Tuesday, September 7, 2010

ඒකාධිපති සමාජයක් තුල සිවිල් ආයතන නිෂ්ප්‍රභා වීම - කොලඹ විශ්ව විද්‍යාලය ආශ්‍රිත නිරීක්ෂන සටහනක්



2010 සැප්තැම්බර් 08 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරෙන දහඅට වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ආඥාදායකත්වය නිල වශයෙන් නීතිගත කොට තිබේ.

ලංකාවේ විධායක ජනාධිපති ධූරය වනාහි ව්‍යවස්ථාදායක,විධායක,අධිකරන යනාදී සකල විධ රාජ්‍ය බලය සෘජු
හෝ වක්‍ර ලෙස එක් පුද්ගලයෙක් අත ඒකරාශී කරන ඒකාධිපති ව්‍යුහයකි යන්න පිලිබදව අදහස් නොදැක්වූවෝ කවරහුද?උත්ප්‍රාසාත්මකව මේ ගැන කතා නොකල අයෙක් නැති තරම්ය.පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ගේ සිට වාසුදේව නානායක්කාර,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,සිවිල් සමාජය,විද්වතුන් පමනක් නොව මෙම ධූරය බිහි කල එජාපය ඇතුලු ජාතිකවාදී,ලිබරල්වාදී,ප්‍රගතිශිලි,ප්‍රතිගාමී,කොටි හිතවාදී,කොටි විරෝධී,වමේ දකුනේ එකී නොකී සෑම කෙනෙක්ම විවිධ වකවානු වල මෙම ධූරය වහා පිටුදැකිය යුතු,පිලිකුල්සහගත,අත්තනෝමතික ආයතනයක් ලෙස විවේචනය කොට තිබේ.එම ධූරය ඉහේ සිට පට්ට ගසා තිබේ.
සියල්ලන්ම මෙය අහෝසි විය යුතුයැයි කියා තිබුනද එය තවම පවතී.කවුරුත් මෙයට කැමති නැත.නමුත් කැමති නැති වූවාට අකමැතිද නැත.සැවොම මෙයට ද්වේශ කරති.එහෙත් අවිඥානිකව ආදරයද කරති.මේ අනුව විධායක ජනාධිපතිධූරය අපූර්ව ආකාරයක වසගකාරී වස්තුවකි.සරාගී වෙසගනක වැන්න.උපාසකයෝ ප්‍රසිද්ධියේ දෙස් තබති.රහසින් එහි පහසෙහිම බැදෙති.

මෙතෙක් කල් ජාතියේ භාරකරුවා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාව වූයේ ඔහු ඒකාධිපති ස්වරූපයෙන් හැසිරෙන බවය.ව්‍යවස්ථා සංශෝධනය විසින් මෙතෙක් කල් තත්වාකාර වශයෙන් තිබූ ඒකාධිපතිත්වය ව්‍යවස්ථාපිත මූලධර්මයක් ලෙස නීතිගත කරනු ඇත.මෙතනින් ඉක්බිති ඒකාධිපතිත්වය යනු රටේ නීතියයි.එය රටේ මූලික නීතිය විසින් පිලිගත් ව්‍යවස්ථාමය සංරචකයකි.ඒකාධිපති හැසිරීමක් පාලකයා තුල පැවතීම එකකි.එය රටේ නීතිය ලෙස ව්‍යවස්ථාපිත කිරීම ඊට වඩා භයානක තවෙකකි.
කවුරුන් පිලිගැනීමට කැමති වුවත් නැතත් මෙතනින් ඉක්බිති අප ජීවත්වන්නට යන්නේ ඒකාධිපතිවාදය නීතිය බවට පත්වූ දේශයකය.විපක්ෂය දැනටමත් සීතල වූත් නාමික වූත් ප්‍රපංචයක් බවට පත් කෙරී ඇත.සති කිහිපයකට පෙර විකාශය වූ දේශපාලන වැඩසටහනකදී තමා 17 වනසංශෝධනය පිලිබද අබ මල් රොනක දෙයක් නොදන්නා බව පිලිගත් උපේක්ෂා ස්වර්නමාලී 18 වන සංශෝධනය දිනවීම වෙනුවෙන් ජනාධිපතිගේ දෑත ශක්තිමත් කිරීමට තීන්දු කොට තිබේ.විධායක ජනාධිපති ධූරයේ අතිමහත් බලය ඉදිරියේ සම්මත රාමුව තුල ක්‍රියා කරන නිල විපක්ෂය තවදුරටත් නාය යාමේ,දිය වී යාමේ ක්‍රියාවලිය ඉදිරියටද නොනවතිනු ඇති අතර රාජ්‍ය සහ පුද්ගලික ජනමාධ්‍ය සියල්ල දැඩි ලෙස ජනාධිපතිධූරයේ බලය විසින් හීලෑ කොට තිබෙන සන්දර්භයක ඒකාධිපති සමාජයක් යනු නොවැලැක්විය හැකි සත්‍යයක් වීම අනිවාර්යය.

ඒකාධිපති සමාජයක පුරවැසියන් යනු කොදු කැඩුනු,බලයක් රහිත පිරිසකි.සිවිල් ආයතන යනු බලය යුක්තිය ලෙස පිලිගත් මදය රහිත උඩින් එල්ලෙන ව්‍යුහයන් සමූහයකි.ලංකාවේ ප්‍රථම විශ්ව විද්‍යාලය ලෙස පිලිගැනීමට ලක් ව තිබෙන කොලඹ විශ්ව විද්‍යාලය ඒකාධිපති තන්ත්‍රයක් තුල පුරවැසි සමාජයේ අවාසනාවන්ත ඉරනම තේරුම් ගත හැකි සාම්පලයක් වන්නේය.

කොලඹ විශ්ව විද්‍යාලය ආශ්‍රිත ඉතා ආසන්න සිදුවීම් කිහිපයක් හුදී ජනයාගේ දැනගැනීම වස් මෙසේ ඉදිරිපත් කරමු.මෙම සිදුවීම් කිහිපය අප ජීවත් වන්නට නියමිත යුගයේ ස්වභාවය මනාව විදහා දක්වයි.

සිදුවීම 1 -2010 සැප්තැම්බර් 06

18 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබද "විද්වත් සංවාදයක්" සැප්තැම්බර් 06 වනදා පස්වරු 2 ට කොලඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අංක 175 දේශන කාමරයේ පවත්වනු ලබන බවට සරසවිය පුරා පෝස්ටර් අලවා තිබෙන ආකාරය සරසවි සිසුන් ආචාර්යවරුන් ප්‍රමුඛ සියලු පිරිස්වල නෙත ගැටිනි.මේ පිලිබද දැනුවත් කිරීමක් සංවිධායකයන් විසින් විශ්ව විද්‍යාල ප්‍රජාවෙන් පිට පිරිස් වෙත එස් එම් එස් මාර්ගයෙන් පනිවුඩ ලෙසද යවා තිබුනි.ආචාර්ය ජයම්පති වික්‍රමරත්න,ජවිපෙ මන්ත්‍රී අනුර දිසානායක සහ හෙල උරුමයේ අධ්‍යාපන ලේකම් අනුරුද්ධ ප්‍රදීප් යන අය මෙම විවාදයට සහභාගි වන බව එම පනිවුඩ වල සදහන්ව තිබින.

පනිවුඩය අනුව අදාල ස්ථානයට අදාල වෙලාවේදී ගිය පිරිස වෙත දකින්නට ලැබුනේ සංවාදයක් නොව කාමරයේ දොරටුවෙහි එල්ලෙන කුඩා දැන්වීමකි.අදාල සංවාදය අත්හිටුවා ඇති බව එහි දක්වා තිබුනි.
පසුව විවාදයේ සංවිධායකයෙක් සමග ඇතිවූ පෞද්ගලික කතාබහකදී අදාල විවාදය පැවැත්වීමට විශ්ව විද්‍යාලයේ උප කුලපති අවසර නොදුන් බව මෙම ලියුම්කරුට දැනගන්නට ලැබුනි.මෙවැනි සංවාද පැවැත්වීම ඉතාම හොද දෙයක් බව පිලිගත් උපකුලපතිනිය,නමුත් "එය සැප්තැම්බර් 08 වනදාට පසුවම කලා නම්" හොද බවට කියූ බව සංවිධායකවරයා ලියුම්කරුට පැවසීය.සැප්තැම්බර් 08 යනු ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන දිනයයි.එය සම්මත කලාට පසු ඒ ගැන කෙරෙන විවාද වල ඇති අර්ථය කවරක්ද?විශ්ව විද්‍යාල යනු කාලීන දේවල් පිලිබද වාද විවාද බුද්ධිමතුන් අතර ඇති වන නිර්මානශීලි ආයතන විය යුතු යැයි උගත් ආචාර්ය මහාචාරයවරුන් පවසනු අපට ඇසී තිබේ.එය මහපොලොවේ අත් හදා බැලෙමින් තිබෙනුයේ කෙතරම් නිර්මානාත්මකවද යත් අඩුම තරමින් අතිශය වැදගත් වූත් කාලීන වූත් විවාදාත්මක වූත් කරුනක් සම්බන්ධයෙන් සංවාදයක් පැවැත්වීමට හෝ සරසවි පරිශ්‍රය තුල අවසර නැත!

සිදුවීම 2 - 2009 සැප්තැම්බර් 06

මෙය ඉහත සංවාදය පැවැත්වීමට නියමිතව තිබූ දිනයට හරියටම වසරකට පෙර සිදුවූ සිදුවිමකි.මෙදින කොලඹ සරසවිය විසින් ‍ඓතිහාසික තීරනයක් ගනිමින් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් වෙත ආචාර්ය උපාධි යුගලක් පිරිනමන ලදි.මහින්ද රාජපක්ෂ වෙත නීතිශූරී උපාධියත් ගෝඨාභය රාජපක්ෂ වෙත සාහිත්‍යශූරී උපාධියත් මේ අනුව පිරිනැමිනි.දෙටු රාජපක්ෂවරයා නීතිය පිලිබද කෙතරම් ශූරයෙක්ද,කනිටු රාජපක්ෂවරයා සාහිත්‍යය පිලිබද කෙතරම් ශුරයෙක්ද යන්න අපි නොදනිමු.
කෙසේ වුවද විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය විසින් ගත් මෙම පියවර අප තේරුම් ගත යුත්තේ කෙසේද?විශ්ව විද්‍යාල වල අග්‍ර තනතුර ජනාධිපතිගේ සෘජු අනින් පත්වන්නකි.මෙය පුහුදුන් ආචාර්ය මහාචාර්ය ගනයාගෙන් බහුතරයක ස්වප්නමය බලාපොරොත්තුවයි.දේශපාලකයන්ගේ සිත දිනා ගැනීමේ ගිජුකමින් මත්ව,සිය අධෝමුඛය ඔවුන් වෙත දිගුකිරීමක් ලෙසින් මිස මෙම සිදුවීම කියවිය යුතු වෙනත් ආකාරයක් පවතීද?යටත් වැස්සන්ට තග දාගෙන සිටින ප්‍රාදේශීය නිලමේවරුන්,තමා වෙත නම්බුනාම පුදන මහේන්ද්‍රයානන් වෙනුවෙන් කරන වාර්ෂික පඩුරු පූජාවක් සහ මෙවැන්නක් අතර තිබෙන වෙනස කවරක්ද?

සිදුවීම 3 - 2010 ජනවාරි 18

මෙදින -2010 ජනාධිපතිවරනය මුවවිට තිබියදී,විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවින.
මෙය කැදවනු ලැබූයේ ලංකාවේ විශ්ව විද්‍යාල ගනනාවක උපකුලපතිවරුන් විසිනි.එලඹෙන ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ දිනවිය යුත්තේ ඇයිද යනුවෙන් මෙම මහත්ම මහත්මීහු එහිදී හුදී ජනයාට ඇසෙන පරිදි විශේෂඥ අදහස් පල කලහ.
ශ්‍රී ජයවර්ධනපුර,කැලනිය,රුහුනු,රජරට ඇතුලු සියලු විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන් පුවත්පත් දැක්මට සම්බන්ධ වූ අතර ඊට එකතු වූ කොලඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිනිය "ත්‍රස්තවාදයෙන් රට මුදාගත් ජනාධිපතිවරයාට රටේ සියලු කාන්තාවන් නය ගැති විය යුතු බවත් රටේ ස්ථාවරත්වය වෙනුවෙන් එතුමාවම නැවත තෝරා පත්කරගත යුතු බවත්" ප්‍රකාශ කලාය.
විශ්ව විද්‍යාල වලට දේශපාලනය එපා යැයි කියන්නේ දේශපාලකයන්ගේ සිත දිනා ගැනීම උදෙසා විශ්ව විද්‍යාල උපාධි හෝලසේල් දමන මෙවැනි මහත්ම මහත්මීන්ය.අතිශය කාලීන සංවාදයක් පැවැත්වීමටවත් විශ්ව විද්‍යාල තුල ඉඩ නොදෙන්නේ ජනාධිපතිවරන වලදී ප්‍රසිද්ධියේ දේශපාලකයෙකුගේ ජයග්‍රහනය වෙනුවෙන් පෙනී සිටින,සිය ධූරයේ ගෞරවනීය බව හෑල්ලු කරගනිමින් ඉතා ලාභ ආකාරයකට පාලකයන් වෙනුවෙන් ප්‍රශස්ති ගායනා කරන මෙවැනි මහත්ම මහත්මීන්ය.

සිදුවීම 4 - 2010 සැප්තැම්බර් 07

2010 ජනාධිපතිවරනයට පෙර කෙසේ වුවද කොලඹ විශ්ව විද්‍යාල භූමිය තුල ජනාධිපතිවරනය අරභයා "විද්වත්" විවාද කිහිපයක් පැවැත්වුනි.අභ්‍යන්තර ශිෂ්‍යයෙකුගේ දැනුම්දීමක් මත මෙවැනි එක් සංවාදයක් නැරඹීම සදහා ලියුම්කරුට අවස්ථාව ලැබුනි.
විවාදයේදී අදහස් දක්වනු වස් විද්වතුන් පස් දෙනෙකු පැමින සිටි අතර විපක්ෂයේ අපේක්ෂකයාට හිතවත් ලෙස අදහස් දැක්වූයේ එම පස්දෙනාගෙන් එක් අයෙකු පමනි.ඔහු එම සරසවියේම නීති පීඨයේ ආචාර්යවරයෙකු වූ ප්‍රතිභා මහානාමහේවා මහතාය.
විධායක ජනාධිපතිධූරයේ භයානක බව එහිදී එතුමා විසින් පතුරු ගසන්නට යෙදුනි.දහහත්වන සංශෝධනයේ වැදගත්කම පිලිබද අතිශය දැඩි අවධාරනය කිරිමක් ඔහු විසින් නැවත නැවතත් එහිදී සිදු කරන ලදී.

කෙ‍සේ වුවද මෙම සටහන ලිවීමට හිද ගැනීමට මොහොතකට පෙර ස්වාධීන රූපවාහිනියේ ඇතුලාන්තය වැඩසටහන ලියුම්කරු මදකට නැරඹීය.උගතුන් රාශියක් මධ්‍යයේ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ද එම කථික මන්ඩලයේ අසුන් ගෙන සිටියේය.
ඇතුලාන්තය වූ කලී ආන්ඩු පාක්ෂික මූලධර්මවාදයේ ඇතුලාන්තය බව දන්නා බැවින් මහානාමහේවා පවසනුයේ කුමක්ද යන කුහුලින් මඩිනු ලැබූ ලියුම්කරු ඔහුගේ අදහස් දැක්වීම දක්වා වැඩසටහන නැරඹූ අතර මෙම යුගය කවර ආකාරයේ විපරිවර්තන යුගයක්ද යන්න වටහා ගැනීමට ඊට වඩා නිදසුන් අවශ්‍ය නැත.මාස කිහිපයකට පෙර විධායක ජනාධිපතිධූරය ඉහේ සිට පතුරු ගැසූ මෙම විද්වත් ආචාර්යවරයා එම ධූරයේ අවසන් සංවරනය වූ ධූර කාල සීමාව ඉවත් කිරීම "ජනසම්මතවාදී" වන්නේ කෙසේද යන්න රූපවාහිනි කැමරාව අභියස සිට චතුර ලෙස පහදමින් සිටියේය.

ඝන වූ සියල්ල වාෂ්ප වේ.ශුද්ධ වු සියල්ල කෙලෙසේ.බලය අභිමුව ආත්ම ගෞරවය කිදා බසී.

කෙසේ වුවද මෙම කිසිදු සිදුවීමක් අදාල උපකුලපතිවරුන්ගේ හෝ ආචාර්යවරුන්ගේ පුද්ගලික දුර්වලතාවයක් ලෙස තේරුම් නොගනු මැනවි.මේ වනාහි අරටුව දක්වා අධිපති වන්දනාවෙන් දූෂ්‍ය වූ ඒකාධිපති සමාජයක යථාර්තයයි.අධිපතියා නැමදීම සහ අධිපතියා වෙනුවෙන් කොදු නැවීම - මෙය ඒකාධිපති සමාජයක ජීවන ශෛලියයි.එසේ කොදු නැවීමට සූදානම් නොවන්නවුන්ගේ කොදු කැඩීමට පියවර ගැනෙනු ඇත.එවැනි කොදු කැඩීම් වලට එරෙහි වීමට කශේරුකාවක් සහිත වූවන් දමනය වී ඇති පසුබිමක කොදු කැඩීම නීතිය වනු ඇත.අවසානයේ සමාජය කශේරුකාව අහිමි මස් වැදැල්ලක් ලෙස කමින් බොමින් රමනය කරමින් ඔහේ එල්ලෙමින් පවතිනු ඇති අතර එය ස්වර්ගය තුල නිරයත්,නිරය තුල ස්වර්ගයත් මවා පානු ඇත.

7 comments:

  1. කණිටු රාජපක්ෂතුමා ප්‍රබන්ධකරණයේ කෙළ පැමිණි, එහි මෑතකාලීන ප්‍රාමාණිකයෙක්. (නිකං පහුගිය කාලෙ නිව්ස් බැලුවෙ නෑ වගේ කතා කරන්න එපා.) ඉතින් එතුමාට සාහිත්‍යශූරී උපාධියක් දෙන එකේ කිසිම වරදක් නෑ. (නැත්නම් ඕව තියාගෙන ඉන්නෙ කාට දෙන්ටද?) දෙටු රාජපක්ෂතුමා නම් නීතිය ගැන යමක් ඒ කාලෙ නොකරපු එක ඇත්ත තමයි. ඒක තමයි එතුමා අද කරන්ට යන්නෙ. ඒ හන්ද ඒකත් සාධාරණීකරණය කරන්ට පුළුවන්.

    ලිපියෙ අනික් දේවල් ගැන නම් ඉතින්....ලියන්ට බැරි කමකුත් නෑ. ඒත් ඉතින් IP Numbers කියල දේවලුත් තියෙනවනෙ. ලිව්වය කියල හිතාගන්ටකො.

    - Taboo

    (කමෙන්ට් දාන්නට ඇති බාධක රාමචන්ද්‍ර තවමත් ඉවත්කර නැතිවීම කණගාටුවට කාරණයකි.)

    ReplyDelete
  2. මොවුන් තමන්ගෙ කශේරුකා පද්ධතිය බිඳගත්තද ඒ වෙනුවෙන් නියමිත මිළ ඔවුන්ට ලැබේ. ඒත් ඔවුන් මූලිකත්වය ගෙන මුලා කොට බිඳ දමන පොදු ජන කශේරුකා පද්ධතිය හැමදාම වේදනාවෙන් ඇඹරුනා. ඊළඟ වාරයේ එය සුවපත් කරන්නත් ඔවුන් ඉදිරිපත් වන්නේ පෙරසේම බව ජනයා නොසිතයි.

    ReplyDelete
  3. ලංකාවේ වාමාංශිකයන්ගේ ප්‍රධාන දුර්වලකමක් වන්නේ වාමාංශික බුද්ධිමතුන් පක්ෂ හා ප්‍රගතිශීලී ජනමාධ්‍ය අතරින් බිහි කර ගන්නවා වෙනුවට, සටහන් ලියාගෙන, ඒවා කට පාඩම් කර, අත්තර පත්‍ර මත වමාරා උපාධි ලබා ගත්, දැන් තමන් ලියා ගත් සටහන් සිසුන් ලවා ලියවන විශ්ව විද්‍යාලවල උගන්වන ගුරුවරුන් බුද්ධිමතුන් ලෙස සලකා කටයුතු කිරීමයි.

    ReplyDelete
  4. විස්ස විජ්ජාල වල ඉන්නේ හඳෙන් ආපු උන්යැ. අපේ සමාජයේ තියෙන පිළිල ඕක ඇතුලෙත් තියෙනවා!

    ReplyDelete
  5. කොලඹ විශ්ව විද්‍යාලය කියන්නෙ ‍විශ්ව විද්‍යාලයක් නෙමෙයි නෙව.ඒක මොන්ටිසෝරියක් කියල කවුද නොදන්නෙ

    ReplyDelete