Saturday, March 27, 2010

පනස් වෙනි සටහන


මෙම කෙටි බ්ලොග් සටහන රාමචන්ද්‍රගේ අඩවිය බ්ලොග් අඩවියේ පනස් වෙනි බ්ලොග් සටහනයි.

බ්ලොග් අඩවියක සටහන් පනහක් තැබීම යන්නෙහි සංකේතාත්මක වටිනාකමකට වැඩි දෙයක් නැහැ.නමුත් ප්‍රායෝගික ජීවිතයේදී මේ වගේ සංකේතාත්මක අවස්ථාවන් එක්තරා විදිහක ධෛර්යයක් විදිහටත් වැඩ කරනවා.මෙතෙක් කල් ආ දුර ගැනත් ඒ ආ ගමන ගැනත් සමාලෝචනයක් කරන්නත්,ඉදිරිය ගැන අදහසක් ඇති කරගන්නත් මෙවැනි සංකේතාත්මක අවස්ථාවන් උදවුවක් වෙනවා.

මුලතිවු නගරය රජයේ හමුදා අතට පත්ව රනකාමය මොහොතින් මොහොත උත්සන්න වෙමින් පවතින වකවානුවකයි රාමචන්ද්‍රගේ අඩවියේ පලවෙනි සටහන ලියවුනේ.දස අතින් දකුන ආලෝලනය කරමින් ඔල්වරසන් නැගෙද්දී "නවත්වන්න ඔල්වරසන්" යන හිසින් එය ලියවුනා.යුද්ධය දිනීමෙන් පසු මෙරට සුරපුරයක් වන බවට පාලකයන් වපුල මතය ව්‍යාජයක් බවත් යුද්ධය දිනුවත් නැතත් සමාජ ප්‍රශ්න වල වියගසින් මොහොතක ඉසිඹුවක් හෝ සමාජයට නොලැබෙන බවත් එම සටහනින් ප්‍රකාශ කෙරුනා.
යුද්ධය පැවති කාලයේ බඩුමිල ඉක්මවා පශ්චාත් යුදකාලීන බඩුමිල ඉහල නගිමින් තියෙනවා.යුද කාලයේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් කප්පාදුවද පරයා පශ්චාත් යුදකාලීන අයිතින් කප්පාදුව හැම පැත්තෙන්ම අවි අමෝරා ගන්න පටන් අරගෙන තියෙනවා.සිවුදිගින් නැගුන ඔල්වරසන් හඩ ක්‍රමයෙන් වියැකෙමින් සුපුරුදු සුසුම් හඩවල් ඇසෙන්නට පටන්ගෙන තිබෙන කාලයෙක - අපි තවමත් ලියමින් ඉන්නවා.

මෙම බ්ලොග් අඩවියේ සටහන් එකින් එක පලවෙනවාට සමගාමීව එලියේ සමාජයේ තීරනාත්මක වෙනසක් සිදුවෙන්න පටන්ගෙන තිබුනා.මෑතකාලීනව බිහිවුන සාර්ථකම ආඥාදායකත්වයක සෙවනැල්ල ක්‍රමයෙන් ලංකාව පුරා වැඩෙන්නට පටන්ගෙන තිබුනේ බ්ලොග් අඩවියේ වර්ධනයට සමගාමීව.මේ නිසා රාමචන්ද්‍රගේ අඩවිය මුල සිටම රාජපක්ෂ තන්ත්‍රය කෙරෙහි දේශපාලනිකව විවේචනාත්මක වුනා.මුල් කාලයේ රාජපක්ෂ යෝදයා කෙරෙහි විවේචනාත්මක වූ සිංහල බ්ලොග් අඩවි අතලොස්සකට වඩා තිබුනේ නැහැ.එම විරුද්ධවාදී බ්ලොග් අඩවිද බහුතරය ලිබරල්වාදී මතයක සිට රාජපක්ෂ තන්ත්‍රයට එරෙහි වූ බ්ලොග් අඩවි විදිහටයි පැවතුනේ.
ලිබරල් දෘෂ්ටියෙන් එහා ගිය වාමවාදී ප්‍රවේශයක් සහිත මැදිහත්වීමක් අවශ්‍යයි කියන අදහස රාමචන්ද්‍රගේ අඩවිය ලියවෙන්න තවත් ප්‍රධාන හේතුවක් වුනා.

කාලය බොහෝ දුරට වෙනස් වෙලා තියෙනවා.තත්වයන් බොහෝ දුරට එදා මෙදා තුර වෙනස් ස්වරූපයක් අරගෙන තිබෙනවා.රාජාන්ඩුවාදී පාලකයාගේ දේශපාලනය ප්‍රශ්න කිරීම බ්ලොග් අවකාශය තුල මේ වනවිට වැඩි වශයෙන් සිදුවෙමින් තිබෙන අතර ප්‍රධාන මාධ්‍ය නිහඩ කෙරුනු වපසරියක බ්ලොග් අවකාශයේ මේ වර්ධනය ප්‍රශංසනීයයි.ඒ වගේම ක්‍රමය ගැන ව්වේචනයක් තියෙන,ක්‍රම විරෝදී ආස්ථානයක ඉදල ලියන සහෘදයන් ගනනාවක් පසුගිය කාලය තුල බ්ලොග් අවකාශය තුල සරන්නට පටන්ගෙන තිබෙන අතර තවදුරටත් සිංහල බ්ලොග් අවකාශය පාලු ගෙයි වලං බිදිය හැකි අම්බලමක් නෙමෙයි!

වහල් හිමියන්ගේ ආධිපත්‍යයට එරෙහිව කැරලි ගැසූ ස්පාටකස්ගේ සිට යහපත් සමාජයක් ප්‍රාර්ථනා කල ගැහැනුන් හා මිනිසුන් ලක්ෂ ගනනින් ලෝකයේ ජීවත් වෙලා තියෙනවා.මිනිස් සමාජය අගලින් අගල ඉදිරියට ආවේ යහපත් ප්‍රාර්ථනා සහිතව පවතින අසාධාරන තත්වයන් වෙනස් කරන්න වැඩ කරපු,සටන් කරපු ඒ වගේ මිනිසුන්ගේ මහන්සිය නිසා.
ආලෝකය යන්නට අර්ථයක් ලැබෙන්නේ අන්ධකාරය නිසා.
විද්‍යාව කියල දෙයක් පවතින්නේ අවිද්‍යාව යනුවෙන් දෙයක් තිබෙන නිසා.
ඒ වගේම අසාධාරනය යනුවෙන් දෙයක් පවතින තුරු සාධාරනය සදහා සටන් කිරීම කිසිසේත් යල් පිනූ දෙයක් බවට පත්වෙන්නේ නැහැ.

අප කලක් වීරයන් ලෙස සැලකූ සුනිල් මාධව ප්‍රෙමතිලකලා සිය වීරත්වය උගස් කරමින් ඉන්නා සන්දර්භයක වුව,එනමුත් අපි ලියනවා.අප පරමාදර්ශ ලෙස සැලකූ චරිත සිය ආත්මයන් පාවාදෙද්දී හා සදාචාරාත්මකව වැහැරෙද්දිත් අපි ලියනවා.වීරයන් මිය යන හා වීරයන් සිය දිවි නසා ගන්න යුගයක - ඒත් අපි ලියමින් ඉන්නවා.
මේ ලිවීම කුමකටද?
මේ ලිවීම කුමක් අරභයා වුවත් , එම්බා සුනිල් මාධව ප්‍රේමතිලක - නුඹ වැන්නවුන් ගිය මග අනුදැක්ම උදෙසා නම් නොවේ.

3 comments:

  1. අදහස් දැක්වීමට කාල වේලා සොයා ගැනුමටත් වඩා

    "කට පියගෙන සිටිනා තෙක් මෝඩයා පණ්ඩිතයෙකි" හෝ
    "උම්බෑ කිවු ගමන් හරකා හඳුනා ගත හැක"

    වගේ යමක් නිසාවෙන් ඔබේ හර බර ලිපි මඟින් සමාජයට ලබා දීමට උත්සාහ කරන පනිවුඩය ලබාගෙන ඒ අදහස් තුලින් අලුත් යමක් දක්නට උත්සාහ කරනව හැර අදහස් ප්‍රකාශ කරන්න ගොස් නොදන්නා කම හෙලිවේ වැයි බියකින් මෙන් කමෙන්ට් නොකලද . . . .

    ඔබේ අගනා ලිපි අනිවාර්යෙන් කියවනා බව ත් ඉන් යමක් ඉගෙන ගන්නා බවත් මින් දැනුම් දීමට කැමැත්ත්මි.

    ඔබට ජය . . !

    ReplyDelete
  2. @ duka

    ස්තුතියි :)

    ReplyDelete
  3. Rama,
    I really appreciate how you are tring to penitrate your views amoung the currepted political envirnment.

    I used to copy some of your articles and emaild to my freinds to make them educate as I do not write but credit goes to you.

    Keep it up. Thanks for your efforts.

    GJ
    Dubai

    ReplyDelete