Monday, December 27, 2010

ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදයේ හෙලුව - වෛද්‍ය බිනායක් සෙන් සිරගත කිරීම සම්බන්ධ සටහනකි

වෛද්‍ය බිනායක් සෙන් 
ප්‍රජාතන්ත්‍රවාදයේ වත්මන් අර්බුදය හුදු අහම්බයක් නොවේ.වැඩිම මිල ගෙවන්නාට මිල දී ගත හැකි ,වෙන්දේසි‍යේ තබා තිබෙන හුදු භාන්ඩ සමූහයක් බවට නිදහස් මැතිවරන,නිදහස් ජනමාධ්‍ය හා ස්වාධීන අධිකරනය යනාදිය පත්ව තිබෙන පසුබිමක,ඒවායේ වැදගත්කම අතිශය හීනය.
- අරුන්දතී  රෝයි 


2007 මැයි 14 දින ඉන්දියාවේ චත්තිස්ගාර් ප්‍රාන්ත පොලිසිය විසින් වෛද්‍ය බිනායක් සෙන්ව අත්අඩංගුවට ගනු ලැබින.2005 සම්මත කල විශේෂ මහජන ආරක්ෂක පනත නම් නීතිය යටතේ මෙම සිරගත කිරීම සිදුවූ අතර තහනම් කරන ලද මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය සමග සබදතා පැවැත්වීම ඔහුව අත්අඩංගුවට ගැනීමේ හේතුව ලෙස පොලිසිය විසින් ප්‍රකාශ කරනු ලැබීය.
රාජ්‍යද්‍රෝහය පිලිබදව සෙන්ට එරෙහිව අධිකරනය ඉදිරියේ චෝදනා නගන ලදී. 2010 දෙසැම්බර් 24 දින ස්වකීය තීරනය ලබා දෙමින් රායිපූර් හි අධිකරනය බිනායක් සෙන් ජීවිතාන්තය දක්වා සිරගත කරන මෙන් නියෝග කලේය.මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස ඉන්දියාව තුල ප්‍රචලිතව සිටින සෙන් සිවිල් අයිතිවාසිකම් සදහා වූ ජනතා සංගමය ( Peoples union for civil liberties) නම් චිර ප්‍රසිද්ධ මානව හිමිකම් සංවිධානයේ උප සභාපති ද වේ.සෙන්ට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කල උසාවි තීරනය එක මොහොතින් විරෝධය පෑම් ගනනකට මග පාදා තිබේ.ඉන්දියාව පුරා මානව හිමිකම් සංවිධාන මෙම තීරනය කෙරෙහි සිය අප්‍රසාදය ප්‍රකාශ කොට තිබෙන අතර අමෙරිකානු ජාතික චින්තකයෙකු වන නොම්චොම්ස්කි ඇතුලු විශ්ව විද්‍යාලයීය මට්ටමේ විද්වතුන් 82 කු විසින් අත්සන් කල විරෝධය දැක්වීමේ ප්‍රකාශයක් මේ වනවිටත් මාධ්‍ය වෙත නිකුත් ව ඇත.මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන හරීශ් දවාන්ට අනුව මෙම අධිකරන තීරනය ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදය හෙලිය හැකි පහලම අඩිය දක්වා වට්ටවන ලද තීන්දුවකි.

බිනායක් සෙන් වනාහි වෘත්තීමය වශයෙන් වෛද්‍යවරයෙකි.වෙල්ලෝර් හි ක්‍රිස්තියානි වෛද්‍ය පාසල නම් ප්‍රභූ මට්ටමේ ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලත් හෙතෙම 1970 ගනන් වලදී වෛද්‍ය වෘත්තියට ප්‍රවේශ විය.ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ග්‍රාමීය සෞඛ්‍ය ව්‍යාපෘතියක සේවය කිරීමෙන් ලත් අත්දැකීම් මත සාම්ප්‍රදායික වෛද්‍යවරයෙකු වනවාට වඩා සමාජමය වශයෙන් වඩා සංවේදී වෘත්තිකයෙකු වීමට තීන්දු කරන සෙන් 1975 ඉන්දිරා ගාන්ධි පාලන සමයේදී පනවනු ලැබූ හදිසි නීති තත්වය සමග ඇති වූ මානව හිමිකම් කඩවීම් වලට එරෙහිව ජයප්‍රකාශ් නාරායන් විසින් ගෙනියන්නට යෙදුනු සාමකාමී විරෝධය පෑමේ ව්‍යාපාරයෙන් ද ආභාෂය ලැබීය.හේ ඉන්පසු ගත වූ සිය මුලු ජීවිතයම කැප කරන ලද්දේ චත්තිස්ගාර් නම් දිලිදු ඉන්දීය ප්‍රාන්තයේ සෞඛ්‍ය තත්වය නගාසිටුවනු  වස් වෙහෙසෙන ස්වේච්ඡා ක්‍රියාධරයෙකු බවට පත්වනු පිනිසය.සිය බිරිද සමග එක්ව ඔහු Mukti Morcha's Shaheed Hospital නම් ප්‍රාදේශීය රෝහල චත්තිස්ගාර් හිදී ආරම්භ කලේය.Jan Swasthya Sahyog නම් සෞඛ්‍ය සංවිධානයේ උපදේශකවරයෙකු ද වූ සෙන් ඉන්දියාවේ ඉතාම පසුගාමී සෞඛ්‍ය තත්වයක් පවතින චත්තිස්ගාර්හි ජනකොටස් වෙත නොමිලේ සෞඛ්‍ය සායන පවත්වමින්,ප්‍රදේශයේ සෞඛ්‍යය තත්වය නංවනු වස් සිය ශක්ති ප්‍රමානයෙන් වෙහෙසෙමින් සිටි අයෙකි.2004 ඔහු උගත් සරසවිය විසින් සමාජය වෙනුවෙන් ඔහු කල මෙහෙවර අගයා විශේෂ සම්මානයක් පුද කරනු ලැබූ  අතර හුදු සාම්ප්‍රදායික වෛද්‍යවරයෙකුගේ සීමාව ඉක්මවා යමින් අසාධාරන වූත් භේදබින්න වීමට ලක්වුනා වූත් සමාජයක වෛද්‍යවරයෙකුට ඉටු කල හැකි භූමිකාව ප්‍රතිඅර්ථකථනයකට ලක්කිරීම එම ඇගයීම සදහා ප්‍රධාන වශයෙන් හේතු වූ බව එහිදී දක්වන ලදී.

සිරගත කරනු ලැබූ වෛද්‍ය සෙන්
විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සෑම අතින්ම සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට හැකියාව තිබියදී එම සුවපහසු ජීවිතය අතහැර ප්‍රත්‍යන්ත ප්‍රදේශ වල දුගී ජනකොටස් වෙනුවෙන් වෙ‍හෙසීමට තීන්දු කරන වෛද්‍ය සෙන් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වනුයේ සාම්ප්‍රදායික වෛද්‍යවරයාගේ භූමිකාවට සීමා නොවීමේ ඔහුගේ තීරනය නිසාමය.ඔහු සිය සේවය පුද කරන ලද චත්තිස්ගාර් ප්‍රාන්තයේ ජනතාව වනාහි සෑම අතින්ම කොන්කිරීමට හා නොසලකා හැරීමට ලක්ව සිටින ජනතාවකි.විශේෂයෙන්ම මෙම ප්‍රදේශවල ආදිවාසී ලෙස හැදින්වෙන ගෝත්‍රික ජනතාව අතිශය ඛේදජනක දරිද්‍රතාවයක් තුල ජීවත් වෙති.තමා න්‍යෂ්ඨික ආයුධ නිපදවන බව හා ලෝකයේ සුපිරි බලවතෙකු වෙමින් සිටින බවට පාරම් බාමින් සිටින ඉන්දීය රාජ්‍යය මෙම කෝටි සංඛ්‍යාත ජනතාව අවම වශයෙන් අන්ත දිලිදුභාවයෙන් මුදවා ගැන්මට හෝ අසමත්ව තිබේ.චත්තිස්ගාර් යනු ඛනිජ සම්පතින් පරිපූර්න භූමියකි.ජනතාව සහභාගී කරවාගනු ලැබූ හා ජනතාව මත පදනම් වූ සංවර්ධන මාදිලියක් නිර්මානය කරනු වෙනුවට ඉන්දීය රජය විසින් සිදුකරන ලද්දේ වනාන්තරවලින් හා ඛනිජ සම්පත්වලින් ගහන ප්‍රාන්තයේ ඉඩම් මහා පරිමාන සමාගම් වෙත "සංවර්ධන ව්‍යාපෘති" වෙනුවෙන් විකුනා දැමීමයි.විශාල වේලි ඉදිකිරීමේ ව්‍යාපෘති නිසා ලක්ෂ සංඛ්‍යාත ගෝත්‍රික ජනතාවකට උන්හිටි තැන් අහිමි වී ඇත.ඉන්දීය රජය හා සමාගම් තන්ත්‍රය අතර වන ශුද්ධ හවුලේ අරමුනු ඉටුකරගැනීම සදහා මෙම ජනතාව ඔවුන් ජීවත්වෙමින් සිටින ඉඩම් වලින් පලවා හැර තිබේ.

සමාගම් වෙත පිරිනමනු වස් තමන් අවුරුදු සියගනනක් තිස්සේ ජීවත් වූ නිජභූමිය තමාගෙන් උදුරා ගැනීම නිසා ස්වදේශික ඉන්දියානු ජනයා අපේක්ෂාභංගත්වයට පසුතැවිල්ලට හා කෝපයට පත්ව සිටියේය.මාඕවාදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය විසින් මුල පුරනු ලැබූ සන්නද්ධ අරගලය ආරම්භ වූ කල්හි එම අරගලය විශාල වශයෙන්මෙම ස්වදේශීය ජනතාවන්ගේ සහයෝගය දිනාගැනීමට සමත් වූයේය.

මාඕවාදී ගරිල්ලා ව්‍යාපාරය මධ්‍යම ඉන්දීය ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ජනයාගෙන් කෙතරම් සහයෝගයක් දිනාගෙන තිබේද යත් මේ වනවිට එය විස්මයජනක සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබේ.ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය යැයි කියන ඉන්දීය රාජ්‍යය මෙම මාඕවාදී අරගලයට මුහුන දීම සදහා ඉතාම තිරශ්චීන වූද සදාචාර විරෝධී වූද භීෂනකාරී වූද උපක්‍රම අත්හදා බලමින් තිබේ.කැරලි බහුල ප්‍රදේශ වල සාමාන්‍ය සිවිල් වැසියන්හට ආයුද පුහුනුව දී පැරා මිලිටරි කන්ඩායම් සංවිධානය කොට සිත් සේ ක්‍රියාකිරීමට එම කන්ඩායම් වලට අවසර දීම මින් එක් උපක්‍රමයකි.මෙසේ සංවිධානය කරන සල්වා ජුදුම් නම් වූ පැරා මිලිටරි කන්ඩායම් විසින් මාඕවාදීන් දඩයම් කිරීමේ නාමයෙන් ඉවක් බවක් රහිතව ආදිවාසී ගම්මාන වලට කඩා පැන අපරාද සිදුකරමින් තිබෙන අතර ඒ ඒ ප්‍රාන්තවල පොලිස් කන්ඩායම් වල අනුග්‍රහය මෙවැනි සාහසිකකම් සදහා නොඅඩුව ලැබේ.මාඕවාදී අරගලයට එරෙහිව ඉන්දීය රජය සිදුකරන මෙම මානව විරෝධී වියරු ප්‍රතිචාරය මානව හිමිකම් කන්ඩායම් වල දැඩි විරෝධයට හා විවේචනයට ලක්වූවකි.මාඕවාදී කැරැල්ලත් එය චප්ප කරදමනු වස් රජය විසින් ගනු ලැබූ අතිශය උන්මන්තක ප්‍රතික්‍රියාවනුත් විසින් ආලෝලනයට ලක්වූ වකවානුවක මානව අයිතිවාසිකම් සම්බන්ධ ක්‍රියාකාරිකයෙකු වශයෙන් බිනායක් සෙන් අතිශය දීප්තිමත් ලෙස කැපී පෙනෙන්නට වූයේය.

බිනායක් සෙන්ගේ සංවිධානය දිගින් දිගටම සල්වා ජුදුමය විසින් සිදුකල මිනීමැරීම් ස්ත්‍රී දූෂන හා කොල්ලකෑම් පිලිබද හෙලිදරවු කරන්නට වූ අතර මෙම හෙලිදරවු කිරීම් ශිෂ්ට ලෝකයේ මවිල් කෙලින් කරවන තරමේ හෙලිකිරීම් වූයේය.තමා දශක ගනනාවක් තිස්සේ මහත් ආදරයෙන් සේවය කරමින් සිටි ගෝත්‍රික ජනකොටස් කෙරෙහි ඉන්දීය රාජ්‍යය,පොලිසිය හා පැරා මිලිටරි කන්ඩායම් දක්වන අවමන්සහගත ආකල්පය වෛද්‍ය සෙන්ගේ දැඩි දෝශදර්ශනයට ලක් වූයේය.මධ්‍යම ඉන්දියාවේ රාජ්‍ය ත්‍රස්තවාදය විසින් සිදුකරනු ලැබූ සාහසිකකම් පිලිබද වෛද්‍ය සෙන්ගේ විවේචනයන් සැබැවින්ම ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදයේ දෙබිඩිභාවය නිරුවත් කරයි.

මාඕවාදී යුද්ධයේදී ඉන්දීය රජය කෙරෙහි විවේචනාත්මක ස්ථාවරයක් ගැනීම වෛද්‍ය සෙන් ගේ පමනක් නොව සමකාලීන ඉන්දීය විද්වතුන් බොහෝ දෙනෙකුගේ ආස්ථානය බවට පත්ව තිබේ.ඒ අතර කැපී පෙනෙන විවේචිකාවක වනුයේ සම්මානනීය ලේඛිකා අරුන්දති රෝයිය.

මාඕවාදීන්ට එරෙහි පැරා මිලිටරි කන්ඩායම්
 විසින් මරා දමනු ලැබූවෙකුගේ සිරුරක්
කෙසේ වුවද ස්වකීය ක්‍රියාකාරකම් විවේචනයට ලක්කල බිනායක් සෙන්ව ප්‍රාන්ත පොලිසිය විසින් 2007 දී මාඕවාදීන් සමග සබදතා පැවැත්වීමේ චෝදනා මත සිරභාරයට ගනු ලැබූ අතර දැන් ඔහු ජීවිතාන්තය දක්වා සිරගත කිරීමකට ලක්ව තිබේ.මාඕවාදීන් හා සබදතා පැවැත්වීම යන ‍චෝදනාව ඔප්පු කරනු වස් පොලිසිය විසින් නඩුවේදී ඉදිරිපත් කොට තිබුනේ විහිලු සහගත සාක්ෂි සමූහයකි.මාඕවාදී හා වාමාංශික සාහිත්‍යය සහිත පොත් පත් කිහිපයක් මිස කිසිදු ප්‍රචන්ඩ ක්‍රියාවකට සෙන් සම්බන්ධ බවට එකදු සාක්ෂියක් හෝ ඉදිරිපත්ව නොතිබුනි.සමානකම අතින් මෙම තීන්දුව පුවත්පත් ලිපියක් හරහා අදහස් දැක්වීම මත මාධ්‍යවේදී තිස්සනායගම් විසිවසරකට සිරගත කිරීමේ අමන තීරනය ගනයෙහි සැලකිය හැක්කකි.

බිනායක්‍ සෙන්ගේ සිරගත කිරීම හරහා ඉන්දීය ආන්ඩුව ලෝකයා වෙත පැහැදිලි පනිවුඩයක් දී තිබේ.නව ලිබරල් සන්දර්භයක් තුල රජය වනාහි මහා පරිමාන සමාගම් වල අවශ්‍යතා ඉටු කරමින් සිටින,සමාගම් තන්ත්‍රය සදහා පහසුකම් සැපයීමේ යෙදෙන බලහත්කාරී යාන්ත්‍රනයක් මිස අන් කිසිවක් නොවන බව එය විසින් ඔප්පු කොට තිබේ.මහා පරිමාන සමාගම් සහ රාජ්‍යය අතර ශුද්ධ හවුල ප්‍රශ්න කෙරෙන කිසිදු බලවේගයකට පැවතීමට ඉඩ දෙනු නොලැබේ.ඊට එරෙහිවන මාඕවාදීන් හා ස්වදේශීක ඉන්දියානුවන් සියලු සදාචාර මිනුම් දඩුවලට පටහැනි ලෙස චප්ප කොට දැමෙන අතර එවැනි ක්‍රියාවන්හි යුක්තිගරුක භාවය ප්‍රශ්න කරන බිනායක් සෙන් වර්ගයේ මිනිසුන් නිහඩ කරවනු ලැබේ.මේ අනුව නව ලිබරල් ලෝකය තුල රාජ්‍යය වූ කලී මහා සමාගම් වල ඒජන්තයෙකි.සංවර්ධනය යනුවෙන් සිදු කෙරෙන්නේ ජනතාවගේ සැබෑ අවශ්‍යතා වලින් වියුක්ත,සමාගම් වල ආශාවන් ඉටු කරදෙන ක්‍රියාදාමයක් වන අතර රජය ජනතාවට එරෙහිව එම ක්‍රියාවලිය ආරක්ෂා කරනු වස් ඇප කැපවී සිටී.

බිනායක් සෙන් වැදගත් වනුයේ හුදු යමක් කමක් උපයාගැනීමේ ආත්මාර්ථකාමී ආශාවෙන් අදූෂිත උත්තුංග අරමුනක් වෙනුවෙන් සිය දැනුම හා ජීවිතය කැප කල වෛද්‍යවරයෙකු ලෙස පමනක් නොවේ.ඔහු වූ කලී ඉන්දියාව ලංකාව ඇතුලු ලෝකයේ ඕනෑම,කවර හෝ නව ලිබරල් රාජ්‍යයක දෙබිඩිභාවය හෙලිදරවු කරන සංකේතයකි.කොදු කඩනු ලැබූ සමාජයක වසන වත්මන් ලාංකිකයා වෙත බිනායක් සෙන් විසින් ගෙන එන්නේ කශේරුවක් සහිතව ජීවත් වීමේ වීරත්වය පිලිබද පනිවුඩයයි.එවැනි වීරත්වයකට ලෝකයේ බලසම්පන්නම රාජ්‍යයක් වූවද නිසැකවම බියවන්නේය යන පනිවුඩයයි.

6 comments:

  1. ත්‍රස්තවාදීන්ට ඔජ වැඩීම වීරකමක් සේ සලකන ඔබ ගැන බොහොම කණගාටුයි

    ReplyDelete
  2. ආහ්!!! ඔබ නම් හරිම කරුණාවන්තයි ඇනෝ!

    ReplyDelete
  3. sahodaraya oya liyana ewa athisaya wadagath e wagemq pqipurnqy

    ReplyDelete
  4. කොටි සංවිධානය ‍ජේ වී පී එකට එකතු කරල ආපහු පටන් ගමුද?

    ReplyDelete
  5. Lankaweth oka ohomama wenawa.Demala janathawa ada dala thiyena thathwe gana awankawa duk wenna one.ada sinhala janathawa jathiwadayath sinhala mamathwayath yana sankalpa thula mula wela.Indiyawe aduma tharame oya wenuwen satan karanna sanwidanayk hari thiyenawa.namuth lankawa thula wenuwen katha karanna widiyak wath na.

    ReplyDelete