Monday, September 27, 2010

ඩයිනමයිට් ඩිල්කා සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රී රංගා

ඩිල්කා සමන්මලී - Dynamite  dilka
ජීවි රූපවාහිනී දේශපාලන සංවාද යනු වෙලදපොල මිල සංඥාවනට විද්‍යුත් මාධ්‍ය නාලිකා සංවේදී වීම නිසා උපත ලැබූවකි.ටීඑන්එල් රූපවාහිනී සේවයේ ජනහඩ වැඩසටහන මෙලෙස කරලියට ආ පලමු සජීවි සංවාද වැඩසටහනයි.එය විසින් ගොඩනගාගනු ලැබූ සාර්ථකත්වය මත ඉක්බිති සියල්ලෝ ඔවුන් ගත් මග ගත්හ.සිරස සුපර් ස්ටාර් හරහා මහරාජා ආයතනය ලැබූ ලාභය කෙරෙහි ගිනිකන වැටී සෙසු මාධ්‍ය ආයතන සියල්ල ඩ්‍රීම් ස්ටාර්,ශ්‍රී ලංකන් ලයිෆ් යනාදී වශයෙන් ඩුප්ලිකේට් නිෂ්පාදන බිහිකලේ යම් සේද,නෙත් එෆ් එම් විසින් පිරිත් නැමැති පාරිභෝගික භාන්ඩය අලෙවි කරමින් ලබන සාර්ථකත්වය කෙරෙහි ලොබ බැද පුරුදු පිරිත් පුරුදු විදිහට අහන්න යනාදී ලෙස සෙසු සියලු ගුවන්විදුලි නාලිකා පිරිත් වැඩසටහන් නිෂ්පාදනය කරන්නට පටන් ගත්තේ යම් සේද ජනහඩ අනුව යමින් සෙසු සියලු විද්‍යුත් මාධ්‍ය ආයතන දේශපාලන වැඩසටහන් නැමැති හුවමාරු භාන්ඩය නිපදවන්නට වූයේය.90 දශකය අවසාන වන විට සෑම රූපවාහිනී සේවාවක්ම මෙවැනි දේශපාලන සංවාද වැඩසටහන් සංවිධානය කිරීම ස්වකීය කාලසටහනේ අනිවාර්ය අංගයක් බවට පත් කර ගෙන තිබුනි.


90 දශකය මැද භාගයේදී ආරම්භ වූ මේ ක්‍රියාදාමය විවිධ වෙනස්වීම් මධ්‍යයේ අද දක්වාම නොනැවතී ගලා විත් තිබේ.තම තමන්ගේ වැඩසටහනට වෙනම අනන්‍යතාවයක් ලබා දෙමින් අනෙත් නිෂ්පාදන වලට වඩා සිය නිෂ්පාදනය ප්‍රමෝට් කර ගනු වස් සෑම ආයතනයක්ම විවිධාකාරයෙන් මහන්සි වූයේය.අසන්නන්ට සජීවිව සම්බන්ධ වෙමින් ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබා දීම එවැනි උපක්‍රම වල ප්‍රාථමිකම අවස්ථාවයි.ස්වර්නවාහිනිය කාලයක් විකාශනය කල කිනිහිර නම් වැඩසටහනට දේශපාලන පක්ෂ වල නියෝජිතයන්ට අමතරව සිවිල් සමාජය නියෝජනය කරන අයවලුන්වද එකතු කර ගනිමින් විවිධත්වයක් එකතු කිරීමට වෑයම් කලේය.ජාතික රූපවාහිනියේ එක්තරා වැඩසටහනක් කාර්යබහුල මහපාරට සිය නිවේදකයෙක් හා කැමරාකරුවෙක් යවා ඒ මොහොතේ සජීවීව මහමග යනෙන ජනයාගේ ප්‍රශ්න දේශපාලනකයන්ට යොමුකිරීමේ අංගයක් එක්කාසු කලේය.ස්වර්නවාහිනිය දැන් විකාශනය කරන රතු ඉර වැඩසටහනට සහභාගි වනුයේ වෙනත් වැඩසටහන්වල මෙන් දේශපාලන පක්ෂ නියෝජිතයන් සිවු දෙනෙකු නොව දෙදෙනෙකි.පසුගිය ජනාධිපතිවරන සමයේ සිරස ආයතනය විකාශනය කල සටන නම් වැඩසටහන සියලු ආකෘති අතරින් වෙනස් ආකෘතියක් අත්හදා බැලීය.ඒ අනුව ඒ ඒ පක්ෂ වල සපෝටර්ලාටත් වැඩසහනට සහභාගී වී ඔල්වරසන් නැගීමට ඉඩ ලැබුනි.ඒ හරහා වැහුනු දොරවල් තුල එතෙක් කෙරුනු දේශපාලන සංවාද විවෘත කානිවල් එකක් බවට පරිවර්තනය විය.මේ සියල්ල අතරට හුදෙක් රජයේ නියෝජිතයන් පමනක් සහභාගී වන,පාලුගෙයි වලං බිදින ආන්ඩු පාක්ෂික චැනල වල නීරස වැඩසටහන්ද එකතු කල යුතුය.


ශ්‍රී රංගා : සටන වැඩසටහනේ කසකරු
විවිධ ආකෘතික වෙනස්කම් පැවතියේ නමුදු මේ සියලු වැඩසටහන් වල පොදු හරය එක සමානය.මේවාට ඒ ඒ පක්ෂ වල නියෝජිතයන් ඇරයුම් ලබන අතර ඔවුන් අතර විසංවාදයන් ඇවිලෙන ප්‍රමානය මත වැඩසටහනේ සාර්ථකත්වය රැදී තිබේ.මෙවැනි වැඩසටහන් හරහා මතු කර ගත හැකි සාධනීය ලක්ෂනය නම් ඒ ඒ පාර්ශවයන්ගේ ප්‍රතිපත්තිමය වෙනස්කම් හරවත් ලෙස එකිනෙක හා ගැටීමට සැලැස්වීමයි.නමුත් බොහෝ විට මේවා තුල දක්නට නැත්තේද එවැනි බුද්ධිමය අභ්‍යාසයකි.කටින් ගසා ගැනීමට ඒ ඒ දේශපාලකයා දක්වන හැකියාව මත මෙවැනි වැඩසටහන් ඉදිරියට දිව යයි.කොටින්ම මේවායේදී ප්‍රමුඛ වනුයේ කරුනු නොව කටින් ගසා අනෙකාව යටපත් කිරීමට යමෙකු සතු වන හැකියාවයි.මේ නිසා බුද්ධිමත් සංවාදයක් වනවා වෙනුවට බොහෝ විට මෙබදු වැඩසටහන් ස්වකීය මුඛයේ බලය පෙන්වන,කැමරාව ඉදිරියේ තමනට තිබෙන රගපෑමේ හැකියාව පෙන්වන මාධ්‍ය සංදර්ශන බවට පත්වී කෙලවර වේ.


සම්භාව්‍ය සිනමාව සහ වෙලද සිනමාව අතර වෙනස ඇසුරින් මේ තත්වය වටහා ගත හැක.සම්භාව්‍ය සිනමාවේ පරමාර්ථය කලාවයි.මේ නිසා එය ප්‍රේක්ෂකයාගේ බුද්ධිය අරමුනු කර ගනී.වානිජ සිනමාව වෙලදපොල ඉලක්ක කරගන්නා නිසා එය හුදෙක් වින්දනය නමැති අක්ෂය වටා භ්‍රමනය වේ.පොදු ප්‍රේක්ෂකයාට ෆන් එකක් ගත හැක්කේ ටෙනිසන් කුරේගේ දෙපිට කැපෙන විහිලු වලිනි.රන්ජන් රාමනායකගේ මස්පිඩු පිම්බූ ශරීර ප්‍රදර්ශනයෙනි.අනර්කලීගේ නිරාවරනය වූ දෙපා වල සමීප රූපවලිනි.පොදුජන විසිල් වැදෙනුයේ මේවාට මිස පුරහද කලුවරෙහි සොල්දාදුවාගේ ඛේදවාචකය වැනි සීරියස් බැරූරැම් දේවලට නොවේ.සිනමා ප්‍රේක්ෂක වෙලදපොල මෙන් දස ගුනයකටද වැඩි පරාසයක රූපවාහිනී වෙලදපොල පැතිරේ.සමාන ආකාරයෙන් එම පොදුජනයා පිනවිය හැක්කේ ආර්ථිකය හෝ දේශපාලනය ගැන කෙරෙන සීරියස් විග්‍රහයන්ගෙන් නොව අලුත්ගමගේ මහින්දානන්දගේ වාචාල කතා වලිනි.ජයලත් ජයවර්ධන සහ රාජිත සේනාරත්න අතර කෙරෙන බොල් වාග් සංග්‍රාමයන්ගෙනි.
පසුගිය ජනාධිපතිවරන සමයේ සංවාදයන් ගත් කල මෙබදු රූපවාහිනී සංවාද වල මුඛ්‍ය ප්‍රශ්නය වූයේ යුද්ධය දිනා දුන්නේ කවුද යන්නයි.රාජපක්ෂ ඒසී කාමරවල සිටියදී ෆොන්සේකා සිටියේ යුද භූමියේ නිසා විරුවා ඔහු බව එක් පිරිසක් අඩි හප්පා කියයි.ෆොන්සේකා යුද පිටියේ සිටියාට ඔහුව මෙහෙයවූයේ කොලඹ සිටි රාජපක්ෂ බැවින් සැබෑ විරුවා රාජපක්ෂ බව අනෙත් පිරිස ඊටත් වඩා ශබ්දයෙන් අඩි හප්පා කියයි.මෙම අතිශය අදේශපාලනික කරුන උඩ රූපවාහිනී කැමරා ඉදිරියේ දේශපාලකයන් එකිනෙකා මරාගැනීමට තැත් කරයි.කුල මල කියයි.මිට මොලවා ගත් අතින් මේසයට තඩි බායි.
පොදු ප්‍රේක්ෂකයාට මෙය මාර ආතල්ය.වැඩසටහනේ රේටිංස් රැදී පවතිනු‍‍යේ මෙසේ ආතල් සපයන ප්‍රමානය මත වන නිසාත්,බැරූරැම් දෙයින් ලද හැකි ආතලයක් නොපවතින නිසාත් මෙබදු වැඩසටහන්වලින් දේශපාලනය ගිලිහේ.දේශපාලන සංවාද යන මැයෙන් අදේශපාලනික විකාර නැවත නැවත හෝද හෝදා මඩේ දැමෙයි.


මනූෂ නානායක්කාර : රොනී ද මැල් සම්ප්‍රදායේ නවතම පුරුක
සජීවි දේශපාලන සංවාදයන්ගේ අනෙත් කැපී පෙනෙන සුලු ලක්ෂනය වනාහි ඒවායේ මෙහෙයවන්නාගේ භූමිකාවයි.මෙම භූමිකාව ස්ථානගත වන අවකාශය වටහාගනු වස් මෙවැනි වැඩසටහන් මෙහෙයවූ චරිත වල ඓතිහාසික පරිනාමය මදක් අවධානයට ගනු වටී.ස්වර්නවාහිනියේ රතු ඉර මෙහෙයවූ චන්දන සුරියබන්ඩාර පසුකාලීනව එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකයෙකු ලෙස අබිසෙස් ලැබීය.සිරසෙහි එවැනි භූමිකාවක සිටි බුද්ධික පතිරන අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.දේශපාලන සංවාද මෙහෙයවන්නෙකු නොවුවද "සමබර" හා "අපක්ෂපාතී" ප්‍රවෘත්ති ඉදිරිපත් කල ස්වර්නවාහිනියේ මනූෂ නානායක්කාර පසුගිය මැතිවරනයේදී වජිර අබේවර්ධන වැනි ජ්‍යෙෂ්ඨ යූඇන්පී කාරයන් අබිබවා ජය ලැබීය.සටන වැඩසටහනේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරමින් පසුගිය ජනාධිපතිවරන සමයේ දේශපාලකයන් "නිරුවත්" කරවමින් දිගට හරහට ඔවුනගෙන් ප්‍රශ්න විමසූයේ ජේ.ශ්‍රී රංගාය.දේශපාලකයනගේ දෙබිඩිභාවය "හෙලිදරවු කල" මෙම මාධ්‍ය වීරයා අද දේශපාලකයෙකි.හුදු දේශපාලකයෙකු නොව තේරී පත්ව මාස කිහිපයක් තුල රොනී ද මැල් වර්ගයේ බල්ටියක් ගැසූ දේශපාලඥයෙකි.


ඉහත සියලු චරිත වෙත පොදුජන ඡන්දය ආකර්ශනය කල සාධකය වූයේ ඔවුන් රූපවාහිනී තිරය මත රගදැක්වූ මාධ්‍යවේදී භූමිකාව බවට සැකයක් නැත.එම වැඩසටහන් තුල ඔවුන් රගදැක්වූ භූමිකාව වනාහි කවරක්ද?මුල් බැල්මට එය වූ කලී සාධාරනත්වයේ භූමිකාවයි.අපක්ෂපාතිත්වයේ භූමිකාවයි.දේශපාලකයන්ගේ වැරදි ගැන දිගට හරහට රූපවාහිනී කැමරා ඉදිරියේ ප්‍රශ්න කරනුයේ ඔවුන්ය."ජනතා අධිකරනය" ඉදිරියේ දේශපාලකයන් නිරුවත් කරනුයේ මෙම මාධ්‍ය මෙහෙයවන්නන්ය.දේශපාලකයෙකු යමක් සැගවීමට තැත් කරන කල්හි මෙම මාධ්‍ය වීරවරු පන්න පන්නා එය මතු කර ගැන්මට උත්සාහ කරති.නිතර දෙවේලේ පෙනෙන මෙම දෘශ්‍යමානය තුල පොදු සමාජය සිතනුයේ මෙම මාධ්‍යවේදීන් සිරා පොරවල් බවයි.ඔවුන් සත්‍යය වෙනුවෙන් කැපවූ අය බවයි.අසාධාරනත්වය නුරුස්සන,යුක්තිය වෙනුවෙන් කැපවුනු වීරවරයන් බවයි.මෙවැනි සන්දර්භයක කදුකරයේ යූඇන්පී කනු ඇද දමමින් ශ්‍රී රංගා ඡන්ද ලැයිස්තුවේ මුලට ඒම අහම්බයක්ද?


දේශපාලකයන් සහ ජනතාව අතර සම්බන්ධය හින්දි චිත්‍රපටයක අහිංසක පෙම්වතිය - දුෂ්ටයා අතර සම්බන්ධය මෙන් පැතලි,කලු සුදු එකකි යන්න සමාජයේ මුල් බැසගත් මිථ්‍යාවකි.දේශපාලකයන් තක්කඩියන් බව බොහෝ විට කියැවේ.නමුත් වංචනිකයන් හා දෙබිඩ්ඩන් වන්නේ දේශපාලකයන් පමනද?නිදසුනක් ලෙස පලාතේ මන්ත්‍රීවරයා ගසා කන්නෙකු බව දැන දැනම,කොච්චර ගසා කෑවත් අපේ පාරක් වත් කොන්ක්‍රීට් කරල දෙනවනෙ යනුවෙන් පුනරුච්චාරනය කරමින්,ඡන්දය කාලෙට දිවිපුදාගෙන කැන්වසින් යමින්,කතිරය ගසා ඔහුවම නැවත බලයට පත් කරමින්,ඉක්බිති යලිත් දේශපාලකයන් හොරුය යන සුපුරුදු මන්තරය කියමින් සිටින,තක්කඩිකම විනෝදයක් බවට පත්කරගෙන සිටින පොදු ජනතාව යනු ඊටත් වඩා දෙබිඩ්ඩන් පිරිසක් නොවේද?සජීවි සංවාද නමැති මාධ්‍ය සංදර්ශනය තුල මාධ්‍යවේදියාව වෙස් ගැන්වෙන්නේ "නරක" දේශපාලකයාට ඇට්ටි හැලෙන්න දෙන "හොද" ජනතාව නියෝජනය කරන යහපත්භාවයේ පාරිශුද්ධ ඒජන්තයා ලෙසිනි.රිදී තිරයේ වීරයාට ඇදි එම්ජීආර් සිය අසහාය නායකයා ලෙස ඡන්දය දී තෝරාගත් තමිල්නාඩු ජනතාව මෙන් ලංකාවේ පොදු ජනයාද මේ අනුව මෙම පාරිශුද්ධ මාධ්‍ය ඒජන්තවරුන් සිය නියෝජිතයන් ලෙස තෝරා ගනී.


එහෙත් අවාසනාවකට මෙම සමස්ථ ක්‍රියාවලිය මෙගා ඇන්දිල්ලකි.මෙගා ඇදගැනීමකි.යුක්තිය වෙනුවෙන් රූපවාහිනිය ඉදිරියේ වීර චරිතයක් රග පෑ ශ්‍රී රංගාට තමා එතෙක් තමා'තින් විවේචනය වූ දේශපාලකයන් තරම්ම අවස්ථාවාදියෙක් හා වංචනිකයෙක් බව ඔප්පු කිරීමට ගත වූයේ යම්තම් මාස දෙකකි.සිය පියාගේ නාමයෙන් තම පක්ෂය කෙරෙහි පක්ෂපාතිත්වය පිලිබද දිවුරුම් දුන්  මනූෂ නානායක්කාර ගැන අමුතුයෙන් යමක් කියනු නොවටී.වඩා වැදගත් කරුන කෙසේ වුවද එය නොවේ.සැබැවින්ම මෙම මාධ්‍ය මහත්වරුන්ගේ වීරත්වයට සීමාවක් ඇත.එම සීමාව තීරනය කරන්නේ ඔවුන්ගේ චැනල් පසුපස තිබෙන ප්‍රාග්ධනය විසිනි.සියලුම දෙනාගෙන් වසන් කරන,එහෙත් සියලුම දෙනා දැනගත යුතු සත්‍යය එයයි.


දෙරන රූපවාහිනියේ 360 වැඩසටහන චතුර ලෙස ඉදිරිපත් කරන,දක්ෂ මාධ්‍යවේදිනියක ලෙස සැලකිය හැකි ඩිල්කා සමන්මලීගේ භූමිකාව නිදසුනක් ලෙස ගෙන මෙය පැහැදිලි කර ගත හැක.
ඩිල්කා බැලූ බැල්මට මාරය.සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වරෙක ඇයව හැදින්වූයේ ඩයිනමයිට් ඩිල්කා (Dynamite Dilka )යන නමිනි.කාන්තාව අක්‍රීය (passive) චරිතයක් සේ ගැනෙන ආසියාතික සමාජයක් තුල දේශපාලකයන් වන තඩි පිරිමින්ගෙන් දිගට හරහට ප්‍රශ්න අසන සක්‍රීය ( active) ගැහැනියක කෙරෙහි පොදු සමාජය,විශේෂයෙන් පොදු සමාජයේ පිරිමි ප්‍රේක්ෂකයා වශී වීම පසුපස මානසික ආකර්ශනයක් පවතී.
මෑතකදී විකාශනය වූ ඩිල්කා සමන්මලී එ රන්ජන් රාමනායක වැඩසටහන පසුගිය දිනවල බොහෝ ආ‍න්දෝලනයට තුඩු දුන්නකි.කාන්තා අයිතීන් වෙනුවෙන් පිතිහරඹයේ යෙදෙනවා යැයි කියන කාන්තා විරවරයෙකු සැබෑ ජීවිතයේදී අනෙකෙක් නොව කාන්තා හිංසකයෙකි යන අදහස ගම්‍ය වන පරිදි සූක්ෂම ලෙස එහිදී සමන්මලී රාමනායකව කොටු කලාය.තවද රාමනායකගේ මන්ත්‍රීධූරයට ලැබෙන කාර් පර්මිටය ඔහු විසින් විකුනා දැමීම පිලිබද "රහස" හෙලිදරවු කරමින් රාමනායකව ඇය දැඩි ලෙස අපහසුතාවයට ලක් කලාය.
ඇය මෙවැනිම වැඩසටහනකින් (එවකට) එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනියක වූ උපේක්ෂා ස්වර්නමාලීව උග්‍ර කරදරයකට ඇද දැමූ ආකාරය ප්‍රසිද්ධ සිද්ධියක් බවට පත්විය.


කෙසේ වුවද රාමනායකගේ වැඩසටහින් ඉක්බිති,ඊලග සතියේ 360 වැඩසටහනට පැමින සිටියේ ජාතික හෙල උරුමය විසින් එහි නායකත්වයෙන් පන්නා දැමූ එල්ලාවල මේධානන්ද හිමිය.මේධානන්ද හිමිගේ කාර් පර්මිට් වංචාව පිලිබද කතාව කලෙකට ඉහතදී මහත් කතාබහට ලක්වූවකි.උන්වහන්සේව හදිසියේ හෙල උරුමයේ නායකත්වයෙන් පන්නා දැමීම ආදී වශයෙන් අසනවා නම් ඇසිය හැකි "රසවත්" ප්‍රශ්න රාශියක් පැවතුනි.
නමුත් උන්වහන්සේ අභිමුව ඩිල්කා සමන්මලී රගන්නට වූයේ දහම් පාසල් ශිෂ්‍යාවකගේ චරිතයයි.ඇයගෙන් උන්වහන්සේ වෙත එල්ල වූයේ අලුත්ම පුරාවස්තුව හොයාගත්තේ කොහෙන්ද අපෙ හාමුදුරුවනේ?ඒකෙ වටිනාකම කීයද හාමුදුරුවනේ?ඒකෙ දිග කීයද හාමුදුරුවනේ?පලල කොච්චරක් විතරද හාමුදුරුවනේ? වර්ගයේ බබා ප්‍රශ්න සමූහයකි.මෙම බබා ප්‍රශ්න සමූහය ඇය සීරියස් මූඩ් එකක් මවාගෙන විමසන විට,එය මහත් හාස්‍යයකි.


ජයලත් ජයවර්ධනගෙන් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන දිගට හරහට ප්‍රශ්න කරන සමන්මලී ආන්ඩු පාක්ෂික මන්ත්‍රීවරයෙකුගෙන් කිසිවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද විමසීමට ඉදිරිපත් වනු මෙම ලියුම්කරුගේ ඇස ගැටී නොමැත.අන්තර්ජාලයේ තිබී ඇස ගැටුනු සමන්මලී එ නාමල් රාජපක්ෂ වැඩසටහන ද ලියුම්කරුගේ අවධානයට හසුවූවකි.මෙම වැඩසටහනේදී තාරුන්‍යයට හෙටක් සංවිධානය මුලුමනින් දේශපාලනයෙන් තොර වූවක් බව ( අනේ සාධු!) නාමල් රාජපක්ෂ ( එවකට මන්ත්‍රී ධූර අපේක්ෂකයා ) පවසයි.එසේ නම් ජනාධිපතිවරනය වෙනුවෙන් කලාකරුවන් රැගත් "සංවේදී පලපුරුදු නායකයාට ඡන්දය දෙන්න" නම් දේශපාලන දැන්වීම් පෙල ජනාධිපති වෙනුවෙන්  එම සංවිධානය මගින් විකාශය කලේ ඇයිදැයි සමන්මලි ප්‍රශ්න කරයි.ඊට ජනාධිපති පුත්‍රයා දෙන පිලිතුර - එම දැන්වීම් පෙල ජනාධිපති දිනවීම අරමුනු කරගත්තක් නොවන බවය.දැන්වීමෙන් ඡන්දය දෙන්න යැයි ඉල්ලා සිටීමක් සිදුවූවත්,ඡන්දය දිය යුත්තේ කාටදැයි නිශ්චිත අපේක්ෂකයෙකුගේ නම සදහන් නොවූ නිසා එය හුදෙක් තරුන පිරිස් මැතිවරන ක්‍රියාවලියට ඇද ගැනීමට විකාශය කල දේශපාලනයෙන් තොර දැන්වීම් පෙලක් බව හෙතෙම පවසයි.
මෙම පිලිතුර සත්‍යයෙන් තොර,අතේ පැලවෙන තක්කඩි බොරුවක් බව නාමල් බබා මෙන්ම සමන්මලීද දැන සිටියාට සැක නැත.නමුත් ඒ ගැන විමසීමට තරම් එඩිතර වූයේ සමන්මලී නොවේ.ඇය ඒ වෙනුවට තරුනයන්ගේ සදාචාරය ගැන ලදරු ප්‍රශ්නයක් නාමල් බබා වෙත ඉදිරිපත් කරමින් කතාව වෙන අතකට ගෙන යයි.
ජවිපෙන් ඉවත් වූ අලුත විමල් වීරවංශ සහභාගි වූ 360 වැඩසටහනද ලියුම්කරුගේ මතකයේ රැදෙන තවත් නිදසුනකි.එම වැඩසටහන පුරා සමන්මලී වීරවංශ වෙත අත් හරින්නේ "ඔබ ජවිපෙන් අයින් වුනාම ජවිපෙ තුල තිබුන සිංහල හඩට මොකෝ වෙන්නේ" වර්ගයේ මහා පරිමාන ෆුල් ටොස්ය.විය යුතු පරිදිම මෙම ෆුල්ටොස් වලට දෑත බදා හයේ පහර එල්ල කරන වීරවංශ සිත පුරා ලකුනු රැස්කරගනී.අඩු තරමින් ඔහුගේ ඉවත් වීම පිලිබද ජවිපෙට කීමට තිබෙන්නේ කුමක්දැයි විමසනු වස් ජවිපෙ නියෝජිතයෙක් සම්බන්ධ කරගැනීමවත් එහිදී සිදු නොවීය.


දෙරන රූපවාහිනියේ ඩිල්කා සමන්මලීගේ භූමිකාව පිලිබද ඉහත විස්තරාත්මක නිදසුන් කිහිපය අපව පැහැදිලි නිගමනයක් වෙත යොමු කරයි.
සමන්මලී තමන්ගේ සියලු අපක්ෂපාතී චන්ඩිකම් දක්වන්නේ සීමාසහිත සමචතුරස්‍රයක් තුල සිටය.එම චතුරශ්‍රයේ දිග පලල තීරනය කරනුයේ වරුනි අමුනුගමගේ ප්‍රාග්ධනයයි.අලංකාර උපමාවකින් දැක්වුවහොත් සමන්මලී යනු අමුනුගම ප්‍රාග්ධනය විසින් වයින් කරන ලද බෝනික්කියකි.විපක්ෂයේ රාමනායක ඉදිරියේ සීනා වර්ගයේ ප්‍රහාරකයෙකු වන ඇයට මේධානන්ද ලොකු හාමුදුරුවන් ඉදිරියේ දහම් පාසල් ලදැරියක වන්නට සිදුවන්නේ මේ නිසාය.තමා සැබැවින්ම අපක්ෂපාතී නොවන බව හා තමාට එසේ විය නොහැකි බව දැන දැනත් සමන්මලී තමා අපක්ෂපාතී මෙහෙයවන්නියක බව මවා පෙන්වීමට තැත් කරයි.ව්‍යාජ ස්වාධීනත්වයක් මවා පාමින් ඇය කරන්නේද එක්තරා අන්දමක තක්කඩිකමකි.නැති ගුනාංගයක් තිබෙන බව පෙන්වීමට වෑයම් කරමින් රගපෑම කුහකකමක් නොවේ නම් අන් කවරක්ද?සමාජය ඇන්දවීම වෘත්තිය කරගත් දේශපාලකයා වංචනිකයෙක්,කුහකයෙක් සහ දෙබිඩ්ඩෙක් වන්නේ නම් එයම වෙනත් විදිහකින් වෘත්තිමය ලෙස සිදු කරන මේ නෝනාවරුන් හට දිය යුතු නම කවරක්ද?


සජීවි දේශපාලන සංවාද නම් මාධ්‍ය සංදර්ශනය තුල පොරවල් ලෙස පෙනී සිටින අනෙකුත් මහත්වරුන් සම්බන්ධයෙන්ද සත්‍යය මෙයයි.විද්‍යුත් මාධ්‍ය නම් ඉන්ද්‍රජාලය විසින් මහා ප්‍රතිරූප ලෙස ප්‍රක්ෂේපනය කෙරෙන සන්නිවේදක වීරයන් යනු වේතනය වෙනුවෙන් ආත්ම උගස් කල වැටුප් ශ්‍රමිකයන් පිරිසකි.ඔවුන් අතින් නිරුවත් කෙරෙන දේශපාලකයන් තරමටම මොවුන්ද දෙබිඩිය.ආත්මාර්ථයෙන් හා මජරත්වයෙන් අඩු වැඩි වශයෙන් දූෂිතය.එව බලව.මේ යුගය තුල අපට ජීවත් වන්නට නියම වි තිබෙනුයේ සංකීර්න ලෙස වියනු ලැබූ මහා මායාවක් තුලය.


Thursday, September 16, 2010

walking with the comrades / සහෝදරවරුන් සමග - Arundathi Roy



කදු ඉවත් කල මෝඩ මහල්ලා නම් වූ පැරනි චීන උපමා කතාවක් තිබේ.එය බොහෝ කලෙකට පෙර උතුරු චීනයෙහි විසූ උතුරු කන්දේ මෝඩ මහල්ලා යයි දන්නා ලද මහලු මිනිසෙකු ගැන කියයි.ඔහුගේ ගෙය දකුනට මුහුනලා පිහිටියෙය.ඔහුගේ දොරකඩින් ඔබ්බෙහි,මග අහුරමින් තායිහාං සහ වාංචූ යන මහා පර්වතකූට දෙක විය.ඔහු තම පුතුන් කැදවීය.අතින් ගත් උදැල්ල ඇතිව ඔවුහු මහත් අධිෂ්ෆාන සම්පන්නව මේ කදු කපා උගුල්ලන්ට පටන්ගත්තෝය.ඥානවන්ත මහල්ලා යයි දන්නා ලද හිස නිකට පැසුනු තවත් මිනිසෙක් ඔවුන් දැක "අනේ නුඹලා කරන්නේ මේ මොන මෝඩ වැඩක්ද!මේ මහ කදු දෙක උගුල්ලන්ට උඹලා කීප දෙනාට නම් කොහෙත්ම බැරිය"යැයි අවඥා මුඛයෙන් කීවේය.මෝඩ මහල්ලා මෙසේ පිලිතුරු දුන්නේය."මා මලාම මගේ පුත්තු එය කරගෙන යාවි.ඔවුන් මලාම මගේ මුනුබුරෝත්,ඊලගට ඔවුන්ගේ පුත්තු සහ මුනුබුරෝත් ඇතිවේවි.අනන්තය දක්වාම මෙසේ වේවි.කොතරම් උස වුවත්,මේ කදුවලට මීට වඩා උසට වැඩෙන්ට බැරිය.වැලිත් අප කපන පිඩක් පාසා,ඒවා එපමනකින් මිටි වෙනවා ඇත.ඒවා ඉවත් කරන්ට ඇයි අපට බැරි?"
ඥානවතන්ත මහල්ලාගේ වැරදි මතය නිෂ්ප්‍රභ කොට ඔහු තම විශ්වසායෙහි නොසැලී සිටිමින්,දිනක් පාසාම කපාගෙන ගියේය.මෙයින් දෙවියන්ගේ හිත උනු විය.ඔහු තමාගේ දේවදූතයන් දෙදෙනෙකුන් එවීය.ඔවුහු ඒ කදු තම කර පිට තබාගෙන ඉවත ගෙන ගියෝය.අද,මහ කදු දෙකක් මහ බරක් ලෙස චීන ජනතාව මත පැටවී තිබේ.එකක් අධිරාජ්‍යවාදයයි.අනික රදලවාදයයි.චීන කොමියුනිස්ට් පක්ෂය මේවා උගුල්ලා දමන්ට බොහෝ කලෙක සිට ඉ‍ටාගෙන සිටී.අපි නොපසුබටව උත්සාහ කල යුතුයි.නොනැවතී වැඩ කල යුතුයි.අපද දෙවියන්ගේ හදවත උනු කරනවා ඇත.අපේ දෙවියෝ චීන බහුජන සමූහයන් විනා අන් කිසිවෙක් නොවෙත්.ඔවුන් නැගී සිට අප සමග එකතු වී කපත් නම්,මේ කදු දෙක ඉවත් කරන්ට බැරි ඇයි?

- මා ඕ සේතුං 1945 ජූනි ( තෝරාගත් කෘති,3 කාන්ඩය,322 පිට )


දක්ෂින ආසියාවේ මහා රාජ්‍යය වන ඉන්දියාවේ දේශපාලන සිතියම එය නිදහස ලැබූ දා සිටම කැලඹිලි සහගත එකකි.එම කුනාටුමය ස්වභාවය මේ වන විට වඩා වියවුල් වෙමින් තිබෙනුයේ ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත වසාගෙන උග්‍ර ලෙස පැතිරී යමින් තිබෙන මාඕවාදී ගරිල්ලා ව්‍යාපාරයේ සාර්ථකත්වය නිසාය.මේ පිලිබද මීට ඉහතද මෙම අඩවිය තුල සටහනක් ‍පල කෙරින.මෙම සන්නද්ධ අරගලය ඉන්දීය මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය විසින් මෙහෙය වෙන අතර මෙම පක්ෂය 1968 නක්සල්බාරි නැගිටීමට දායක වූ මව් කන්ඩායමෙන් බිදී එන විවිධ ප්‍රවනතා විසින් එක්සත්ව පිහිටුවනු ලැබූවකි.මෙම ව්‍යාපාරය සක්‍රීයත්වය ලබනුයේ දිලිදු ස්වදේශික ගෝත්‍රික ජනතාවන්ගේ සහභාගිත්වයෙනි.මාඕවාදී සංවිධානය ඉන්දීය රජය විසින් ත්‍රස්තවාදි සංවිධානයක් ලෙස නම් කොට තිබෙන අතර එක්සත් ජනපද රජයද එය අනුමත කොට තිබේ.මෙම ත්‍රස්තවාදි සංවිධානයේ "මිනීමරු" ක්‍රියා ඉන්දියාවේ ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය අතර ප්‍රසිද්ධ තේමාවකි.කැරලිකරුවන්ගේ පහරදීමක්,පුපුරුවා හැරීමක් පිලිබද ප්‍රවෘත්තියකින් තොර ඉන්දීය දිනපතා පුවත්පතක් සොයා ගැනීමද අසීරු වන තරමට මෙය මෑත මාස කිහිපය තුල උග්‍ර සිදුවීමක් ලෙස වර්ධනය වී තිබේ.

කෙසේ වුවද ගරිල්ලා ව්‍යාපාරය මගින් පාලනය කරන ප්‍රදේශ වල පසුගිය දිනෙක ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි සංචාරයක නියුතු වූවාය.ඉක්බිති ඇය විසින් ලියනු ලැබ Outlook නම් සගරාවේ පල වූ විස්තරාත්මක ලිපියක් හරහා සැලකිය යුතු විවාදාත්මක තත්වයක් ජනිත විය.රෝයි මාඕවාදී ගරිල්ලාවරුන්ව මෙහිදී හදුන්වනු ලබන්නේ අවි ආයුධ සහිත ගාන්ධිවාදීන් පිරිසක් ලෙසිනි.මාඕවාදීන්ට අසාධාරනයට එරෙහිව සාම්ප්‍රදායික ගාන්ධිවාදී සටන් ක්‍රම වන උපවාස වැනි දේ යොදාගත නොහැක්කේ මන්ද වැනි මධ්‍යම පංතික විවේචන වරෙක සෝපාහාසාත්මක ලෙස ප්‍රශ්න කල රෝයි පෙරලා ප්‍රශ්න කොට සිටියේ උපවාස කිරීම යනු ආහාර අනුභවය අත්හැරීම බවත්,කොහොමත් ආහාර හිගයෙන් හා සාගතයෙන් පෙලෙන දිලින්දන් ගෙන් සමන්විත ස්වදේශික ගෝත්‍රික කොටස් උපවාස කිරීමට අමුතුවෙන් ආහාර අනුභවය අත්හැරීම කෙතරම් විහිලුවක්ද යන වගත්ය.මධ්‍යම ඉන්දියාවේ ප්‍රාන්ත වල දරිද්‍රතාවය සහ පසුගාමීත්වය පිලිබද රෝයි හෙලිකරන ඇතැම් කරුනු තැතිගන්වන සුලුය.ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය ආවරනය කිරීමට මැලි වෙන රජයේ අනුදැනුම මත ක්‍රියාත්මක වෙන මාඕවාදයට එරෙහි පැරා මිලිටරි කන්ඩායම් වල සාහසික ක්‍රියාකාරකම් යනාදිය මිනිස් අයිතීන් පිලිබද ඉන්දීය මධ්‍යම රජයේ ප්‍රසිද්ධ පෙනී සිටීම කෙතරම් ව්‍යාජයක්ද යන්න පෙන්වා දෙනු ලබයි.

කෙසේ වුවද ඉන්දියාවේ මෙම සිවිල් යුද තත්වය තෙවන ලොව ධනවාදයේ සංවර්ධනයේ ඇති විශේෂතා පිලිබද හැදෑරීම් ගනනාවකට කවුලුව විවර කර තිබේ.ඉන්දියාවේ ධනේශ්වර පංතිය වනාහි කලාපයේ වඩාත්ම ශක්තිමත් ලෙස වර්ධනය වූ සමාජ ස්ථරයකි.එම පංක්තිය ඉන්දීය කොංග්‍රසය සහ භාරතීය ජනතා පක්ෂය යන සංවිධාන හරහා නියෝජනය වේ.මෙම ව්‍යාපාර වැඩවසම්වාදයට එරෙහි ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක කරනවා වෙනුවට වැඩවසම්වාදය සමග මිශ්‍ර වෙමින්,වැඩවසම් ක්‍රමය සමග සහවාසයට ගොස් තිබෙන අයුරු උක්ත සන්නද්ධ නැගිටීමේ පසුබිම සමීපව නිරීක්ෂනය කිරීමේදී දැක ගත හැක.
චත්තිස්ගාර්,බිහාරය වැනි ප්‍රාන්ත වල විශාල වැඩවසම් පන්නයේ ඉඩම් හිමියන් සමග සහවාසයෙන් යුක්තව,බලය හොබවන මෙම ධනේශ්වර දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වේ.කෘෂිකාර්මික ප්‍රතිසංස්කරන,කුල භේදය බිද දැමීම,කාන්තා අයිතීන් ප්‍රවර්ධනය හා පැරනි අගතිගාමී සංස්කෘතික ලක්ෂන වලට එරෙහිව සටන් කිරීම වැනි ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් පවා මේ තුල ධනේශ්වර නොවන විකල්ප ව්‍යාපාරයක් විසින් භාරගෙන තිබෙන ආකාරය මාඕවාදී ව්‍යාපාරයේ උත්පාතය තුල නිරීක්ෂනය කල හැක.

අරුන්දතී රෝයිගේ දීර්ඝ ලිපියේ සිංහල අනුවර්තනයක් පහත බ්ලොග් අඩවිය තුල කොටස් වශයෙන් පල වේ.


මාඕවාදී ව්‍යාපාර නේපාලයේද බරපතල බලයක් හොබවන සන්දර්භයක ඉන්දියාවේ මෙකී වර්ධනය කලාපයේ නව අනාගත පෙලගැස්මක සලකුනු සටහන් කරන බවට සාධාරන ලෙස සැක කල හැකිය.



Tuesday, September 7, 2010

ඒකාධිපති සමාජයක් තුල සිවිල් ආයතන නිෂ්ප්‍රභා වීම - කොලඹ විශ්ව විද්‍යාලය ආශ්‍රිත නිරීක්ෂන සටහනක්



2010 සැප්තැම්බර් 08 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරෙන දහඅට වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ආඥාදායකත්වය නිල වශයෙන් නීතිගත කොට තිබේ.

ලංකාවේ විධායක ජනාධිපති ධූරය වනාහි ව්‍යවස්ථාදායක,විධායක,අධිකරන යනාදී සකල විධ රාජ්‍ය බලය සෘජු
හෝ වක්‍ර ලෙස එක් පුද්ගලයෙක් අත ඒකරාශී කරන ඒකාධිපති ව්‍යුහයකි යන්න පිලිබදව අදහස් නොදැක්වූවෝ කවරහුද?උත්ප්‍රාසාත්මකව මේ ගැන කතා නොකල අයෙක් නැති තරම්ය.පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ගේ සිට වාසුදේව නානායක්කාර,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,සිවිල් සමාජය,විද්වතුන් පමනක් නොව මෙම ධූරය බිහි කල එජාපය ඇතුලු ජාතිකවාදී,ලිබරල්වාදී,ප්‍රගතිශිලි,ප්‍රතිගාමී,කොටි හිතවාදී,කොටි විරෝධී,වමේ දකුනේ එකී නොකී සෑම කෙනෙක්ම විවිධ වකවානු වල මෙම ධූරය වහා පිටුදැකිය යුතු,පිලිකුල්සහගත,අත්තනෝමතික ආයතනයක් ලෙස විවේචනය කොට තිබේ.එම ධූරය ඉහේ සිට පට්ට ගසා තිබේ.
සියල්ලන්ම මෙය අහෝසි විය යුතුයැයි කියා තිබුනද එය තවම පවතී.කවුරුත් මෙයට කැමති නැත.නමුත් කැමති නැති වූවාට අකමැතිද නැත.සැවොම මෙයට ද්වේශ කරති.එහෙත් අවිඥානිකව ආදරයද කරති.මේ අනුව විධායක ජනාධිපතිධූරය අපූර්ව ආකාරයක වසගකාරී වස්තුවකි.සරාගී වෙසගනක වැන්න.උපාසකයෝ ප්‍රසිද්ධියේ දෙස් තබති.රහසින් එහි පහසෙහිම බැදෙති.

මෙතෙක් කල් ජාතියේ භාරකරුවා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාව වූයේ ඔහු ඒකාධිපති ස්වරූපයෙන් හැසිරෙන බවය.ව්‍යවස්ථා සංශෝධනය විසින් මෙතෙක් කල් තත්වාකාර වශයෙන් තිබූ ඒකාධිපතිත්වය ව්‍යවස්ථාපිත මූලධර්මයක් ලෙස නීතිගත කරනු ඇත.මෙතනින් ඉක්බිති ඒකාධිපතිත්වය යනු රටේ නීතියයි.එය රටේ මූලික නීතිය විසින් පිලිගත් ව්‍යවස්ථාමය සංරචකයකි.ඒකාධිපති හැසිරීමක් පාලකයා තුල පැවතීම එකකි.එය රටේ නීතිය ලෙස ව්‍යවස්ථාපිත කිරීම ඊට වඩා භයානක තවෙකකි.
කවුරුන් පිලිගැනීමට කැමති වුවත් නැතත් මෙතනින් ඉක්බිති අප ජීවත්වන්නට යන්නේ ඒකාධිපතිවාදය නීතිය බවට පත්වූ දේශයකය.විපක්ෂය දැනටමත් සීතල වූත් නාමික වූත් ප්‍රපංචයක් බවට පත් කෙරී ඇත.සති කිහිපයකට පෙර විකාශය වූ දේශපාලන වැඩසටහනකදී තමා 17 වනසංශෝධනය පිලිබද අබ මල් රොනක දෙයක් නොදන්නා බව පිලිගත් උපේක්ෂා ස්වර්නමාලී 18 වන සංශෝධනය දිනවීම වෙනුවෙන් ජනාධිපතිගේ දෑත ශක්තිමත් කිරීමට තීන්දු කොට තිබේ.විධායක ජනාධිපති ධූරයේ අතිමහත් බලය ඉදිරියේ සම්මත රාමුව තුල ක්‍රියා කරන නිල විපක්ෂය තවදුරටත් නාය යාමේ,දිය වී යාමේ ක්‍රියාවලිය ඉදිරියටද නොනවතිනු ඇති අතර රාජ්‍ය සහ පුද්ගලික ජනමාධ්‍ය සියල්ල දැඩි ලෙස ජනාධිපතිධූරයේ බලය විසින් හීලෑ කොට තිබෙන සන්දර්භයක ඒකාධිපති සමාජයක් යනු නොවැලැක්විය හැකි සත්‍යයක් වීම අනිවාර්යය.

ඒකාධිපති සමාජයක පුරවැසියන් යනු කොදු කැඩුනු,බලයක් රහිත පිරිසකි.සිවිල් ආයතන යනු බලය යුක්තිය ලෙස පිලිගත් මදය රහිත උඩින් එල්ලෙන ව්‍යුහයන් සමූහයකි.ලංකාවේ ප්‍රථම විශ්ව විද්‍යාලය ලෙස පිලිගැනීමට ලක් ව තිබෙන කොලඹ විශ්ව විද්‍යාලය ඒකාධිපති තන්ත්‍රයක් තුල පුරවැසි සමාජයේ අවාසනාවන්ත ඉරනම තේරුම් ගත හැකි සාම්පලයක් වන්නේය.

කොලඹ විශ්ව විද්‍යාලය ආශ්‍රිත ඉතා ආසන්න සිදුවීම් කිහිපයක් හුදී ජනයාගේ දැනගැනීම වස් මෙසේ ඉදිරිපත් කරමු.මෙම සිදුවීම් කිහිපය අප ජීවත් වන්නට නියමිත යුගයේ ස්වභාවය මනාව විදහා දක්වයි.

සිදුවීම 1 -2010 සැප්තැම්බර් 06

18 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබද "විද්වත් සංවාදයක්" සැප්තැම්බර් 06 වනදා පස්වරු 2 ට කොලඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අංක 175 දේශන කාමරයේ පවත්වනු ලබන බවට සරසවිය පුරා පෝස්ටර් අලවා තිබෙන ආකාරය සරසවි සිසුන් ආචාර්යවරුන් ප්‍රමුඛ සියලු පිරිස්වල නෙත ගැටිනි.මේ පිලිබද දැනුවත් කිරීමක් සංවිධායකයන් විසින් විශ්ව විද්‍යාල ප්‍රජාවෙන් පිට පිරිස් වෙත එස් එම් එස් මාර්ගයෙන් පනිවුඩ ලෙසද යවා තිබුනි.ආචාර්ය ජයම්පති වික්‍රමරත්න,ජවිපෙ මන්ත්‍රී අනුර දිසානායක සහ හෙල උරුමයේ අධ්‍යාපන ලේකම් අනුරුද්ධ ප්‍රදීප් යන අය මෙම විවාදයට සහභාගි වන බව එම පනිවුඩ වල සදහන්ව තිබින.

පනිවුඩය අනුව අදාල ස්ථානයට අදාල වෙලාවේදී ගිය පිරිස වෙත දකින්නට ලැබුනේ සංවාදයක් නොව කාමරයේ දොරටුවෙහි එල්ලෙන කුඩා දැන්වීමකි.අදාල සංවාදය අත්හිටුවා ඇති බව එහි දක්වා තිබුනි.
පසුව විවාදයේ සංවිධායකයෙක් සමග ඇතිවූ පෞද්ගලික කතාබහකදී අදාල විවාදය පැවැත්වීමට විශ්ව විද්‍යාලයේ උප කුලපති අවසර නොදුන් බව මෙම ලියුම්කරුට දැනගන්නට ලැබුනි.මෙවැනි සංවාද පැවැත්වීම ඉතාම හොද දෙයක් බව පිලිගත් උපකුලපතිනිය,නමුත් "එය සැප්තැම්බර් 08 වනදාට පසුවම කලා නම්" හොද බවට කියූ බව සංවිධායකවරයා ලියුම්කරුට පැවසීය.සැප්තැම්බර් 08 යනු ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන දිනයයි.එය සම්මත කලාට පසු ඒ ගැන කෙරෙන විවාද වල ඇති අර්ථය කවරක්ද?විශ්ව විද්‍යාල යනු කාලීන දේවල් පිලිබද වාද විවාද බුද්ධිමතුන් අතර ඇති වන නිර්මානශීලි ආයතන විය යුතු යැයි උගත් ආචාර්ය මහාචාරයවරුන් පවසනු අපට ඇසී තිබේ.එය මහපොලොවේ අත් හදා බැලෙමින් තිබෙනුයේ කෙතරම් නිර්මානාත්මකවද යත් අඩුම තරමින් අතිශය වැදගත් වූත් කාලීන වූත් විවාදාත්මක වූත් කරුනක් සම්බන්ධයෙන් සංවාදයක් පැවැත්වීමට හෝ සරසවි පරිශ්‍රය තුල අවසර නැත!

සිදුවීම 2 - 2009 සැප්තැම්බර් 06

මෙය ඉහත සංවාදය පැවැත්වීමට නියමිතව තිබූ දිනයට හරියටම වසරකට පෙර සිදුවූ සිදුවිමකි.මෙදින කොලඹ සරසවිය විසින් ‍ඓතිහාසික තීරනයක් ගනිමින් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් වෙත ආචාර්ය උපාධි යුගලක් පිරිනමන ලදි.මහින්ද රාජපක්ෂ වෙත නීතිශූරී උපාධියත් ගෝඨාභය රාජපක්ෂ වෙත සාහිත්‍යශූරී උපාධියත් මේ අනුව පිරිනැමිනි.දෙටු රාජපක්ෂවරයා නීතිය පිලිබද කෙතරම් ශූරයෙක්ද,කනිටු රාජපක්ෂවරයා සාහිත්‍යය පිලිබද කෙතරම් ශුරයෙක්ද යන්න අපි නොදනිමු.
කෙසේ වුවද විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය විසින් ගත් මෙම පියවර අප තේරුම් ගත යුත්තේ කෙසේද?විශ්ව විද්‍යාල වල අග්‍ර තනතුර ජනාධිපතිගේ සෘජු අනින් පත්වන්නකි.මෙය පුහුදුන් ආචාර්ය මහාචාර්ය ගනයාගෙන් බහුතරයක ස්වප්නමය බලාපොරොත්තුවයි.දේශපාලකයන්ගේ සිත දිනා ගැනීමේ ගිජුකමින් මත්ව,සිය අධෝමුඛය ඔවුන් වෙත දිගුකිරීමක් ලෙසින් මිස මෙම සිදුවීම කියවිය යුතු වෙනත් ආකාරයක් පවතීද?යටත් වැස්සන්ට තග දාගෙන සිටින ප්‍රාදේශීය නිලමේවරුන්,තමා වෙත නම්බුනාම පුදන මහේන්ද්‍රයානන් වෙනුවෙන් කරන වාර්ෂික පඩුරු පූජාවක් සහ මෙවැන්නක් අතර තිබෙන වෙනස කවරක්ද?

සිදුවීම 3 - 2010 ජනවාරි 18

මෙදින -2010 ජනාධිපතිවරනය මුවවිට තිබියදී,විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවින.
මෙය කැදවනු ලැබූයේ ලංකාවේ විශ්ව විද්‍යාල ගනනාවක උපකුලපතිවරුන් විසිනි.එලඹෙන ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ දිනවිය යුත්තේ ඇයිද යනුවෙන් මෙම මහත්ම මහත්මීහු එහිදී හුදී ජනයාට ඇසෙන පරිදි විශේෂඥ අදහස් පල කලහ.
ශ්‍රී ජයවර්ධනපුර,කැලනිය,රුහුනු,රජරට ඇතුලු සියලු විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන් පුවත්පත් දැක්මට සම්බන්ධ වූ අතර ඊට එකතු වූ කොලඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිනිය "ත්‍රස්තවාදයෙන් රට මුදාගත් ජනාධිපතිවරයාට රටේ සියලු කාන්තාවන් නය ගැති විය යුතු බවත් රටේ ස්ථාවරත්වය වෙනුවෙන් එතුමාවම නැවත තෝරා පත්කරගත යුතු බවත්" ප්‍රකාශ කලාය.
විශ්ව විද්‍යාල වලට දේශපාලනය එපා යැයි කියන්නේ දේශපාලකයන්ගේ සිත දිනා ගැනීම උදෙසා විශ්ව විද්‍යාල උපාධි හෝලසේල් දමන මෙවැනි මහත්ම මහත්මීන්ය.අතිශය කාලීන සංවාදයක් පැවැත්වීමටවත් විශ්ව විද්‍යාල තුල ඉඩ නොදෙන්නේ ජනාධිපතිවරන වලදී ප්‍රසිද්ධියේ දේශපාලකයෙකුගේ ජයග්‍රහනය වෙනුවෙන් පෙනී සිටින,සිය ධූරයේ ගෞරවනීය බව හෑල්ලු කරගනිමින් ඉතා ලාභ ආකාරයකට පාලකයන් වෙනුවෙන් ප්‍රශස්ති ගායනා කරන මෙවැනි මහත්ම මහත්මීන්ය.

සිදුවීම 4 - 2010 සැප්තැම්බර් 07

2010 ජනාධිපතිවරනයට පෙර කෙසේ වුවද කොලඹ විශ්ව විද්‍යාල භූමිය තුල ජනාධිපතිවරනය අරභයා "විද්වත්" විවාද කිහිපයක් පැවැත්වුනි.අභ්‍යන්තර ශිෂ්‍යයෙකුගේ දැනුම්දීමක් මත මෙවැනි එක් සංවාදයක් නැරඹීම සදහා ලියුම්කරුට අවස්ථාව ලැබුනි.
විවාදයේදී අදහස් දක්වනු වස් විද්වතුන් පස් දෙනෙකු පැමින සිටි අතර විපක්ෂයේ අපේක්ෂකයාට හිතවත් ලෙස අදහස් දැක්වූයේ එම පස්දෙනාගෙන් එක් අයෙකු පමනි.ඔහු එම සරසවියේම නීති පීඨයේ ආචාර්යවරයෙකු වූ ප්‍රතිභා මහානාමහේවා මහතාය.
විධායක ජනාධිපතිධූරයේ භයානක බව එහිදී එතුමා විසින් පතුරු ගසන්නට යෙදුනි.දහහත්වන සංශෝධනයේ වැදගත්කම පිලිබද අතිශය දැඩි අවධාරනය කිරිමක් ඔහු විසින් නැවත නැවතත් එහිදී සිදු කරන ලදී.

කෙ‍සේ වුවද මෙම සටහන ලිවීමට හිද ගැනීමට මොහොතකට පෙර ස්වාධීන රූපවාහිනියේ ඇතුලාන්තය වැඩසටහන ලියුම්කරු මදකට නැරඹීය.උගතුන් රාශියක් මධ්‍යයේ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ද එම කථික මන්ඩලයේ අසුන් ගෙන සිටියේය.
ඇතුලාන්තය වූ කලී ආන්ඩු පාක්ෂික මූලධර්මවාදයේ ඇතුලාන්තය බව දන්නා බැවින් මහානාමහේවා පවසනුයේ කුමක්ද යන කුහුලින් මඩිනු ලැබූ ලියුම්කරු ඔහුගේ අදහස් දැක්වීම දක්වා වැඩසටහන නැරඹූ අතර මෙම යුගය කවර ආකාරයේ විපරිවර්තන යුගයක්ද යන්න වටහා ගැනීමට ඊට වඩා නිදසුන් අවශ්‍ය නැත.මාස කිහිපයකට පෙර විධායක ජනාධිපතිධූරය ඉහේ සිට පතුරු ගැසූ මෙම විද්වත් ආචාර්යවරයා එම ධූරයේ අවසන් සංවරනය වූ ධූර කාල සීමාව ඉවත් කිරීම "ජනසම්මතවාදී" වන්නේ කෙසේද යන්න රූපවාහිනි කැමරාව අභියස සිට චතුර ලෙස පහදමින් සිටියේය.

ඝන වූ සියල්ල වාෂ්ප වේ.ශුද්ධ වු සියල්ල කෙලෙසේ.බලය අභිමුව ආත්ම ගෞරවය කිදා බසී.

කෙසේ වුවද මෙම කිසිදු සිදුවීමක් අදාල උපකුලපතිවරුන්ගේ හෝ ආචාර්යවරුන්ගේ පුද්ගලික දුර්වලතාවයක් ලෙස තේරුම් නොගනු මැනවි.මේ වනාහි අරටුව දක්වා අධිපති වන්දනාවෙන් දූෂ්‍ය වූ ඒකාධිපති සමාජයක යථාර්තයයි.අධිපතියා නැමදීම සහ අධිපතියා වෙනුවෙන් කොදු නැවීම - මෙය ඒකාධිපති සමාජයක ජීවන ශෛලියයි.එසේ කොදු නැවීමට සූදානම් නොවන්නවුන්ගේ කොදු කැඩීමට පියවර ගැනෙනු ඇත.එවැනි කොදු කැඩීම් වලට එරෙහි වීමට කශේරුකාවක් සහිත වූවන් දමනය වී ඇති පසුබිමක කොදු කැඩීම නීතිය වනු ඇත.අවසානයේ සමාජය කශේරුකාව අහිමි මස් වැදැල්ලක් ලෙස කමින් බොමින් රමනය කරමින් ඔහේ එල්ලෙමින් පවතිනු ඇති අතර එය ස්වර්ගය තුල නිරයත්,නිරය තුල ස්වර්ගයත් මවා පානු ඇත.