Sunday, April 10, 2011

රාජපක්ෂ මුද්‍රාව ක්‍රිකට් මත පතිතවීම / Big Brother is watching you



ක්‍රිකට් ලෝක ශුරතා අවසන් මහා තරගයේ ත්‍යාග ප්‍රදානයේදී ශ්‍රී ලංකා කන්ඩායමේ නායක කුමාර් සංගක්කාර -මුලු මහත් ලෝකයා ඉදිරියේ - අතිගරු ජනාධිපතිතුමාට සිය ස්තුතිය පුද කලේය.ලෝක ශූරතාවය දිනූ ඉන්දීය කන්ඩායමේ නායක මහෙන්ද්‍ර සිං දෝනි එදින තරගය නැරඹීමට පැමින සිටි ඉන්දීය ජනාධිපතිවරියට ස්තුතිය ප්‍රකාශ කිරීමක් අමුතුවෙන් සිදු නොකලේය.මෙම වෙනස කුමක් නිසාද?ඉන්දීය ජනාධිපතිවරිය තරගය නැරඹූ දහස් ගනනක් අතුරින් තවත් කෙනෙකු පමනක් යැයි දෝනි සිතුවාද?ඉන්දීය රජය ක්‍රිකට් වෙනුවෙන් කල දේට වඩා වැඩි දෙයක් ලංකා රජය සිදුකර තිබේද?මෙම වෙනස ලංකාවේ ජනාධිපති සිය දේශය තුල සර්වබලධාරී වීමත් ඉන්දීය ජනාධපතිධූරය හුදු නාමික ධූරයක් වීමත් නිසාද?මෙය සංගක්කාරගේ විනීතභාවය හා දෝනිගේ අහංකාරය පිලිබද ගැටලුවක්ද?එසේත් නැතිනම් කශේරුකාවේ ශක්තිය පිලිබද වෙනසක්ද?

ඉහත පැහැදිලි කිරීම් අතුරින් තමා කැමති පිලිතුරක් යටින් ඉරි ඇද ගැනීමට ඕනෑම කෙනෙකුට අවසර තිබුනත් ලංකාව තුල ක්‍රිකට් දේශපාලනිකකරනය වන ප්‍රවනතාවයේ සංකේතයක් ලෙස උක්ත සිදුවීම තේරුම් ගත යුතු යැයි මෙම ලියුම්කරු යෝජනා කරයි.ජෝර්ජ් ඕවල්ගේ “1984” නවකථාව ඕෂිනියාව නැමැති කල්පිත රාජ්‍යයක ජීවිතය තේමා කොට ගෙන රචනා වූවකි.එම රාජ්‍යයේ පාලකයා “බිග් බ්‍රදර්” නම් වුවෙකි.බිග් බ්‍රදර් ඕෂිනියාවේ පරම බලධාරියාය.හෙතෙම ජාතිය අමතා කථාකරද්දී පුරවැසියන් එය අසා සිටිය යුතුය.ටෙලිස්ක්‍රීනය නමින් රජය විසින් නිෂ්පාදනය කල අධිතාක්ෂනික උපකරනයකින් සෑම මිනිසෙකුගේම පෞද්ගලික චර්යාවන් අධීක්ෂනය කෙරේ.බිග් බ්‍රදර් ඔබ දෙස බලා සිටී” යන්න රාජ්‍යයේ සියල්ලන් විසින් මතක තබාගත යුත්තකි.බිග් බ්‍රදර්ට නොදැනෙන ලෙසින් කිසිවක් රාජ්‍යය තුල සිදුකල නොහැක.

විචාරාත්මක බැලුවහොත් වහා අවබෝධ වන කරුන නම් රාජපක්ෂ මුද්‍රාව රහිතව කිසිදු කටයුත්තක් සිදු විය නොහැකි තත්වයක් වෙත ලාංකීය සමාජය ක්‍රමයෙන් ගමන් කරමින් සිටින බවයි.

හුදු ආස්වාදය සපයන විනෝදාංගයක් ලෙස පැවති ක්‍රිකට් ක්‍රීඩාව මත රාජපක්ෂ මුද්‍රාව පතිත වීම මෙය පෙන්වා දෙන අගනා නිදසුනකි.හම්බන්තොට “මහින්ද රාජපක්ෂ” ක්‍රීඩාංගනයේ හයේ හතර පහර වදින විට ප්‍රේක්ෂකාගාරයේ සිට එසවෙන “හය”/”හතර” දැක්වෙන පුවරු පසුපස “තාරුන්‍යයට හෙටක්” නම කොටා තිබේ.හම්බන්තොට ක්‍රීඩාංගනයක් තැනවීමේ මුලු ක්‍රියාවලියම ක්‍රීඩාව සදහා වූ ජාතික මට්ටමේ ව්‍යාපෘතියකට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුද්ගලික ව්‍යාපෘතියක් වූවා වැන්න.සම්පූර්න ක්‍රියාදාමය රාජපක්ෂ ශ්‍රී නාමය හයිලයිට්කරනය සදහා සිදුවූවා බදුය.ඔබ රගර් ක්‍රීඩාව ප්‍රිය කරන්නෙකු නම් ක්‍රීඩාව රාජපක්ෂකරනය වීමේ ප්‍රවතනාතවය කෙතරම් ගැඹුරුද යන්න ඔබට රහසක් නොවනු ඇත.දේශීය අන්තර් සමාජ රගර් තරගවලදී ජනාධිපතිවරයාගේ පුත්‍රයන් දෙදෙනෙකු නාවික හමුදා පිල නියෝජනය කරයි.එබදු තරගවල රූපවාහිනී විකාශයන්හීදී රූපවාහිනී කැමරා ඇස යෝෂිතගේ හෝ නාමල්ගේ ශ්‍රී දේහයන් වෙතින් ඉවත් වන්නේ එහෙමත් වෙලාවකය.ජනපති පුත්‍රයන් දෙපල,ඔවුන්ගේ කෞශල්‍යය,තරගය නැරඹීමට පැමින සිටින එම ආර්යාව-විස්තර විචාරකයන් ක්‍රීඩාව ගැන කතාකරනවාට වඩා දොඩනුයේ ඒවා පිලිබදවය.තරග වදින ප්‍රතිවාදී පිලක් නැතිවා සේය.

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රනතුංග පසුගිය දිනවල මාධ්‍යමය දඩයමක් බවට පත්වීමද මෙකී දේශපාලනිකකරනයේ පැතිකඩක් පෙන්වන්නකි.ඉන්දීය මාධ්‍යයක පැවති සාකච්ඡාවකට සහභාගී වූ රනතුංගගෙන් ලෝක කුසලාන අවසන් මහා තරගය පිලිබද ප්‍රශ්න කෙරුනු විට ලංකාව ජයගන්නවාට තමා හදවතින් කැමති බවත්,නමුත් තරගය කරට කර (Fifty - fifty) එකක් වනු ඇති බවට තමා කල්පනා කරන බවත් හේ පැවසීය.මෙය හුදෙක් ක්‍රිකට් පිලිබද විශේෂඥ දැනුම සහිත අයෙකු කරනු ලබන මත දැක්වීමකි.එම මත දැක්වීමෙහි වරදක්ද නැති බව අවසන් මහා තරගය පැවැත්වුනු දිනයේදී පැහැදිලි විය.

කෙසේ වෙතත් රාජපක්ෂවාදී මාධ්‍යයන්ට මෙම ප්‍රකාශය රනතුංගව ඔසවා පරසක්වල ගැසීමට තරම් ගර්හිත,දේශද්‍රෝහී ප්‍රකාශයක් වූයේය.යම් හෙයකින් මෙම ප්‍රකාශය රනතුංග නොවන - විශ්‍රාම ගිය වෙනත් කවර ක්‍රීඩකයෙකු සිදුකලත් මෙරට මාධ්‍යයන්ට එය ප්‍රශ්නයක් විය නොහැකිව තිබුනි.මෙහිදී තීරනාත්මක වූයේ රනතුංග හුදු හිටපු ක්‍රීඩකයෙකු වීම නොව විපක්ෂ දේශපාලකයෙකු වීමයි.බිග් බ්‍රදර් ඔබ දෙස උකුසු ඇසින් බලා සිටී.එබදු රාජ්‍යයක සිතට එකගව,ස්වාධීනව,ක්‍රිකට් තරගයක් පිලිබද අදහසක්වත් ප්‍රකාශ කල නොහැක.ඔබ සිතිය යුත්තේ බ්‍රිග් බදර් සිතන ආකාරයටය.හඩ ඔබගේය.නමුත් ඉන් නික්මිය යුත්තේ බිග් බ්‍රදර් විසින් අනුමත කල අදහස් පමනි.

ලංකාවේ සිනමාකරුවන් නිර්මාන කල යුත්තේ මහින්ද චින්තනය අනුව බව කලෙකට ඉහතදී නිවේදනය කලේ රැගුම් පාලක මන්ඩලයේ (හිටපු) අධිපති අශෝක සේරසිංහය.රනතුංගලා අදහස් දැක්විය යුත්තේත්,ක්‍රීඩාංගන ඉදිවිය යුත්තේත්,ඒවායේ පුවරු එසවිය යුත්තේත් එම චින්තනය අමතක නොකරය.උන්වහන්සේ සෑම තන්හිම වැඩ සිටී.උන්වහන්සේට කෘතඥතාවය නොදක්වා අනුශූරතාවයක්වත් භාරගැනීමට නොහැකි තරමට - කයින් හා මනසින් - අප උන්වහන්සේගේ ගැත්තෝ වම්හ.

( මෙම ලිපිය 2011/04/10 ඉරිදා ලංකා පුවත්පතේ පලවූවකි )

10 comments:

  1. ආසියාවේ අශ්චර්ය්‍ය...............

    ReplyDelete
  2. ඔකුන්ට කෙලවෙනවමයි

    ReplyDelete
  3. aparaade ... Sangata kiyala yawanna thibbe, "Cricket kreedakayanta Samajawaade ugannana porak innawa.. anna eyata api godaaaaak sthuthi karanna one kiyala " kiyanna kiyala.....

    Moda yakku... hiks...

    ReplyDelete
  4. manna pohidalata giya rata...

    ReplyDelete
  5. කතාව ඇත්ත. Big brother තුන්වෙනියට ඇවිත් මෙතනත් ඇවිත් මලපහ කරලා ගිහින්....

    ReplyDelete
  6. බිග් බ්‍රදර් බිග් වෙලා ඉන්නෙ හුලං ගහගෙන. හුලං ගියදාට ඔක්කොම ඉවරයි.

    ReplyDelete
  7. අන්තිම Anonymous එකා ලෙනින් ගෙ කකුස්සිය හෝදපු එකාද කොහෙද?

    ReplyDelete
  8. මේක අමුතු දෙයක් නෙවෙයි. හැම කොමියුනිස්ට්, ඒකාධිපති හෝ මුස්ලිම් රටකටම පොදු තත්ත්වයක්. කියුබාවෙ බලන්න. ක්‍රීඩික ක්‍රීඩිකාවො කතා කරන්නෙ හරියට ඒ ගොල්ලන්ව බිහි කරන්න වින්නඹුකම කළෙත් ෆිදෙල් සීයා වගේ. ෆිදේල් සීයා තමයි ලෝකෙ ඉන්න ලොකුම බිග් බ්‍රදර්. මහින්ද මාම මේ පොඩි එකෙක් ෆිදෙල් සීයා දිහා බලන කොට.

    ReplyDelete
  9. kamal priyadarshanaApril 17, 2011 at 9:59 PM

    anonymous un okkoma ponnayo. thmange nama dala comment karapiyaw....

    ReplyDelete