Thursday, June 24, 2010

වාසුදේව නැමැති නගුට විසින් රාජපක්ෂ නැමැති බල්ලා වනන්නට යාම


චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය 2000 වසරේදි ඉදිරිපත් කල ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය ගැන පාර්ලිමේන්තු විවාදය තවත් එක පාර්ලිමේන්තු විවාදයක් නොවී විශේෂ අත්දැකීමක් වුනේ රූපවාහිනිය හරහා එය දැක බලා ගැනීමට සමාජයට අවස්ථාව ලැබුන නිසා.තමන් චන්දය දී දියවන්නාවෙන් එතෙර කරන නියොජිතයන්ගේ කියුම් කෙරුම් පිලිබද අවබෝධයක් නැති පොදු සමාජයට මේ අත්දැකීම මතකයේ තිබෙන අත්දැකීමක් වූවාට සැකයක් නැහැ.
මෙම විවාදයේදී වාර්ගික ප්‍රශ්නයට විසදුම් දීම නමැති ලස්සන දවටනය යට සැගව තිබෙන යෝජනාවලියේ ඒකාධිපති ලක්ෂන නිර්දය ලෙස විවේචනය කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස වාසුදේව නානායක්කාර කරන ලද ප්‍රහාරාත්මක කතාව මෙම ලියුම්කරු එදාමෙදා තුර අසා තිබෙන ව්‍යක්තම කථා කිහිපයෙන් එකක්.
වාසුදේව නානායක්කාර 1994 දී පාර්ලිමේන්තුවට තේරී පත්වුනේ පොදුජන එක්සත් පෙරමුනේ මන්ත්‍රීවරයෙක් ලෙස.නමුත් චන්ද්‍රිකා කුමාරතුංග 94 දී ප්‍රකාශ කරන්නට යෙදුන ප්‍රතිපත්ති වලින් ඇගේ රෙජිමය ඉවතට යාම ප්‍රශ්න කරමින් තනි මන්ත්‍රීවරයෙක් ලෙස නානායක්කාර විපක්ෂයේ අසුන් ගන්නව.තමුන්ගේ විවේචනයට ලක්වුන එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ නොවන හෙතෙම ස්වාධීනව එවකට පැවති ආන්ඩුවේ අධිකාරිවාදී හැසිරීම දිගට හරහට ප්‍රශ්න කරනවා.වරප්‍රසාද හා වාසි සදහා පිල් මාරු කිරීමේ අපකීර්තිමත් ඉතිහාසයක් සහිත පාර්ලිමේන්තුව නැමැති චෞර ගුහාවේ ප්‍රතිපත්තිමය ප්‍රශ්න උඩ කිසිදු ප්‍රතිලාභයක්‍ නොතකා ආන්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ වාඩි වීම් ඉතාම දුර්ලභයි.ඒ අතරින් නානායක්කාරගේ පිල් මාරු කිරීම එවකට කැපී පෙනුනා.

වියපත් වාසුදේව නානායක්කාරගේ වෙහෙ‍සබර මුහුන ලියුම්කරු ඊයේ රූපවාහිනි විවාදයකදී දුටුවේ කාලෙකට පසුව.2000 වසරේදී මැතිවරනයෙන් පරාද වූවාට පසු පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවතට විසිවුන නානායක්කාර 2005 දී රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මැතිවරන සටනට සහය දක්වනු ලැබ ජනාධිපති උපදේශක තත්වයකට පත්කරනු ලැබුවා.මෑතකදී දෙන ලද ආන්දෝලනාත්මක ශ්‍රේෂ්ඨාධිකරන තීරනයක් වූ රක්ෂන සංස්ථාව පෞද්ගලිකකරනය කිරීමේ මගඩිය පිලිබද නානායක්කාර එ චොක්සි නැමැති නඩුවේ පෙත්සම්කාර පාර්ශවය වූයේ වාසුදේවයි.ජනාධිපති උපදේශක ලෙස හේ ජනාධිපතිට මොන මොන උපදේශ දුන්නාදැයි අපි දන්නේ නැහැ.උපදෙස් දුන්නත් ඒවා සත පහකට ජනාධිපති ගනන් ගත්තාද යන්නත් සැක සහිතයි.අවතැන් කදවුරු වල තත්වය පිලිබද හා ඒවාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇතුලු වීමට අවසර නොදීම ගැන වසරකට පමන ඉහතදී දැඩි විවේචනාත්මක අදහස් දැක්වීමක් කලත් ජනාධිපති ඒ ගැන ස්වකීය ප්‍රතිපත්තිය දශමයකිනුදු වෙනස් නොකල නිසා නානායක්කාරගේ උපදේස ගැන ජනාධිපතිට තිබුන තක්සේරුව සිතා ගැනීම අපහසු නැහැ.කෙසේ වෙතත් 2010 මැතිවරනයට ඉදිරිපත් වන නානායක්කාර රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නැවත පාර්ලිමේන්තු වරම් ලබන අතර වසර දහයකට පමන පසු දැන් නැවත අපට ඔහුගේ මුහුන රූපවාහිනියෙන් පෙනෙන්නට පටන් අරගෙන තියෙනවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ප්‍රගතිශීලියෙක් බවත් මේ ආන්ඩුව වමට බර මධ්‍යස්ථ ආන්ඩුවක් බවත් ඊයේ රූපවාහිනියෙන් වාසුදේව ප්‍රකාශ කිරීම සමග ඉතිහාසය පිලිබද මාක්ස්ගේ පැරනි අදහසක් අපට මතක් වෙනවා.
එකම සිදුවීම නැවත නැවතත් වේ නම් එය පලමුව ඛේදවාචකයක් ලෙස හා දෙවනුව හාස්‍යජනකයක් ලෙසිනි.
"සමාජ ප්‍රජාතන්ත්‍රවාදී" "වමට බර" ආන්ඩුවක් ශ්‍රීලනිපය සමග සැදීමේ වාසුදේවගේ මෙම තියරිය 94 මැතිවරන වේදිකා වල ගිගුම් දුන් තියරියක් වුනා.චන්ද්‍රිකා කුමාරතුංගට 94 දී සහය පලකිරීමේදී හෙතෙම ඉදිරිපත් කල "න්‍යායික" තර්කය වූයේ මේ හදන්නේ අධිරාජ්‍ය විරෝධී ප්‍රගතිශීලි ආන්ඩුවක් බවයි.ශ්‍රීලනිපය ධනපති පක්ෂයක්ය යන්න පිලිගන්න ගමන් තමන් වගේ වාමාංශික කන්ඩායම් ඇතුලේ හිදිමින් බලපෑම් කරමින් එය ප්‍රගතිශීලි මාවතේ ඇදගෙන යාමට සටන් කල යුතුය යන තර්කය මත අතීතයේ වාසුදේව ක්‍රියා කලා.
94 දී කරන්න බැරි වුන දෙය දැන් 2010 රාජපක්ෂ සමග කරන්න වාසුදේව උත්සාහ කරමින් ඉන්නවා යැයි කියනවා.නමුත් අවාසනාවකට වගේ වියපත් වාසුදේව අද මුහුන දෙන දේශපාලන වාතාවරනය 94ටත් වඩා ඛේදජනකයි.

1994 බලයට එන කුමාරතුංග අඩුම තරමින් තමුන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් වලට සූදානම් බව නාමිකව හෝ ප්‍රකාශ කල තැනැත්තියක වූවා.කොන්සර්වැටිව් ලක්ෂන සහිත විධායක ජනාධිපති බලය වසරක් තුල අහෝසි කරන්න ඇය පොරොන්දු වුනා.නව ලිබරල් විවෘත ආර්ථිකයට මානුෂික මුහුනුවරක් දීමට ඇය ප්‍රතිඥා දුන්නා.ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදී විදිහට විසදන බවට ඇය අනිත් අතට දිවුරුවා.
අන්තිමේදී මේ සියලුම දේවල් ඛේදනීය ලෙස නිමා වුන අතර පසුගාමී ධනේශ්වර සංවර්ධනයක් තියන ලංකාව වගේ රටක ධනපති පාලනයක් යටත් වන අනිවාර්ය සීමා මොනවාදැයි චන්ද්‍රකා කුමාරතුංග ප්‍රායෝගිකව සනාථ කලා.ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන ලෙස තමුන් පොරොන්දු වූ එකක්වත් ඉටු කිරීමට නොහැකි වීම කුමාරතුංගගේ පුද්ගලික ප්‍රශ්නයකට වඩා ඇය නියෝජනය කරන සමාජ පංතියේ අසාර්ථකභාවය පිලිබද සංකේතයක්.ඒකාධිපති විධායක බලය ඉවත් කෙරුනේත් නැහැ.එජාපයේ කොල්ලකාරී ආර්ථික පිලිවෙත වෙනස් වුනේත් නැහැ.ජාතින්ගේ ප්‍රශ්නය ප්‍රජාතාන්ත්‍රික ලෙස විසදෙනවා වෙනුවට අවසානයේ දරුනු ධ්‍රැවීකරනයක් දක්වා එය තල්ලු කරමින් චන්ද්‍රකා විශ්‍රාම ගියා.

කෙසේ නමුත් 2010 බලයට පත්වන රාජපක්ෂ යනු අඩුම තරමින් චන්ද්‍රිකා වගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන ගැන වාචිකව නිකමට හෝ කතාකල අයෙක් නෙමෙයි.වසර දහයකට පසු වාසුදේව නානායක්කාර "වමට බර" ආන්ඩුවක් හදන්න යන්නෙ එවැනි අයෙක් එක්කයි.දේශපාලන තලයේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම නොව ඊට තිබෙන අවම සීමා වන ධූර කාලය දැරීමේ සීමාව වගේ සීමා වලට පවා පයින් ගසන දක්ෂිනාංශික ස්වරූපයේ හැසිරීම් පෙන්නන,දැන් යුද්දෙ ඉවරයි ඔයාල ඇවිත් හිතේ හැටියට බිස්නස් කරන්න කියල ගෝලීය ධනවාදයට ඉන්විටේෂන් යවමින් සිටීම ස්වකීය ආර්ථික ප්‍රතිපත්තිය කරගත්ත,තමුන් ටෙලිප්‍රොම්ප්ටරයෙන් දෙමල කතාකරන නිසා ජාතින්ගේ ප්‍රශ්නය විසදී ඇතැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන වත්මන් පාලකයා සමග එක පෙලට හිටගන්න නානායක්කාර හෙතෙම "ප්‍රගතශීලි" නායකයෙක් ලෙස හදුන්වද්දී කනගාටුවක් වෙනුවට තරමක හාස්‍යයක් ඇතිවෙනවා.
94 දී චන්ද්‍රිකා ප්‍රගතශිලි නායකයෙක් කියල නානායක්කාර කියද්දි අඩුම තරමින් ඒක සමාන වුනේ ගාමිනී ෆොන්සේකා වගේ නලුවෙක් වූඩි ඇලන්ට සමාන කිරීමට.ගාමිනී ෆොන්සේකාට වූඩි ඇලන් සමග හැරෙන්නටවත් බැරි බව අපි දන්නවා.නමුත් එහෙම සැසදීමක් අඩුම තරමින් සලකා බැලිය හැකි මට්ටමේවත් තියනව.නමුත් අද මහින්ද රාජපක්ෂ ප්‍රගතශීලි නායකයෙකි ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තියකි කියල නානායක්කාර කියනකොට ඒක සමාන වෙන්නෙ පිංපොං හරි කෝපික‍ඩ් අබිලිං හරි වගේ නලුවෙක්ව වූඩි ඇලන්ට සමාන කිරීමට.සැසදීම එනයින්ම හිනා උපදවන සුලුය.

වාසුදේව නානායක්කාර වූ කලී ප්‍රතිසංස්කරනවාදී වාමාංශිකයෙක්.එනම් වාසුදේව කවදාවත් විප්ලවවාදියෙක් වුනේ නැහැ.කෙතරම් රැඩිකල් හැසිරීම් පෙන්නුම් කලත් තමන්ගේ ගුරු පක්ෂය වූ සමසමාජය වාගේම නානායක්කාර භාවිතයේදී ප්‍රතිසංස්කරනවාදියෙක් වුනා මිස විප්ලවවාදී දේශපාලනයක් කලේ නැහැ.
මේ කතාකරන විප්ලවවාදී දේශපාලනයයි ප්‍රතිසංස්කරනවාදයයි අතර වෙනස මොකක්ද?
විප්ලවවාදය පවතින ක්‍රමයේ සම්පූර්න වෙනසක් ඉල්ලනවා.ඒ කියන්නෙ අන්ඩ දමල අතරින් පතර සංශෝධන කිහිපයක් කරල සමාජය ඉදිරියට ගෙන යා නොහැකි බවත් සිස්ටම් එක පදනමින්ම මූලික වශයෙන් වෙනස් කිරීමකින් මෙහා සමාජ ප්‍රගතිය දිනාගැනීම කල නොහැක්කක් බවත් විප්ලවවාදී දේශපාලනය කල්පනා කරනවා.ප්‍රතිසංස්කරනවාදය ඊට වෙනස්ව පවතින ක්‍රමය එක්ක සහයෝගයක් යෝජනා කරනව.තියෙන ක්‍රමය සමග යම් ආකාරයක විවේචනතාත්මක සෙට් වීමකින් ප්‍රගතිය හා සමාජ සාධාරනත්වය දිනාගැනීමක් කෙරෙහි ප්‍රතිසංස්කරනවාදී දේශපාලනය යොමුවෙනවා.
ශ්‍රීලනිපය කියන වැඩවසම් ලක්ෂන සහිත ධනේශ්වර පක්ෂය සමග සෙට් වීමෙන් සමාජවාදී වෙනස්කම් කරන්න පුලුවන් බව සමසමාජ පක්ෂය 70 ගනන්වලදී විශ්වාස කලා.අන්තිමේදී ෆිලික්ස් බන්ඩාරනායක 75 දී නව ලිබරල් ධනවාදයේ මූලික පදනම දැම්මා විතරක් නෙමෙයි එන්.එම්.පෙරේරාගේ පක්ෂය එක රැයක් තුල අධෝමුඛයට පයින් ගසා ආන්ඩුවෙන් එලවනු ලැබුවා.චන්ද්‍රිකා නැමැති ධනේශ්වර නායිකාව වෙත බලපෑම් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් කරන්න ඇගේ ආන්ඩුව‍ යොමුකරගන්න පුලුවන්ය කියල වාසුදේව ඇතුලු පිරිස් 94 දී අවංකව කල්පනා කලා.නමුත් ඇනගන්නවා සහ සිහින බොදකරගෙන කිච වෙලා ගෙදර එනවා මිස වෙන ප්‍රතිඵලයක් මේ කිසි අවස්ථාවක ලැබෙන්නේ නැහැ.
ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම්වත් කරගන්න බැරි තරමට ලංකාව වගේ රටවල දේශීය ධනපති පංතිය අසමර්ථයි.දුර්වලයි.මේ දියාරු බුද්ධිහීන ගොබ්බ ධනපති පංතියෙන් පසුගාමීත්වය මිස වෙනකක් අපේක්ෂා කරන්න බැහැ.මොවුන් සමග සෙට් වී විප්ලව කොරන්න ගොස් ඇනගත්ත ඇස්රතුකරගත්ත ජීවිතේ එපාකරගෙන ගෙදරට ගාල් වුන හෝ ඇමතිකමකට ගොඩ වුන අතීත වාමාංශිකයන් නැවත නැවතත් කියාදෙන පාඩම එයයි.

විධායක ජනාධිපතිධූරය අහෝසි නොකර එහි වාර සංඛ්‍යාව අසීමිත කිරීමේ රජයේ පලමු ව්‍යාපෘතියට වාසුදේව නානායක්කාර පසුගියදා විරෝධය පල කර තිබුනා.වහාම ප්‍රතිචාර දක්වන වාසුදේවගේ ප්‍රගතශිලි ජනාධිපති කැබිනට් රැස්වීමකදී එන්ජීඕ ආධාර ලබන වම්මුන්ට දැඩි ලෙස අනතුරු හගවා තිබුන බව ඒ සමගම පුවත්පත් වාර්තා කලා.
නානායක්කාරට නටන්නට පුලුවන් වෙන්නේ ඔහුව බැද තබා ඇති කඔය දික්වන වපසරිය දක්වා පමනයි.ඕනෙවට වඩා නටන්න ආවොත් ජනාධිපති තමන්ට කල හැකි දේ ගැන සංඥාවකුයි ඉහත කී කැබිනට් රැස්වීමේදි ලබා දෙන්නේ.වාසුදේව වැනි පසුපෙල මන්ත්‍රී කෙනෙක්ට වඩා ආන්ඩුවේ හෙන පොරවල් වුන මංගල සමරවීර වැන්නවුන්ට අත්වූ ඉරනම විසින් ජනාධිපති දුන් කඹය කඩාගෙන යාමේ භයානක විපාක කවරක්දැයි පෙන්වා දෙනවා.

මේ නිසා 2010 නැවත පාර්ලිමේන්තුවට ගොඩ වූ වියපත් වාසුදේවට දැන් විකල්ප දෙකක් ඉතිරි වෙලා තියෙනවා.එක්කෝ තවත් වීරවංශ කෙනෙක් වීම,ප්‍රතිපත්ති පැත්තකට දමා වලව්වේ දර පලන්න සෙට් වීම එක විකල්පයක්.වලව්වෙ බලය තියෙන්නෙ හාමුට.වාසුදේවලා වගේ වැඩට ගත්ත ඈයොන්ට වලව්ව හම්බවෙන්නෙත් නැහැ.ඒක වෙනස් කරන්න ලැබෙන්නෙත් නැහැ.මේ නිසා වලව්ව වෙනස් කිරීමේ මනෝරාජික සිහිනයෙන් ඉවත්වෙලා වීරවංශ කොලුවා මෙන් දර පලාගෙන දෙන දෙයක් කාල හම්බෙන පැදුරක නිදාගන්න වාසුදේව පුරුදු වියයුතුයි.
නැතිනම් 90 ගනන් වල කලා මෙන් - තමුන්ට කිසිදු ප්‍රතිලාභයක් නොලැබුනත් - වලව්වෙ හාමුගේ මූනට කෙල ගසා අප්‍රසාදය පල කොට ආත්ම ගෞරවය රැකගෙන වලව්වෙන් පිටවී ආ යුතුයි.

වාසුදේව නානායක්කාරගේ ප්‍රතිසංස්කරනවාදී ප්‍රවේශය ගැන විවේචනයක් පැවතියත් මෙම වියපත් දේශපාලකයාගේ අවංකබව පිලිබද සාධාරන ඇගයුමක් ලේඛකයා තුල තිබෙනවා.දර පලනව වෙනුවට හාමුගේ සුප් එකට මූත්‍ර කොට නම්බු පිටින් අස්වී ගෙදර ඒමේ අවස්ථාව යෝජිත ව්‍යවස්ථා සංශෝධනය විසින් වාසුදේව නානායක්කාරට ලබා දී තියෙනව.
නානායක්කාර ! හෘද සාක්ෂිය සහිත පැරනි පරම්පරාවේ දේශපාලනය තවම ඔබ තුල ජීවත් වන්නේද?
මේ එකොලොස් වන පැයේදී හෝ තොප අනෙකෙක් නොව පැරනි වාසුදේව නානායක්කාරම බව සනාථ කල හැකිද?

2 comments:

  1. පක්ෂ පහේ වමේ සන්ධානයේ කට්ටිය මේ වන විට මුහුණ දී තිබෙන අනතුරක් තමයි, ජාත්‍යන්තර වශයෙන් ඔවුන්ට තිබුණු පිළිගැනීම සම්පූර්ණයෙන් ම අහිමි වී තම දරුවන්ට ලියා දෙන්නට තිබුණු ව්‍යාපාර වන කොමියුන්ස්ට් පක්ෂය වැනි සමාගම් බංකොලොත් තත්වයට පත් වීම. එහි ප්‍රතිඵලයක් ලෙස විදෙස් ආධාර හා සංචාර ආදිය අහිමි වන්නත් පුළුවන්. අනෙක කර බාගෙන හිටියොත් මහින්ද සමග මේ සන්ධානය මේ අයගේ දේශපාලනයේ අවසන් හෝරාව වන බව ඔවුහු දන්නවා. හිටි ගමන් මේ සෝඩා බෝතල කඩාගෙන අවදි වීමේ රහස ඒකයි.
    -W3Lanka

    ReplyDelete
  2. එක්කෝ මිටිය විය යුතුය, නැත්නම් කිණිහිරිය විය යුතුය. වාසුට මේ දෙකෙන් එකක්වත් විය නොහැක.

    කල් ඉකුත් වූ භාණ්ඩයන්ට අනුකම්පා කළ මැනව.

    shan - bumuthurunu

    ReplyDelete