Sunday, April 3, 2011

ගාමිනී හත්තොටුවේගම ගැන / On Gamini Haththotuwegama


ආචාර්ය හත්තොටුවේගම
ලෝක නාට්‍ය දිනය වෙනුවෙන් ගාමිනී හත්තොටුවේගම අනුස්මරන නාට්‍ය දැක්මක් පසුගිය මාර්තු 27 වෙනිදා සවස බෞද්ධාලෝක මාවතේ සුදර්ශියේදී පැවැත්වුනා.එම උලෙල පිලිබද දැනුම් දෙමින් කොලඹ නගරය පුරා ඇලවුනු පෝස්ටර් දින කිහිපයක් තිස්සේ ප්‍රදර්ශනය වුනා.

අදාල අනුස්මරන නාට්‍ය දැක්ම 27 සන්ධ්‍යා යාමයේදී පැවැත්වුනු අතර රෑ බෝ වන තුරු සැලකිය යුතු පිරිසක් එම අවස්ථාව සමග රැදී සිටියා.හත්තොටුවේගම විවෘත වීදි නාට්‍ය කන්ඩායමේ නාට්‍ය දැක්මකට අමතරව එදින න්‍යාය පත්‍රයේ අවසාන කොටස ලෙස ගාලු නඩය වීදි නාට්‍ය කන්ඩායමේ ඉදිරිපත් කිරිමක්ද දැකගන්නට ලැබුනා.

මේ ඒ ආශ්‍රිත අසංවිධානාත්මක සිතුවිලි සටහනක්.

වීදි නාට්‍ය - ජන කලා සම්ප්‍රදායේ දිගුවක්

ලංකාවට විදි නාට්‍ය කලාව හදුන්වා දුන් පුරෝගාමියා වනුයේ ගාමිනී හත්තොටුවේගම.හෙතෙම පේරාදෙනි සරසවියේ මුල් යුගයට අයත් ඉංග්‍රීසි සාහිත්‍යය පිලිබද කථිකාචාරයවරයෙක්.මුල්කාලීන පේරාදෙනිය යනු - ගුනදාස අමරසේකර සිය නවකථා වලින් හෙලි කරන පරිදි - කුල්ටූර් ඇකඩමියක්.එනම් බ්‍රිතාන්‍ය ජෙනිංසියානු පන්නයේ සම්ප්‍රදායකින් දැඩිව ශික්ෂනය කරන ලද්දක්.හත්තොටුවේගම අයත් වනුයේ සිංහල පමනයි පෙරලියට පෙර - ඉංග්‍රීසි භාෂිත බුද්ධිමය පරම්පරාවට.

වීදි නාට්‍ය යනු කුමන අතින් බැලුවත් සාම්ප්‍රදායික රංග කලා මාධ්‍යයන්ට විකල්ප අත්හදා බැලිමක් බව පැහැදිලියි.සුවපහසු ආසන මතට වී,රංගය සදහා උචිත ලෙස සැකසූ වේදිකාවක නාට්‍ය කෙරෙහි උනන්දු සහෘද සභාවක් ඉදිරියේ මෘදු ලෙස කෙරෙන රංගනයකට වඩා,මහ පාරේ,සමහර විට දැඩි අවු රශ්මිය මධ්‍යයේ,නාට්‍යලෝලී හා ඇතැම් විට නාට්‍ය පිලිබද අබමල් රොනක දැනුමක් නොමැති ජනී ජනයා ගේ එකතුවක් ඉදිරියේ කෙරෙන රංගනයක් - එය සපුරා වෙනස් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ස්වභාවය අතින් වීදි නාට්‍ය හදුන්වා දිය යුත්තේ එක්තරා ආකාරයක නූතන ජන කලා විශේෂයක් ලෙස.

ජනකලාව හා සම්භාව්‍ය කලාව

සම්භාව්‍ය කලාව හා ජනකලාව අතර බෙදුම් ඉරට විශාල අතීතයක් තියෙනවා.අතිරික්ත නිෂ්පාදනයක් නොතිබුනු ප්‍රාථමික සමාජවල සම්භාව්‍ය කලාවක් යනුවෙන් දෙයක් තිබුනේ නැහැ.නමුත් අතිරික්තයක් බිහිකරන තැනට වර්ධනය වෙලා,මිනිස් සමාජ පංතිවලට බෙදුනාට පස්සෙ කලාව,සාහිත්‍යය යනාදිය ගැන ගැඹුරට හැදෑරීමේ මානසික විවේකය ලැබෙන්නේ ප්‍රභූ ජනයාට.ගැඹුරු කලාත්මක ගවේෂනයක් ගැබ්කරගත් සම්භාව්‍ය නිර්මාන මේ අනුව ප්‍රභූ පාංතික සමාජ තලය ඇසුරු කරගෙන බිහිවෙනවා.එවැනි මානසික විවේකයක් රහිත,කායික ශ්‍රමය හෙලීමේ ඉරනමට ලක්කරල තිබුනු පොදු ජනයින් අතර වින්දනය සදහා නිපදවුනු කලාවට ජන කලා යැයි කියනවා.

විය යුතු පරිදිම සම්භාව්‍ය කලාවන් සමග සසදන විට ජනකලාවන් සරලයි.සමුද්‍රඝෝෂ විරිත වගේ කලාත්මක අර්ථයෙන් සුවිශිෂ්ට ප්‍රයෝග ගැන ජනකවියා දැනගෙන හිටියෙ නැහැ.ජනකලාවන් අභ්‍යාස කලේ පොදු සමාජයෙන් වෙන්ව ජීවත් වූ වෙනම කලා විශේෂඥයන් පිරිසක් වෙනුවට පොදුජනයාමයි.තමන්ගේ එදිනෙදා ජීවිතයේදී වින්දනය සදහා පොදුජනයා යොදාගත්ත මෙවැනි ඇතැම් කලා ප්‍රකාශනයන් ඇතැම් අවස්ථාවල ග්‍රාම්‍ය ස්වභාවයක් ඉසිලුවා.රාජසභා තක්සලා අධ්‍යාපනය හරහා කලාව පිලිබද හැදෑරීමක් සහිතව ශික්ෂනය වුනු ප්‍රභූන් අතර සම්භාව්‍ය කලාව ව්‍යවහාර වෙද්දි එවැනි හැදෑරීමකට අවස්ථාව නොලද පොදු සමාජය ජනකලාවෙන් වින්දනයක් ලැබුවා.

වීදි නාට්‍ය කලාව ජන කලාවක් වනුයේ මූලික වශයෙන් ඉන් ආමන්ත්‍රනය කෙ‍රෙන්නේ පොදු ජනතාව වන නිසා.එහි ප්‍රේක්ෂකාගාරය ලයනල් වෙන්ඩ්ට් ශාලාවට නොඑන,නාට්‍ය රංගයේ ගැඹුරු ආස්වාදය නොදත්,එවැනි කලාකෘති පිලිබද ඇසුරක් ශික්ෂනයක් ලැබීමේ අවස්ථාව අහිමි කරනු ලැබූ පොදු සමාජයයි.වීදි නාට්‍ය කලාව හුදු ජන කලාවක් නොවී “නූතන” ජනකලාවක් වෙන්නේ ඇයි?පැරනි ජන කලාවන්ට වෙනස්ව මෙහිදී නාට්‍යය රගදක්වන්නේ ඒ සදහා වෙනමම පුරුදු වූ ශිල්පීන් පිරිසක්.පැරනි සමාජවල නොතිබුනු ශ්‍රම විභජනයක් මෙහිලා පවතිනවා.

ඉංග්‍රීසිය හා හත්තොටුවේගම

මෙම පසුබිම තුල හත්තොටුවේගමගේ විශේෂත්වය - මෙම ලියුම්කරුට අනුව - වීදි නාට්‍ය නම් ජනකලා විශේෂය බහුමානීය එකක් බවට පත්කිරීමයි.සරල ඒකමානීය ජනකලාවක් වෙන්නට ඉඩ නොදි හත්තොටුවේගම හදුන්වා දෙන වීදි නාට්‍ය කලාව මානයන් රාශියක් ගැබ්කරගත්තක්.

හත්තොටුවේගම නාට්‍ය කන්ඩායමේ රංගය ආරම්භ වෙන්නේ අමෙරිකානු ගායක බොබ් ඩිලන් විසින් ගැයූ Blowing in the wind ගීතය සිංහලයෙන් හා දමිල බසින් ඉදිරිපත් කිරීමෙන්.පැරනි සමාජවල කලාව පිලිබද ඉගෙනිම ප්‍රභූ පංතිවල වරප්‍රසාදයක් වුනේ යම් සේද වර්තමාන ලංකාවේ ඉංග්‍රීසිය යනු ඉහල සමාජ පංති වල වරප්‍රසාදයක්.ඉංග්‍රීසි භාෂාවට මේ නිසා එක්තරා ආකාරයක ප්‍රභූ වටිනාකමක් පවතිනවා.පාසල් වල ඉංග්‍රීසි ඉගැන්වීම හුදු විකාරයක්ව තිබෙන පසුබිමක අවවරප්‍රසාදිත පවුල් වල බහුතරයක් අයට ඉංග්‍රීසිය වෙත ප්‍රවේශ වීමට තිබෙන මාර්ග අතිශය සීමිතයි.

මෙහි ප්‍රතිඵලයක් විදිහට ඉංග්‍රීසිය හුදු භාෂාවක් නොවී ප්‍රභූ-නිර්ප්‍රභූ සම්බන්ධතාවය සටහන් කරන මිනුම් දන්ඩක් බවට පත්වෙලා තියෙනවා.ලංකාවේ ඉංග්‍රීසි භාෂිත බොහෝ මධ්‍යම හා ඉහල පංතික මහත්වරුන්ට ඉංග්‍රීසිය යනු තමාව පොදු සමාජයෙන් ඉහලට ඔසවා තබන යාත්‍රාවක්.

ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍යය මෙම ප්‍රභූ නිර්ප්‍රභූ වෙනස පෙන්නුම් කරන කදිම කැඩපතක්.පසුගිය දශක කිහිපය තුල ඉංග්‍රීසියෙන් ලියන ලාංකික ලේඛක ලේඛිකාවන් ගනනාවක් බිහිවෙලා තියෙනවා.මේ බොහෝ නිර්මාන අතිශය පාංතික ස්වරූපයක් උසුලනවා.නිදසුනක් විදිහට නිහාල් සිල්වා නම් ලේඛකයා ( සිනමාවට නැගුනු “මේ ඉරහද යට” චිත්‍රපටයට මූලාශ්‍ර වූ Road to elephant pass ඔහුගේ කෘතියක්) විසින් රචිත Ginirella conspiracy නම් නවකථාව තුල අරගලකාරී දේශපාලනයට ලැදි සරසවි ශිෂ්‍යයන් නිරූපනය වෙන්නේ ප්‍රචන්ඩ,කිසිදු ගුනධර්මයක් නොදත්,භීෂනයට හා ‍රුධිරයට උමතු ආශාවක් දක්වන,ඉහල පංතිය කෙරෙහි අඝාත වෛරයකින් පෙලෙන,ගොරහැඩියන් පිරිසක් ලෙසින්.සදැල්ලෙහි සිට බිමට නෙත් යොමන මෙම සරලමතික ප්‍රභූවාදී දැක්ම සිය අදහස් ප්‍රකාශන මාධ්‍යය ලෙස ඉංග්‍රීසිය යොදාගන්නා බොහෝ පිරිස් තුලින් නිරීක්ෂනය කල හැක්කක්.

හත්තොටුවේගම සිය වීදි නාට්‍ය හරහා කරන්නේ ලාංකීය ඉංග්‍රීසියේ මෙම ප්‍රභූවාදී ස්වභාවය අවහෙජිමොනික කිරීමයි.ඉංග්‍රීසි භාෂාව යනු ඉංග්‍රීසි සාහිත්‍යය හා නූතන දැනුම උකහා ගත හැකි ප්‍රබල මාධ්‍යයක්.ඉහල පාංතික වරප්‍රසාදයක් විදිහට පවතින මෙම සංස්කෘතික උරුමය හත්තොටුවේගම වීදියට/මහ පාරට ගෙන එනවා.මෙය ශිතලෙන් පෙලෙන මිහිමතට ප්‍රොමිතියස් විසින් දෙව්ලොවින් ගින්දර සොරාගෙන ඒමට සමාන විප්ලවකාරී ප්‍රවේශයක්.

How many roads must a man walk down ගීතය 60 දශකයේ අමෙරිකාවේ ජනප්‍රිය වුනේ වියට්නාම් යුද්ධයට එරෙහි අර්ථසම්පන්න ගීතයක් ලෙස.සාහිත්‍යමය වශයෙන් ගත්විට මෙහි ගැඹුර අති ප්‍රබලයි.මෙම ගීතය ලංකාවේ මහ පාර මත,පොදු සමාජයේ නලු නිලි පිරිසක් විසින්,පොදු සමාජය නම් ප්‍රේක්ෂකාගාරය ඉදිරියේ සිංහල උච්චාරනය සහිතව ගැයෙන විට,එම ගීතයට පසු වහා එහි සිංහල හා දමිල අනුවාදනයන් ගැයෙන විට එය රැඩිකල් මුලපිරීමක්.බොබ් ඩිලන්,ජෝන් ලෙනන් යනාදීන් නියෝජනය කල පොහොසත් විරෝධාත්මක ගීත සම්ප්‍රදාය ලෝක සංස්කෘතිය වින්දනය කිරීමේ අයිතිය අහිමි කරවනු ලැබූ ලංකාවේ පොදු සමාජයට හදුන්වා දීමක්.

වීදියේ සටන

හත්තොටුවේගම සිය නාට්‍යවලදී පොදු ජනයාගේ අවධානය දිනාගනු වස් සරල හාස්‍යය යොදාගන්නවා.ඊට සමගාමීව ගැඹුරු අර්ථ දනවන අභූතරූපී රංග ක්‍රම යොදාගන්නවා.සියලු දෙනා දන්නා,සියලු දෙනා අසා තිබෙන බයිලා ගීත,සරල ජනප්‍රිය ගීත වෙනත් අර්ථ සහිතව යොදාගන්නා අතරේම බොබ් ඩිලන්,සයිමන් ඇන්ඩ් ගාෆන්කල් වැනි අවරදිග (Woodstock යුගයේ ) දේශපාලන ස්වරූපී ගී ගැයූ පරම්පරාවේ ගීතත් භාවිතා කරනවා.

හත්තොටුවේගම වැදගත් වනුයේ එම අර්ථයෙන්.එනම් ජන කලාව හා විදග්ධ කලාව අතර බෙදුම් ඉර රැඩිකල් ප්‍රතිඅර්ථකථනයකට ලක් කල පුරෝගාමියෙකු වශයෙන්.

පසුගිය 27 දා සවස රංගයක් ඉදිරිපත් කල ගාලු නඩය වීදි නාට්‍ය කන්ඩායම හත්තොටු‍වේගමගෙන් උගත යුතු පාඩම එයයි.නූතන ජනකලාව දේශපාලනික කලාවක් ලෙස භාවිතා කරනවා නම් අවශ්‍ය කෙරෙන්නේ හුදෙක් ජනතාවට සරල වින්දනයක් සැපයීම විතරක් නෙමෙයි. නපුංසක චරිත හරහා සිනහ ඉපදවීම වෙනුවට  (නපුංසකභාවය හාස්‍යයට ලක්කිරීම දේශපාලනිකව කොතරම් නිවැරදිද යන්න වෙනම කතාකල යුත්තක්) විදග්ධ කලාවේ උරුමය ජන කලාව වෙත කැදවනවා නම් - හත්තොටුවේගම විදියේ කල සටන එයයි.

6 comments:

  1. ලංකාවේ මුලින්ම වීදි නාට්‍ය මලවක් පවත්වා තියෙන්නේ අනුරාධපුර දුම්රියපලේ.එතැන් පටන් ලංකාවේ වීදි නාට්‍ය කලාව ලංකාව පුරා ප්‍රචලිත කිරීමට හත්තො‍ටුවෙගම කලාකරුව කරපු සේවය අපරිමානයි..ගාමිනි හත්තො‍ටුවෙගම නාට්‍යවේදියානෙනි ඔබට අපේ ප්‍රනාමය.
    -වීදි නාට්‍ය ශිල්පියෙක්-

    ReplyDelete
  2. http://syndi.lankablogger.info/

    ReplyDelete
  3. හත්තොටුවේගම මහතා ගැන බොහොම පුංචි කාලෙ ඉඳන්ම අහල තිබුණත්, රූපවාහානියෙ ඒ වීදි නාට්‍ය වල කොටස් දකිද්දි ඇත්තටම ඒව බලන්න උවමනාවත් ඇතිවුණත් කවදාවත් මේ වෙනකල්ම අවස්ථාවක් ලැබිල නෑ.

    මොනව වුණත් නොදැන හිටපු දේවල් කීපයක්ම මේ සටහනින් දැනගත්තා... :D

    ReplyDelete
  4. හොද ලිපියක්. රාමචන්ද්‍ර පෙලුනු, බංකොලොත් ජවිපෙ ට කත් අදින දීන මානසිකත්වයෙන් මිදිලා ලියලා තියෙනවා. මෙන්න සිංදුවට ලිංක් එක.

    ReplyDelete
  5. එක වරක් පමණක් හත්තොට්ටුවගම මහතාගේ වීදි නාට්‍ය බලන්න අවස්ථාව ලැබුණ. ඒත් ඒ වන විට වචනයෙන් අහල තිබුණු වීදි නාට්‍ය පිළිබඳ ඇතිකරගෙන සිටි චිත්‍රයට වඩා ප්‍රායෝගික අත්දැකීම කොතරම් ප්‍රසස්තද යන්න ‍තේරුම් ගියා. ඇත්තෙන්ම එය ඉතාම ප්‍රබල ඉදිරිපත් කිරීමක්.

    ReplyDelete
  6. This is brilliant .I have to know many thing.than you for publish this.but i like to know further about the gamini hathwattuwegama.

    ReplyDelete