Tuesday, September 27, 2011

සිල්වාවරුන්ගේ මුන්නේශ්වරම් වික්‍රමය



හා විනාශයක් නැවැත්වීමට මැදිහත් වීමෙන් මර්වින් සිල්වා ඇමැතිතුමා මහත් වූ කුසල් සම්භාරයක් අත්පත් කරගත් බව  පසුගිය ඉරිදා දිවයින පුවත්පතට ලිපියක් සපයමින් නලින් ද සිල්වා මැතිතුමා ප්‍රකාශ කොට තිබුනි.හලාවත මුන්නේශ්වරම් හි භද්‍රකාලි කෝවිලේ පැවැත්වීමට ගිය සමූහ සත්ව සංහාර අවස්ථාවේදී එම පරිශ්‍රයට පැමින ඇමැති මර්වින් සිල්වා විසින් කරන ලද රගපෑම මෙම ප්‍රශංසාව සදහා පාදක වී තිබුනි. නලින් ද සිල්වා - මර්වින් සිල්වා  දෙබෑයන්ට දුමින්ද සිල්වා ද එකතු කල විට නිර්මානය වන සිල්වා ත්‍රිමූර්තිය වූ කලී රාජපක්ෂවාදයේ අශ්ලීල අවිඥානය හකුලුවා දක්වන සංකේතයකි.සවිඥානිකව රාජපක්ෂ රෙජිමය නම් සත්වයා කථාකරනුයේ දේශවාත්සල්‍යය,සදාචාරය සහ සංවර්ධනය පිලිබදවය.නමුත් එහි යටි සිත වනාහි ජාතිවාදයේ,මූලධර්මවාදයේ හා සමාජ පාදඩකරනයේ අජූව සංකලනයකි.

මුන්නේශ්වරම් හි කාලි කෝවිලේ වාර්ෂිකව සිදුවන සමූහ සත්ව බිලී පූජාව යනු කලෙක පටන් විශාල කතිකාවතකට තුඩු දුන්නකි.මෙම පූජාවට එරෙහිව පසුගිය වසරේ ද භික්ෂූන් පිරිසක් විරෝධතා දැක්වූ අතර මෙවර එය තහනම් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරනය ඉදිරියේ පෙත්සමක් ද ගොනු කෙරින.එවැනි තහනමක් නිකුත් කිරීම ආගමික චාරිත්‍රයකට අදාල සංවේදී කරුනක් වන බැවින් වැඩිදුරටත් කරුනු විමසා බැලීම සදහා අභියාචනාධිකරනය පෙත්සම විභාග කිරීම කල් තබන ලදී.එම පූජාව සමග ගොඩනැගී තිබුනු ආතතිකාරී පරිසරය සලකා බලා මහජන සාමය කඩ වීමට තිබෙන ඉඩ සැලකිල්ලට ගෙන කෙසේ වුවද පසුව හලාවත මහේස්ත්‍රාත් අධිකරනය විසින් තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

කාලි දේවිය ඇදහීම මෙන්ම සත්ව බිලී පූජා පැවැත්වීම ද අතිශය ප්‍රාථමික හා ගෝත්‍රික ඇදහිලි වෙති.වර්තමානය යනු ලෝකය පුරා සත්ව හිංසනය පිලිබද අදහස් බොහෝ සෙයින් දියුනු වී තිබෙන යුගයකි.පරිපූර්න වශයෙන් සියලු ආකාරවල සත්ව හිංසනයන්ගෙන් වැලැකීම ප්‍රායෝගික කරුනක් නොවේ.මිනිස් පැවැත්ම සදහා සත්ව පරිභෝජනයේ අවශ්‍යතාවය පිලිගන්නා අතරේ ම එම හිංසනය හැකිතාක් අවම මට්ටමකින් පවත්වාගෙන යාම යනු මේ සදහා ඉදිරිපත් කල හැකි වඩාත්ම සාධාරන විසදුමයි.එම පදනමේ සිට බැලූ කල්හි හුදෙක් මිථ්‍යාමය අභිචාරයක් වෙනුවෙන් වනචාරී ලෙස දහස් ගනන් සතුන් ප්‍රසිද්ධියේ මරා දැමීම අනුමත කල හැකි චාරිත්‍රයක් නොවේ.මෙබදු අභිචාර විධීන්ගේ වලංගුතාවය පිලිබද විධිමත් සංවාදයක් මේ මොහොතේ අවශ්‍ය බවට කිසිදු විවාදයක් තිබිය නොහැක.

කෙසේ නමුත් මෙහිදී අතපසු නොකොට සලකා බැලිය යුතු වැදගත් කරුනක් වනුයේ මර්වින් සිල්වා වර්ගයේ පිරිස් වෙතින් මතුවන බිලී පූජා විරෝධයේ මූලය කවරක්ද යන්නයි.මර්වින් සිල්වා පමනක් නොව සිංහල සමාජයේ බොහෝ පිරිස් මුන්නේශ්වරම් සිදුවීම් අභියස දැඩි සත්ව ප්‍රේමීන් බවට රූපාන්තරනය වූ ආකාරය අපි පසුගිය දවස්වල නිරීක්ෂනය කලෙමු.මෙම සත්ව ප්‍රේමී මනෝභාවය එක්වරම පැනනැගී තිබෙන්නේ කුමක් නිසාද?සත්ව හිංසනය පිලිබද අව්‍යාජව පැන නැගුනු සාධාරන ආවේගයක් නිසාද?

අපට මේ ප්‍රශ්නය තරමක් වෙනත් පැත්තකට යොමුකල හැක.සත්ව හිංසනයට කොන්දේසි විරහිතව එරෙහි වන මෙම සමූහයාගේම වන්දනාවට හා භක්තියට හේතු වන අලි ඇතුන් සහිත පෙරහැර ඉහත සත්ව ප්‍රේමී මනෝභාවය සමග ගලපන්නේ කෙසේද?නිදහසේ ජීවත්වන අලි හෙන්‍ඩුවෙන් ඇන හීලෑ කොට යදම් ලා මිනිස් වින්දනය සදහා පෙරහැරේ ගෙනයාම ආගමික ප්‍රමෝදය වෙනුවෙන් සත්ව හිංසාව අභ්‍යාස කරන වර්තමානයේ පවතින ඉතාම ප්‍රසිද්ධ අවස්ථාවකි.මෙරට මාසිකව තිබෙන කුකුලු මස් සදහා වූ ඉල්ලුම කිලෝග්‍රෑම් මිලියන 8.5 හා 9 අතර සංඛ්‍යාවකි.මේ ඉල්ලුම පැන නගින්නේ කොහින්ද?රජයේ නිල ලත් ගව ඝාතකාගාර වල මැරෙන ගවයන්ගේ මස් අනුභව කරන්නේ කවුද?හුදෙක් ක්‍රිස්තියානීන් හා මුස්ලිමුන් පමනද?හලාවත සිදුවීම ඉදිරියෙ පැනනැගි සත්ව ප්‍රේමය පිලිබද සාධාරන ආවේගය දෛනිකව අත්දකින සත්ව හිංසාව පිලිබද අනෙත් සිදුවීම් වලදී පැන නොනගින්නේ ඇයි?ආගමික ප්‍රමෝදය සදහා කෙරෙන බිලී පූජා හෙලා දකින සැදැහැවතා මරා නොදමා,ජීවිතාන්තය දක්වා හෙන්ඩුවෙන් අනිමින් වද දෙමින් අලි ඇතුන් මිනිස් විනෝදය සදහා පෙරහැරේ ගෙනයාම ඉදිරියේ සාධුකාර දීම පැහැදිලි කල හැක්කේ කවර තර්කය අනුවද?

මුන්නේශ්වරම් හි සත්ව ඝාතනයට එරෙහිව පැනනැගි ජනප්‍රිය සිංහල බෞද්ධ  සත්වප්‍රේමය වූ කලී හුදෙක් මුන්නේශ්වරම් හින්දු කෝවිල හින්දු කෝවිලක් වීම නිසා පැනනැගෙන්නකි.මෙම ජනප්‍රිය විරෝධය පෑමෙහි ඉදිරියෙන් සිටින බොහෝ අය බෞද්ධ නොවන වෙනත් ආගමික ප්‍රජාවන් තමුන් භුක්ති නොවිදින විනෝදයක් විදී යන අසහනය/කුතුහලය මගින් මඩිනු ලැබූවෝ වෙති.තරුනයන් පිරිසක් සමග පසුගිය 10 වන දා අනුරාධපුර නගරයේ මුස්ලිම් සිද්ධස්ථානයක් වටලා එය සමතලා කල අමත ධම්ම නම භික්ෂුව වෙතින් ද නියෝජනය වූයේ එම මනෝභාවයයි.හලාවතදී මාධ්‍ය ඉදිරියේ බාහුබල පෙන්වූ මර්වින් සිල්වා හෝ මර්වින් සිල්වාගේ ක්‍රියාව ඉදිරියේ විසිල් පහර දෙන නලින් ද සිල්වා හදිසි සත්ව කරුනාවෙන් යුතුව එලුවන් හා කුකුලන් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි?සත්ව ප්‍රේමය නිසාද?දෙමල විරෝධය නිසාද?සුලු ජාතීන් පීඩාවට ලක්කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින හඩු වර්ගවාදීන් අප රටේ සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම යනු සිනා උපදවන සුලු විභ්‍රමයකි.

 ]] 2011 සැප්තැම්බර් 25 - රාමචන්ද්‍ර සටහන ලංකා ඉරිදා සංග්‍රහය [[ 





10 comments:

  1. කෝ ඉතින් පත්තරේට මක්කැයි උනේ..
    ටෙලියක්ද... වලියක්ද..?

    ReplyDelete
  2. මර්වින්ගේ ක්‍රියාවට ගැසූ අත්පුඩිය ආපසු ඇදගැනීමට සිතුනු දෙවන වතාවයි , කෙසේ වුවත් එම මිලේච්ඡ ඝාතනය නැවැත්වීමට හේතුව හින්දු කෝවිලක්ය යන්න නොවන්නා සේමා නැවැත්වීම වැලක්වීමට හේතු හින්දු කෝවිලක් වීම ත් නොවිය යුතුය

    ReplyDelete
  3. aඅතුරු කාරණයක්.... ජවිපේ අර්බුධය ගැන මොකුත් ලියන්නේ නැද්ද . අජිත් මහත්තයගෙ අදහස නම් දැක්කා ඔබගේ අදහසත් දකින්න කැමතියි

    ReplyDelete
  4. ප්රෙම්කුමර්September 27, 2011 at 7:44 PM

    ප්රෙම්කුමර් ගුණරත්නම් යනු අනිකෙක් නොව රාමචන්ද්‍ර වන මම මය පින්වතුනි

    ReplyDelete
  5. අම්මට හුඩු. විහිළුවක්ද.....
    කොහොමද පිලිගන්නේ..

    ReplyDelete
  6. "බිලී පූජා පැවැත්වීම ද අතිශය ප්‍රාථමික හා ගෝත්‍රික ඇදහිලි වෙති" - නමුත් ඒවා කරනුයේ සුලු ජාතීන් නම් වැලැක්වීම තබා හෙලා දැකීම වත් නොකළ යුතුය.

    මාර තියරි!

    ReplyDelete
  7. බොදු පෙරහැර බෙහෝ දැක ඇති මුත් අලියාට හෙන්ඩුවෙන් අනිනවා නම් කිසිදු විටක දැක නැත්තෙමි.

    ඹබ මේ කියන්නේ සිහිනෙන් දුටු පෙරහැරක් ගැන වියයුතුය.

    ReplyDelete
  8. @ ජය ශ්‍රී

    සුලු ජාතීන් තබා කවරෙකු වූවත් කරනු ලබන පිලිගත නොහැකි ක්‍රියාවක් හෙලා දැකිය යුතුය.‍ඒ බව පැහැදිලිවම කියා තිබේ.ප්‍රශ්නය වෙනත් කිසිදු අවස්ථාවකදී සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්නවා තබා ඒ සදහා තමන් ට උනන්දුවක් හෝ තිබේ යැයි පෙන්නුම් නොකල වර්ගයේ උදවිය ( හෙරොයින් වෙලදාම සමග සත්වප්‍රේමී සිල්වාට තිබෙන සම්බන්ධතාවය ගැන විකිලීක්ස් කේබලයක් පවා මේ වනවිට කාන්දු වී තිබේ) මුන්නේශ්වරම් සිද්ධිය ඉදිරියේ පමනක් එක පාරට ෆෝම් වීමය.එය යට තිබෙන හේතුව මට පෙනෙන හැටියට නම් ජාතිවාදයයි.එය ජාතිවාදය නොව අව්‍යාජ සත්ව ප්‍රේමය යැයි ඔබ සිතනවා නම් මම ඒ සිහිනයට බාධා නොකරමි.

    ReplyDelete
  9. @ බුවා

    //aඅතුරු කාරණයක්.... ජවිපේ අර්බුධය ගැන මොකුත් ලියන්නේ නැද්ද . අජිත් මහත්තයගෙ අදහස නම් දැක්කා ඔබගේ අදහසත් දකින්න කැමතියි//

    ස්තුතියි.විස්තරාත්මකව ඒ ප්‍රශ්නය ගැන කතාකරන්න තරම් මේ අවස්ථාවේ මට තිබෙන තොරතුරු ප්‍රමානවත් නැහැ.ඉදිරියේදි ඒ ගැන ලියන්න උත්සාහ දරන්නම්.

    ReplyDelete
  10. @රාමා, කවුරු හරි ද නොව කුමක් හරිදැයි සොයන්න - ඇතුලත්මුදලි මහතා කියා තිබේ

    ReplyDelete