Tuesday, August 31, 2010

නිශ්ශබ්දතාවය පුපුරුවා හරිමු


And in the naked light i saw
Ten thousand people may be more
People talking with out speaking
People hearing without listening
People writing songs that voices never cheer
No one dare
disturb the sound of silence
- Simon n Garfunkel

සියල්ල නිහඩය.
දේශපාලනය තවදුරටත් සමාජයේ කිසිවෙකුට අවශ්‍ය නොවන සෙයකි.සමාජය උදාසීනත්වයේ හා නිශ්ශබ්දතාවයේ ගිලී තිබේ.මහා සමාජයේ දේශපාලනය පිලිබද සංවේදී වනු වෙනුවට ආදරනීය පූර්නිමා නරඹා තමන්ගේ පාඩුවේ නින්දට යාම වඩා ප්‍රයෝජනවත් වරනයක් ලෙස පොදු සමාජය තෝරා ගත්තා වැනිය.විරෝධය පෑම යනු තවදුරටත් අවශ්‍ය වූවක් නොවන්නා සේය.එරෙහි වීම යනු තවදුරටත් සමාජ ජීවිතයේ අංගයක් නොවන්නා සේය.
මෙම ගැඹුරු නිශ්ශබ්දතාවය තුල නැවත බර අඩි තබමින් ඇවිද යමින් තිබෙන්නේ නිශ්ශබ්දතාවයයි.නිශ්ශබ්දතාවය තුල නැවත නැවත ප්‍රතිරාව නැගෙනුයේ නිශ්ශබ්දතාවයේම ශබ්දයයි.

18 වන ව්‍යවස්ථා සංශෝධනය එලඹෙන 8 හා 9 දෙදින තුල පාර්ලිමේන්තුවේ විවාදයට ලක්කොට සම්මත කිරීමට නියමිතය.අවශ්‍යයෙන්ම එය සම්මත වනු ඇත.ආන්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය දිනාගනු වස් අඩුව තිබූ මන්ත්‍රී ධූර කිහිපය රවුෆ් හකීම් විසින් නොමසුරුව ප්‍රදානය කොට තිබේ.උත්ප්‍රාසාත්මකව විධායක ජනාධිපති ධූරයේ ධූර කාලය සදහා වන සිමාව ඉවත් කොට ධූරය තවත් ශක්තිමත් කරනු වස් ඇවැසි මෙම තීරනාත්මක සහයෝගය පුද කරන්නේ මාස කිහිපයකට පෙර විධායක ජනාධිපති ක්‍රමය ක්‍රමයක් ලෙස අහෝසි කිරීම වෙනුවෙන් විපක්ෂ පොදු අපේක්ෂකයෙකුට සහය දුන්,ඒ වෙනුවෙන් කතා කල,ඒ වෙනුවෙන් පෙනී සිටි රවුෆ් හකීම්මය.සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන්නේ හදිසි පනතක් ලෙසය.මෙය හදිසි පනතක් ලෙස ගෙන ඒම කවර තත්වයක් යටතේ හෝ සාධාරනීකරනය කල හැකිද?සමාජය තුල සංශෝධනය පිලිබද ආන්දෝලනයක් ඇතිවීමට ඇති ඉඩ අහුරා හැකි ඉක්මනින් මෙය සම්මත කරගෙන ඉවර කිරීම ආන්ඩුවේ අරමුන බව පැහැදිලිය.එස්.එල්.ගුනසේකර,ගෝමින් දයාසිරි වැනි ජනාධිපතිවරනයේදී "ආසියාවේ ආශ්චර්යය" පිලිබද විශේෂඥ ප්‍රකාශ නිකුත් කල අය පවා ව්‍යවස්ථා සංශෝධනයේ හරය ප්‍රශ්න කරන ආස්ථානයක පසුවේ.ස්වකීය පිලේ "නීති විශාරදයන්" ද එවැනි ආස්ථානයක පසුවන කල සමාජ සංවාදයක් වෙත පනත් කෙටුම්පත විවෘත වුවහොත් තමනට තරමක් අසීරුතාවයකට මුහුන පෑමට වන බව ආන්ඩුව දනී.

රූපවාහිනියේ දේශපාලන සංවාද මේ දිනවල පාලුවට ගොස්ය.ධම්ම දිසානායක,චරිත හේරත් වැනි මහත්වරුන් විදග්ධ භාෂාවෙන් ඉදිරිපත් කරන දේශපාලන විග්‍රහයන් රජයේ මාධ්‍ය වලින් වැඩිපුර නොඇසේ.විධායක ජනාධිපති ධූරයට පැවති අවම සංවරනය පවා ඉවත් කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයේ "ප්‍රගතශීලි හරය" පිලිබද ධම්ම දිසානායක පවත්වන දේශනයක් ඇසීමේ නොනිත් ආශාවක් ලියුම්කරු තුල පැවතියද අවාසනාවකට මෙන් දිසානායක තවමත් ඒ පිලිබද හදාරමින් සිටිනවා විය යුතුය.
ජනහඩට ව්‍යවස්ථා සංශෝධනය ගැන කථා කිරිමට ආන්ඩුවෙන් පැමිනෙන්නේ කිසිදිනෙක නමවත් අසා නැති පලාත් සභාවේ කනිෂ්ට මන්ත්‍රීවරයෙකි.දෙරන රූපවාහිනියට එපිලිබද කතා කිරීමට ආ ආන්ඩු පක්ෂ මන්ත්‍රීවරයා එපිලිබද හැර අන් සියල්ල පිලිබද කතා කලේය.විධායක ජනාධිපතිධූරය "භාරකාර ධූරයක්"ලෙස සංශෝධනය කරන බවට මහින්ද රාජපක්ෂ ජනාධිපති ජනාධිපතිවරනයේදී දුන් පොරොන්දුව,එම ධූරය අහෝසි කරන බවට ඔහුම නැවත 2005 දී දුන් පොරොන්දුව මෙම යෝජිත සංශෝධනය හරහා ඉටු වන්නේ කෙසේද යන්න ගැන මෙම මන්ත්‍රීවරුන්ට පිලිතුරු නැත.ජනාධිපතිවරනයේදී විපක්ෂය විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බව පවසන විට "එය පහසුවෙන් කල හැක්කේ අපිට පමනක් බව" ඊට පිලිවදන් ලෙස ආන්ඩු පක්ෂය පැවසීය.එම ප්‍රකාශයන් වර්තමානය සමග ගලපන්නේ කෙසේද යන්න ගැන රූපවාහිනි විවාද වලට එන ආන්ඩු පක්ෂයේ අහිංසක කනිෂ්ට මන්ත්‍රීවරුන්ට පිලිතුරු නැත.
චමුදිත සමරවික්‍රමට පසු මාධ්‍ය ලෝකය හෙල්ලූ වඩාත්ම රැඩිකල් දේශපාලන මාධ්‍යවේදිනිය මම වෙමිය වැනි ස්වරයකින් "විවාදාත්මක" වැඩසටහනක් මෙහෙයවන දිල්කා සමන්මලී තම වැඩසටහනට එන එල්ලාවල මේධානන්ද තෙරගෙන් අසන්නේ පුරාවිද්‍යාව ගැන බබා ප්‍රශ්නය.මුලතිව් වනයෙන් සොයාගත් අලුත්ම නටබුන් ගොඩනැගිල්ලේ ගඩොල් ගනන ඉතාම සීරියස් ලෙස අසන මේ "රැඩිකල්"මාධ්‍යවේදිනියට ව්‍යවස්ථා සංශෝධනයේ දේශපාලන සදාචාරය හා ඒ ගැන දී ඇති පොරොන්දු අමු අමුවේ කඩ කිරීම පිලිබද ප්‍රශ්න කිරීමට පුදුමාකාර ලෙස අමතක විය.

2001 දී සම්මත වූ 17 වන ව්‍යවස්ථා සංශෝධනය 18 වන යෝජිත සංශෝධනය හරහා මුලුමනින් කප්පාදු කොට තිබේ.17 වෙනි සංශෝධනයේ වැදගත්කම කුමක්ද?එහි අන්තර්ගතය කුමක්ද?ස්වාධින කොමිෂන් සභා පිහිටුවීමෙන් සමාජයට ලැබෙන වාසිය කුමක්ද?එහි අඩුපාඩු තිබේ නම් ඒ මොනවාද?එහි අඩුපාඩු නැති කිරීමට යැයි කියමින් ගෙනෙන 18 වන සංශෝධනය හරහා සැබැවින්ම එම අඩුපාඩු පියවී තිබේද?මේ කිසිවක් පිලිබද සංවාදයක් නැත.සමාජයටද මේ පිලිබද කිසිදු හැගීමක් නැතිවා සේය.17 වන සංශෝධනය පොදු සමාජයට දුරස්ථ දුරවබෝධ වහරකි.එය දුරවබෝධ වහරක්ව පැවතීමේ උපරිම වාසිය ආන්ඩුව විසින් ගෙන තිබේ.
ස්වාධින පොලිස් කොමිසම පිහිටවූ‍යේ නම් ප්‍රදේශයේ මන්ත්‍රීගේ චිට් එකට යට නොවී ගෞරවනීය ලෙස රාජකාරි කිරීමට පොලිස් නිලධාරීන්ට ලැබෙන සාපේක්ෂ අවස්ථාව 18 වන සංශෝධනය තුලින් රැක තිබෙන්නේ කෙසේද?පොලිස්පති,අග විනිසුරු,ශ්‍රේෂ්ඨාධිකරන විනිශ්චයකාරවරුන්,විගනකාධිපති ඇතුලු රාජ්‍යයේ ප්‍රධාන පත්වීම් සියල්ල නැවත ජනාධිපතිගේ තනි අභිමතයට යටත් කිරීම යලිත් 17 වන සංශෝධනයට පෙර යුගයට යාමක් නොවේද?17 වන සංශෝධනයේ අඩුපාඩු හදනවා යනුවෙන් අදහස් කෙරෙන්නේ එම සමස්ථ සංශෝධනයම අභාවයට යැවීමද?ඉදිකෙරුනු නිවසක අඩුපාඩු පිලිසකර කිරීම යනු මුලු නිවසම අඩිතාලම දක්වා පුපුරුවා හැර හිස් ඉඩම පමනක් ඉතිරි කිරීමද?රටේ මූලික නීතිය වෙනස් කිරීමට යන මෙවැනි තීරනාත්මක අවස්ථාවක මෙවැනි ප්‍රශ්න ඇසිය යුතුය.මෙවැනි සංවාද පැන නැගිය යුතුය.
නමුත් කිසිදු සංවාදයක් නොමැත.කතුවැකි වල ලියවෙනුයේ රටේ නැති විකාර පිලිබදවය.නිදසුනක් ලෙස දිවයින කතුවරයාට මේ දවස්වල තිබෙන විශාලම ගැටලුව කොහේදෝ පන්සලකට ගිය වෛද්‍යවරියන් පිරිසක් පාවහන් නොගැලවීමය.සමාජයට මග පෙන්වනවා කියන්නේ මෙවැනි මාධ්‍යවේදීන්ය.ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ‍"දෙවන ආන්ඩුව" ජනමාධ්‍ය බව විශ්ව විද්‍යාල වල පවා මහාප්‍රානයෙන් ඉගැන්වේ.ඇතැම්විට සැබෑ ආන්ඩුවත් විගඩම්කරුවන් ‍හා කෝලම්කරුවන්ගෙන් සංයුක්ත ව තිබෙන රටක දෙවන ආන්ඩුව ඊට නොදෙවෙනි කෝලම්කරුවන්ගෙන් යුක්ත වීම ගැන පුදුම විය යුතුද නැත.

තත්‍ය ආන්ඩුවේ විගඩම්කාරී වූද ප්‍රලාපමය වූද ස්වභාවය මර්වින් සිල්වාගේ විනය පරීක්ෂනය පිලිබද කථා වස්තුව සමග නැවත වතාවක් එලියට ආවේය.රජයේ නිලධරයෙක්ට අඩත්තේට්ටම් කිරීමේ සාපරාධී දන්ඩනීය වරද සිදු කල මර්වින් සිල්වා නම් කැලනියට අධිගෘහිත දේවතාවා කිසිදු වරදක් කල බවට තමන්ට "සාක්ෂි නැති" බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය මන්ඩලය තිරනය කොට තිබේ.විනය මන්ඩලය නොදුටු සාක්ෂි රූපවාහිනි ප්‍රවෘත්ති හරහා රටම දුටුවේය.බලයේ සිටිනවුන් මේ ඔච්චම් කරමින් සිටින්නේ පුරවැසියාගේ බුද්ධියටය.සහේතුක පුරවැසියාගේ තර්ක ඥානයටය.

එහෙත් විශ්මය - කිසිවෙකුට වගක් නැත.මර්වින් සිල්වාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ස්වභාවික වූද නොවැලැක්විය හැකි වූද දෙයක් ලෙස භාරගෙන සමාජය නිහඩව සිටී.තක්කඩිකමට තක්කඩිකම යැයි කීමේ හැකියාව රහිත සමාජයක පෞරුෂය කවරක්ද?ව්‍යාජත්වය ව්‍යාජත්වය ලෙසින් හෙලා දැකිය නොහැකි පුරවැසි සමාජයක සත්‍යය ඉරනම කවරක් වනු ඇද්ද?

ජනාධිපතිවරනයේ විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකා රටේ මූලික නෛතික පටිපාටියෙන් බැහැර කැන්ගරු උසාවියක් මගින් වරදකරු කොට දඩුකදේ ගසනුයේ මෙවැනි සන්දර්භයක් තුලය.පලමු යුද අධිකරනයේ පැමිනිල්ලෙහි තර්කය ප්‍රධාන වශයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ සාක්ෂිය මත පදනම් වූවකි.ප්‍රනාන්දු යනු ජනාධිපති ඝාතන කුමන්ත්‍රන නඩුවක සැකකරුවෙකි සහ එම නඩුවෙන් ගැලවීම පිනිස රජයට සහය දෙන්නෙකි යනුවෙන් විත්තිය මතු කල යුක්ති සහගත තර්කය යුද අධිකරනය නොසලකා හැරීය.
නඩුවේ අනිත් සාක්ෂිකරු නොබෝ දිනකින් රජයට එක්වීමට නියමිතව සිටින එජාප මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්නය.මේවා නූතන කැකිල්ලේවාදය (Neo kakillaism) නැමැති නෛතික න්‍යායට අනුකූලව පවත්වන නඩු විභාගය යන්න පිලිබද සාධාරන බුද්ධියක් සහිත කවරෙකු වූවද එකග වනු ඇත.
ෆොන්සේකාගේ ජෙනරල් ධූරය ඉවත් කලා මතු නොව ඔහුගේ විශ්‍රාම වැටුප පවා අහිමි කරවන ලදී.මෙය ඉතාම අමිහිරි සහ බරපතල දඩුවමක් බවට සැකක් නැත.මේ සියලු දඩුවම් සදහා ඔහු කලා යැයි කියන වරද නම් හමුදාපතිව සිටියදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට දුරකථනයෙන් අමතා තමාට දේශපාලනය කිරීමට අවශ්‍ය බව පැවසීමයි.හැරත් ඔහු එසේ පැවසූ බව කියන්නේ සිය පැවැත්ම වෙනුවෙන් ජුගුප්සාජනක ලෙස ආන්ඩුවට සිය ආත්මය විකුනා තිබෙන,සැක කටයුතු පුද්ගලයන් දෙදෙනෙකි.

කෙසේ වුවද සමාජය නිහඩය.විරෝධතාවයක් පොදු සමාජය වෙතින් එල්ල වෙන සේයාවකුදු නැත.

1978 අතිශය පුද්ගලික උවමනාවන් වෙනුවෙන් රටේ මූලික නීතිය වෙනස් කෙරෙද්දී සහ ඒ හරහා ආඥාදායකත්වයක් නිර්මානය වෙද්දී සිදුවන්නේ කුමක්දැයි සමාජය නොදැන සිටියේය.අද වැනිම දේශපාලන නිහැඩියාවක් එදාද විය.විවෘත ආර්ථිකය නිසා ප්‍රාදුර්භූත වූ භාන්ඩ සාගරයෙහි අතරමංව තාවකාලික ජොලියක් තුල පොදු සමාජය කිදී සිටියදී අසීමිත බලයක් තනි පුද්ගලයෙකු වටා ඒකරාශී විම සිදුවිය.
එහෙවු 80 දශකය නිමා වූයේ මහා රුධිර පතනයකිනි.ප්‍රජාතන්ත්‍රවාදය අහුරා දැමීම මත උතුරේද දකුනේද යෞවන ජනයා භයංකර සිවිල් යුද්ධ දෙකකින් ප්‍රතිචාර දැක්වූහ.
යාපනයේ වෙසක් සැමරීමේ විනෝදයෙන් සහ කරදියවර මංගල්‍යයේ ආනන්දයෙන් වත්මන් සමාජයද වශී වී සිටී.ස්වාර්ථමය සීමාවක සමාජය කොටුව තිබෙන,දේශපාලනය අතිශය නිහඩව පවතින පසුබිමක බලය,නග්න වූද අසීමිත වූද පාලනයක් හෝ තුලනයක් නැති වූද බලය තනි පුද්ගලයෙක් අත ක්‍රමයෙන් ඒකරාශී වෙමින් තිබේ.

මෙම නිශ්ශබ්දතාවයට ගල් ගැසිය යුතු නොවේද?
මෙම නිශ්ශබ්දතාවයේ ශබ්දයට ඇන ගැසිය යුතු නොවේද?


9 comments:

  1. පාලකයින්ගේ තත්වයට පුරවැසියනුත් දූෂිත වෙලා. සිදුවෙන්නේ අනර්ථයක් බව සියල්ලෝම දනිති. ඒත් පුද්ගලික වාසියක් හෝ ලිපියේ සඳහන් වශී වීමකින් හෝ මහ හොර නින්දකට සියල්ලෝ එළඹ සිටිති.
    මේ කරන්න යන කෙරුවාව හරියට පංසලක් හදන්න එකතු කරපු සම්මාදමෙන් වැසිකිළියක් හදනව වගේ දෙයකි.
    හදවත් නැත්තවුන්ගේ තැනකට පන්සල් අවශ්‍ය නොවීම සාධාරණය. වැසිකිළි වඩාත් හොඳය.

    ReplyDelete
  2. ජනතාව කිසිදා තමන් විසින්ම නැගී සිට විරෝදතා පාන්නේ නැත. ඔවුන්ව ඒ සඳහා පෙළ ගැස්විය යුතුව ඇත. අඩුව ඇත්තේ එතනය. විපක්ෂය ඒ කාර්ය කිරීමට අසමත් වී ඇත. එජාපය තමන්ගේම අර්බුධ වල කර වටක් ගිලී ඇත.ඊටත් වඩා කාසි කිහිපයකට ඔවුන්ව බිලි බා ගැනීම ඉතා පහසු කටයුත්තකි. ජවිපෙ කිසි කලෙක නොවූ ලෙස දුර්වල වී ඇත. ඔවුන් මේ භුක්ති විඳින්නේ පසු ගිය කාලය පුරාවට මාධ්‍ය මගින් පමණක් දේශපාලනය කිරීමෙන් ලැබුණු ප්‍රතිපලයි. ඔවුනගේ සශ්‍රීක කාලයේ මාධ්‍ය මගින් ලැබුණු අනගි ඉඩකඩ නිසා වල්මත් වී ජනතාව අතර සැබෑ පදනම් දමාගැනීම අමතකව ගිය බවකි. දැන් මාධ්‍ය සියල්ල මහරජාණන්ට කඩේ යන තත්වයක් තුල ජනතාවට බැණ වැදීමෙන් පලක් නැත.

    ReplyDelete
  3. @ Gladflyzone

    බොහෝ දුරට එකගයි.එකග නොවෙන කරුන නම් ජනතාවට "බැන වැදීම" පිලිබදවය.නිදසුනක් ලෙස මර්වින් සිල්වා ගම්පහ තෙවන ස්ථානයට පත් කරනුයේ ජනතාවය.එය කරනුයේ ඔහුගේ තක්කඩිකම පිලිබද "නොදැනුම" නිසාද?වර්තමාන‍යේ සිස්ටම් එක දුවන්නේ අසංවේදිතාවයේ සහ පුද්ගලික ප්‍රමෝදයේ දගරයක් තුල ජනතාව ගිල්වා ඔවුන්ව දේශපාලනයෙන් බැහැර කිරීම මගිනි.එම දගරය බිදීමට නම් එය විවේචනය කිරීම හා ප්‍රශ්න කිරීම මිස වෙන විකල්පයක් නැත.

    ReplyDelete
  4. අද ආණ්ඩුව ( ආණ්ඩුව නම් වන අතලොස්සක් පිරිස) විරුද්ධවාදීන්ගේ කට කොක්කෙන් හෝ කෙක්කෙන් වහමින් ඉන්නේ.ඒක පෙන්නන හොඳ උදාහරණයක් තමයි රනිල් උන්නැහේ තේ කෝප්ප කීපයකට හා අලුත් කාර් එකකට,යූ ඇන් පී මන්ත්‍රීන් දෙන්නෙක් සහ ආණ්ඩුවට විරුද්ධව නැගිටිය හැකිව තිබූ විපක්ෂයේ අවස්ථාව හුවමාරු කර ගැනීම.ජවිපෙ ත් මෙයට විරුද්ධව සාධනීය මැදිහත්වීමක් කරමින් නෙවෙයි ඉන්නේ.ඉතින් මේ කොටස් වල මුල් වීමක් නැතුව ඉබේ නැගිටින ජනතා විරෝධයක් ඇතිවෙන එකක් නැහැ.මාද්‍යවේදියොත් නිකන් තියන ඇග තලා ගන්නේ මොකටද කියල වගේ ඉන්නේ.එකනේ දිවයිනේ ගාසූ ලා තමන්ගේ කලා කටයුත්තක් බලාගෙන දේශපාලනයට අන්ධ වෙමින් ඉන්නේ.ඇත්තටම මේකට ජනතාවට බැනල වැඩක් නෑ.

    ReplyDelete
  5. රාමචන්ද්‍ර කරන්නා වූ මේ විවේචනයන් පැරණි වාමාංශික දෘෂ්ඨි කෝනයෙන් ඉතාම නිවැරදි වේ. ඒ පිළිබදව කිසිම ප්‍රශ්න කිරීමක් හෝ ගැටළුවක් හෝ පැන නොනගී.

    එහෙත් එකී රාමුව අහෝසි වී ඇති වත්මන් සන්ධර්භය තුළ මේ විවේචනයන්ට ඇත්තේ නොවැදගත් පිළිගැනීමකි. ධනේශ්වර ක්‍රමයේ මේ යුගය තුළ දේශපාලන, සාමාජීය හා ආර්ථික ඇතුළු සියළු පාදක ව්‍යුහයන්ට නව කියවීමක් ලැබී තිබේ. ඒ අර්ථයෙන් සියළු සමාජ ප්‍රපංචයන් අලුතින් ව්‍යුහගතව තිබේ. සියල්ල කටයුතු කරන්නේ ගෝලීය ප්‍රාග්ධනයට අවශ්‍ය පරිදිනි.

    ඒ නිසා සියල්ලේ සමාජ කාර්ය භාරය වෙනස්ව තිබේ. ජනමාධ්‍ය තවදුරටත් එහි මූලික අර්ථ දැක්වීමෙන් විතැන් වී නව අර්ථ දැක්වීමක් ලැබී ඇති වකවානුවක දිවයින කතුවරයා වෙන මොනවා කරන්න ද? සංඝ සමාජයට නව අර්ථකථනයක් ලැබී ඇති වකවානුවක සංඝයන් මර්වින්ට කඩේ යෑම හැර වෙන කුමක් කරන්න ද?

    ඒ ගැන පුදුම වීම හෝ දුක්වීම හෝ අර්ථ විරහිත ක්‍රියාවකි. සමාජය නිශ්ක්‍රීය වී ඇත්තේ බලය නැමැති සාධකය මතය. විකල්ප බලයක් නොමැති නිසා සමාජය නිශ්ක්‍රීයවීම ස්වභාවිකය.

    කළ යුත්තේ මේ විපරිත සමාජ ක්‍රමය දුකින් විවේචනය කර කාලය කා දැමීම නොවේ. මේ සමාජයට ඔන්න ඔහේ ඉන්න ඉඩ දෙන්න. අපි අපේම ක්‍රමයක් ගොඩ නගමු. කාල් මාක්ස් අපට ඒ සදහා විද්‍යාවක් නිර්මාණය කර තිබේ. අපේම වූ සමාජ ක්‍රමයක් නිර්මාණය කර ගත් පසුව ඒ සදහා බලයක් ගොඩ නැගේ. ඊනියා ජනතාව රොක් වන්නේත් ක්‍රියාශීලී වන්නේත් එකී බලය මතය. ඒ බලය ගොඩ නැගෙන්නේ ශක්තිමත් සමාජ ක්‍රමයක් මතිනි. ඒ සදහා මේ මොහොතේ ක්‍රියා කළ යුත්තේ ලිප්ටන් වටරවුම තුළ නොවේ. මැයි දින පෙළපාලි වලද නොවේ.

    ධනපති දියුණුවේ ආනිසංසයෙන් වඩා නිර්මාණශීලී සම්පත් අපට ලැබී තිබේ. ඒ සම්පත් මගින් අධ්‍යනය කිරීම මේ යුගයේ කාර්ය භාරයයි. එය වෙහෙස මහන්සි වී කළ යුත්තකි. එහෙත් එසේ නොවී සීරුමාරුවට පවත්නා ක්‍රමය විවේචනය කරමින් වඩා හොද ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් පෙනී සිටීමන් සිදුවන්නේ අවසානයේ ගෝලීය ප්‍රාග්ධනයටම ගොදුරු වීමයි.

    ශාන්-බුමුතුරුණු.

    ReplyDelete
  6. @ shan

    ඔබ පවසන දෙයෙහි අවධානයට ගත යුතු බොහෝ වැදගත් කරුනු පවතී.දිවයින වර්ගයේ මාධ්‍ය වලින් න්‍යායන්හි දැක්වෙන සුභාවිතය අපේක්ෂා කල නොහැකි බව සත්‍යයක්.
    කෙසේ වෙතත් දිවයින හෝ ඒ වර්ගයේ වෙනත් "මත සම්පාදකයන්ව" ප්‍රශ්න කිරීම නොවැදගත් යැයි මම කල්පනා කරන්නෙ නැත්තෙ මේවා සමාජය තුල බලසම්පන්න මෙවලම් නිසා.අධිපති මතවාදය impose කරන මෙවලම් වල භාවිතය ප්‍රශ්න කිරීම විකල්ප ස්ථාවරයක් ගොඩනැගී‍මේදී වැදගත් නොවන්නේද?.බලය පිලිබද කරුන සමග එකගයි.ගැටලුව එවැනි භෞතික බලයක් නිර්මානය කරගන්නේ කෙසේද යන්න පිලිබද නිශ්චිතතාවයක් තවම නොපැවතීම.

    ReplyDelete
  7. බලය ගොඩ නගන අයුරු මම පැහැදුවෙමි. ඒ සදහා අනවරතව හැදෑරිය යුතුය. මේ යුගයේ කාර්යභාරය ඇත්තේ අධ්‍යයනය තුළය. ජනප්‍රිය දේශපාලනය තුළ නොවේ.

    මාධ්‍ය මෙන්ම මේ යුගයේ සෑම ආයතනයක්ම විවෙචනය කළ යුත්තේ පශ්චාත්තාපයෙන් නොව එම තත්ත්වය අවබෝධ කර ගනිමිනි. කෙටියෙන් කිවහොත් අලියා තඩි කළු ලොකු සතෙකු වී ඇත්තේ ජානමය පිහිටීම නිසා ය. මේ යුගය තුළ සමාජයේ විවිධ ආයතන මුල් පර්මාර්ථයෙන් ඈත්ව හැසිරෙන්නේ ද ඒවායේ දේශපාලන ජානයන් හි ස්වභාවය නිසා ය.

    විග්‍රහ කළ යුත්තේ එයයි.

    ReplyDelete
  8. I voted for Mahinda. I knew he wa evil. But I chose the least. But I was firm in my opinion "don't give him 2/3." But our people is not capable enuogh to judge things well. I never regret for voting mahinda at the presidential election. But I regret I couldn't do anything to stop Mahinda getting 2/3

    ReplyDelete
  9. කුම්බලා මාළු කෑවා නම් දුක විදපන් නානෝආආආ.........................

    ReplyDelete