Wednesday, June 1, 2011

කේවල ඒජන්තයෙක් මත වගකීම පැවරීමේ න්‍යාය

Farewell Bale!
සටහන -

පොලිස්පති මහින්ද බාලසූරිය විශ්‍රාම ගොස් තිබේ.පසුගියදා (මැයි 30) කටුනායක නිදහස් වෙලද කලාප සේවක සේවිකාවන් විසින් රජයේ යෝජිත විශ්‍රාම වැටුප් පනතට එරෙහිව පෑ විරෝධයේදී මෘග ලෙස පොලිසිය එම සේවකයින්ට පහර දෙනු ලැබීය.සිදු වූ හානිය තවමත් අවසන් වශයෙන් තක්සේරු කොට නැති අතර මේ වනවිට පොලිස් පහරදීමෙන් තුවාල ලැබූ තරුනයෙකු මරනාසන්නව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.මෙම සිදුවීම් පෙල විසින් ඇති කල හැකි මහජන ප්‍රකෝපය වෙනතක හැරවීම සදහා රජය දැන් සිටම සූදානම් වෙමින් සිටින බව පැහැදිලිය.මහින්ද බාලසූරිය යනු පැහැදිලිවම ඉත්තෙකි.ඒජන්තයෙකි.දේශපාලන අධිකාරියේ අනුදැනුම රහිතව ස්වාධීන තීරනයක් ගෙන පොලිස් භටයන් යොදා ජීව උන්ඩ හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට තරම් තනි හයියක් මෙම හුදෙකලා පුද්ගලයා සතුව තිබුනු බව අප විශ්වාස කරතැයි පාලකයන් කල්පනා කරනවාද?පොලිස් නිලධරයන් කලාප සේවක සේවිකාවන්ට පහර දීමේදී දැක්වූ තිරශ්චීන මෘග හැසිරීම අපි දුටිමු.මෙය බාලසූරියගේ පෞද්ගලික වරදක්ද?නැතහොත් පොලිසිය නැමැති මර්ධන යන්ත්‍රයේ ආවේනික ස්වභාවය පිලිබද ව්‍යුහාත්මක ප්‍රශ්නයක්ද?මෙහිදී පැහැදිලිවම තනි ඒජන්තයෙකු මත වරද පටවා නිදහස් වීමේ පාලකයන්ගේ සුපුරුදු න්‍යාය ක්‍රියාවට යෙදී තිබේ.පහත පලවන්නේ පාලකයන්ගේ මෙම උපක්‍රමය පිලිබද වසරකට පමන ඉහතදී මෙම අඩවියේම පල කෙරුනු සටහනකි.ඉරිදා ලංකා පුවත්පතේ කර්තෘවරයාව 2010 වසරේදී රජය පොලිසිය හරහා අත්අඩංගුවට පත්කල අතර පසුව ඒ පිලිබද පොලිස්පතිවරයාට ජනාධිපතිවරයා "අවවාද" කිරීමෙහි සිදුවීමක් මෙය ලිවිමට ආසන්න හේතු සැපයීය.
කාලීන වැදගත්කම මත සංස්කරනයක් රහිතව එම ලිපිය නැවත පල කෙරෙනු ලැබේ.මෙහි දැක්වෙන මර්වින් සිල්වා,කිච රුවන්,කුඩු ලාල් හා බැද්දගාන සංජීව යන පුද්ගල නාම සදහන් තැන්වලට මහින්ද බාලසූරිය යන නම ආදේශ කරගන්නා ලෙස පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.


***
මෙඩ්ගාර් එවර්ස් කියන අමෙරිකානු එක්සත් ජනපදයේ කලු ජාතික නායකයාව 60 දශකයේ එක්තරා දිනෙක වෙඩි තබා ඝාතනය කෙරුනා.පදුරක් පසු පස සැගව සිටි ඝාතකයා සුදු ජාතිකයෙක්.වර්නභේදවාදයට විරුද්ධ ව්‍යාපාරයේ නායකයෙක් වුන මෙඩ්ගාර් එවර්ස් වර්නභේදවාදයට පක්ෂ සුදු ජාතික කල්ලියක් විසින් කුලියට යොදවන ලද මැරයෙක් විසින් මරා දැමුන අතර එ ඝාතකයාව පසුව අත්අඩංගුවට ගැනුනා.
මේ සිද්ධිය අලලා ගීතයක් රචනා කල බොබ් ඩිලන් මෙඩ්ගාර් එවර්ස්ගේ ඝාතකයා ගැන මේ විදිහට සදහන් කලා.

But it ain't him to blame
He's only a pawn in their game

ඝාතකයාට දොස් පැවරිය නොහැක.ඝාතකයා "ඔවුන්ගේ" ක්‍රීඩාවේ ඉත්තෙක් පමනකි.
"ඔවුන්" යනුවෙන් ඩිලන් මෙතනදි අදහස් කලේ අමෙරිකාවේ දකුනු ප්‍රාන්ත වල එවකට ක්‍රියාත්මක වුන සිස්ටම් එක දුවවන අයයි.දක්ෂින අමෙරිකාවේ ප්‍රාන්ත ආන්ඩු බොහොමයක් 60 දශකය වන විටත් වර්නභේදවාදය ප්‍රතිපත්තියක් විදිහට පිලිගෙන තිබුනා.පාසල්,උද්‍යාන විතරක් නෙමෙයි බස් රථ පවා වර්නභේදවාදී ලෙස බෙදා තිබුනා.ප්‍රසිද්ධ කෝපි හල් වල "වර්නයන්ට තහනම්" යැයි බෝඩ් එල්ලා තිබුනා.සුද්දන් ගැවසෙන වරප්‍රසාදිත තැන් කල්ලන්ට තහනම් වුනා.සුදු අයගේ දරුවන් වෙනුවෙන් වෙන් කල පාසල් ඉස්තරම් වර්ගයේ පාසල් වශයෙන් පැවතුන අතර කල්ලන්ගේ දරුවන් අව වරප්‍රසාදිත පාසල්වලට යා යුතුව තිබුනා.
කල්ලන් සහ සුද්දන් වෙනස් බවත් සුදු හම සහිතව ඉපදීම ගෞරවයට හේතුවක් බවත් සමාජය තුල අධිපතිත්වය දැරුන මතවාදයයි.මේ දෘෂ්ටිය කුඩා කාලයේ සිටම සුදු හමැති දරුවන්ට වාගේම කලු හමැති දරුවන්ටත් කා වද්දනු ලැබුවා.සිය සුදු හම මේ අනුව උසස් දෙයක් විදිහට සුදු ජාතිකයන් සද්භාවයෙන්ම විශ්වාස කල අතර තමා කලු අයෙක් ලෙස ඉපදිම තමාගේ අඩුවක් ලෙස කලු අය සද්භාවයෙන්ම විශ්වාස කලා.
වර්නභේදවාදය නමැති සිස්ටම් එක ක්‍රියාත්මක උනේ මේ විදිහට.
සුද්දන් කල්ලන්ට වඩා උසස්ය යන්න මේ අනුව සුද්දන් දිව්‍යමය සත්‍යයක් ලෙස අදහගෙන සිටි අතර මේ දිව්‍යමය සත්‍යය අභියෝගයට ලක්වෙනවාට ඒ අය කැමති වුනේ නැහැ.එම දිව්‍යමය සත්‍යය ප්‍රශ්න කල මෙඩ්ගාර් එවරස් වැනි "නපුරන්" මේ අනුව වනසා දැමිය යුතුව තිබුනා.එහෙම වනසා දැමිය යුතුයි කියල සුදු සමාජයේ වඩාත්ම භක්තිවන්ත පිරිස් විශ්වාස කලා.KKK වගේ නොනිල ඝාතක කන්ඩායම් බිහි වන්නේ මේ තර්කය උඩ.මේ ඝාතක කන්ඩායම් වලින් කුලියට යෙදවුනු ඝාතකයන් මෙඩ්ගාර් එවර්ස්,මාටින් ලූතර් කිං වගේ කලු ජාතික නායකයන් ගනනාවක් ඝාතනය කලා.කලු ජාතික ව්‍යාපාරයට සහය දුන්න සුද්දන් ( ද්‍රෝහීන් ) වෙඩි තබා මරා දැමුනා.

දැන් ඇත්තටම මේ අපරාධ කලේ කවරෙක්ද?
මෙඩ්ගාර් එවර්ස් ඝාතනය කලේ කවුද?යි අසන විට බයිරන් ඩි ලා බෙක්විත් යැයි පිලිතුරු ලැබෙනවා.
මාටින් ලූතර් කිං ඝාතනය කලේ කවුද?යි අසන විට ජේම්ස් අර්ල් රේ යැයි පිලිතුරු ලැබෙනවා.
ඒ කියන්නේ ඝාතකයා යැයි පෙන්විය හැකි ඒජන්තයෙක්/නිශ්චිත පුද්ගලයෙක් සිටිනවා.මේ ඝාතන කලේ අසවල් අසවල් පුද්ගලයන් විසින් යැයි කියල සමාජය අත හෝදා ගන්නවා.මේ අදහසට අනුව එවර්ස් ව ඝාතනය කලේ බෙක්විත්.ඔහුට දඩුවම් කල විට හැමදේම හරියනවා.
මේ සරල අදහස තමන්ගේ ගීතය හරහා ප්‍රශ්න කරන බොබ් ඩිලන් මෙඩ්ගාර් එවස්ව ඝාතනය කලේ වෙන කවරෙක් හෝ නොව වර්නභේදවාදී විදිහට සංවිධානය වුන,ඒ විදිහට මිනිසුන්ව හිතන්න පුරුදු කල,සමාජ දේශපාලන ක්‍රමය යැයි ප්‍රකාශ කරනවා.ඝාතකයා ඒ ක්‍රමයේ ඉත්තෙක් විතරයි.දේශපාලන ක්‍රමය මිනිස්සුන්ගේ ජීවිත ක්‍රීඩාවක් විදිහටයි භාරගන්නෙ.සුද්දන් වේවා කල්ලන් වේවා සිස්ටම් එකට ඒ හැමෝම දාම් පෙතක ඉන්නා ඉත්තන් ප්‍රමානයක් විතරයි.ඇවැසි විට ඉත්තා කොටුවෙන් කොටුව පන්නනවා.ඇවැසි වෙලාවට සියලු දොස් ඉත්තා මත ආරෝපනය කරලා ඉත්තාව බිලිදෙනවා.සමාජය මේක ඇතුලෙ හිංසනය සිස්ටම් එක තුල පවතින එකක් නෙමෙයි අදාල පුද්ගලයාගේ පුද්ගලික දෝෂයක් යැයි හිතල හිත හදාගන්නවා.කවුරුත් සිස්ටම් එක ප්‍රශ්න කරන්න පෙලඹෙන්නේ නැහැ.
බොබ් ඩිලන් සිය ගීතයෙන් ඒජන්තයාට ඇගිල්ල දිගු නොකර ඒජන්තයාව හසුරුවන අදෘශ්‍යමාන හිංසකයාට ඇගිල්ල දිගු කිරීමේ අවශ්‍යතාවය අවධාරනය කරනවා.

මොහොතකට දැන් අපි ආසන්න සිදුවීම් කිහිපයක් වෙත යොමුවෙමු.ලංකා පත්තරේ කර්තෘ අත්අඩංගුවට ගැනීම ගැන ජනාධිපතිවරයා පොලිස්පතිට "අවවාද" කරනවා.ඒ අනුව වරද තිබෙන්නේ නීතියේ විනිවිදභාවයක් නැතිවීම තුල නෙමෙයි.පොලිස්පති කියන "ඒජන්තයාගේ" පුද්ගලික ක්‍රියාකාරිත්වය තුලයි.ජනාධිපති මේ අනුව අහිංසකයෙක්.
මාධ්‍යවේදින්ට පහර දීම ගැන ජනාධිපතිවරයා මර්වින් සිල්වාට තරයේ අවවාද කරනවා.නපුරේ ඒජන්තයා = මර්වින් සිල්වා.
අලුත්ම කතිකාව අනුව යුද සමයේ මාධ්‍යවේදීන් ඝාතනය කල පාපයේ නියෝජිතයා සරත් ෆොන්සේකායි.ජනාධිපති හා ආරක්ෂක ලේකම් වැනි බලධරයන් අහිංසක ලදරුවන්ය.
පොලිසිය බලාගෙන සිටියදී විරෝධතාකරුවන්ට සිවිල් ඇදුමෙන් විත් පහර දෙන එක කිච රුවන්ගේ පුද්ගලික වරදක්.මේ ගැන මහජන විරෝධය උග්‍ර වුනොත් කිච රුවන්ට දඩුවමක් දෙනු ඇති.නමුත් ඒ පසුපස තිබෙන නිතියේ සාධාරනභාවය ගැන ව්‍යුහාත්මක ප්‍රශ්නය කරලියට එන්නෙ නැහැ.
අත් අඩංගුවට ගැනෙන සැකකරුවන් පොලිසිය තුල පහර කනු ලැබ මියයනවා.ඒක අපි පොලිසියයි සමාජයයි අතර සමබන්ධතාවය හැදිල තියෙන "ක්‍රමයේ"( සිස්ටම් එකේ) වරදක් විදිහට දකින්නෙ නැහැ.අපිව පුරුදු කරවලා තියෙන්නෙ ඒ ඝාතන පොලිස්කාරයෙක්ගේ පුද්ගලික වරදක් විදිහට දැකල අමතක කරන්න.
මෙඩ්ගාර් එවර්ස් ඝාතනය වුන විට ඒ ඝාතනය කල ඝාතකයා හිර භාරයට අරන් එයා මත සම්පූර්න වගකීම පවරලා තමන් මුලුමනින් පාරිශුද්ධ බව පෙන්නලා තමන්ට එරෙහිව ගොඩ නැගෙන්නට නියමිතව තිබුන මහජන විරෝධය පුද්ගල ඒජන්තයෙක් වෙත හැරවූ අමෙරිකාවේ වර්නභේදවාදී සිස්ටම් එක සිය පැවැත්ම ආරක්ෂා කර ගත්තා.
සමාජ ක්‍රමයේ තියෙන දුර්වලකම හින්ද වෙන ඛේදවාචකයන් වල පාපය පුද්ගල ඒජන්තයන් මත පවරා තමන් පාරිශුද්ධ ලෙස නිදහස් වීම වර්තමාන ලංකාවේ දේශපාලන සමාජ ආකෘතිය ඇතුලේ සිදුවෙනවා.වැරදි වලට වග කිව යුතු මර්වින් සිල්වා,බැද්දගානේ සංජීව,කුඩු නුවන්,කිච රුවන්,කුඩු ලාල් වැනි අය දඩු කදේ ගැසුවාම සියලු දේ හරියාවි යැයි සමාජය හිතාගෙන ඉන්නවා.
නමුත් ඇත්ත වශයෙන්ම මර්වින් සිල්වලා ජාතක කරන්නේ සිස්ටම් එක විසින්.මේ අය තමන්ට අනවශ්‍ය වූ විට දඩු කදේ ගසන සිස්ටම් එක ඒ අයට පසුව තමන්ගේ වැඩ ටිකට කරගහන්න තවත් මර්වින් සිල්වලා ඇති පදමින් අවශ්‍ය විදිහට ජාතක කරනවා.මර්වින් සිල්වලාත් ඇත්ත වශයෙන්ම අනුකම්පා කට යුතු සිස්ටම් එකේ victims ලා ලෙස තේරුම් ගැනීමයි වඩා නිවැරදි.

දඩුකදේ ගැසිය යුත්තේ ඒජන්තයා නෙමෙයි.
ඒජන්තයා පසුපස තිබෙන අදිසි හස්තයයි.

13 comments:

  1. how many days they will hid the truth

    ReplyDelete
  2. කුඩු ලාල්ගේ කතාව - he's only a pawn in their game
    http://ramachandrageadaviya-ramachandra.blogspot.com/2009/03/hes-only-pawn-in-their-game.html

    ReplyDelete
  3. රාමා මේකනම් මෙලෝ රහක් නැති පෝස්ට් එකක්. අලුතෙන් හිතන්න මොනවත් නැහැ. හැමදාම කියන පල්හෑල්ල සන්ෆ්ලවර් සමග කියල.

    ReplyDelete
  4. @ Annonymous

    //හැමදාම කියන පල්හෑල්ල සන්ෆ්ලවර් සමග කියල//

    අලංකාර උපමාවක් :)
    මගේ පැත්තෙන් නම් මෙතනදි අලුත් දෙයක් ලියැවිලා නැති බවට එකගයි.එක සමාන දෙයක් නැවත නැවත වෙද්දි පරන ලීව එකක් අදාලයි නම් (ඒක පල්හෑල්ලක්ද?) ඒක පල කරන එකේ වරදක් මා දුටුවේ නැත.
    විවේචනයට ස්තුතියි.

    ReplyDelete
  5. හිතවත් රාමා!මෙම සටහන ඉහත කතාව සම්බන්දයෙන් නොවේ ,
    රාමා මට අවශයි අභිධර්මය පිලිබදව ඔබේ අදහස් දැනගැනීමට
    pl.join;
    http://rcgbs.wordpress.com/2010/10/04/001/

    ReplyDelete
  6. ආ එතකොට අර සාමකාමී උද්ගො0ෂකයෝ පොලීසිය කුඩු පට්ටම් කරපු එක හරි ඈ?

    ReplyDelete
  7. @ 99 වන වදුරා

    අවාසනාවකට අභිධර්මය ගැන අදහසක් පල කිරීමට තරම් ඒ ගැන විධිමත්ව මා කියවා නැත.මා අභිධර්මය ගැන කතාකරන්නට ගියහොත් ධනවාදය ගැන කතාකරන්න ගිය අරුනි ශපිරෝට වන දෙය සිදුවනු ඇත :)

    ReplyDelete
  8. @ 99වෙනි වඳුරා

    ඔබ සඳහන් කරන රචනාව කියවා ඇත්තෙමි. එය මනස්ගාතයකට වඩා දෙයක් නොවේ. විද්‍යාව සහ බුද්ධාගම අතර යල්පැන ගිය සංසන්දනයත්, පරිනාමවාදය ගැන දක්වා ඇති ලාමක තර්කත්, (කවුරුත් නොදන්න මාරම දෙයක් වන ) අභිධර්මයෙහි එල්ලීමක් මිස ගතයුත්තක් නැති නන් දෙඩවිල්ලකි එය.

    ඉතාම උත්ප්‍රාසාත්මක දෙය නම් මෙයයි. ඔබ, "කේවල ඒජන්තයෙක් මත වගකීම පැටවීම" වැනි අතිශය දේශපාලනික ලියවිල්ලක අග මනස්ගාත ආගමික රචනාවක් ගැන "ඔබේ අදහස්" විමසයි.

    රාමචන්ද්‍රගෙන් අභිධර්මය ගැන අහන්න වෙන තැනක් තිබුනෙම නැද්ද?

    - Dimithry

    ReplyDelete
  9. නියම කතාව දිමිත්‍රි ,මට තවම හිනා ,කොහොමටත් මේ පොලිස් පති තුමාගේ පින්තුරේ එතුමා නල්ලතම්බි වගේ එකටත් මම හිනා වේවි හිටියේ ,වදුරගේ මෝඩ වැඩ එච්චර තකන්න එපා !lol

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. රොෂෙන් ඝාතනයේ වගකීම ආරක්ෂක ලේකම් භාරගත යුතුයි!
    පෙත්සමට එකතුවන්න !
    http://www.facebook.com/pages/%E0%B6%BB%E0%B7%9C%E0%B7%82%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A-%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8-%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A-%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD-%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92/158676460865381

    ReplyDelete
  12. my great salute to this excellent article

    ReplyDelete
  13. පොලිසියට මෙවැනි දේ කිරීමට ආරක්ෂක ලේකම්, පොලිස්පති තබා OIC කෙනෙක්ගෙන්වත් සමහර විට අවසර අවශ්‍ය නැත. උදහරය්ක් ලෙස රාමචන්ද්‍ර පොල්ලක් ගෙන පොලිස් නිලදරියකුට පහර දෙන්නේ යයි සිතමු. අත අවියක් ඇත්නම් පොලිස් නිලදරියගේ ප්‍රතිච්රය කුමක්ද්යි අමුතුවෙන් කිව යුතු නැත.

    ඇරත් කැරලි මර්දනය ගැන උගත් කිසිම අයකු මෙවැනි නියෝගයක් දුන්න යයි සිතිය නොහැක.
    ආරක්ෂක ලේකම්, සරත් ෆොන්සේකා යන දේපලම ළදරුවන් නොවේ. දෙදෙනාම දරුණු තීරණ ගැනීමට පුරුදු පුහුණු කල අය වෙති. නමුත් ඔවුන් කැරලි මර්දනය ආදී යුධ ශිල්පය "විද්‍යාලයටම" ගොස් උගත් අය වෙති. මෙවැනි සේවක වර්ජන, විප්ලව වල එක අංගයකි (චේ ගුවේරා විසන් රචිත ගරිල්ලා යුධ උපක්‍රම).
    මේවට දරුණු ප්‍රතිචාර දැක්වීමට යාම සතුරාට උදව් දීමකි.
    මේ ගැන දන්නා කිසිම අයකු පොලිසියට මෙවැනි නියෝග දෙන්නේ නැත.
    නමුත් ශ්‍රී ලංකා පොලිසිය දරුණුය. පොලිසියට පහර දුන් විට ප්‍රති ප්‍රහාරය දෙන්නේ විනයක් ඇතුව නොවේ. නමුත් මේවා බොහෝ කාලයක සිට පොලිසියේ ලක්ෂණය. අලුත් ඒවා නම් නොවේ.

    ReplyDelete