Saturday, May 29, 2010

Manirathnam - GURU


( මෙම වියමනට ප්‍රස්තුත වන මනිරත්නම්ගේ Guru චිත්‍රපටය වෙත මෙතනින් පිවිසිය හැක )

මනිරත්නම් ගේ Guru චිත්‍රපටය 2007 දී තිරගත වූ අතර බොලිවුඩ් සිනමාවේ දැවැන්ත තරු විසින් භූමිකා රගදැක්වුන එය මහා පරිමාන සාර්ථකත්වයක් ඉලක්ක කලා.ලංකාව තුල රූපවාහිනියේත් කිහිප වරක් විකාශනය වුන මෙය දුක දිනා සාර්ථක වූ වීරයෙක්ගේ වීර කාව්‍යයක් හෝ සෞන්දර්යාත්මක ප්‍රේම වෘත්තාන්තයක් විදිහට මතුපිටින් ප්‍රමෝට් කෙරුනත් ඇත්ත වශයෙන් මෙම චිත්‍රපටය අතිශය දේශපාලනික ප්‍රකාශනයක්.තරමක කාව්‍යමය බසකින් කියන්නේ නම් Guru වූ කලී නූතන ඉන්දියාවේ යටි සිතෙහි ආශාවයි.

ගුරු කාන්ත් දේසායි නැමැත්තා ( අභිෂේක් බච්චන් ) දුගියෙක්.ග්‍රාමීය ප්‍රදේශයක සාමාන්‍ය පවුලක තරුනයෙක් වන ඔහු නගරයට සංක්‍රමනය වෙන්නෙ කිසිවක් අත නැතිව.ව්‍යාපාරිකයෙක් ලෙස හිස ඔසවා දියුනු වීමේ අභිලාෂය පමනක් ඇතිව.
ව්‍යාපාර ලෝකයේ පුසුඹ ඉව කරමින් නගරයට ඇදෙන ගුරුට අභිමුඛ වෙන්නෙ ඉංග්‍රීසි වහරන,කුලීනයන්ගේ බලය රජයන පාරාදීසියක්.මේ ආගන්තුක ලෝකය තුල ගුරු වැන්නවුන් හුදු "බයියන්" විතරයි.
මෙම විදේශීය පාරාදීසියේ ගුරු කාන්ත් නැමැති කොලු ගැටයා ආරම්භ කරන්නේ කුඩාම ස්ථානයෙන්.මුලින්ම සුදු ජාතිකයෙක්ගේ කොම්පැනියක වැඩ කර අත්දැකීම් ලබාගන්න හෙතෙම එහි සේවා වර්ධකයක් ලැබෙන්නා හාම සේවයෙන් ඉවත් වෙන්න තිරනය කරනවා.සුද්දාගේ ව්‍යාපාරයේ සේවකයෙක් වනවාට වඩා හේ ප්‍රිය කරන්නේ තමාගේම ව්‍යාපාරයක ස්වාමියෙක් වීමටයි.
සුද්දාගේ කොම්පැනියේ සේවය දිගටම කරන්න ලැබෙන ඇරයුම ඔහු ඉවතලනවා.සුද්දාගේ කොම්පැනියේ ඉදීමෙන් වෙන්නේ නුහුරු ටයිපටියක් ගෙල බැදගෙන හැමදේටම ඔලුව වනන්න විතරයි.
මෙය අසන ගුරුගේ හිතවෙතෙක් මෙසේ ප්‍රකාශ කරනවා.
"You will never succeed!"

ව්‍යාපාරිකයෙක් ලෙස තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න යන ගුරුට ස්ථාපිත වෙලද අධිකාරිය සමග විශාල පොරබැදීමක් කරන්න වෙනවා.වෙලද සංගමයේ බලය පවතින්නේ ගොල්ෆ් ක්‍රීඩාවට ප්‍රිය ඉංග්‍රීසි වහරන මහත්මයෙක් අත.වෙලද සංගමයේ සියල්ලන් ඔහුට අවනතයි.ඊට අතිරේකව පරිපාලන නිලධාරීන්ගේ කෙනෙහිලිකම් ගුරු ඉදිරියේ බාධක ‍විදිහට මතුවෙනවා.
මේ සියල්ල ඉදිරියේ හේ අකම්පිතයි.
වෙලදාම සදහා බලපත්‍රයට අවසර ඉල්ලන්න වෙලද සංගමයේ සභාපතිව මුන ගැහෙන්න යද්දි සභාපති ගොල්ෆ් ගසමින් ඉන්නවා.( ගොල්ෆ් කියන්නේ සුදු ජාතිකයන්ගේ ප්‍රභූ ක්‍රීඩාවක් යන්න ගැන සිහිකැදවීමක් කරගනිමු)
ගොල්ෆ් ගසමින් සිටින සභාපති පන්දුව වලට දැමිය හැකි නම් බලපත්‍රය දීම ගැන සලකා බැලිය හැකියයි ගුරුට කියනවා.ගැමියෙක් වන ගුරු කාන්ත් ඉංග්‍රීසින්ගේ මේ ක්‍රීඩාව හෝ ගොල්ෆ් පිති පරිහරනය ගැන කිසිවක් දන්නෙ නැහැ.
අභියෝගය භාර ගන්නා ගුරු තමන්ගේ අතින් ගොල්ෆ් බෝලය ගෙන වල ලගට ඇවිදගෙන ගොස් එය වල තුලට දමනවා.ඉලක්කය බෝලය වලට දැමීම.එය අතින් කලත් පිත්තෙන් කලත් තිබෙන වෙනස කුමක්ද?
බාධක මැඩගෙන ඉස්සරහට යාමට ගුරු තුල තිබෙන දැඩි උවමනාව වාගේම සිය ඉලක්කය වෙත යාමේදී සම්මත නීති රීති ගැන වුවත් තමන් තකන්නේ නැති බව පෙන්වන මෙම නාටකීය සිදුවීම වූ කලී මෙම ලියුම්කරුට අනුව චිත්‍රපටියේ ප්‍රබලම සංකේතයයි.

මනිරත්නම්ගේ ගුරු චිත්‍රපටියෙහි නිරූපනය වෙන මෙම ගුරු කාන්ත් දේසායි වූ කලී කවරෙක්ද?
ගුරු යනු පශ්චාත් යටත් විජිත භාරතීය සංවර්ධනයේ ආධ්‍යාත්මයයි.පශ්චාත් යටත් විජිත භාරතයේ නැගී එන දේශීය ධනේශ්වරයේ හා වෙලද කුලයේ සංකේතයයි.

ඉන්දීය නිදහස් අරගලය 20 වන සියවසේ අතිශය දැවැන්ත දේශපාලන පරිච්ඡේදයක්ය යන්න ගැන විවාදයක් තිබිය නොහැකියි.බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට එරෙහි ඉන්දීය අරගලයේ ප්‍රධාන දහරාවන් දෙකක් පැවතුනා.ඉන් එකකට ඉන්දීය කොංග්‍රසය නායකත්වය දුන් අතර අනෙත් දහරාව කොංග්‍රසයේ සාම්ප්‍රදායික නායකත්වය ප්‍රතික්ෂේප කල කැරලිකාරී ස්වභාවයක් ගත් භගත් සිං,චන්ද්‍ර බෝෂ් වැන්නවුන්ගෙන් සමන්විත වූවක් වුනා.
කොහොම වුනත් මින් මතු වුනේ ඉන්දීය කොංග්‍රසයේ නායකත්වය.
ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබූ ඉංග්‍රීසි ශික්ෂනයක් සහිත නේරු වැනි අයගේ නායකත්වය පැවති කොංග්‍රසයේ හදවත වුනේ භාරතයේ හිස ඔසවමින් සිටි නව ව්‍යාපාර හිමි පංතියයි.බ්‍රිතාන්‍යයන්ගෙන් ලැබුන ආභාසය මත කර්මාන්තශාලා අරඹමින් වානිජ ව්‍යාපාරවලට අත ගසමින් 19 වන සියවසේ මැද භාගයේ සිටම මේ ප්‍රාග්ධන හිමි පංතිය ඉන්දියාවේ අලුත් සමාජ කොටසක් විදිහට මතුවෙන්න පටන් ගෙන තිබුනා.නමුත් ඉංග්‍රීසින්ගේ ව්‍යාපාරමය ආධිපත්‍යය නිසා මේ දේශීය ප්‍රාග්ධන හිමිකාරයන්ට ව්‍යාප්ත වෙන්න ලැබුන අවස්ථාව අවමයි.මේ සීමාව පුපුරවා දැමීමේ අවශ්‍යතාවය මෙම දේශීය ධනහිමි පංතියට බරපතල ලෙස තිබුන අතර 1947 දී එය එලෙසින්ම පුපුරවා දමන ලදී.

නැවතත් අපි ගුරු චිත්‍රපටය දෙස හැරෙමු.තමන් ඉදිරියේ මතුවන බාධක එක එක ජය ගන්න ගුරු කාන්ත් දේසායි කාලයාගේ ඇවෑමෙන් "දුක දිනා ජයගත්" වීරයා බවට පරිවර්තනය වෙනවා.ඔහුගේ ආයෝජකත්වයෙන් යුතු පොලිඑස්ටර් කම්හල් ඉන්දියාව පුරා ඉදිවෙනවා.ව්‍යාපාර ලෝකයේ පැරනි සංකේත එකිනෙක ඇදහැලෙද්දී ගුරු කාන්ත් දේසායි වානිජ ලෝකය දිග් විජය කරනවා.දිග් විජය ලැබූ පසු කල යුත්තේ කුමක්ද?
ඉන්පසු තිබෙන්නේ තමන් ලබාගත්ත ජයග්‍රහනය ස්ථාවර කරගැනීමේ හා තව තවත් පැතිරවීමේ අභියෝගය.
මෙන්න මෙතැනදීයි නැවතත් පරන කතන්දරයම වෙන විදිහකට රග දැක්වෙන්න පටන් ගන්නේ.
වංචා කිරීම,රැවටීම,බොරු කිරීම් හා අල්ලස් දීම ගුරු කාන්ත්ලාගේ නව ආධිපත්‍යය තුල ආයෙත් වතාවක් මහා පරිමානයෙන් එලියට එන්න ගන්නවා.පැරනි කාලයේ වගේමයි.දේශපාලකයන්ට අල්ලස් දීම්,අත යට ගනුදෙනු වැනි කුප්‍රකට සිදුවීම් නැවත කරකැවීම ආරම්භ වෙනවා.දේශපාලකයන් මාධ්‍යකරුවන් යන සියල්ලන්ම ගුරු කාන්ත්ගේ - එනම් අලුත් දේශීය ධන හිමි පංතියේ - අත නැටවෙන රූකඩ බවට පත්වෙනවා.එකම වෙනස - ඉස්සර මේ රූකඩ නැටවූයේ ගොල්ෆ් ගහන මහත්වරු වීමත් දැන් රූකඩ නටවන ගුරුලා ‍ගොල්ෆ් නොගැසීමත් විතරයි.
කොහොම වුනත් බදු වංචා ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන දෝරේ ගලා යන්න ගන්නවා.ගුරු කාන්ත් නැමැති දුක දිනා ජයගත් වීරයා පසුපස හඹායමින් ව්‍යාපාර ලෝකයේ අත යට ගනුදෙනු ගැන හෙලිදරවු කරන පුවත්පත් කතුවරයෙක් හා කලාවේදියෙක් මේ අතර චිත්‍රපටියේදී අපට හමුවෙනවා.
වානිජමය ලෙස සිදුකල අක්‍රමිකතා පිලිබද චෝදනා උග්‍ර වීම මත අවසානයේ ගුරු කාන්ත්ට එරෙහි පරීක්ෂනයක් සදහා රජය විසින් කොමිසමක් පත්කරන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙස.

චිත්‍රපටය නැරඹූ ඇතැමුන්ට සිතාගැනීමට බැරි දෙය වූයේ කොමිසමේදි සිදු වන දෙයයි.බදු වංචා වලට සම්බන්ධ වූ ගුරුකාන්ත්ව ඇන ගසනු ඇතැයි ඇතමුන් අපේක්ෂා කලත් සුලු දඩයකට ඔහුව යටත් කරන රජය ඉක්බිති ඔහුව නිදහස් කර හරිනවා.කොමිසම ඉදිරියේ ගුරු චිත්තාකර්ශනීය කතාවක් පවත්වනවා.තමා වැනි "මධ්‍යම පංතික" ව්‍යාපාරිකයන්ගේ කටයුතු වලට එලඹෙන බාධා ගැන දරුනු විවේචනයක් හේ ඉදිරිපත් කරනවා.රජය හා නිලධාරීන් අනවශ්‍ය ලෙස ව්‍යාපාරික ගනුදෙනු පාලනය කිරීමට යාම හේ පතුරු ගසනවා.ඉන්දියාව තාම තුන්වෙනි ලෝකයේ රටක් විදිහට තියෙන්නේ මේ බාධාවන් නිසා බව හේ චෝදනා කරනවා.කොමිසම ඉදිරියේ ඇත්තටම මේ කතාකරන්නේ ගුරු නෙමෙයි.රාජ්‍ය පාලනයන් නිසා සංසරනය වෙන්න තිබෙන නිදහස අවම වීම මත කෝපාවිෂ්ට වූ ප්‍රාග්ධනයේ කටහඩයි.
නිදහස ලැබ සුපුරුදු පරිදි ව්‍යාපාර ලෝකයට අවතීර්න වෙන ගුරු කාන්ත් දේසායි මහා රැස්වීමක් අමතමින් ලෝකයාට මෙසේ ප්‍රකාශ කරනවා.
"we are coming!"

වර්තමාන ඉන්දියාව කියන්නේ ශක්තිමත් කාර්මික පදනමක් සමග වේගයෙන් නැගීගෙන එන රාජ්‍යයක්.ගුරු කාන්ත් දේසායිලාට ඇනයක් වී තිබූ රාජ්‍ය සුබසාධකවාදය 90 දශකය මුලදී ඉවත් කෙරෙන අතර ඒ සමග ඉන්දියාවේ ප්‍රාග්ධන හිමියන්ගේ නැගීම අතිශය වේගවත් උනා.ඉන්දීය සමාජ පිරමීඩයේ පතුල අන්ත දරිද්‍රතාවයේ ගුහාවක් වුනත් ඒ දරිද්‍රතාවයේ ගුහාව මත පය ගසා නැගිටින දිදුලන ප්‍රාග්ධන හිමි පංතිය නූතන ඉන්දීය රාජ්‍යයේ අරටුවයි.කොටින්ම මේ අරටුව කැඩුනොත් ඉන්දීය "රාජ්‍යයක්' ඉතිරි වෙන්නෙ නැහැ.චෝදනා එල්ල වෙන ගුරු කාන්ත් දේසායි නිදහස ලැබ කරලියට පිවිසීමේ රහස තිබෙන්නේ එතැන.
( ලංකාවේ අතිශය දූෂිත ගනුදෙනු වලට චෝදනා ලැබූ ඇතැම් ව්‍යාපාර හිමියන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඊයේ පෙරේදා රාජ්‍ය ආයතන වල සභාපතිත්වයට පත් කල ආකාරය සමග මෙය සංසන්දනය කරන්න)

ඉන්දීය නව ධනේශ්වරයේ මෙම නෑඹුල් ප්‍රාග්ධනය ලාබය ඉව කරමින් සිටිනවා.ලාබය ඉව කරමින් එය හතර අත විසිරෙන්න උත්සාහ දරනවා.
ඈත යුරෝපයේ හෝ අප්‍රිකාවේ හෝ ලතින් අමෙරිකාවේ වෙලදපොලවල් දිග්විජය කරන්නට තරම් ඉන්දීය ප්‍රාග්ධනය තාම මේරිලා නැහැ.මේ නිසා නොවැලැක්විය හැකි ලෙස එහි බැල්ම වැටෙන්නේ මේ අනුව පලමුව තමන්ගේ දකුනු ආසියානු දුබල අසල්වාසීන් වෙත.කලාපය තුල උත්සන්න වෙමින් තිබෙන ඉන්දියාවේ "ලොකු අයියාගේ භූමිකාව" මේ අනුව අහම්භයක් නෙමෙයි.දවසින් දවස පැතිරෙන වෙලදපොල හා ප්‍රාග්ධන අවශ්‍යතා සමග මේ භූමිකාව ගැටගැහිලා තියෙනවා.

ස්වකීය අරගලය නේපාල වැඩවසම්වාදයට හා ඉන්දීය අධිපතිවාදයට යන දෙකටම එරෙහිව යැයි පසුගියදා නේපාල මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙක් වන ගෞරව් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලා.
නේපාලයේ මෑතක් වන තුරු තිබුනේ ඉන්දියාවට හිතැති රාජාන්ඩුවක්.නමුත් එහි ගයනේන්ද්‍ර රජතුමා හිතුවක්කාරී විදිහට ඉන්දියාව නොසලකමින් චීනය සමග ඇයිහොදයිකම් පවත්වන්න පටන්ගැනීම නිසා රජුට "පාඩමක්" ඉගැන්වීමට යම් දේශපාලන මැදිහත්වීමක් ඉන්දියාව නේපාලය තුල සිදු කරනවා.රජුට එරෙහිව වසර දෙකකට පමන පෙර හටගත් මහා නැගිටීමට ඉන්දියාවේ උදව්වද ලැබුන අතර ඉන්දියාවේ සහය මෙහිදී ප්‍රධාන වශයෙන්‍ නේපාල කොංග්‍රසයට හිමිවුනා.
නමුත් නොසිතූ විරූ ලෙස රජුට එරෙහි අරගලයේ නායකත්වය තමන් අතේ රදවගන්න නේපාල කොංග්‍රසය අසමත් වෙනවා.ඒ වනවිට ග්‍රාමීයව ව්‍යාප්ත වී සිටි මාඕවාදී කැරලිකරුවන් අරගලයේ නායකත්වය කොංග්‍රසය අතින් ඩැහැගෙන තරගයේ වීරයා බවට පත්වෙනවා.මෙහි කූටාප්‍රාප්තිය සිදුවෙන්නේ 2008 පැවති මහජන චන්දයේ වැඩි බහුතරය නේපාල මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය දිනාගැනීමෙන්.
මාඕවාදීන් රාජාන්ඩුව ‍අහෝසි කර දමන අතර ඉන්දියාව ඉගුරු දී මිරිස් ගත් තත්වයකට පත්වෙනවා.තමන් දෙසට නම්මා ගැනීමට යම් සම්භාවිතාවයක් හෝ තිබූ රජු වෙනුවට දැන් බලයට පත්ව තිබෙන්නේ චීනය සමග දැඩි ලෙස සම්බන්ධකම් පවත්වන ඉන්දීය ව්‍යාප්තියට විරුද්ධ බලවේගයක්.
මාඕවාදීන් පිහිටුවන අන්තර් වාර රජය බිදදැමීමට නේපාල කොංග්‍රසය හා ප්‍රාදේශීය ගෝත්‍රික කන්ඩායමක් පෙරටු කරගෙන නැවත ව්‍යාපෘතියක් දියත් ‍කෙරෙන්නේ මේ අතර.මේ ව්‍යාපෘතිය පසුපස ඉන්දියාව සිටින බවට මාඕවාදී නායක පුෂ්ප කමල් දහල් හෙවත් ප්‍රචන්ඩා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා.කෙසේ නමුත් නිර්මානය වෙන දේශපාලන අසමබරතාවය උඩ ප්‍රචන්ඩා අගමැතිධූරයෙන් ඉල්ලා අස්වුනා.ඉන්පසු බලයට පත් නේපාල කොංග්‍රසයේ වත්මන් අගමැති මාධව් කුමාර් ඉන්දීය රූකඩයක් බවට චෝදනා එල්ල වී තිබෙනවා.නේපාල දේශපාලනය මේ වනවිට ඒ මේ අතට සැලෙමින් තිබෙන්නේ නිල රජයේ බලය හා මාඕවාදීන්ගේ ආධිපත්‍යය යන දෙකම සහිත ද්විත්ව බලයක් නේපාලයේ නිර්මානය වෙලා තිබෙන නිසා.

හැම රටක්ම වෙලදපොලක්.හැම රටවැසියෙක්ම එක්කෝ නිෂ්පාදන අමුද්‍රව්‍යයක්.නැතිනම් සූරා කා හැකි පාරිභෝගිකයෙක්.මේ වූ කලී ධනවාදයේ තර්කනයයි.තම බලපෑමේ චක්‍රය තුල හැකිතාක් භූමි ප්‍රමානයක් පවත්වා ගැනීමේ "ආසාව" පැන නගින්නේ මෙතනින්.
අලුත් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර බිම් පෙදෙස් මත ආයෝජන මත ආයෝජන අරඹමින්,සාම්පූර්හි බිමි පෙදෙස් විශේෂ ආර්ථික කලාප ලෙස ලබාගනිමින් වේගයෙන් මේ මොහොතේ ලංකාව තුලට ගලා එමින් තිබෙන්නේ ඉන්දියාවයි.සෙපා ගිවිසුමේ ප්‍රතිලාභ,රාජ්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරනය කල යුතු ආකාරය ගැන කාරුනික උපදෙස් හා ටියුෂන් රාජපක්ෂ රෙජිමයට ලබා දෙමින් සිටින්නේ එකී ඉන්දියාවයි.
මේ වූ කලී නේපාලය වැනි කුඩා රටක වුව ස්වාධීන පාලනයක් බිහිවීමට ඉඩ නොදෙන ඊට මැදිහත්වන හා කුමන්ත්‍රන මෙහෙයවන ගුරු කාන්ත් දේසායිලාගේ ඉන්දියාවයි.
අලුත් ලංකාවක සුබ සිහින දකින සියල්ලෝ සිහිකැදවා ගත යුතු වැදගත්ම කරුන එයයි.





7 comments:

  1. වටිනා කියන ලිපියක්

    ReplyDelete
  2. CEPA පිළිබඳ සාකච්ඡා කරමින් ඒ අතර ම එයට එරෙහි වන ව්‍යාපාරිකයන්ට අනුග්‍රහ දැක්වීමෙන් මහින්ද රාජපක්ෂ රජය කරන්නට යන දේ ගැන ඔබ සිතන්නේ කුමක්ද? මේ පිළිබඳ ජවිපෙ අර්ථකථනය වන එසේ කරන්නේ වෙනත් අය මෙම උද්ඝෝෂණය සියතට ගැනීම ගැන බියෙන් යයි කීම මෙහි යථාර්ථය ග්‍රහණය කර ගැනීමට අසමත් වීමේ ප්‍රකාශනයක්. ඔබ මේ ගැන සිතන්නේ තුමක්ද?

    ReplyDelete
  3. @ editor

    ආන්ඩුව මෙතනදී ප්‍රතිවිරෝධයකට මුහුන දෙන බව ඇත්තක්.ජාතික ආර්ථිකයක් දේශීය ව්‍යාපාරිකයන් ගැන සටන්පාඨ හරහා තමා වටා ඒකරාශී වූ දේශීය ව්‍යාපාර ජාලය මුලුමනින් නොතකා දැමීම පහසුවෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.
    නමුත් සාපේක්ෂ වාසිය මෙතනදී ක්‍රියාත්මක වෙන්න තියෙන ඉඩ වැඩියි.මේ වෙලාවෙ ඉන්දියාව සමග එකගතාවය හා හොදහිත සාපේක්ෂව ආන්ඩුවට ඉතා වටිනවා.යුද්දයෙන් පසු දිගටම තියෙන්නෙ ඉන්දියාව සහ බටහිර රටවල් සමග හොදහිත දිනාගන්න දරන උත්සාහයන්.එහෙම නැතිව මේ ආන්ඩුවට පවතින්න බැරි තත්වයක් තියෙන්නෙ.

    සෙපා වලට එරෙහිව එන්න පුලුවන් විරෝධය තමන්ට කලමනාකරනය කරගන්න පුලුවන් පිරිසකගේ නායකත්වය යටතේ තබාගැනීමට ආන්ඩුව කටයුතු කරනවා කියන රක බැහැර කරන්න බැහැ.විරුද්ධ පක්ෂ වලට මෙහි නායකත්වය ගියොත් විරෝධයට මුහුන දෙන්න වෙන්නෙ බැටන් පොලු පහරවලින්.ඒක ආන්ඩුවට අවාසියි.තමන්ට හිතවත් පිරිසක් අත විරෝධයේ නායකත්වය තියෙනවට මේ නිසා ආන්ඩුව කැමතියි.ඒ අය සමග සමගි සම්මුති මාර්ගයෙන් ඒ අයගේ කැමැත්ත ලබාගෙන සෙපා බලාත්මක කරගන්න ආන්ඩුව ගමන් කරන්න තියෙන ඉඩ වැඩියි.මගේ මතය අනුව වෑගපිටියලාට ආන්ඩුව හොදහිත පෙන්නන්නේ
    1.ඒ අයව මේ මොහොතේ අහිමි කරගැනීම ආන්ඩුවට අවාසි නිසා
    2.ඒ අයව හීලෑ කරගැනීමේ හැකියාව තමන්ට තිබෙන බව රාජපක්ෂ කල්පනා කරන නිසා.
    පැරනි "ජාතිකවාදී"ව්‍යාපෘතියෙන් ගෝලීය ධනවාදය එක්ක සෙට් වෙන්න දරන මේ සංක්‍රමනීය කාලයේ මේ වගේ විගඩම් ඉදිරියේදී අපමන දකින්න ලැබෙයි.

    පලි -
    http://www.lankaenews.com/English/news.php?id=9585

    සංදේශය භාරගන්නා මහින්දගේ "හිනාව" සහ තමන්ට ආම්බාන් කරන්න බැරි බව දන්න ශිෂ්‍ය විරෝධතාවලට පහර දෙන පොලිසියේ සාහසිකත්වය සංසන්දනය කරන්න.

    ReplyDelete
  4. link

    http://www.lakbimanews.lk/news/laknew2.htm

    ReplyDelete
  5. උතුර හා නැගෙනහිර ඉන්දියාවට හා හම්බන්තොට සිට පුත්තලම දක්වා චීනයට පවරමින් කරන නාඩගම කෙළවර වෙන්නේ තවත් මහා කලබැගෑනියකින් විය යුතුය. පවුලක උරුමය රකිනු පිණිස හැදුනු මහා සැලසුම අවසානයේ ඔය කොයි කවුරුත් එලා ගන්නා හැටි බලාඉන්න ආසා හිතෙන නාඩගමකි (ඛේදාන්තයකි ).

    රාමා; චීනේ මෙතන කරණම් ගහන හැටි ඔබට පේනවාද? ඔබ හිතා මතා පස්ස හරවනවාද?

    ReplyDelete
  6. චීන, ඉන්දීය, ඇමෙරිකන් හා වෙනත් නම් වලින් හදුන්වනු ලැබුවත් එය ප්‍රාග්ධනයම මිස අනෙකක් නොවේ. ධනවාදයේ මේ යුගය තුළ කාගේ හෝ ප්‍රාග්ධනය ලෝකය පුරා ව්‍යාප්ත වීම ස්වාභාවිකය. එය ධනෙශ්වර අර්ථයෙන් විය යුතුය.

    මාක්ස්වාදීන් කළ යුත්තේ ඊට බිය වී එරෙහිවීම නොව ඊට මුහුණදීමට සූදානම් වීමය.

    shan - bumuthurunu

    ReplyDelete
  7. මනිරත්නම්ගේ ගුරු චිත්‍රපටියෙහි නිරූපනය වෙන මෙම ගුරු කාන්ත් දේසායි වූ කලී කවරෙක්ද?
    ගුරු යනු පශ්චාත් යටත් විජිත භාරතීය සංවර්ධනයේ ආධ්‍යාත්මයයි


    LOL
    Bota doduda????:-))
    Movie guru was based on a real character.And this whole story is a real one.ගුරු කාන්ත් දේසායි's real character is Dheeralal Heerachand Ambani.One of the indias richest person ever.Hes also called Dhirubhai ambani.

    ReplyDelete