Saturday, September 17, 2011

මාලබේ උපාධි ග්‍රොසරිය පිලිබද වස්තුව


මාලබේ වෛද්‍යාතනය - පෞද්ගලිකකරනයේ සුරපුරය 
අංක 1701/19 දරන ගැසට් නිවේදනය මගින් උසස් අධ්‍යාපන ඇමති එස්.බි.දිසානායක විසින් දකුනු ආසියානු වෛද්‍ය හා තාක්ෂනික ආයතනය යනුවෙන් හැදින්වෙන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය උපාධි පිරිනැමීමේ ශක්නුතාවය සහිත ආයතනයක් ලෙස පිලිගෙන තිබේ.මේ අනුව 1980 දශකයේ අසාර්ථක වූ උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාල ව්‍යාපෘතියේ පටන් වරින් වර අත්හදා බලනු ලැබ අසාර්ථක වූ පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමේ ක්‍රියාදාමයෙහි නව වටයක පලමු වෙඩිමුරය ඇමැති එස්.බී. විසින් නිකුත් කරනු ලැබ ඇත. මෙම පියවර සාර්ථක වුවහොත් එය ලංකාවේ තෘතීය අධ්‍යාපන ක්ෂේත්‍රය වෙලදපොලකරනය කිරීමෙහිලා වන වැදගත් පිම්මක් බවට පත්වනු ඇත.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව ලිබරල්කරනයේ ගොදුරක් බවට පත්වීම ආරම්භ වන සලකුනු පෙන්නුම් කරන අවස්ථාවේදීම එම ගොදුරු බිම සටන් බිමක් බවට පත්වන ලකුනු ද මතු වී තිබේ.මාලඹේ උපාධි ග්‍රොසරිය උපාධි පිරිනැමීමේ ශක්‍යතාවය සහිත ආයතනයක් ලෙස නම් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ වනවිට ඉදිරියට පැමින සිටී.වෛද්‍ය විද්‍යාලයකට ඇවැසි ප්‍රමිති තත්වය අදාල ග්‍රොසරිය විසින් සපුරා නොමැති සන්දර්භයක එය උපාධි පිරිනැමීමේ ආයතනයක් ලෙස පිලිගනු ලැබූයේ ඇයිදැයි එම සභාව අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කොට තිබුනි.සිය සුපුරුදු බජාර් භාෂාවෙන් වෛද්‍ය සභාවට පිලිතුරු දුන් අමාත්‍යවරයා රජයේ ප්‍රතිපත්තීන්ට අනුකූලව කටයුතු කල නොහැකි නම් වෛද්‍ය සභාව විසුරුවා දමන බවට තර්ජනය කොට සිටියේය.පසුගිය අගහරුවාදා දෙරන රූපවාහිනියේ පැවැති සජීව සංවාදයකට එක් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් මාලඹේ උපාධි ග්‍රොසරියේ ප්‍රමිති තත්වය පිලිබද බරපතල ප්‍රශ්න සමූහයක් මතු කරනු ලැබූ අතර එම ප්‍රශ්නවලට පිලිගත හැකි මට්ටමේ පිලිතුරක් ලබා දීමට එම සංවාදයට සම්බන්ධ වූ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා අසමත් වූයේය.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය පෞද්ගලීකකරනය කිරීමේ මෙහෙයුම භාරගෙන තිබෙන ඇමැති එස්.බී.යනු හැදෑරීමට වටිනා කදිම ප්‍රපංචයකි.හගුරන්කෙත අවවරප්‍රසාදිත ග්‍රාමීය පවුලකින් සරසවියට පිවිස කලක් වාමාංශික දේශපාලනයේ යෙදී සිටි මෙම පුද්ගලයා අලුතින් ඉහල පංතියට පැන ගන්නා පීඩිතයන් සාම්ප්‍රදායික ඉහල පාංතිකයන්ටද වඩා පරපීඩක මානසිකත්වයකට ගොදුරු වන ආකාරය සම්බන්ධ අපූරු නිදසුනකි.ඇමතිධූරයේ දිවුරුම් දුන් දා සිට මෙම ඇමතිවරයාගේ පරම අභිලාෂය ලෙස පෙනෙන්නට තිබුනේ කොක්කෙන් හෝ කෙක්කෙන් මෙරට පුද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපනය කිරීමේ කටයුත්ත ඉටු කර ගැනීමයි.උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ඉටු කල යුතු ඊට වඩා වෙනත් වැදගත් කාර්යයක් ඔහු වෙත නොවූවා වැන්න.එම අරමුන ඉටු කරගැනීමෙහි පලමු පියවර ලෙස එබදු ව්‍යාපෘතියකට දරුනු ප්‍රතිරෝධයක් එල්ල කිරීමේ ශක්‍යතාවය සහිත සංවිධානාත්මක ශිෂ්‍ය ව්‍යාපාරය චප්ප කර දැමීමේ එලඹුමකට හෙතෙම පිවිසියේය.සරසවි “හැදීම“ සදහා තමා සිසුන් දහසක් වුව සිරගත කිරීමට සූදානම් බව හෙතෙම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේය.සරසවි බිත්තියක් මත පෝස්ටරයක් ගැසීම,අත්පත්‍රිකාවක් බෙදීම පවා වසරකට ශිෂ්‍යභාවය අහෝසි කිරීමට හේතුවන වර්ගයේ වරදක් ලෙස ප්‍රකාශ කෙරෙන චක්‍රලේඛ නිකුත් කලේය.සියලු ප්‍රජාතන්ත්‍රවාදී හා ශිෂ්ට සම්පන්න චර්යා ධර්මයන් ඉවතලා ශිෂ්‍ය “ත්‍රස්තවාදය“ චප්ප කොට දැමීම මගින් 80 දශකයේ  දකුනේ තරුන “ත්‍රස්තවාදය“ සමතලා කොට දැමූ රන්ජන් විජේරත්න හෝ  උතුරේ දෙමල “ත්‍රස්තවාදය“ සමතලා කොට දැමූ ගෝඨාභය රාජපක්ෂ වර්ගයේ “පොර“ චරිතයකට ආරූඪ විමේ අධිකතර ආශාව හෙතෙම පසුගිය කාලය පුරාම පෙන්නුම් කලේය.

දැන් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය පෞද්ගලිකකරනය කිරීම වෙනුවෙන් වෛද්‍ය සභාව වැනි සිවිල් ආයතන විසුරුවා හැරීමට පවා තමා සූදානම් බවට ඔහු පාරම් බාමින් සිටී.වෛද්‍ය උපාධිය රුපියල් ලක්ෂ 65 කට මිල කරන විශ්ව විද්‍යාල පිහිටුවන්නේ රජය පවසන ආකාරයට “රට“ හෝ “ජනතාව“ වෙනුවෙන් නොව පහසු මාර්ගයකින් සිය දරුවන් වෛද්‍යවරුන් බවට පත්කිරීමේ ආශාව සහිත ධනවතුන්,දේශපාලකයන් හා නිලධාරීන්ගෙන් සමන්විත ප්‍රභූ සමාජ ස්ථතරයක අවශ්‍යතාවය වෙනුවෙනි යන්න සැගවිය නොහැක්කකි.සෞඛ්‍ය හෝ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රෙය් දැනටමත් හටගෙන තිබෙන ආකාරයට සුපිරි පවුල් වල දරුවන්ට සුපිරි පුද්ගලික විශ්ව විද්‍යාල පද්ධතියක් බිහිවීම සහ සාමාන්‍ය පංතියේ දරුවන්ට ප්‍රතිපාදන හිගකමින් මිරිකෙන වියලී ගිය “පිං“ විශ්ව විද්‍යාල පද්ධතියක් ඉතිරි කිරීම මෙම ක්‍රියාවලියේ අවසන් තාර්කික ප්‍රතිඵලය වන බව පැවැසීමට අමුතු ඥානයක් ඇවැසි නැත.  

කෙසේ වුවද රජයට එරෙහිව සටනට බැස තිබෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අධ්‍යාපන පෞද්ගලිකකරනයේ ඉහත සමස්ථ රූපය ග්‍රහනය කොටගෙන නැත.ඔවුන්ගේ විරෝධය හුදෙක් මාලඹේ ග්‍රොසරියේ “ප්‍රමිතිය“ පමනක් ප්‍රශ්න කරන  තාක්ෂනික විරෝධයකට සීමා වී තිබේ.ධනය හෝ සමාජ මට්ටම කවරක් වුවද දක්ෂතාවය තිබේ නම් අධ්‍යාපනයේ සම අවස්ථා ලැබෙන ආකාරයකට සමාජයක උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් විය යුතුය.රජයේ පෞද්ගලිකකරන ව්‍යාපෘතිය සම්බන්ධ සරල තාක්ෂනික විරෝධයකට කොටු නොවී එම ප්‍රශ්න කිරීම පුලුල් සංකල්පමය මානයක් කරා ගෙන යාම ඒ නිසා මේ මොහොතේ අත්‍යවශ්‍ය සාධකයක් ලෙස පවතී.

( 2011 සැප්තැම්බර් 18 - ලංකා ඉරිදා සංග්‍රහය - රාමචන්ද්‍රගේ සටහන ) 




8 comments:

  1. // මෙම පුද්ගලයා අලුතින් ඉහල පංතියට පැන ගන්නා පීඩිතයන් සාම්ප්‍රදායික ඉහල පාංතිකයන්ටද වඩා පරපීඩක මානසිකත්වයකට ගොදුරු වන ආකාරය සම්බන්ධ අපූරු නිදසුනකි.//
    හරියටම හරි රාමා. මම හැමදාම කියන විදියට උගත්කම කියන්නෙ දුප්පතාගෙ පුතාට සමාජ ස්ථර අතර උඩුගම් බලා යන්න තියෙන මාධ්‍යයක්. නිදහස් අධ්‍යාපනයෙන් වුණෙ ඒක. ඒකයි අද වෙද්දි එදා ඒජන්ත මහත්තයා කියල හ‍දුන්වපු තනතුරට ගමේ හරමානිස්ලගෙ පුත්තු ගිහින් තියෙන්නෙ. අද වෙද්දි එස් බීලගෙ කුලකයෙ මිනිස්සුන්ට තමන් ආපු පාර මතක නැති එක පුදුමයක් නෙවෙයි. අනිත් එක මේ මිනිස්සුන්ට මේ පුද්ගලික අධ්‍යාපන ආයතන කියන්නෙ අධ්‍යාපන ප්‍රතිපත්තියක කොටසක්වත් මෙරට අධ්‍යාපන ක්‍රමයට කරන්න යන සංවිධානාත්මක ප්‍රතිසංස්කරනයක් වත් නෙවෙයි. කුට්ටිය කඩා ගන්න පුළුවන් කොමිස් එකක් ගන්න පුළුවන් තවත් එක හම්බ කරන පොටක් විතරයි. එස් බීට මේ රාජකාරිය පවරපු මහ අයත් සද්ද නැතුව කුට්ටිය කඩා ගන්නව. ඒත් සමාජය පුදුම විදියට මේ ඇතුලාන්තයට අසංවේදීයි බන්

    ReplyDelete
  2. ලිං මැඩි වාමාංශිකයෙකුගේ ලස්සනට වචන ගලපපු අදෝනාවක්

    ReplyDelete
  3. තිත්ත ඈත්ත.
    නියමයි රාමා!!!!!!!!!!!

    ReplyDelete
  4. ලෝකහොරුන්ගෙ දරුවො දොස්තරලා කරන්නයි
    අනික් උන්ගේ ලමයි කොන්දොස්තරලා කරන්නයි මූලික පියවර.

    ReplyDelete
  5. මමත් රජයේ සරසවි සිසුවෙක්. අපි විරුද්ධ නෑ පෞද්ගලික සරසවි වලට. නිසි ප්‍රමිතියකින් ගුණාත්මක අධ්‍යාපනය දෙන පුද්ගලික ආයතන තිබුණාට වරදක් නෑ. එය හොඳ ප්‍රවණතාවක්...

    ඒත් මේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉහළට ආපු උදවියම එය නැති කරන්න හදන හැටි දකින එක හරිම වේදනාකාරී දෙයක්.

    ReplyDelete
  6. ★大學生/家庭主婦/失業族/上班族/
    利用空閒時間上網貼廣告.
    竟然也能月領6萬~20萬!
    真實事件天天上演~給自己一個契機
    >>>>>★馬上免費體驗~>(18歲以上皆適宜)
    (請複製網址找我喔!)
    http://vanliau888.weebly.com

    打擾您了, 事事順心!!

    ReplyDelete
  7. එස්බී යනු අද වනවිට දැඩි මානසික ප්‍රශ්නයකට මුහුන දෙන මිනිසෙකි. ඔහු කලක් රටේ නායකයා වීමට සිහින මැව්වේය. ශ්‍රිලනීපයේ සිට එය සැබෑ කර ගත නොහැකි බව දු‍ටු ඔහු එජාපයට පැන්නේය. එතැන සිට තම අරමුනු කරා යාගත නොහැකි බව දැක නැවත ආපසු ශ්‍රිලනීපයට ආවේය. දැන් ඔහු සම්පූර්නයෙන්ම අපේක්ෂා භංගත්වයට පත්වූ මිනිසෙකි. රටේ නායකයා වීමට ඔහු දු‍ටු සිහින සම්පූර්නයෙන්ම බිඳ වැටී අවසන්ය. අද ඔහුගේ පැවත්ම පවා තීරනය වන්නේ ඔහුට පැවරුනු කාර්යන් කොතෙක් දුරට සාර්ථකව කරන්නේද යන්න මතය. අද ඔහුගේ හැසීරිමෙන් පෙන්වන්නේ එයයි.

    ඔහුට උසස් අධ්‍යාපනය බාර දෙන්නේ එය ගිනි කන්දක් බව දැනගෙනය. දෙන ලද වැඩය සාර්තක වුවහොත් ගෞරවය රාජපක්ෂලාටය. අසාර්ථක වුවහොත් එස් බීටය.

    පසුගියදා අවසන් වූ ආචාර්ය වැ‍ටුප් සටනේදීත් සිදු වූයේ එයමයි. එස් බී ආචර්යවරුන් සමග කැත්තට පොල්ල මෙන් සිටියේය. එහෙත් අවසානයේ රාජපක්ෂලා මැදිහත් වී ප්‍රශ්නයට උත්තර සෙවීම සියතට ගත් විට එස් බීට සිදු වූයේ නිකම් බලා සිටින්නටය.

    පෞද්ගලික සරසවි ප්‍රශ්නය විස‍ඳෙන්නේත් එලෙසය. මෙය ඉදිරියට ගෙන යාමට බැරි බව පෙනුනොත් රාජපක්ශලා ඉදිරියට අවුත් පෞද්ගලික සරසවි අහෝසි කර ජනතාවගෙන් ලකුනු දාගනු ඇත. ජනතාව එස් බීට බැන රාජපක්ශලාට ස්තූති කරනු ඇත.

    ReplyDelete
  8. මේ කතාවට පැති ගොඩාක් තියෙනව කියන එක මට තේරෙනව (ඒ වගේම එස්.බී.ව හරස් කරගෙන මේ අර්බුධයෙ මුළට යන්න බැහැ කියන එක රාමට නොතේරුනාට අනිත් අයටවත් තේරෙනව ඇති කියලත් හිතනව). හැබැයි මේ ටික මං අහන්නෙ අවංකවම නොදන්න කමට. යම් දෙමවුපියෙක් තම දරුවට සල්ලි වියදම් කරල උගන්වන්න කැමති නම් අපි අහවල් එක ඉරාගෙන ඒක නවත්තන්න වළිකන එක සාධාරණද?

    මේක අධ්යාපනයෙන් අයින් කරල වෙනත් සන්දර්භෙක තේරුම් ගන්න බලමු. දැං ලංකාවෙ රජයේ ඉස්පිරිතාල වගේම පුද්ගලික ඉස්පිරිතාලත් තියෙනවනෙ. කවුරු හරි ලෙඩෙක් සල්ලි වියදම් කරල පුද්ගලික ඉස්පිරිතාලෙකින් තමුන්ගෙ ලෙඩේට වෙදකම් කර ගන්න කැමති නම් අපි ඌව ඒකෙන් වලකල ඌට ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකින්ම බෙහෙත් ගන්නය කියන්නෙ අහවල් අමාරුවකටද? එහෙම වෙන්න ඇරීමෙන් ආණ්ඩුවෙ ඉස්පිරිතාලවලට තියෙන තදබදෙත් යම් පමණකින් හෝ අඩු වෙනව නේද?

    දැං මෙතන ගැටළුව තියෙන්නෙ පුද්ගලික ඉස්පිරිතාල වලින් ලැබෙන තරම් හොඳ වෙදකමක් ආණ්ඩුවෙ ඉස්පිරිතාල වලින් නොලැබෙන එකේ නම් කෙරෙන්න ඕනෙ ආණ්ඩුවෙ ඉස්පිරිතාලත් ඒ මට්ටමට උසස් කරන්නය කියල අරගල කරන එක මිසක පුද්ගලික ඉස්පිරිතාල වහන්නය කියල උද්ඝෝශන කරන එක නෙමේ නේද?

    කාට හරි පුළුවන් නම් මේකට පුද්ගලයන්වවත්, මේ ආන්ඩුවවත් හරස් කර නොගෙන සාධාරණ (නිරපේක්ශ යන තේරුමින්) උත්තරයක් දෙන්න, ඒක ලොකු ජයග්‍රහණයක්.

    - ප්‍රභංග.

    ReplyDelete