Friday, May 13, 2011

සරසවි ආචාර්යවරුන්ට එරෙහිව ඇමති එස්.බී.ඊරියගොල්ල

ස්.බී.දිසානායක සීඝ්‍රයෙන් අයි.එම්.ආර්.ඊරියගොල්ල ගත් මග වෙත පිවිසෙමින් සිටින බව පසුගිය මැයි 05 දා මහවැලි කේන්ද්‍රයේදී පැවති සම්මන්ත්‍රනයක් අමතමින් ආචාර්ය සුමනසිරි ලියනගේ ප්‍රකාශ කොට තිබුනි.1965-70 රජයේ අධ්‍යාපන අමාත්‍යධූරය දැරූ ඊරියගොල්ල මෙරට ඉතිහාසයේ විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන් සමග විශාල ආරෝවක් ඇති කරගත්තෙක් ලෙස සැලකේ.පසුව ඩඩ්ලි සේනානායක රජයට විරුද්ධව සමගි පෙරමුනේ මැතිවරන වේදිකාවලට නැගීමට ආචාර්යවරුන් පොලඹවන හේතුවක් වන තරමට මෙම ප්‍රතිවිරෝධතාවය දිග්ගැස්සුනි.ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය සම්මුතිකාමීව විසදගන්නවා වෙනුවට ඔවුන්ගෙන් ගේම කෝල් කරන ප්‍රවේශයක් ගෙන ඇති එස්.බී.දිසානායක රාජපක්ෂ ආන්ඩුවේ ඊරියගොල්ල බවට පත්වෙමින් සිටින බව මෙසේ ප්‍රකාශ කරන ලියනගේ වනාහි පසුගිය මැතිවරන කාලවලදි රාජපක්ෂ ආන්ඩුවේ යහපත්භාවය පිලිබද සහතික නිකුත් කල ආචාර්යවරයෙකු වීම සිත්ගන්නා සුලු ලක්ෂනයකි.

කෙසේ වුවද එස්.බී.දිසානායක හෙලා දැකීමෙන් ඔබ්බට නොයා සිය කතාව අවසන් කිරීමට ලියනගේ ප්‍රවේශම් වී තිබුනි.දිසානායක යනු නියෝජිතයෙක් පමනක් බවත් ඔහු හරහා මේ ක්‍රියාවට නැගෙමින් තිබෙනුයේ “කම්කරු නායක” මහින්ද රාජපක්ෂගේ  ප්‍රතිපත්තිය බවත් සදහන් කිරීමට තරම් ඔහු ධෛර්යමත්ව තිබුනේ නැත.

මෙම ලිපිය ලියන මොහොත වන විට විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය මෙරට සරසවි පද්ධතිය අරාජක කරමින් පැතිර යමින් පවතී.සරසවි ආචාර්යවරුන් සතු සිවිල් බලය හේතුකොට ගෙන ජනමාධ්‍ය පවා මෙය වාර්තා කරන්නේ තරමක වෙනස් තාලයකිනි.සිය ඉල්ලීම් වෙනුවෙන් සටන් කරන ශිෂ්‍යයන්,වෙනත් කම්කරුවන් වෙත අලවන කඩාකප්පල්කාරී ලේබලය බුද්ධිමය සමාජයේ බලයක් සහිත ආචාර්යවරුන් වෙත ඇලවීම එතරම් පහසු නැත.

කෙසේ වුවද එම අපහසුවද නොතකා එස්.බී.දිසානායක මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුපස අදිසි දේශපාලන හස්තයක් පවත්නා බවට ප්‍රකාශ කොට තිබුනි.ස්වේච්ඡා තනතුරු වලින් ඉවත් වන ආචාර්යවරුන් දඩයම් කරන චක්‍රලේඛයක් දැනටමත් නිකුත් වී ඇත.එසේ තනතුරු වලින් ඉවත් වන ආචාර්යවරුන්ට “වැඩ වරදිනු” ඇති බවටත් අමාත්‍යවරයා පවසා තිබේ.පේරාදෙනියේදී තමන්ට හූ කියූ ශිෂ්‍යයන් සමග ගනුදෙනු බේරාගත් ශෛලියම ආචාර්යවරුන් සමග අභිමුඛ විමටත් අමාත්‍යවරයා යොදාගෙන තිබෙන බව පැහැදිලිය.

සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ මොහොතේ යටත් පිරිසෙන් ආකාර දෙකකින් වැදගත් වන්නකි.පලමුව සරල වෘත්තීය සමිති තේරුමකින් ගතහොත් යුක්තිසහගත වැටුපක් සදහා වූ මෙම සටන සාධාරන එකකි.දෙවනුව මෙය මේ මොහොතේ රජය විසින් ඉදිරියට ගෙන තිබෙන ජාතිහිතෛශී මහෝත්සවය දේශපාලනිකව මුහුනට මුහුන ලා අභියෝගයට ලක්කරන්නකි.

ස්වකීය අකාර්යක්ෂමතාවය සගවනු වස් පාලකයන් “බඩ වෙනුවට රට” සටන්පාඨය නැවත මහා පරිමානව එලියට ගැනිම ආරම්භ වන්නේ බැන් කී මූන්ගේ වාර්තා‍වේ සිදුවීමත් සමගිනි.දරුස්මාන්ට එරෙහිව පිටකොටුවේ සිට අත්සන් දස ලක්ෂයක් එකතු කිරීම,දරුස්මාන්ට බැන වදින ප්‍රවෘත්ති සිරස්තල එකදිගට පල කිරීම යනාදිය මගින් සමාජයේ රනකාමී ආනන්දය නොනිවා පවත්වා ගැනීමට රජය උපරිම උත්සාහය යොදමින් සිටී.”බඩ වෙනුවට රට” සටන්පාඨයේ රට යනු පාලකයන්ට හා බඩ යනු සමාජයට යෙදෙන පර්යාය වචන දෙකකි.මින් සමාජයට දෙන සැබෑ පනිවුඩය පාලකයන්ගේ අභිවෘද්ධියේ නාමයෙන් තම තමන්ගේ ප්‍රශ්න ගැන නොසිතා පාලකයන් සමග එක්සත්ව සිටිනු යන්නයි.

මෙවැනි සන්දර්භයක තමන් රට (පාලකයන්) ගැන නොව බඩ (තමන්ගේ ජීවන ප්‍රශ්න) වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බව කීමට එක්තරා සමාජ කන්ඩායමක් නිර්භීත වී තිබේ.සරලව යුක්තිසහගත වැටුපක් හරහා තමන්ට හිමිවිය යුතු සමාජ ගෞරවය දිනාගැනීම මෙම සටනට සම්බන්ධ වන බොහෝ ආචාර්යවරුන්ගේ අභිලාෂයයි.නමුත් සමස්තයක් ලෙස මෙකී ක්‍රියාවලියේ දේශපාලන වැදගත්කම ඊට වඩා ගැඹුරුය.රැවටීමට ලක්ව තිබෙන එකම සමාජ කොටස සරසවි ආචාර්යවරු පමනක් නොවෙති.පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුප් ලබාදීම යන ආකර්ශනීය පාඨයට මුවාවී එක් අතෙකින් සිය මූල්‍ය අර්බුදය විසදා ගනු වස් අරමුදල් සම්පාදනයක රජය යෙදී සිටී.අනෙත් අතින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම පිලිබද ප්‍රතිඥා සියල්ල කඩ කෙරී තිබේ.වතු අංශයේ වැටුප් සටනක ගිනි පුලිගු අලු යට දැල්වෙමින් පවතී.

1980 ට පසු මෙරට වෘත්තීය අරගලයන්හි කොදු බිද දැමීමට රාජ්‍යය විසින් වරෙක ප්‍රචන්ඩත්වයත් තව වරෙක ජාතිහිතෛශී බැනර් එසවිමත් වරින්වර යොදාගෙන තිබේ.2008 ජූලි වලදී ඔප්පු වූ පරිදි මින් වඩාත් සාර්ථක ක්‍රමවේදය ජාතිහිතෛශී බැනර් ප්‍රවේශයයි.ජාතියේ ආරක්ෂාව නම් වූ පාරභෞතික අදහස වෙනුවෙන් සිය සැබෑ ජීවන ප්‍රශ්න අමතක කරනු වෙනුවට ඒ වෙනුවෙන් සටන් වැදීම හරහා වැදගත් සංඥාවක් ආචාර්යවරුන් විසින් නිකුත් කොට තිබේ.මෙකී සංඥාව අනෙකුත් සමාජ කොටස් ග්‍රහනය කරගන්නේ නම් පාලකයන්ගේ ජාතිහිතෛශී බැනර ඉරී යාම හුදෙක් කාලය පිලිබද ප්‍රශ්නයක් පමනක් වනු ඇත.

9 comments:

  1. විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන් මෙරට ජිවත් වෙන වැදගත්ම බුද්ධිප්‍රභවයකි. දිර්ඝ කාලයක් පොත පත හා සිමිත සමාජතලයකට නිරාවරණය වන ඔවුනගෙ සිතුම් පැතුම්ද අමුතුය. මෙවැනි සජිවි බුද්ධිමය සම්පත් හැල්ලුවට ලක් කරමින් රට තුල පවත්නා සංසරණයන් එක ලක්ෂයකට නාභිගත කිරිමෙ මෙහෙයුම් සැමදා කළ නොහැක. මෙවැනි බුද්ධිමය සම්පත් නිවැරදිව හැසිරවිමෙන් රට ඉදිරියට ගනු නොහැර තමන්ගෙ මිමුණුබුරන් වෙනුවෙන් සම්පත් රැස්කිරිම විනා මොවුන් හට වෙන කිසිදෙයක් දෙශපාලන තන්ත්‍රය තුල කල නොහැක.රටේ බහුතරයද දුෂනයට, අල්ලසට ගැතිව බලයට ආවඩන කල ඉහතකී සංඥාව පුස්සක් වන ඇත.

    ReplyDelete
  2. හොට අනිද්දාට සරසවි සියල්ල පුදගලික අංශයට විකුනාදමා එය ඉතා දේශප්‍රේමී ප්‍රගතිශීලී පියවරක් ලෙසත් කාලීන අවශ්යතාවයක් ලෙසත් සියලු ජනමාධ‍ය වහලුන් ලවා නිරන්තරව කියවමින් එය සාධාරණීකරනය කරනු ඇත. එවිට මෙරට මෝඩ ජනතාව මෙන්ම නිවට බුද්ධිමතුන්ද, සංඝයාවහන්සේලාද සරසවි විකුණාදැමීම නිහඬව අනුමතකොට වෙනතක් බලාගන්නවා ඇත.

    ReplyDelete
  3. සරසවි ආචාර්යවරුන්ගේ අරගලය සාධාරණය.ශ්‍රී ලංකාව තුන්වන ලෝකයේ අනෙකුත් රටවල් අතර කැපීපෙනෙන්නේ,ආර්ථිකය අතින් විශාල පසුබෑමකට ලක්ව සිටියත් අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්ෂේත්‍ර වලදී අප අනෙක් බොහෝ රටවලට වඩා ඉදිරියෙන් සිටින නිසාය.නමුත් ජාතියේ මානව සම්පත ගොඩනගන සරසවි ආචාර්ය වරුන්ට නිසිවැටුපක් දීමට රජය අසමත් නම් එහි ඛේදජනක ප්‍රතිපලය වන්නේ මෙම ආචාර්යවරු විශ්වවිද්‍යල ක්ෂේත්‍රයෙන් හෝ මෙරටින් පිටවීම නිසා සිසුපරපුරට ඔවුන්ගේ වටනා සේවය නොලැබීයාමයි.මක්නිසා ද සරසවි ක්ෂේත්‍රයෙන් පිට හෝ විදෙස් රටකදී ඔවුන්ට ආකර්ශනීය වැටුපකට හිමිකම් කීමට හොදටම හැකියාව ඇති බැවිණි. දීර්ගකාලීනව මෙමගින් රටේ දියුණුවට සිදුවන බලපෑම ව්ශාලය.රජය මේ පිලිඹදව වගකීමෙන් කටයුතු නොකලහොත් රටේ අධ්‍යපනය ද බිදවැටී ලෝකය තුල අප තවත් කොන්වී යනු ඇත.

    ReplyDelete
  4. සරසවියක් වශයෙන් හඳුන්වන්නේ නිදහස් උසස් අධ්‍යාපන ආයතනයකි. නිදහස් වශයෙන් හඳුන්වන්නේ කිසි කෙනෙකුට ඇඟිලි ගැසිය නොහැකි යන මතය බව මගේ අදහසයි. 1967 වසරේ ඊරියගොල්ල මහතා පනත් කිහිපයක් ඉදිරිපත් කලේය. එකක් වූයේ එවකට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය, කොළඹ, නමින් තිබූ ආයතනය කොලඹ විශ්ව විද්‍යාලය යනුවෙන් නම් කොට වෙනක් ආයතනයක් බවට පත් කිරීමයි. පේරාදෙනියේ තිබෙන විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය නමින් නම් කිරීමයි. අවාසනාවකට මේ සිද්ධිය වන විට මම වෛද්‍ය අංශයේ ශිෂ්‍යයෙක් වීමි. අපි ඇතුලු වූයේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයටය. කොලඹ විශ්ව විද්‍යාලයට නොවේ. අපිට තිබූ සියලු අයිතිවාසිකම් ඉබේම වාගේ පේරාදෙනියේ විශ්ව විද්‍යාලයට පැවරුණි. එයින් වෛද්‍ය ශිෂ්‍යයෝ වියරු වැටුනහ. ඒ වසර ගනණක් පුරා ලෝකප්‍රසිද්ධ ශ්‍රී ලංකා වෛද්‍ය වරු උපයා ගත් අධ්‍යාපනික විශේෂතා නිකම්ම වෙනත් ආයතනයකට ගැනීම නිසාය. වෛද්‍ය ශිෂ්‍යයෝ ඒ වෙන තෙක් වැඩ වර්ජනය හෙලා දුටහ. ඒ බලවත් පහරින් කුපිත වුනු වෛද්‍ය ශිෂ්‍යයෝ ආචාර්ය මණ්ඩලයේ සහාය සමගින් වැඩ වර්ජනයකට එළඹුණහ. රාත්‍රි කාලයේ නන්දදාස කෝදාගොඩ මහචාර්ය රාජසූරිය වැනි ආචාර්ය වරු කොලඹ විශ්ව විද්‍යාල භූමියට පැමින සිදුවන්නේ කුමක්දැයි විමසූහ. වැඩ වර්ජනයට එකතු වූවන් අතර ඊරියගොල්ල මහත්මයාගේ පුත්‍ර රත්නය, දේවා ඊරියගොල්ල මහත්මයා ද වූයේය. නම් වශයෙන් සඳහන් කර ඇති කිසිවෙක් අද ජීවතුන් අතර නැත. අවසානයේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලවල උපාධි පිටරටවල විශ්ව විද්‍යාලවලින් පිලිගැනීම නතර කිරීම දක්වා මේ සිදුවීම දුර දිග ගියේය. දිසානායක මහතාගේ කරනමෙන් විශ්ව විද්‍යාල මොන සැඩ පහරකට අසුවේදැයි සිතාගත නොහැක.

    ReplyDelete
  5. පැහැදිලි සත්‍යයකි. නමුත් මෙහි තවත් පැත්තක්ද තිබේ. සරසවි තියන්නේ උගන්වන්න විතරක් නෙමේ කෝ ලංකාවේ පර්යේෂණ මේ දිසානායකලා දන්නවද පර්යේෂණ නැති විශ්ව විද්‍යාල ගැන. ඔබ දන්නවද ලංකාවේ පර්යේෂණ අරමුදලක් හදාගන්න කී දෙනෙක්ට කඩේ යන්න ඕනෙද? සරසවි අක්‍රීය රටක සංවර්ධනය කියන්නේ මොකක්ද. පාරවල් හදන එකද? වහාම කල යුත්තේ සරසවි ආචාර්ය්‍ය වරුන්ගේ වැටුප් පමණක් නෙමෙයි පර්යේෂණ දීමනා ඇතුළු සියළු දීමනා වැඩි කරලා ඔවුන් රටේ සංවර්ධනයට දායක වෙන විදියට වැඩ කිරීම නේද?

    ReplyDelete
  6. ල0කවෙ ගොඩක ඈමතිවරු පිස්ස0කොටුඑ ඉන්නඔන ජාතියෙ,(හොද මිනිස්සුත් ඉන්නවා).
    මෙතුමාත් ඵ්ජාතියෙ තමා.මෙයා මෙහෙම වෑඩිපුර දගලලා ආන්ඩුවත් අපහසුතාවයට පත්කරලා අගමෑතිකමේ තරහා පිරිමහගන්නවද කොහෙද.

    ReplyDelete
  7. ඔය මහචාර්ය ආචාර්ය වරු අහිංසක මිනිස්සු වෙනුවෙන් මොන ඉටි ගෙඩියක්ද කරල තියෙන්නෙ. කරල තියෙනවනම් එකම දෙයයි. ඒ තමයි ඡන්ද කාලෙට මහ එවුන් වෙනුවෙන් මිනිස්සුන්ව රවට්ටන එක. ඉතින් එයාලගෙන් ඉගෙන එන අය තමයි රට කරවන්නෙත්. එස්බී ත් එහෙම කෙනෙක්නෙ. බොරු විද්වත් කයිවාරු මිසක් ඇත්තෙන්ම රටේ පොඩි මිනිස්සුන්ට මොකක්ද මේ වෙනකම් මෙයා‍ලගෙන් හෝ මෙයාල බිහිකල අයගෙන් වෙලා තියෙන්නෙ. වෙලා තියෙන එකම දේ තමයි හැමදාම එයාලත් ඇතුඵවන සුඵතරයකට සැප විඳින්න සාමාන්‍ය මිනිස්සු හූරා කන එක විතරයි. ලංකාව ලෝකය ඉදිරියට ගෙන ගියාට වැඩක් නෑ. ඒ රට තුළ ජීවත්‍ වෙන්නෙ අන්ත පීඩාවට පත්වෙන මිනිස්සුනම්. රටේ බහුතර මිනිස්සු සැනසීමෙන්, සතුටින් නම් ලෝකය ඉදිරියට ගියාට වඩා ඒක හොඳයි. රට කියන්නෙ මිනිස්සු කියන කොටස අත්හැරලද? නැත්නම් මිනිස්සු කියන්නෙ උගත්තු, දේශපාලකයො වගේ සිවිල් බලයක් ඇති අය විතරද? ඉතින් අනෙක් අයට වඩා දැන උගත් අය කරන්න ඕනි නූගත් අහිංසක මිනිස්සු වෙනුවෙන් සේවය කිරීම නෙවෙයිද?
    හැමදාම මිනිස්සුන්ව සූරාගෙන කන පාලකයින් එක්ක මැතිවරණ කාලෙට සංධානගත වෙලා පස්සෙ කොහොම හරි තමන්ගෙ මල්ල පුරවගැනීම සාධාරණයි කියලද කියන්නෙ. ඇත්තෙන්ම මෙයාල හරියට හිටියනම් දවසින් දවස මේ විෂමතාවයන්, ඇති නැති පරතරයන් ඉහළ යන්නෙ නෑ. මෙයාලගෙ පඩි වැඩි කරන්න ආණ්ඩුව කෙළින්නෙ අහිංසකයගෙ පත් පතට කෙළල කියල රාමචන්ද්‍රටත් පෙනෙන්නෙ නැතිව ඇති. ඇත්තෙන්ම සාධාරණ වෙන්නෙ දැන්වත් හැමදාම අසාධාරණයට, සූරාකෑමට ලක්වුණු අහිංසක මිනිස්සු වෙනුවෙන් දැන්වත් ආත්මාර්ථකාමී බවින් මිදිල කටයුතු කිරීමයි.

    ReplyDelete
  8. Menna sarasawi gena BOONDI site eke thiboona articles. Read and comment.

    1.ADAHAS BOONDIYA අහෝ... "සරසවි දේවී...!" | ආරියනන්ද සමරසිංහ http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtCat=ADAH&ArtID=1670

    2.ADAHAS BOONDIYA විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් කන්‍යාවන් ද? | ගාමිණී වියන්ගොඩ http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtCat=ADAH&ArtID=1220

    3.ADAHAS BOONDIYA 'හොත් පොර'(ණ) ඇදුරු වත| මහාචාර්යවරු හිටගෙන කරන විට චූලාචාර්යවරු දුව දුව කරති!!
    http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtCat=ADAH&ArtID=979

    4. ADAHAS BOONDIYA සීටීබී-බස් ඩිපෝවක හැදූ සාහිත්‍ය විචාර සිල-බස් http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtCat=ADAH&ArtID=642

    5. ADAHAS BOONDIYA සරසවි රැස්වීම් ශාලා වල ඉඩකඩ ප‍්‍රශ්නයට තවමත් විසඳුම් නෑ | රංජිත් අමරසිංහ http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtCat=ADAH&ArtID=1822

    ReplyDelete
  9. සරසවි ආචාර්යවරුන්ගේ සටනට පසුවදනක්

    This article gives a good answer written by Amila Gunarathna


    අමිල ගුණරත්න

    වැඩි පඩි ඉල්ලා සරසවි ආචාර්යවරුන් මෑතකදී එලියට බැස්සෝය. ඔවුන් එසේ එලියට බැස්සේ සරසවි සිසුන්ට හෝ මෙරටේ ජනතාවට ඇති ආදරයකින් නොවන බව අප දනිමු. ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය කඩා වැටී තිබේ. ලංකාවේ විශ්ව විද්‍යාලවල සිසුන්ට පුස්තකාල , සෞඛ්‍ය , ක්‍රීඩා යනාදී පහසුකම් නොව පෙට්ටි කඩෙන් ලාබෙට ගන්නා ඉටි කොලේ ඔතපු එක ව්‍යංජනයේ නීරස බත් එක කා අත හෝදගන්නට හරි හමන් ටැප් එකක් පවා නැත. එවැනි පහසුකම් සිසුන්ට ඇති කර දීමට සරසවි ආචාර්යවරුන් එලියට බැස්සේ නැත. එලියට බැස්සේ තමන්ගේ ආත්මාර්ථකාමී අභිලාෂයන් සඳහාය.


    පිටරට විශ්ව විද්‍යාල වල මෙන් ලංකාවේ විශ්ව විද්‍යාල වල සරසවි ආචාර්යවරු සහ සරසවි සිසුන් අතර දැනුම , අනාගත වෘත්තිය දැනුම වර්ධනය කර ගැනීමේ කතිකා නැත. ඇත්තේ හූව, කැලෑ පත්තර සහ ගුටි ඇන ගැනීමේ සන්නිවේදන කලාවයි. එම නිසා අපේ විශ්ව විද්‍යාල වලින් ගැඹුරු මිනිසුන් බිහි වෙන්නේ නැත. ලිංගික අසහනය , පන්ති වෛරය සහ හීනමානය යන තුන් කලාව පිරි ඇති ලංකාවේ විශ්ව විද්‍යාලවලවලට සුදුසුකම් ලැබුවද දැන් ඇති හැකි එවුන් එන්නේ නැත. උන් යන්නේ ඇමරිකාවේ , ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවලටය. හීනමානය සහ අසහනය ඇති එවුන් සිත් සේ නවක වධ කියා අමු අමුවේ මිනිසුන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කරති. (මෙවැනි පරිසරයක් විශ්ව විද්‍යාලවල තිබීම ජෙප්පන්ට නම් කල්ල මරේය) ඒවා නැවැත්වීමටවත් සරසවි ආචාර්යවරුන්ට දැක්මක් නැත. අන්තිමේදී එයත් භාර ගත්තේ මිලිටරියයි. ලංකාවේ විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණි ගත කිරීම අනුව සාක්ෂරතාවය අඩු අප්‍රිකාවේ රටවල විශ්ව විද්‍යාල වලටත් වඩා පසු පස සිටින නිසා පෞද්ගලික අංශයේ රැකියා පවා ලැබෙන්නේ බටහිරට ගොස් ව්‍යාපාර කළමනාකරණය ඩිප්ලෝමාවක් හෝ ලබාගත් තැනැත්තාටය. අවශේෂයන් ඉසුරුපාය හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ගොඩනැගිල්ල ඉදිරියට ගොස් පිනට ආණ්ඩුවෙන් රැකියාවක් දෙන තුරු උපවාස කාල යුතුය. ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන් 40,000 රැකියා දුන් නමුත් ඔවුන්ගෙන් රාජ්‍ය කාර්යක්ෂමතාවට වූ පිටුවහලක් නැත. ගිරා දැනුම මිස ප්‍රයෝගික දැනුම බහුතරයකට නැත. මෙය අමිහිරි නමුත් සත්‍ය යථාර්තයයි.

    ලංකාවේ විශ්ව විද්‍යාලවල මෙවැනි පහත් තත්වයකට වැටී ඇති බව එස්. බී පමණක් නොවේ රජතුමාද හොඳින් දනියි. එම නිසා එලදායිතාවක් නොමැති අපගේ විශ්ව විද්‍යාල තව අවුරුදු පහක් වසා තැබුවත් එය රටට පාඩුවක් නොවන බව මේ දෙපොල හොඳින්ම දනිති. එම නිසා අවශ්‍ය වුවහොත් විශ්ව විද්‍යාල තව අවුරුදු පහක් වුවද වසා තබන බව එස් .බී පාරම් බෑවේය. වෙනත් රටක ඇමතිවරයෙක් (විශේෂයෙන් උසස් අධ්‍යාපන ඇමතිවරයා ) එසේ කිවේ නම් මුළු විශ්ව විද්‍යාල ප්‍රජාවම විරෝධතාව දැක්වීමට ඉඩ තිබුණි. නමුත් ලංකාවේ විශ්ව විද්‍යාලවල කෙරෙන්නේ සහ තමන්ද කරන්නේ බොරුව බව සරසවි ආචාර්යවරු දනිති. එම නිසා එස් බී ගේ කතාවට කිසිම විරෝධතාවක් නාවේය.

    සරසවි ආචාර්යවරුන් තමන්ගේ පර්මිට් වාහනයට දක්වන්න සැලකිල්ලෙන් සහ අවධානයෙන් සියයට එකක් තමන්ගෙන් ඉගෙන ගන්නා සරසවි සිසුවාට යොමු කළේ නම් ලෝක ශ්‍රේණි ගත කිරීම අනුව ලංකාවේ විශ්ව විද්‍යාල මෙතරම් පහලට වැටෙන්නේ නැත. බොහෝ සරසවි ආචාර්යවරුන් තමන්ගේ ළමුන්ව උසස් අධ්‍යාපනය සදහා ඇමරිකාවේ , ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවලට යැවීමට සැලසුම් හදනවා මිස තමන් උගන්වන විශ්ව විද්‍යාල වලට තම දරුවන් ඉගෙන ගැනීමට එනවා දැකීමට අකමැතිය. ඊට හේතුව මෙතන සිදුවන්නේ බොරුව බව හොඳාකාරවම දන්නා බැවිනි.

    සරසවි ආචාර්යවරු උගන්වන්නේ පරණ දැනුමය. ඔවුන් අලුතින් යමක් නොකියවති. ටියුෂන් දීමට හා දේශපාලන පක්ෂ වලට කඩේ යාමට තිබෙන නිසා එසේ කියවීමට කාල වේලාවද නැත. තමන්ගේ ගුරා තමුන්ට දුන් නෝට්ස් ටික ගෝලයන්ට දෙති. ගෝලයන්ද ඒවා ගිරවුන් මෙන් කටපාඩම් කර ගනිති පරිගණක යුගයට ගැලපෙන නවීකරණයක් නැත. යමක් අධ්‍යනය කරන්නේ හෝ බුද්ධි කලම්බනයක් ප්‍රොජෙක්ට් එකක් කිරීමට හෝ උත්සහයක් නැත. වෙනත් රටවල විශ්ව විද්‍යාල වල මෙන් තමන් උගන්වන විෂයේ විෂය පාඨමාලා ප්‍රසිද්ධ කරන්නේ නැත. ඒවා රස රහස් ය. ඇතැම් සරසවි ආචාර්යවරු සිසුන් ගේ ප්‍රශ්න පත්‍ර ලකුණු කරන ක්‍රමය අපුරුය. කාමරයේ විදුලි පංකාව උපරිමයට දමා පිළිතුරු පත්‍ර උඩ දමති. මධ්‍යට වැටෙන පිළිතුරු පත්‍ර වලට වැඩි ලකුණුද ඈතට පාවී යන ඒවාට අඩු ලකුණුද ලැබේ. බොහෝ විට පන්ති සාමාර්ථයක් ලැබීමට ආචාර්යවරයා සමග යහන් ගතවිය යුතුය. සමහර කථිකාචාර්යවරු සිසුවියන්ගෙන් ප්‍රසිධියේ ලිංගික අල්ලස් ඉල්ලති. වැඩි පඩි ඉල්ලා මිස විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය වර්ධනය කිරීමට සහය වෙයව් කියා සරසවි ආචාර්යවරුන් එලියට බසින්නේ නැත. එසේ ගුණාත්මකබව වැඩි කිරීමට ඔවුන්ට උවමනාවක් ද නැත. අවසානයේදී අයිවෝ ජෙනිග්ස් සහ අයිවෝ ඩෙනිස් අතර වෙනස නොදන්නා බුද්ධිමය අතින් ලාමක ගිරා පෝතකයන් පරපුරක් පමණක් බිහි කිරීමට දායක වී තිබේ. මෙය අද දවසේ අපි හමුවේ ඇති කටුක සහ විපරිත සත්‍යයි.

    ReplyDelete