්තර කරන්න කියල ඉල්ලුවම දැන් සමාජීය බලපෑමකට පහුබැහැලා තියෙනව.සමාජීය බලපෑම ගැන ඔබේ කතාවට පිලිතුරු දෙන්න ඉස්සර සමාජීය බලපැම හා නීතිමය බලපෑම කියන්නෙ දෙකක් නිසා නීතිමය අංශය ගැන කලින් කල ප්‍රකාශය වැරදියි කියල පිලිගෙන ඉන්න.

    සමාජීය වශයෙන් වාර්ගික සැකය යාපනයේ නෙමෙයි හැමතැනම තිබෙනවා.ඒක තමයි ලංකාවේ ජාතික ප්‍රශ්නයක් තියෙනව කියල අපි කියන්නෙ.මගේ පුද්ගලික අත්දැකීමක් සදහන් කරනවා නම් කිරුලපන ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගැනීමට වරෙක අපි දැරූ උත්සාහයකදී ගෙවල් හිමියන් මුලින්ම අපෙන් විමසා සිටියේ "මුස්ලිම් නෙමෙයි නේද?" යනුවෙන්.සිංහල ශිෂ්‍යයන් යාපනයෙන් එලවීම ගැන සාධක තිබේ නම් ඉදිරිපත් කරන්න කිසිම දෙගිඩියාවකින් තොරව ඒ ගැන කතාකරන්න අපිට පුලුවන්.අපි සූදානම්.සිංහල වේශයෙන් ආවත් දෙමල වේශයෙන් ආවත් ජාතිවාදය අමානුශිකයි.පරාජය කල යුතුයි.

    @ Annonymous 2

    //රාමා මට ඔබතුමාගෙ ජාතිය පිළිබඳ ගැටලුවක් ඇතිඋනා! ඔබතුමාත් සිංහලයෙක් තමන්ගෙ අයිතිය ගැන කියද්දි ජාතිවාදෙ කියන කෙනෙක් වගේ... අවංකවම කියන්න එහෙනම් දෙමළ ජනතාව රටේ දකුනට ඒමේ හා සිංහල ජනතාව උතුරට යාමේ වෙනස...//

    දෙමල ජනතාව කැමැත්තෙන් දකුනට ඒම හෝ සිංහල ජනයා කැමැත්තෙන් ස්වභාවික සංක්‍රමනයක් ලෙස උතුරට යාම ගැන කිසිදු ගැටලුවක් නැති බව මේ ලිපියේ ලියා තිබෙන්නේ ඔය ප්‍රශ්නය අහන්න ඉඩ තිබෙන බව දන්නා නිසා.ස්වභාවික සංක්‍රමන සහ රාජ්‍ය අනුග්‍රහය සහිතව ජන අනුපාතය වෙනස් කරන්න බලෙන් ජනපද හදන එක දෙකක්.මේ දෙවෙනි එක භයානකයි.ඒක වාර්ගික සැකය සහ ද්වේශය අවුලනවා.අන්තිමට ඒවයෙ ගොදුරු වෙන්නේ මේ විදිහට පදිංචි කරවනු ලැබෙන අහිංසක ජනයා මිස ( ගල්ඔයදී වගේ ) ඒ සැලැසුම් කොලඹට වෙලා සකස් කරන ප්‍රභූ දේශපාලකයො නෙමෙයි.මිත්‍රයා,මගේ ජාතිය ගැන කරදර වෙන්න එපා.වැදගත් වෙන්නේ මානුශිකත්වය මිස ජාතිකත්වය නෙමෙයි.

    ReplyDelete
  10. to Mr. Ramachandra

    ඔබගේ ලිපිය කසිකබල් මාක්ස්වාදි මතවාදයක සිට ලියූ ලිපියකි. ඔබට දිය යුතු පිලිතුරු මහාචාර්ය නලින් ද සිල්වාගේ " ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා" පොතේ ඉතා ස0ගතව ඇත. බටහිර ආක්‍රමනිකයන් විසින් මෙහි බලහත්කාරයෙන් දෙමල නිජබිම් පිහිටුවන ලදි. උතුරේ සහ නැගෙනහිර ක්‍රතිමව දෙමල ජනපද ඔවුන්ට අවැසි ලෙස ව්‍යාප්තකරන ලදි. මෙරට ඉතිහාසය සි0හලය විසින් ගොඩ නැගූවකි. එහි දෙමල වාර්ගිකයින් යම් ප්‍රමානයක් සිටිබව අප පිලිගනිමු. ඔවුන්ගේ වගා කටයුතු සදහා දකුනු ඉන්දීය දෙමල ජනයා මෙරටට ගෙන්වා මේ රටේ දෙමල ජන ව්‍යාප්තියක් ක්‍රතිමව ඇති කරන ලදී. සි0හලයන් උතුරේ සහ නැගෙනහිර පදි0චිකල යුතුය. දෙමල ජනතාවට අසාදාරනය්ක් නොවන ලෙස එය කල යුතු බව අප පිලි ගනිමු. මෙහි ඇත්තේ සි0හල ජාතියක් පමනි. දෙමල, මුස්ලිම් යනුවෙන් වාර්ගිකයන් සුලුතරයක් ඇත. මාක්ස්වාදියාට ජාතිකත්ව නොතේරීම ඔවුන්ගේ උපන් ගෙයි දෝසයකි. එයට බහුතර සි0හලයා පලි නැත.

    ReplyDelete
  11. @ Annonymous

    මම කසිකබල් මාක්ස්වාදී මතවාදයක සිට ලියද්දී ඔබ දරුනු ලෙස සිල්වාවාදී වන්දනාවකට ගොදුරු වී තිබේ.එය කොතරම් ද යත් මෙම කොමෙන්ටුව නලින් ද සිල්වා ලියූවක් වැන්න.සිල්වාගේ චින්තන රාමුව තබා ඔහුගේ භාෂා රාමුවෙන්වත් පිටවීමට ඔබට නොහැකි වී තිබේ :)

    ඉතිහාසය ඉගෙන ගැනීමට ඔබට තිබෙන හොදම මූලාශ්‍රය නලින් ද සිල්වා වූවාට මට එසේ නොවේ.ඒ නිසා "ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා" පොත ඔබ බයිබලය ලෙස අදහන්න.එහෙත් මට එය ඉතිහාසය ගැන වැදගත් ශාස්ත්‍රීය කෘතියක් ලෙස කිසිසේත් නොහැගේ.

    දැන් මට ප්‍රශ්න කීපයක් අසන්න අවසර දෙන්න.

    1.//මෙහි ඇත්තේ සි0හල ජාතියක් පමනි. දෙමල, මුස්ලිම් යනුවෙන් වාර්ගිකයන් සුලුතරයක් ඇත. //

    "ජාතිය" සහ "වාර්ගික සුලුතරය" අතර වෙනස කුමක්ද?එම වෙනස නිර්නය කරන නිර්නායකය කවරක්ද?සිංහල භාෂාව කතාකරන අය "ජාතිය" වී දෙමල භාෂාව කතාකරන අය "වාර්ගික සුලුතරය" වෙන්නේ සංඛ්‍යාත්මක පදනමින්ද?එහෙමනම් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජාතිය දමිල ( සමහර ස්තාන වල මුස්ලිම්) බවටත් සිංහල යනු එහි වාර්ගික සුලුතරයක් බවටත් තර්ක කලහොත් ඔබ දෙන පිලිතුර කුමක්ද?

    2.//බටහිර ආක්‍රමනිකයන් විසින් මෙහි බලහත්කාරයෙන් දෙමල නිජබිම් පිහිටුවන ලදි. උතුරේ සහ නැගෙනහිර ක්‍රතිමව දෙමල ජනපද ඔවුන්ට අවැසි ලෙස ව්‍යාප්තකරන ලදි.//

    ඔබට අනුව මෙරට දෙමල ජනාවාස ගොඩනැගුවේ බටහිර ආක්‍රමනිකයන්ය.නලින් ද සිල්වා කියන පරිදි දමිලයෝ වූ කලී ලන්දේසීන් විසින් දුම්කොල වගාව සදහා මෙරටට ගෙන්වූ දකුනු ඉන්දීය කුලීකරුවෝ වෙති.ඉතිහාසය ගැන ප්‍රාමානික දැනුම ඇත්තෙකු මෙය වඩා හොදින් නිශේධනය කරනු ඇත.මට එවැන්නක් නැති නමුත් යාපන රාජධානිය යනුවෙන් යමක් පැවැති බවටත්,සංකිලි යනාදි වශයෙන් ප්‍රාදේශීය පාලකයන් එය පාලනය කල බවත්,පෘතුගීසින් යාපනය යටත් කරගැනීමේදී මෙම පාලකයන් සමග යුධ වැදුනු බවත් මම කියවා ඇත.පෘතුගීසීන් ඒමට පෙර තිබූ යාපන රාජධානිය යනු මේ නිසා ඔබට අනුව කුමක්ද?එහි තිබුනේ දෙමල ජනාවාස නොවේද?සංකිලි යනු බටහිර අධිරාජ්‍යවාදයේ නිෂ්පාදනයක්ද?

    අතුරු කරුනක් ලෙස සැලලිහිනියේ කවියක දෙපදක් උපුටා දැක්වීමට අවසර දෙන්න.
    "කැරැලොල් සතන් පවසන තියු ගී දෙමල - මනකල් ඉසුරු කෝවිලැ ලගිනේ ලකල " - රාහුල හිමි සන්දේශය ගෙන යන සැලලිහිනියාට කියන්නේ හින්දු කෝවිලේ දමිල යාතිකාවන්ට සවන්දී ගිමන් නිවාගන්නා ලෙසයි.කෝට්ටේ යුගයේ දමිල ජනයා මෙරට විසූ බව පමනක් නොව ඔවුන්ගේ වත් පිලිවෙත් සංස්කෘතීන් සිංහල ජනයා කෙරෙහිත් බලපෑම් කල බවට මින් පෙනේ යන්න මගේ විශ්වාසයයි.දැන් රාහුල හිමි කියා තිබෙන්නේ බොරුද?රාහුල ජීවත් වූයේ පෘතුගීසින් පවා ඒමට පෙරය.රාහුල හිමි එසේ නැතිනම් බටහිර යුදෙව් ක්‍රිස්තියානි කුමන්ත්‍රනකරුවෙක්ද?

    3.ඉහත කරුනු පසෙක තිබියදී ඔබේ තර්කය අනුව දෙමල ජනයා යනු මෑතක මෙරටට ගෙන්වූ අය බව අපි මො‍හොතකට පිලිගනිමු.ඒ "මෑත" යනු අවුරුදු අඩුම තරමින් 200 ක් 300ක් එනම් ශතවර්ෂ දෙක තුනක් පමන වේ.රටක ජනතාවට අයිතිවාසිකම් හිමිවිය යුත්තේ ඔවුන් එම රටට සංක්‍රමනය වූවා යැයි සැලකෙන කාල සීමාව මැනලාද?නීග්‍රෝවරු යනු ශත වර්ෂ දෙක තුනකට පමන පෙර කුලී වැඩ සදහා අමෙරිකාවට අප්‍රිකාවෙන් ගෙන්වූවන් වන බැවින් උන්ට අමෙරිකාවට තිබෙන අයිතිය සුදු පදිංචිකරුවන්ට තිබෙන අයිතියට වඩා අඩු එකක් යැයි තර්ක කලහොත් එම තර්කය ඔබ පිලිගන්නවාද?

    ReplyDelete
  12. දෙමළ ජාතිවාදය ආරම්භ කරනු ලැබුයේ ම බටහිරයන් විසිනි. ලංකාවේ වත්මන් දෙමළ ජනගහනය ලන්දේසීන් විසින් දුම්කොළ වගාව සඳහා දහහත් වැනි සියවසේ දී මෙරටට කෝරමණ්‌ඩල වෙරළෙන් ගෙන්වනු ලැබූ වෙල්ලාලයන්ගෙන් හා එවකට නාගදීපයේ (යාපන අර්ධද්වීපයේ) සිංහලයන්ගෙන් හා මලයාලම් බස කතා කළ වේලක්‌කාර ජනතාවගෙන් ද පසුව දහනවවැනි සියවසේදී ඉංගිරිසින් විසින් මාර්ගවල හා වතුවල සේවය සඳහා දකුණු ඉන්දියාවෙන් ගෙන aවනු ලැබූ ජනයාගෙන් සමන් විත වෙයි. පළමුව ලන්දේසීන් විසින්ද පසුව ඉතා සූක්‍ෂම ලෙස ඉංගිරිසින් විසින් ද මේ ජනතාව සිංහල රජුට, රාජ්‍යයට, සංස්‌කෘතියට හා ආර්ථිකයට එරෙ හිව යොදාගනු ලැබූහ. මුළු මහත් දෙමළ ජාතිවාදය ම ක්‍රියාත්මක වූයේ සිංහල බෞද්ධ සංස්‌කෘතියට මෙරට හිමිවිය යුතු තැන අහිමි කිරීමටය. යටත්විජිත යුගයේ සිටම මෙරට සිංහලයන්ට සිංහලයන් වීම නිසාම ප්‍රශ්න වෙයි. තවමත් ඒ ප්‍රශ්න සමහරක්‌ විසඳී නැත.

    දහනව වැනි සියවස අගභාගයේ සිට ඉංගිරිසීහු බර්ගර්වරුන් වෙනුවට ඉංගිරිසි කතාකරන දෙමළ වෙල්ලාලයන් මුළු රටේම දේශපාලන හා සංස්‌කෘතික නායකත්වයට පත්කිරීමට කටයුතු කළහ. පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාශලම්, ආනන්ද කුමාරස්‌වාමි යන එකම පවුලේ මස්‌සිනාලා මෙහිදී කැපී පෙනුණහ. මේ නායකත්ව අභිලාෂය ඉංගිරිසි කතාකරන දෙමළ වෙල්ලාලයන් අතරද දැකිය හැකි විය. ඔවුන් කොළඹ වටා තම බලය රඳවා ගැනීමට උත්සාහ ගත්තේ ව්‍යවස්‌ථාදායකයේ තම නියෝජනත්වය උපක්‍රම මගින් වැඩිකිරීමෙනි. එහෙත් 1931 දී ඉංගිරිසින් අපට ලබාදුන් සර්වජන ඡන්දය සමඟ වෙල්ලාල නායකයන් රටේම නායකයන් වීමේ සිහිනය බිඳ වැටිණි. 1931 න් පසුව දෙමළ ජාතිවාදය තව තවත් ආක්‍රමණශීලී විය. එවකට නායකයකු ලෙස මතු වී සිටි තවත් වෙල්ලාලයකු වූ ජී. ජී පොන්නම්බලම් පනහට පනහ ඉල්ලා සිටියේය. මේ ඉල්ලීමෙන් ඔවුන් අපේක්‍ෂා කළේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිංහල නියෝජිතයන්ගේ ප්‍රතිශතය පනහට අඩු සංඛ්‍යාවකට සීමා කිරීමය. එහෙත් සර්වජන ඡන්දය ඒ සියලු අභිලාෂයන්ට පටහැනිව ක්‍රියාත්මක විය

    ReplyDelete
  13. //තේසවලමෛ නීතියේ නෛතිකත්වයට අභියෝග කල ඔබ ඒ ගැන විස්තර කරන්න කියල ඉල්ලුවම දැන් සමාජීය බලපෑමකට පහුබැහැලා තියෙනව.

    තේසවලාමේ නීතිය අනුව ඉඩ්මක් විකුණන්න පුළුවන් ඒකේ උරුම කරුවන්ගේ විරෝධතාවයක් නැත්නම් විතරයි. මේ උරුම කරුවන් කියන එක කොලේ වහලා අපට ගහන්නේ ඉඩමෙ අයිතිය ඇති හවුල් කරුවන් කියල. ඒත් ඇත්ත ඒක නෙවෙයි. ඒ ඉඩමේ "උරුමය" තියෙන පුතාලා, දුවලා, තාත්තලා, බාප්පලා ආදී ඔක්කොම ඉඩම ගන්න කැමැති නම් විතරයි විකුණන්න පුළුවන්. රාමචන්දර මේ ගැන දන්න බව අපි දන්නව. ඒත් හොර කමට කාටින් ගහල දිනන්න හදන බවත් දන්නව.

    //සමාජීය වශයෙන් වාර්ගික සැකය යාපනයේ නෙමෙයි හැමතැනම තිබෙනවා.ඒක තමයි ලංකාවේ ජාතික ප්‍රශ්නයක් තියෙනව කියල අපි කියන්නෙ.

    හැබැයි ඕක දෙමළ බහුතර ප්‍රදේශ වලයි සිංහල බහුතර ප්‍රදේශ වලයි සිද්ධ වෙන්නෙ දෙවිදියකට. දෙමල ළමයින්ට කොළබ, පෙරදෙනියේ, රුහුණේ, කැළණියේ ඉගෙන ගන්න පුලුවන්. උන්ට කවුරුවත් ගහන්නේ නෑ. රාට රැකල ඉඳල වෙඩි තියන්න හදන්නෙ නෑ. ඒත් යාපනේ, මඩකලපුවේ, ස්‍රී පාද විද්‍යා පීටේ තත්වය වෙනස්. ඒ විශ්වවිද්‍යාල අතඇරල යන්න කියල සිංහල සිසුන්ට බලකෙරෙනව. ගියේ නැත්තම් ගහනව. මේ ගැන උදාහරණ එමටයි. නොදන්න පාට් එක දාලා රාමචන්ද්‍ර කරන්නේ බබා පාට් එකක්.


    //මගේ පුද්ගලික අත්දැකීමක් සදහන් කරනවා නම් කිරුලපන ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගැනීමට වරෙක අපි දැරූ උත්සාහයකදී ගෙවල් හිමියන් මුලින්ම අපෙන් විමසා සිටියේ "මුස්ලිම් නෙමෙයි නේද?" යනුවෙන්.

    ඒක කවුරුත් කරන දෙයක්. මුස්ලිම් අය ගෙවල් පාවිච්චි කරන හැටි දන්න උදවිය ආයෙත් ගෙවල් ඒ අයට දෙන්නේ නෑ. අනික ඉන්නව කියන්නේ තුන් දෙනයි. අන්තිමට බලද්දී පහළොවක් විතර ගේ ඇතුලේ. ඕකත් බිම් මට්ටමේ ඇත්තක්. මේකත් රාමචන්ද්‍ර දන්නවා. ඒත් බබා වගේ නොදන්න බව රඟපානවා.

    //සිංහල ශිෂ්‍යයන් යාපනයෙන් එලවීම ගැන සාධක තිබේ නම් ඉදිරිපත් කරන්න කිසිම දෙගිඩියාවකින් තොරව ඒ ගැන කතාකරන්න අපිට පුලුවන්.

    ReplyDelete
  14. [සිංහල ශිෂ්‍යයන් යාපනයෙන් එලවීම ගැන සාධක තිබේ නම් ඉදිරිපත් කරන්න කිසිම දෙගිඩියාවකින් තොරව ඒ ගැන කතාකරන්න අපිට පුලුවන්]

    හා වරෙන් බබෝ නලවන්න! පහු ගිය අවුරුදු තිහෙම යාපනෙන් ඉගෙන ගත්තු සිංහලයන් ගාණ ගනල බලප්න්කෝ මහත්තයෝ අපිට බබා පාට් නොදා. 95-2005 අතර පත්තර බැලුව නම් ඒවයේ මේ ප්‍රවෘත්ති පිරිලා තිබුණ. මේව රාමචන්ද්‍ර නොදැක්ක වෙන්න නම් බෑ.

    ReplyDelete
  15. @ Annonymous -

    තේසවලමෛ නෛතිකත්වය ගැන - ඉහලින් කමෙන්ට් කල පුද්ගලයා ( ඒ ඔබමදැයි පැහැදිලි නැත.ඔබේ කමෙන්ට් සදහා යම් අනන්‍යාතවයක් පාවිච්චි කරන්නේ නම් හදුනාගැනීම පහසු වේ - සිංහලයන්ට උතුරින් ඉඩම් ගැනීම තේසවලමෛ මගින් තහනම් කල බව ප්‍රකාශ කලේය.එය එසේ වන්නේ කෙසේදැයි මම ඇසුවෙමි.පිලිතුරු ලැබුනේ නැත.දැන් ඔබ ඒ සදහා පිලිතුරක් සැපයීමේ අසරන උත්සාහයක යෙදී තිබේ.

    //තේසවලාමේ නීතිය අනුව ඉඩ්මක් විකුණන්න පුළුවන් ඒකේ උරුම කරුවන්ගේ විරෝධතාවයක් නැත්නම් විතරයි. මේ උරුම කරුවන් කියන එක කොලේ වහලා අපට ගහන්නේ ඉඩමෙ අයිතිය ඇති හවුල් කරුවන් කියල. ඒත් ඇත්ත ඒක නෙවෙයි. ඒ ඉඩමේ "උරුමය" තියෙන පුතාලා, දුවලා, තාත්තලා, බාප්පලා ආදී ඔක්කොම ඉඩම ගන්න කැමැති නම් විතරයි විකුණන්න පුළුවන්. //

    මේ දිග හෑල්ලේ කිසි තැනක "සිංහලයන්ට" ඉඩම් විකිනීම තේසවලමෛ තුල තහනම් කර තිබෙන්නේ කෙසේදැයි පැහැදිලි කර නැත.තේසවලමෛ ගැන ඔබ දන්නා කෙහෙල්මලක් නැති බවට මම අභියෝග කරමි.තේසවලමෛ නීතියේ එක් අංගයක් වන පූර්වක්‍රය ගැනයි මේ කතාකරන්නේ.මෙම නීතිය අදාල වනුයේ යාපන ප්‍රදේශයේ නොබෙදු හවුල් ඉඩම් සම්බන්ධයේ පමනි.1947 අංක 59 දරන පනතේ 4 වගන්තිය මේ බව පැහැදිලිව සදහන් කරයි.හවුල් අයිතියක් නොවන පූර්න අයිතියක් ඇති ඉඩම් සම්බන්ධයෙන් පූර්වක්‍රය අදාල නොවේ.නොබෙදු හවුල් ඉඩමක තම පංගුව යමෙකු විකුනනවා නම් එම විකිනීමේ පලමු අර්පනය ( offer ) අදාල ඉඩමේ සෙසු හවුල්කරුවන්ට හා සිය උරුමකරුවන්ට ඉදිරිපත් කිරීමට විකිනුම්කරු වෙත බැදීමක් තිබෙන බව පූර්වක්‍රය සංකල්පයේ අදහසයි.යාපනයේ ඉඩම් තිබෙන දෙමල ජාතිකයන්ට පමනක් නොව සිංහල අයටත් මේ නීතිය එලෙසින්ම අදාලය.එනම් යාපනයේ ඉඩමක් තිබෙන සිංහලයෙක් හවුල් ඉඩමක තම පංගුව අලෙවි කිරීමට අදහස් කරනවා නම් පලමු අර්පනය ඉඩමේ සෙසු හවුල්කරුවන් වෙත ඉදිරිපත් කිරීමට බැදී සිටී.මෙය චාරිත්‍රයක් බලාත්මක වූ අවස්ථාවකි.තේසවලමෛ නීතියේ පමනක් නොව ඕනෑම නීති පද්ධතියක මෙවැනි චාරිත්‍රයන් දැකිය හැක.එය පවා අදාල වෙන්නේ නොබෙදූ හවුල් ඉඩම් සම්බන්ධයෙන් පමනි.තේසවලමෛ මගින් සිංහලයන්ට ඉඩම් ගැනීම තහනම් කර තිබෙනවා යැයි කීම අමූලික අසත්‍යයකි.මේ පිලිබදව ඉදිරියේදී ලිපියක් ලිවීමට අදහස් කරමි.

    ඔබේ අනෙකුත් ලුම්පන් කොමෙන්ටු වෙත ප්‍රතිචාර දැක්වීමට අදහස් නොකරමි.

    ස්තුතියි

    ReplyDelete
  16. //ඔබේ අනෙකුත් ලුම්පන් කොමෙන්ටු වෙත ප්‍රතිචාර දැක්වීමට අදහස් නොකරමි.

    ඒ ඒවට උත්තර නැති හින්ද නං නෙමෙයි නේද??

    ReplyDelete
  17. //සිංහල ශිෂ්‍යයන් යාපනයෙන් එලවීම ගැන සාධක තිබේ නම් ඉදිරිපත් කරන්න කිසිම දෙගිඩියාවකින් තොරව ඒ ගැන කතාකරන්න අපිට පුලුවන්

    http://lankacnews.com/sinhala/news/37150/

    යාපනයේ සරසවියේ සිංහල සිසුන් ලවා ප‍්‍රභාකරන්ගේ පින්තූරයට වන්දවලා
    December 1, 2011 at 11:27 am | Lanka C News.

    පසුගිය නොවැම්බර් මස 27 වන දිනට යෙදී තිබුනු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මහවිරු දිනයය අදාලව උතුරු සහ නැෙඟනහිර ප‍්‍රදේශවල පවත්වන්නට සූදානම් කර තිබූ සමරු උත්සව ආරක්‍ෂක අංශ විසින් මැදිහත්ව වලක්වනු ලැබූවද යාපනය විශ්ව විද්‍යාලයේ කොටි හිතවාදී පිරිස් විසින් සුළු ක‍්‍රියාකාරකම් කිහිපයක් සිදු කොට ඇතැයි වාර්තා වේ.

    එහිදී හිටපු කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ පින්තූරයකට වඳින ලෙස යාපන සරසවියේ සිංහල සිසුන් වෙත පවසා ඇති අතර සිසුන් 10-15ත් අතර ප‍්‍රමාණයක් මෙම ක‍්‍රියාව සඳහා එකඟ වී ඇත. කෙසේ වෙතත් ශිෂ්‍යන් තවත් කිහිප දෙනෙකු විසින් තමන්ට කුමක් වුවද ප‍්‍රභාකරන්ට නොවඳිනනේ යයි පවසා ඇති අතර ඔවුන්ට කොටි හිතවාදීන් විසින් අඩන්තේට්ටම් කර තිබේ.

    ReplyDelete
  18. රාමචන්ද්රට පළමුව ස්තූති කරන්න කැමතියි, නිවැරදිව අදහස් ඉදිරිපත් කිරීම ගැන හා ඒ වෙනුවෙන් පෙනී සිටීම ගැන.තේසවලාමේ නීතිය පැහැදිලිකලට ගොඩාක් ස්තුතියි. මාගේ දැනුම අනුව යාපනයෙන් ඉඩමක් මිලදීගත්ත එකම සිංහලයයි හිට්යේ වීරසිංහ කියල, මාතර වැසියෙක් . අද ඔහු ජීවතුන් අතර නැත.යාපනයේ පදිංචියට ගියේ වියාපාරික සහ රජයේ සේවකයන් පමණයි.රජයේ සේවකයනුත් බොහෝවිට දඩුවම් මාරු ලැබූ අය..මේඅය රජයේ නිවාස හෝ කුලී නිවාසවල තමයි පදිංචිව හිටියේ.කුලී නිවාසවල දිගුකලක් සිටීම නිසා හිමිකාරීත්වය ලැබූ අයත් සිටිය. කෙසේ හෝ යාපනයේ පදිංචිවී සිටි කිසිම සිංහලයකු ගැන රජයවත් කිසිම සන්විදානයක්වත් කිසිම සැලකිල්ලක් නොදක්වපු බව සහතිකව කිව හැකියි. යාපනයේ පදිංචි සිංහලයන් ගැන දකුණේදී කතාකලේ දෙසපාලනයටත් මෝඩ ජාතිවාදයටත් පමණයි. උදාහරණයකට මම කියන්නම්, යාපනයේ රෝහලපාරේ පිහිටි පල්ලිය හමුදා ප්‍රහාරයට ලක්වී විනාස වුන. එහි ප්‍රතිපලයක් ලෙස ඒ අසල පිහිටි සිහල මහා විද්‍යාලය විනාස කෙරුණා. ඉන් අනතුරුව සිංහල පාසැල එම පල්ලියේම හවස් වරුවේත් උදය වරුවේ දෙමල පාසලත් පැවැත්වුන. මම සොල්දාදුවකු හැටියට එම පාසලේ සිංහල පාසැල පවත්වපු හවස්වරුවක ගොඩවුනා. .. එම ගුරුවරුන් සමග කතා කරන විට මට දැනගන්න ලැබුනේ එම සිංහල ගුරුවරුනට මාස කිහිපයකම පඩිවත් ලැබී නොතිබූ බවයි. නමුත් එම මොහොතේත් යාපනයේ පදිංචි සිංහලයන් ගැන වේදිකාවලත් පත්තරවලත් බෙරිහන් දුන්න. යාපනයේ කෙටිකලක් හෝ පදිංචිව සිටි හැම මිනිහකුම යුද්දයෙන් පසුව යාපනයේ අතීතයේ තම අසල්වැසියන්ගේ දුකසැප බැලීමට ගොස් තිබෙනවා. අදත් ඔවුන් සිංහල දෙමල බේදයක් නොමැතිව අතීතය සිහිපත් කරන්නේ හැගුම්බරව හෙඩු කදුලෙනි. එදත් අදත් බලකාමය සදහා ජාතිවාදය වපුරූ දෙපැත්තේම දෙසපාලකයන්ටවත් මෝඩ අවස්ථාවදීන්ටවත් මින්සත්කමේ හැගීම් තේරුම්ගන්න බැහැ.

    ReplyDelete