Wednesday, June 16, 2010

අවවාදයයි - බලයෙන් උමතු වීම මාරාන්තික රෝගයක් විය හැකිය




නියමිත ව්‍යස්ථා සංශෝධනය ගැන සමාජය ඉදිරියේ අදහස් දක්වමින් එය ආරක්ෂා කරන්නේ ව්‍යවස්ථා විශාරද ජී එල් පීරිස් නොව ජනාධිපතිවරන දිනයේ විපක්ෂ අපේක්ෂකයාගේ පුරවැසිකම හා චන්ද අයිතිය ගැන අදහස් දක්වා තමන්ගේ ව්‍යවස්ථා විශාරදතාවය පෙන්නුම් කල විමල් වීරවංශය.සමහර විට දේශපාලනයට ඒමට පෙර විශිෂ්ට නිතිවේදියෙක් ලෙස ශාස්ත්‍රිය තලයේ ලද ශික්ෂනය මත ලජ්ජාව කියන එකෙන් ඇබින්දක් හෝ පීරිස් තුල ඉතිරි වී ඇතිවා විය යුතුය.කොලඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ධූරයේ සිට නාමල් රාජපක්ෂ නම් දේශපාලන කෝඩුකාරයාගේ ටියුෂන් මාස්ටර් වීමේ ලජ්ජාසහගත ඉරනමට ලක්ව සිටින පීරිස් මහතා තුල ආත්ම ගෞරවය ගැන අවම හෝ හැගීමක් ඉතිරි වී ඇත්නම් එය සතුටට කරුනකි.

දැනට හෙලිදරවු වී තිබෙන කරුනු මත යෝජිත ව්‍යවස්ථා සංශෝධනය කරුනු තුනක් මත පදනම් වේ.
පලමුව ජනාධිපතිධූරය දැරිය හැක්කේ වාර දෙකක් විතරයි යනුවෙන් ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන සීමාව (31.2 වගන්තිය )ඉවත්කර ගැනීමට රජය අපේක්ෂා කරයි.
දෙවනුව 17 වන සංශෝධනයෙන් පිහිටුවා තිබෙන ව්‍යවස්ථාදායක සභාවට නියෝජිතයන් පත්කිරීම ජනාධිපති සතු බලයක් බවට පත්කරගැනිමට ද
තෙවනුව ජනාධිපති මාස තුනකට වරක් පාර්ලිමේන්තුවට සහභාගි විය යුතු යැයි නියමයක් ඇතුලත් කිරීමටද රජය ඉලක්ක කරයි.
මේ යෝජනා තුනෙන් වැදගත් යෝජනා ලෙස ගන්න පුලුවන් පලමු යෝජනා දෙක විතරක් වන අතර තෙවැන්න පලමු යෝජනාවල බරපතලකම වසා ගැනීම සදහා යොදන ලද හාස්‍යජනක උප්පරවැට්ටියක් පමනි.

ලංකාවේ විධායක ජනාධිපතිධූරය අසීමිත බලයක් සහිත පදනමින්ම ප්‍රජාතන්ත්‍ර වි‍රෝධී ආයතනයක් බවට විවාදයක් තිබිය නොහැක.අද වන විට මෙම ධූරය නිසා පාර්ලිමේන්තුව යන්න හුදු කෝලම් මඩුවක් පමනි.පසුගිය දා දෙරන රූපවාහිනියේ තිබූ දේශපාලන වැඩසටහනකදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්නමාලිගෙන් බර මාතාකා ගැන දිගට හරහට එහි නිවේදිකාව ප්‍රශ්න කල අතර ස්වර්නමාලි ඒ කිසිවක් ගැන දැන නොසිටියාය.ඇත්තටම නාමල් රාජපක්ෂ නැමැති දේශපාලන බබා සහ උපේක්ෂා කියන දේශපාලන බබා අතර එතරම් වෙනසක් නැත.තිබෙන එකම වෙනස පලමුවැන්නා මෙන් දෙවැන්නිය වරප්‍රසාද ලත් තැනැත්තියක නොවීමත්,පලමුවැන්නා සතු කපටි මනස දෙවැන්නිය සතුව නොතිබීමත් පමනි.කෙසේ වුවත් වැඩසටහන බැලූ ඇතැමුන් මෙවැනි දැනුමක් නොමැති අයට පාර්ලිමේන්තුව නියෝජනය කල හැකිදැයි විමසා සිටියහ.නමුත් ඇත්තටම වර්තමාන සන්දර්භය තුල එය ගැටලුවක් නොවේ.මන්ද පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට "දැනුමක්" තවදුරටත් අවශ්‍ය නොවීමයි.ඒ සදහා දැනුමක් අවශ්‍ය තීරන ගනු ලබන්නේ එතැනින් නම්ය.නමුත් අද විධායක ජනාධිපතිධූරය ඉදිරියේ පාර්ලිමේන්තුව හිස් කෝම්බයකි.එහි එකම වැදගත් කාර්යය වසරකට පාරක් අය වැයට අත ඉස්සීම පමනි.සියලු තීන්දු තීරන ජනාධිපති හා ඔහුට සමීප කවයක් විසින් ගනු ලැබෙන අතර මහජනතාවගේ මුදලින් ගෙවන වැටුප් භක්ෂනය කරමින්,විකාර කතා කියමින් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ඔහේ පසුවෙති.

ජනතා නියෝජිතයන් සහිත පාර්ලිමේන්තුව ශක්තිමත් කෙරෙන ආකාරයට සහ ජනාධිපතිධූරය සතුව තිබෙන අසිමිත බලය පාලනය කෙරෙන ආකාරයට රටේ දේශපාලන ව්‍යුහය වෙනස් විය යුතුය කියන අදහසට සෑහෙන ඉතිහාසයක් ති‍බේ.මේ ඉතිහාසය එන්.එම්.පෙරේරා ලියූ ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිලිබද විවේචනාත්මක කාතියේ සිට විදි වල හැලුනු ලේ,පත්තු වුන වෙඩි උන්ඩ අතරින් ගලා එන අතිශය අප්‍රසන්න මතකයන් සහිත ඉතිහාසයකි.විනෝදජනක කරුන නම් අද විධායක ජනාධිපතිධූරයේ බලතල අඩු කරනු‍ වෙනුවට එය වඩ වඩා ශක්තිමත් කිරීම සදහා යෝජනා ඉදිරිපත් කරන්නේ කාලෙකට ඉහත එම ධූරයම පතුරු ගැසූ,ඒ වෙනුවෙන් පෙනී සිටි උදවිය වීමයි.
වත්මන් ජනාධිපති 2005දි සිය පලමු ධූර කාලය තුල මෙම "භයානක" ධූරය අහෝසි කරන බවට මහා සංඝරත්නය ඉදිරියේ ශපථ කල අයෙකි!ව්‍යවස්ථා විශාරද වීරවංශ කලක් මෙහි ඒකාධිපති ස්වරූපය දැඩිව විවේචනය කල ප්‍රකාශකයෙකි.සංශෝධන කෙටුම්පත් කරන පීරිස් වූ කලී විධායක ක්‍රමයේ දාහත් වසරක ශාපය පිලිබද විනාඩියෙන් විනාඩිය කතාකල එය අහෝසි කිරීමට දිවුරා පොරොන්දු වූ එවකට පොදුජන එක්සත් පෙරමුනු ආන්ඩුවේ ව්‍යවස්ථා සම්පාදකයාය.

ජනාධිපති ධූරය දෙවරකට සිමා කරන්නෙ ඇයි?ජනතාව කැමති නං ඕනෙ තරමක් එකම කෙනා පත්වුනාම මොකද?ඒකනෙ ජනතා පරමාධිපත්‍යය කියන්නෙ ආදී වශයෙන් වීරවංශ ප්‍රමුඛ කථිකයන් රැල මෙම සංශෝධනය "ප්‍රජාතන්ත්‍රවාදි " ලෙස අර්ථ නිරූපනය කරන්නට උත්සාහ කරන්නේ මේ අතරය.
ලංකාව වැනි රටකට ප්‍රජාතන්ත්‍රවාදය යනු අහසින් කඩාගෙන වැටුනු දෙයකි.යු‍රෝපයේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය රාජාන්ඩු හා රජවරු සමග හැපී,ජීවිත පූජා කොට එම සමාජයන් දිනාගත් ඒවා වේ.මේ නිසා ජනතා පරමාධිපත්‍යය වැනි සංකල්ප සම්බන්ධ අගයක් වටිනාකමක් එම සමාජවල පවතී.නමුත් උත්තරාරෝපිත ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ලංකාව වැනි සමාජයකට ජනතා පරමාධිපත්‍යය සහ රුපියල් දොලහේ කඩල ගොට්ටක් අතර එතරම් වෙනසක් නැත.වීරවංශ වැන්නන්ට මේ සම්බන්ධ විහිලු සැපයීමට අවස්ථාව ලැබි තිබෙන්නේ මේ නිසාය.
ලෝකයේ ජනාධිපති ආන්ඩු ක්‍රමය තිබෙන ඕනෑම රටක ධූර කාලය සම්බන්ධ සීමාවක් පනවා තිබෙන්නේ එම ධූරය සතු බලතල වල පරාසය සම්බන්ධ සීමාවක් වශයෙනි.එක්සත් ජනපදයේ ඇත්තටම මුලදි මෙවැනි සීමාවක් නොතිබුනි.ජනාධිපති ධූරය දැරිය හැක්කේ දෙවරක් පමනි යන්න වසර සිය ගනනක් එරට පැවතුනේ සම්ප්‍රදායක් ලෙසිනි.කෙසේ නමුත් රූස්වෙල්ට් ජනාධිපති එම සම්ප්‍රදාය නොතකා තෙවන වරට ජනාධිපති බවට පත්වූවාට පසු ව්‍යවස්ථාපිතවම එවැනි සීමාවක් කොංග්‍රස් මන්ඩලය විසින් පනවන ලදී.ජනාධිපතිට ලැබෙන අති විශාල බලය මත ධූර කාලය තුල ඔහු හා සම්බන්ධ බල කල්තරයක් (cult) නිර්මානය වන බව පැහැදිලිය.ලංකාව වැනි අධිකරනයේ පාලනයට හෝ යටත් නැති බලගතු ධූරයක් සම්බන්ධයෙන් මෙය වඩාත් සත්‍යය වේ.මෙවැනි කල්තරයක් අතට අසිමිත ලෙස දිගින් දිගටම බලය ලැබෙන්නට පටන් ගැනීම අවසානයේ ඇතිකරන්නේ විකාති ප්‍රතිඵලයකි.මේ සදහා විදේශ උදාහරන අවශ්‍ය නැති අතර මෑතකාලීන ලංකාවේ ආන්ඩු වල චලිතය දෙස බැලූ පමනින් මෙහි සත්‍යය පසක් වනු ඇත.

අද ආධිපත්‍යය හොබවන රාජපක්ෂ පවුල යනු විධායක බලයේ අනුහසින් පුම්බනු ලැබූ පවුලකි.රාජ්‍ය අයවැයෙන් 70 % ක් පමන එක පවුලක් වටා සංකේන්ද්‍රනය වීම සිනා විය යුතු තත්වයක් නොව කලබල විය යුතු තත්වයකි.ව්‍යවස්ථාවේ 44.2 විධානය යටතේ අමාත්‍යංශ තමන් අතට පවරා ගැනීමට තිබෙන බලය යොදාගෙන සියලු වැදගත් අමාත්‍යංශ තමන් අතට ජනාධිපති විසින් ලබාගෙන තිබේ.හතලිස් ගනනක් ඉක්මවන ඇමතිවරු වූ කලි හිස් පඹයන් පිරිසකි.
මුදල් බලය පාර්ලිමේන්තුව සතු විය යුතුය යන අදහස නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ පාදීය ශික්ෂාවකි.එන්.එම්.පෙරේරා අන්තිම අන්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමයට තිබෙන එකම සංවරනය ලෙස දුටුවේ පාර්ලිමේන්තුව සතුව මුදල් බලය තිබිය යුතුයි යන ව්‍යවස්ථාවේ 148 වගන්තියයි.නමුත් මුදල් අමාත්‍යංශය තමන් අතට පවරා ගැනිම හරහා එම "එකම" පාලනය පවා වත්මන් ජනාධිපති විසින් උදුරා ගෙන තිබේ.
මෙවැනි අසිමිත බලයක් තිබෙන ආයතනයක් සදහා ධූර කාලය සිමා කිරීම මගින් බලය අයථා ලෙස යොදාගැන්මට තිබෙන ඉඩ අවම කිරීම එක්සත් ජනපදය වැනි රටවල් ධූර කාලය වාර දෙකකට සීමා කිරී‍මේ අදහසයි.කෙතරම් ජනප්‍රිය ජනාධිපතිවරයෙක් වුවත් අසීමිත බලය හරහා දූෂනය වීමට ඉඩ තිබේ.මේ නිසා වාර දෙකකට එම නිල කාලය සීමා වන අතර කාලය අවසන් වූ පසු සුදුස්සෙක්ට අවස්ථාව සපයා ධූරයෙන් විශ්‍රාම යා යුතුය.වත්මන් ආන්ඩුව ට දැන් හිසරදයක් වී තිබෙන්නේ සිලාචාරකමේ එම අවම නිර්නායකයයි.

යෝජිත වෙනස්කම් අතරින් 17 වන ආන්ඩු ක්‍රම සංශෝධනයෙන් පිහිටවූ ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත් කිරීමේ බලය ජනාධිපති අතට ගැනිම විධායක ධූරය ශක්තිමත් කරන අනෙත් ප්‍රතිපාදනය වේ.දහහත්වන සංශෝධනය කිව්වාට සාමාන්‍ය මිනිසාට තේරෙන කිසිවක් නැත.එම "නොතේරිම" තමන්ගේ වාසිය කරගත් අවස්ථාවාදීන් 17 වෙනි සංශෝධනයෙන් සේරම අවුල් වෙනවා යැයි දිවා රූ රූපවාහිනියෙන් මොර ගාති.මේ ගැන හාංකවිසියක් නොදත් බොහෝ අය එම සංශෝධනය මහ අවුලක්ය යන ප්‍රබන්ධය මේ නිසා විචාරයකින් තොරව ගිලගනිමින් පුනරුච්චාරනය කරති.

දහහත්වන සංශෝධනයේ හරය රාජ්‍ය සේවය පොලිස් සේවය අධිකරන සේවය ඇතුලු වැදගත් රාජ්‍ය අංශ විනිවිද පෙනෙන පාලනයකට යටත් කිරීමයි.නිදසුනක් ලෙස පාසල් වල කැන්ට්මේ දේශපාලනය ගැන කතාකරමින් කල් මරන,චන්දෙට කැන්වසින් යන,එක අකුරක් නූගන්වන පන්දම්කාරයන් තමන්ට හිතවත් ආන්ඩුව බලයට පත්වූ පසු කලාප අධ්‍යක්ෂකවරු වීම සාමාන්‍ය සමාජය අත්විදින කරුනකි.කිසිදු විචාරයක් රහිත ප්‍රශ්න පත්‍ර පාසල් වලට ලැබෙන්නෙ සුදුකම් රහිතව හුදු දේශපාලන පන්දම් මත ඉහල තනතුරු වලට පත්වෙන මෙවැන්නවුන් නිසාය.17 වෙනි සං‍ශෝධනය යටතේ ස්වාධින රාජ්‍ය සේවා කොමිසම පත්කල විට රාජ්‍ය සේවයේ උසස් වීම් මාරු විම් තීරනය කරන්නේ මන්ත්‍රිවරයාගේ චිට් එකෙන් නොවේ.එය පිලිගත් පටිපාටිය අනුව සුදුසුකම් අනුව සිදු කෙරෙනු ඇත.පොලිස් ස්ථානාධිපති ඉන්නවාද වවුනියාවට මාරු වෙනවාද යන්න තීරනය කරන්නේ පලාතේ මන්ත්‍රී හෝ මන්ත්‍රීගේ චක්ගෝලයා නොවේ.එම තීරනය කොමිසම විසින් සුදුසුකම් මත ගනු ඇත.
ආන්ඩුවට 17 වන සංශෝධනය මේ තරම් ඇනයක් වී තිබෙන්නේ ඇයිද යන්න මේ අනුව පැහැදිලිය.මේ සංශෝධනය තිබෙන විට තමන්ට අවශ්‍ය විදිහට රාජ්‍ය සේවය හෝ පොලිස් සේවය අල්ලේ නැටවිය නොහැක.ස්වාධින පොලිස් සේවයක් පවතින විට එනම් තමන් නීතිය ක්‍රියාත්මක කරන කෙනා විසින් පහ කිරි‍මේ බය නොමැති වූ විට මැතිවරන කාලයේ රාජ්‍ය දේපල අයුතු ලෙස භාවිතා කරද්දී නිවටයන් ලෙස බලා නොඉද ආත්ම ගෞරවයක් සහිතව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් නිලධාරීන්ට අවස්ථාව ලැබේ.ස්වාධින අධිකරන සේවා කොමිසම පත්වූ විට අගවිනිසුරු හා ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරන් ජනාධිපතිගේ අභිමතය මත නොව සුදුසුකම් මත කොමිසම විසින් පත්කෙරෙනු ඇත.එසේ වුවහොත් අධිකරනයේ ස්වාධිනත්වය තහවුරු වෙන අතර ජනාධිපතිට අවශ්‍ය ඕඩර්ස් නිකුත් කරන කුලී ආයතනයක් ලෙස අධිකරනය තබාගැනීමට ජනාධිපතිට තිබෙන අවශ්‍යතාවය සමග මෙම විධානය ගැටේ.

තුන්වන යෝජනාවෙන් කියවෙන පරිදි ජනාධිපති මාස 3ට පාරක් පාර්ලිමේන්තුවට ඇවිත් ගියා කියා ඉහත යෝජනා වල ඒකාධිපති නැමියාව දශමයකිනුදු අඩු වන්නේ නැත.යෝජිත ව්‍යවස්ථා සංශෝධන ස්වකීය පුද්ගලික බල ව්‍යාපෘතිය ශක්තිමත් කිරිමේ අරමුනෙන් ගෙන එන්නකි යන්න ඉතා පැහැදිලිය.රාජ්‍යයේ අනෙත් ආයතන තවතවත් තමන්ගේ පුද්ගලික ග්‍රහනයට ගැනීමේ අදහස සහ දෙපාරෙන් නවතින්නෙ නැතිව තව දිග කාලයක් බලයේ එල්ලීගෙන සිටීමට තිබෙන බඩජාරිකම හැර මෙතන අන් කිසිදු අරමුනක් නොමැත.ඉතාම පටු අරමුනු වෙනුවෙන් ව්‍යවස්ථාව නැවත නැවත සංශෝධනය කල ජේ.ආර්.ජයවර්ධනගේ සංශෝධන සහ රාජපක්ෂ රෙජිමයේ මේ සංශෝධන අතර තිබෙන වෙනස කුමක්ද?
නීතියේ ආධිපත්‍යය පිලිබද විශාරද ටෝක් දුන් ජී.එල්.පීරිස් වැන්නෙක්ට නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අවම සීලාචාර අගයන් හෑල්ලු කරන මෙවැනි ව්‍යවස්ථා යෝජනාවලියක් කෙටුම්පත් කිරීමට සිදුවිම දෛවයේ සරදමකි.

කෙසේ වුවද ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කෙරෙන මෙම ක්‍රීඩාව ආන්ඩුවේ ඉදිරි ගමන පිලිබද පැති ගනනකින් අවබෝධයක් ලද හැකි සෙල්ලමකි.තමා ලද ආසන එකසිය හතලිස් ගනනෙන් උදම්ව ඇති ආන්ඩුව තමාට කල නොහැක්කක් නොමැත යන මනෝභාවයේ පසුවන බව පෙනේ.කෙ‍සේ වුවද සිතන තරම් ක්‍රීඩාව පහසු නොවන බවටද ඉගි පහල වෙමින් තිබේ.වාසුදේව නානායක්කාර යෝජිත සංශෝධනයට ප්‍රසිද්ධියේ විරෝධය පල කර ඇත.වාමාංශික යැයි කියාගන්නා සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ වල නියෝජිතයන් තමන් මෙම සංශෝධනයට එරෙහිවන බව පවසා තිබීම වැදගත් සලකුනක්ය.දශක ගනනාවක් තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගුපිල්වල ඉදුල් බුදිමින් සිටි මෙම මහත්වරුන්ට අඩුම තරමින් තමන්ගේ පක්ෂයේ නම සමසමාජ යැයි මතක් විම ද එහි ආරම්භකයා ලෙස විධායක ක්‍රමයට එරෙහිව වීදි බට එන්.එම්.පෙරේරා නැමැත්තෙක් සිටි බවට හෝ මතක් වීමද නරකම නැත.
මහින්ද රාජපක්ෂ යලි යලිත් ජනාධිපති වෙමින් ඊලග කිරුල සිය ප්‍රේමනීය නාමල් පුත්‍රයාට පිදීමට දරන තැත පිලිබද සවිඥානික බැසිල් රාජපක්ෂ නැමැති ආන්ඩුවේ නොනිල අගමැතිතුමා "ව්‍යවස්ථා සංශෝධනයකට ආන්ඩුවට වරමක් නැති බව"පසුගියදා ලංකාදිප පුවත්පතට ප්‍රකාශ කොට තිබුනි.පක්ෂ නායක සිහිනයෙන් පෙලෙන මෛත්‍රීපාල සිරිසේන වැනි ඇමැත්තෝද මෙවැන්නකට එතරම් මනාප වනු ඇතැයි සිතීම අසීරුය.

මේ නිසා මතුපිටින් පෙනෙන්නට තිබෙන්නේ අලු ගොඩක් වුවද ඒ යට දැල්වෙමින් තිබෙන්නේ ගිනි පුපුරුය.අතිශය බලසම්පන්න වූ රෝම අධිරාජ්‍යය බලසම්පන්නභාවය අධික වීම නිසාම අන්තිමට කඩාගෙන වැටුනේය.අභ්‍යන්තර ඉරි තැලීම් බාහිර විපාක්ෂික බලවේග වලට ලබා දෙන්නේ සංඥාවකි.
ඒ සංවිධානය වීම හා වැඩ කිරීම වේගවත් කල යුතු බවට සංඥාවයි.





12 comments:

  1. නොදැක් ක අයට බලාගන්න පුලුවන්

    http://www.youtube.com/watch?v=mdqxTZREBmw

    ReplyDelete
  2. විශාල බලයක් (කෙටි කාලයකට) හිමි කර ගැනීම එකකි. සාමාන්‍ය බලයක් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යාම තවෙකකි.

    යම් පාලකයකු මින් එක අරමුණක් සඳහා පමණක් උත්සාහ දරයි නම් මම දැඩි ලෙස බියවෙමි. මන්ද මේ අරමුණු දෙක වෙන වෙනම සාක්ෂාත් කර ගැනීම අපහසු නොවන නිසාය. නමුත් මේ දෙකම එකවර සාක්ෂාත් කර ගැනීම අපහසුය.

    මුළු ලංකා ඉතිහාසයම ගෙන බලන්න. පණ්ඩුකාභය, දුටුගැමුණු වැනි තහවුරු නොකළ හැකි මුල් පාලකයින් අත හැරි විට විශාල බලයක් ඇතිව සාපේක්ෂ ලෙස දීර්ඝ කාලයක් රට පාලනය කළ එකම පාලකයා මහා පරාක්‍රමබාහුය.

    දීර්ඝ කාලයක් බලයේ සිටීම රාජපක්ෂගේ ආශාව නම් ඔහු විසින් මුලින්ම කළ යුත්තේ තමා අත ඇති බලය යම් ප්‍රමාණයක් ගිලිහී යන්නට දීමය. එසේ නොකරන්නේ නම් ඔහුද ගමන් කරනු ඇත්තේ ලංකා ඉතිහාසයේ ප්‍රේමදාසද, ලෝක ඉතිහාසයේ නැපෝලියන්, හිට්ලර්, මහා ඇලෙක්සැන්ඩර් වැනි ඒකාධිපතීන්ද ගමන් කළ ආගාධයටමය.

    ReplyDelete
  3. වෙනිසියුලාව කියුබාව ගුරු කොට ගත් මොස්තරේනෙ. රුසියාවෙ ගොයීයත් ඔය ආයෙත් මහ පුටුවට එන්න හදන්නේ. කොහොමත් ඔය වාරයක් දෙකක් විතරයී කීම බටහිර සිරිතනේ. මොකෝ ධර්මාශෝක රජ්ජුරුවන්ට වාරාවක් තිබුණද. අපි ඔය බටහිර ක්‍රම පිටු දැකල, දේශීය ක්‍රමයට හැඩ ගැහෙන්න ඕනෑ.

    ReplyDelete
  4. අපිට වසර 2500 ක විශිෂ්ට ඉතිහාසයක් තියෙනවා. එතරම් දීර්ග සංස්කෘතියකින් පොශනය ලද ප්‍රව්ඪ ජාතියක් අපි. අපේ විශිෂ්ට සංස්කෘතියේ පදනම බුදුදහමයි. මේ අපිට නිරන්තරයෙන් ඈසෙන වදන්.

    රාජපක්ෂ පරපුර දකුණේ නියම සිංහල බෞද්ධ. ජී.එල්., විමල් තව කෙළවරක් නෑතිව නම් ඉදිරිපත් කරන්න පුළුවං ධර්මද්වීපය ගොඩනගන්න ආ අයගේ නම් ද ඈතුළුව. මේ ඔක්කොම ඔය කියන විශිෂ්ඨ සංස්කෘතියේ උරුමක් කාරයො.

    මට තියෙන ප්‍රශ්නේ ඔය කියන මහා සංස්කෘතියෙන් පොශනය ලද මේ හෑමොම ඈයි මේ තරම් පහත්. ශිස්ඨත්වයේ අවම තත්වයන් වත් නොතකා බලය සඳහාත් තම පරපුරු පොශනය සඳහාත් මේ අය අපි සියළුදෙනා ඉදිරියේ මෙහෙම නිර්ලජ්ජිත ලෙස කටයුතු කරන්නේ කොහොමද?

    නෙල්සන් මෙන්ඩෙලාට තව වරක් බලයට එන්න පුළුවන්කම තියෙද්දිත් ඔහු අනෙකාට ඉඩ දී විශ්‍රාම ගත්තා. ඈයි එහෙම උසස් දෑවෑන්තයින් මෙහි දකින්න නොලෑබෙන්නෙ.

    මට ප්‍රශ්නයක් තියෙනවා. 2500 වසරක උසස් සිශ්ඨාචාරයෙන් පොශනය ලද ඒ උසස් සිශ්ථ මිනිසා කොහේ හරි සෑඟවෙලා ඉන්න ඔන. එයා ඉන්න තෑන දන්න කෙනෙක් ඉන්නවා නම් කරුණා කර දෑනුම් දෙන්න.

    ReplyDelete
  5. තුන්වැනි වරකට පක්ෂව ජනතාව තීන්දුවක් දෙනවා නම් මොකද කරන්නේ?

    ReplyDelete
  6. @ ටැබූ - සාධාරන ලෙස සැක කල හැකි පරිදි තුන්වෙනි වරට බලය දිගුකර ගැනීම වැනි පියවර පෙරලා වත්මන් ජනාධිපතිට අවාසිදායක වෙන්න පුලුවනි.1975 දක්වා ජනවරමක් ලද සමගි පෙරමුන තමා අසීමිත ජනප්‍රියත්වයක් සහිත කාලයේ වසර දෙකකින් ධූර කාලය දිගු කරගැනීමට මේක තරමක් සමානයි.ඒ මොහොතේ මෙවැනි පියවර මාර ආතල් ඒවා වුනාට පසුව පාරාවලල්ලක් ලෙස කැරකෙන්න ඉඩ තියෙනව

    @ පිටස්තරයා 2 - ශිෂ්ටාචාර මිනිසා යනු වර්තමාන බල දේශපාලන කතිකාව තුල ට්‍රේඩ් මාර්ක් එකක් විතරයි.බුද්දාගම වේවා,එහි මූලධර්ම හෝ වේවා වෙත ගැඹූරින් ප්‍රවේශ වෙන්න මේ අයට කිසි අවශ්‍යතාවයක් නැහැ.මේ සියලු ජාතිකත්වය කතන්දර ව්‍යාජ බාහිර සංකේත

    @ පෙරමුනේ රාල - ඔය ප්‍රශ්නෙ වෙන විදිහකට මතුකරමු.ලංකාවෙ පාර්ලිමේන්තුව විසුරුවා හැරල මහින්ද රාජපක්ෂ සදාකාලික රජ කල යුතුය කියල යෝජනාවක් ජනමත විචාරනයකින් සම්මත වෙනව.එතකොට කල යුත්තේ කුමක්ද?
    ව්‍යවස්ථාදායකය වේවා,ජනමත විචාරන වේවා මේව එකක්වත් වැරදි තීරන නොගන්න ආයතන නෙමෙයි.මේවට වැරදි වෙන්න පුලුවන් හින්ද තමයි සීමාවන් පැනවීමක් ශිෂ්ට සමාජයක කරන්නෙ.වාර දෙක කියන්නෙ අසීමිත බලයක් එක තැනක සංකේන්ද්‍රනය වෙන එකෙන් වෙන හානිය නවත්තගන්න දාපු සීමාවක්.ඒ වගේ ලොකු බලයක් එක්ක තියන මැතිවරන වුනත් සාධාරන වෙන්නෙ නැහැ.
    (වාර දෙකේ යෝජනාව සමග සාධාරන චන්දයකට අවම වශයෙන් අවශ්‍ය කරන ස්වාධින කොමිසන් අහෝසි කිරීමේ යෝජනාව ගැටගැහෙන්නේ ඒ නිසා )

    ReplyDelete
  7. /තුන්වැනි වරකට පක්ෂව ජනතාව තීන්දුවක් දෙනවා නම් මොකද කරන්නේ?/

    මේ රටේ 'ජනතාව' කියන එකා අනෙක් හැමෙකෙකුටම වඩා අන්ධයෙකි; හොරෙකි; ආත්මාර්ථකාමියෙකි; ජඩයෙකි. කොටින්ම තමන්ට කෙටි කාලීන වාසියක් ලැබේ නම් මෑණියන් වුව විකුණන්නට සමතෙකි.

    තීන්දුවක් දුන්නොත් කියා කතාවක් වත් නැත්තේ ජනමත විචාරණයක් මේ ගොන් තඩියා අනිවාර්යයෙන්ම එවැනි තීන්දුවක් දෙන නිසාය.

    එහත් රට උගේ නිසා අපට ඊට එකඟ වනවා හැර කරන්නට දෙයක් නැත.

    මොළයක් ඇත්තෝ දැන්වත් මෙරට හැර වෙන රටකට පැන ගතිත්වා!

    ReplyDelete
  8. "මේ රටේ 'ජනතාව' කියන එකා අනෙක් හැමෙකෙකුටම වඩා අන්ධයෙකි; හොරෙකි; ආත්මාර්ථකාමියෙකි; ජඩයෙකි. කොටින්ම තමන්ට කෙටි කාලීන වාසියක් ලැබේ නම් මෑණියන් වුව විකුණන්නට සමතෙකි."

    ඔබ කියන්නේ ඇස් ඇත්තේ ඔබ වැනි alternate මතධාරීන්ට පමණක් බව ද? ඔබේ මතය වැරදි නම්?

    ReplyDelete
  9. "ව්‍යවස්ථාදායකය වේවා,ජනමත විචාරන වේවා මේව එකක්වත් වැරදි තීරන නොගන්න ආයතන නෙමෙයි.මේවට වැරදි වෙන්න පුලුවන් හින්ද තමයි සීමාවන් පැනවීමක් ශිෂ්ට සමාජයක කරන්නෙ.වාර දෙක කියන්නෙ අසීමිත බලයක් එක තැනක සංකේන්ද්‍රනය වෙන එකෙන් වෙන හානිය නවත්තගන්න දාපු සීමාවක්"

    වාර 3ත් හෝ 5ක් කියන්නෙ සදාකාලික බලයක් නෙවි. පිස්සු නටන්න ගත්තොත් වාර 3 වත් රජ වෙන්න බැරි බව පැහැදිලි කාරණාවක්. පරණ ක්‍රමේ යටතේ ඕන වාර ගාණක් අගමැති වෙන්න පුළුවන්. කරන්න අවශ්‍ය වෙන්නෙ විධායක ජනපති කම නීතියට යටත් පදවියක් කරලා ඒ පිළිබද සුදුසුකම් තියෙන කෙනෙක්ට (මහින්ද එක්කෙනෙක්) තරග කරන්න දෙන එක මිසක් දෙසැරකෙට සීමා කරලා නායකත්වයට නුසුදුසු ගොං වස්සන්ට තැග කරන්න අවස්තාව දෙන එක නෙවෙයි. මේ වෙලාවෙ රාමචන්දුගෙන් පේන්නෙ JVP ගැති ගතියකින් නිකම්ම කෑගැහීම මිසක් වැදගත් විවේචනයක් නෙවෙයි

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මට හැ‍ඟෙන විදියට බ්ලොග් අඩවිවල සංවාදයන්හි දක්නා ලැබෙන පොදු ලක්ෂණයක් මුලින්ම පිල්වලට බෙදී තමන් ගත් 'පිල' කියන තමන්ට එකඟවිය නොහැකි දෙයකට වුව පක්ෂවීම හා අන් 'පිලේ' කෙනෙක් ඉදිරිපත් කරන තමන්ට එකඟවිය හැකි දේට වුව විරුද්ධවීම. මෙය යහපත් සංවාදයක් ඇතිවීමට බාධකයක් ලෙස ක්‍රියාත්මක වන බව මාගේ හැඟීමයි. කියන්නට යමක් තිබුණත් පිළකට වැටීමට ඇති අකමැත්ත නිසා කෙනෙක් නිහඬ වෙන්න එය හෙතුවක් විය හැකියි.

    අප ඉදිරියේ මතුකොට ඇති ප්‍රශ්න වන්නේ අතිශය බලසම්පන්න විධායක බලය තනි පුද්ගලයෙකු අත දීර්ග කාලයක් තබා ගැනීම සමග අපි එකඟ ද? රාජ්‍යයේ වැදගත්ම බලතල එක පවුලක සාමාජිකයන් අතර බෙදාගෙන කටයුතු කිරීම සමඟ අපි එකඟද? එසේ පවුලේ දෙපලක් බවට පත්කරගත් රාජ්‍ය බලය තවදුරටත් චිරාත් කාලීන කර ගැනීමට අවශ්‍ය නීතිමය විධිවිධාන සකසා ගැනීම සමග අපි එකඟද? එසේ යන ගමන විවේචනය කොට එරෙහි විය යුතු බලවේග මුනිවත ‍රැකීම සමග අපි එකඟද වැනි කරුණුයි.

    //වාර 3ත් හෝ 5ක් කියන්නෙ සදාකාලික බලයක් නෙවි.//

    ඔව්. එකඟයි. නමුත් වාර 3 ක් කියන්නෙ වසර 18 ක් වාර 5 ක් කියන්නේ වසර 30 ක්. මෙතරම් දිග කාලයක් මුළු පවුලක් රාජ්‍යයේ, ආර්ථිකයේ මර්මස්ථාන තම දෙපළ සේ භුක්ති වින්දාට පසු ඔබ හිතනවාද නැවත පහසුවෙන් ඒවා ඔවුන්ගෙන් මුදාගන්න පුළුවන් කියා. හිතෙන්නෙ නැත් ද නැවත භීෂණ සමයක් දෙසට අපි ගමන් කරමින් ඉන්නවා කියා. මේ තත්වයන් නැවත තරුණ කැ‍රැල්ලක් දෙසට රට තල්ලු නොකරාවිද?

    අපිට නැවත පිල්වලට බෙදිලා වාදකරන්න පුළුවන් වෙයි ඒ දවසටත්. ඒ මළේ LTTE කාරයො කියලා. නැත්නම් JVP කාරයො කියල. බලා ඉන්න අයත් හිත හදා ගනියි මරාදැමුනේ බිහිසුණු 'ත්‍රස්ථවාදීන්' පිරිසක් කියල.

    ඔවුන්ව මර්දනය කරන්නට ගොස් මියයන අත පය නැති කරගන්න අපේම සහොදරයින්ව, දරුවන්ව නම් කරයි 'ශ්‍රේෂඨ රණවිරුවන්' කියල.

    මේක මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. රටේ අනාගත පරම්පරාව සම්බ්න්ධ ප්‍රශ්නයක්. ඒ නිසයි අපි පිල්වලින් ඉවත්වෙලා මේ ප්‍රශ්නය දෙස බැලිය යුත්තේ.

    ReplyDelete
  12. @ පෙරමුනේ රාල

    මෙතන විවේචනය තියෙන්නෙ වර්තමාන ආන්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන කියන මුලු ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන්.විවේචනයේ කරුනු ගැන කතා නොකර ඒක ජේවිපි ගැතිකමක් හරි යූඑන්පී ගැතිකමක් හරි කියල ලේබල් කරාය කියල ලැබෙන කිසිම ප්‍රතිඵලයක් නැහැ.

    මේ හදිසියේ ස්වාධින කොමිසන් සභා අහෝසි කිරීම,ධූර කාලය දිගු කරගැනීම කියන යෝජනා ඉදිරිපත් වෙන්නෙත් ඔබ කියන ආකාරයට(සහ පසුගිය කාලයේ දිවුර දිවුරා රටට පොරොන්දු වු ආකාරයට ) නීතියට යටත් ආයතනයක් බවට විධායකය පත්කිරීමේ කිසිදු යෝජනාවක් ගැන හාංකවිසියක්වත් නැත්තේත් ඇයි?17 වන සංශෝධනය කියන්නෙ විධායකය නීතියේ පාලනයට යටත් කරන වැදගත් පියවරක්.ඒක පවා අහෝසි කරන අයෙක්ගෙන් විධායකය නීතියට යටත් කිරීමක් අපේක්ෂා කරන එක ගැන හිනාවෙනව හැර කරන්න දෙයක් නැහැ.

    පිටස්තරයා 2 පෙන්නල දීල තියන විදිහට මේ විදිහට සීමාවක් නැති බලයක් එක්ක රාජ්‍ය යන්ත්‍රනය අතට අහුවුනාම ඒක නැවත මුදාගන්න එක පහසු නැහැ.අගමැති ආන්ඩු තියෙන රටවල මැතිවරන පවත්වන්නෙ භාරකාර ආන්ඩු යටතේ.අධික විධායක බලයක් තමන්ගේ අතේ තියාගෙන ජනාධිපති විදිහට එක්කෙනෙක් තරග කරද්දි අනෙත් අපේක්ෂකයන්ට ඉතාම අසාධාරන විදිහට පිටිය හැදෙන හැටි ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ.80 ගනන්වල තමන්ට ඕනෙ ඕ‍නෙ විදිහට ජේආර් ක්‍රියාකල අන්දමයි මේ හැසිරිමයි අතර වෙනසක් ඇත්තටම නැහැ.පාර්ලිමේන්තු චන්දෙ 83 නොතිය ජනමත විචාරනයක් තියල තමන්ගේ අධික බලතල ඇතුලෙ ඒක අවශ්‍ය විදිහට මෙහෙයවලා දිනන ගමන් ජේආර් රටට කිව්වෙත් - ජනමත විචාරනේ කියන්නෙ ජනතා කැමැත්තනෙ.ඉතින් ජනයා අනුමත කොරනව නම් චන්දෙ නොතිබ්බය කියන එකේ වැරැද්ද මොකක්ද කියන එක.

    ReplyDelete