Friday, April 2, 2010

බැරැක් හුසේන් ඔබාමාගේ ජයග්‍රහනය ගැන - 2


We shall overcome
we shall overcome
We shall overcome someday
Oh deep in my heart I do believe
We shall overcome someday!

We are not afraid
we are not afraid
We are not afraid today
Oh deep in my heart I do believe
We shall overcome someday!

මානව ඉතිහාසය තුල වර්නභේදවාදයට අතිශය අපකීර්තිමත් ඉතිහාසයක් හිමියි.
කලු හම නරක දෙයක් විදිහටත් සුදු හම හොද හා උතුම් දෙයක් විදිහටත් මේ අනුව සියවස් ගනනාවක් තිස්සේ පිලිගනු ලැබුවා.රඩ්යාඩ් කිප්ලිංගේ "සුදු මිනිසාගේ වගකීම" කියන කවිය ලෝකය ශිෂ්ට සම්පන්න කිරීම සුදු මිනිසාගේ වගකීමක් හා කාර්යභාරයක් යැයි ප්‍රකාශ කරනවා.ඒ කියන්නේ සුදු හම වූ කලී ශීෂ්ටත්වය බවත් කලු හම වූ කලී මිලේච්ඡත්වය හා අශිෂ්ටත්වය බවත් පැරනි කාලයේ සිටම පිලිගැනීමට ලක්වූ දෙයක්.
අප්‍රිකාවෙන් අල්ලා ගනු ලැබූ නිග්‍රෝ ජාතික වහලුන්ගෙන් යුක්ත අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍යය 17 වෙනි සියවසේ සිටම වර්නභේදවාදය පදනමක් විදිහට ගත්තු රාජ්‍යයක් විදිහටයි ගොඩනැගුනෙ.කලු මිනිසුන් වහලුන් වූ අතර ඔවුන් වහලුන් වූ නිසාම සුදු මිනිසා කල්ලාට වඩා උතුම්ය යන අදහසට වලංගුතාවයක් නිතැතින්ම ලැබුනා.
වහල් සේවය අහෝසි කරන්න ඒබ්‍රහම් ලින්කන් 1861 දී තීරනය කිරීමත් සමග වහල් සේවය දරුනුවට මුල් බැහැලා තිබුන අමෙරිකාවේ දකුනු දිග ප්‍රදේශ වල ජනපද ලින්කන්ගේ පාලනයට විරුද්ධව දැවැන්ත කැරැල්ලක් ගහනවා.අමෙරිකානු සිවිල් යුද්ධය කියල ඉතිහාසගත වුනේ මේ කැරැල්ල.කල්ලන් වහලුන් බවත් කල්ලන් තමන්ගේ අධිකාරිය යටතේ සිටිය යුතු බවත් දැඩිව ඇදහූ අමෙරිකාවේ දකුනු දිග ප්‍රාන්ත වල සුදු වහල් හිමියෝ මාරාන්තික ලෙස ලින්කන්ගේ තීරනයට ප්‍රතිචාර දැක්වූ ආකාරයෙන්ම වර්නභේදවාදය කෙතරම් දරුනු ලෙස මුල් බසින ලදුව තිබූ දෙයක්ද යන්න පැහැදිලි වෙනවා.
නීත්‍යනුකූල ලෙස 1861 දී අමෙරිකාවේ වහල්සේවය අහෝසි කලත් කලු සුදු ධ්‍රැවීකරනය සමාජය තුලින් ඉවත් වීම සිදු වුනේ නැහැ.බොහෝ දකුනු දිග ප්‍රාන්ත වල වැඩි ජනගහනයක් සිටියේ කලු ජාතිකයන්.මේ නිග්‍රෝවරුන් සුලුතරයක් වූ සුද්දන්ගේ ආධිපත්‍යයට යටත් වෙලා ජීවත් විය යුතු යැයි සැලකුනා.කල්ලෙක්ට පාරේදී හමුවන සුද්දෙක් කලු මිනිසා කෙතරම් වයස්ගත වූවත් ආමන්ත්‍රනය කලේ නිගර් ( කල්ලා ) හෝ බෝයි යන අවමානාත්මක වදන් වලින්.පාසල් රෝහල් අවන්හල් ප්‍රසිද්ධ උද්‍යාන වගේ හැම දෙයක්ම වර්නභේදවාදී පදනම උඩ වර්ගීකරනය කරල තිබුනා.හොදම පාසල්,හොදම සමාජ ශාලා සුද්දන්ට පමනක් වෙන්වුන ඒවා වුනා.කලු බහුතරය දරිද්‍රතාවයේ ගිලී ජීවත් වූ අතර අවම පහසුකම් යටතේ දෙවන පංතියේ පුරවැසියන් සමූශයක් ලෙස පවතින්නට ඔවුන්ට බල කෙරී තිබුනා.

මේ අනුව ගත්තම අමෙරිකානු වර්නභේදවාදය කියන්නෙ 20 වන සියවස වන විටත් ශේෂව පැවතුන දෙයක් වන අතර එම සියවසේ අතිශය දරුනු ලෙස බලපැවැත්වූ පීඩාකාරී ව්‍යුහයක්.මෙය ඇතැම් විට දෙවනි වෙන්නේ යුදෙව්වන් ප්‍රසිද්ධියේ සමූලඝාතනය කල හිට්ලර්ගේ භාවිතාවට පමනක් විය හැකියි.සමූලඝාතනය කිරීම හැර අනෙත් සියලුම ආකාරයේ සීමා කිරීම්,කොන්කිරීම් හා සූරාකෑම් වලට ගොදුරු වූ ජනකොටසක් විදිහටයි අමෙරිකානු නීග්‍රෝ ජනයා ජීවත් වුනේ.
එවකට ජීවත් වූ සුද්දන් මෙන්ම කල්ලන්ද විශ්වාස කලේ වර්නභේදවාදය යනු ස්වභාවික දෙයක් බවයි.
සෝවියට් පුවත්පත් කලාවේදියෙක් අමෙරිකානු සංචාරවල අත්දැකීම් උඩ ලියපු "මාටින් ලූතර් කිං - ජීවිතය හා මරනය " කියන කෘතියේ වර්නභේදවාදය අමෙරිකාවේ සිස්ටම් එකක් ලෙස පැවතුනේ කොහොමද කියන එක ගැන ඉතා කදිම නිදර්ශන ගනනාවක් සපයනවා.
මෙහිදී එක අවස්ථාවක මෙම කලාවේදියා සුදු ජාතික ගෘහනියකගෙන් කලු ජාතිකයන්ට "සමතැන" ලබා දීම ගැන විමසනවා.සුදු ජාතික ගෘහනිය අවඥාවෙන් ඒ අදහස බැහැර කරනවා විතරක් නෙමෙයි,කලු ජාතිකයන්ට සම තැනක් අවශ්‍ය බව කලු ජාතිකයන්වත් නොසිතන බවත් ඇය පවසනවා.ඒ කියන්නේ තමන් ඇත්තටම,ස්වභාවිකවම දෙවෙනි පංතියේ අයවලුන් සමූහයකි යන්න සාමාන්‍ය නීග්‍රෝ ජනයා පිලිගෙන සිටියා කියන එක පැහැදිලියි.

අපි ස්වභාවිකයි කියල හිතාගෙන ඉන්න බොහෝ දේවල් ස්වභාවික දේවල් නෙමෙයි.ඒවා සමාජමය ගොඩනැංවීම්.ඕනෑම සමාජමය ගොඩනැංවීමක් සමාජමය වශයෙන් බිද දමන්නත් පුලුවන්.

වර්නභේදවාදය "සාමාන්‍ය" හා "ස්වභාවික" දෙයක්ය යන විශ්වාසය කලු ජනයා අතින්ම අභියෝගයට ලක්වෙන්න පටන්ගන්නේ 20 වන සියවස මුල ඉදන්මයි.50 දශකය වනවිට පෙර නොවූ විරූ සංවිධානාත්මක ව්‍යාපාරයක් විදිහට කලු ජනයාට අයිතිවාසීකම් දිනාගැනීම සදහා වූ සටන ඉස්සරහට එනවා.මාටින් ලූතර් කිං කියන කලු ජාතික පූජකවරයා මේ සටනේ ආරම්භක ක්‍රියාධරයෙක්.
රෝසා පාක්ස් නමැති නිග්‍රෝ ජාතික කාර්යාල සේවිකාවක් දිනක් බස් රියකට නගිනවා.ඇය සුදු ජාතිකයෙක්ට අසුන පිරි නොනැමුවේය කියන චෝදනාව මත ඇයව බලහත්කාරයෙන් බසයෙන් එලියට දැමෙනවා.මීට විරෝධය පලකරමින් නගරයේ සියලු කලු ජනයා එක්සත්ව බස් වර්ජනයක් කල යුතුයි කියන යෝජනාව උඩ සිව්ල් නීති කඩකිරීමේ ව්‍යාපාරයක් මාටින් ලූතර් කිං ආරම්භ කරනවා.මේ බස් රථ වර්ජනය 60 දශකය දක්වා ඇවිල ගිය කලු ජාතීන්ගේ දැවැන්ත සටනක ආරම්භය විදිහටයි සැලකෙන්නෙ.

කලු ජාතිකයන්ට අමෙරිකාව තුල සමතැන ලබාගැනීම සදහා ගෙන ගිය අරගලය ප්‍රසිද්ධ වූයේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය යනුවෙනුයි.මේ ව්‍යාපාරය තුල ප්‍රවනතා කිහිපයක් දක්නට ලැබුනා.
1.මාටින් ලූතර් කිං විසින් නියෝජනය කල අවිහිංසාවාදී සටන් ප්‍රවනතාවය.කිං ධනේශ්වර "මහත්මයෙක්" වූ අතර එක්තරා විදිහක ලිබරල් ස්වරූපයක් මේ ප්‍රවනතාවය තුල තිබුනා.මේ අය සුදු ආධිපත්‍යයට විරුද්ධව සටන් කිරීමේදී හිංසනය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කලා.ඉන්දියාවේ ගාන්ධි අනුදකිමින් අවිහිංසාවාදී සටන් හා සිවිල් නීති කඩකිරීමේ සටන් හරහා අයිතීන් දිනාගත යුතු බව ඔවුන් යෝජනා කලා.
2.ආගමික සම්භවයක් සහිත ප්‍රවනතාවය - කලු ජාතිකයන් තුල ඉස්ලාම් දහම වැලදගැනීමේ ප්‍රවනතාවයක් 50 හා 60 දශක වල ව්‍යාප්ත වුනා.සුප්‍රකට බොක්සිං ක්‍රීඩක කැෂියස් ක්ලේ මොහොමඩ් අලි බවට පත්වන්නේ කලු ජාතිකයන් "විමුක්තිය" ලැබීම උදෙසා ඉස්ලාම් දහම වැලද ගත යුතු බවට ව්‍යාප්ත වූ අදහස සමග.
3.රැඩිකල් දේශපාලන ප්‍රවනතාවය- ස්ටොක්ලි කාමයිකල් මැල්කම් එක්ස් වැනි නායකයන් මේ ප්‍රවනතාවයේ පූර්වගාමීන් වුනා.කිංලාගේ අවිහිංසාවාදය මේ අය අතින් විවේචනයට ලක්වුනා.මැල්කම් එක්ස් ප්‍රසිද්ධ රැස්වීමක වරෙක පැවසුවේ සුදු ආධිපත්‍යයෙන් මිදිය හැක්කේ we shall overcome යනුවෙන් සිංදු කියමින් සිටීම තුල නොව සන්නද්ධ වී සුද්දන්ගේ පීඩනයට විරෝධය පෑම තුල බවයි.
(we shall overcome - මේ ගීතය මාටින් ලූතර් කිංගේ ව්‍යාපාරයේ තේමා ගීතය තරම් ප්‍රසිද්ද වූ ගීතයක්)
අමෙරිකානු සුදු බලවතුන් කලු ජාතිකයන් "සමූලඝාතනය" කිරීමට තැත් කරන බව ස්ටොක්ලි කාමයිකල් කියන තරුන නායකයා වරෙක ප්‍රසිද්ධ රැස්වීමක උද්වේගකර ලෙස චෝදනා කලා.රතු ඉන්දියානුවන් සමූලඝාතනය කොට ගොඩනැගුනු රටකට,වියට්නාම් යුද්ධය හරහා ඈත ආසියානු රටක අහිංසක ජනතාවක් සංහාරය කරමින් ඉන්නා රටකට කලු ජාතිකයන් සමූලඝාතනය කිරීමේ බැරිකමක් නැති බව ඔහු මේ කතාවේදී පවසනවා.අමෙරිකාවේ ඉතිහාසයම යලි සලකා බැලිය යුතුයි කියන අදහස මේ රැඩකල් ප්‍රවනතාවය විසින් මතුකලා.උදාහරනයක් විදිහට අමෙරිකාවේ ජාතියේ පීතෘවරයා විදිහට සැලකෙන ජෝර්ජ් වොෂිංටන් යනු විශාල වහල් හිමියෙක්.ස්වකීය ජනයා වහලුන් ලෙස තබාගන්නා ලද පීඩකයෙක් තමන්ගේ අධ්‍යාත්මික පිතෘවරයා ලෙස සැලකිය හැකිදැයි මෙම දහරාවට අයිති ක්‍රියාධරයන් ප්‍රශ්න කරනවා.මේ අදහස්වලට සමාන අදහස් ගනනාවක් Black panther party කියන රැඩිකල් දේශපාලන ව්‍යාපාරයේ ලිපි ලේඛන කියවූ විට සොයාගත හැකියි.

වියට්නාම් යුද්ධයට බැදෙන්නට අමෙරිකානු තරුනයන්ට නියෝග කල අනිවාර්ය යුද හමුදා සේවය පිලිබද නීති කලු ජාතික දේශපාලන සටන්කරුවන්ගේ බරපතල විරෝධයන්ට තුඩු දුන්නා."තමන්ට දෙවෙනි පෙල පුරවැසියන් ලෙස සලකන රාජ්‍යයක් වෙනුවෙන් ඇත ආසියාතික රටක මරාගෙන මැරෙන්නට යන්නේ කුමකටද"යන්න කාමයිකල් ප්‍රශ්න කලා.ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා වූ මොහොමඩ් අලි යුද සේවයට බැදීම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරමින් බන්ධනාගාරගත වීම තෝරාගත් බව ප්‍රසිද්ධ කතාවක්.වර්නභේදවාදී සංස්ථාපිතයට විරුද්ධ කලු ජාතිකයන්ගේ සටන නොතකා හැරිය නොහැකි බලසම්පන්න එකක් බවට 60 දශකය මැද භාගය වනවිට පත්ව තිබුනා.මේ සටන්වලට සහය දෙන්න ඉදිරිගාමී අදහස් තියන සුදු ජාතිකයන් ඉදිරිපත් වුනා.බොබ් ඩිලන් වගේ සුදු ජාතික ගායකයන් වර්නභේදවාදය විවේචනය කරමින් හා කලු ජාතික සටන්වලට සහය පලකරමින් දේශපාලන ගීත නිර්මානකරනයේ යෙදෙන්නට වුනා.
වර්නභේදවාදී පද්ධතියේ ආරක්ෂකයන් තමන්ගේ ආධිපත්‍යය ප්‍රශ්න කල විරුද්ධකාමින්ට එරෙහි කුප්‍රකට සංවිධාන අටවා ගන්නට පටන් ගන්නේ මේ අතර.කූ ක්ලකස් ක්ලෑන් ( KKK )නමැති අපකීර්තිමත් සංවිධානය මෙවැන්නක්.කුලියට ගත් සුදු ජාතික මිනීමරුවන් යොදවා අමෙරිකාවේ දකුනු ප්‍රාන්ත වල දේශපාලන ක්‍රියාකාරීන් මරා දැමීම,බිය ගැන්වීම මේ අනුව සිදුවුනා.මේ සිදුවීම් වල ඛේදනීයම අවස්ථාව විදිහට සැලකෙන්නේ මාටින් ලූතර් කිං නැමැති නායකයා මරා දැමීමට ලක්වූ අවස්ථාවයි.

සාහසික මරන,බිය ගැන්වීම්,පොලිසිය යොදවා පහරදීම් හා අතුරුදහන් කිරීම් වැනි භයානක සිදුවීම් ගනනාවක් අතරින් පරිනාමය වූ කලු ජාතිකයන්ගේ අරගලය අවසානයේ වර්නභේදවාදී අමෙරිකානු සමාජයේ තීරනාත්මක වෙනසක් සිදු කිරීමට සමත් වෙලා තියෙනවා.කලු ජාතිකයෙක් වූ බැරැක් ඔබාමා රටේ ජනාධිපතිධූරයට පත්වීම වැදගත් වෙන්නේ මේ අර්ථයෙන්.ඔබාමාගේ මුතුන් මිත්තා "බෝයි"යනුවෙන් අවමානයට ලක්වූ නිකම්ම නිකම් නීගරයෙක් විය හැකිව තිබුනා.මැල්කම් එක්ස්,මාටින් ලූතර් කිං වැනි මිනිසුන් පවතින තත්වයන්ට විරුද්ධව සටන් නොකලා නම් ඔබාමාත් මුඩුක්කුවක කුලී වැඩ කරන හුදු කල්ලෙක් පමනක් විමට ඉඩ තිබුනා.
නමුත් සමාජය දැවැන්ත ලෙස වෙනස් වී තිබෙනවා.වඩාත් නිවැරදිව කියනවා නම් ධෛර්යසම්පන්න මිනිසුන් විසින් කල විරෝධය පෑම් වල ප්‍රතිඵලයක් ලෙස සමාජය වඩා හොද දිශාවකට වෙනස් කරගන්නට හැකිවී තිබෙනවා.වසර එකසිය පනහකට පෙර ඉපදුනා නම් කස පහර කන වහලෙක් විය යුතුව තිබූ අයෙක් රාජ්‍යයේ ජනාධිපතිධූරයට පත්වීම විසින් පෙන්නුම් කරන්නේ පවතින අසාධාරනයන් ඉවසීම වෙනුවට,ඒවාට අභිමුඛ වීම හා ඒවා සමග සටන් කිරීමේන් කොතරම් ශ්‍රේෂ්ඨ වෙනස්කම් මිනිසුන්ට කල හැකිද යන්න මිස වෙන කිසිවක් නෙමෙයි.

ඔබාමා බලයට පත්වීම පිලිබද කතාන්දරය මේ අනුව මිනිසාගේ ශක්තිය කෙතරම්ද යන්න විදහා දක්වන කතාවක්.සමාජයේ තිබෙන බොහෝ අයුක්තීන් "ස්වභාවික" දේවල් විදිහට අපි හිතාගෙන ඉන්නවා.සිය ගනන් ගැහැනුන් පිරිමින් නිදාගන්නට තැනක් නැතිව කොටුව දුම්රිය ස්ථානය අසල ඉටි රෙදි එලාගෙන නිදාගද්දී,අම්මාවරුන් සිය දරුවන් උස්මහත් කරගත නොහැකිව ගංගා වලට විසි කරද්දි මේ සියල්ල අතරින් එක් රැයකට විසි තිස් දහස් ගනන් සල්ලි වියදම් කිරිම උදෙසා සුඛෝපභෝගී ඉන්ටකූලර් වල නැගි කුමර කුමරියන් රාත්‍රී සමාජ ශාලා වෙත පියාඹා යද්දී - මේ විෂමතාවය,මේ පරතරය,මේ බරපතල වෙනස ස්වභාවික දෙයක් විදිහට හිතන්න අපිව පුරුදු කරවලා තියනවා.එහෙම හිතන්න අපි පුරුදු වෙලා තියෙනවා.හරියට අවුරුදු එකසිය පනහකට පෙර වහලෙක් සේ ජීවත් වීම කල්ලාගේ ස්වභාවික ඉරනම යැයි අමෙරිකානු සමාජය කල්පනා කලා වගේ සමාජයේ ඇති තාක් අයුක්තීන් "සාමාන්‍ය" ඒවා විදිහට ඉවසිය යුතු යැයි අපට උගන්වා,අපව සිතන්න පුරුදු කොට තිබෙනවා.
සියලු සමාජ අයුක්තීන් සමාජයීයයි.සමාජමය ගොඩනැංවීම් ඕනෑම එකක් බිද දමන්නටත් වෙනත් විදිහකට නැවත ගොඩනගන්නටත් මිනිසුන්ට හැකියාව තියෙනවා.
ඔබාමාගේ සංකේතාත්මක ජයග්‍රහනය විසින් උගන්වනු ලබන පාඩම වූ කලී මානවයාගේ මෙම විභව ශක්තියේ බල පරාක්‍රමය පිලිබද පාඩමයි.





2 comments:

  1. Gr8..!
    අපි ස්වභාවිකයි කියල හිතාගෙන ඉන්න බොහෝ දේවල් ස්වභාවික දේවල් නෙමෙයි.ඒවා සමාජමය ගොඩනැංවීම්.ඕනෑම සමාජමය ගොඩනැංවීමක් සමාජමය වශයෙන් බිද දමන්නත් පුලුවන්.

    ReplyDelete