Friday, February 26, 2010

කේවල ඒජන්තයෙක් මත වගකිම පැවරීමේ න්‍යාය


මෙඩ්ගාර් එවර්ස් කියන අමෙරිකානු එක්සත් ජනපදයේ කලු ජාතික නායකයාව 60 දශකයේ එක්තරා දිනෙක වෙඩි තබා ඝාතනය කෙරුනා.පදුරක් පසු පස සැගව සිටි ඝාතකයා සුදු ජාතිකයෙක්.වර්නභේදවාදයට විරුද්ධ ව්‍යාපාරයේ නායකයෙක් වුන මෙඩ්ගාර් එවර්ස් වර්නභේදවාදයට පක්ෂ සුදු ජාතික කල්ලියක් විසින් කුලියට යොදවන ලද මැරයෙක් විසින් මරා දැමුන අතර එ ඝාතකයාව පසුව අත්අඩංගුවට ගැනුනා.
මේ සිද්ධිය අලලා ගීතයක් රචනා කල බොබ් ඩිලන් මෙඩ්ගාර් එවර්ස්ගේ ඝාතකයා ගැන මේ විදිහට සදහන් කලා.

But it ain't him to blame
He's only a pawn in their game

ඝාතකයාට දොස් පැවරිය නොහැක.ඝාතකයා "ඔවුන්ගේ" ක්‍රීඩාවේ ඉත්තෙක් පමනකි.
"ඔවුන්" යනුවෙන් ඩිලන් මෙතනදි අදහස් කලේ අමෙරිකාවේ දකුනු ප්‍රාන්ත වල එවකට ක්‍රියාත්මක වුන සිස්ටම් එක දුවවන අයයි.දක්ෂින අමෙරිකාවේ ප්‍රාන්ත ආන්ඩු බොහොමයක් 60 දශකය වන විටත් වර්නභේදවාදය ප්‍රතිපත්තියක් විදිහට පිලිගෙන තිබුනා.පාසල්,උද්‍යාන විතරක් නෙමෙයි බස් රථ පවා වර්නභේදවාදී ලෙස බෙදා තිබුනා.ප්‍රසිද්ධ කෝපි හල් වල "වර්නයන්ට තහනම්" යැයි බෝඩ් එල්ලා තිබුනා.සුද්දන් ගැවසෙන වරප්‍රසාදිත තැන් කල්ලන්ට තහනම් වුනා.සුදු අයගේ දරුවන් වෙනුවෙන් වෙන් කල පාසල් ඉස්තරම් වර්ගයේ පාසල් වශයෙන් පැවතුන අතර කල්ලන්ගේ දරුවන් අව වරප්‍රසාදිත පාසල්වලට යා යුතුව තිබුනා.
කල්ලන් සහ සුද්දන් වෙනස් බවත් සුදු හම සහිතව ඉපදීම ගෞරවයට හේතුවක් බවත් සමාජය තුල අධිපතිත්වය දැරුන මතවාදයයි.මේ දෘෂ්ටිය කුඩා කාලයේ සිටම සුදු හමැති දරුවන්ට වාගේම කලු හමැති දරුවන්ටත් කා වද්දනු ලැබුවා.සිය සුදු හම මේ අනුව උසස් දෙයක් විදිහට සුදු ජාතිකයන් සද්භාවයෙන්ම විශ්වාස කල අතර තමා කලු අයෙක් ලෙස ඉපදිම තමාගේ අඩුවක් ලෙස කලු අය සද්භාවයෙන්ම විශ්වාස කලා.
වර්නභේදවාදය නමැති සිස්ටම් එක ක්‍රියාත්මක උනේ මේ විදිහට.
සුද්දන් කල්ලන්ට වඩා උසස්ය යන්න මේ අනුව සුද්දන් දිව්‍යමය සත්‍යයක් ලෙස අදහගෙන සිටි අතර මේ දිව්‍යමය සත්‍යය අභියෝගයට ලක්වෙනවාට ඒ අය කැමති වුනේ නැහැ.එම දිව්‍යමය සත්‍යය ප්‍රශ්න කල මෙඩ්ගාර් එවරස් වැනි "නපුරන්" මේ අනුව වනසා දැමිය යුතුව තිබුනා.එහෙම වනසා දැමිය යුතුයි කියල සුදු සමාජයේ වඩාත්ම භක්තිවන්ත පිරිස් විශ්වාස කලා.KKK වගේ නොනිල ඝාතක කන්ඩායම් බිහි වන්නේ මේ තර්කය උඩ.මේ ඝාතක කන්ඩායම් වලින් කුලියට යෙදවුනු ඝාතකයන් මෙඩ්ගාර් එවර්ස්,මාටින් ලූතර් කිං වගේ කලු ජාතික නායකයන් ගනනාවක් ඝාතනය කලා.කලු ජාතික ව්‍යාපාරයට සහය දුන්න සුද්දන් ( ද්‍රෝහීන් ) වෙඩි තබා මරා දැමුනා.

දැන් ඇත්තටම මේ අපරාධ කලේ කවරෙක්ද?
මෙඩ්ගාර් එවර්ස් ඝාතනය කලේ කවුද?යි අසන විට බයිරන් ඩි ලා බෙක්විත් යැයි පිලිතුරු ලැබෙනවා.
මාටින් ලූතර් කිං ඝාතනය කලේ කවුද?යි අසන විට ජේම්ස් අර්ල් රේ යැයි පිලිතුරු ලැබෙනවා.
ඒ කියන්නේ ඝාතකයා යැයි පෙන්විය හැකි ඒජන්තයෙක්/නිශ්චිත පුද්ගලයෙක් සිටිනවා.මේ ඝාතන කලේ අසවල් අසවල් පුද්ගලයන් විසින් යැයි කියල සමාජය අත හෝදා ගන්නවා.මේ අදහසට අනුව එවර්ස් ව ඝාතනය කලේ බෙක්විත්.ඔහුට දඩුවම් කල විට හැමදේම හරියනවා.
මේ සරල අදහස තමන්ගේ ගීතය හරහා ප්‍රශ්න කරන බොබ් ඩිලන් මෙඩ්ගාර් එවරස්ව ඝාතනය කලේ වෙන කවරෙක් හෝ නොව වර්නභේදවාදී විදිහට සංවිධානය වුන,ඒ විදිහට මිනිසුන්ව හිතන්න පුරුදු කල,සමාජ දේශපාලන ක්‍රමය යැයි ප්‍රකාශ කරනවා.ඝාතකයා ඒ ක්‍රමයේ ඉත්තෙක් විතරයි.දේශපාලන ක්‍රමය මිනිස්සුන්ගේ ජීවිත ක්‍රීඩාවක් විදිහටයි භාරගන්නෙ.සුද්දන් වේවා කල්ලන් වේවා සිස්ටම් එකට ඒ හැමෝම දාම් පෙතක ඉන්නා ඉත්තන් ප්‍රමානයක් විතරයි.ඇවැසි විට ඉත්තා කොටුවෙන් කොටුව පන්නනවා.ඇවැසි වෙලාවට සියලු දොස් ඉත්තා මත ආරෝපනය කරලා ඉත්තාව බිලිදෙනවා.සමාජය මේක ඇතුලෙ හිංසනය සිස්ටම් එක තුල පවතින එකක් නෙමෙයි අදාල පුද්ගලයාගේ පුද්ගලික දෝෂයක් යැයි හිතල හිත හදාගන්නවා.කවුරුත් සිස්ටම් එක ප්‍රශ්න කරන්න පෙලඹෙන්නේ නැහැ.
බොබ් ඩිලන් සිය ගීතයෙන් ඒජන්තයාට ඇගිල්ල දිගු නොකර ඒජන්තයාව හසුරුවන අදෘශ්‍යමාන හිංසකයාට ඇගිල්ල දිගු කිරීමේ අවශ්‍යතාවය අවධාරනය කරනවා.

ලංකා පත්තරේ කර්තෘ අත්අඩංගුවට ගැනීම ගැන ජනාධිපතිවරයා පොලිස්පතිට "අවවාද" කරනවා.ඒ අනුව වරද තිබෙන්නේ නීතියේ විනිවිදභාවයක් නැතිවීම තුල නෙමෙයි.පොලිස්පති කියන "ඒජන්තයාගේ" පුද්ගලික ක්‍රියාකාරිත්වය තුලයි.ජනාධිපති මේ අනුව අහිංසකයෙක්.
මාධ්‍යවේදින්ට පහර දීම ගැන ජනාධිපතිවරයා මර්වින් සිල්වාට තරයේ අවවාද කරනවා.නපුරේ ඒජන්තයා = මර්වින් සිල්වා.
අලුත්ම කතිකාව අනුව යුද සමයේ මාධ්‍යවේදීන් ඝාතනය කල පාපයේ නියෝජිතයා සරත් ෆොන්සේකායි.ජනාධිපති හා ආරක්ෂක ලේකම් වැනි බලධරයන් අහිංසක බබ්බුය.
පොලිසිය බලාගෙන සිටියදී විරෝධතාකරුවන්ට සිවිල් ඇදුමෙන් විත් පහර දෙන එක කිච රුවන්ගේ පුද්ගලික වරදක්.මේ ගැන මහජන විරෝධය උග්‍ර වුනොත් කිච රුවන්ට දඩුවමක් දෙනු ඇති.නමුත් ඒ පසුපස තිබෙන නිතියේ සාධාරනභාවය ගැන ව්‍යුහාත්මක ප්‍රශ්නය කරලියට එන්නෙ නැහැ.
අත් අඩංගුවට ගැනෙන සැකකරුවන් පොලිසිය තුල පහර කනු ලැබ මියයනවා.ඒක අපි පොලිසියයි සමාජයයි අතර සමබන්ධතාවය හැදිල තියෙන "ක්‍රමයේ"( සිස්ටම් එකේ) වරදක් විදිහට දකින්නෙ නැහැ.අපිව පුරුදු කරවලා තියෙන්නෙ ඒ ඝාතන පොලිස්කාරයෙක්ගේ පුද්ගලික වරදක් විදිහට දැකල අමතක කරන්න.
මෙඩ්ගාර් එවර්ස් ඝාතනය වුන විට ඒ ඝාතනය කල ඝාතකයා හිර භාරයට අරන් එයා මත සම්පූර්න වගකීම පවරලා තමන් හරි පාරිශුද්ධ බව පෙන්නලා තමන්ට එරෙහිව ගොඩ නැගෙන්නට නියමිතව තිබුන මහජන විරෝධය පුද්ගල ඒජන්තයෙක් වෙත හැරවූ අමෙරිකාවේ වර්නභේදවාදී සිස්ටම් එක සිය පැවැත්ම ආරක්ෂා කර ගත්තා.
සමාජ ක්‍රමයේ තියෙන දුර්වලකම හින්ද වෙන ඛේදවාචකයන් වල පාපය පුද්ගල ඒජන්තයන් මත පවරා තමන් පාරිශුද්ධ ලෙස නිදහස් වීම වර්තමාන ලංකාවේ දේශපාලන සමාජ ආකෘතිය ඇතුලේ සිදුවෙනවා.වැරදි වලට වග කිව යුතු මර්වින් සිල්වා,බැද්දගානේ සංජීව,කුඩු නුවන්,කිච රුවන්,කුඩු ලාල් වැනි අය දඩු කදේ ගැසුවාම සියලු දේ හරියාවි යැයි සමාජය හිතාගෙන ඉන්නවා.
නමුත් ඇත්ත වශයෙන්ම මර්වින් සිල්වලා ජාතක කරන්නේ සිස්ටම් එක විසින්.මේ අය තමන්ට අනවශ්‍ය වූ විට දඩු කදේ ගසන සිස්ටම් එක ඒ අයට පසුව තමන්ගේ වැඩ ටිකට කරගහන්න තවත් මර්වින් සිල්වලා ඇති පදමින් අවශ්‍ය විදිහට ජාතක කරනවා.මර්වින් සිල්වලාත් ඇත්ත වශයෙන්ම අනුකම්පා කට යුතු සිස්ටම් එකේ victims ලා ලෙස තේරුම් ගැනීමයි වඩා නිවැරදි.
දඩුකදේ ගැසිය යුත්තේ ඒජන්තයා නෙමෙයි.
ඒජන්තයා පසුපස තිබෙන අදිසි හස්තයයි.

Friday, February 19, 2010

මුල් පිටුවෙන් දේශපාලන ලිපි විසිවීම - 2


සිංහල බ්ලොග් කියවනයේ දේශපාලන ලිපි මුල් පිටුවෙන් ඉවත් කිරීම ගැන සරල අදහස් දැක්වීමක් මෙහි මුල් කොටසින් ඉදිරිපත් කල අතර එම සිදුවීම ගැන තරමක් වෙනත් මානයක අදහස් දැක්වීමක් වෙනුවෙන් මෙම සටහන තුල අවදානය යොමු කෙරෙනු ඇත.

සිංහල බ්ලොග් කියවනයේ පරිපාලකයන්ගේ “දේශපාලන විරෝධය” හුදෙකලා සිදුවීමක් විදිහට නොගෙන සමාජයීය ලෙස කියවිය යුතු යැයි මෙම බ්ලොග්කරු පලමුව යෝජනා කරන්න කැමතියි.
ලංකාවේ පුරවැසි සමාජය සමස්තයක් ලෙස අදේශපාලනිකයි.පුරවැසි සමාජය ඒ නිසා "දේශපාලනය" විදිහට හදුනගන්නා දේවල් ප්‍රමානයක් තියෙනවා.බ්ලොග් සංගමයේ පරිපාලකයන්ද ඇතුලුව ලංකාවේ පුරවැසි සමාජය දේශපාලනය කියල හදුනගන්නේ යූඇන්පී,තුලාව, සුදර්මන්ගේ රැවුල,ජනාධිපතිවරනය,මර්වින් සිල්වා,ෆොන්සේකා හා මහින්දගේ කුරහන් සාටකේ වගේ මතුපිට තලයේ දේවල් කිහිපයක් විතරයි.

නමුත් දේශපාලනය කියන්නේ ඇත්තටම ඕවාට විතරක් නොවෙයි.දේශපාලනය කියන්නේ සමාජයේ බලය පිලිබද කලාවයි.බලය පිලිබද විද්‍යාවයි.

"බලය" සමාජයේ හැමතැනම තියනවා.සමාජය නැමැති නහර පන ගන්වන රුධිරය වූ කලී බලයයි.
-අනේ මම නම් දේශපාලනය වගේ ජරාවක් ගැන කතා කරන් නැහැ- කියමින් පිරිසිදුවාදී ව්‍රතයක් පෙන්වන සිංහල බෞද්ධ අහිංසකයා බස් එකතුල නාදුනන ගැහැනියකට ජැක් එකක් ගහන කොට ඒකෙත් දේශපාලනයක් තියෙනවා.අසංවර යැයි සම්මත විදිහට මුහුනු පොතේ පින්තූරු දාගෙන ඉන්න තරුනියන්ගේ ඒ පින්තූර රසවිදින ගමන් -ඊයා මේ වගේ ගැහැනු- කියන නූතන යුගයේ ධර්මපාලලාගේ ප්‍රකාශයක් ගත්තම ඒකත් දේශපාලනිකයි.ගැහැනු පිරිමි සබදතාවයක් වගේ සරලම තැනකත්,සමාජ පංතීන් අතර සබදතාවයන් වැනි සංකීර්නම තැනකත් යන මේ හැම තැනෙකම දේශපාලනය තියෙනවා.රාජ්‍ය බලය පිලිබද කාරනයේදී දේශපාලනය උපරිම විදිහට ප්‍රකාශනය වෙන අතර අපේ පුද්ගලික ජීවිත වල එදිනෙදා සිදුවීම් වලිනුත් දේශපාලනය එලියට පනිනවා.

මේක නොදන්න ‍දේශපාලන විරෝධී උපාසක මහත්වරු දේශපාලනයට ඊයා කියනවා.
එසේ ඊයා කියන මහත්වරුන්ට අපිට කියන්න තියෙන‍්නේ මෙච්චරයි.
ඊයා කියද්දි බලාගෙන.ඔයාල ඔය ඊයා කියාගන්නෙ ඔයාලාටමයි.මොකද ඔයාල ඊයා කියන “දේශපාලනය” ඔයාලගේ ජීවිත වලත්,ඔයාලගේ ජීවන සම්බන්ධතා වලත් යස අගේට ගහට පොත්ත වගේ වෙලිල තියෙනවා.

-දේශපාලනය අපිට අදාල දෙයක් නෙමේ- කියන අදේශපාලනික අදහස පුරවැසි සමාජය තුල මුල්බැහැගෙන තිබෙන අතර මේ වගේ අදේශපාලනික සමාජයක් අන්දන එක සමාජ මත හැඩගස්වන මෙවලම් අයිති උදවියට ඉතාම ලෙහෙසි වැඩක්.
දේශපාලනය අපිට අයිති දෙයක් නෙමේ කියල හිතන අදේශපාලනික පුරවැසියා විධිමත් ලෙස දේශපාලනය ගැන හදාරන්නට උත්සාහයක් දරන්නේ නැහැ.මේ හින්ද වර්තමාන පුරවැසි ලාංකිකයා ඇරිස්ටෝටල්ගේ අර්ථයෙන් දේශපාලන මිනිසෙක්ද නැද්ද යන එක කොහොම වුනත් “දේශපාලනික” මිනිසෙක් නම් නෙමෙයි.ඒ කියන්නෙ දේශපාලනය ගැන විධිමත් කියැවීමක් ඔහු තුල නැහැ.
මේ වගේ අදේශපාලනික බබ්බුන්ට ටොෆී දීම ඉතාම ලෙහෙසි දෙයක්.
සිනමන් ලේක් සයිඩ් එකේ ඉදන් සංවිධානය කෙරුනු හමුදා කුමන්ත්‍රන,ෆොන්සේකාගේ මහා දේශපාලන පාවාදීම,කලගුන සැලකිමට චන්දය දීම වගේ ‍ලාභ ලොලි පොප් කිහිපයක් විසි කල විට මේ වගේ අදේශපාලනික සමාජයක් බොහොම කෑදරෙන් ඒවා ලෙව කන බවත් ලෙව කමින් ගෙදර දොරේ කඩමන්ඩියේ කද්දි බොද්දි රමනය කරද්දි වැසිකිලි යද්දි ආදි හැම අවස්තාවකදීම මේ ගැන තොරතෝංචියක් නැතිව කතා කරමින් කල් මරන බවත් සමාජයේ මත හසුරුවන්නන් දන්නවා.අදේශපාලනික සමාජයක් දේශපාලනය යනුවෙන් අන්තිමට හදුනාගන්නෙත් ඇත්තටම දේශපාලනය නෙමේ.දේශපාලනය යනුවෙන් අර්ථ ගැන්වුන ඒ වගේ ස්වරූපයක් සහිත විකෘතියක්.

උදාහරනයක් විදිහට මෑතකදී බ්ලොග් අවකාශය තුල වැඩියෙන්ම හිට් උන දේශපාලන බ්ලොග් අඩවියක් වුන නුවර පාර කියන බ්ලොග් අඩවිය ගනිමු.
මහින්ද රාජපක්ෂ වූ කලී නූතන ජාතික ගැලවුම්කාරයා යැයි විශ්වාස කරමින් පන කඩාගෙන පාලකයා වෙනුවෙන් කඩේ යන එක එම අඩවියේ තිබෙන ‍එකම දේශපාලනයයි.පාලකයා දෙන ඕනෑම පෙත්තක් මෙම බ්ලොග් අඩවිය විසින් ඒ විදිහටම ගිලිනවා.තමන් ඇසින් දුටුවා හා සමානව ජනාධිපති ඝාතන කුමන්ත්‍රන ගැන බඩ යන ගානට බ්ලොග් සටහන් දානවා.හොදම කාරනය වෙන්නේ මේ බඩ යන ගානට වැටෙන සිල්ලර පොලිටිකල් ප්‍රබන්ධ මාර විදිහට හිට් වීමයි!ඇත්තෙන්ම කිසිදු විචාරයක් හෝ අධ්‍යයනයක් නැතිව,සමාජ බලය සහිතවූවන් දක්කන තැනට දැක්කෙන ගවයන් රැලක් සහ අදේශපාලනික පුරවැසියන් සමූහයක් අතර වෙනසක් නැහැ.

බ්ලොග් සංසදයේ “දේශපාලනය අප්පිරියා වීමත්” මේ අදේශපාලනික පුරවැසි සමාජයේ අදේශපාලනික හැසිරීම පෙන්වන ඉතාම හොද සංසිද්ධියක්.මේ සිදුවීම වෙනම අර ගන්නේ නැතිව සංයුක්තව සමාජයීය විදිහට සාකච්ඡා කල යුතුයි කියල ආරම්භයේදීම ප්‍රකාශ කලේ එම නිසා.අදේශපාලනික පුරවැසි සමාජයක වෙසෙමින්,අදේශපාලනික ඔක්සිජන් වලින් පෙනහලු පුරවාගන්නන් සමූහයකින් -අපිට දේශපාලනය අප්පිරියයි- වැනි අදේශපාලනික තිරනයක් හැර වෙනත් කවරක් බලාපොරොත්තු විය හැකිද?

මුල් පිටුවෙන් දේශපාලන ලිපි විසිවීම - 1

සිංහල බ්ලොග් කියවනයේ තිබෙන දේශපාලන ලිපි වෙනම ශීර්ෂයක් යටතේ පෙලගස්වන්නට තීරනය කොට තිබෙන අතර එසේ පෙල ගැස්වූ “දේශපාලනික” අඩවි අතර රාමචන්ද්‍රගේ අඩවිය නැත!
සින්ඩිකේටරයේ පරිපාලකයන් ගන්නා තීරනයකට හිසි නැවීම ආචාරධාර්මිකව අප කල යුතු කාර්යයක් වන අතර කෙසේ වුවත් එම තීරනය පිලිබද විවේචනාත්මක අදහසක් දැක්වීමට එම ආචාරධාර්මික බැදීම බාධාවක් කරගත යුතු නැති යැයි හගින නිසා මෙම කෙටි සටහන පල වේ.

දේශපාලනය එහි පලල් තේරුමකින් තේරුම් ගන්නේ නැතිව චන්දය,පාර්ලිමේන්තුව,එස් එෆ්,මහින්ද චින්තනය කියන ඉතාම සරල තේරුමින් මුලින්ම සලකා බලමු.
සමාජයක මිනිසුන් විවිධ වන අතර ඒ අයගේ රුචිකත්වයන්ද විවිධය.මේ බහුවිධිත්වය කිසි අයෙක්ට බැහැර කිරීමට නොහැක.මේ නිසා විවිධ විෂයන් ගැන විවිධ අය විවිධ ආකාරවලට උනන්දු වේ.තාක්ෂනික දේවලට ප්‍රිය කරන අය,ආගමික කරුනු ගැන ප්‍රිය කරන අය වගේම දේශපාලනය ගැන උනන්දු වන අයද මේ අනුව සමාජයක සිටී.එසේම දේශපාලන අදහස් පිලිබද වැඩිපුර ලිවීමට උනන්දු වන බ්ලොග්කරුවන්ද සිටී.
මෙවැනි සන්දර්භයක තාක්ෂනය,ආගම,පුද්ගලික දේවල් වැනි විවිධ විෂයන් අතරින් “දේශපාලනය” විතරක් මුල් පිටුවෙන් වෙන් කිරීමට තීරනය කිරීමේ පදනම කුමක්ද?

මේ සදහා ඉදිරිපත් වූ “බලන අයට අප්පිරියා වෙනවා” කියන විත්තිවාචකය ඉතාම දුර්වල හා අතාර්කික විත්තිවාචකයක් බව අපේ හැගීමයි.
“අප්පිරියා වීම”ට පොදු ( වාස්තවික ) අර්ථ නිරූපනයක් දෙන්න පුලුවන්ද?
අප්පිරියා වීම ආත්මීයයි.පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි.
කෙනෙක් දේශපාලන ලිපි නිසා බ්ලොග් අවකාශය අප්පිරියා වන බව කියනවා නම් තවකෙක්ට වින්ඩෝස් හෝ පවර් පොයින්ට් හෝ බෝල් පොයින්ට් ගැන ලියැවෙන තාක්ෂනික ලිපි නිසා සින්ඩියට ඒම අප්පිරියා බව කීමට පුලුවන.
කෙනෙක් දැන් ඒ විදිහට තාක්ෂනික ලිපි නිසා සින්ඩිය අප්පිරියා වන බව කිවහොත් තාක්ෂනික ලිපිත් මුල්පිටුවෙන් ඉවත් කිරීමට පියවර ගන්නවාද?
කෙනෙක් දේශපාලනය නිසා සින්ඩිය අවලස්සන වන බව කියන විට තවෙකෙක්ට එක එක්කෙනාගේ ඩයරියේ තිබෙන බල්ලට කෑම දීම,හන්තානට ට්‍රිප් එකක් යාම වගේ පුද්ගලික දේවල් නිසා සින්ඩිය අවලස්සන වන බව කිව හැක.එසේම දේශපාලන ලිපි නිසා සින්ඩිය අවලස්සන වන බව එකෙක් කියද්දි සින්ඩිය ලස්සන වෙන්නේ දේශපාලන ලිපි නිසා යැයි වෙනකෙක්ට කීමට හැක.
මින් පැහැදිලි වනුයේ ලස්සන වීම අවලස්සන වීම,ප්‍රිය වීම අප්පිරියා වීම අතිශය පුද්ගලික දෙයක් වන බවත් ඒ ගැන පොදු නිර්නායකයක් නිර්මානය කිරීම අතාර්කික බවත්ය.

ඒ නිසා වඩාත්ම හොද හා වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වන්නේ කවර මාතෘකාවකින් ලියැවෙන ලිපියකට වුව සාධාරන ලෙස සින්ඩිය තුල ඉඩක් ලබා දීමය.කියවන අය තම නැන පමනින් තෝරා ගත යුතු මාතෘකාව තෝරා ගෙන ලිපිය කියවනු ඇත.
බ්ලොග් කිහිපයක් වෙන් කර ඒවා දේශපාලනික ලෙස ලේබල් කොට මුල් පිටුවෙන් ඉවත් කිරීම අසාධාරන හා අනුචිත එකක් මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී එකක් වෙන්නේ ඒ පදනම මතයි.

ඒ නිසා අපේ ඉල්ලීම් සරලය.
තාක්ෂනය ගැන කියවන්නට කැමති අය තාක්ෂනය ගැන කියවපල්ලා!
ආගම ගැන සාහිත්‍යය ගැන කියවන්නට කැමති අය ඒ ගැන කියවපල්ලා!
දේශපාලනය ගැන කියවන්නට කැමති අය ඒ ගැන කියවපල්ලා!
මේ හැම මාතෘකාවකටම විශේෂයක් නැතිව මුල් පිටුවේ ඉඩක් දීපල්ලා!

එක් විෂයක් පමනක් රකිමින් අනිත් විෂයක් හෙලා නොදකිනු!
බ්ලොග් අවකාශයේ බහුවිධිත්වයට ගරු කරනු!

Saturday, February 13, 2010

සීතාම්බර පට දහසකින් සැරසුවද - රජතුමා හෙලුවෙනි


මොනවා කරමුද අපි
හඩමුද සිනාසෙමුද?

කා හට කියමුද අපි
ගැටෙමුද පලා යමුද?

- සුනිල් ආරියරත්න


පොලිසියේ ආරක්ෂාව සහිතව පොලු මුගුරු ගෙන පිවිසි පාතාල මැරයන් විසින් අලුත්කඩේ උසාවිය ඉදිරියේ සරත් ෆොන්සේකා වෙනුවෙන් පැවති විරෝධතා ව්‍යාපාරයට පහර දෙන ලදී.
ස්වාධීන රූපවාහීනිය මේ සිදුවීම වාර්තා කරමින් පැවසුවේ විරෝධතාවයට පැමිනි එජාප හා ජවිපෙ පිරිසක් උනුන් හා ගැටී මහා විපතක් වූ බවයි.
සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට එරෙහිව රට පුරා ඇති වුන සාමකාමී විරෝධතාවයන්ට පොලිසිය විසින් පහර දෙන ලද අතර ඔවුන් විසුරුවා හරින ලදී.
මේ බ්ලොග් සටහන ඉහලින්ම පලවන්නේ මහරගම පැවති විරෝධතාවයට පහර දීමේදී ගනු ලැබූ ඡායාරූපයකි.විරෝධතාවයට සම්බන්ධ වූ බෞද්ධ භික්ෂුවකට පොලිසිය විසින් පහර දෙන මේ ඡායාරූපය වර්තමාන ලාංකීය දේශපාලන මුහුනුවර හකුලා දක්වන කැඩපතක් වැන්න.
ලංකාව ථෙරවාදී බුදු දහමේ මධ්‍යස්ථානය යැයි කියන රටකි.නග්න බලකාමය හමුවේ බෞද්ධකම,ආගම් භක්තිය ව්‍යාජ සැරසිලි පමනි.තමන්ට එරෙහිව ඒ නම් බෞද්ධ භික්ෂූන්ට වුව එලව එලවා පහර දෙන දේශපාලනය අපට ලබාදෙන පනිවිඩය කුමක්ද?
මේ පහර දීම් සිදුවනුයේ සෑම පෝයකදීම සිය නිවෙසට හාමුදුරු නමක් වැඩම්මවා රටටම පේන්න බන අහන පාලකයාගේ අන මතය.
බන අහන,පන්සල් වලට මල් වට්ටි පූජා කරන සැදැහැවත් පාලකයාගේ දැහැමි වැඩ නිසා මහා සංඝරත්නය පවා සසල වී ඇති සෙයකි.
දේශපාලකයන් තමා කියන දේට ඔලුව වැනුවාට එලියට ගියාම කරන්නේ තවෙකක් බවත් තමාට දේශපාලකයන්ට පන්සලට එන්න එපා කියන්න හිතෙන බවත් මල්වතු මහ නා හිමි අතුරුදන් වු ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිදට පවසන්නේ පාලකයන්ගේ දැහැමි වැඩ ඒ තරම් සසල කරවන සුලු නිසාය.
ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් මහ සග සමුලුවක් මහ නාහිමිවරුන්ගේ කැදවීමෙන් රැස්වීමට යන්නේ පාලකයන්ගේ සැදැහැවත් චර්යාව විශේෂ සම්මේලනයක් කැදවීමට තරම් තැති ගන්වන සුලු එකක් වී ඇති නිසාය.

අනෙකා ගොරහැඩියෙකු බවත් මෙතුමා සංවේදී පිවිතුරු අයෙක් බවත් පසුගිය දෙමාසයක් පුරා ඔවුහු අපට දිගින් දිගට පැවසූහ.
අනෙකා බලයට ආ කල රට ඉඩි අමින්කරනය වන බවත් එය වලකාලනු වස් මෙතුමාට සහය දිය යුතු බවත් දවසේ පැය විසිහතර මුලුල්ලේ ඔවුහු පැවසූහ.
ජනතාව ඔවුන් කී මග යමින් ගොරහැඩියා වෙනුවට සංවේදී මිනිසා තෝරාගත්තේය.
නිකම් නොව ලක්ෂ 18ක මහා පරතරයක් සහිතවය.
දැන් සංවේදී කම වීදි පුරා කදුලු ගෑස් ආකාරයෙන් දෙගොඩ තලා යමින් තිබේ.සාමකාමී රැස්වීම මූලික අයිතියකි.ඒ මූලික අයිතිය අභ්‍යාස කරන්නවුන්ට වදින අධි පීඩන ජල ප්‍රහාර වල සංවේදීතාවය රූපවාහිනි තිර මත පතිත වෙමින් තිබේ.

ලංකාවේ එදා මෙදා තුර පහල වූ වඩාත්ම ආඥාදායක ස්වරුපී පාලකයා යැයි සැලකෙන රනසිංහ ප්‍රේමදාස හෝ විරුද්ධ පක්ෂයෙන් තමා හා ජනපතිවරනයට තරග කල "වරදට" විපක්ෂ අපේක්ෂකයා රාජ්‍ය විරෝධී චෝදනා මත සිර කිරීමට උත්සාහ නොකලේය.චෝදනා මත දන්ඩනයක් පැනවීම එකකි.දන්ඩනයක් පැනවීමේ පරම අභිලාෂය මත චෝදනා "අහුලමින් යාම" තවෙකකි.
සරත් ෆොන්සේකා හමුදාව තුල සිටියදී කරන ලද බව කියන විනය කඩකිරීම් වලට එරෙහිව යුද හමුදා අධිකරනයක් ඉදිරියට ඔහුව කැදවීමට රජය කටයුතු කරන බව පාලකයෝ අපිට කියති.
මෙතනදී පැන නගින ප්‍රශ්නය ඉතාම සරල එකකි.
හමුදාව තුල සිටියදී ඔයතරම් බරපතල වැරදි කල අයෙක්ට කිසිම අවුලක්/පරික්ෂනයක් නැතිව විශ්‍රාම යාමට ඔබලා ඉඩ දුන්නේ කුමකටද?
හමුදාව තුල සිටියදී රජය පෙරලීමට කුමන්ත්‍රනය කල අයෙක්ට අම්බලන්ගොඩ ශ්‍රීලනිප සංවිධායකකම ලබාදෙන්නට කේවල් කලේ කුමකටද?ඒ වෙනුවෙන් දනින් වැටුනේ යාප්පු වුනේ කුමකටද?
"ඔයාගෙ තීරනේට මම විරුද්ධ නැහැ.ඒත් ඕක වැරදි තීරනයක්.ජනාධිපතිවරනයට පස්සෙ ඒත් ඔයා මං ගාවට එන්න.එතකොට මම ඔයාව බාර ගන්නවා"
ෆොන්සේකා තමා ජනපතිවරනයට ඉදිරිපත් වන බව පැවසු විට ජනාධිපති රාජපක්ෂ පැවසූවා යැයි මාධ්‍ය විසින් වාර්තා කරන ලද්දේ ඉහත ප්‍රකාශයයි.
කෙතරම් ස්නේහවන්ත වචන පෙලක්ද?පිතෘ ස්නේහයෙන් කිති කැවුන කෙතරම් සංවේදී වචන සෙට් එකක්ද?
මේ තරම් ආදරයෙන් අමතන ලද්දේ,ජනාධිපතිවරනයට පසු තමා වෙත ආ විට "භාරගන්නවා" යැයි කියනු ලැබූයේ හමුදා සේවය තුල ඉදිමින් කුමන්ත්‍රනයක් සැලසුම් කල අපරාධකරුවෙක්ටද?
පාර්ලිමේන්තුව ගිනි තැබීමට "කුමන්ත්‍රනය" කලා යැයි පවසා ඇඩොල්ෆ් හිට්ලර් ජර්මානු කොමියුනිස්ට් පක්ෂය තහනම් කලේය.එහි සාමාජිකයන් ලක්ෂ ගනනින් සිර භාරයට ගත්තේය.
රටේ යහපැවැත්මට එරෙහිව "කුමන්ත්‍රනය" කරන බව පවසමින් චිලිහි ඔගස්තෝ පිනෝෂේ වසර ගනනක් තිස්සේ දහස් ගනනින් මිනිසුන් සිර භාරයට ගත්තේය.ඝාතනය කලේය.වසර ගනනින් ඔවුන්ව රදවා තබන ලද්දේය.
චරපුරුෂයෙක්ගේ පොරෝ පහරට ලියොන් ට්‍රොට්ස්කිගේ හිස බිලි වූයේ ස්තාලින්ගේ පාලනයට එරෙහිව "කුමන්ත්‍රනය" කිරීමේ චෝදනාවටය.
අධිපතිවාදී හා මිනිස් නිදහස තඹයකුදු නොතකන අධිකාරිවාදී උද්දච්ච පාලකයන්ගේ අදුරු හෙවනැලි වලින් ගහන ලෝක ඉතිහාසය මෙම කුමන්තන කතා ගැනත් ඒවා පසුපස තිබෙන ඇත්ත අරමුනු ගැනත් නොවරදින පාඩමක් ඕනෑම අයෙක්ට උගන්වයි.
යථාර්ථය තිබෙන්නේ ප්‍රකාශිත වචන වල නොව ඒ වචන පසුපස තිබෙන අරමුනු තුලය.
කුමන වචන මැතිරුනද ලංකාවේ විපක්ෂ දේශපාලන ව්‍යාපාරයේ නායකත්වය ලෙස මතුවෙමින් තිබූ සරත් ෆොන්සේකා හිරභාරයට ගෙන යුද අධිකරනය ඉදිරියට පැමිනවීම පසුපස තිබෙන්නේ සිය අසහාය බල පරාක්‍රමයට විරුද්ධ වීම නිසා,එසේ විරුද්ධ වීමට තරම් ධෛර්යයක් තිබුන පුද්ගලයාගෙන් පලි ගැනීම සදහා රාජපක්ෂ රෙජිමය තුල තිබෙන වෛරී,පිලිකුල් සහගත අරමුන මිස අනෙකක් නොවේ.
සීතාම්බර පට දහසකින් වසන්නට තැත් කලද රජතුමා හෙලුවෙනි!

විපක්ෂ දේශපාලන නායකයා යුද අධිකරනයට පැමිනවීමේ අලකලංචිය කොළඹ නගරයේ මෙසේ රගදැක්වෙද්දී නාමල් රාජපක්ෂ කිරුල හිමි කුමරා ඈත හම්බන්තොටින් දේශපාලනයට සම්ප්‍රාප්ත වීම සිදුවිය.සජින් වාස්ගේ සභාපතිත්වයෙන් ගුවන් සේවයක් පිහිටුවිමට අවසර දි ඇති බව පසුගිය සතියේ රාවය මුල් පුවතින් කියැවින.රාජ්‍ය සේවකයෙක් වන ගෝඨාභය "රාජපක්ෂ" මැතිවරන නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් පසුගිය දිනවල ජනාධිපතිගේ මැතිවරන ප්‍රචාරනයට හවුල් වූ අතර යෝෂිත "රාජපක්ෂ" නම් නාවික හමුදාවේ නිලධරයා (නැවතත් රටේ නීතිය කඩමින්) මැතිවරන වේදිකා මතට ගොඩවිය.මේ සියලු කොටස් එකතු කොට තනි චිත්‍රයක් සදා ගත් කල මැවෙන්නේ සුපිරි තනි පවුලක සදාකාලික බල ආශාව පිලිබද චිත්‍රය මිස වෙන කවරක්ද?

මේ වූ කලී ගොනා හැරෙන්නේ පොල් පැලය දෙසටදැයි තර්ක කරමින් කල් මර මරා සිටිය යුතු කාලයක් නොවේ.සංවේදි ගවයන් ඇත්තටම පොල් පැල කනවාද?ඒවා කරන්නෙ ඉඩි අමින් වගේ කැත මූනක් තියන අය විතරයි නේද?ලස්සනට හිනාවෙන අයට ඒවා කරන්න පුලුවන්ද ආදී මනෝමූලික ගොංපාට් තමාගෙන්ම අසමින්,ඒ ගැන වීරවංශ හෝ සෝමරත්න දිසානායක වැනි සදාචාරාත්මකව වැහැරුන අයවලුන්ගෙන් ටියුෂන් ගනිමින් සිටීමට කාලයක්ද නොවේ.
ඒකාධිපතිවාදය යථාර්තයකි.
යථාර්තයට මුහුන නොදිම නිවටකමකි.

Friday, February 5, 2010

ලංකා පුවත්පත සහ විශ්‍රාම ගිය කැරලිකරුවනගේ වත


ලංකා ඉරිදා පුවත්පත සීල් තැබීමට ආන්ඩුව ගත් තීරනය අධිකරනය විසින් ආපසු හරවා තිබෙන නමුත් ආරක්ෂක ලේකම්ගේ නියෝගය මත හදිසි නීතිය යටතේ එහි කර්තාවරයා දින 90 ක කාලයකට රදවා ගනු ලැබ තිබෙනවා.ලංකා පුවත්පත සීල් තැබීමේ සිදුවීම තරමක ඓතිහාසික සිද්දියක්.70 දශකයේ දවස කාර්යාලය සීල් තැබුවාට පසු මෑතකාලීන ඉතිහාසය තුල පුවත්පත් ආයතනයක් සීල් තැබුනු පලමු අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ.මාධ්‍ය නිදහස සම්බන්ධ මාරාන්තික කාලයක් යැයි සමාන්‍යයෙන් සැලකෙන ප්‍රේමදාස යුගයේදී හෝ පුවත්පත් ආයතන සීල් තැබීමක් පිලිබද වාර්තා වෙලා නැහැ.
කොහොම වුනත් මේ සංසිද්ධිය සම්බන්ධයෙන් එකදු බ්ලොග් සටහනක් හෝ ඇස නොගැටීම විස්මය දනවන්නක්.
වසර 40ට පමන පසු ලංකාවේ පුවත්පතක් වාරනය කොට සීල් තැබීම වැනි සිදුවිමක් ෆොන්සේකාගේ ඝාතන කුමන්ත්‍රන,රාජපක්ෂ පාලනයට එරෙහි ත්‍රාසජනක විදේශ කුමන්ත්‍රන වැනි ලෝකේ රටේ නැති අනේක විද අනෙකුත් කාරනා ගැන කතාකරන අපේ බ්ලොග්කරුවන්ට "මාතෘකාවක්" වත් නොවීම අප තේරුම් ගත යුත්තේ කොහොමද?

ලංකා පුවත්පත 2002 වසරේදී පමන කරලියට පැමිනියේ විකල්ප දහරාවේ පුවත්පතක් ලෙස."ජාතික" යැයි සම්මත පුවත්පත් වලට අමතරව විකල්ප දහරාවක් පිලිබද කතිකාවත ලංකාවේ ඇති වීමට විශාල ඉතිහාසයක් තිබෙනවා.සාමාන්‍යයෙන් ජාතික පුවත්පත් යැයි සැලකෙන පුවත් පත් ආන්දෝලනාත්මක කාරනා වලට අවතීර්නය වෙන්නට මැලිකමක් දක්වන අතර බොහෝ විට අදාල මොහොතේ පවතින අධිපති මතවාදය සමග සහජීවනයෙන් කල් ගෙවීමක් නිරික්ෂනය කල හැකියි.ප්‍රධාන දහරාවෙන් එලියට නොඑන විකල්ප මාධ්‍ය වලට ඉඩක් හැදෙන්නේ ප්‍රධාන පෙලේ මාධ්‍ය තුල තිබෙන අවදානමක් ගැනීමට ඇති මෙම මැලිකම හා බය නිසා.
60 70 හා 80 දශක වල පලවුන "ඇත්ත" පුවත් පත ඒ යුගයේ අර්ථයෙන් විකල්ප පුවත්පතක් ලෙස හැදින්වීමට පුලුවන්.දේශපාලන පක්ෂයක් විසින් ප්‍රකාශයට පත් කලත් හුදෙක් පක්ෂයක ප්‍රචාරක භාන්ඩයක් වෙනවාට වඩා වැඩි යමක් "ඇත්ත" තුලින් ඉටු වුන බව සැලකෙනවා.බී.ඒ.සිරිවර්ධන වැනි කර්තෘවරුන්ගේ ක්‍රියාකාරිත්වය ඒ කාලයේ ඊට පසුබිම් වුනා.

කෙහොම වුනත් විකල්ප පුවත්පත් යන්නට විශාල අගයක් ලැබෙන්නට පටන් ගන්නේ 80 දශකය අගභාගයේ හා 90 දශකය මුල්භාගයේ මහා භීෂනයකින් සමාජය ඇලලී යාමත් සමගයි.අතිශය මර්ධනකාරී වූ එවකට පාලනයන් තොරතුරු හුවමාරු වීමට තිබූ ප්‍රධාන අවකාශයන් නිර්දය ලෙස වසා දමන ලද නිසා විකල්ප මාධ්‍යයන් හරහා තොරතුරු සන්නිවේදනය වීමට නිරායාසයෙන්ම පසුබිමක් හැදෙනවා.වික්ටර් අයිවන් කතුකම කල රාවය,සුනිල් මාධව ප්‍රෙමතිලකගේ හිරු හා ලක්දිව,සුනන්ද දේශප්‍රියගේ යුක්තිය වැනි පුවත්පත් එකල විකල්ප පුවත්පත් ලෙස සමාජගත වෙන අතර ප්‍රධාන දහරාවේ බොහෝ දෙනා කතාකිරීමට මැලිවුන හා බය වුන දේවල් මේවා තුල කතාකෙරෙනවා.ඒ විදිහට කතාකෙරෙන අදහස් සමාජයට යාමේ ප්‍රතිඵලයක් විදිහට ඒ අදහස් උඩ සමාජ මතයන් හැදෙන්න ගත් බවත් ඒ මතයන් ප්‍රේමදාසගේ පාලනය දේශපාලනිකව විශාල අභියෝගයකට ලක්කල බවටත් ඉතිහාසය සාක්ෂි දරනවා.

වර්තමානය වන විට "ඇත්ත" හෝ "හිරු" වැනි පුවත්පත් දකින්නට නැහැ.එසේ වුවත් එම පුවත්පත් විසින් නියෝජනය කල විකල්ප දහරාව දිගටම සමාජය තුල ක්‍රියාත්මක වෙනවා.පාලකයාට ප්‍රශස්ති ලිවීම කතුවැකි ලිවීමක් යැයි වරදවා සිතාගෙන සිටින දිවයින කර්තෘ වැනි ජනමාධ්‍යවේදීන් ලැග සිටින ප්‍රධාන දහරාවේ මාධ්‍ය විසින් ඉටු නොකරන විශාල කාර්ය භාරයක් මෙම විකල්ප පුවත්පත් හරහා ඉටු වන බව පැහැදිලියි.
උදාහරනයක් විදිහට ජනාධිපතිවරනයේ කැපී පෙනෙන වැඩ කොටසක් කල තාරුන්‍යයට හෙටක් නම් ව්‍යාපාතිය ගැන කවුරු කවුරුත් කටේ සූප්පුව ගහගෙන ඉන්න වාතාවරනයක ඒ ව්‍යාපාතියේ සුජාතභාවය ප්‍රශ්න කරන්නේ රාවය පුවත්පතයි.
මග නැගුම මුදල් යොදාගෙන පුද්ගලික මන්දිර ඉදිවීම වැනි දිවයිනට හෝ රිවිරට විෂය නොවන ඇග රිදෙන මාතෘතා කතාකෙරෙන්නේත් ඒ ගැන අදහස් දැක්වෙන්නේත් ලංකා පුවත්පත තුල.ඒ වෙනුවෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිරගත වීම වැනි අවදානම් පවා එම ආයතන වල මාධ්‍යකරුවන්ට දරාගැනීමට සිදුවෙනවා.
දිවයින කර්තෘට අරලිය ගහ මන්දිරයේ තේ කෝප්ප පිරිනැමෙද්දී ලංකා වැනි පුවත්පත් වල මාධ්‍යකරුවන්ට හිමිවන්නේ ඉහත ආකාරයේ ඇගට අමාරුවක් ගෙන දෙන සැලකීලියි.
කොහොම වුනත් පාලක රෙජිමයේ අවලස්සන පැති ගැන කෙරෙන ගවේෂනාත්මක මාධ්‍යකරනයක් මේ වන විට ප්‍රධාන මාධ්‍ය තුල දකින්නටවත් නොලැබෙන අතර ඒ කාර්යය දැක ගත හැකි වන්නේ විකල්ප දහරාවේ මාධ්‍ය තුලින් බවට විවාදයක් නැහැ.

රජය විකල්ප මාධ්‍ය වලට අත තැබීම ඒ ඒ මාධ්‍යකරුවන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි.ඇත්ත වශයෙන්ම එය සමාජයට තොරතුරු දැන ගැනීමට තිබෙන අයිතිය පිලිබද බරපතල ගැටලුවක්.පල්ලෙකැලේ තිබෙන දැයට කිරුල ප්‍රදර්ශනයේ වැඩ කිඩ ගැන ලස්සන තොරතුරු වගේම රට පුරා ඉදිවෙන මාලිගා ගැන,වැලැක්විය හැකි රෝග වලින් මියයන අසරනයන් ගැන හා ඒ ගැන වගේ වගක් නැතිව පඩි ගනිමින් දිවිසරින ඇමති ගනයා ගැන,රාජ්‍ය ප්‍රචන්ඩත්වයේ පහර ලැබ මරා දැමෙන නාගරික මන්ත්‍රීවරුන් ගැන "ලස්සන නොවු" තොරතුරු දැනගැනීමටත් රටේ පුරවැසියන් විදිහට ඔබට හා මට අයිතියක් තිබෙනවා.
ආන්ඩුව විරුද්ධ අදහසක් ගෙනෙන මාධ්‍යකරුවන් "රාජ්‍යයට එරෙහි කුමන්ත්‍රනකරුවන්" ලෙස ලේබල් කරමින්,ඔවුන්ව දඩයම් කරන අතරේ සිය ඉදුල් බුදින්නන් පමනක් මාධ්‍යවේදීන් ලෙස අබිසෙස් කරමින් කරගෙන යන මේ විගඩම සරල කාරනයක් ලෙස බාර ගත නොහැක්කේ මේ නිසායි.

ප්‍රේමදාස යුගයේදී මාධ්‍ය වාරනයන්ට එරෙහිව මීට පෙර දැක්වූ පරිදි සටන්කාමී ලෙස "ලක්දිව" නැමැති විකල්ප පුවත්පත ක්‍රියා කලා.
එදා ප්‍රේමදාස මාධ්‍ය ආයතන වලට චන්ඩි පාට් දමද්දී ඊට එරෙහිව අරගල කල ලක්දිවෙහි ප්‍රවෘත්ති කර්තෘවරයාගේ නම ඩලස් අලහප්පෙරුමයි.
එදා ප්‍රේමදාසගේ මාධ්‍ය දඩයමට එරෙහිව ගැටුන ලක්දිවෙහි ලේඛක මන්ඩලයේ විමලසිරි ගම්ලත් නැමැති කෙනෙක් සේවය කලා.
ඒ කෙනාගේ වර්තමාන නම විමල් වීරවංශයි.
අද විකල්ප මාධ්‍යයන් දඩයමට දත කට නියවන්නේ එදා මාධ්‍ය මර්ධනයට එරෙහි "පොරවල්" මහ පුටු හොබවන ආන්ඩුවක් වීම හරිම හාස්‍යජනක උත්ප්‍රාසයක්.
එදා මාධ්‍ය මර්ධනයට එරෙහි සටන්කාමීන් වූ වික්ටර් අයිවන්,සුනිල් මාධව ප්‍රෙමතිලක වැනි මාධ්‍යවේදීන් වර්තමාන ආන්ඩුවේ මාධ්‍ය දඩයම නෑසූ නුදුටු ලෙස අලස සුවයේ පසුවෙනවා."සුබ අනාගතයක්" ගැන සුන්දර කතා කියමින් ඉන්නවා.
නපුරු දෙයක් අහන්නත් එපා!
නපුරු දෙයක් කියන්නත් එපා!
නපුරු දෙයක් දිහා බලන්නත් එපා!
ප්‍රෙමදාසගේ ආඥාදායකත්වයට එරෙහිව මොවුන් තුල එදා පැවැති කශේරුකාවන් අද වන විට දිරා ගොස් තිබේද?
එසේ නැතිනම් මුදල් හා සුව පහසුව වෙනුවෙන් කශේරුකා උගස් කොට තිබේද?
මාධ්‍ය පසුපස රජය පන්න පන්නා එලවන වර්තමාන අමිහිරි යථාර්තයට සිනා රසයක් යම්තමින් හෝ එකතු කිරීමට මේ විශ්‍රාම ගිය කැරලිකරුවන්ගේ විසූක දස්සන හේතු වී තිබෙනවා.