Friday, August 26, 2011

ග්‍රීස් යකා වීදි බසී


බ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස්ගේ හෝ ඉසබෙල් අයියන්දේගේ නවකථා තුල පමනක් දැකිය හැකි යැයි සිතිය හැකි වර්ගයේ සිදුවීම් දාමයක සජීවි සාක්ෂිකරුවන් සමූහයක් බවට දැන් අපි පත්වී සිටිමු.ග්‍රීස් යක්කු අන්ධකාරයට මුවාවී ගම්මාන අතර සැරිසරති.ඔවුහු කාන්තාවන් ඉලක්ක කරති.ග්‍රීස් යකාට බියෙන් ග්‍රාමීය ජනජීවිත ඇන හිට තිබේ.ග්‍රීස් යකුන් යැයි සැකකරමින් ගම්මු දකින දකින ආගන්තුකයාට පහර දෙති.ඔවුහු පොලිස් ස්ථාන පමනක් නොව ත්‍රිවිධ හමුදා කදවුරු පවා වටලති.වාහන ගිනි තබති.ග්‍රිස් යකා යනු කවුද?එය හුදෙක් මාධ්‍ය ප්‍රබන්ධයක්ද?හදිසි නීතිය යාවත්කාලීන කිරීම සාධාරනීකරනය කරගනු වස් ආන්ඩුව විසින් ඇටවූ සූක්ෂම උපායක්ද?රටේ සාමය අවුල් කරනු සදහා කඩාකප්පල්කාරී සංවිධාන විසින් ගෙනියන කුමන්ත්‍රනයක්ද?එසේත් නැතිනම් ලිංගික අවපීඩනයෙන් පෙලෙන පිරිස් හදිසියේ රංචු ගැසී රට පුරා සැරිසරන්නට පටන් ගෙන තිබේද?කිසිවෙක් මේ කිසිවක් නොදනී.සියල්ලෝ සාමූහික උන්මාදයකට ගොදුරුව දකින දකින අය දඩයම් කරති.ග්‍රීස් යකා යනු මනෝවිකාරයක් යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසද්දී එබදු ක්‍රියාකාරකම් පිලිබද සිදුවීම් තමාට වාර්තා වී තිබේ යැයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මෙවැනි විකාර ජවනිකා දැකිය හැක්කේ මාර්කේස්ගේ නවකථා වල මිස අන් කොහිද?

ග්‍රීස් යකාගේ සම්භවය හෙලිකිරීම ගවේෂනාත්මක මාධ්‍යවේදින් වෙත භාර කරමින් මෙම ලියුම්කරු අවධානය යොමු කරනුයේ මෙම සිදුවීම් පෙලෙහි එක් වැදගත් ලක්ෂනයක් දෙසය.එනම් මෙවැනි සිදුවීම් අභිමුව පොදුවේ රට පුරා ගම්වාසින් දක්වා තිබූ ප්‍රකෝපකාරී හා ප්‍රචන්ඩ ප්‍රතික්‍රියාව දෙසයි.හපුතලේදී වතුකම්කරුවෝ සමූහයක් ග්‍රීස් යකුන් යැයි සැකකරනු ලැබූ සංචාරක වෙලෙන්දන් දෙදෙනෙකු අල්වා මියයන තුරු පහර දුන්හ.පුත්තලමේදී සමාන උද්ගතයකදී පොලිස් නිලධරයෙකු මැරෙන තුරු ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්විය.කින්නියා හිදී ගම්මු කලහකාරී ලෙස නාවික හමුදා කදවුරක් වැටලූහ.පසුගිය අගෝස්තු 22 දින කහවත්තේදී අපස්මාර රෝගියෙකු ලෙස හදුනාගත් 37 හැවිරිදි දෙදරු පියෙකු සමාන පහර දීමකින් මරා දමා තිබූ අතර එදිනම රාත්‍රියේ ග්‍රීස් යකාට රැකවරනය දීම පිලිබද හමුදාවට චෝදනා කරමින් සිවිල් වැසියන් හා හමුදාව අතර ඇතිවූ ගැටුමකින් පසු යාපනයේදී පුද්ගලයන් සියයකට ආසන්න පිරිසක් සිරභාරයට පත්වූ අතර තවත් 27 දෙනෙකු රෝහල්ගත කරන ලදී.

ඉහත කෙටි විස්තරයෙන් පෙන්නුම් කෙරෙනුයේ සිංහල කහවත්තේදී හෝ වේවා දමිල යාපනයේදී හෝ වේවා මුස්ලිම් කින්නියා හිදී හෝ වේවා කිසිදු වෙනසක් රහිතව ජනයා විසින් පෙන්නුම් කොට තිබූ ආවේගාත්මක ප්‍රතික්‍රියාවයි.එම ප්‍රතිචාර දැක්වීම වියරු එකක් බවට සැකයක් නැත.එය වගකීම් විරහිත සහ අරාජක ලෙස කෝපය පිටකිරීමක් බවද සත්‍යයකි.නමුත් මෙලෙස පිටකරනු ලැබූ ආවේගය කුමක්ද?එය හුදෙක් ග්‍රීස් යකා නැමැති හුදෙකලා සිදුවීම නිසා හටගත් ආවේගයක් පමනද?මෙබදු වියරු ප්‍රතිචාර ග්‍රාමීය ප්‍රදේශ වලින් පමනක් උද්ගත වූයේ ඇයි?කුරුදුවත්තේදී හෝ බම්බලපිටි‍යේදී ග්‍රීස් යකෙකු මුන ගැසුනහොත් එහි වැසියනුත් ඔහුට මියයන තුරු පහර දීමට හා පොලිස් වාහන ගිනි තැබීමට ඉදිරිපත් වනු ඇද්ද?බම්බලපිටියේ ජීවත් වනුයෙත් පුත්තලමේ ජීවත් වනුයේත් එකම දේහ ව්‍යුහය සහිත එකම මානවයෙකි.එම එකම මානවයා බම්බලපිටියේදී එක් විදිහකටත් පුත්තලමේ හෝ කහවත්තේදී තව විදිහකටත් ප්‍රතිචාර දක්වන්නේ ඇයි?

අපට සමාන ප්‍රශ්නයක් මීට දින කිහිපයකට පෙර ලන්ඩනයේ හටගත් තරුන පැනනැගිම ආශ්‍රිතවද මතු කල හැක.ටොටෙන්හම්හි සිදුවූ පොලිස් වෙඩි තැබීමකින් කලු ජාතික තරුනයෙකු මියයාම ඇසුරු කොට ගෙන ලන්ඩනයේ තරුන කොටස් වීදි බට අතර සාමූහික උන්මාදයකින් මෙන් එංගලන්තයේ යෞවන ජනයා පොලිස් රථවාහන ගිනිතබමින්,මහදවල් කඩසාප්පු කොල්ල කමින් එංගලන්තයේ සුප්‍රකට නීතියේ විධානය (Rule of law)  සිය දෙපා මුල දන ගැස්වූහ.මෙම පැනනැගීම්වල ඉදිරියෙන් සිටියෝ කලු ජාතික තරුනයෝය. ලන්ඩනයේ ඉහලම විරැකියා අනුපාතය පවතිනුයේ කැරලි ආරම්භ වූ ටොටෙන්හම් හි වන අතර කලු ජාතික ප්‍රජාවන් සහ පොලිසිය අතර තිබෙන අයහපත් සබදතාවය ද කැරලි සදහා හේතුවක් ලෙස හදුනා ගනු ලැබින.

කැරලි අභිමුව අසහනයට පත් ප්‍රජාතන්ත්‍රවාදී එංගලන්තයේ  අග්‍රාමාත්‍යවරයා ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි තහනම් කිරීමේ අවශ්‍යතාව පිලිබද පවා අදහස් දැක්වීය!ශිෂ්ට සම්පන්න ලන්ඩන් නගරය පිලිබද පැරනි එක්ස් කන්ඩායමේ සියලු න්‍යායන් මෙම තනි  ප්‍රායෝගික සිදුවීමෙන් හුදු ජෝක් එකක් බවට පත්වූ අතර කහවත්ත සිංහල ගැමියා සහ ලන්ඩන් නාගරික තරුනයා යනු මොහොතකට දෙදෙනෙකු නොව එක් අයෙකු බවට පත්වූයේය.

ලන්ඩනයේදී මෙන්ම ග්‍රාමීය ලංකාවේදිද අරාජක ලෙස පුපුරා යන්නේ අන් කිසිවක් නොව සමාජ ආර්ථිකමය ලෙස පීඩනයට ලක්වූවන් තුල කැකෑරෙන අසහනයයි.පීඩනයයි.ලන්ඩනයේ පීඩිත යෞවනයන්ට සිය පීඩනය මුදාහැරීම සදහා පොලිස් වෙඩි තැබීම නම් අවස්ථාව මුන ගැසුනු අතර ලංකාවේ ග්‍රාමීය පීඩිතයන්ට ඒ සදහා ග්‍රීස් යකා නම් අවස්ථාව හිමිව තිබේ.ග්‍රීස් යකා පසුපස තිබෙන කුමන්ත්‍රනකාරී රහස්වලට වඩා මෙම සමාජ දේශපාලනික යථාර්තය අපගේ අවධානයට හසුවිය යුත්තේය.

2011 අගෝස්තු 28 - ලංකා ඉරිදා සංග්‍රහය




11 comments:

  1. මෙය පීඩනය පිටකිරීමක් නොවේ. ඒ ඒ ප්‍රදේශවල ජනාතාවගෙන් විමසූ කළ දැන ගැනීමට ලැබුණු කාරණය නම්. මේ පිරිස් මෙසේ හැසිරෙන්නේ පාළක පක්ෂයේ කුමන හෝ කෙනෙකුගේ අනුග්‍රහය ඇති. පොලීසිය පවා අත තැබීමට බය පුද්ගලයන් බවයි. යතාර්ථය එයයි. මෙසේ ඩෙඟා නටන්නේ එබැවිනි. අනෙක් ප්‍රධාන කාරණය නූගත් කම හා කාළකන්නි ආගමික පූජකයින් විසින් (සියළුම.) සිතීමේ ශක්තිය නැති කොට, අමනුස්ස බිය පැතිරවීමයි. (බ්‍රේන් වොෂ්.) ලුනු ඇඹුල් දැමීමේ කාර්යය, ජඩ මාධ්‍යවේදින් නිසියාකාරව ඉටු කරණු ලැබේ.

    ReplyDelete
  2. අන්තිමට පෙනී යන කරුණ නම් රටේ මුල් තැන සිටම සිවිල් නීතිය තමන්ට ඕනි විදියට හැසිරවීමට දැරූ උත්සාහය ගමේ ගොඩේ එකාගෙ ඔඵවටත් ඇතුඵ වී ඇති බවයි. නීතිය අතට ගැනීමේ වැරැදි ආදර්ශය සැපයූවන් මීට සෘජුවම වගකිව යුතුයි.
    අද පොලිසියට සිදුවී ඇත්තේත් එයමයි. පොලිස් නිළධාරියෙක් සාමය රැකීමට ගොස් මරා දැමුණද මිනිසුන් සතුටු වෙයි. නීතිය පොඩි මිනිහට විතරක් අසාධාරණ විදියට ක්‍රියාත්මක කිරීමට යොමු වී තිබෙන පොලීසියට සාමාන්‍ය මිනිස්සු අනුකම්පා නොකරයි.
    කෙසේ වුවත් මේ සිදුවීම් කියා දෙන්නේ අරාජිකභාවයේ ස්වභාවයයි.

    ReplyDelete
  3. එක්ස් කණ්ඩායම ලන්ඩන් නම යෙදුවේ ශිෂ්ඨත්වය පිලිබඳ පරිපූර්ණ අර්ථයකින් නොවේ. ඔබගේ ලිවීම තුල කහවත්ත සහ බම්බලපිටිය සංසන්දනය ලලේ ඇයි? බම්බලපිටිය මාර නිසාද? ඒ වගේම තමයි කොලඹ සමග ලන්ඩන් සංසන්දනය උනේ.නැත්ව ලන්ඩන් මාර නිසා නෙමෙයි.ඒ නිසා ඒ යෙදීම නිවැරදියි. සංදර්භයෙන් පිට ‍කරන මේ වගේ ඉපිටීම් ඔබ ඔබවම ජෝක් කර ගැනීමක්......

    ReplyDelete
  4. ඔය "ලන්ඩන්" මැගසීන් එක ආවේ අපි ඉස්කෝලේ යන කාලේ. මට මතකයි එක කලාපයක මුල් පිටේ තිබ්බ ෆොටෝ එකක්,
    හාදයෙක් ලයිට් කණුවක නැඟලා දුර බලන කණ්නාඩියකින් බලන් ඉන්නවා. ලියලා තිබ්බා මෙහෙම [මට මතක හැටියට],
    "දුරදක්නයකින් ලන්ඩන් දෙස බලා සිටින අපේ සාමාජිකයෙක්"
    ලන්කාවෙන් එළියට ගිහින් නොතිබ්බ ඒ කාලේ "අප්පද බොල" අපිටත් හෙණ මැජික්. :D

    පහුගිය ටිකේ කල්ලෝ ලන්ඩන් ගිනි තියන කොට මට ඔය ෆොටෝ එක මතක් වෙලා, හිනා වෙලා පණ ගියා.

    ඒ අතුරු කථාවක්.

    ඇත්තටම මාත් හිතන්නේ නැහැ මේ පීඩනය පිට කිරීමක් කියල [අල්ල ගත්ත ග්‍රීස් යක්කුන්ට ගහන කොටනම් පීඩනය පිට වෙනවා ඇති] මමනම් හිතෙන්නේ යුද්ධෙ ඉවර වීමත් එක්ක මළ මිනි ගැන ගැන හිටපු අපිට;
    සූප්පු කර කර ඉන්න බුද්ධි අංශ මඟින් දීපු පොඩි ටොපියක් කියලා.

    ReplyDelete
  5. ලන්ඩන් කියන නම දැක්කම "ජනතාව" හිතුව කිසිම ප්‍රශ්නයක් නැති,අංග සම්පූර්ණ,මාර,සුපිරි,ශිෂ්ඨත්වයෙන් අගතැන්පත් තැනක් කියල හිතලයි මේ නම දාල තියෙන්නෙ කියල. මේක තමයි ප්‍රශ්නෙ. මිනිස්සුන්ට එහෙම හිතුනෙ ඇයි? ‍මේක තමයි අවිඥානික පැතුම!!!
    මුකුත් නොකරන අපිට මේවටවත් හිනාවෙන්න බැරිනං මොකටද නේද? ජීවත් වෙනව කියල දැනෙන්නත් එපායැ????????

    ReplyDelete
  6. @ රාම,

    අපිනම් මුකුත් නොකර ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් ඉතින් තමන් මාර දෙයක් කළා කියල හිතන් හිටපු, [අර මරුවා කියනවා වගේ] දැන් ගම්වලට ගිහින් ළිං වලින් නාන "ලන්ඩන්" වල ඇල්බට් අන්කල්ලත්,
    ලංකාවේ අපි දන්න කාලේ, අපි ආස කරපු "කලාව" කියන එක කඩන් වැටෙන්න වග කියන්න ඕනේ කියලා තමයි මටනම් හිතෙන්නේ.

    කැමතිනම් තව අතුරු කථාවක් කියන්නම්,

    මමයි මගේ හොඳ බාගෙයි දවසක් එක්තරා නඟරයක බස් හෝල්ට් එකක ඉන්න කොට මල්ලි කෙනෙක් ඇවිත්,

    "අයියේ බුක් මාක් එකක් ගන්නවද?"
    "ආ මල්ලි, මොනවද මේ?"
    "අයියේ මේ "පෙරදිග සුළං" කියලා කණ්ඩායමක්"
    "කීයද එකක්?"
    "විස්සයි"

    ඒ මල්ලිගේ නම ලෙව්කේ, අපේ සුපර් ජුනියර් බැච් එකේ. පට්ටම පට්ට මීටරයක්.

    අනේ පවු!
    හන්දියක් හන්දියක් ගානේ බුක් මාක් විකුණනවා.
    [දැන්නම් මොනවා කරනවද දන්නේ නැහැ].

    ReplyDelete
  7. @ රාම,
    හොයාගෙන කියවන්න.
    ලන්ඩනයේ වැලිකැටද? ශිෂ්ටත්වයේ ප්‍රාර්ථනා නගරයද?

    ReplyDelete
  8. ඔය අසහනේ ඡ්න්දෙදි ප්‍රකාශ කරන්නේ නැයි කියලනේ කට්ටිය ෆුල් හොල්මන් වෙලා බලා ඉන්නේ...

    ReplyDelete
  9. මේ සියල්ලම පාලකයින් / අන්තවාදීන් (දෙගොල්ලොම එකයි) විසින් සිය අරමුණු ඉටුකර ගැනීම සඳහා මවාපාන රංගන

    ReplyDelete
  10. HI Friend. You have a very nice and informative site, this has helped me and i found it very useful for my reading, thanks for your writing and hope to

    see your update...

    Thanks

    How to tips, Ehow, Where, when, how, Tips, trainning, Learn how to do, What is , Advices,

    knowledge,,

    ReplyDelete
  11. "මෙබදු වියරු ප්‍රතිචාර ග්‍රාමීය ප්‍රදේශ වලින් පමනක් උද්ගත වූයේ ඇයි?කුරුදුවත්තේදී හෝ බම්බලපිටි‍යේදී “ග්‍රීස් යකෙකු” මුන ගැසුනහොත් එහි වැසියනුත් ඔහුට මියයන තුරු පහර දීමට හා පොලිස් වාහන ගිනි තැබීමට ඉදිරිපත් වනු ඇද්ද?බම්බලපිටියේ ජීවත් වනුයෙත් පුත්තලමේ ජීවත් වනුයේත් එකම දේහ ව්‍යුහය සහිත එකම මානවයෙකි.එම එකම මානවයා බම්බලපිටියේදී එක් විදිහකටත් පුත්තලමේ හෝ කහවත්තේදී තව විදිහකටත් ප්‍රතිචාර දක්වන්නේ ඇයි?"

    මේ පිළිබඳව මට කීමට ඇත්තේ මෙපමණයි. "කොළඹට කිරි අපට කැකිරි"
    ඔබට හොඳටම විශ්වාසද කොළඹ මෙම ප්‍රදේස වල සිටින්නේත් ගමේ සිටින ආර්ථික , දේශපාලනික අතින් අවසාන පන්තියේ ජනතාවක් බව.

    ReplyDelete