Tuesday, August 31, 2010

නිශ්ශබ්දතාවය පුපුරුවා හරිමු


And in the naked light i saw
Ten thousand people may be more
People talking with out speaking
People hearing without listening
People writing songs that voices never cheer
No one dare
disturb the sound of silence
- Simon n Garfunkel

සියල්ල නිහඩය.
දේශපාලනය තවදුරටත් සමාජයේ කිසිවෙකුට අවශ්‍ය නොවන සෙයකි.සමාජය උදාසීනත්වයේ හා නිශ්ශබ්දතාවයේ ගිලී තිබේ.මහා සමාජයේ දේශපාලනය පිලිබද සංවේදී වනු වෙනුවට ආදරනීය පූර්නිමා නරඹා තමන්ගේ පාඩුවේ නින්දට යාම වඩා ප්‍රයෝජනවත් වරනයක් ලෙස පොදු සමාජය තෝරා ගත්තා වැනිය.විරෝධය පෑම යනු තවදුරටත් අවශ්‍ය වූවක් නොවන්නා සේය.එරෙහි වීම යනු තවදුරටත් සමාජ ජීවිතයේ අංගයක් නොවන්නා සේය.
මෙම ගැඹුරු නිශ්ශබ්දතාවය තුල නැවත බර අඩි තබමින් ඇවිද යමින් තිබෙන්නේ නිශ්ශබ්දතාවයයි.නිශ්ශබ්දතාවය තුල නැවත නැවත ප්‍රතිරාව නැගෙනුයේ නිශ්ශබ්දතාවයේම ශබ්දයයි.

18 වන ව්‍යවස්ථා සංශෝධනය එලඹෙන 8 හා 9 දෙදින තුල පාර්ලිමේන්තුවේ විවාදයට ලක්කොට සම්මත කිරීමට නියමිතය.අවශ්‍යයෙන්ම එය සම්මත වනු ඇත.ආන්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය දිනාගනු වස් අඩුව තිබූ මන්ත්‍රී ධූර කිහිපය රවුෆ් හකීම් විසින් නොමසුරුව ප්‍රදානය කොට තිබේ.උත්ප්‍රාසාත්මකව විධායක ජනාධිපති ධූරයේ ධූර කාලය සදහා වන සිමාව ඉවත් කොට ධූරය තවත් ශක්තිමත් කරනු වස් ඇවැසි මෙම තීරනාත්මක සහයෝගය පුද කරන්නේ මාස කිහිපයකට පෙර විධායක ජනාධිපති ක්‍රමය ක්‍රමයක් ලෙස අහෝසි කිරීම වෙනුවෙන් විපක්ෂ පොදු අපේක්ෂකයෙකුට සහය දුන්,ඒ වෙනුවෙන් කතා කල,ඒ වෙනුවෙන් පෙනී සිටි රවුෆ් හකීම්මය.සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන්නේ හදිසි පනතක් ලෙසය.මෙය හදිසි පනතක් ලෙස ගෙන ඒම කවර තත්වයක් යටතේ හෝ සාධාරනීකරනය කල හැකිද?සමාජය තුල සංශෝධනය පිලිබද ආන්දෝලනයක් ඇතිවීමට ඇති ඉඩ අහුරා හැකි ඉක්මනින් මෙය සම්මත කරගෙන ඉවර කිරීම ආන්ඩුවේ අරමුන බව පැහැදිලිය.එස්.එල්.ගුනසේකර,ගෝමින් දයාසිරි වැනි ජනාධිපතිවරනයේදී "ආසියාවේ ආශ්චර්යය" පිලිබද විශේෂඥ ප්‍රකාශ නිකුත් කල අය පවා ව්‍යවස්ථා සංශෝධනයේ හරය ප්‍රශ්න කරන ආස්ථානයක පසුවේ.ස්වකීය පිලේ "නීති විශාරදයන්" ද එවැනි ආස්ථානයක පසුවන කල සමාජ සංවාදයක් වෙත පනත් කෙටුම්පත විවෘත වුවහොත් තමනට තරමක් අසීරුතාවයකට මුහුන පෑමට වන බව ආන්ඩුව දනී.

රූපවාහිනියේ දේශපාලන සංවාද මේ දිනවල පාලුවට ගොස්ය.ධම්ම දිසානායක,චරිත හේරත් වැනි මහත්වරුන් විදග්ධ භාෂාවෙන් ඉදිරිපත් කරන දේශපාලන විග්‍රහයන් රජයේ මාධ්‍ය වලින් වැඩිපුර නොඇසේ.විධායක ජනාධිපති ධූරයට පැවති අවම සංවරනය පවා ඉවත් කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයේ "ප්‍රගතශීලි හරය" පිලිබද ධම්ම දිසානායක පවත්වන දේශනයක් ඇසීමේ නොනිත් ආශාවක් ලියුම්කරු තුල පැවතියද අවාසනාවකට මෙන් දිසානායක තවමත් ඒ පිලිබද හදාරමින් සිටිනවා විය යුතුය.
ජනහඩට ව්‍යවස්ථා සංශෝධනය ගැන කථා කිරිමට ආන්ඩුවෙන් පැමිනෙන්නේ කිසිදිනෙක නමවත් අසා නැති පලාත් සභාවේ කනිෂ්ට මන්ත්‍රීවරයෙකි.දෙරන රූපවාහිනියට එපිලිබද කතා කිරීමට ආ ආන්ඩු පක්ෂ මන්ත්‍රීවරයා එපිලිබද හැර අන් සියල්ල පිලිබද කතා කලේය.විධායක ජනාධිපතිධූරය "භාරකාර ධූරයක්"ලෙස සංශෝධනය කරන බවට මහින්ද රාජපක්ෂ ජනාධිපති ජනාධිපතිවරනයේදී දුන් පොරොන්දුව,එම ධූරය අහෝසි කරන බවට ඔහුම නැවත 2005 දී දුන් පොරොන්දුව මෙම යෝජිත සංශෝධනය හරහා ඉටු වන්නේ කෙසේද යන්න ගැන මෙම මන්ත්‍රීවරුන්ට පිලිතුරු නැත.ජනාධිපතිවරනයේදී විපක්ෂය විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බව පවසන විට "එය පහසුවෙන් කල හැක්කේ අපිට පමනක් බව" ඊට පිලිවදන් ලෙස ආන්ඩු පක්ෂය පැවසීය.එම ප්‍රකාශයන් වර්තමානය සමග ගලපන්නේ කෙසේද යන්න ගැන රූපවාහිනි විවාද වලට එන ආන්ඩු පක්ෂයේ අහිංසක කනිෂ්ට මන්ත්‍රීවරුන්ට පිලිතුරු නැත.
චමුදිත සමරවික්‍රමට පසු මාධ්‍ය ලෝකය හෙල්ලූ වඩාත්ම රැඩිකල් දේශපාලන මාධ්‍යවේදිනිය මම වෙමිය වැනි ස්වරයකින් "විවාදාත්මක" වැඩසටහනක් මෙහෙයවන දිල්කා සමන්මලී තම වැඩසටහනට එන එල්ලාවල මේධානන්ද තෙරගෙන් අසන්නේ පුරාවිද්‍යාව ගැන බබා ප්‍රශ්නය.මුලතිව් වනයෙන් සොයාගත් අලුත්ම නටබුන් ගොඩනැගිල්ලේ ගඩොල් ගනන ඉතාම සීරියස් ලෙස අසන මේ "රැඩිකල්"මාධ්‍යවේදිනියට ව්‍යවස්ථා සංශෝධනයේ දේශපාලන සදාචාරය හා ඒ ගැන දී ඇති පොරොන්දු අමු අමුවේ කඩ කිරීම පිලිබද ප්‍රශ්න කිරීමට පුදුමාකාර ලෙස අමතක විය.

2001 දී සම්මත වූ 17 වන ව්‍යවස්ථා සංශෝධනය 18 වන යෝජිත සංශෝධනය හරහා මුලුමනින් කප්පාදු කොට තිබේ.17 වෙනි සංශෝධනයේ වැදගත්කම කුමක්ද?එහි අන්තර්ගතය කුමක්ද?ස්වාධින කොමිෂන් සභා පිහිටුවීමෙන් සමාජයට ලැබෙන වාසිය කුමක්ද?එහි අඩුපාඩු තිබේ නම් ඒ මොනවාද?එහි අඩුපාඩු නැති කිරීමට යැයි කියමින් ගෙනෙන 18 වන සංශෝධනය හරහා සැබැවින්ම එම අඩුපාඩු පියවී තිබේද?මේ කිසිවක් පිලිබද සංවාදයක් නැත.සමාජයටද මේ පිලිබද කිසිදු හැගීමක් නැතිවා සේය.17 වන සංශෝධනය පොදු සමාජයට දුරස්ථ දුරවබෝධ වහරකි.එය දුරවබෝධ වහරක්ව පැවතීමේ උපරිම වාසිය ආන්ඩුව විසින් ගෙන තිබේ.
ස්වාධින පොලිස් කොමිසම පිහිටවූ‍යේ නම් ප්‍රදේශයේ මන්ත්‍රීගේ චිට් එකට යට නොවී ගෞරවනීය ලෙස රාජකාරි කිරීමට පොලිස් නිලධාරීන්ට ලැබෙන සාපේක්ෂ අවස්ථාව 18 වන සංශෝධනය තුලින් රැක තිබෙන්නේ කෙසේද?පොලිස්පති,අග විනිසුරු,ශ්‍රේෂ්ඨාධිකරන විනිශ්චයකාරවරුන්,විගනකාධිපති ඇතුලු රාජ්‍යයේ ප්‍රධාන පත්වීම් සියල්ල නැවත ජනාධිපතිගේ තනි අභිමතයට යටත් කිරීම යලිත් 17 වන සංශෝධනයට පෙර යුගයට යාමක් නොවේද?17 වන සංශෝධනයේ අඩුපාඩු හදනවා යනුවෙන් අදහස් කෙරෙන්නේ එම සමස්ථ සංශෝධනයම අභාවයට යැවීමද?ඉදිකෙරුනු නිවසක අඩුපාඩු පිලිසකර කිරීම යනු මුලු නිවසම අඩිතාලම දක්වා පුපුරුවා හැර හිස් ඉඩම පමනක් ඉතිරි කිරීමද?රටේ මූලික නීතිය වෙනස් කිරීමට යන මෙවැනි තීරනාත්මක අවස්ථාවක මෙවැනි ප්‍රශ්න ඇසිය යුතුය.මෙවැනි සංවාද පැන නැගිය යුතුය.
නමුත් කිසිදු සංවාදයක් නොමැත.කතුවැකි වල ලියවෙනුයේ රටේ නැති විකාර පිලිබදවය.නිදසුනක් ලෙස දිවයින කතුවරයාට මේ දවස්වල තිබෙන විශාලම ගැටලුව කොහේදෝ පන්සලකට ගිය වෛද්‍යවරියන් පිරිසක් පාවහන් නොගැලවීමය.සමාජයට මග පෙන්වනවා කියන්නේ මෙවැනි මාධ්‍යවේදීන්ය.ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ‍"දෙවන ආන්ඩුව" ජනමාධ්‍ය බව විශ්ව විද්‍යාල වල පවා මහාප්‍රානයෙන් ඉගැන්වේ.ඇතැම්විට සැබෑ ආන්ඩුවත් විගඩම්කරුවන් ‍හා කෝලම්කරුවන්ගෙන් සංයුක්ත ව තිබෙන රටක දෙවන ආන්ඩුව ඊට නොදෙවෙනි කෝලම්කරුවන්ගෙන් යුක්ත වීම ගැන පුදුම විය යුතුද නැත.

තත්‍ය ආන්ඩුවේ විගඩම්කාරී වූද ප්‍රලාපමය වූද ස්වභාවය මර්වින් සිල්වාගේ විනය පරීක්ෂනය පිලිබද කථා වස්තුව සමග නැවත වතාවක් එලියට ආවේය.රජයේ නිලධරයෙක්ට අඩත්තේට්ටම් කිරීමේ සාපරාධී දන්ඩනීය වරද සිදු කල මර්වින් සිල්වා නම් කැලනියට අධිගෘහිත දේවතාවා කිසිදු වරදක් කල බවට තමන්ට "සාක්ෂි නැති" බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය මන්ඩලය තිරනය කොට තිබේ.විනය මන්ඩලය නොදුටු සාක්ෂි රූපවාහිනි ප්‍රවෘත්ති හරහා රටම දුටුවේය.බලයේ සිටිනවුන් මේ ඔච්චම් කරමින් සිටින්නේ පුරවැසියාගේ බුද්ධියටය.සහේතුක පුරවැසියාගේ තර්ක ඥානයටය.

එහෙත් විශ්මය - කිසිවෙකුට වගක් නැත.මර්වින් සිල්වාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ස්වභාවික වූද නොවැලැක්විය හැකි වූද දෙයක් ලෙස භාරගෙන සමාජය නිහඩව සිටී.තක්කඩිකමට තක්කඩිකම යැයි කීමේ හැකියාව රහිත සමාජයක පෞරුෂය කවරක්ද?ව්‍යාජත්වය ව්‍යාජත්වය ලෙසින් හෙලා දැකිය නොහැකි පුරවැසි සමාජයක සත්‍යය ඉරනම කවරක් වනු ඇද්ද?

ජනාධිපතිවරනයේ විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකා රටේ මූලික නෛතික පටිපාටියෙන් බැහැර කැන්ගරු උසාවියක් මගින් වරදකරු කොට දඩුකදේ ගසනුයේ මෙවැනි සන්දර්භයක් තුලය.පලමු යුද අධිකරනයේ පැමිනිල්ලෙහි තර්කය ප්‍රධාන වශයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ සාක්ෂිය මත පදනම් වූවකි.ප්‍රනාන්දු යනු ජනාධිපති ඝාතන කුමන්ත්‍රන නඩුවක සැකකරුවෙකි සහ එම නඩුවෙන් ගැලවීම පිනිස රජයට සහය දෙන්නෙකි යනුවෙන් විත්තිය මතු කල යුක්ති සහගත තර්කය යුද අධිකරනය නොසලකා හැරීය.
නඩුවේ අනිත් සාක්ෂිකරු නොබෝ දිනකින් රජයට එක්වීමට නියමිතව සිටින එජාප මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්නය.මේවා නූතන කැකිල්ලේවාදය (Neo kakillaism) නැමැති නෛතික න්‍යායට අනුකූලව පවත්වන නඩු විභාගය යන්න පිලිබද සාධාරන බුද්ධියක් සහිත කවරෙකු වූවද එකග වනු ඇත.
ෆොන්සේකාගේ ජෙනරල් ධූරය ඉවත් කලා මතු නොව ඔහුගේ විශ්‍රාම වැටුප පවා අහිමි කරවන ලදී.මෙය ඉතාම අමිහිරි සහ බරපතල දඩුවමක් බවට සැකක් නැත.මේ සියලු දඩුවම් සදහා ඔහු කලා යැයි කියන වරද නම් හමුදාපතිව සිටියදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට දුරකථනයෙන් අමතා තමාට දේශපාලනය කිරීමට අවශ්‍ය බව පැවසීමයි.හැරත් ඔහු එසේ පැවසූ බව කියන්නේ සිය පැවැත්ම වෙනුවෙන් ජුගුප්සාජනක ලෙස ආන්ඩුවට සිය ආත්මය විකුනා තිබෙන,සැක කටයුතු පුද්ගලයන් දෙදෙනෙකි.

කෙසේ වුවද සමාජය නිහඩය.විරෝධතාවයක් පොදු සමාජය වෙතින් එල්ල වෙන සේයාවකුදු නැත.

1978 අතිශය පුද්ගලික උවමනාවන් වෙනුවෙන් රටේ මූලික නීතිය වෙනස් කෙරෙද්දී සහ ඒ හරහා ආඥාදායකත්වයක් නිර්මානය වෙද්දී සිදුවන්නේ කුමක්දැයි සමාජය නොදැන සිටියේය.අද වැනිම දේශපාලන නිහැඩියාවක් එදාද විය.විවෘත ආර්ථිකය නිසා ප්‍රාදුර්භූත වූ භාන්ඩ සාගරයෙහි අතරමංව තාවකාලික ජොලියක් තුල පොදු සමාජය කිදී සිටියදී අසීමිත බලයක් තනි පුද්ගලයෙකු වටා ඒකරාශී විම සිදුවිය.
එහෙවු 80 දශකය නිමා වූයේ මහා රුධිර පතනයකිනි.ප්‍රජාතන්ත්‍රවාදය අහුරා දැමීම මත උතුරේද දකුනේද යෞවන ජනයා භයංකර සිවිල් යුද්ධ දෙකකින් ප්‍රතිචාර දැක්වූහ.
යාපනයේ වෙසක් සැමරීමේ විනෝදයෙන් සහ කරදියවර මංගල්‍යයේ ආනන්දයෙන් වත්මන් සමාජයද වශී වී සිටී.ස්වාර්ථමය සීමාවක සමාජය කොටුව තිබෙන,දේශපාලනය අතිශය නිහඩව පවතින පසුබිමක බලය,නග්න වූද අසීමිත වූද පාලනයක් හෝ තුලනයක් නැති වූද බලය තනි පුද්ගලයෙක් අත ක්‍රමයෙන් ඒකරාශී වෙමින් තිබේ.

මෙම නිශ්ශබ්දතාවයට ගල් ගැසිය යුතු නොවේද?
මෙම නිශ්ශබ්දතාවයේ ශබ්දයට ඇන ගැසිය යුතු නොවේද?


Wednesday, August 11, 2010

මර්වින් සිල්වා නම් වූ ඔලු දෙකේ සත්වයා


අවසානයේ නැවත වතාවක් රටවැසියා කෙරේ වූ සිය පීතෘ මූලික සැලකිල්ලද ධර්මය කෙරෙහි වූ නැඹුරුවද භාවිතයෙන් පෙන්වා දීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමානන් ක්‍රියා කොට තිබේ.මර්වින් සිල්වා ඉවත් කොට ඇත.වසර ගනනක් තිස්සේ විපක්ෂයේ දැඩි දෝෂාරෝපනයන්ට ලක්වූ මැරයා,පාදඩයා,ලජ්ජා විරහිතභාවයේ පාපතර ඒජන්තයා ස්වකීය ඇමති මඩුල්ලෙන් පලවා හැර පිරිසිදු දේශපාලනය පිලිබද "ආදර්ශයක්" ජනාධිපති විසින් සපයා දි තිබේ.මර්වින් සිල්වාගේ "වැරදි චර්යාව" පිලිබද විශේෂ රූපවාහිනි සංවාදයක් දෙරන රූපවාහිනිය විසින් ඊයේ (10) ලහි ලහියේ කැදවනු ලැබීය.ඇතැම් විට ජනාධිපති සිල්වාව ඉවත් කරනු නොලැබී නම් මෙවැනි සංවාදයක් ජීවිතේට වරුනි අමුනුගමගේ ආයතනය විසින් නොකැදවනු ලබන බවට ඔට්ටු ඇල්ලීමට ලියුම්කරු කිසිවිට නොපැකිලේ.ජාතික රූපවාහිනියට විශේෂ ප්‍රකාශයක් කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මර්වින් සිල්වා ඉවත් කිරීමට ගත් තීරනය පිලිබද මහත් ආඩම්බරයෙන් විස්තර කලේය.මේ වූ කලී වසර දෙකකට පමන පෙර මර්වින් සිල්වාගේ ජාතික රූපවාහිනි නාඩගම හමාර වූ විගස සිල්වා පිලිබද වහා විනය ක්‍රියාමාර්ග ගන්නෙම් යැයි උදාරම් බස් පෑ,නමුත් කිසිවක්ම සිදු නොවීම මත කිච වී ගිය මෛත්‍රීපාල සිරිසේනමය.

මර්වින් සිල්වා වනාහි ඇත්ත වශයෙන්ම ඔලු දෙකේ සත්වයෙකි.හිතුවක්කාර තනි මිනිසෙකුගේ රූපකායක් ලෙස තේරුම් ගන්නවා වෙනුවට මර්වින් සිල්වා නම් ප්‍රපංචය දේශපාලනිකව විනිවිද දැකිය යුතුය.සිල්වාගේ ද්වි ශීර්ෂමය ස්වරූපය පවත්නා දේශපාලන ප්‍රවාහය විදහාලන සිත්ගන්නා සුලු සාම්පලයකි.
සිල්වා සතු එක් හිසක මුහුනුවර විනෝදජනකය.සිනා උපදන සුලුය.මෙගාර් ස්ටාර් හරහා අපට දිස්වනුයේ එම හිසයි.
වරෙක තමාගේ අතීතය පිලිබද පාරම් බෑ සිල්වා ප්‍රකාශ කලේ රාජපක්ෂ පරපුර විසින් තමාව ගිරුවාපත්තුවේ සිට කොලඹ නොගෙනාවේ නම් තමා හම්බන්තොට ප්ලේන්ටි ගසමින් සිටිනු ඇති බවයි.හෙතෙම හම්බන්තොට ප්ලේන්ටි ගසමින් සිටියා නම් ජාතික ආදායමටවත් යමක් එකතු වෙනු ඇත.කෙසේ වුවද යූඑන්පියෙන් ශ්‍රීලනිපයට 2000 දී කරනමක් ගැසූ සිල්වා එවකට සිටි රාජ්‍ය නායිකාවගේ දෙපා වැද අවනතභාවය පල කල අන්දම එවකට කතාබහට ලක්වූ මාතෘකාවක් විය.තමාට වැද නමස්කාර කරන කීකරු බලු කුක්කා 2004 දී පාර්ලිමේන්තුවට කැදවීමට චන්ද්‍රිකා කුමාරතුංග ක්‍රියා කරනුයේ ඔහු කොලඹ දිස්ත්‍රික්කයෙන් චන්දය ඉල්ලා මනාප ලැයිස්තුවේ අන්තිමටම වැටී ඉතාම දරුනු ලෙස පරාද වී සිටියේය යන කරුන අබමල් රේනුවක් හෝ නොසලකමිනි.
මර්වින් සිල්වා හුලං පුම්බා පුම්බන ලද බැලුමක් නම් එම බැලුමට සුලං පොම්ප කල මූලාශ්‍ර දෙකක් පවතී.එක් මූලාශ්‍රයක් වනාහි දේශපාලන බලාධිකාරයයි ( political hierarchy) .
හම්බන්තොට ප්ලේන්ටි ගසමින් සිටි අදේශපාලනික සත්වයා පුම්බා ප්‍රසාරනය කරනු ලැබූයේ චන්ද්‍රකා කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ යන රෙජිමයන් විසිනි.විශේෂයෙන් රාජපක්ෂ පාලනය මර්වින් සිල්වාව ඉහල උසකින් ඔසවා තබන ලදී.කැලනිය ආසන සංවිධායක ධූරයෙන් පුදනු ලැබූ සිල්වාගේ මැරකම් හා ජඩකම් රාජපක්ෂ ආන්ඩුවට රහසක් වූයේ නැත.නමුත් ජාතියේ පියාට මෙම අසහනකාරී පුද්ගලයා කෙරෙහි පැවතියේ ගුප්ත ප්‍රේමයකි.රූපවාහිනි සංස්ථාවේ සිදු වූ කුප්‍රකට සිදුවීමේදී ජනාධිපති රාජපක්ෂ හෙලා දැක තිබුනේ ඇමතිවරයෙකුව ප්‍රාන ඇපයට ගනිමින් කැරලිකාරී ලෙස හැසිරුන සේවක ප්‍රජාව මිස සිල්වාව නොවේ.එම උද්ඝෝෂනයට සම්බන්ධ වූ මාධ්‍යවේදීන්ගේ පිටවල් කැපෙන විට ඒ පසුපස පවතින හස්තය සිල්වාගේ බව රාජපක්ෂ ඉතා හොදින් දැන සිටියේය.නමුත් මේ සියල්ලට ඉඩ දෙන ලදී.සිරස ආයතනයට මහ දවල් ගල් ගැසූවෝ පැමිනියේ කිරිබත්ගොඩිනි.ඒවා සංවිධානය කලෝ කවරහුද යන්න දේශපාලන බලාධිකාරිය දැන සිටි නමුදු ගත් කිසිදු පියවරක් නැත.අත්අඩංගුවට පත් සැකකරු‍වන් ඊලග දිනය වන විට පොලිසිය විසින්ම මුදා හරින ලදී.බැසිල් රාජපක්ෂ මැතිවරන රැස්වීමකදී ප්‍රදේශයේ "සංවර්ධන ඒජන්තයා" ලෙස වරෙක සිල්වාව අභිෂේක කලේය.සිල්වා ඊට ප්‍රති උපකාර ලෙස ස්වකීය බැසිල් වන්දනාව බැසිල් අගමැති විය යුතුය යන ශික්ෂා පදය ප්‍රසිද්ධියේ සමාදන් විම හරහා ප්‍රකාශයට පත් කරන ලදී.

සිල්වාව පුම්බනු ලැබූ අනෙත් මූලාශ්‍රය ජනමාධ්‍යයයි.මාධ්‍ය විසින් දිගින් දිගට සිල්වාගේ හාස්‍යජනක හිස හෝල් සේල් දැමිනි.නායකයා හෝ නායිකාව ඉදිරියේ සුනඛ සෙයියාවෙන් වැතිර වැද නමස්කාර කිරීම ජනමාධ්‍යය නිර්වචනයට අනුව මිනිස්කමට නොතරම් නීච ක්‍රියාවක් වූවා නොව මාර ජෝක් එකක් විය.මෙගා ස්ටාර්හිදී සිල්වා විසින් කරනු ලබන දෙපිට කැපෙන ප්‍රකාශ,තුන්වෙනි පංතියේ විහිලු ස්වර්නවාහිනියට මෙන්ම පොදු සමාජයටද ෆන් සාගරයක් විය.වෙනකක් තබා මර්වින්ව ඉවත් කිරීමට හේතු වූවා යැයි කියන සමාද්ධි නිලධාරියා ගස් බැදීමේ සිදුවීම ප්‍රවෘත්ති හරහා ප්‍රකාශ කල ස්වර්නවාහිනියේ හරින්ද්‍ර ජයලාල්ගේ මුහුනේ වූයේ ජොලි වැඩක් වාර්තා කරන වාර්තාකරුවෙකුගේ සිනාවයි.මර්වින් සිල්වාගේ හාස්‍යජනක ඔලුව මෙසේ දිගින් දිගට ප්‍රචාරය කිරීම මත සිල්වාගේ නොපනත්කම් සීරියස් ඒවා ලෙස භාරගන්නවා වෙනුවට ‍ජෝක් හෝ ආතල් ෆන් කැලි ලෙස භාරගැනීමට සමාජය ක්‍රම ක්‍රමයෙන් යොමු විය.

කෙසේ වුවද මාධ්‍ය මගින් පුම්බනු ලැබූ මෙම හාස්‍යජනක හිසට වෙනස්වූ මර්වින් සිල්වාගේ දෙවෙනි මුහුන එතරම් සුන්දර එකක් නොවේ.කැලනිය ආසන බල ප්‍රදේශය තුල හෙතෙම වැඩවසම් පන්නයේ ප්‍රාදේශීය අධිපතියෙක් වූ බව රහසක් නොවේ.නිතිය වූයේ ඔහුගේ වචනයයි.යුක්තිය වූයේ ඔහුගේ ආඥාවයි.ප්‍රදේශය "සංවර්ධනයට" ඔහු විසින් පදනමක් පිහිටුවා තිබූ අතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සෑම මාසයකම යම් "දායක මුදලක්" මෙම අරමුදලට බැර කල යුතු විය.කැලනිය මර්වින්ගේ ගෝල බාලයන්ගේ අඩවිය විය.කැලනිය විශ්ව විද්‍යාල සිසුන් සහ "ගම්මුන්" අතර ඇති විරසක භාවය පිලිබද ලියුම්කරු සමග මෑතකදී අදහස් දැක්වූ සරසවි සිසුවෙකු මේ අලකලංචි පසුපස තිබෙන සිල්වාගේ ගෝල බාලයන් ගේ භූමිකාව පිලිබද සෑහෙන විස්තරයක් සිදු කලේය.මහමග යන සිසුන්ගේ ඇගට බයිසිකල් කපමින්,සිසුවියන්ට නොමනා විහිලු කරමින් කුමන හෝ ගැටුමක් අවුලුවා ගැනීමට සිල්වා බජාරය කටයුතු කරමින් සිටින ආකාරය වැනි ඇත්ත පුවත් කිසිවිටෙක හරින්ද්‍ර ජයලාල්ලාට "මාතෘකා" නොවීය.ජනාධිපතිවරන සමයේ කිරිබත්ගොඩ ප්‍රචාරක පත්‍රිකා බෙදීමට ගිය විපක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් යකඩ පොලු ගත් සිල්වා බජාරය විසින් වටලන ලදී.ස්ථානයට පැමිනි පොලිස් නිලධාරියා ගැටුමක් ඇති කර නොගෙන සාමකාමීව ඉවත්ව යන ලෙස විපක්ෂ ක්‍රියාකාරින්ගෙන් අසරනව ඉල්ලා සිටියේය.සාමකාමී මැතිවරන ප්‍රචාරයට බාධා කරන පොලු සහිත මැරයන් විසුරුවා දැමීම වෙනුවට පොලිසිය කරනුයේ සිය නීත්‍යනුකූල අයිතිය අත්හරින ලෙස විරුද්ධ පක්ෂයෙන් ඉල්ලා සිටීමය!මෙය වූ කලී කැලනිය ආසනයේ පැවති de facto පාලනය පිලිබද කදිම හැගවුමකි.

මේ සියල්ල මධ්‍යයේ සිල්වා කැලනිය ප්‍රදේශයේ සංවර්ධන ඒජන්තයා ලෙස අභිෂේක කෙරිනි.බදු ලෙය අයවෙන මහජන මුදලින් පාරවල් නඩත්තු කිරීම වැනි දේශපාලකයන් කල යුතු අවම කාර්යයන් කිහිපයක් කිරීම ලංකාවේ නොදියුනු සමාජය භාර ගන්නේ මහා විශ්වකර්ම මැජික් ලෙසය.මොන මැරකම් කලත් මර්වින් කැලනිය හැදුවා වැනි මත පොදු සමාජයේ සංසරනය වනුයේ මේ නිසාය.විශ්මය විය යුත්තේ තමනට වෙන්වන කෝටි ගනනක මහජන බදු මුදලින් දේශපාලකයෙකු පාරක් සෑදුවා නම් නොව නොසෑදුවා නම්ය.එවැනි පාරවල් සෑදීම ඇත්තෙන්ම සාමාන්‍යය කාර්යය විය යුතු වුවද ලංකාවේ නොදියුනු මනෝභාවයට සාපේක්ෂව "සාමාන්‍යය" විය යුතු දෙය "සුවිශේෂය" වී ඇත.

කෙසේ වුවද තේරුම් ගත යුත්තේ මර්වින් සිල්වා නැමැති ඔලු දෙකේ සත්වයා එවැන්නවුන් අතර එකෙක් පමනි යන්නයි.නිදසුනක් ලෙස නාවලපිටියේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිගේ පාලනය සහ මර්වින් සිල්වාගේ කැලනි පාලනය අතර එතරම් වෙනසක් නොපවතී.අලුත්ගමගේද ස්වකීය ප්‍රාදේශීය බල සීමාව තුල වෙනම ස්වාධිපත්‍යයකට හිමිකම් කියයි.
(වීරවංශ රාජ්‍යයේ ඒකීයභාවය ගැන ‍ඇත්තටම සංවේදී නම් උපවාස කල යුත්තේ බැන් කී මූන්ට එරෙහිව නොව මේ වර්ගයේ ප්‍රාදේශීය ස්වාධිපත්‍යයන්ට එරෙහිවය!)
අලුත්ගමගේ තමාගේ බල සීමාවට සිය පක්ෂයේම වුව අනෙකුන් පැමිනීම කෙතරම් නොරුස්සයිද යන්න පසුගිය මැතිවරන සමයේ මනාව පැහැදිලි විය.මැතිවරන සමයේ නාවලපිටියේ භීෂනය රජැයීය.අලුත්ගමගේගේ ජෝගි නැටීම නිසා නැවත වතාවක් නාවලපිටි චන්දය පැවැත්වීමට සිදු වූ අතර රාජපක්ෂ අධිපතියා අලුත්ගමගේගේ හැසිරීමද ආදරනීය පියාගේ ඉවසීමෙන් යුතුව නොතකා හලේය.සිල්වා ගම්පහ ඡන්ද ලැයිස්තුවේ අංක තුනට එද්දී අලුත්ගමගේ මහනුවර පලමුවැනියා විය.සිල්වා කැලනිය හැදුවා යැයි කියනු ඇසෙන්නා සේම මොනව කලත් අලුත්ගමගේ මහත්තය නාවලපිටිය හැදුවා යැයි ද කියනු ඇසේ.චෞරයානෙනි තොප ඇති තාක් ගසා කනු.ගසා කන අතරේම අපටත් මොනවා හෝ සුලු දෙයක් වත් ලබාදෙනු.මෙය වනාහි නූතන ලාංකිකයාගේ හදවතේ රිද්මයයි.අලුත්ගමගේ,රෝහිත අබේගුනවර්ධන වැනි වෙනත් ප්‍රාදේශීය අධිපතීන් හා මර්වින් සිල්වා අතර වෙනස,සිල්වා මීඩියා පොරක් වීමත් තමාගේ ලජ්ජා විරහිතකම ප්‍රදර්ශනය කිරීමෙහිලා ඔහු තුල පැවති මනෝ ව්‍යාධිමය නැඹුරුවත් පමනි.

කේවල ඒජන්තයෙක් මත වගකීම පැවරීම නූතන බලාධිපත්‍යයේ සුවිශේෂී ආකාරයක් වන්නේය.මර්වින් සිල්වා හරහා රාජපක්ෂ ලැබූ විවිධ කුප්‍රකට වාසි පිලිබද කටකතා පවති.ඒ පිලිබද නිශ්චිතව නොදන්නා නිසා මෙහිලා ඒ සම්බන්ධ නිගමන දීමක් අවශ්‍ය නොවුවද බිම් මට්ටමේ ස්වකීය ආධිපත්‍යය පවත්වා ගැනීමට අලුත්ගමගේ,මර්වින් සිල්වා වැනි ප්‍රාදේශීය චන්ඩීන් බලාධිකාරයට අත්‍යවශ්‍යය.මෙවැන්නවුන් විසින් කරන අවලස්සන ක්‍රියා පවා තමා‍ගේ පාලනය පවත්වා ගැනීමට "විවිධ ආකාර" වලින් උපකාර වන බව පාලකයන් දනී.
නිදසුනක් ලෙස මහදවල් සිරසට ගල් ගසා සිරසට ගේමක් දීමේ මර්වින් සිල්වා මෙහෙයුම ගනිමු.එම මෙහෙයුම තමාට විරුද්ධව යමක් කියන එකම රූපවාහිනි මාධ්‍යයට සත්තමක් දැමීමේ ආන්ඩුවේ අභිලාෂයෙන් වෙන්ව විග්‍රහ කිරීම අතාර්කිකය.නමුත් එවැනි චන්ඩි වැඩක් ආන්ඩුවට නිල වශයෙන් කල නොහැක.සිල්වා වැනි නොනිල ඒජන්තයන් අවශ්‍ය වනුයේ මේ සදහාය.මෙම නොනිල ඒජන්තයන්ගෙන් තමාට ලැබෙන "වාසි" වෙනුවෙන් ඔවුන්ට කැමති ලෙස හැසිරීම නැමැති බලපත්‍රය බලාධිකාරය විසින් සපයා දෙනු ලැබේ.තමාට වැඩ ගත හැකි තාක් දුරට මෙම ඒජන්තයන් බලාධිකාරය විසින් යොදා ගැනේ.ඒජන්තයා තවදුරටත් වැඩ ගත නොහැකි ලෙස දුර්වල වූ විට හෝ ඒජන්තයා තමාට "වාතයක්" වන බව පෙනී ගිය විට සියලු පාපයන්ගේ වගකීම එම ඒජන්තයා මත ආරෝපනය කොට ඒජන්තයාව බිලි දෙනු ලැබේ.මර්වින් සිල්වාට දැන් සිදුව ඇත්තේ එයයි.විපක්ෂයේ ප්‍රහාරයන්ට ආන්ඩුව ලක් කරන මෙම ප්‍රාදේශීය චන්ඩියා තවදුරටත් එලෙසම තබා ගැනීම රජයට වාතයකි.මේ මොහොත මේ නිසා ඒජන්තයා මත සියලු පවු පවරා ඔහුව කපා දමන මොහොතයි.වරදකරු කේවල ඒජන්තයාය.ඒජන්තයා පසුපස පැවති බල හස්තය නිකැලැල්ය.නිරුපද්‍රිතය.

මේ අර්ථයෙන් පීඩිත අවවරප්‍රසාදිත ස්ථරයක උපත ලැබ,බලාධිකාරියේ ඉත්තන් වෙමින් විවිධ වරප්‍රසාද ලැබ ඉහලට බඩ ගා ගන්නා මර්වින් සිල්වා,කුඩු ලාල් වැනි චරිත එකම මොහො‍තේ පිලිකුලට මෙන්ම අනුකම්පාවටද ලක්විය යුතු සත්ව විශේෂයක් වන්නේය.මොවුහු හපාකන කෙලතොලු සුනඛයන් වීම මත පිලිකුල් සහගතය.එසේම කොයි මොහොතේ හෝ පාලකයාගේ යහපත වෙනුවෙන් බිලි දීමට ලක්වීමට නියමිත ඉත්තන් සමූහයක් වීම මත අනුකම්පා කටයුතුය.

Wednesday, August 4, 2010

රාමචන්ද්‍රගේ අඩවියේ අදහස් වාරනය පිලිබද කරුනු පැහැදිලි කිරීම

මෙම විශේෂ සටහන යෙදෙනුයේ රාමචන්ද්‍රගේ අඩවිය සම්බන්ධව පල වී ඇති යම් අදහසක් නිවැරදි කරනු පිනිසය.පසුගිය ජුලි 31 දින බ්ලොග් සටහනක් පල කරමින් Taboo subjects අඩවියේ ලේඛකයා මෙම බ්ලොග් අඩවිය තුල ඔහුගේ අදහස් වාරනය වීමක් සිදුව ඇති බවට සැක මතු කොට තිබූ අතර The prince නම් ප්‍රතිචාර සමග සම්බන්ධ වූ සහෘදයාද ඒ පිලිබද සැක මතුකොට තිබුනි.

මෙම බ්ලොග් අඩවිය ආරම්භයේ සිටම ප්‍රතිචාර සම්බන්ධ ප්‍රතිපත්තිය වූයේ අවම වාරනය යන්නයි.ශිෂ්ට නොවන යම් ප්‍රතිචාරයක් පැවතීම යන ව්‍යතිරේඛයට යටත්ව කිසිදු ප්‍රතිචාරයක් සම්බන්ධ සංස්කාරක මැදිහත්වීමක් නොකෙරේ යන්න මුල සිටම අනුදක්නා ලද අතර බ්ලොග් අඩවිය පවත්වාගෙන ආ වසරකට අධික කාලය තුල එකදු ප්‍රතිචාරයක් හෝ මෙම පදනම මත කපා දැමීමට ලක්ව නොමැත.

ප්‍රතිචාර දැක්වීමේදී තාක්ෂනික ගැටලුවක් පවතින බවට ලේඛකයාට මුල්ම දැනුම්දීම ලැබුනේ The prince විසින් ජූලි 23 දින දැක්වූ ප්‍රතිචාරයක් හරහාය.ඒ පිලිබද අවධානය යොමු වූ අතර එම ප්‍රතිචාරයට පසු ප්‍රතිචාර කිහිපයක් මෙම ලේඛකයාද ‍වෙනත් අයද විසින් බාධාවකින් තොරව සිදු කොට තිබූ බැවින් එම මතුකිරීම කෙරෙහි බරපතල ලෙස අවධානය යොමු කිරීමක් සිදු නොවින.නැවත මෙම ප්‍රශ්නය මතුවනුයේ ජූලි 31 දාතම දරන Taboo subjects අඩවියේ උක්ත ලිපිය හරහාය.නොවැලැක්විය හැකි හේතුවක් මත අගෝස්තු 03 දින දක්වා දුරස්ථ ප්‍රදේශයකට යාමට සිදුව පැවතීම නිසා ඒ පිලිබද අවධානය යොමු වූයේ ප්‍රමාද වීය.අගෝස්තු 03 දින නිවැරදි කිරීමේ සටහනක් Taboo subjects අඩවියේ පල කරනු ලැබින.මේ වනවිට ප්‍රතිචාර දැක්වීමේ ඇති ගැටලුව කුමක්ද යන්න සෙවීම සදහා ඒ පිලිබද අවබෝධයක් ඇති අයෙකු වෙත යොමු කර තිබේ.පුද්ගලිකව තාක්ෂනික කරුනු අරභයා ඇති අතිශය සීමිත අවබෝධය මත ක්ෂනිකව එම වරද නිවැරදි කිරීමට නොහැකි වීම පිලිබද මෙම ලේඛකයා සිය කනගාටුව පල කර සිටී.ගැටලුව නිරාකරනය වන තුරු නැවත ලිපි පල කිරීමක් මෙහිලා සිදු නොවනු ඇත.

අදාල ගැටලුව මත යම් අපහසුතාවයක් යම් පාර්ශවයකට වී නම් ඒ පිලිබද මින් කනගාටුව පල කරන අතර කෙසේ වුවද මෙම අඩවිය වාරන ප්‍රතිපත්තියක් පවත්වා ගනී යන සාවද්‍ය මතය සමාජගත වීම නිවැරදි කිරීම මෙම කරුනු පැහැදිලි කිරිමේ සටහනෙහි අරමුනයි.