Tuesday, April 6, 2010

1971 අප්‍රේල් - ප්‍රභූ විරෝධී දේශපාලනයේ සංධිස්ථානයක් ලෙස



And from every dead child a rifle with eyes,
and from every crime bullets are born
which will one day find
the bull's eye of your hearts.

And you'll ask: why doesn't his poetry
speak of dreams and leaves
and the great volcanoes of his native land?

Come and see the blood in the streets.
Come and see
The blood in the streets.
Come and see the blood
In the streets

- pablo Neruda


71 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධ යැයි සැක කෙරුනු තරුනියක් වූ ප්‍රේමවතී මනම්පේරිව අප්‍රේල් මැද භාගයේදී රජයේ හමුදා විසින් අත්අඩංගුවට ගත්තා.අත්අඩංගුවට ගත්ත රාත්‍රිය පුරා හමුදා භටයන්ගේ වධ හිංසාවන්ට හා අතවර වලට ඇය ගොදුරු කෙරුනා.ඇගේ දේශපාලන කටයුතු කිසිවක් ගැන ඇය "හෙලිදරවු" නොකිරීම මත පසුදින කතරගම නගර මධ්‍යයට ඇය ගෙන ගිය හමුදා නිලධාරීන් ඇයට මහ මග ප්‍රසිද්ධියේ ඇදුම් ගලවා දමන ලෙස අන කලා.
බලහත්කාරයෙන් නිරුවත් කරනු ලැබූ තරුනියට නගරය හරහා "මම පංති පහම කලා" යැයි කියමින් ඇවිද යන ලෙස අන කල හමුදා නිලධාරීන් තැපැල් හලක් අසලදී පිට පිට වෙඩි තබා ඇය මරා දමනු ලැබුවා.හිස කා වැදී ගිය රයිෆල් උන්ඩයක් ඇගේ මරනය සිදු කල ආසන්නම සාධකය විදිහට පසුව හදුනා ගැනුනා.

1971 අප්‍රේල් ලාංකීය ඉතිහාසයේ සංධිස්ථානයක් විදිහට සැලකිය යුතුයි.එය සංධිස්ථානයක් වෙන්නේ කරුනු කිහිපයක් මත.

පලමුව ආසියාවේ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී සුන්දර දේශයක් විදිහට මතුපිටින් වර්නනා කරල තිබුන ලංකාවෙ "ප්‍රජාතන්ත්‍රවාදය" හා "සුන්දරත්වය" අභ්‍යන්තරව කෙතරම් ව්‍යාජයක්ද යන්න දැවැන්ත අර්ථයකින් පලමු වතාවට ප්‍රශ්න කෙරුනෙ 71 අප්‍රේල් වලදී.

දෙවෙනුව රටේ "නීතිය හා සාමය රකින්න", රටේ ජනතාව "රැකබලාගන්න" පිහිටුවා තිබෙන අහිංසක ආයතනයක් විදිහට හදුන්වා දිල තිබුන රාජ්‍යය කියන ආයතනය එහි ස්වභාවයෙන් කොයිතරම් ක්‍රෑරද,කොයිතරම් ප්‍රචන්ඩද හා කොයිතරම් හිංසාකාරීද යන්න මහා පරිමානයෙන් එලිදරවු වුනේ 71 අප්‍රේල් වලදී.

තෙවනුව පාර්ලිමේන්තුවට සීමා වූ දේශපාලනයක් කරමින් සිටි පරන වම කියල හදුනගන්න සමසමාජ කොමියුනිස්ට් පක්ෂ වල වාමාංශික සටන්පාඨ වල නිස්සාරත්වය හෙලිදරවු වි ලංකාවේ වාමාංශික දේශපාලනයේ යුගයක අවසානය සටහන් වෙන්න පටන් ගත්තේ 71 අප්‍රේල් වලදී

සිවුවෙනුව ප්‍රභූ කේන්ද්‍රීයව හැඩ ගැසී තිබුන ලංකාවේ දේශපාලන සිතියම ප්‍රභූ නොවන දේශපාලන නැගිටිමකින් මහා පරිමානව ප්‍රශ්න කිරීමට ලක්වුනේ 71 අප්‍රේල් වලදී.

නිදහසෙන් පස්සෙ ලංකාවෙ දේශපාලනය කියන්නෙ ප්‍රභූත්ව දේශපාලනයක්.දේශපාලන ආධිපත්‍යය නිශ්චිත පංතියක්,සමාජ ස්ථරයක් වටේ කේන්ද්‍රගත වෙලා ගොඩනැගිල තිබුනෙ.මේ බලය සහිත පංතියේ වඩා දේශීය කොටස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහටත්,වඩා බටහිරවාදී කොටස එක්සත් ජාතික පක්ෂය විදිහටත් සංවිධානය වෙලා තිබුනා.වලව්ව බලාගන්නේ කොහොමද? කියන එක ගැන මේ ප්‍රධාන ආයතන දෙක අතර විවිධ මත භේද තිබුනත් වලව්ව වලව්කාරයන්ගේ විය යුතු බවටත්,ගස් ගෙඩි කඩන බයියන්ට වැඩිම උනොත් වලව්වේ පිලිකන්නට ගොඩ වෙන්න "චාන්ස්" එකක් දෙනවා මිස වලව්වේ අයිතිය වලව්කාරයන්ගෙන් පිට නොයා යුතු බවටත් මේ දෙපිරිස අතරම මූලධාර්මික සම්මුතියක් තිබුනා.
වලව්වට පිට ගැමියෝ වලව්වට බය පක්ෂපාතව හේනක් කුඹුරක් කොටගෙන පරම්පරා ගානක් තිස්සෙ ජීවත් වුනා.වලව්කාරයෝ එලියට යද්දි මේ අය දෙකට නැවුනා.ගරු සරු ඇතිව "ඩඩ්ලි හාමු" කිව්වා."මැතිනිය" කියල ලේන්සුව කරට ගත්තා.වලව්කාරයෝ සැපට ඉන්න එක ගැමියන්ට ප්‍රශ්නයක් වුනේ නැහැ."ඒක ඒ අයගෙ වාසනාව" කියල සද්භාවයෙන්ම හිතාගත්තා.වලව්වට සෙට් වුන කවුරු හරි අයුතු විදිහට හරි හම්බු කරනව දැක්කොත් "ඔය තත්වෙට ආවම කවුද ඔහොම නොකරන්නෙ" කියල හිතාගත්තා.වලව්වෙ මහත්වරු ඉදල හිටල ගැමියන්ට තෑගි දුන්න.තමන් කාල ඉතිරි වුන දෙයක් තියනව නම් ගම්මුන්ට කතා කරල කන්නත්,බීල ඉතිරි වුන දෙයක් තියෙනව නම් බොන්නත් දුන්න.මේ අහක දාන පිංබත් වලට නිදහස් අධ්‍යාපනය,නිදහස් සෞඛ්‍යය වගේ ගාම්භීර නම් සෙට් එකකුත් දැම්මා.
වලව්කාරයන්ගේ උදර පෝෂනය ගැන මෙලෝ දෙයක් නොදත් අහිංසක ගැමියෝ "අනේ අපේ මහත්තුරු අපිට කොයිතරම් කරුනාවද" කියල විසී කරන ඉදුල් ආසාවෙන් ගිල දැම්මා.චන්දෙ දවසට ගිහින් ගිල දමපු ඒවට හොදට කලගුන සැලකුවා.

පරම්පරා ගනනක් තිස්සේ දිග හැරුන මේ ක්‍රියාවලිය තුල ගම්මුන් වෙනුවෙන් කතාකල තැරැව්කරුවන් කීප දෙනෙක් සිටියා.මේ අයටත් වලව්වේ යම් ඉඩක් හදල දීල තිබුනා.ගම්මුන්ගේ දුක ගැන යමක් කමක් වලව්කාරයන්ට කියල පුලු පුලුවන් විදිහට ඉදල හිටල මොනව හරි දෙයක් වලව්වෙන් ගැමියන්ට ප්‍රදානය කරවන්න මේ තැරැව්කාර මහත්වරු යම් සේවයක් කලා.වලව්වෙ ලැගුම් ගෙන සිටි මේ ප්‍රභූවරු කොටස තමන් "වාමාංශිකයි" කියල හදුන්වගත්තා.ගැමියන්ට මොන මොනව හරි ලබා දෙන්න බ්‍රෝකර් වැඩක් කලත් ගැමියන් වලව්වේ බලය ගන්නවාට හෝ ඊට ඇතුල් වෙනවාට මේ අයත් කැමති වුනේ නැහැ.මේ වාමාංශික ප්‍රභූවරුන්ගේ ජීවිත විලාසිතාව සුගතපාල සිල්වා "බල්ලෝ බත් කති" තුල විශිෂ්ට ලෙස නිරූපනය කරනවා.

කෙසේ වුවත් 71 අප්‍රේල් පිපිරිම සිදුවෙන්නේ වලව්වේ හා වලව්වට යටත් වැස්සන්ගේ මේ අලස,නිද්‍රාශීලි ජීවන රටාව තිගැස්මට ලක්කරමින්.
"ක්‍රමය" පිලිඅරගෙන අවුලක් නැතිව සාමකාමීව ජීවත් වූ ගැමියන්ගේ නව පරම්පරාව එක් වරම වලව්වට හා එහි පාලනයට විරුද්ධව කැරලි ගසා නැගීටීම ඉහත කී සියලු පාර්ශව අන්දමන්ද කරවාලන සිදුවීමක් වුනා.ඉහත කී සියලු දෙනා හොල්මං වෙන්න පටන් ගත්තා.ජේආර් ජයවර්ධන,සිරිමා බන්ඩාරනායක,එන් එම් පෙරේරා - තමන් එකිනෙකාගේ දැවැන්ත දේශපාලන "සතුරන්" යැයි ලෝකයට පෙන්වාගෙන සිටි මේ සියලු ප්‍රභූ ගනයා තමන් අයිති වන්නේ එකම පංතියකට කියන එක ඔප්පු කරමින් කැරලි ගැසූවන් මර්ධනය කොට කැරැල්ල සමතලා කිරීමට එකාවන්ව එක්සත් වුනා.

71 නැගිටීම ගැන බොහෝවිට කෙරෙන විග්‍රහයන් එම අරගලය ජනතා විමුක්ති පෙරමුනේ ව්‍යාපෘතියක් කියන සරල අර්ථයෙන් ඒක විග්‍රහ කරන්න උත්සාහ කරනවා.
71ට සම්බන්ධ වූ ඇතැමුන් දිගටම ජවිපෙ සමග සිටි අතර ඇතැමුන් පසුව ජවිපෙ හැරගියා.ඒ කුමක් වුවත් 71 නැගිටීම අහම්බයක් නෙමෙයි.ඒක හුදු දේශපාලන පක්ෂයක වීර ක්‍රියාවක් විදිහට තේරුම් ගැනීම සාවද්‍යයි.71 අරගලය සමාජයීය සංසිද්ධියක්.
නිදහසෙන් පස්සේ සමාජය ප්‍රභූ කේන්ද්‍රීයව හැඩගැසුන නිසා පහල සමාජ ස්ථරයන් මත නොනවතින පීඩනයක් ක්‍රියාත්මක වුනා.මේ අගහිගකම්,පීඩනය දේශපාලනිකව තේරුම් ගන්න බහුතරයක් දෙනාට පුලුවන් කම තිබුනෙ නැහැ.දුප්පත්කම,විරැකියාව - මේවා සමාජ ක්‍රමයේ ගැටලු විදිහට තේරුම් ගන්නවා වෙනුවට තම තමන්ගෙ අතීත පව හෝ පින සම්බන්ධ කාරනයක් විදිහට හිතාගෙන හිත හදාගන්නයි බහුතරයක් දෙනා පුරුදු වෙලා සහ පුරුදු කරවලා තිබුනෙ.
1948 ඉදල විවිධ "සංවර්ධන" ව්‍යාපෘති ක්‍රියාත්මක වුන.මේ "සංවර්ධනයේ" ප්‍රතිලාභ නැවතත් සමාජයේ එක්තරා කොටසක් අත රැදුනා මිස පහලට ගලා ඒමක් සිදුවුනේ නැහැ.කැකෑරෙමින් තිබුන මේ විෂම චක්‍රය දේශපාලන අර්ථයකින් තේරුම් ගන්න නිර්ප්‍රභූ ජනයාගේ නව පරම්පරාවේ ඇතැම් කොටස් උත්සාහ කරන්න ගත්තා.පැරනි වමේ ව්‍යාපාරය වලව්වටම සින්න වීමත් එක්ක ඒ හිස්තැන පුරවන්න විවිධ උත්සාහයන් දැරුනා.නව සම සමාජ පක්ෂය,පෙරදිග සුලං,ගිනිපුපුර,විකොස වගේ විවිධ සංවිධාන බිහි වෙන්න ගන්නෙ මේ අනුව.
නමුත් මේ සියලු සංවිධාන න්‍යායික දේශපාලනයට අනවශ්‍ය ලෙස සීමා වෙලා නාගරිකව පරන වම එක්ක හෙට්ටු කරද්දි ග්‍රාමීය හා අර්ධ නාගරික දේශපාලන ව්‍යාපාරයක් විදිහට ජනතා විමුක්ති පෙරමුන වර්ධනය වෙන්න පටන් ගත්තා.අන්තිමේදී අනිත් සියලු කන්ඩායම් වේදිකාවේ පසෙකට ඇද දමමින් "නව" වාමාංශික දේශපාලනයේ ප්‍රධාන දහරාව බවට ජවිපෙ පත්වුනා විතරක් නෙමෙයි 71 දී ලංකා ඉතිහාසයේ පලවෙනි වතාවට ප්‍රභූවාදී දේශපාලන සංස්ථාපිතය සන්නද්ධව ප්‍රශ්න කිරීමට ලක්වෙනවා.

71 සම්බන්ධව බොහෝ දෙනාට තියන "ජනප්‍රිය" ප්‍රශ්නය තමයි අනේ කැරලි ගහන එක මිනී මරන එක හොද නැහැ නේද?කියන ප්‍රශ්නෙ.
මේ හැමදෙනාම අමතක කරන,නැතිනම් මේ කාටවත් නොපෙනෙන කාරනය තමයි කැරලි ඇතිවෙන්නේ ඇයි කියන කරුන.ඒ කරුනට උත්තර දන්නවනම් කවුරුත් කැරලි ඇතිවීමේ යුක්ති යුක්ත භාවය ගැන ප්‍රශ්න කරන්නේ නැහැ.
Johan Galtung කියන නෝර්විජියානු චින්තකයා ඉදිරිපත් කරන ව්‍යුහාත්මක ප්‍රචන්ඩත්වය (structural violence) කියන අදහස කැරලි ඇතිවීම තේරුම් ගන්න විශාල ආලෝකයක් අපට සපයනවා.
යම් දේශපාලන සංස්ථාවක් ඉදිවෙලා තියෙන ආකාරය තුල ප්‍රචන්ඩත්වය හා හිංසනය ගැබ්වෙලා තියෙනවා.උදාහරනයක් විදිහට 48 න් පස්සේ ලංකාවේ හැදෙන ප්‍රභුවාදී දේශපාලන ක්‍රමය ප්‍රභූ නොවන කොටස් මත විශාල පීඩනයක් එල්ල කරනවා.ඒ පීඩනය ඇගිල්ල දිගුකරල ස්පර්ශ කරන්න පුලුවන් එකක් නෙමෙයි.ඒ හිංසනය එලියට එන්නෙ දරිද්‍රතාවය,නූගත්කම,විරැකියාව,මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වගේ වේශයන් හරහා.ව්‍යුහගත ප්‍රචන්ඩත්වයට ඒ හිංසනයට යටත් වූ අය ප්‍රතික්‍රියා දක්වනවා.කැරලි ගසා නැගිසිටීම් සිදුවෙන්නේ ව්‍යුහගත හිංසනයට එරෙහිව යොදන ප්‍රති හිංසනය විදිහට.
මේ හින්ද කැරලි වල හිංසනය ගැන අහන හතර පෝයට සිල්ගන්න මහත්වරු ඉස්සෙල්ලාම ඒ අරගල සිදුවන සමාජයේ ව්‍යුහය තුල ක්‍රියාකාරී වන ක්‍රමයේ හිංසනය ගැන කතාකරල ඉන්න ඕනෙ.ව්‍යුහයේ හිංසනය ගැන කතා නොකර ව්‍යුහයට එරෙහිව එන හිංසනය ගැන කතා කරන එක,තමන්ව හපා කන්න එන බල්ලට පොල්ලෙන් ගහන එක "හිංසාකාරීයි" නේද කියල අහනව වගේ බොලද සහ මෝඩ ප්‍රශ්නයක්.

ප්‍රේමවතී මනම්පේරිලාව පරම්පරා ගනනක් තිස්සේ රවටනු ලැබුවා.රැවටීමට එරෙහිව මනම්පේරිලා වැනි දහස් ගනන් අය එක් නිමේෂයකදී ප්‍රතික්‍රියා දක්වනු ලැබුවා.රවටනු ලැබූවන් විසින් එහිදී පෙරලා මනම්පේරිලා ජීවග්‍රහයෙන් ගෙන ඔවුන් "ත්‍රස්තවාදීන්" යැයි ලේබල් කොට ඝාතනය කර දැමුනා.
ඇත්තම ත්‍රස්තවාදීන් වූ කලී කවරහුද?

ඔවුන් හරිද අපි වැරදිද
අපි හරි නම් උන් වැරදිදි
ඇති මග පියවිලි උඩින්ද
වැගිරෙන ලේ වැල් මතින්ද
නැගෙන කුකුස නිති මා සිත
සිදලයි බැති සිත මා තුල

- ගුනදාස අමරසේකර






13 comments:

  1. "අහගෙන ඉන්නවා, දෙමලා!" පෝස්ට් එකට මොකද වුනේ?

    ඒක පේන්න නැහැ නෙ.

    ReplyDelete
  2. ජවිපෙ මිනීමරු ත්‍රස්තවාදීන්ට කොන්දේසි විරහිතව සුදුහුණු ගාන රාමචන්ද්‍රගෙන් මේ එකපාක්ෂික විලාපය හැරුණු විට වෙනෙකක් අපට බලාපොරොත්තු විය හැක්කේද?

    ප්‍රේමවතී මනම්පේරි මියගිය ආකාරය ලුණු ඇඹුල් ඇතිව කියන ඔහු (එක් සිංහල බ්ලොග්කරුවකුගේ පියාද ඇතුළුව) ජවිපෙ මිනීමරුවන් විසින් 1971දී හා 1989දී තුච්ඡ ලෙස ඝාතනය කරන ලද අහිංසක මිනිසුන් ගැන වචනයක් වත් නොකීමට පරෙස්සම් වෙයි. මේ මිනිස් ජීවිත අවැදගත්ය. (1971දී ජවිපෙ මිනීමරුවන් විසින් වැඩිහරියක් ඝාතනය කරන ලද්දේ පොලිස් කොස්තාපල්ලා වැනි දුප්පත් අහිංසක මිනිසුන් මිස සිරිමා බණඩාරනායකගේ ඇමති මණ්ඩල සගයන් වත් මහා ධනපතියන් වත් නොවේ.)

    රාමචන්ද්‍ර මේ ත්‍රස්තවාදීන්ට ආවඩන්නේ රෙදි ඇඳගෙනද? ග්‍රාම නිලධරයකු වීමේ පාපකර්මයට ජවිපෙ මිනීමරුවන් විසින් මරාදමන ලද අහිංසක මිනිසාගේ පුතාට ඔහු කියන්නේ කුමක්ද?

    ඔහුගේ පියා රාමචන්ද්‍ර උදේ හවස හඳුන්කූරු පත්තුකර වන්දනාමාන කරන ජවිපෙ මහා දේශප්‍රේමීන්ට/සමාජවාදීන්ට අනුව අනිවාර්යයෙන්ම මිය යායුතු පාඩදයෙක් බවද? නැතිනම් ඔහුගේ මරණය collateral damage එකක් බවද?

    ReplyDelete
  3. තමන්ගේ රෝමැන්තික සිහින ලෝක තුළ සිරවී සිටින රාමචන්ද්‍රලා වැනි අඳබාල දේශපාලන 'විචාරකයින්' කවදාවත් අවබෝධ නොකරගන්නා කාරණය නම් ජවිපෙ වේවා LTTEය වේවා හැමදාම වැඩිපුර මරාදමා හිංසාකොට ඇත්තේ තමන්ගේම ජාතියේ/පන්තියේ සගයින් විනා ඔය කතා කරන 'සතුරන්' නොවන බවය.

    LTTE ත්‍රස්තවාදීන් අතින් වැඩිපුර මැරී ඇත්තේ අහිංසක නිරායුධ දෙමළුය. ජවිපෙ ත්‍රස්තවාදීන් අතින් මැරී ඇත්තේ දුප්පත් ග්‍රාමීය ජනතාවය. අඩුගණනේ LTTEය ඉහළ මට්ටමේ සිංහල පොලිතීසියන් ('සතුරන්') කිහිප දෙනකු මරා දමා ඇත. ජවිපෙ මැරුවේ කවුද? ජේ ආර් ජයවර්ධනද? වලව්කාරයින්ද? නැත. ග්‍රාම සේවකලාය. පොලිස් කොස්තාපල්ලාය. ගමේ පුංචි කඩයක් දාගෙන සිටි සුළු පරිමාණ වෙළඳුන්ය. (මොකද උන්ගේ ගොං මොළයට පෙණුනු 'ධනපති පංතිය' ඒය.) නන්දන මාරසිංහය. (අභය ඉල්ලා වැඳ වැටුණු ) ප්‍රේමකීර්ති ද අල්විස්ය. (වලව්වක් අස්සට රිංගා ගත්තද තමන්ගේම පන්තියෙන් බිහිවූ ) විජය කුමාරතුංගය. තමන්ගේ පාඩුවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය කරගෙන සිටි ඉතාම අහිංසක ලේඛකයකු වූ ජේ. ඊ. ගුණසේකරය.

    අද ඉන්නා ජෙප්පන් පමණක් නොව එදා මෙදා තුර ජවිපෙන් ඉවත් වූ වික්ටර් අයිවන්ලා, සුනන්ද දේශප්‍රියලා, මහින්ද විජේසේකරලා, ලයනල් බෝපගේලා, විමල් වීරවංශලා, නන්දන ගුණතිලකලාද මේවාට වගකිවයුතුය.

    මේ ඝාතන "ව්‍යුහගත හිංසනය තුළ" සිදුවීම සාමාන්‍යයි කියා මිනීමැරීම සාධාරණීකරණය කරන රාමචන්ද්‍ර මඩ හෝදන්නේ අද්‍යතන ජවිපෙ ක්‍රියාධරයන්ගේ පමණක් නොව ඉහත පිරිසගේද වේ. ජඩ වර්ගවාදියකු වන ගුණදාස අමරසේකර සීයාගේ තල්ලුවත් ඔහුට අවශ්‍ය වන්නේ එනිසා විය යුතුය.

    ReplyDelete
  4. "අහගෙන ඉන්නවා, දෙමලා!" ලිපිය බොරු වුන හින්දා ඒක අයින් කරගෙන. මේ වගේ බොරු තව කොච්චර ලියල ඇද්ද?

    ReplyDelete
  5. @පළගැටියා,

    /"අහගෙන ඉන්නවා, දෙමලා!" ලිපිය බොරු වුන හින්දා ඒක අයින් කරගෙන./

    තම වරද අවබෝධකොටගෙන බ්ලොග් පෝස්ට් එකක් ඉවත් කළේ නම් එය ප්‍රශංසා කටයුතුය. (ජවිපෙ ආයුධ අතහැර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වූවාක් සේ.) නමුත් තම වරද පිළි ගැනීමක් හෝ සමාව ඇයැදීමක් කිසිවකු රාමචන්ද්‍රගෙන් බලාපොරොත්තු නොවිය යුතුය.

    ජවිපෙ චින්තනය අනුව ජවිපෙ හැමදාම හරිය. කිසිදිනෙක වැරදි නැත. වැරදුනත් හරිය. අපට විකාරයක් සේ පෙනුනද ජවිපෙ පැවැත්ම සම්පූර්ණයෙන් රැඳී ඇත්තේ මේ සරල තියරිය මතය. ස්වයං විවේචනය යනු ජවිපෙ බැළුම් බෝලයට ඇල්පෙනෙත්තකි.

    ReplyDelete
  6. @ taboo subjects

    //මේ ඝාතන "ව්‍යුහගත හිංසනය තුළ" සිදුවීම සාමාන්‍යයි කියා මිනීමැරීම සාධාරණීකරණය කරන රාමචන්ද්‍ර මඩ හෝදන්නේ අද්‍යතන ජවිපෙ ක්‍රියාධරයන්ගේ පමණක් නොව ඉහත පිරිසගේද වේ.//

    ලිපියේ ප්‍රධාන තර්කය ගොඩනැගෙන්නේ ඉහත කාරනය මත.දැන් ජවිපෙ හෝ කොටි සංවිධානය හෝ ඒ වගේ මොකක් හරි එකක් "ත්‍රසතවාදයක්" කියල කවුරු කවුරුත් කියනව.ඒ අධිපති මතය ඔබත් දරන බව පෙනෙනව.නමුත් මේ අයට ත්‍රස්තවාදීන් කියන උදවිය අවි ගැනීමට මේ සමාජ කොටස් මත එල්ල කල පීඩනය "ත්‍රසතවාදයක්" විදිහට හෝ හිංසනයක් විදිහට නොදකින්නේ ඇයි?
    ඒ හිංසකයන් ප්‍රසිද්ධියේ බෝම්බ නොදැරූ නිසාද?
    ජවිපෙ මදකට පැත්තකට දමා ඊලාම් අරගලය ( කොටි සංවිධානය විතරක් නෙමේ 80 දශකයේ දේශපාලනය කල අනෙත් සටන්කාමී සංවිධාන සියල්ලත් ඇතුලු ) හිතන්න.දෙමල ජනයාව බැහැර කරමින් නිදහසට පස්සෙ ලංකාවෙ රාජ්‍යය ඒකපාර්ශවිකව ගොඩනගද්දි දෙමල සමාජය මත එතනදී පතිත වුනේ හිංසනයක්.ඒ හිංසනය බෝම්බ,බයිනෙත්තු හිංසනයක් නෙමෙයි.සමාජ පීඩනයක්.
    ඒ පීඩනයට ප්‍රතික්‍රියා විදිහටයි ලක්ෂ ගනන් දෙමල තරුනයන් ආයුද ගන්නෙ.එහෙම ආයුද ගත්තම පීඩකයා පෙරලා ප්‍රතික්‍රියා දක්වන්නා "ත්‍රස්තවාදියෙක්" ලෙස ලේබල් කරල ඔහුව දඩයම් කරනව.මේ ක්‍රියාවලිය සංකීරනයි.අධිපතින්ගේ "ත්‍රස්තවාදී" කතිකාවත ප්‍රශ්න කිරීමක් නැතිව පිලිගැනීඹ හරහා ඔබ ඇතුලු බොහෝ දෙනා සිදුකරන්නෙත් මේ විෂම චක්‍රය සාධාරනීකරනය කරන එක.

    71 හා 88 කැරලි ගත්තත් එහෙමයි.මේවා හුදු ජවිපෙ ව්‍යාපෟති විදිහට තේරුම් ගන්න එකට මම විරුද්ධයි.71ට සම්බන්ධ වුන,ඒ පිලිබද පසුතැවිලි නොවන නමුත් ජවිපෙන් පසුව අයින් වුන අයත් ඉන්නව කියන එක සටහන් කරගන්න.ඇත්ත තමයි දහස් ගනන් මිනිස්සු 71 දී ස්වේචඡාවෙන් තිබුන පාලනයට විරුද්ධව ආයුද ගත්තා.මේක බරපතල සිදුවීමක්.නිකම් "ත්‍රස්තවාදයක්" කියල ඒක සරලව බැහැර නොකර ඒ සිදුවීම සමස්තයක් ලෙස වටහා ගැනීමයි අවශ්‍ය වෙන්නෙ.පාලකයන්ට නම් මේව නිකම්ම නිකම් ත්‍රස්තවාදි වැඩ විය හැකියි.නමුත් දේශපාලනකිව සිතන්නෙක් මීට වඩා දුර යා යුතුයි.

    අවසන් වශයෙන් 71 හිංසා ක්‍රියා ගැන-ඔය සාකච්ඡාව 71 විතරක් නෙමෙයි පරන රෝමයේ ස්පාටකස්ගෙ කැරැල්ලෙ ඉදල,ප්‍රංශ විප්ලවය,අමෙරිකාවෙ සිවිල් යුද්ධය,වියට්නාම් යුද්ධය වගේ මොන දේ ගැන කතාකරන්න ගියත් මතුවෙන එකක්.ඒත් අපි කැමති වුනත් නැතත් සමාජය පරිනාමය වෙද්දි හිංසනය එහි මාධ්‍යයක් වෙලා තියෙනවා.ඒකෙදි වෙන නරක දේවල් හෙලා දැකිය යුතුයි.ඒ ගැන විවාදයක් නැහැ.ප්‍රංශ විප්ලවය ඓතිහාසිකයි කියල පිලිගන්න ගමන් ගිලොටිනයෙන් වුන හැම මරනයක්ම සාධාරනයි කියල කියන්නෙ නැහැනෙ.ඒ වගේම ගිලොටිනයෙන් අසාධාරන මරන වුන පමනින් ප්‍රංශ ව්ප්ලවය දේශපාලනිකව වැදගත් නැහැ කියල කියන අඥානයෙක් ඉන්නවාද?
    71 සටන් "ශෛලිය",ඒකෙදි භාවිතා වුන ඇතැම් උපක්‍රම ගැන අපිටත් විවේචනයක් තිබනෙවා.( 88 ට මේක වඩාත් අදාලයි)
    නමුත් ක්‍රියාවලියක් විග්‍රහ කරද්දි හුදෙකලා සිදුවීම් අරගෙන භාවමය වශයෙන් උඩු බුරනව වෙනුවට සමස්තයක් විදිහට ඒක මනින එක තමයි දේශපාලනික වෙන්නෙ.

    ReplyDelete
  7. පසුගිය ඉවත් කරන ලද බ්ලොග් පෝසටය ගැන -
    එම ලිපියට ප්‍රධාන කරුනු දෙකක් අන්තර්ගත වෙලා තිබුනා.
    1.ජනාධිපති යාපනනෙය්දී කලා යැයි වාර්තා කොට තිබුන ප්‍රකාශය
    2.ජනාධිපති ජනාධිපතිවරනය ජයගැනීමෙන් පසු මාධ්‍ය ඉදිරියේ කල ප්‍රකාශය
    මේකෙන් 1 කරනුමය වශයෙන් නිවැරදි නැහැ කියන එක ලියුමකරුට පසුව පෙනී ගියා.ලියන අවස්ථාව වනවිට නිකුත් වෙලා තිබුනේ අදාල කතාවේ හඩපටය විතරයි.ලිපිය ලියද්දි හඩපටයට දෙතුන් වරක් හොදට ඇහුම්කන් දුන් අතර (මෙකේ නම රාමචන්ද්‍රගේ අඩවිය වුනාට ලිවීම සදහා අදහස් දීඹ හා ඊට සම්බන්ධ වන තනි පුද්ගලයෙක්ට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා ) අවංකව ඉන් ඇහුනේ ඉහත ලිපියේ සදහන් වුන ප්‍රකාශය මිස අනෙකක් නෙමෙයි.නමුත් පසුව නිකුත් වූ වීඩියෝ පටය නරඹන විට,ප්‍රකාශ කරන දේ සහ ප්‍රකාශ කරන ආකාරය මත සිද්ධිය වෙන එකක් බව ඒත්තු ගියා.ඒ වනවිට කමෙන්ට්ස් 20ක් පමන ලිපියට පක්ෂව හා විපක්ෂව පලවී තිබුනා.21 වෙනි කමෙන්ට් එක විදිහට කනගාටුව ප්‍රකාශ කිරීමේ ප්‍රකාශයක් දානවට වඩා ලිපිය ඉවත් කිරීම යෝග්‍යයි කියල සිත්වුන නිසා ලිපිය ඉවත් කලා.
    කොහොම වුනත් සිදු වූ සිද්ධිමය වැරදීම ගැන කනගාටුව ප්‍රකාශ කරන අතර @ පලගැටියා - "තව කොච්චර බොරු කියල තියෙයිද" කියල ඔබට විශ්වාසයක් නැති හින්ද මේක පටන්ගත්ත දවසෙ ඉදල ලිපි 50 කට අධික ප්‍රමානයක් පලවෙලා තියෙනව.ඒව සේරම වෙලාව අරගෙන පරිස්සමෙන් කියවල "බොරු" කියල තියන තැන් තියනව නම් කරුනාකරල පෙන්නලා දෙන මෙන් ආදරයෙන් ආරාධනය කර සිටිනවා.

    ReplyDelete
  8. "අහගෙන ඉන්නවා, දෙමල(ත්)" ගැන තමන්ගේ විග්‍රහය වැරදි නිසා ඒක ඉවත් කර ගැනීම වටින්නෙ තමන්ට වෙච්ච වැ‍රැද්දත් පිළිගත්ත නං තමයි.

    හැබැයි එහෙම පිළිගන්න අකමැති නං, සද්ද නොකර හරි අයින් කරගන්න එක හොඳයි, ටැබූ-සබ්ජෙක්ට්ස් වගේ, බොරු විලම්බීත හේතු ඉදිරිපත් කරලා, තමන් ඇන ගත්ත පෝස්ට් විතරක් අයින් කරනවට වඩා.

    රාමචන්ද්‍රට වුනත් ඉඩ තිබ්බා නේ, ටැබූ-සබ්ජෙක්ට්ස් කරා වගේ, "මේ පෝස්ට් එක නිසා ආන්ඩුව මාව උස්සන්න පුළුවන්, ඒ නිසා අයින් කරනවා (නැතුව ටැබූ ඇන ගත්ත නිසා එහෙම නෙවෙයි ඔන්න)" වගේ බොරු විලම්බීතයක් ගහන්න. එහෙම නොකරපු එකට චීයර්ස් පාරක් දෙන්න වටිනවා.

    චියර්ස්!

    ReplyDelete
  9. ටැබූට තියෙන්නේ ජේවීපීය ගැන අන්ධ වෛරයක්. ටැබූගෙ අදහස් වලත් ප්‍රභාකරන් මැරුනු විට කිරිබත් කෑමේත් කිසිවෙනසක් නැහැ.

    ReplyDelete
  10. ඇයි ඒ විතරක් ද, ටැබූ තමන් ගෙ මත වලට පහර වදින කමෙන්ට්ස් කපලා දාන්නෙ, ආන්ඩුව මාධ්‍ය මර්ධනය කරන එකට බනින ගමන් ම.

    ReplyDelete
  11. 1971 වන විට සිංහල සමාජයේ යම් කොටස් දැඩි පීඩනයකට ලක්ව සිටියහ. එය මම ප්‍රතික්ෂේප නොකරමි. නමුත් එසේ වීට කියා ජවිපෙ ත්‍රස්තවාදීන්ට ආයුධ අතට ගෙන හිතුමතයේ මිනී මරන්නට ලයිසන් ලැබෙන්නේ නැත. ඉතාම තුච්ඡ ආකාරයෙන් කළ මිනී මැරීම් "අනේ ඕවා පීඩනයට එරෙහිව කරපු ඒවනේ. ගණන් ගන්ඩ එපා. ඔය මිනිහෙක් දෙන්න මැරෙනවා තමයි." කියා රෝමෑන්තීකරනය කොට සාධාරනීකරණය කිරීමෙ ජාත්‍යන්ධ ජවිපෙ හිතවාදියකුට මිස තාර්කික මිනිසකුට කළ හැක්කක් නොවේ.

    ජවිපෙ හිතවාදී ලේඛකයකුගෙන් මම විජේවීර සහෝදරයා මිනීමස් කෑම සාධාරනීකරණය කිරීම හැරුණු විට අන් දෙයක් අපේක්ෂා නොකරමි.

    ජවිපෙ විසින් මරා දමන ලද සිංහල බ්ලොග් රචකයාගේ පියා ගැන රාමචන්ද්‍ර නිරුත්තර වන බව මම දනිමි.

    - Taboo

    ReplyDelete
  12. @gadfly,

    ඔබ එක්තරා පමණකට නිවැරදිය.

    පැරණි ජවිපෙ ගැන මට අන්ධ කෙසේ වෙතත් වෛරයක් ඇත. එය මා කිසිවිටෙක ප්‍රතික්ෂේප කොට නැත. මම ත්‍රස්තවාදය තරයේ පිළිකුල් කරමි, මොන පැහයෙන් ආවත්.

    එහත් වර්තමාන ජවිපෙ මම ඊට වඩා සුභවාදීව දකිමි. විශේෂයෙන්ම 2010 මහ මැතිවරණයේ ඔවුන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමෙහි ලා තීරණාත්මක මෙහෙයක් කරනු මම දකිමි. ජවිපෙ මේ අවස්ථාවේදී ස්වකීය ඉතිහාසයේ කිසි දිනෙක නොවූ විරූ ලෙස නිවැරදිව හැසිරෙනු මම දකිමි. (මින් අදහස් වන්නේ මා 100%ක් ඔවුන් අනුමත කරන බව නොවේ.)

    නමුත් එසේ වූ පළියට ජවිපෙ ඉතිහාසයේ කළ මෝඩ කම් රෝමෑන්තීකරණය කර සාධාරනීකරණයට මම නොපෙළඹෙමි. ජවිපෙ විසින්ම සැමරීම අතහැරදමා ඇති "බක් මහ විරුවන්" ගැන ප්‍රශස්ති ගායනා කිරීම උන් ගැන හොඳින් දන්නා කෙනකුගේ ඉවසීමේ සීමාවන් බිඳීමට සමත්ය.

    ReplyDelete
  13. අද මහ මැතිවරණයෙන් ජවිපෙ තීරණාත්මක පරාජයක් ලබනු ඇත.

    මේ වන තෙක් ජවිපෙ ඉතාම වැරදි තීරණ ගත් අවස්ථාවලදී ඔවුන් ප්‍රතික්ෂේප නොකළ (සමහර විට රාමචන්ද්‍ර මෙන් මෝඩ ලෙස අගය කළ) ජනතාවම අද ඔවුන් තම ගමන් මාර්ගයෙහි සාපේක්ෂව නිවැරදිම ලක්ෂ්‍යයට පැමිණෙන අවස්ථාවේ ඔවුන් අළුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කරනු ඇත.

    මෙය අපේ රටේ මොට්ට ඡන්දදායකයා පිළිබඳ ඛේදවාචකයයි.

    ජවිපෙ හා මා අතර ඇති ගැටුම් කවරක් වුවද අඩු තරමින් මේ පාර්ලිමේන්තුවේ ජවිපෙ මන්ත්‍රීවරුන් සිව් දෙනකු වත් සිටිය යුතු යැයි මම සිතමි. මේ අවස්ථාවේ අපට එක සුනිල් හඳුන්නෙත්ති කෙනෙක් රෝසි සේනානායකලා දහයකට වඩා වටින්නේය. (මෙයින් අදහස් කරන්නේ මා හඳුන්නෙත්ති සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ බව නොවේ.)

    ReplyDelete