Thursday, March 24, 2011

ලිබියානු සංකීර්නය / The Libyan complex

ගඩාෆි - වෘක වෙස් ගත් සිංහයෙක්ද?සිංහ වෙස් ගත් වෘකයෙක්ද?
ද අප පුලුල් සන්ධානයක පාර්ශවකරුවෝ වෙමු.බියට පත්වූ ජනතාවකගේ ආයාචනයන්ට අපි ප්‍රතිචාර දක්වමින් සිටින්නෙමු.අප ගන්නා සෑම පියවරක්ම එක්සත් ජනපදයේත් ලෝක ප්‍රජාවේත් යහපත වෙනුවෙනි
- බැරැක් ඔබාමා 2011 මාර්තු 19

අමෙරිකානු සහ සන්ධාන හමුදා මේ නිරත වෙමින් සිටින්නේ ඉරාකය නිරායුද කිරීමේ,එහි ජනතාව නිදහස් කරගැනීමේ හා ලෝකයා ගැඹුරු තර්ජනයකින් ආරක්ෂා කිරීමේ සන්නද්ධ මෙහෙයුමක මුල් අදියරයන් තුලයි
- ජෝජ් බුෂ් 2003 මාර්තු 19

ලිබියානු ට්‍රිපොලි නගරයේ අවකාශය ගුගුරුවමින් ඉතිහාසය නැවත ප්‍රතිනිර්මානය වෙමින් තිබේ.ලිබියානු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එක්සත් ජනපද හමුදාව ප්‍රමුඛ සේනාවෝ බිහිසුනු ගගනාක්‍රමනයක නියුතු වී සිටිති.වසර කිහිපයකට පෙර සදාම් හුසේන්ගේ හිස කදින් වෙන් කලේ යම් සේද - මොහොමඩ් ගඩාෆි පෙරලා දැමීම මෙකී ආක්‍රමනයේ පරම අභිලාෂයයි.

මෙම ආක්‍රමනයේ හරය තෙල් සදහා ලේ හැලීම බව ස්වාධීන රූපවාහිනියේ මහින්ද අබේසුන්දර පන්නයේ ප්‍රවෘත්ති රචකයනුත් පවසන සමයක ,එය එසේ බව ලිවීමට අමුතුවෙන් වෙහෙසක් ගැනීම අවශ්‍ය නැත.විරෝධතාකරුවන්ට එරෙහි දරුනුක්‍රියාමාර්ග ගන්නා බවට ගර්ජනා කරන සෞදි රාජකීය රජයට එල්ල නොවන,බහරේනයට යේමනයට එල්ල නොවන ගුවන් ප්‍රහාර ලිබියාවට පමනක් කුමටද?ලිබියානු තෙල් සම්පත රිසි සේ ගසා කෑමට ගඩාෆි බාධාවක් වීම මෙකී ආක්‍රමනයේ සැබෑ අරමුන බව පැහැදිලිය.

එසේ නම් ගත යුතු ස්ථාවරය කුමක්ද?ස්වාධීන රූපවාහිනිය මෙන් බටහිර ආක්‍රමනයට එරෙහිව ගඩාෆි ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමද?

ලිබියානු ප්‍රශ්නය ලිබියානු සංකීර්නයක් බවට පත්වන්නේ මෙතැනදීය.ලිබියානු ප්‍රශ්නය එකිනෙකට පරස්පර අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා,ගැටීම්,හැගීම් හා ආවේගයන් සමූහයක එකතුවකි.

2008 ජූලි මාසයේදී ස්විට්සර්ලන්තයේ සංචාරයක නියුතු වෙමින් සිටි අසහාය අධිරාජ්‍ය විරෝධී නායක ගඩාෆිගේ බාල පුත්‍රයා වන හැනිබාල් ගඩාෆි හා ඔහුගේ ලේලිය ජීනිවා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුනි.ගඩාෆි පුත්‍රයා එම සංචාරයේදී තමන්ගේම සේවකයන්ට අඩත්තේට්ටම් කිරීම පිලිබද චෝදනාවන්ට ලක්වීම මීට හේතුවයි.මීට ගඩාෆි ප්‍රතිචාර දැක්වූයේ සිය ස්විස් ගිනුම් වල පැවති ඩොලර් බිලියන හතරකට ආසන්න මුදල් ඉවත්කරගැනීමෙනි!ඊට අමතරව ස්විස් සමාගම් ගනනාවක ලිබියානු ශාඛා වසා දමන ලදී.
ස්විස් ගිනුම් වල තැන්පත් කරන්නට ඩොලර් බිලියන හතරක තරම් පෞද්ගලික ධනස්කන්ධයක් ගඩාෆි වෙත පහල වූයේ කෙසේද?

ලාභ උපයනු වස් යුද්ධය මග හැරිය නොහැක -
 රනවිරු රියල් ස්ටාර්ලා පිරිවරාගත් ඔබාමා
කැරලිකරුවන් සුන්නද්ධූලි කරදැමීම සදහා අනදෙමින් සිටින ගඩාෆිගේ අනිත් පුත්‍රයා වන සෙයිෆ් අල් ඉස්ලාම් තවත් ප්‍රකෝටිපතියෙකි.2009 කැරිබියානු දූපතක පැවති පුද්ගලික සාදයකදී ගීත හතරක් ගායනා කිරීම වෙනුවෙන් මෙම ජනාධිපති පුත්‍රයා  මෙරායා කේරී නම් අමෙරිකානු ගායිකාවට ඩොලර් මිලියනයක ගෙවීමක් සිදුකොට තිබුනි.වසර හතලිහක ගඩාෆි පාලනය දැඩි පවුල්වාදී ස්වරූපයක් ඉසිලූ අතර එය තුන්වන ලෝකයේ ධනේශ්වර පාලනයන්ට ආවේනික දුර්ගුනයන්ගෙන් අරටුව දක්වා දූෂනය වූවකි.ගඩාෆිට එරෙහිව පසුගිය දිනවල ආරම්භ වූ උද්ඝෝෂන හා කැරලි කෝලාහල වලදී අතිශය දුර්දාන්ත ලෙස සිය රටේ පුරවැසියන් ඝාතනය කිරීම‍ට ගඩාෆි රෙජිමය ක්‍රියා කල අන්දම අල් ජසීරා වැනි සාපේක්ෂව අමෙරිකානු විරෝධී මාධ්‍ය පවා වාර්තා කලේය.

ස්වාධීන රූපවාහිනිය විසින් උඩ දැමෙන අධිරාජ්‍ය විරෝධියාගේ සැබෑ පින්තූරය එබදුය.විකිලීක්ස් වෙබ් අඩවිය අනාවරනය කරන අන්දමට එරට ජාතික තෙල් සමාගම නම් ආයතනය ගඩාෆි වෙත සෞභාග්‍යය උදාකර දෙන උල්පත ලෙස ක්‍රියාකොට තිබේ.

දැන් අපට ලිබියානු අර්බුදය තරමක් වෙනස් ආකාරයකට සාරාංශගත කල හැක.
ලිබියානු තෙල් සම්පත හිමි විය යුත්තේ කාටද?ගඩාෆිවාදී ස්වදේශීක මංකොල්ලකාර කවයටද?ඔබාමාවාදී විදේශීක මංකොල්ලකාර කවයටද?

සරල බටහිර විරෝධයක් මත ලිබියානු ආක්‍රමනය විග්‍රහ කිරීමට උත්සාහ කරන්නවුන් සිතා මතා හෝ නොසිතා මග හරින සත්‍යය නම් ධනවාදයයි.ගඩාෆි යටතේ ලිබියාව සැලකිය යුතු ධනේශ්වර සංවර්ධනයකට ලක්වූවකි.ස්වභාවික සම්පත් සූරා කෑමෙන් හටගන්නා ධනය බලවත් ප්‍රභූ කුලකයක් අත සංකේන්ද්‍රනය වීම ධනවාදයේ නෛසර්ගික ලක්ෂනයයි.ගඩාෆි රෙජිමය මේ නිසා අතිමහත් සමෘද්ධියක් සිය ප්‍රභූ කවය අත රදවා ගත් අතර පොදු ලිබියානුවා වෙත ඒ සියල්ල අහිමි කලේය.දැන් එක්සත් ජනපදයේ ලිබරල්වාදින් මාන බලමින් සිටින්නේ ලිබියානු ජනතාව ගසා කෑමේ බලය ගඩාෆිගෙන් තමා වෙත පවරා ගැනීමටය.ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ රමනීයත්වය පිලිබද මෙම බලවතුන් සංකීර්න න්‍යායන් සම්පාදනය කරන්නේ මෙසේ තුන්වන ලෝකයේ රටවල්වල සම්පත් සූරාකනු ලැබ සිය රටවල ගොඩගසා ගත් ධනස්කන්ධයන් මත ලැගගෙන රාමතෙල් අරිනා අතරේය.

ලිබියානු ආක්‍රමනයට එරෙහි විය යුත්තේ,මේ නිසා හුදු සරල බටහිර විරෝධී විලාසිතාවක් මත සිට නොවේ.ගඩාෆිවාදී වූවත්,ඔබාමාවාදී වූවත් ධනවාදය යනු ධනවාදයයි.එහි හරය අනුකම්පා විරහිතව ගසාකෑමයි.ජාතිකවාදයේ සහ ලිබරල්වාදයේ සීමාවත්,මාක්ස්වාදයේ අවශ්‍යතාවයත් සලකුනු වන ස්ථානය මෙයයි.

14 comments:

  1. අර මූණු පොතේ 'Give REASONABLE INTERVENTION in favour of Libyan masses' කියල ජවිපෙ හිතවත්තු බැනර් ගහල තිබුණෙ ඔය සංකීර්ණෙ තේරුම් අරං වෙන්න ඇති නේද?

    ReplyDelete
  2. හරියට හරි.
    ගොඩක් හොද ලිපියක්.
    මේ වගේ විචාරබුද්දියේන් ලියන ලිපි තමා ඔන.

    ReplyDelete
  3. හරියට හරි. මුල් ටික කියවද්දි මම හිටියෙ මොලේ විකාර වෙලා. ඒත් අවසානෙ හරියටම හරි

    ReplyDelete
  4. සෞදි අරාබියේ සිදු වන දේ සදහා කෙලින් මැදිහත් වීමක් නොමැති බව සැබැවි..එනමුත් අතිවිශාල රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් සිදුවෙමින් පවතී...එයට පිළිතුරු ලෙස සෞදිය මස 3 ක් ඇතුලත සුවිශාල බල විමද්‍යගත කිරීමකට පොරොන්දු දී ඇත. සුවිශාල සහන පැකේජයක් ඉදිරිපත්කර ඇත.. (gulfnews .com ) එයට අමතර ඇමෙරිකාව සහ අනෙකුත් බටහිර රටවල් බහරේනය කෙරෙහි දක්වන බලපෑම වෙනස් කරන ලෙස ගල්ෆ් රටවල් ඉල්ලා ඇත (gulfnews .com ) ඕමානයේ මසකට වඩා කාලයක් තිස්සේ උද්ගෝෂණ සිදුවෙමින් පවතින අතර සුල්තාන් වරයා ඉතා බුධිමත් ලෙස එය හසුරවමින් සිටි..දැන් උද්ගොෂකයින් සුල්තාන් වරයාට ප්‍රසාදය පළකරමින් ඔහුගේ සුවිශාල චායාරුප එල්ලාගෙන ප්‍රතිසංස්කරණ සදහා ඉල්ලීම් කරයි......එයට අමතරව අනෙකුත් අරාබි රටවලද ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සදහා බලකෙරෙමින් පවතී....වෙනසකට ඇත්තේ මහජන නැගිටීම් සිවිල් යුද්දයක් කරා ගමන් කලේ ලිබියාවේ පමණක් වන අතර ගඩාෆිගේ ඔටුන්න හිමි කුමරුට අනුව අවසාන ගැහැණිය..අවසාන දරුවා දක්වා සටන් කිරීමට ශතප කිරීම මගින් මහා ලේ වගිරවිමකට මග පැදීමයි...මෙය අනෙකුත් සියලු රටවලට වැඩ වෙනස් තත්වයකි...ඉරානයේ බහරේනයේ සිදුවට වැඩ සිය ගුණයක මර්දනයක් සිදු වුවත් විදෙස් හමුදා මැදිහත් වීමක් සිදු නොවුයේ බහුතර ජනයාගේ ආයචනයක් ලෙස නොපෙනුණු නිසාවෙනි...ලිබියාවේ ගඩාෆිගේ කිට්ටුම හිතවතුන් වූ එරට එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා පවා කදුළු වගුරවමින් දින කීපයක් කල ඉල්ලීම් වල ඵලයකි මේ මැදිහත්වීම....මෙයට මුල් වුයේ සහ දැඩි බලපෑමක් එල්ල කලේ ඉරාක ආක්‍රමණයට එකහෙලා විරුද්ද වූ ප්‍රන්ශයයි..යුද්දයෙන් වැඩිම පාඩුවක් සිදුවන්නේ ප්‍රංශය ඉතාලිය සහ එංගලන්තයටයි...ලිබියාවේ ලොකුම වෙළද හවුල් කරුවන් ඔවුන්ය...චීනය සහ රුසියාව පවා විරුද්ද වීමෙන් වැලකි සිටියෝය ..අරාබි සංගමය අනුමත කලෝය...මේ වන විට ප්‍රහාරක ගුවන් බල ඇණියට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ තුර්කිය තම ගුවන් යානා යවා ඇත...කටාරය ගඩාෆි විරෝදී තාවකාලික පාලක සභාව නිල වශයෙන් පිළිගෙන ඇත...එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වුයේ ජර්මනියේ වූ යුදෙව් ගාතනය මෙන් අපරාද නැවත වීම වලක්විමටයි...මෙවන් මැදිහත් වීමක් සිදු නොවේ නම් කුමක්ද එහි අති ඵලය?

    ReplyDelete
  5. @ ජයසේන

    ප්‍රතිචාරයට ස්තුතියි.කෙසේවෙතත් ලිබියාව තුල සිදුවන බටහිර මැදිහත්වීම හුදෙක් ලිබියානුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සදහා කෙරෙන සද් ව්‍යායාමයකි යන්නට එකග විය නොහැකියි.සෞදියට හෝ බහරේනයට ප්‍රචන්ඩකාරී විදිහට මැදිහත් නොවන්නට හේතුව එම රටවල තත්වය යුද්ධයක් දක්වා වර්ධනය නොවිම යැයි ඔබ කියනවා නම් ඊශ්‍රායලයට පහර නොදිම තේරුම් කරන්නේ කොහොමද?නිරායුද පලස්තීනුවන් වරින්වර ඊශ්‍රායල් ප්‍රහාර හරහා මරා දැමීම බොහෝ කාලයක සිදුවන්නක්.තමන්ට හිතවත් ප්‍රජා පීඩක පාලකයන්ට එක හැන්දකිනුත් අහිතවත් උන්ට වෙනත් හැන්දකිනුත් බටහිර රටවල් බෙදන ආකාරයට මේක උදාහරනයක්.
    ලිබියාව අප්‍රිකානු කලාපයේ විශාලතම ඛනිජ තෙල් සංචිතය සහිත රාජ්‍යයක්.එම සංචිතයේ වටිනාකම අමෙරිකානු සංචිතය මෙන් දෙගුනයක්.එරට තෙල් අයිතිය බොහෝ දුරට පාලනය වන්නේ රාජ්‍ය ආයතනයක් වන National oil coperation හරහා (ගඩාෆිගේ ධන උල්පත)අමෙරිකානු සමාගම් එහි රගදක්වන භූමිකාව සාපේක්ෂව ඉතා කුඩා පංගුවක්.චීනයේ තෙල් සමාගම් ලිබියාවේ කර තිබෙන ආයෝජන මෑතකාලීනව ඉහල යාමත් සැලකිල්ලට ගත යුතු කරුනක්.තෙල් පිලිබද උවමනාවට අමතරව,ලිබියාව අප්‍රිකානු කලාපයට පිවිසීමෙහිලා උපාය මාර්ගිකව වැදගත්වීම,උතුරු අප්‍රිකානු දේශපාලනයෙන් චීනය ඉවත් කර තැබීමේ උවමනාව යනාදියත් බ්‍රිතාන්‍ය අමෙරිකානු සන්ධානයට මෙම යුද්ධය ප්‍රකාශ කිරීම කෙරෙහි බලපෑ බව කියන්න පුලුවන්.එම අරමුන වෙනුවෙන් "මානුශික මෙහෙයුමක" අවශ්‍යතාවය පෙන්වා නේටෝ සංවිධානය පොලඹවා ගැනීමක් මෙතනදී දකින්න පුලුවන්.නේටෝවේ හිටපු ප්‍රධානියෙකු වන ජෙනරල් වෙස්ලි ක්ලාර්ක් 2003 සිය winning modern wars කෘතියේ කරන පහත සදහන මෙවැනි යුද්ධ හුදු මානව හිමිකම් සදහා කරන මැදිහත්වීම් වලට එහා ගිය දීර්ඝකාලීන සැලසුම්සහගත උවමනාවකට සිදුවන ඒවා බව සාක්ෂියක්.

    "in the Pentagon in November 2001, one of the senior military staff officers had time for a chat. Yes, we were still on track for going against Iraq, he said. But there was more. This was being discussed as part of a five-year campaign plan, he said, and there were a total of seven countries, beginning with Iraq, then Syria, Lebanon, Libya, Iran, Somalia and Sudan.... (Wesley Clark, Winning Modern Wars, p. 130).

    source -

    http://globalresearch.ca/index.php?context=va&aid=23605

    ReplyDelete
  6. ලිබියානු ආක්‍රමනයට එරෙහි විය යුත්තේ,මේ නිසා හුදු සරල බටහිර විරෝධී විලාසිතාවක් මත සිට නොවේ.ගඩාෆිවාදී වූවත්,ඔබාමාවාදී වූවත් ධනවාදය යනු ධනවාදයයි.එහි හරය අනුකම්පා විරහිතව ගසාකෑමයි.ජාතිකවාදයේ සහ ලිබරල්වාදයේ සීමාවත්,මාක්ස්වාදයේ අවශ්‍යතාවයත් සලකුනු වන ස්ථානය මෙයයි.


    රාමගේ විශ්වයේ රික්තයක් නෑ!එහි පිරි පවතින්නේ පුහු ප්‍රයෝගික නොවූ මාක්ස් වාදයම තමා, රාමගේ කෝකටත් තෙඉලය !

    ReplyDelete
  7. විශ්වයේ ඵ්කම ප්‍රායෝගික දේශපාලන ක්‍රමය සමාජවාදයයි වදුරෝ.

    සීමිත සම්පත් හෑමොගේම
    අවශ්යතා වෙනුවෙන් සහොදරත්වයෙන් යුතුව බෙදාගන්න පුලුවන් සමාජවාදී ක්‍රමයක් තුල පමනයි.

    ReplyDelete
  8. රාමචන්ද්‍ර සින්ඩ්‍රෝමය
    http://99wadura.blogspot.com/2011/04/blog-post.html

    ReplyDelete
  9. @ 99 වන වදුරා

    දේශපාලන සමාජ සිදුවීම් තේරුම් ගැනීමට මාක්ස්වාදී අදහස් පොහොසත් පදනමකි.මාක්ස්වාදී අදහස් යනු හුදෙක් මාක්ස්ගේ අදහස් විතරක්මත් නොවේ.රාමචන්ද්‍රට මාක්ස්වාදය ආගමක් නොව ලෝකය තේරුම් ගැනීම සදහා උදවු කරගත හැකි සංකල්ප සහිත චින්තන සම්ප්‍රදායකි.ලිබියානු ආක්‍රමනය සමග සම්බන්ධ ධනවාදය,අධිරාජ්‍යවාදය වගේ ක්‍රියාවලි විග්‍රහ කරද්දී ලිබරල් හෝ ජාතිකවාදී අදහස්වලට වඩා මාක්ස්වාදී කතිකාවත පොහොසත්බවක් දක්වනවා.එය එසේ බව පෙනෙනවා නම් එබව නොකියා සිටීමේ හේතුවක් මට පෙනෙන්නේ නැහැ.

    පලි- මා වෙනුවෙන් බ්ලොග් සටහනක් වෙන් කිරීම ගැන තුති.ඒත් ඇනෝනිමස් "කදුරු ලීය" ගැන ඔබේ උපකල්පනය නිපන්දුවකි.No ball!:)

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. රාමාත් ආස සමාජවාදයට මුවාවෙලා පාලන බලයටම තමා!
    රාමා ,පාලනය කව්රු කරත් වැරදිය් ! සමාජවාදය ,ධනවාදය , අර වාදය ,මේ වාදය,දස රාජ ධර්මය , මේ ඔක්කොම උත්සහ කරන්නේ අපිව පාලනය කරන්න තමා !
    කව්රුත් කව්රුවත් පාලනයක් අවශ්‍ය නැහැ !නීති අවශ්‍ය නැහැ ,ආණ්ඩු එපා ,පොලිසි එපා ,දේශ සීමා එපා !මුදල් කඩදාසි කොළ එපා !

    ReplyDelete
  12. @ 99 වන වදුරා

    //කව්රුත් කව්රුවත් පාලනයක් අවශ්‍ය නැහැ !නීති අවශ්‍ය නැහැ ,ආණ්ඩු එපා ,පොලිසි එපා ,දේශ සීමා එපා !මුදල් කඩදාසි කොළ එපා//

    ඔබ කියන දේට එකගයි.රාජ්‍යයන් අවශ්‍ය නැහැ.මිනිසාගේ ස්වාධීනත්වයට විකසිත වෙන්න පුලුවන් විදිහට සමාජය හැදෙන්න ඕනෙ.නමුත් ඒක කරන්නේ කොහොමද?මේ වෙලාවේ?ප්‍රායෝගිකව?රාජ්‍යය හැදුනේ කොහොමද?ප්‍රතිවිරුද්ධ පංති වලට/රටවලට මනුශ්‍ය සංහතිය බෙදිල තියෙන තුරු රාජ්‍යය පවතිනවා.කොමියුනිස්ට්වාදී කියල අදහස් වෙන්නෙ (උඩින් ඉදල අන දෙන රාජ්‍යයක් නැහැ.ප්‍රජාව මූලික කරගෙන සමාජය සංවිධානය වෙනවා) ඔබ ඔය විස්තර කල ලක්ෂනයන් සහිත සමාජයක්.නමුත් මේ වෙලාවෙ ප්‍රායෝගිකව කරන්න පුලුවන් දෙය රාජ්‍යය අහෝසි කරන එක නෙමෙයි,රාජ්‍යය වඩා මානුශිකවාදී විදිහට ප්‍රතිසංස්කරනය කරගන්න උත්සාහ කරන එක.සමාජවාදී රාජ්‍යයත් "රාජ්‍යයක්" තමයි.නමුත් එය රාජ්‍යයක් නොවන රාජ්‍යයක් විය යුතුව තිබෙනවා.එය එහෙම නොවේ නම් එවැන්නක් හෙලා දකින්නත් මැලි විය යුතු නැහැ.

    ReplyDelete