Friday, May 7, 2010

එක්සත් ජාතික පක්ෂය අර්බුදය කවරක්ද?


සනත් ජයසූරිය මගේ ආශාවේ වස්තුවයි.හේ කෙතරම් බිංදුවට ගියත් මම මැච් එක බලන්නේ ජයසුරිය නිසාය.ජයසූරිය කන්ඩායමෙන් ඉවත් කලොත් මම මින් පසු මැච් නොබලමි. ජයසූරිය කන්ඩායමෙන් ඉවත් කර වෙන මොන ජගතෙක් බැට් කරන්න එවුවත් කොදෙව්වන් නූලට ක්‍රීඩා කරන තුරු ලංකා කන්ඩායමට කල හැක්කක්ද නැත.නූලට ක්‍රීඩා කරන කන්ඩායමක් අබිබවා යාමට කාටවත් නොහැකි බැවිනි. කන්ඩායම නොදින්නත් ජයසූරිය මැච් එක ගහන නිසා අඩුම තරමින් මම වත් මැච් එක බලමි.ජයසූරිය ඉවත් කලහොත් මාත් මැච් එක බැලීම අත්හැර දමනු ඇත.
ජයසූරිය ඉවත් කලා කියලා කන්ඩායම මැච් එක දිනන්නේ නැත. ජයසූරිය හිටියා කියා ඒත් කන්ඩායම මැච් එක දිනන්නේ නැත.
- විසි එක් වන සියවසේ ඊසොප්
-


ලාංකීය දේශපාලන අවකාශය තුල එක්සත් ජාතික පක්ෂයට පැවති සාම්ප්‍රදායික බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් වේගයෙන් ගිල ගනිමින් තිබෙනවා යන්න ගැන විවාදයක් නැහැ.එජාප බලකොටු ලෙස සැලකෙන මහනුවර සෙංකඩගල ආසනය වැනි අතිශය ගතානුගතික යූ ඇන් පී ආසන පවා පසුගිය මැතිවරනවලදී එජායෙන් ගිලිහී ගියා.දෙමල හා මුස්ලිම් ජනයා ජීවත් වන ප්‍රදේශ හැර (දකුනේ) අනෙත් ප්‍රදේශ වලින් එජාපය ලැබුවේ අවම ප්‍රතිචාරයක්.සියයට විස්සත් තිහත් අතර දෝලනය වෙන ඡන්ද ප්‍රතිශතයක් එජාපයට අදාලව බොහෝ දිස්ත්‍රික්කවලදී දැකගන්නට ලැබුනා.2004 මැතිවරනයේදී රනිල් වික්‍රමසිංහ ලබාගත් මනාප සංඛ්‍යාව හා සමාන චන්ද සංඛ්‍යාවක්වත් කොළඹ දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට 2010 දී එජාපය අසමත් වෙනවා.මෙම සංකෝචනය වීම ඇත්තටම සැහැල්ලුවෙන් බැහැර කල හැක්කක් නොවේය යන්න පැහැදිලියි.

සාමාන්‍යයෙන් ලංකාවේ විශාලතම දේශපාලන පක්ෂය එජාපය බව හැමෝම පුරුද්දට වගේ කියනවා.මේ "හැමෝම" යන්නට එක්සත් ජාතික පාක්ෂිකයන්ට අමතරව ඊට සම්බන්ධ නොවූ අයත් ඇතුලත්.ඒ කියන්නේ එජාපය විශාලතම පක්ෂය බව එහි හිතවතුන් වගේම විරුද්ධවාදීනුත් පොදුවේ පිලිගත් කාරනයක්.
48 සිට මෙරට දේශපාලන ඉතිහාසයේ තනියම ආන්ඩු හැදීමේ හැකියාවක් සාපේක්ෂව තිබුනේ එජාපයට.ඒ වගේම සෑම සමාජ ස්ථරයක්ම විනිවිද යන පදනමක් එජාපය සතුව පැවතුනා.ගොවි ජනපද ව්‍යාපාර වල පදිංචි කල ගැමියන්,නාගරික මුඩුක්කු වල අව වරප්‍රසාදිතයන්,නගරබද මධ්‍යම පංතික පිරිස් ආදී වශයෙන් විශාල පිරිස් සංකේන්ද්‍රනයකට එජාපය උරුමකම් කීවා.පහලටම විහිදුනු විශාල ජාලයක් පැවති එජාපයේ ආධිපත්‍යය කවදත් පැවතියේ එක්තරා වරප්‍රසාද ලත් ප්‍රභූ කවයක් අත.60 දශකයේ දී ෆාම් බීච් කල්ලිය යනුවෙන් හැදින්වුනේ මෙම වරප්‍රසාද ලත් කවය.නිදහස් වෙලදපොලවාදී,කොන්සර්වැටිව් ඉහල පාංතිකයන් එජාපයේ තීරන ගැනීමේ අක්ෂය ලෙස හැමදාමත් වැජඹුනා.දොන් ස්ටෙපර් සේනානායක,ජුනියස් රිචඩ් ජයවර්ධන,ගාමිනී දිසානායක,රනිල් වික්‍රමසිංහ යනාදී සියලු නායකත්ව සංකේත බිහිවූ සමාජ පසුබිම එකක්.එය එක්තරා අන්දමක රෝයලිස්ට්/සෙන්ට් තෝමියන් වර්ගයේ කල්තරයක්.මේ සම්බන්ධ එකම ව්‍යතිරේඛය වන කෙසෙල්වත්තේ රනසිංහ ප්‍රේමදාස 88/89 මෙරට පැවති අතිශය ව්‍යාකූල පරිසරය මත හටගත් අහඹුවක් විනා එජාපයේ සාමාන්‍ය රීතිය නෙමෙයි.

එජාප කඩා වැටීමේ හේතුව රනිල් වික්‍රමසිංහ විදිහට දකින අය දැන් ඊට විකල්පය විදිහට සජිත් ප්‍රේමදාසව නම් කරන ප්‍රවනතාවයක් ඇතිවෙලා තියෙනවා.1994 ඉදලාම එජාපයේ විවිධ "ප්‍රතිසංවිධාන" ඇතිවුනා.මේ අනුව විවිධ තනතුරු ඇති කරල විවිධ අයව එම තනතුරු වලට පත්කෙරුනා.රනිල් වෙනුවට කරු ජයසූරිය යෝජනා කෙරුනා.එස් බී දිසානායකව ඉහල පුටුවේ වාඩි කරවීමෙන් අර්බුදයෙන් ගොඩ ආ හැකි යැයි ප්‍රකාශ කෙරුනා.රනිල් වෙනුවට යෝජනා වුන කරු මෙවර කොර වුනේ සමගිපුර පබා අක්කීටත් වඩා මනාප ලැයිස්තුවේ පහලට යාමෙන්.එස් බී දිසානායක රාජපක්ෂ පවුලට සේවය කිරීම සදහා ආන්ඩුවට බල්ටියක් ගැහුවා.ලැයිස්තුවේ දැන් හොයාගෙන තිබෙන අලුත්ම තුරුම්පුව හම්බන්තොට දිසාවේ පුංචි ප්‍රේමදාස.රනිල් ඉවත් කොට පුංචි ප්‍රේමදාස නායකත්වයට පත් කිරීමෙන් එජාපයට අහිමි වූ "සිංහල බෞද්ධ" පදනම යලි ආසක්ත කර ගත හැකි බවට අදහස් පල කෙරෙනවා.රනිල් කොටි සංවිධානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් නිශේධනීය ස්ථාවරයක ඉද්දී තමන් දිගටම යුද්ධය වෙනුවෙන් පෙනී සිටි බව පසුගිය දිනෙක ප්‍රේමදාස එජාප හිතවාදී ඉරුදින පුවත්පතට ප්‍රකාශ කොට තිබුනා."සිංහල බෞද්ධ" ගැලවුම්කරුවාගේ පාට් එකට අදින්න පුංචි ප්‍රේමදාස සතුව තිබෙන උවමනාව මෙම ප්‍රකාශයෙන් පෙනී යනවා.

සාකච්ඡා කල යුතු වැදගත්ම කාරනය නම් එජාප අර්බුදයේ හේතුව රනිල් වික්‍රමසිංහමද යන්නයි.එජාපයේ අර්බුදයේ "හේතුව" එජාපය තුලින් පමනක් සෙවීමට යාම බොහෝ දෙනා ඇන ගන්න එක අවස්ථාවක්.
ඒ ගැන කතා කිරීම පසුවට තබා රනිල් වික්‍රමසිංහ මාකට් කරන්න බැරි ඉහල පාංතික චරිතයකි/සිංහල බෞද්ධ නොවන චරිතයකි යන තර්කය පලමුව සලකමු.
එජාපය පරාද වීමට වික්‍රමසිංහගේ දුර්වල සමාජ පෞරුෂය එක්තරා හේතුවක් විය හැකි වුනත් ඔහු හා සමාන වෙනත් කූල්ටූර් චරිත එජාප නායකත්ව හෙබවූ අතීතයේදී එජාපය ඕනෑ තරම් චන්ද දිනා තිබෙනවා යන්න තේරුම් ගැනීම වැදගත්.අනෙත් කරුන නම් 2001 දි ආන්ඩු බලය ගත්තේත් 2005 රාජපක්ෂට කරට කර ගේමක් දුන්නේත් මෙම කූල්ටූර් වික්‍රමසිංහමයි.හාස්‍යජනක කාරනය වෙන්නේ සිංහල චන්ද "අහිමි" කරන හේතුව ලෙස වික්‍රමසිංහ විරෝදීන් දකින රනිල්ගේ කූල්ටූර් ඉමේජය එජාපය වෙත දැනට ලැබෙන ඡන්ද ටික හෝ ආකර්ශනය කරවන කාන්දම වී තිබීමයි.
කොළඹ ඉහල පංතිය සහ ප්‍රත්‍යන්ත නාගරික ඉහල මධ්‍යම පංතික කොටස් සහය දක්වන්නේ වික්‍රමසිංහගේ කුල්ටූර් ඉමේජයට මිස අනෙකකට නෙමෙයි.එජාපය වෙත දෙමල හා මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව ආකර්ශනය කරවන සාධකය වෙන්නෙත් වික්‍රමසිංහගේ කුල්ටූර් රූපය විසින් ඔවුනට සහතික කොට තිබෙන නිදහස් වෙලදපොලවාදී ආරක්ෂනය.
රාජපක්ෂ සමග සෙට් වීමට සුලු ජාතික ප්‍රභුන්ට හා සෙමි ප්‍රභූන්ට තිබෙන සැලකිය යුතු බාධාව වු කලී රාජපක්ෂගේ සිංහලවාදී ඉමේජයයි.නිදහස් වෙලදපොලවාදය සම්බන්ධ රාජපක්ෂගේ ප්‍රවේශයට මෙම ව්‍යාපාරිකයන් කැමැත්ත දැක්වුවත් ඔහුගේ සිංහලවාදී රූපය විසින් රාජපක්ෂ වෙනුවට වික්‍රමසිංහ වඩා හොද විකල්පයක් ලෙස මෙම සුලු ජාතික කොටස් සදහා ඉතිරි කොට තිබෙනවා.එජාපයට පසුගිය කාලයේ ලැබුන චන්ද ස්වල්පයෙන් සැලකිය යුතු කොටසක් සංයුක්ත වුනේ මෙම සුලු ජාතික ව්‍යාපාරික ගනයේ පෙලඹවීම මත ලැබුන චන්ද වලින්.එජාපයේ මුදුනට රාජපක්ෂ වැනිම සිංහල බෞද්ධ "වීරයෙක්" ආදේශ වුනහොත් මෙම සුලු ජන පදනම හරි මැදින් දෙකට කැඩෙන එක කොහොමවත් වලක්වගන්න බැහැ.

ඇත්තටම එජාප අර්බුදයේ "හේතුව" සෙවිය යුත්තේ එජාපය තුලින් නෙමෙයි එජාපට පිටතින් ලංකාවේ සිදුවෙමින් තිබෙන දේශපාලන සමාජ විපරිවර්තනය තුලින් බව මෙම ලියුම්කරුගේ අදහසයි.
වික්‍රමසිංහ වෙනුවට පුංචි ප්‍රේමදාස වැනි ඊනියා සිංහල බෞද්ධ කොල්ලෙක් ආදේශ කිරීමෙන් වැඩක් වෙන්නේ නැත්තේ එජාපයේ ප්‍රතිවාදියා වන රාජපක්ෂ විසින් යුද්ධය නැමැති භෞතික කාරනය හරහා දැනටමත් ගොඩනගාගෙන තිබෙන සිංහලවාදී ඉමේජය වට්ටන්න පුංචි ප්‍රේමදාසට තමන්ගේ දේශානුරාගී ටෝක් වලින් තිබෙන හැකියාව ඉතාම අඩු එකක් නිසා සහ එවැන්නක් විසින් එජාපයට ඉතිරි වි තිබෙන චන්ද පදනමත් කැබලී වී යන නිසා.
( රාජපක්ෂ හා තරග කිරීමට පුංචි ප්‍රේමදාස දැමීම විජය කුමාරතුංග සමග සටනට අර්ජුන කමලනාත් දැමීම හා සමානයි.අර්ජුන් කරන්නේ විජය කරන දෙයයි.අර්ජුන් මේ නිසා හැමවෙලාවෙම ඉන්නෙ විජයට පිටුපසින් මිස ඉදිරියෙන් නෙමෙයි.ස්වායක්ත විචල්‍යය විජය.අර්ජුන් පරායක්තයි.ගැලරිය අත්පොලසන් දෙන්නේ විජයට මිස අර්ජුන්ට නෙමෙයි )

එජාපයේ "අපලය" ඇත්තටම පවතින්නේ එජාපයට බාහිරව.එජාපයට කෙලවෙන්න සැබෑ හේතුව නම් එජාපයේ ප්‍රතිපත්තිමය "සාරය" ශ්‍රීලනිපය විසින් සොරාගෙන තිබීමයි.
අප පසුගිය ලිපියෙන්ද පෙන්වා දුන් පරිදි ලාංකීය ධනවාදයේ අති සාර්ථක නියෝජිතයා විදිහට මහින්ද රාජපක්ෂ දැනටමත් උඩට ඇවිල්ලා තිබෙනවා.සාම්ප්‍රදායිකව ශ්‍රීලනිපය නියෝජනය කලේ ලංකාවේ ධනේශ්වර කොටස් වල වඩා දේශීය නැඹුරුවක් තිබෙන පිරිස් වල අවශ්‍යතාවය.පංති වලට කැඩුන අනෙත් හැම සමාජ ක්‍රමයක වගේම ධනේශ්වර ක්‍රමයේත් පැවැත්ම පවතින්නේ බලයේ සිටින පංතිය බලයට යටත් පංතීන් හා සමාජ ස්ථරයන් කෙතරම් දුරට කලමනාකරනය කරගන්නවාද,තමන්ගේ වසගය යටතේ පවත්වා ගන්නවාද කියන කාරනය මතයි.මෙම වසග කර්තව්‍යය කූල්ටූර් වික්‍රමසිංහට වඩා ඉතා සාර්ථක ලෙස මැදමුලන රාජපක්ෂ මේ මොහොතේදී සිදුකරමින් ඉන්නවා.පසුගිය මැයි දිනයේදී කොලඹ නගර සභා පිටියට එකතු වුන වැඩ කරන කොටස් තමන්ව හෙම්බත් කරල තියෙන පසුගාමී නොදියුනු සමාජ ක්‍රමය ආරක්ෂා කරන පාලකයාම තමන්ගේ "රජතුමා" විදිහට ආදරයෙන් පිලිගනු ලැබුවා.පවතින ක්‍රමය පවත්වාගෙන යන්න හැම අතින්ම දක්ෂ,මැකියාවෙලි පන්නයේ "කුමාරයෙක්" සිංහාසනාරූඩ වී සිටින පසුබිමක වික්‍රමසිංහගෙන් හෝ එජාපයෙන් පවතින ක්‍රමයට ඇති ප්‍රයෝජනය කුමක්ද?
එජාපය සතුව තිබෙන දේශපාලන අවකාශය හැකිලෙන්නේ එජාපයේත් ප්‍රතිපත්තිමය "සාරය" වන ධනවාදය ඉදිරියට ගෙන යාමෙහිලා වඩා සාර්ථක නියෝජිතයෙක් වන රාජපක්ෂ දේශපාලන අවකාශය තුල සරන්නට පටන් ගෙන තිබෙන නිසා.
මේ අනුව වැඩි කල් නොගොස් ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ආශිර්වාදයත් රාජපක්ෂ දිනාගන්නා ආකාරය අපිට දැකගන්න පුලුවන් වෙනවා ඇති.තිස්සනායගම් මුදා හැරීම,පදික වේදිකා සුද්ද කර කොළඹ වානිජ නගරයක් කිරීමේ පදනම දැමීම වැනි ඉගි බිගි හරහා තමන් සමග හාද වීමට රාජපක්ෂ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට ඇරයුම් කොට තිබෙන අතර ජාත්‍යන්තර ප්‍රාග්ධනයට දැන් දැන් එජාපය යනු ඉස්සර කාලේ වැඩ ගන්න යොදාගෙන වයසට යාම නිසා පස්සට තල්ලු වුන නාකි වූ පරන හරකෙක් විතරයි.පරන හරකා වෙනුවට කාර්යක්ෂම හරකෙක් දැන් ගිරුවාපත්තුවෙන් බිහිවී තිබෙනවා!

එජාපයේ පැවැත්මට අදාල භෞතික පසුබිම හැකිලී යාම නිසා කුඩා තීරුවකට සීමා වෙන්න මේ අනුව එජාපයට සිද්ද වෙලා තියෙනවා.අතිශය කොන්සර්වැටිව් ඉහල පාංතිකයන් හා සුලු ජාතික පිරිස් හැරුනාම එජාපය සමග ඉතිරි වී සිටින්නේ කැපුවත් කොල විඥානයක් තියෙන ගම්බද අහිංසක යූ එන් පී කාරයන් විතරයි.පවතින දෘෂ්ටිවාදය මගින් මෙහෙයවෙන මේ අයගෙනුත් විශාල කොටසක් තමන්ට මොන මොනවා හරි ලැබෙන ජයග්‍රාහී රාජපක්ෂ පිල සමග දැනටමත් එකතු වෙලා තියෙන්නේ සදා පරාජිත පක්ෂයකින් තමන්ගේ ලමයෙක්ට රස්සාවක්වත් ලබාගන්න ඉඩක් ලැබෙන්නේ නැති නිසා.රාජපක්ෂ සාර්ථකව පවතින සමාජ ක්‍රමය ආරක්ෂා කරන තරමට සමාජ ක්‍රමය පවත්වා ගෙන යන්න ශ්‍රීලනිපය වෙනුවට විකල්පයක් සදහා භෞතික අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ.මේ නිසා එජාපයට - එහි නායකයා වික්‍රමසිංහ වුවත්,ප්‍රේමදාස වුවත්,කරු වුවත් වෙන කවරෙකු වුවත් ( අර තරම් ජනප්‍රිය පබා අක්කී එජාප නායකයා වුනත් )රාජපක්ෂ (ලා) සාර්ථකව බැට් කරන තුරු බෙන්ච් එකට වී ඉන්නට සිදුවීම අනිවාර්යයක්.

අනෙත් අතට රාජපක්ෂ පවුලේ අධිකාරිවාදී නැඹුරුව විසින් ඇති කොට තිබෙන සක්‍රීය විපක්ෂයක භූමිකාව සීමිත අර්ථයකින් වුනත් පුරවන්න එජාපයේ ව්‍යුහය අසමර්ථයි.
වීදි සටන්,වැඩ වර්ජන,කදුලු ගෑස් වැනි දේවල් එජාපයට හුරු පුරුදු ඒවා නෙමෙයි.පාරට බැස හෝන් ගැස්සීම වැනි ආතල් දිමක් හැරෙන්න සීරියස් බහුජන අරගලයකට එජාප ව්‍යුහය සතුව තිබෙන නොහැකියාව පසුගිය දිනවල කදිමට පෙන්නුම් වුනේ ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවැත්වූ වීථි අරගලවලදී.එම සටන්වල සංඛ්‍යාත්මක බහුතරය එජාප පාක්ෂිකයන් වුනාට කැපී පෙනෙන ලෙස මෑන් ඔෆ් ද මැච් වුනේ සංඛ්‍යාත්මකව අති සුලුතරය වුන ජවිපෙ.නිල විපක්ෂය ලෙස එජාපය සතුව තිබෙන නිද්‍රාශීලිත්වය ආන්ඩුව සමග දැනටමත් එජාපය කරන කතානායක පත්කිරීම වැනි "අත යට" ගනුදෙනු හරහා පෙනී යනවා.

මේ නිසා එජාප අර්බුදය අපට වාක්‍ය කිහිපයකට ගොනු කල හැක.
පලමුව රනිල්ගේ කූල්ටූර් ඉමේජය ඉවත් කලහොත් එජාපයට දැනට ඉතිරි වී තිබෙන පදනමත් අහිමි වේ.
එසේම පුංචි ප්‍රේමදාස වැනි ඩුප්ලිකේට් යූඇන්පී රාජපක්ෂ කෙනෙක්ට රගපෑම හොදට කරගෙන යන ඔරිජිනල් රාජපක්ෂගේ භූමිකාවට කල හැකි අභියෝගයක් නැත.
දෙවනුව රනිල් දිගටම සිටියත් රාජපක්ෂ එජාපයේ ප්‍රතිපත්තිමය සාරය පවත්වාගෙන යන තාක් දුරට සියයට තිහේ රැදෙනවා හැර එජාපයට කල හැකි මගුලක් නැත.
මේ වූ කලී යූඇන්පියේ උභතෝකෝටිකයයි.
මේ වූ කලී කැපුවත් කොල පාක්ෂිකයාගේ සිහින බොද කරන සදා පවතින අපලයයි.







9 comments:

  1. මම සම්පූර්නෙයන්ම ඒකගයි.ඒක අැත්ත.රාජපක්ෂ ෙරජින් ඒකට අභිෙයාග කරන්න තිබුන අන්තිම අවසතාවත් අලියා නිසා රනිල්ට නැතිෙවනවා.දැං සජිත්ට මාකට් ඒකක් නැ.ඊනියා ෙද්ශෙෙප්මීන් අද අජිත් බන්ඩාරලා ගානට වැටිලා.UNP ඒකට ඒදා ඉදල වැරදුෙන් ඹතන තමයි.අස්වයා ගියාට පස්ෙස් ඉස්තාෙල් වහනවා.UNP ඒක හැමදාම OUT OF TREND.

    ReplyDelete
  2. අරවින්ද රත්නායක said../
    දැං සජිත්ට මාකට් ඒකක් නැ/

    කවුද කියන්නෙ සජිත්ට මාර්කට් නෑ කියල සජිත් ආවොත් ඡන්දය දෙන්න මිනිස්සු බලන් ඉන්නේ (අපිත් එහෙමයි) දැන් යන දේශපාල රටාව වෙනස් වියයුතුයි එපා වෙලා තියෙන්නෙ.....

    ReplyDelete
  3. එකම කාරණාවක් ගැන හැරෙන්නට ලිපිය හා සමස්තයක් ලෙස එකඟයි.

    එකඟ නොවන කාරණාව මතුපිටින් පෙනෙන විදියට රාජපක්ෂගේ ජනප්‍රියතාවය හුදෙක් යුද ජයග්‍රහණයට ඌණනය කිරීම. යුද්ධයට ආවැඩීමෙන් පමණක් ජනප්‍රිය වෙනවා නම් ජාතික හෙළ උරුමයේ, විමල් වීරවංශගේ පමණක් නොව සරත් ෆොන්සේකාගේ හා ජවිපෙ ඡන්ද පදනමද විස්තාරණය විය යුතුයි. නමුත් වී ඇත්තේ එහි පරස්පරය. එජාපයේ ඇති සංකෝචනය ඊටත් වඩා වැඩියෙන් යුද්ධය ප්‍රතිපත්තියක් සේ අනුමත කළ මේ සතර පාර්ශවයේද දකින්නට පිළිවන්.

    රාජපක්ෂගේ ජනප්‍රියතාවයට මූලික හේතුව චිරාත් කාලයක් තිස්සේ මෙරට වැඩවසම් ජනතාව "රජෙක් ලැබුනෝතින් - කොඩි සේසත් නඟන්නම්; කිරිබත් උයන්නම්" කියා අවිඥානකව බලාපොරොත්තු වූ වැඩවසම් 'ජනමූල' (ජැක්සන් ඇන්තනිගේ වචන) මහරජතුමාගේ චරිතයට සාර්ථකව රාජපක්ෂ ආදේශ වී සිටීම. ගෝත්‍රික වැඩවසම් සමාජයක බලවත් පාලකයකු පහළ වූ කල්හි එය වෙනස් කිරීම අසීරුයි. සිස්ටම් එක හැදී තියෙන්නේ ඒ රාජ්‍යත්වය ආරක්ෂා කිරීම පිණිස නිසා.

    වැඩවසම් ගෝත්‍රික සමාජයක බලවත් පාලකයකු පැරදවිය හැකි එකම ක්‍රමය ඔහු වැනිම වෙනත් ගෝත්‍රික නායකයකුගේ නායකත්වයෙන් කෙරෙන කැරැල්ලක්. සජිත් ප්‍රේමදාස පමණක් නොව සරත් ෆොන්සේකාද යොදා කෙරෙන්නේ එවැනි අත්හදා බැලීම්. කොයිතරම් අසීරු වුනත් වැඩවසම් සමාජයක් තුළ නායකත්වය වෙනස් කිරීමට ඊට වඩා වෙනස් මාර්ග නැහැ.

    ReplyDelete
  4. ඉතාමත් හොද ලිපියක්. මං හිතනවා එජාප අර්බුධයට විසදුම් හොයන සියළුම එ.ජා.ප. පාක්ෂියන් මේ තත්වය අවබෝධ කරගත යුතුයි.

    එමෙන්එ ටැබූ ගේ
    "වැඩවසම් ගෝත්‍රික සමාජයක බලවත් පාලකයකු පැරදවිය හැකි එකම ක්‍රමය ඔහු වැනිම වෙනත් ගෝත්‍රික නායකයකුගේ නායකත්වයෙන් කෙරෙන කැරැල්ලක්. සජිත් ප්‍රේමදාස පමණක් නොව සරත් ෆොන්සේකාද යොදා කෙරෙන්නේ එවැනි අත්හදා බැලීම්" අදහසද වැදගත්.

    අප දන්නා පරිදි "විස නැසිය යුත්තේ විසෙනි"
    "උරගේ මාළු උරගේ පිටේම තබා කැපිය" යුතුය.

    මේ හොයමින් සිටින්නේ "විස" සහ "උරන්ය"

    ReplyDelete
  5. @ ටැබූ සබ්ජෙක්ට්ස්

    //එකඟ නොවන කාරණාව මතුපිටින් පෙනෙන විදියට රාජපක්ෂගේ ජනප්‍රියතාවය හුදෙක් යුද ජයග්‍රහණයට ඌණනය කිරීම.//

    ඔබ කියන සමාජයේ වැඩවසම් මනෝභාවයත් රාජපක්ෂගේ ජනප්‍රියත්වයට හේතුවුන බව ඇත්ත.ඒත් ඒ මනෝභාවය උද්දීපනය කරල ගත්තේ යුද ජයග්‍රහනය විසින්.නැත්නම් "රජ" වීමට ආසාව තිබූ එකම කෙනා රාජපක්ෂම නෙමෙයි.ලංකාවේ නව ලිබරල්වාදයේ පියා වන ජයවර්ධනත් තමන්ව හදුනව ගත්තේ ජේ ආර් ජයවර්ධන උතුමානෝ කියල.මේ අයට ආසාව තිබ්බට ඒක සාර්ථකව කාවද්දගන්න බැරි වුනේ පෙන්නන් පුලුවන් කැපී පෙනෙන භෞතික තලයේ ජයක් නොතිබුව නිසා බවයි මගේ වැටහිම

    @ තරු

    මෙහෙමයි.ඇත්තටම මේ ලිපියේ හරය වුනේ "එජාප අර්බුදයට විසදුම් දීම" ම නෙමෙයි.ඒක අර්බුදයට ගියා කියල මට ඇති දුකක් නැහැ.පෙන්නල දෙන්න අවශ්‍ය වුනේ එජාප පාක්ෂිකයන් සිතන ආකාරයට අර්බුදයේ හේතුව තියෙන්නෙ එජාපය තුල නෙමෙයි ඊට වඩා එජාපයෙන් පිට රාජපක්ෂ ව්‍යාපාතිය තුල බවයි.රාජපක්ෂ යූඇන්පී සාරය සොරාගෙන තියෙන තත්වයක් ඇතුලෙ සාම්ප්‍රදායිකව එජාපය ලැබූ "බටහිර" සහය පවා නුදුරේදී අහිමි වෙන්න නියමිතයි.රනිල් අයින් කලත් නැතත් රාජපක්ෂ යූඑන්පී ලයින් එක තුල ඉන්න කම් එජාප අර්බුදයට විසදුමක් නැහැ.

    ReplyDelete
  6. Great analysis. Totally agree with you..

    ReplyDelete
  7. රාමා, ඔබ විස්තර කර තිබෙන ගොඩක් දේවල් වලට එකගයි. ඒත් රාමා ඔබම කියනවා මහින්ද සිංහල ජාතිවාදී ප‍්‍රවේශයේ අයිතිකාරයා කියලා. සජිත් හදන්නේ පොඩි මහින්ද වෙන්න කියලාත් කියනවා. ඒත් රාමා ඔබ කියන විදිහටම මහින්ද දැන් දැන් බටහිර හිතවාදී වැඩ වලටත් අත ගහනවා නේද? ඒ කියන්නේ මහින්ද සිංහල ජාතිවාදය හරහා වහගන්න බැරි දේවල් ඉදිරියේදී කරනවා කියන එක නේද? ඉතිං එතනදී හරියට ප්ලේ කලොත් සජිත්ට සිංහල ජාතිවාදී ලයින් එක ආයෙම උස්සලා තමන්ගේ පැත්තට වාසිය ගන්න බැරිද?

    මේක අහන්නේ අපේ අදහස මේක නිසා නෙමෙයි. ඔබේ කතාවෙන් මේ විදිහ දෙයක් කියවෙන නිසායි. අපි හිතන විදිහට මේක වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ඒ ගැන අපිට ලොකු විවේචනයකුත් තියෙනවා.

    ReplyDelete
  8. @ හෂාන්

    සමාවෙන්න.කමෙන්ටුව දැක්කෙ පහු වෙලා.
    මම තර්ක කරන්නෙ හෂාන් මහින්දගේ "බටහිර හිතවාදය" රනිල්ගේ "බටහිර හිතවාදය"ට වඩා වෙනස් එකක් කියල.රනිල්ගෙ බටහිර හිතවාදය බටහිර හිතවාදයක් කියන එක බැලූ බැල්මට පේනව.ඒත් මහින්දගේ ලයින් එක වෙනස්.මහින්ද ජීඇල් හරහා දැන් බටහිර සමග සෙට් වෙන්න බලන්නෙ තමන්ගේ කුරහන් සාටකයත් රදවගෙන.මේ නිසා මුලුමනින්ම රාජපක්ෂගේ සිංහලවාදී රූපය වෙනස් වෙයි කියල හිතන්න අමාරුයි.යම් පලුදු වීමක් විතරක් වෙන්න පුලුවන්.

    සජිත් ගැන ඔය තියන සිහිනය සිහිනයක් විතරක් වෙන්නෙ යූඇන්පියේ පදනම මොකක්ද කියල සලකල බැලුවම.එජාපයට දැන් චන්දය දෙන සැලකිය යුතු පිරිසක් දෙමල සහ මුස්ලිම් චන්දදායකයන්.මේ අතර විශේෂයෙන් දෙමල මුස්ලිම් ව්‍යාපාරික පිරිස් ඉන්නව.
    යූඑන්පියේ බුද්ධිය හර්ෂ ද සිල්වා වර්ගයේ අය මිස සජිත් ප්‍රේමදාස වර්ගයේ අය නෙමෙයි.ප්‍රෙමදාස නායකත්වයට ආවොත් ( එය වෙන්න තියන ඉඩ ඉතාම අල්ප බවයි මගේ තක්සේරුව ) ඔහුට රාජපක්ෂ කදවුරේ පදනමින් කඩා ගන්න පුලුවන් කුට්ටියට වඩා ඔහු නිසා එජාපයට අහිමි වෙන කුට්ටිය විශාලයි.එජාපය ඉන් තවත් අර්බුදයට යාම නවත්තන්න බැහැ.

    එජාපය ගැන මට කැක්කුමක් නැති වුනත් සජිත්ට වඩා වික්‍රමසිංහ එජාපයේ රැදි සිටීමේ එක වැදගත්කමක් තියනව.ඒ ඔහු සිටින තුරු දෙමල මුස්ලිම් ප්‍රජාවට යම් දේශපාලන අපේක්ෂාවක් පැවතීමයි.රජයේ කුරහන් සාටකයට අමතරව විපක්ෂයටත් එවැන්නෙක්ම ආදේශ වුනොත් මේ ජනයා දේශපාලනිකව ගැටලුවකට මැදිවෙනවා.ඒ අපේක්ෂා භංගත්වය දරුනු විය හැකියි.

    ReplyDelete