Saturday, May 1, 2010

මහින්ද රාජපක්ෂ - ඔබ ධනවාදයේ ගැලවුම්කරුවාය!ධනවාදය ඔබේ ගැලවුම්කරුවාය!



කොලඹ වීදි වල "අනවසර" කඩ සාප්පු කඩා ඉවත්කිරීම පිලිබද තියුනු දේශපාලන කියැවීමක් අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියනු ලැබ මෙම සතියේ රාවය පුවත්පතෙහි පලව තිබුනා.මෙම ලිපිය බ්ලොග් අවකාශය තුලත් එක්තරා දුරක සංවාදයකට හේතුවක් වී තිබෙනු දැකිය හැකියි.
මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම මාර්ග සංවර්ධන අධිකාරිය ජනාධිපතිගේ සොහොයුරු ආරක්ෂක ලේකම් යටතට ගැනීම සමග එකට සම්බන්ධ වෙලා තිබෙන බව පෙනෙනවා.
හිගන්නන්ට සහ ජංගම වෙලෙන්දන්ට පුද්ගලික බස් රථ වලට ගොඩවීම තහනම් කෙරෙන තීරනයකට පුද්ගලික බස් හිමියන්ගේ සංගමය අවතීර්න වෙන්නේ මේ අතරතුර.හිගන්නන්,වට්ටි උස්සාගෙන පාරේ ඇවිදිමින් වෙලදාම් කරන්නන්,පේව්මන්ට් කඩවල නාවර පෙරාගත් කොල්ලන් හා ඒවාවල එල්ලෙන ලාබෙට විකිනෙන බඩු - මේවා "සුපිරි වානිජ නගරයක" නොතිබිය යුතු "අපුල දනවන දර්ශන" කියන තර්කය උඩ මෙවැනි ලක්ෂන අතු ගා දැමීමේ මෙහෙයුමකට පාලකයන් එලඹ සිටින බව පැහැදිලියි.කොලඹ අවට මුහුදේ අක්කර ගනනාවක් ගොඩ කර සර්ව සම්පූර්න වෙලද කලාපයක් ඉදිකිරීමට රජයේ සූදානමක් තිබෙන බව මේ අතර පැතිර යන තවත් ආරංචියක්.දිලිසෙන විදුලි පහන්,මහා ප්‍රාකාර,කැසිනෝ ශාලා සහ විනෝදය සපයන මධ්‍යස්ථාන ආදියෙන් හෙබි සංචාරකයන් හා විදේශ "ආයෝජකයන්" ආසක්ත කරවන සිංගප්පූරු පන්නයේ නගරයක් ගොඩනැගීමේ පාලකයන්ගේ ආධ්‍යාශය ඉහත උදාහරන කීපයෙන් තේරුම් ගන්න පුලුවන්.

මේ සිද්ධ වෙන ක්‍රියාවලිය වූ කලී කවරක්ද?මේකට දෙන්න තියන පිලිතුර සරලයි.මේ වූ කලී ධනවාදය මිස අනෙකක් නොවේ!
සිවිල් යුද්ධය අවසන් කෙරුනු පසුබිමක නිදහස් ප්‍රාග්ධන සංසරනයට සරු පසක් දැන් ලංකාවේ හැදිල තියෙනව."උතුරට වසන්තය" ගෙන ඒම උදෙසා ඉන්දීය සමාගම් දේශසීමා කඩාගෙන දැන් ගලාගෙන එනවා.ඒකොන් ප්‍රසංගය,හික්කා සැනකෙලි උත්සවය වැනි ව්‍යාපෘති විදේශ විනිමය අද්දවා ගැනීමේ අවශ්‍යතාවය මත නිර්මානය වූ ව්‍යාපෘති.බුකර්ටේට් සමාගම ඌව වෙල්ලස්ස ප්‍රදේශය පුරා සරන්නට ලක ලෑස්ති වී සිටිනවා.හම්බන්තොට වරාය ක්‍රම ක්‍රමයෙන් ඉදිවෙනවා.නැව් වලට තෙල් ගැසීම කොහොම වුනත් බඩු පැටවීම හා බඩු බෑම මෙම වරායෙන් කෙරෙනු අපේක්ෂා කල හැකියි.ගිරුවාපත්තුවේ "වීර ගොවි පුතුන්ට" වරාය කම්කරුවන් ලෙස ශ්‍රමය විකිනීමේ අවස්ථාවක් විවර වෙමින් තිබෙනවා.ඌව වෙල්ලස්ස "වීරෝදාර" ජනයාගේ සාම්ප්‍රදායික ජීවන රටාව වෙනුවට වැටුප් ශ්‍රමිකයන් බවට පත්වීමේ අවස්ථාවක් බුකර්ටේට් සමාගම විසින් සපයා දෙනු ලැබෙමින් තිබෙනවා.

මීට සමගාමීව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රාජපක්ෂ ආන්ඩුවේ පැවති තාවකාලික ආරෝව කෙසේ හෝ සංසිදුවාගැනීමට ආන්ඩුව උත්සාහ කරමින් ඉන්නා බව පැහැදිලියි.මූල්‍ය අරමුදලේ නිර්නායක වන අවම අයවැය හිගය වැනි අරමුනු පෙන්නා ගත නොහැකි නිසා අය වැය ඉදිරිපත් කිරීම යලිත් වතාවක් ආන්ඩුව විසින් කල් දමා තිබෙනවා.අතුරු සම්මත ගිනුමකින් තාවකාලිකව ඇග බේරා ගන්නා ගමන් මූල්‍ය අරමුදලට පෙන්වීම සදහා බදු ආදායම් වැඩි කරගන්නේ හා රජයේ වියදම් අඩු කරගන්නේ කොහොමද කියන බරපතල ගැටලුවට මේ දිනවල ආන්ඩුව උත්තර සොයමින් සිටිනවා.රජයේ සුබසාධන වියදම් කපා දැමීම,පෞද්ගලිකකරනය,බදු මත බදු පැනවීම වැනි පියවරයන්ට ඉදිරියේදි යන්නට සිදුවීම මේ අනුව ඉදිරි මාස කිහිපය තුල අනිවාර්යයෙන් දැකගත හැකිවනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුවන්.

රාජපක්ෂගේ කුරහන් සාටකය යටින් මේ අනුව ගලාගෙන යන්නේ අමුම අමු ධනවාදය බව පැහැදිලියි.
මෙලෙස කුරහන් සාටකය යටින් ධනවාදය ගලාගෙන යාම විසින් ලංකාවේ ඇතැම් "ලිබරල්වාදී" මහත්වරුන් අඤ්ඥකොරොස් වෙන්න පටන්ගෙන තියෙනවා.
මේ ලිබරල්වාදින් ධනවාදයේ පාරාදීසිය වන අමෙරිකාව හෝ යුරෝපය දෙස බලාගෙන රාජපක්ෂ පාලනයත් දියුනු ධනපති රටවල රෙජිමයනුත් සසදනවා.රාජපක්ෂ පාලන තන්ත්‍රය පවුල්වාදී ගුහාවක්.බටහිර තියනවා කියන "මාධ්‍ය නිදහස" ලංකාවේ දකින්නටවත් නැහැ.මාධ්‍ය වේදීන්ගේ පිටවල් කැපීම නිසා බටහිර රටක නම් සිරේ ලැගිය යුතු පාදඩ අපරාධකාරයෙක් ලංකාවේ මාධ්‍ය නියෝජ්‍ය ඇමති වී සිටිනවා.බටහිර රටක කවදාවත් සිදු නොවන ආකාරයකට ජනාධිපතිවරනයට ඉදිරිපත් වුන විපක්ෂ අපේක්ෂකයා අතාර්කික චෝදනා සමූහයක් මත සිරගත කොට තිබෙනවා.මෙවැනි දෙයක් ප්‍රශ්න කරන බටහිර පන්නයේ "මාධ්‍යවේදීන්" ලංකාවේ නැහැ.පලමු පාර්ලිමේන්තු සැසිවාරය දවසේ ගවයන් රංචුවක් දක්කන්නා සේ මාධ්‍යවේදින්ව පාර්ලිමේන්තුවට රජය විසින් බසයක පටවා රැගෙන ගියා.සැසිය අවසන් වූ සැනින් පාර්ලිමේන්තුවේ ඔබ මොබ යාමට වත් ඉඩ නොතබා යලි බස් රියේ පටවා අරගෙන එනු ලැබුවා.තමන්ට රජය ගවයන් රංචුවක් දක්කන්නා සේ සැලකූ බව ලියන්නටවත් කශේරුවක් නැති හරක් මාධ්‍ය භාවිතාවක් විනා විමර්ශනශිලී මාධ්‍ය භාවිතාවක් ලංකාව තුල නැහැ.

මේ ආකාරයට බටහිර යුරෝපයේ ධනේශ්වර "ප්‍රජාතන්ත්‍රවාදී" ලක්ෂන ලංකාවේ රාජපක්ෂ තන්ත්‍රයේ දේශපාලනය තුල නැති නිසා මෙම තන්ත්‍රය ධනේශ්වර එකක් විදිහට පිලිගන්න ලිබරල්වාදි මහත්වරු මැලිවෙනවා.රාජපක්ෂ තන්ත්‍රය ධනේශ්වර එකක් නොවේ එය වැඩවසම්වාදයකි,රාජ්‍යවාදයකි එහෙම නැත්නම් වෙන මොකක් හරි වාදයකි යැයි කියාගෙන හිත හදාගන්නට මේ මහත්වරු කැමැත්ත දක්වනවා.හැබැයි මේ මහත්වරුන්ව අන්දමන්ද කර දමමින් හතර අතින් පිටාර ගලන්නේ ධනවාදය.ප්‍රාග්ධනය.රනිල් වික්‍රමසිංහ නැමැති මහා "ධනවාදියාට" විදේශ සමාගම් වලට මෙරට ඉඩම් හරියකට පවරා දෙන්න හැකියාව ලැබුනේ නැහැ.සමාජ විරෝධය උඩ ඒ පියවර හකුලා ගැනුනා.නමුත් රාජපක්ෂ නැමැති "වැඩවසම්වාදියා" යලි පුබුදමු ලංකා මූලධර්මය වික්‍රමසිංහව පරයා සාර්ථක ලෙස මෙහෙයවමින් ඉන්නවා.නැගෙනහිර භූමිය ඉන්දීය සමාගම් විසින්,ඌව වෙල්ලස්ස භූමිය බ්‍රිතාන්‍ය සමාගම් විසින් රිසි සේ අත්පත් කරගනිමින් ඉන්නා අතර කිසිවෙකුගෙන් මේ පිලිබද ‍මැසිවිල්ලකුදු නැගෙන්නේ නැහැ.

ලංකාවේ ශිෂ්ට ලිබරල් මහත්වරුන්ගේ ධනවාදයේ පාරාදීසයික සිහිනය බටහිර යුරෝපය වුනාට යථාර්ථයක් විදිහට ගත්තම යුරෝපයේ වැනි ධනවාදී "ප්‍රජාතන්ත්‍රවාදයක්" ලංකාව වැනි පරිධියේ රටක දකින්නට ලැබෙන්නේ නැහැ.යුරෝප‍යේදී ධනවාදය සහ ඒකාධිපතිවාදය එකිනෙක නොගැලපෙන සුලු සංරචකයන් වුනාට ලංකාව වැනි පරිවාරයේ රටවල එය එසේ නොවෙයි.මේ වගේ රටවල ධනවාදී අර්ථ ක්‍රමය සාර්ථකව ගලාගෙන යන්නේ අධිකාරිවාදී පාලන තත්න්‍රයන් හරහායි.මානව හිමිකම් තකන්නේ නැති තරමට,විවෙචනයට තිබෙන ඉඩ හකුලා දමන තරමට අභියෝගයක් හෝ ගැටලුවක් රහිතව පරිවාරයේ රටවල ධනවාදය සාර්ථක ලෙස පවත්වාගන්න පුලුවන් කියන එක අත්දැකීමෙන් සාධනය වෙලා තියෙනවා.

උදාහරන කිහිපයක් ඇසුරින් මෙය තේරුම් ගැනීමට වෑයම් කරමු.

1.සෞදි අරාබිය - සෞදිය වූ කලී අමෙරිකානු එක්සත් ජනපදයේ ප්‍රධාන මැදපෙරදිග හවුල්කරුවෙක්.රජ පවුලක් විසින් මෙහි දේශපාලනය මෙහෙයවනු ලැබෙනවා.අමෙරිකානු සමාගම් මහා පරිමානව සෞදියේ තෙල් සම්පත මත ආයෝජනය කරල තිබෙන අතර ඉන් උපදින මහා සමෘද්ධියේ සැලකිය යුතු පංගුවක් සෞදියේ ප්‍රභූන් විසින් බෙදාහදා ගන්නවා.අතිශය දරුනු මර්ධනකාරී අවයවයක් විදිහට සෞදියේ රාජ්‍යය ක්‍රියාත්මක වෙනවා.කාන්තා නිදහස මානව අයිතීන් වැනි දේවල් මුද්‍රා කරනු ලැබ ඝනීභූතව පවතිනවා.දේශපාලනිකව සෞදිය කිසිසේත්ම "ප්‍රජාතන්ත්‍රවාදී" එකක් නොවුනත් සමාජ ආර්ථික වශයෙන් ධනවාදය එහි සාරයයි.

2.සුහර්තෝගේ ඉන්දුනීසියාව - 1965 ඉන්දුනිසියාවේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ක්‍රියාකාරීන් මිලියනයකට ආසන්න ප්‍රමානයක් සංහාරය කොට දමමින්,ඉන් ගලා ගිය රුධිරය මතිනුයි සුහර්තෝ බලයට පත්වෙන්නේ.දැඩි හා ආඥාදායක ස්වරූපී පාලනයක් දශක කිහිපයක් තිස්සේ හේ මෙහෙයවූ අතර මේ කාලය වූ කලී ඉන්දුනිසියානු ධනවාදයේ ස්වර්නමය යුගයක්.විදේශ සමාගම් හා ප්‍රාග්ධනයට කිසි ගැටලුවක් නැතිව ක්‍රියාත්මක වීමට අවශ්‍ය දේශපාලන ආරක්ෂාව සුහර්තෝගේ අධිකාරිවාදී පාලනය තුලින් සැපයුනා.විපක්ෂ කන්ඩායම් සීල් කෙරුනු සුහර්තෝගේ අනම්‍ය පාලනය ධනවාදයට ප්‍රශ්නයක් වුනේ නැහැ.

3.ඔගස්තෝ පිනෝෂේගේ චිලි දේශය - 70 දශකයේදී සැල්වදෝර් අයියන්දේගේ පාලනය පෙරලා දමමින් පැන නැගුනු පිනෝෂේ රෙජිමය අමෙරිකානු එක්සත් ජනපද "ශිෂ්ට" "ප්‍රජාතන්ත්‍රවාදී" ධනවාදයේ පූර්න ආශිර්වාදය ලැබ ක්‍රියාත්මක වුන එකක්.බටහිර සමාගම් වලට පරිවාරයේ රටවල ආයෝජනය කිරීම ලාබදායී කටයුත්තක්.තමන්ගේ ‍රටේදී මෙන් ශ්‍රමිකයන්ට ඉහල වැටුප් ගෙවීමට සිදු නොවීමත්,ඉතාම සොච්චම් මුදලකට ශ්‍රමය මිලදී ගැනීමට හැකිවීමත් මීට හේතුවයි.ෆිනෝෂේ මිනී මැරුවත් නැතත්,මාධ්‍ය වාරනය කලත් නැතත්,මානව හිමිකම් නොතකා හලත් නැතත් ඒක ගෝලීය ධනවාදයට ප්‍රශ්නයක් වුනේ නැහැ.ෆිනෝෂේගේ දැඩි පාලනය තුල බහුජාතික සමාගම් වලට හිසරදයක් වූ වෘත්තිය සංගම්වලට තැනක් තිබුනේ නැහැ.දේශපාලන විරෝධතාවලට ඉඩක් තිබුනේ නැහැ.වෘත්තිය සංගම් වලට "දැගලීමට" ඉඩ ලැබෙන "ප්‍රජාතන්ත්‍රවාදයකට" වඩා ෆිනෝෂේගේ අධිකාරිවාදය ධනවාදයේ පැවැත්මට වඩා හිතකර වුනා.

මාකෝස්ගේ පිලිපිනය,සියා උල් හක්ගේ පකිස්ථානය,ලතින් අමෙරිකානු කෙසෙල් රාජධානි (banana states)වල හිතුවක්කාරි උද්දච්ච පාලකයන් මේ සම්බන්ධ තවත් උදාහරන විදිහට ගන්න පුලුවන්.මාකෝස් වැනි පාලකයන් පවුල් පෝෂනයෙහි කෙල පැමිනි උදවිය වුනා.මොවුන්ගේ පාලනයන් තුල "ප්‍රජාතන්ත්‍රවාදය" නොපැවතියත් ඉතාම උත්කෘෂ්ට ලෙස "ධනවාදය" පැවතුනා.තමන්ට ලාභය සපයා දෙනවා නම්,ඒ ප්‍රමානයට මේ රටවල දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී වුනත් නැතත්,වැඩවසම් ලක්ෂන තිබුනත් නැතත් ,පවුල්වාදී ලක්ෂන තිබුනත් නැතත් බටහිර "ශිෂ්ට" ධනේශ්වර රටවල්වලට ඉන් ඇති වැඩක් නැහැ.
මේ තර්කය උඩම රාජපක්ෂ රෙජිමය ඉන්දිය සමාගම්වලට උතුරු නැගෙනහිර දොර හරී නම්,බටහිර ප්‍රාග්ධනයට කොලඹ නගරයේ දොර විවර කරයි නම්,බුකර්ටේට් සමාගමට වෙල්ලස්ස භූමිය විවෘත කරයි නම්,වෘත්තිය සමිති ව්‍යාපාර නිර‍්වින්දනය කර දැමීම හරහා බහුජාතික සමාගම්වලට ලාභ ශ්‍රමය සදහා ගොදුරු බිම් සපයා දේ නම් ගෝලීය ධනවාදයට අවශ්‍ය එපමනයි.ලංකාව "ආසියාවේ ආශ්චර්යය" කරන මහා සංවර්ධන ව්‍යාපෘතිය යනු නිදහස් ප්‍රාග්ධන සංසරනයට හායි ගා දොර හැර දැමීම මිස අනෙකක් නෙමෙයි.
"ලිබරල්" වික්‍රමසිංහට යලි පුබුදමු ලංකා හරහා කරගැනීමට බැරි වූ හරිය අතිශය සාර්ථක ලෙස "වැඩවසම්" රාජපක්ෂ ඉදිරියට ගෙන යමින් සිටිනවා.මේ අනුව ලාංකීය ධනවාදයට මෑතකාලයේ හමු වූ ඉතාම සාර්ථක නායකයා මැදමුලන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ විය හැකියි!

නිදහස් ප්‍රාග්ධන සංසරනයට දොර හැරීම මගින් බටහිර සමග යුද සමයේ පැවති ආරෝවේ තුවාල සනීප කරගන්නටත්,ගෝලීය ධනවාදය සමග යහමින් "සෙට්" වීමටත් රාජපක්ෂ රෙජිමය වෙර දරන බව පැහැදිලියි.මෙය තේරුම් ගන්න මිලින්ද මොරගොඩ වැනි "ප්‍රායෝගික" ලිබරල් වාදීන් රාජපක්ෂ තන්ත්‍රයේ නෞකාවට ගොඩවෙනවා.වික්‍රමසිංහගේ යූ එන් පියට වඩා රාජපක්ෂගේ ජනප්‍රියවාදී ශ්‍රීලනිපය ධනවාදය ගෙන යාමෙහිලා මේ මොහොතේදී වඩා සාර්ථකයි.ලංකාව සම්බන්ධ ප්‍රතිපත්තියේ වෙනසක් විය යුතු බවට එක්සත් ජනපදයේ යෝජනා සම්මත වෙන්නේ මේ අනුව.පිස්සු කෙලමින් ඉන්නේ නැතිව රාජපක්ෂට කරන්න පුලුවන් උදව්වක් කරන ලෙස වික්‍රමසිංහට "ඉහලින්" අන ලැබෙන්නේත්,ඒ අන මත වික්‍රමසිංහ රාජපක්ෂ හා සාකච්ඡා කරන්නේත්,එම සාකච්ඡා මත වික්‍රමසිංහ කාලයක් තිස්සේ පතුරු ගැසු "පවුල් තන්ත්‍රයේ" ජ්‍යෙෂ්ඨ පුරුක වූ චමල් රාජපක්ෂ කිසිම විරෝධයක් නැතිව රනිල් වික්‍රමසිංහගේම කැමැත්ත මත කතානායක කෙරෙන්නේත් ඒ අනුව.

ඉතින් මෙවැනි සන්දර්භයක් තුල ලංකාවේ "ලිබරල්වාදී" මහත්වරුන්ට ඉතිරි වී තිබෙන්නේ විකල්ප දෙකයි.
ලංකාවේ තියෙන්නේ "නියම" ධනවාදය නොවන බව කියමින්,පිටාර ගලන ප්‍රාග්ධනය දෙස අමාරුවෙන් හෝ නොබලමින්,යුරෝපය දෙස බලාගෙන කවදාවත් උදා නොවෙන යුරෝපා පන්නයේ ධනේශවර ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන සිහින දකිමින් ස්වයං වින්දනයේ යෙදීම එක් විකල්පයක්.
නැතිනම් මිලින්ද මොරගොඩ මෙන් "ප්‍රායෝගික" වී මේ මොහොතේ ධනවාදය පවත්වාගත හැකි සුදුසුම ව්‍යුහය රාජපක්ෂගේ ආඥාදායකත්වය බව පිලිගනිමින්,හිත රිදෙන මාධ්‍ය මර්ධනය වගේ දේවල් දැක්කත් නොදැක්කා වගේ සිටිමින් රාජපක්ෂ නෞකාවට ගොඩ වී ගොඩ යාම අනිත් විකල්පයයි.

නිරයෙහි වැඩ වසන අපගේ සාතන් ස්වාමීනි,
ඔබගේ නාමයට ගෞරව වේවා!
ඔබගේ රාජ්‍යය පැමිනේවා!
ඔබගේ කැමැත්ත නිරයේ මෙන් මෙලොවද ඉටු වේවා!
- මරා සාද් -





6 comments:

  1. අන්න කොන්ද පණ අතුව ලියපු බ්ලොග් එකක් කියන්න පුලුවන්, ලංකාවෙ අය බලන්නෙ වෙන්නෙ මොකද්ද කියලා නෙවේනෙ,කවුද කරන්නෙ කියලා - තවත් මේ වගේ දේවල් ලංකාවෙ මෝඩයන්ට කියල දෙන්න අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...........

    ReplyDelete
  2. "හිගන්නන්,වට්ටි උස්සාගෙන පාරේ ඇවිදිමින් වෙලදාම් කරන්නන්,පේව්මන්ට් කඩවල නාවර පෙරාගත් කොල්ලන් හා ඒවාවල එල්ලෙන ලාබෙට විකිනෙන බඩු - මේවා "සුපිරි වානිජ නගරයක" නොතිබිය යුතු "අපුල දනවන දර්ශන" කියන තර්කය උඩ මෙවැනි ලක්ෂන අතු ගා දැමීමේ මෙහෙයුමකට පාලකයන් එලඹ සිටින බව පැහැදිලියි"

    මේක හරියටම දැන ගත්තේ කොහොමද?

    ReplyDelete
  3. අනෙක් විකල්පය තම බැස්ටීලයට ඇතුලතින් පහර දීම

    ReplyDelete
  4. "ස්වදේශීය" ලේබලය හරහා දොරේ ගලා යන්නා වූ ධනවාදී අර්ථ ක්‍රමය මතු කිරීම පිළිබඳ මගේ ද ස්තූති ය. ධනවාදය අමු අමුවේ කර පින්නා ගත් කල, සමාජයේ පොදුජනතාවගේ වියදමින් ලෙයින් කඳුළෙන් දහඩියෙන් ස්වල්ප ධනවත් පාලක පැලැන්තියක ගේ ලාභය උපරිම කිරීමක හැර වෙන කවරක් අපේක්ෂා කළ හැකි ද?

    ReplyDelete
  5. මේකයි මූලික හේතුව ලංකවේ සිස්ටම් එක ධනවාදී වුනාට සංස්කෘතිය වැඩවසම්. මේක විවිධ පලාත් වල විවිධ මට්ටම් වලින් පවතිනවා.එකනිසා එකම ධනවාදය ක්‍රියාත්මක කලත් වැඩවසම් රාජජක්ෂ ධනවාදි සංස්කෘතික රනිල්ට වඩා ලංකාවේ ධනවාදි සිස්ටම් එකට වඩා ගැලපෙන්නේ ඒ නිසයි. මේ වැඩවසම් සංස්කෘතික ගති නිසා තමා අර්ථ ක්‍රමය ධනවාදී වුවත් ලංකාවේ බයියන්ට ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස් වගේ දේවල් වැඩක් නැත්තේ/ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස මාර සිරා කියලා මේකෙන් අදහස් වෙන්නේ නෑ.

    ReplyDelete