![]() |
| උතුරේ විරුද්ධ දේශපාලනය ඔලු පැලීම සදහා වරෙන්තුවකි යාපනයේදී මැර ප්‍රහාරයකට ලක්වූ සුනිල් හදුන්නෙත්ති |
කොටි සංවිධානය පරාජය කිරිමෙන් පසු ලංකාව තුල ගොඩනැගෙමින් තිබෙනුයේ දකුනු අප්‍රිකානු ඇපාතයිඩ් පාලනයේ දේශීය වර්ෂනයද යන්න සාධාරන ලෙස මතුකල හැකි ප්රශ්නයකි.චෝදනා රහිතව සිරගත කොට තිබෙන දෙමල දේශපාලන සැකකරුවන්ගේ නම් ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා අපි ශ්‍රී ලාංකිකයෝ සංවිධානය විසින් පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවයකට සහභාගී වනු වස් යාපනයට ගිය ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති විරෝධතාවයට පෙර දින ( 15) රාත්‍රියේ දරුනු පහර කෑමකට ලක්විය.පහරදීම සිදුවනුයේ හෙතෙම යාපනය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ නිවසේ සාකච්ඡාවකට සහභාගී වෙමින් සිටින අතරතුරය.ජාතික ආරක්ෂාව පිලිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රකාශක ලක්ෂමන් හුලුගල්ල අදාල පහරදීමට රජයේ සම්බන්ධයක් නොමැති බවත් එය කෝපයට පත්වූ දෙමල සිවිල් වැසියන් විසින් සිදුකරන ලද්දක් බවත් පැවසීය.කැලනියේදී සරසවි සිසුන්ට පහර දුන්නේ කෝපයට පත්වූ "මවුපියන්ය".යාපනයේදි දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පහර දෙන්නේ කෝපයට පත්වූ "දෙමල ජනයාය".ඔබට රජය අයුතු යමක් කරන්නේ යැයි සිතෙන්නේ නම් ඊට එරෙහිවීමට පෙර හොදින් සිතාබලන්න.කෝපයට පත්වූ කවුරු කොයිවෙලේ ඔබට කුමක් කරනු ඇද්දැයි කිව නොහැක.
![]() |
| කල්ලන්ට හා සුද්දන්ට එකිනෙක වෙනස් පාලන ප්රමිතීන් ඇති කල දකුනු අප්‍රිකානු ඇපාතයිඩ් පාලනය |
යුද්ධය අවසන්ව වසරක් ඉක්මවා තිබුනද උතුරේ හමුදා සංකේන්ද්‍රනය අංශුවකිනුදු වෙනස් වි නැත.ඒ වෙනුවට තවත් හමුදා සංකීර්න ඉදිකරනු වස් අරමුදල් වෙන්වෙමින් තිබේ.
උතුර හමුදා පාලනයෙන් සිවිල් පාලනයට මාරු වෙන සලකුනක් හෝ තවම දකින්නට නැත.රජය හැර වෙනත් දේශපාලන අදහස් දරන්නන්ට උතුරේ දේශපාලනය කිරිමට තිබෙන ඉඩ අහුරා දමන යෝධ ප්රාකාරයක් ලෙස මෙම හමුදා සංකේන්ද්රිතය ක්‍රියාකරමින් සිටි.සමාජවාදී තරුන සංගමය විසින් යාපනයේ සංවිධානය කරන්නට යෙදුනු චිත්‍රපට උලෙලක් පසුගිය දිනෙක නිල නොලත් මැර පිරිස් වල තර්ජන මැද කඩාකප්පල් විය.යාපන සරසවිය තුල පවතින්නේ අතිශය දරදඩු පාලනයකි.ශිෂ්‍යයින්ට සංවිධානය වීමට තිබෙන අවම ඉඩ පවා ඒ තුල මුලුමනින් අහුරා දමා තිබේ.කොටි සංවිධානය පරාජය වීමෙන් උතුරේ මතුව තිබෙන දේශපාලන රික්තයට ඇතුලු වීමට එක්සත් ජාතික පක්ෂය කිසිදු උනන්දුවක් නොගන්නා සෙයකි.යාපනයේ සිට අධ්‍යාපන කටයුතු සදහා කොලඹ පැමින සිටින මෙම ලියුම්කරුගේ දමිල හිතවතෙකු පසුගිය දිනෙක පැවසුවේ දෙමල ජාතික සන්ධානය රජයේ ආධිපත්‍යය අභිමුව බොහෝ දුරට නිෂ්ක්‍රිය වී තිබෙන බවයි.රාජ්‍ය ආධිපත්‍යය නොසලකා යම් හෝ දේශපාලනයක් උතුරේ කිරීමට වෑයම් කරමින් සිටින්නේ ජවිපෙ පමනි.කොටි සංවිධානය සමග එක්ව දකුනේ එක්තරා දේශපාලන පක්ෂයක් කලබල ඇතිකිරීමට තැත්කරන බවට තමාට ආරංචි වී ඇතැයි ජනාධිපතිවරයා කැබිනට් මන්ඩලයේදී කී බව සති කිහිපයකට පෙර දිවයින පුවත්පතේ ඕපාදූප කොලම වාර්තා කලේය.හදුන්නෙත්තිට සිදු වූ පහරදීම වැඩි වැඩ දාන්න ඇවිත් ඇන නොගනු යනුවෙන් රජය විසින් එම පක්ෂයට සිදුකල අනතුරු හැගවීමකියි නිගමනය කිරීම සදොස් නොවේ.
මේ කරුනු විසින් අපට ඒත්තු ගන්වන්නේ මොනවාද?දකුනේ එදිනෙදා පාලනය සිවිල් ආයතන සිදුකරද්දි උතුර පාලනය කරන්නේ මිලිටරියයි.දකුනේ අපමන බාධා මැද වුවද තවමත් විරුද්ධ පක්ෂ වලට දේශපාලනය කිරිමේ යම් හෝ අයිතියක් පවතී.කවර බාධා තිබුනත් වැලිකඩ බන්ධනාගාරය වටලා පෙලපාලි දැක්වීමට විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීන්ට තවමත් නිදහසක් තිබේ.
( එම නිදහස දිනෙන් දින හැකිලෙමින් තිබීම වෙනම සාකච්ඡා කල යුත්තකි )
කෙසේ වෙතත් උතුරේදී එම ඉඩ මුලුමනින් හකුලා දමා තිබේ.දකුනේ ඔබ මොබ යාමට පුරවැසියාට තිබෙන අයිතිය මානුෂික මෙහෙයුමෙන් "නිදහස්" කරගත් උතුර තුල බරපතල ලෙස සීමා කොට තිබේ.දේශපාලන හෝ ජනමාධ්‍යමය අරමුනු වෙනුවෙන් නම් එවැනි ගමන්කිරිමක් කිරීම අතිශය දුෂ්කරය.එක්සේසත් කල අලුත් ලංකාවේ යාපා පටුනේ සිට දෙවුන්දර තුඩුව දක්වා බිය සැක නැතිව යාමේ වරම ලැබි තිබෙන්නේ නාමල් බබාට,බැසිල් බාප්පාට සහ ඔවුන්ගේ අධෝවාතය ආඝ්රානය කරමින් යැපෙන හුලුගල්ල වර්ගයේ වැටුප් වහලුන්ට පමනි.දකුනේ ජනයා විශ්ව විද්‍යාල පහසුකම්,වැඩි වැටුප් වැනි ආර්ථික සමාජ අයිතිවාසිකම් වෙනුවෙන් සටන්කරද්දී උතුරේ ජනයාට කතාකරන්නට සිදුව තිබෙන්නේ හිසට වහලක් ලබාගැනීම වැනි ඉතාම මූලික මනුශ්‍ය අවශ්‍යතා ගැනය.අත්අඩංගුවට පත්වූ දමිල තරුනයන් චෝදනා ගොනුකිරීමෙන් තොරව වසර ගනන් බන්ධනාගාරගත කරනු ලැබ ඇත.තම හිතෛශීන් අඩුම තරමින් ජීවතුන් අතරද නැද්ද යන්නවත් බොහෝ අය දන්නේ නැත.අත්අඩංගුවේ සිටින අයගේ නම් ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා සංවිධානය වීමටවත්,ප්රජාතන්ත්රවාදි ලෙස විරෝධය දැක්වීමටවත් උතුරේ ජනයාට අවස්ථාවක් නොමැත.
මේ සියල්ල විසින් පෙන්නුම් කරන්නේ පශ්චාත් එල්ටීටීඊ ලාංකීය රාජ්‍යය ගොඩනැගී තිබෙන ද්විත්ව ආකාරය නොවේද?එය උතුරට එක විදිහකටත් දකුනට තව විදිහකටත් සලකයි.එය රාජපක්ෂ පවුලට පූර්න ප්රජතාන්ත්රවාදයත්,රාජපක්ෂ නොවන දකුනට කප්පාදු කල ප්රජාතන්ත්රවාදයකුත් ලබාදෙන අතර උතුර මත සම්පූර්න මිලිටරි ආඥාදායකත්වයක් ආරෝපනය කොට තිබේ.
![]() |
| කාකි පැහැ ඡායාවෝ උකුසු ඇස කරකවයි! : මිලිටරිය - උතුරේ පරමාධිකාරය |
කෙසේවෙතත් උතුරේදී එම කොමිසමට වැඩකරන්නට වූ පසුබිම හාත්පසින් වෙනස් එකකි.කයිට්ස් දූපතේ පැවති සාක්ෂි දීමේ සැසිවාරවලට සිවිල් වැසියන් සහභාගී වීම වැලැක්වීම සදහා සංවිධානාත්මකව කටයුතු යෙදුනි.විදේශ ජනමාධ්‍යයන්ට එම සැසිවාර වාර්තා කිරීමට බාධා එල්ල කෙරුනි.වැලනොකැඩී කොමිසම ඉදිරියට ආ දෙමල සිවිල් ජනයා යුද්ධයේදී තමනට වූ අතවර,තමන් මේ මොහොතේ විදිමින් සිටින දුක්වේදනා පිලිබද නැවත නැවත සාක්ෂි දෙන්නට වූ අතර වේදනාවෙන් හා කදුලුවලින් බොදවූ එම ලෝකය සම්පූර්නයෙන්ම බාහිර සමාජයෙන් වසන් කිරීමට දකුනේ ජනමාධ්‍ය ක්‍රියාකලේය.
මෙම හැසිරීම හුදෙක් මාධ්‍යවල කුහකකමක් ලෙස තේරුම් ගැනීම නිවැරදි නැත.මේ වනාහි ලාංකීය ඇපාතයිඩය තුල ජනමාධ්‍ය ස්ථානගත වන ආකාරයයි.දකුනේදී නම් කැඩුනු පාරවල්,අබලන් වූ බොක්කු,ප්‍රසිද්ධ තැන්වල සිගරට් බොන පිරිමි ආදී "ප්‍රශ්න" ගැන කතාකරන විමර්ශන වැඩසටහන් වලින් මාධ්‍ය ආයතන වල ප්රවෘත්තී පිරී තිබේ.දකුනේ එවැනි ගැටලු කෙරෙහි යම් අවම මට්ටමකින් හෝ යොමුවෙන රූපවාහිනී කැමරා ඇස් කිසිවිටෙක උතුරේ පවතින මහා මනුශ්‍ය ඛේදවාචකය දෙස යොමු නොවේ.ඒ වෙනුවට එම මාධ්‍ය වල ඇත්තේ උතුරේ මැවෙන වසන්තයක් පිලිබද ව්‍යාජ වර්නනා පමනි.
උතුර එක් විදිහකටත් දකුන තව විදිහකටත් පාලනය කිරිමේ මෙම ඇපාතයිඩ් ක්‍රමවේදය අනාගත ලංකාව තවත් මහා ව්‍යසනයකට ඇද දමනු ඇත.මර්ධනය ලොව කවර තැනකදි වුවද ප්රචන්ඩ ප්‍රතික්‍රියාවන් වලට පාර කපයි.මිය ගිය ප්‍රභාකරන්ලා වෙනුවට වෙනත් ප්‍රභාකරන්ලා උතුරින් ඉපදීම මේ යන ආකාරයට හුදෙක් කාලය පිලිබද ප්‍රශ්නයක් පමනි.එවැනි ගැටුමක් යම් හෙයකින් නිර්මානය වූ කලෙක වුවද සිංහල හා දෙමල පීඩිතයන් කෙටවිම සදහා එය අවස්ථාවක් කරගනිමින් යෙහෙන් වැජඹීමට පාලකයන් ක්‍රියාකරනු ඇත.
සැබැවින්ම මේ කැරකෙමින් තිබෙන්නේ එකම විෂම චක්රයකි.මෙම චක්‍රය ප්රජාතන්ත්රවාදය පිලිබද අර්බුදය සේම ජාතික ප්රශ්නය විසදීමට පාලක පංතිය සතු අශක්නුතාවය ද විදහා දක්වන්නකි.





