Thursday, July 1, 2010

රාජාන්ඩු සිහිනය උඩින් මෝදු වන කලු වලාකුලු


සිසර්ගේ නැගීමෙන් රෝම ඉතිහාසය සම්පූර්නයෙන් වෙනස් වුනා.සීසර් මාර්ක් ඇන්තනී ආදිහු දක්ෂ සේනාධිනායකයන්.මේ අය රෝමය වෙනුවෙන් රට රටවල යුද වැදුනා.ජුලියස් සීසර් යුද නායකයෙක් ලෙස නැගී එන විට රෝමය කියන්නෙ සමූහාන්ඩුවක්.ලෝකයේ පරනම ප්‍රජාතන්ත්‍රවාදි ආකෘතියක් වුන රෝම සමූහාන්ඩු ක්‍රමය තනි රජෙක් හා ඒකාධිපති බලවතෙක් වෙනුවට චන්දයෙන් තෝරාගත් කොන්සල්වරු දෙදෙනෙක්ගේ පාලනය යටතේ පැවතුනා.
සීසර් ප්‍රත්‍යන්ත ප්‍රදේශ වල , විශේෂයෙන් වර්තමාන ප්‍රංශය ලෙස හැදින්වෙන ගෝල් දේශයේ ලද විශාල ජයග්‍රහන නිසා දැවැන්ත කිර්තියක් සමග රෝමයේ ‍දේශපාලනය ජයගන්නවා.කෙටි කාලයකින් බලය ගන්න ජුලියස් සීසර් රෝම සමූහාන්ඩුව ඒකාධිපති අධිරාජ්‍යයක් බවට පත් කිරීමේ වෑයමක නිරත වෙනවා.මේ නිසා සමූහාන්ඩුවාදීන්,සෙනෙට් සභිකයන් සහ ජුලියස් සීසර් අතර ඇතිවන්නේ  අනවරත ගැටුමක්.
අවසානයේ කුමන්ත්‍රනය කරන සෙනෙට් සභිකයන් සීසර්ව පිහියෙන් ඇන මරා දානවා.විස්මය ජනක ලෙස වර්ධනය වෙමින් ආ සීසර් නැමැති තනි පුද්ගලයාගේ අති මහත් බලය එක පිහිපහරකින් පිපිරි විනාශ වෙනවා.සීසර් අනභිබවනීය යැයි ඔහු බලයේ සිටියදි ඔහු වටා රැස් කෑ පිරිස් බල රික්තකය අයිති කරගන්න සිසර්ගේ මල සිරුර උඩින් කුලල් කා ගන්න පටන් ගන්නේ ඉන්පසුව.
ජුලියස් සීසර්ගේ සිහිනය පසාරු කල බෲටස්ගේ පිහි පහර මහින්ද රාජපක්ෂව සොයාගෙන දැන් සැරිසරන්නට පටන් අරගෙන තිබෙනව.පෙනෙන්න තියෙන බොහෝ සාධක විසින් රාජපක්ෂ රෙජිමය උඩින් හෙමිහිට නමුත් ස්ථිරසාර ලෙස මෝදු වෙන කලු වලා සමූහයක සලකුනු ගැන ඉගි කරනවා.
අධ්‍යනයේ පහසුවට මේ සාධක අපිට අභ්‍යන්තර හා බාහිර සාධක කියල බෙදාගන්න පුලුවන්.අධ්‍යයනයේ පහසුවට බෙදාගතතත් මේ සාධක වර්ග දෙක එකිනෙක එක්ක ගැට ගැහිල තියනව.
ආර්ථික උභතෝකෝටිකය
රාජපක්ෂට අවාසිදායක ප්‍රධාන අභ්‍යන්තර පිහිපහර මෝදු වෙමින් තිබෙන ආර්ථික අර්බුදයයි.
"ආර්ථික අර්බුදය" කියන්නෙ 1948 ඉදල ඇති තරම් දේශපාලන වේදිකා වල පට්ට ගහපු වචනයක්.ඒත් හුදු පට්ට ගහන වචනයක ඉදල ඇස් පනා පිට පෙනෙන ඇත්තක් බවට වේගයෙන් ආර්ථික අර්බුදයක සලකුනු විද්‍යාමාන වෙන්න පටන්ගෙන තියනව.                                                                                                                   රාජපක්ෂ ආන්ඩුව පසුගියදා ඉදිරිපත් කල ලොම් හැලුන අය වැය මේ අර්බුදයේ තීව්‍ර ප්‍රකාශනයක්.1977 ට පස්සෙ ලංකාවෙ ආර්ථික උපාය මාර්ගය ප්‍රධාන ලෙස පදනම් වුන කුලුනු දෙකක් වුනේ විදේශ ආයෝජන සහ විදේශ නය.විදේශ ආයෝජන පැත්තෙන් අපේක්ෂිත මට්ටමට ලගාවෙන්න ලංකාවට කවදාවත් නොහැකි වුන අතර මේ නිසා ඇත්තටම වුනේ විදේශ නය ගැනිම් ආර්ථිකයේ ප්‍රධාන උපාය මාර්ගය බවට පත්වීමයි.මේ තත්වය අද වනකොට කොයිතරම් උග්‍ර වෙලා තියනවාද කිවහොත් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය යැයි පෙන්විමට තිබෙන්නෙ විදේශ වානිජ නය අරගෙන පාරවල් සෑදීමේ ව්‍යාපාති කිහිපයක් පමනයි.දවසෙන් දවස නය බර පැටවු ගහමින් තිබෙන අතර පාරවල් හැදිමේ ආතල් එකෙන් මුසපත්ව ඉන්න බොහෝ දෙනෙක්ට මෙම අධික නයවිම් මගින් ඉදිරියේදි ඇතිවිය හැකි රාජ්‍ය මුල්‍ය අර්බුදය ගැන අදහසක් නැහැ.
සුබසාධන සේවා රැසක් පවත්වාගෙන යාම ලංකාව පූර්ව 77 යුගයෙන් ලැබුව දායාදයක් විදිහට තියනව.ලිබරල් ප්‍රතිසංස්කරන වලට අවුරුදු 25 කට පස්සෙත් රජය විසින් නඩත්තු කරන අධ්‍යාපන පද්ධතියක්,සෞඛ්‍ය පද්ධතියක් ලංකාවේ තිබෙන අතර ගොවින් සදහා පොහොර සහනාධාරය සැපයිම,සමාද්ධි වැනි සහනාධාර ව්‍යාපෘති පවත්වාගැනිම වැනි මග හැරිය නොහැකි වියදම් ගනනාවක් රජය මත පවතිනවා.මේවායෙන් ඉවත් වෙන්න පුලුවන් නම් ඕනෑම රජයක් ඇත්තටම බොහෝ සතුටු වෙන්න ඉඩ තියනවා.පූර්ව 77 යුගයේ සුබසාදන වියදම් ගැන භාරය පැවතුනත් පූර්ව 77 යුගයේ රජය සතුව තිබුන ආදායම් මූලාශ්‍ර එකක්වත් මේ වනවිට ඉතිරි වෙලා නැහැ.රුසියාවෙන් එවකට ලැබුන ඔරුවල වානේ සංස්ථාව වැනි රජයට ආදායම් උපදවා දිය හැකිව තිබූ නිෂ්පාදනිය මාර්ග සියල්ල පශ්චාත් 77 යුගයෙන් පසු විනාශ වී ගොස් තිබෙන අතර ඉතිරි වෙලා තියෙන්නෙ රජයට කිසි ආදායමක් නොදෙන,ඇමතිවරුන්ට චන්දෙට කොඩි දාන හැම එකාටම රස්සා දිම නිසා ලාබ ලැබිම තබා පිරිවැය කවර් කිරිමත් සිහිනයක් වෙලා තියන ලංගම වැනි ඇටසැකිලිමය ව්‍යවසායන් කිහිපයක් විතරයි.
මේ නිසා එක්කෝ රජය සුබසාධන වියදම් වලින් ඉවත් වෙන්න ඕනෙ.නැත්නම් එම වියදම් පියවගන්න මොනවා හෝ ජිල්මාට් එකකට යන්න අවශ්‍ය වෙනවා.සුබසාධන වියදම් කපා දැමීම එක්වර කිරිම මාරාන්තික ප්‍රතිඵල ගේන්න පුලුවන් කියල රජය දන්න නිසා ඊට මැලිවන ආන්ඩුවට තියන එකම විකල්පය වියදම් පියවගන්න නය ගැනිම සහ බදු ආදායම් ඉහල දැමිම පමනයි.සුබසාධන වියදම් කැපුවොත් සමාජයෙන් විරෝධයක් එනවා වගේම ඒ වියදම් කරගෙන යන්න බදු ගහන්න ගියාම බඩු මිල වැඩි වෙන්න ගන්නවා.එවිට නැවතත් සමාජයෙන් විරෝධය මතුවෙන එක නවත්තන්න බැහැ.අද වන විට ලංකාවේ තිබෙන ඉහල ජිවන වියදම් ඉහල යාමට අතිශය මූලික හේතුවක් වෙලා තිබෙන්නෙ රජය පනවන අසිමිත බදු මිස වෙන මොනවත් නෙමෙයි.බඩු මිල වැඩි වෙනවා මිනිස්සු අසහනයට ලක්වෙනවා කියල දැන දැන උනත් බදු ගහනව හැර රජයට විකල්පයක් නැහැ.එස්.බී .වැනි චන්ඩි ඇමතිවරු හරහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය වගේ ව්‍යාපාර මට්ටු කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රය පුද්ගලිකකරනයට ක්‍රමයෙන් උත්සාහ ගන්නා අතර කැමති වුනත් නැති වුනත් බදු ගහමින් එදාවේල ගැටගසා ගන්නට ආන්ඩුවට සිදුවෙලා තියනවා.
රජය මුහුන දිල තියෙන්නෙ ආර්ථික "ප්‍රශ්නෙකට" නෙමෙයි ආර්ථික "අර්බුදයකට" කියල කියන්නෙ මේ නිසා.ප්‍රශ්නයකට නම් තියන තත්වයන් ඇතුලෙ උත්තර තියනවා.ඒත් අර්බුදයක් එහෙම නෙමෙයි.පවතින තත්වයන් ඇතුලෙ අර්බුද වලට උත්තර නැති අතර අර්බුද යනු එක්තරා ආකාරයක උභතෝකෝටික විශේෂයක්.වියදම් කැපුවොත් අඹු නසී - බදු කැපුවොත් තෝ නසී.අය වැය ඉදිරිපත් කරන අමුනුගම පිටට නොකිවට ඇතුලේ තියන පිරිසිදු ඇත්ත එයයි.
සිවිල් යුද්ධය
අවුරුදු 30 ක් පුරා පැවති සිවිල් යුද්ධය අවසන් විම ආන්ඩුව මුහුන දෙන දෙවනි අභ්‍යන්තර අවුලයි.බැලූබැල්මට මෙය හාස්‍යජනක තත්වයක්.යුද්ධයක් "අවසන් වීම" අභ්‍යන්තර අවුලක් වෙන්නෙ කොහොමද?
ලංකාවේ ආර්ථිකයේ තිබෙන ව්‍යුහාත්මක ප්‍රශ්නය නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථිකයක් වර්ධනය නොවිම මත පදනම් වෙනවා.ඒ සාකච්ඡාව වෙනම සාකච්ඡාවක්.කොහොම වුනත් අභ්‍යන්තර නිෂ්පාදනය නැංවිමක් රහිතව සේවා වියුක්තිය හෝ දුප්පත්කම පිලිබද ප්‍රශ්න විසදන්න අවස්ථාව ලැබෙන්නෙ නැහැ.80 දශකයේ සිට ලංකාවේ පාලක කොටස් සමාජය මුහුන දෙන විරක්ෂාව හා දුප්පත්කම වැනි ගැටලු වලට මුහුන දෙන ආමර් එක බවට පත්කරගත්තේ සිවිල් යුද්ධයයි.සමාජ ප්‍රශ්න ගැන දකුනේ සමාජයෙන් මැසිවිලි එනවිට විටෙක යාප්පු ස්වරයෙන් හා විටෙක තර්ජනාත්මක ස්වරයෙන් රජය ගෙනා විත්තිවාචකය වුනේ උතුරේ පවතින යුද ගැටුමයි.එක පැත්තකින් තරුනයන්ට රැකියා දිම සදහා මෙය මාධ්‍යයක් වුනා.අනෙත් අතට වියදම් කැපුවොත් අඹු නසී බදු කැපුවොත් තෝ නසි සූත්‍රය නිසා වර්ධනය වෙන සමාජ අසහනය පාලනය කිරිමේ ක්‍රමවේදය විදිහට සිවිල් යුද්ධය යොදාගැනුනා.
2008 ජූලි වලදී රජයේ ‍ඇතැම් වෘත්තිය සමිති වැටුප් වැඩි කිරිමක් ඉල්ලද්දි රජය පෙන්වූයේ උතුරේ යුද්දයයි.ඒ අවස්ථාවේ රජයේ විත්තිවාචකය පොදු සමාජය පිලිගත් අතර වැඩවර්ජනය කඩාකප්පල් වුනා.පෙට්‍රල් මත ගහන 180 % ක කලු කඩ පන්නයේ බද්ද අධිකරනය ඉදිරියේ පවා ප්‍රශ්න කෙරුන විට රජය ගෙනා තර්කය වුනේ යුද වියදම් ගැන තර්කයයි.මේ තර්කය විකාරයක් වන තරමට දික්ගැස්සුනා.මර්වින් සිල්වා රූපවාහිනියට පැන ඩෙගා නැටිම ගැන වරක් ලක්බිම පුවත් පත විමසූ අවස්ථාවක විමල් වීරවංශ පවසා තිබුනේ තීරනාත්මක යුද්ධයක් පවතින මොහොතක මෙවැනි ගැටලු පිලිබද පුර්න අවධානය යොමු කල නොහැකි බවත් යුද්ධයෙන් පසු එවැනි තත්ව මැඩ පැවැත්විම සාර්ථකව රජයට කල හැකි බවත්.කොටින්ම සමාජයේ සියලු වස්දොස් යුද ජයග්‍රහනයේ සූත්‍රය හරහා යටපත් කෙරුනා.
කොහොම නමුත් සිවිල් යුද්ධය අවසන් නොකර බැරි තැනකට මහින්ද රාජපක්ෂ නියෝජනය කල දෘෂ්ටිවාදය ඔහුව අරගෙන ගිය අතර අන්තිමට යුද්ධය අවසාන කිරිමෙන් ලංකාවේ පාලක පංතියට අවුරුදු 30 ක් තිස්සෙ පැවති විශාලතම ආරක්ෂක පලදනාව එනයින් රාජපක්ෂ විසින් ඉවත් කරනු ලැබුවා.
මේ දේශපාලන මොහොත කියන්නෙ මේ අනුව ‍ඓතිහාසික මොහොතක්.අවුරුදු 30කට පස්සෙ පාලක පංතියත් පොදු සමාජයේ දුක් ගැනවිලිත් එකිනෙක සමග සෘජුව අභිමුඛ වෙන්න පටන් අරගෙන තිබෙනවා.ප්‍රශ්න මග හැර යාමට යොදාගත් කොටි සංවිධානය නැමැති කඩතුරාව ඉවත් කිරීමෙන් රාජපක්ෂ තමන්ට තාවකාලික ආනන්දයක් ලබාගත්තා වගේම දිගුකාලීනව තමන්ටම වද දීමට නියමිත හිසරදයකුත් කැදවාගෙන තිබෙනවා.
ජනාධිපතිවරනයේදී දුන් 2500 වැටුප් වැඩිවීමේ ප්‍රතිඥාව ගැන කසු කුසු දැන් සමාජයේ පැතිරෙන්න පටන් අරගෙන.වැඩි වෙන පාන් මිල යනාදිය තවදුරටත් වන්නි සටනේ වීරත්වය තුල දියකල හැකි ප්‍රශ්න නෙමෙයි.මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය ගැන ප්‍රශ්න.'යුද්ධය නිසා ඉවසනු" කියන තර්කය තවදුරටත් වලංගු නැති නිසා ආන්ඩුව මේ තුල විශාල අර්බුදයකට යාම අනිවාර්යයක්.
මහ ඔලු හැප්පීම හා බැන් කි මූන්
රාජපක්ෂ ආන්ඩුව අභ්‍යන්තරයේ පවතින ගැටලු සහගතභාවය අනෙත් ප්‍රශ්නයයි.තවම ආන්ඩුවේ අභ්‍යන්තර අර්බුදය කැපී පෙනෙන ලෙස එලියට ඇවිත් නැහැ.එය මෛත්‍රිපාලගේ නහයෙන් ඇඩීමට,වාසුදේවගේ වයෝවෘද්ධ තග නොදමා තග දැම්මී වලට හා "අපිට ව්‍යවස්ථා සංශෝදනයකට බලය නැහැ " කියල බැසිල් බාල සොහොයුරා ලංකාදීපෙට කරන ප්‍රකාශ වලට සීමා වෙලා තියනවා.කෙසේ වෙතත් පිහියෙන් ඇනිය හැකි බෲටස්ලාගේ අවතාර ආන්ඩුව තුල පවා පන ලබා තියනවා කියන එක වැදගත් කරුනක්.
බාහිර වශයෙන් බැන් කී මූන්ගේ කමිටුව රාජපක්ෂට අභිමුඛ වෙන්නෙ මේ අලකලංචි මධ්‍යයේයි.මෙම කමිටුව රාජපක්ෂ කිසිසේත් අපේක්ෂා කල එකක් නෙමෙයි.ගෝලීය ධනවාදය සමග හාද වීමට රාජපක්ෂ පසුගිය වකවානුවේ සෑහෙන උත්සාහයක් දැරු බව රහසක් නෙමෙයි.යුද සූත්‍රය දිගටම වැයීමෙන් වැඩි කල් පවතින්න බැරි බව වටහා ගන්න හෙතෙම යම් හෝ අස්වැසිල්ලක් ලබාගැනිම අපේක්ෂා කලේ ගෝලිය ධනවාදය සමග සෙට් වීමෙන්.
කෙසේ වෙතත් තමා සමග හාද වී කීයක් හෝ කොටාගන්න බලන රාජපක්ෂ නම් ගැටයාට ගෝලිය ධනවාදය නැමැති තරුනිය පාට් පෙන්නන්න,ගනන් උස්සන්න පටන්ගෙන තිබෙන බව පෙනෙනවා.හදගමගේ දියකැටපහන නාට්‍යයේ සුනිලා නුග ගස උඩ සිට "ඔයා මා එක්ක ඇත්තටම යාලුවෙන්න කැමති නං ගහ දිගේ බඩ ගාගෙන පැල උඩට එන්න"කියල රුවන්ට කියන අවස්ථාව සමග මෙය නාටකීය ලෙස සමානයි.අද හෝ හෙට තමා සමග සෙට් වීමෙන් තොරව මහින්ද රාජපක්ෂ නැමැති ධනේශ්වර නායකයාට පැවැත්මක් නැති බව ගෝලීය ධනවාදය දන්නවා.යුද අපරාධ කමිටු ආදියෙන් කෙනිත්තිම් කරමින් රාජපක්ෂ මත අතිරේක පීඩනයක් එය විසින් එල්ල කරන්නේ වඩා තෙම්පරාදු වුන,තමන්ට වඩා අවනත වුන නායකයෙක් ලෙස ඔහුව කුලවද්දාගැනිමට දරන වෑයමේ ප්‍රතිඵලයක් විදිහට.එක පැත්තකින් අමෙරිකාව ලංකාව ගැන හිතන විදිහ වෙනස් කරන්න ඕනෙ කියල හිලරි ක්ලින්ටන් කියන්නෙත් ඒ එක්කම යුද අපරාද කමිටු දාල රාජපක්ෂව බය කරන්නෙත් තමාට කොහොමත් යටත්වෙන රාජපක්ෂ වඩා හොදින් හීලෑ කොට යටත් කරගැනිම සදහායි.
මේ රාජපක්ෂගේ අනිත් උභතෝකෝටිකයයි.ලෝක ධනවාදය සමග හාද විමෙන් තොරව ඔහුට කිසිදු ඉදිරි පැවැත්මක් නැහැ.වානිජ නය දෙන චීනය හැර ඉරානයේ ජනාධිපති ආදීන්ගෙන් අපේක්ෂා කල හැක්කේ සම්මන්ත්‍රනයක් වෙලාවට දෙන කිස් එකක් පමනයි.අහමනෙයිජාඩ්‍ගේ කිස් එකෙන් තමන් වැටී සිටින ආර්ථික උගුලෙන් මිදිය නොහැකි බව ආන්ඩුව දන්නවා.
අනිත් අතට තමාව කිච කොට තමා කුලවද්දාගන්න යන ජාත්‍යන්තර ප්‍රජාව සමග කිච වෙමින් සෙට් වීම රාජපක්ෂ විසින් යුද සමයේ ගොඩනගන ලද ජාතිහිතෛශි දෘෂ්ටිවාදය අර්බුදයට යවන්නක්.තමා විසින් ලිහන ලද බටහිර විරෝධය නැමැති සුනඛයා විසින් එවැනි තත්වයකදි තමාවම හපාකන්න ඉඩ තිබෙන බව රාජපක්ෂ දන්නවා.
ගෝලිය ධනවාදය සමග සෙට් වුනොත් තෝ නසි - සෙට් නොවුනහොත් ඒත්‍ තෝ නසි.සහේලි ගමගේට ඊලගට මේ වගේ තීම් සෝන්ග් එකක් සිය ආදරනීය නායකයා වෙනුවෙන් ගායනා කරන්න අවස්ථාව තියනවා.
දේශපාලන සිතියමේ භූ ගෝලිය වෙනස්කම්
බැන් කී මූන් පත්කරන යුද අපරාධ කමිටුව පිලිබද කෙටි සදහනක් හෝ නොකලහොත් මෙම සටහන අසම්පූර්නයි.වෙනම මාතෘකාවක් වුනත් මෙම කමිටුව විසින් වැදගත් දේශපාලන වාතාවරනයක් අලුතින් බිහිකොට තිබෙනවා.රාජපක්ෂ තමන්ට හීලෑ වී සෙට් නොවුනහොත් රාජපක්ෂව ඉවත් වන ආකාරයේ දේශපාලන බලපෑමක් කිරීමේ පිඩනයක ආරම්භය මෙම කමිටුවයි.සමහර විට බැසිල් වැනි වඩා හීලෑ නායකයෙක් පත්වීම මෙහි අවසාන ප්‍රතිඵලය වෙන්නත් පුලුවන්.සාමාන්‍ය තත්වයක් යටතේ නම් යූඇන්පී ආන්ඩුවක් රාජපක්ෂගේ රික්තය පුරවයි යැයි අපේක්ෂා කල හැකිවුනත් එජාපය මේ මොහොතේ එරි තිබෙන වගුරෙහි ගැඹුර සලකන විට එවැන්නක් වීමට තිබෙන ඉඩ සැක සහිතයි.
සමහර ජාතිකවාදින්ට ගෝලීය ධනවාදයේ කෙනිත්තිම් වලට හසුවන රාජපක්ෂ නැමැති නායකයා හෙන විරයෙක්.රෙජිනෝල්ඩ් කුරේ පසුගිය දිනෙක මොහුව කැස්ත්‍රෝට අන්දන්න හාස්‍යජනක වෑයමක නියුතු වී සිටියා.ගෝලීය ධනවාදය කෙනිත්තුවේ කැස්ත්‍රෝලා පමනක් නෙමෙයි.අන්ත ප්‍රතිගාමී ඒකාධිපතීන් වන මුගාබේ හා බුරුම ජුන්ටා නිලධාරින් වැන්නන් හා මූලධර්මවාදී ඇ‍ෆ්ගනිස්තාන පාලකයන් වැන්නන් පවා ගෝලීය ධනවාදය අඩු වැඩි වශයෙන් කොනිත්තා තියනවා.මේ නිසා ගෝලිය ධනවාදයේ කෙනිත්තීමෙන් "වීරකම" මනින්න යාම ‍මුග්ධ ප්‍රවේශයක්.
අමරිකානු අධිරාජ්‍යයේ වෙලදපොල සිහිනය සහ ප්‍රතිගාමි පවුල් ආඥාදායකත්වයකට මායිම් වෙමින් ලංකාවේ දේශපාලන සිතියම ඇදෙමින් තියනවා.මේ පවුල් ආඥාදායකත්වය කොයි මොහොතක හෝ වෙලදපොල සිහිනය සමග සන්ධානගත වීම සිදුවන්නත් පුලුවන්.නොවන්නත් පුලුවන්.මේ දෙකෙන් කවරක් වුනත් ලංකාවේ පොදු සමාජයට ඉන් යහපතක් හෝ ගැලවිමක් ලැබෙන්නෙ නැහැ.                      
මේ නිසා ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදි ආන්ඩු විරෝධී ව්‍යාපාරයක් වර්ධනය විය යුතුව තිබෙන්නෙ මේ මායිම් දෙක අතර මැදින් මේ මායිම් දෙකටම එරෙහිව බ‍ව අවසන් වශයෙන් සටහන් කල යුතුයි.

6 comments:

  1. කාලයකට පසු රාමචන්ද්‍ර එකඟ විය හැකි යමක් ලියා තිබේ. රාජපක්ෂ අනුගමණය කරන ආර්ථික ක්‍රමය ධනවාදය නොවන බව ඔහුට පමා වී හෝ අවබෝධව තිබේ. එසේම රාජපක්ෂ විසින් මෑත අනාගතයේ මුහුණ දිය යුතු දරුණුතම අභියෝගය "ණය බර" (වඩාත් පුළුල්ව කියතිත් ආර්ථික කළමණාකරණය) බව හඳුනා ගැන්මද නිවැරදිය. මේ ගැන මට වෙනම කියැවීමක් ඇතද, නිරීක්ෂණ සම්බන්ධයෙන් එකඟ වෙමි.

    ReplyDelete
  2. රාමා; හොඳ පෝස්ට් එකක්. සම්ප්‍රදායික නොවෙන මූල්‍ය සහයෝගය ගැන තමයි මේ විස්වාසය තියලා තියෙන්නෙ. මෙතනදිත් චීනය හා ඉන්දියාව හප්පවා වැඩේ ගොඩ දාගන්න උත්සාහ කරන ගතියක් තමයි පෙනෙන්නේ. පැලැස්තර කීපයක් අලවා ගන්නවා විනා වෙන උපායමාර්ගික සැලැස්මක් නැති අවස්ථාවක මෙයාලා යුද උපක්‍රම ආර්ථික උපක්‍රම වෙනුවට යොදාගන්න හැටි බලා ඉන්න ජොලි වැඩක් වෙයි.

    ReplyDelete
  3. රාමා,මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මැදමුලන හන්දියේ චන්ඩි පාට් ලෝකෙට පෙන්නන්න යාමයි.විශ්වයම එකම ගම්මානයක් කියන කාරනාව වරදවා වටහා ගෙන තිනේනේ.ප්‍රභාකරන් මරපු එක ලංකාවේ ගොත්‍රිකයින්ට මාර සීන් එකක්,වීරක්‍රියාවක් වුනාට ලෝකෙට ඒක මාර සීන් එකක් නෙවෙයි.ලංකාව කියන දුපතට වෙලා හෙල උරුමේ සිංහලෙන් ගිරිය කඩාගෙන කෑගැහුවට වැඩක් නෑ.ඒක ලංකාවේ ගෝත්‍රික දේශප්‍රේමීන්ට දෙන ආතල් එකක් විතරයි.මොකද බෑන් කී මූන්ට සිංහල තේරෙන්නේ නෑ.මේකයි ඇත්ත.ලංකාවේ ගෝත්‍රික දේශප්‍රේමීන් හැමදාම වලිගේ පාගගෙන කැරට් කනවා.ඔච්චර දේශයගැන කැක්කුමක් තියෙනව නම් ඇයි බෝම්බයක් බැදගෙන කොටි කදවුරකට පැන්නෙ නැත්තේ ඒකාලේ.මේ ඔක්කොම කරන්නේ බොරුව,ගොඩක් උන් දේශප්‍රේමීන් කියල කියාගන්නෙත් Trend එකට.
    දං කොහොමහරි කෙළවගෙන ඉවරයි.දැං මහින්දට ඉන්නේ ප්‍රභාකරන් මරපුවෙලාවේ කිරිබත් කාපු ගෝත්‍රිකයෝ ටික විතරයි.උන් දන්නේ කවුරුහරි මෙනව හරි කළාම හුරේ දාන්න,කිරිබත් කන්න විතරයි.සංවර්ධනයේ දිශානතිය ගැන උන් මෙලෝ හසරක් දන්නේ නෑ.දැං මහින්ද තනිවෙලා (අඩුම ගානේ මොළ් තියෙන ගෑණියෙක් වත් හිටියනම්)ගැලරියේ සෙට් එක අරෙහෙ විසිල් ගහල හුරේ දාන්න බලා ඉන්නවා.ඒත් චිත්‍රපටියේ චණ්ඩියා දිනන සටන් ජවනිකා ඉවරයි.
    දැං වීරයාට කෙළවෙලා පිටපත වෙනස් කරලා කිලිනොච්චියේ කැබිනට් සීන් එකක් දාලා ගැලරියට ආතල් දෙන්න හදන්නේ ලගදිම ගැලරිය වීරයාට හු කියන බව දන්න නිසා.

    ReplyDelete
  4. JVP එකේ ආණ්ඩු සිහිනය උඩින් දශක හතරක් තිස්සෙ පාවෙන කලු වලාකුලු ගැනත් රාමචන්දු ලියයි ද?

    ReplyDelete
  5. රාමචන්ද්‍ර ලියන බොහෝ දේවල...ලොකූ ඇත්තක් තියෙනවා....කොහොමවුණත් මම තමයි රාමචන්ද්‍රගේ සියවෙනි follow කරන්නා...

    ReplyDelete
  6. @ අරවින්ද රත්නායක,
    '(අඩුම ගානේ මොළ් තියෙන ගෑණියෙක් වත් හිටියනම්)..'
    මේක ලංකාවේ සාමාන්‍ය කතාබහ ඇතුලේ තියෙන ජෙනුයින් කෑල්ලක්. ඒක මෙතෙන්ට ඇප්ලයි වෙන එකේ හිතන්ඩ දෙයක් තියෙනවා වගේ.

    ReplyDelete