Friday, May 27, 2011

හමුදා පුහුනුව හරහා පුරවැසියන් විනයගත කිරීම

මාතර දිසා අධිකරනයේ කේ.ඩී.එල්.සමන් කුමාර විනිශ්චයකාරවරයා පසුගිය 22 වන දින දරුනු පහර කෑමකට ලක්වූයේය.අධිකරනයේ සිට නිවෙස බලා යමින් සිටියදී සිය මග හරස්කොට තිබූ යතුරු පැදියක් ඉවත් කරගන්නා ලෙස ඔහු සංඥා කොට තිබුනි.අවාසනාවට යතුරු පැදිය හමුදා සොල්දාදුවෙකු සතු වූවක් විය.කෝපයට පත්වූ සෙබලා විනිශ්චයකාරවරයාට දිගට හරහට පහර දෙන්නට වූ බවත් තමා අධිකරන විනිසුරෙක් බව කියද්දීත් පහර දීම නොනැවතුනු බවත් ක්ෂනයෙන් එතැනට රැස්වුනු තවත් සෙබලුන් කන්ඩායමක් විනිශ්චයකාරවරයාට අඛන්ඩව බැට දුන් බවටත් පුවත් පත් වාර්තා කොට තිබුනි.හමුදා සෙබලුන් මාතර දිස්ත්‍රික් විනිශ්චයකාරවරයාට “නීතිය” ඉගැන්වූයේ එලෙසිනි.

සරසවි ප්‍රවේශය ලැබූ සිසුන් වෙනුවෙන් වූ “නායකත්ව පුහුනුවේ” සමාරම්භක උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත්වුනේ හරියටම ඉහත පහර දීම සිදුවූවාට පසුදිනය.එහි රැස්ව සිටි 3000 ක සිසුන් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කොට සිටියේ “යුද බිමේ විනය වැඩබිමට ගෙන යා යුතු” බවයි.විනයගත වනු වස් මෙරට ඇති වඩාත්ම සුදුසු ස්ථානය ත්‍රිවිධ හමුදාව බව එහිදී ජනාධිපතිවරයා නිවේදනය කලේය.මාතර අධිකරන විනිශ්චයකාරවරයාට විනය ඉගැන්වූ විනයගරුක හමුදාව දැන් මේ මොහොතේ රට පුරා තිබෙන හමුදා බැරැක්ක තුලදී සරසවියට තේරී සිටින දස දහසක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද විනය උගන්වමින් සිටී.

එස්.බී.දිසානායකගේ වචන වලින් කියනවා නම් ආන්ඩුවේ අභිලාෂය ලංකාවේ විශ්ව විද්‍යාල ජාත්‍යන්තරය සමග තරග කල හැකි මට්ටමකට ගෙන ඒමය.සරසවියට තේරෙන සිසුන් හමුදා බැරැක්ක තුල ගාල් කොට පුහුනු වැඩසටහන් කෙරෙන්නේ ජාත්‍යන්තරයේ කවර රටේ කවර ප්‍රාන්තයේදැයි දිසානායක පැහැදිලි කර නැත.මෙම පුහුනුව සම්බන්ධව දෙමව්පියන්ගෙන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් විවිධ මැසිවිලි නැගෙමින් තිබේ.පසුගියදා රූපවාහීනී සංවාදයකට සම්බන්ධ වූ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පෙරේරා මෙම පුහුනුවට සහභාගී වීම ප්‍රතික්ෂේප කරමින් සිය ආසනයේ එක්තරා මුස්ලිම් ශිෂ්‍යාවක් සිය දිවි නසාගැනීමට තැත් කල පුවතක් හෙලිදරවු කලේය.ශිෂ්‍යයන්ගේ කැමැත්තට පටහැනිව ඔවුන්ගේ අධ්‍යාපනයට මුලුමනින් බාහිර මෙවැනි පුහුනුවකට සහභාගී වීමට බල කිරීමෙන් රජය පැහැදිලිව සිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කොට තිබේ.අවාසනාවකට මෙම වැඩසටහන කල්තැබිමට හැකිදැයි “සලකා බලන ලෙස” සිදුවූ මෘදු දැනුම්දීමක් මිස අධිකරනය මේ පිලිබද මෙතෙක් ගත් කිසිදු ක්‍රියාමාර්ගයක් නැත.

ආන්ඩුවට අනුව මෙය සිසුන්ගේ “නායකත්ව හැකියා වර්ධන” පුහුනුවකි.මෙම ලියුම්කරුට අනුව අදාල ව්‍යාපෘතිය කුමක් වුවත් එය නායකත්ව පුහුනුවක් නම් නොවේ.සරසවි වලට ඇතුලත් කරගැනීමේ Z ලකුනු හෝ තවම නිකුත්වී නැත.අඩුම තරමින් තමා තේරී සිටින‍්නේ කුමන විශ්ව විද්‍යාලයේ කුමන පාඨමාලාවටද යන්නවත් මෙම සිසුන් තවමත් දන්නේ නැත.මෙවැනි පසුබිමක හදිසියේ මෙවැනි ආන්දෝලනාත්මක “නායකත්ව” පුහුනුවක් සංවිධානය කිරීමට බලධාරීන්ට සිතෙනුයේ කුමක් නිසාද?

මෙරට සරසවි වනාහි මුදානොගත් කලාප විශේෂයකි යන්න පසුගිය කාලයේදී බලධාරීන් මුවග පැවති සුලබ ප්‍රකාශයකි.කුමාර් සංගක්කාරගේ සිට රටේ යුක්තිය පසිදලන ඉහලම බලධාරීන් දක්වා සියල්ලන් අනුහස් සහිත රාජපක්ෂ ශ්‍රී නාමය ඉදිරියේ දමනයව සිටින සන්දර්භයක උන්වහන්සේගේ එම ආධිපත්‍යය ප්‍රශ්න කිරීමට තරම් නිර්භයත්වයක් පෙන්නුම් කල අතලොස්සක් පිරිස් අතර පසුගිය කාලයේ සරසවි සිසුහු ඉදිරියෙන් සිටියහ.මෙම සිසුහු තෘතීය අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ නව ලිබරල් ව්‍යාපෘතිය සංවිධානාත්මකව ප්‍රශ්න කල අතර  රටේ අනික් සෑම ක්ෂේත්‍රයකම විශාල සාර්ථකත්වයක් ලබා ඇති නව ලිබරල්කරන ක්‍රියාවලිය අධ්‍යාපනය සම්බන්ධව මන්දගාමී වූයේ සංවිධානාත්මක ශිෂ්‍ය විරෝධය හේතුවෙන් බව පැහැදිලිය.සරසවි “මුදාගැනීම” යනු මෙම ශිෂ්‍ය සංවිධානාත්මකභාවය දියකර දැමීම මිස අන් කිසිවක් නොවේ.

නවක සිසුන් මොල ශෝධනයකට ලක්කොට ඔවුන් තුල රාජ්‍යයට යටත් මනෝභාවයක් නිර්මානය කිරීම මිස ක්‍රියාවට නැගෙන නායකත්ව පුහුනුවේ ඇති වෙනත් අරමුනක් නැත.එකී මොල ශෝධනය වෙනුවෙන් දැන් රජය ස්වකීය සමස්ථ සුපිරි මිලිටරි බලය යොදවා තිබේ.යුදබිමේ විනය වැඩබිමට ගෙනයනවා යන්නේ අදහස කුමක්ද?බලධාරීන් සීරුවෙන් සිටින් කී විට ප්‍රශ්න නොකොට සීරුවෙන් සිටින,ගමනේ යා යැයි කී විට හරි වැරැද්ද නොවිමසා ගමනේ යන එහෙයියන් පිරිසක් බිහිකිරීම මිස අන් කවරක්ද? සංවිධානාත්මක ශිෂ්‍ය ව්‍යාපාරය සමග ඇති දේශපාලන ගැටුම පියවාගැනීමට මෙසේ අලුත සරසවියට තේරුනු සිසුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමෙහි ඇති යුක්තියුක්තභාවය කුමක්ද?රජය කල්පනා කරන්නේ පුරවැසියන් වූ කලී සිය ඕනෑම අන්තනෝමතික තීරනයක් ඉවසා සිටින,අවශ්‍ය ඕනෑම විටෙක ගුද සංසර්ගයට යොදා ගත හැකි දේශපාලන ඩමියන් පිරිසක් බවද?

සරත් ෆොන්සේකා ජනාධිපති වුවහොත් සිදුවන මිලිටරිකරනය ගැන එවකට මොර ගෑ ධම්ම දිසානායක පන්නයේ සිවිල් මහත්වරු මිලිටරිය බුද්ධිමතුන් හා විනිශ්චයකාරවරුන්ටත් ඉහලින් ස්ථානගත ශුද්ධ ආයතනයක් වීමේ වර්තමාන ඛේදවාචකය පිලිබද කරුනු පැහැදිලි කල යුතුය.




( 2011 මැයි 29 - ලංකා ඉරිදා සංග්‍රහය - රාමචන්ද්‍රගේ සටහන )

5 comments:

  1. "යුදබිමේ විනය වැඩබිමට ගෙනයනවා යන්නේ අදහස කුමක්ද?බලධාරීන් සීරුවෙන් සිටින් කී විට ප්‍රශ්න නොකොට සීරුවෙන් සිටින,ගමනේ යා යැයි කී විට හරි වැරැද්ද නොවිමසා ගමනේ යන එහෙයියන් පිරිසක් බිහිකිරීම මිස අන් කවරක්ද?"

    පාඨකයා ගේ ඇස් ඇරවීම පිලිබදව ඔබතුමාට මාගේ ස්තුතිය.

    ReplyDelete
  2. "සරත් ෆොන්සේකා ජනාධිපති වුවහොත් සිදුවන මිලිටරිකරනය ගැන එවකට මොර ගෑ ධම්ම දිසානායක පන්නයේ සිවිල් මහත්වරු මිලිටරිය බුද්ධිමතුන් හා විනිශ්චයකාරවරුන්ටත් ඉහලින් ස්ථානගත ශුද්ධ ආයතනයක් වීමේ වර්තමාන ඛේදවාචකය පිලිබද කරුනු පැහැදිලි කල යුතුය."

    ඒක නම් ඇත්ත. මිලිටරි පාලනය පිළිබඳ කාළකණ්නි බියක් මිනිසුන් තුළ ඇති කලේ ඒ දවස්වල ඉඩී අමීන් ගැන කියමිනි. ඊට බය වූවන්ට එයම ලැබීමනම් ඊටත් වඩා කාළකණ්නිකමකි.

    ReplyDelete
  3. @පාඨකයා ගේ ඇස් ඇරවීම පිලිබදව ඔබතුමාට මාගේ ස්තුතිය.

    දෙමල ජනසංහාරයට නම් කට්ටිය බොරුවට නිදි වගේ ඇස් වහගන හිටිය නේද ? පව් ජයශ්‍රී දැන්නේ ඇහැරිලා තියෙන්නේ !

    ReplyDelete
  4. @99වෙනි වදුරා

    ජයශ්‍රී කියපු දේ වරදවා වටහාගන්න එපා.එක් එක් ප්‍රශ්න වලට තියෙන්නේ එක් එක් උත්තර.(ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල්).ප්‍රජාතන්ත්‍රවාදීව විසදන්න උත්සහ කරල (කීප වතාවක්ම) බැරිම තැන තමයි කොටි ත්‍රස්තවාදයට මිලිටරි විසදුමක් දෙන්න සිදුවුණේ.නමුත් ජයශ්‍රී කියන්නේ විශ්වවිද්‍යාල වලට, එළවලු වෙලදාමට වගේ කුදුමහත් හැම කටයුත්තකටම ඒ විසදුම හරියන්නේ නෑ කියල.ජයශ්‍රී රාමචන්ද්‍රත් මහතා එක්ක එකග වුණ් ඒ කාරණයට.යුධ හමුදාව නොවන මුලු මහත් සමාජයම ඉහලින් එන නියෝග විචාරකින් තොරව පිලිගන්නා අය වීම භයානකයි.(බොහෝ දේශපාලන පක්ෂ/සංධාන වල තියෙන්නෙත් හමුදාවක තියෙන ඒ අණ පිලිපැදීමේ ක්‍රමයම තමයි.පුද්ගලිකව තමන් අකමැති යෝජනාවලටත් පක්ෂයේ/සංධානයේ තීරණ නිසා සමහරු එකග වෙන්නේ ඒනිසයි.)

    ReplyDelete
  5. menna jeppo kalaba welaa..... hoo hoo ai puhunuwa nathuwa thope rag eka kannada kiyanne... kaalakanni jaathiya

    ReplyDelete