Saturday, March 13, 2010

යුද අධිකරනය


අසාධාරනයට එරෙහිව කැරලි පැන නොනගින්නා වූ නගරයක්
හෙට හිරු උදා වනු මතු

දවා හලු කල යුතුය

- බර්ටෝල් බ්‍රෙෂ්ට්

ඇට මැස්සා නවකතාවේ අවසන් පරිච්ඡේදයකදී කතා නායකයා වූ රිවාරේස් හෙවත් ඇට මැස්සා හමුදා අත්අඩංගුවට ගනු ලැබ සිරගත කෙරෙනවා.ඉතාලියේ ඈත ප්‍රාන්තයක කැරැල්ලක් ඇතිකිරීමට කටයුතු කිරීම ඔහුට එරෙහිව ගොනු වූ චෝදනාවයි.ඇට මැස්සා හෙවත් රිවාරේස්ව සාමාන්‍ය අධිකරනයක් ඉදිරියට පමුනුවා දඩුවම් කිරීමට ප්‍රදේශයේ ආන්ඩුකාරවරයා මැලි වෙනවා.ඔහුට ඇවැසි වන්නේ ඇට මැස්සාව යුද අධිකරනයක් ඉදිරියට පැමිනවීමයි.යුද අධිකරනයක තීරනය නිශ්චිතයි.ඇට මැස්සාව දඩුකදේ ගැසීමේ පරම අභිලාෂයෙන් පෙලෙන ආන්ඩුකාරවරයා සාමාන්‍ය උසාවියකට නොව යුද උසාවියකටම ඇට මැස්සාව ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය අවධාරනය කරනවා.
මේ අවධාරනය කිරීමට ප්‍රදේශයේ බිෂොප්වරයා වූ මොන්ටිනෙල්ලි එකග වෙන්නෙ නැහැ.යුද කාලයක් නොවන කාලයක යුද අධිකරනයක් ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම යුක්ති සහගත නොවන බවට එම බිෂොප්වරයා අවධාරනය කරනවා.ඇට මැස්සා කැරලිකාරයෙක් විය හැකි වුවත් නැතත් යුක්ති සහගත නඩු විභාගයකට මුහුන දීමේ අයිතිය ඔහු සතු බව බ්ෂොප්වරයා පවසනවා.

ඇට මැස්සා නවකතාවට පසුබිම් වෙන්නෙ 1840 ගනන් වල ඉතාලිය.ඒ තරම් ඈත කාලයකදී පවා සාමකාමී කාලයක යුද අධිකරන පැවැත්වීමේ යුක්තිය ගැන ප්‍රශ්න කල මිනිසුන් සිට තිබෙනවා.පැරනි වැඩවසම් ඉතාලියේ ක්‍රිස්තියානි පූජකවරයෙක් සතුව තිබුනු යුක්තිය පිලිබද සාමාන්‍ය අවබෝධයවත් නැති මිනිසුන් පිරිසක් පාලකයන් වී සිටන වර්තමාන ලාංකීය සමාජය කල යුත්තේ කුමක්ද?ඇහැට ඇගිල්ලෙන් ඇන ගැනීමද?ගංජා සුරුට්ටුවක් බී සන්තෝසෙන් සින්දු කීමද?

හිටපු හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මෙම සදුදා (15 දින) යුද අධිකරනයක් අභිමුවට පැමිනවීමට නියමිතයි.යුද අධිකරනයේ කටයුතු කිසිවක් මාධ්‍යයට ආවරනය කිරීමට අවසර නොලැබෙන බවත් තීන්දුව ලබා දෙන අවස්ථාවට පවුලේ ඥාතින්ට වුව සහභාගි වීමට ඇවැසි නම් හමුදාපතිගේ විශේෂ අවසරයක් ගත යුතු බව අද පුවත්පත් වාර්තා කර තිබුනා.හමුදා අධිකරනයෙහි විනිසුරු අසුන් හොබවනුයේ හමුදා නිලධරයන් විසින්.සිවිල් අධිකරන පටිපාටියේ පවතින ලක්ෂන වලින් එය බැහැර බවට විවාදයක් නැහැ.සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍යයේ පොදු නීති සම්ප්‍රදාය අනුදකින ලංකාව වැනි රටක අධිකරනය තුල ක්‍රියාත්මක වන්නේ නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය කියන න්‍යායයි.ඒ කියන්නේ චූදිතයෙක් වරදකරුවෙක් යැයි පැමිනිල්ල විසින් ඔප්පු කරන තුරු හේ සැකකරුවෙක් මිස වැරදිකරුවෙක් නෙමෙයි.මෙය එංගලන්තයේ සාධාරනත්වයේ (equity)අධිකරන පටිපාටිය කියන යුක්තියට මූලිකත්වය දුන්න නීති සම්ප්‍රදායෙන් ලද උරුමයක්.

නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය සහිත සාධාරන සාමාන්‍ය උසාවි පටිපාටිය වෙනුවට යුද අධිකරනය නැමැති විශේෂ අධිකරන ව්‍යුහයක් කරලියට ඇවිත් තිබීම අප තේරුම් ගත යුත්තේ කොහොමද?
සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධ ත්‍රාසජනක පුවත් ගනනාවක් ආන්ඩුව පාර්ශවයෙන් නිකුත් වුනා අපට මතකයි.ජනාධිපතිවරනය දාට පසු ඔහු ලැගුම් ගත් හෝටලය සිය ගනන් හමුදා ඛන්ඩ යවා වැටලූ ආන්ඩුව චෝදනා කලේ ෆොන්සේකා හමුදා කුමන්ත්‍රනයක් සදහා ලක ලෑස්ති වූ බවයි.හමුදා කුමන්ත්‍රනය ක්‍රියාත්මක වෙන්නට ගිය ආකාරය ගැන මවිල් කෙලින් කරවන කතා ගනනක් රජයේ මාධ්‍ය හරහා එලියට එන්න පටන් ගත්තා.ජනාධිපතිව ගාලු පාරට ගෙනැවිත් මරා දැමීමට ෆොන්සේකා විපක්ෂ දේශපාලකයන් සමග කුමන්ත්‍රනය කල බව කියවුනා.හමුදාවෙන් පැන ගිය අය යැයි කියමින් ෆොන්සේකාගේ ආරක්ෂකයන් ගනනාවක් අත් අඩංගුවට ගැනුනා.හමුදා කුමන්ත්‍රනයකට හවුල් වූ බව කියමින් මේ සියල්ලන්වම හමුදාව විසින් කුදලාගෙන යනු ලැබුවා.
දැන් අපිට අසන්නට තිබෙන්නේ මෙපමනයි.
ඒ කිව්ව කුමන්ත්‍රනේට මොකද උනේ?
කුමන්ත්‍රන චෝදනා මත අත් අඩංගුවට ගත් සියලුම ආරක්ෂකයන් සිවිල් උසාවිය විසින් පසුගිය දවසක නිදොස් කොට නිදහස් කර හරිනු ලැබුවා.රජයේ චෝදනාවට සිවිල් උසාවිය දුන් පිලිතුර එයයි.

සරත් ෆොන්සේකාගේ මාතෘකාව මදකට නතර කොට අපි මෑතකදි සිදු වූ සිදුවීම් කිහිපයක් වෙත හැරෙමු.

1.ලංකා ඉරිදා පුවත්පත රාජ්‍ය විරෝධී කුමන්ත්‍රනයක නියැලුන බව කියමින් ආරක්ෂක අංශ විසින් එය පසුගිය දිනෙක සීල් තැබීමට ලක්කලා.නමුත් මේ පිලිබද සිවිල් අධිකරනයේ විභාග වූ අවස්ථාවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරනය එසේ සීල් තැබීමේ තීරනය අවලංගු කලා.රාජ්‍ය විරෝධී කුමන්ත්‍රනයක් සම්බන්ධ ප්‍රබන්දයක් විනා පිලිගත හැකි සාක්ෂි අධිකරනය ඉදිරියේ ගොනු කිරීමට බලධාරීන් අපොහොසත් වීම මීට හේතුවයි.

2.සරත් ෆොන්සේකාගේ අත්අඩංගුවට ගැනීමට විරෝධය පලකරමින් ඇතිවූ විරෝධතා ව්‍යාපාර වලට පොලිසිය නිල නොවන මැරයන් සමග තරගයට මෙන් පේලි සැදී පහර දෙනු ලැබුවා.ඉනික්බිති ගැටුම් ඇතිකලා යැයි පවසමින් අධිකරනයට ඉදිරිපත් කලේ පහර කෑමට ලක්වූ උද්ඝෝෂකයන්වමයි.
මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අධිකරනය පොලිසිය වෙත සිය අප්‍රසාදය ප්‍රකාශ කලා.අලුත්කඩේ උසාවිය සම්බන්ධ සිදුවීමේදී කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පා ජානකි රාජරත්න මහත්මිය ප්‍රකාශ කලේ "අධිකරණ සංකීර්ණයක් මැද්දේ සිදුවූ සිද්ධිය ඇසින් දුටුවන් සිටියදී අධිකරණයට කරුණු විකෘති කර ඉදිරිපත් කිරීම අධිකරණයට අපහාස කිරීමක් බවයි"

3.රජය පෙරලන්න කුමන්ත්‍රනය කලා යැයි අත්අඩංගුවට ගත් සරත් ෆොන්සේකාගේ ඥාතියෙක් වූ විශ්‍රාමික ලුතිනන් කර්නල් රොහාන් ගෝඪාභය විජේසුන්දර මහතා පෙබරවාරි 23 දා අධිකරනය විසින් කිසිදු චෝදනාවක් රහිතව නිදහස් කර හරිනු ලැබුවා."රජය පෙරලන්න කුමන්ත්‍රන වලට උදවු කල" මාධ්‍යවේදියෙක් වූ චන්දන සිරිමල්වත්ත මහතා ඇප රහිතවම අධිකරනය විසින් මුදා හැරියා.

ඉහත සියලු සිදුවීම් වල ඇති සමාන ලක්ෂනය පහත ආකාරයට සූත්‍රගත කරන්න පුලුවන්.
රජය චෝදනාවන් එල්ල කරයි.සිවිල් අධිකරනය එම චෝදනා ප්‍රතික්ෂේප කොට චෝදනාවට ලක්වූවන් නිදහස් කොට හරියි.

සරත් ෆොන්සේකා සාමාන්‍ය සිවිල් අධිකරනයට නොපමුනුවා සාමාන්‍ය නීතිය යටතේ නොපවතින,මාධ්‍යයන්ට හෝ විවර නොවු යුද අධිකරනයක් අභිමුවට පැමිනවීමේ "රහස" මේ අනුව පැහැදිලියි.පවත්වන්නට යන යුද අධිකරනයේ විනිසුරු මඩුල්ලෙහි වත්මන් හමුදාපතිගේ සමීපතම ඥාතියෙක් ( බිරිදගේ සොහොයුරා ) ද වන බව අද (13) පුවත්පත් වාර්තා කොට තිබුනා.
සරත් ෆොන්සේකාට එරෙහිව පවත්වන්නට යන්නේ සාමාන්‍ය යුක්තියට කිසිසේත්ම එකග නොවු,නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ ( රජතුමාගේ ? ) වර්ගයේ කැකිල්ලේ විභාගයක් බව පැහැදිලි වීමට මීටත් වඩා තවත් සාක්ෂි අවශ්‍යයද?

බරපතලම කාරනය මෙසේ අයුක්ති සහගත ලෙස දඩුකදේ ගැසීමට යන්නේ රටේ ජනාධිපති මැතිවරනයට තරග කල විරුද්ධ පක්ෂවල ප්‍රධාන අපේක්ෂකයා වීමයි.පාර්ලිමෙන්තු චන්දයට ඉදිරිපත්වී සිටින ප්‍රධාන පක්ෂයක නායකයෙකු වීමයි.
සරත් ෆොන්සේකා දේශපාලන සිරකරුවෙකි.ඔහුව සිරගත කොට තිබෙන්නෙ සුපැහැදිලිවම දේශපාලන හේතු මතය.
ජනාධිපතිගේ විශේෂ අනින් රැදවුම් කදවුරු 8 ක් අති විශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත්ව වැඩි දවසක් නැහැ.යුද්ධය නිමා වෙලා මාස 10 ක් ඉක්ම ගිය පසුවත් හදිසි නීතිය නැමැති මර්ධන නීතිය පසුගියදා නැවත සම්මත කර ගනු ලැබුවා.
ලංකාව දේශපාලන සිරකරුව්න්ගේ,රැදවුම් කදවුරු හා මර්ධන නීති වල අලුත් යුගයකට දැන් ක්‍රමයෙන් අවතීර්න වෙමින් තිබෙන බව පෙනෙනවා.
පැරනි යුග වල වාගේ මේ අලුත් යුගයේ "දඩයම්" බවට පත්වන්නේ කවුද?
සිංහලයන්ද?
ද්‍රවිඩයන්ද?
නැතිනම් මේ දෙගොල්ලන්මද?

8 comments:

  1. මිනිස්සු මෙ කොහෙද යන්නෙ.... ජාතික රුපවාහිණියෙයි, අයි.ටි. එන් එකෙයි වැඩ කරන මාතෘ ද්‍රොහින්ට අනාගතෙදි ස්භාවධර්මය විසින් පාඩමක් දෙනු ඇත. ජාතියක් නොමග යැවිමෙ වරද,ගුණය මකාදැමිමෙ වරද.... මුදල්ට, බලයට කෑදරව මෙ කළ මහා පාවා දිම අනාගතයෙ කෙදිනකදි හො මිනිස්සුන්ගෙ නිග්‍රහයට ලක් වෙනු ඇත...සරත් ෆොන්සෙකා ට සිදුවු දෙය ප්‍රතිපලය පමණක් වන අතර... හෙතුව..ගැන සිතන්නට ඉඩ තබමි... ෆොන්සෙකා යුදහමුදා පති වුයෙ පන්දම් අල්ලා, පිකටින් කර, මිනිස්සුන්ගෙ හිඟා කා නොවෙ. ඔහු යුදපිටියෙ ලත් අත්දැකිම් තුලින් තම ආත්මය ශක්තිමත් කරගත් යුදබිමෙ විරයෙකි.. ජාතිය මෙ කරන දෙයට කෙදිනක හො අප පසු තැවෙනු ඇති බව මගෙ විස්වාසයයි... වරදක් දැක නිහඩ විම යනු බරපතල වරදක් බව මගෙ වැටහිමයි....

    ReplyDelete
  2. යුධ අධිකරණයේ තීන්දුව පිළිගන්න බැරි නම්, සිවිල් අධිකරණයක ඊට විරුද්ධව අභියාචනා කරන්න පුලුවනි කියල හමුදා ප්‍රකාශකම කියපු බවත් ලියුවොත් කතන්දරේ තව සම්පූර්ණයි නේද?

    ReplyDelete
  3. එහෙම ලියන්නෙ කොහොමද? මෙයා කරන්නේ ජෙප්පන්ටයි උන්ගේ සංධානෙටයි කඩේ යන එකනෙ

    ReplyDelete
  4. බිත්තරය ගල උඩ වැටුනත්, ගල බිත්තරය උඩ වැටුනත් බිඳෙන්නේ බිත්තරයය. මෙරට යුද්ධ අධිකරණය හා සාමාන්‍ය අධිකරණය ගැන මගේ මතය එයයි.

    ReplyDelete
  5. @ රවා

    රවා හිතන්නේ SF යනු පරම පිවිතුරු මැණිකක් වගේ එකක් කියාය. ඔහුට අනුව SF වැරදි කර නැත.

    බලයට හා මුදලට කෑදරවී පළමු පාවා දීම කලේ SF ය. ඒ සුදු කොඩි උස්සා ගෙන ආ කොටින්ට වෙඩි තැබිමට ගෝටා ශවෙන්ද්‍ර සිවාට ඇන දුන් බව කීමෙනි. වැඩේ අඤ්ඤකොරොස් වී ගෙන එන බව පෙණුනු විට ෆෙඩ්‍රිකා ජැන්ස් වරද්දා ගෙන ඇතැයි SF කීය. තමන් ජෑන්ස් කෙල්ලට විරුද්ධව නඩු දාන බවටද පාරම් බෑවේය. නමුත් ජෑන්ස් කෙල්ලත් නිකම් සිටියේ නැත. සාකච්ඡාවේ හඬ පටය තමන් අත ඇථි බව ඇය කීවාය. නැට්ට පස්සේ ගසාගෙන කට වසා ගත් SF අද වෙනතුරු ඩේලි මිරර් එකට විරුද්ධව දමනවා කී නඩුව දමා නැත

    ReplyDelete
  6. @ රවා
    සුදු කොඩි උස්සන් ආ කොටින් ට වෙඩි තිබ්බ බව හෝ නැති බව අපි දන්නේ නැත. කතාව බොරු නම් SF බොරු කාරයෙකි. කතාව ඇත්ත නම් ද්‍රෝහියෙකි. බෝම්බයත් සුදු කොඩියත් ශෙකම අරන් කොටි ආවාදැයි අපි දන්නේත් නැත.

    SF දෙවන පාවා දීම කලේ ඡන්දෙන් පස්සේය. ඒ ඕනෑම යුධ අධිකරණයක තමන් සාක්කි දෙන බව කීමෙනි. SF බොරු සාක්කි දුන්නත් පිස්සු බල්ලන් රැනක් සේ සිටින මානව හිමිකම් සංවිධාන වලට ඒ ඔක්කොම ඇත්තය. අනික් අතට SF සාක්කි දී පෝරකයට යවන්න හදන්නේ ශවේන්ද්‍ර සිල්වා වැනි යුධ වීරයන්ය. SF ට ශවේන්ද්‍ර පෙන්නන්න බැරි බවටද කණින් කොණින් කතා ඇත. මේ පාවා දීම් දෙකම SF කුජීත කර දැමීමට ඇතිය.

    SF මොකෙන් බේරුණත් විනිමය වංචා චෝදනාවෙන් බේරෙන්නට බැරිවනු ඇත.

    SF රැකීමට බොරු ගසන ජෙප්පන් කොම්පියුටර් ජිල්මාට් ගැන අතේ පැලවෙන බොරු කියා කුජීත වී සිටී.

    කොටින්ම SF යන්නේ ඉතිහාසයෙ කුණු කූඩයටය. එය ඔහුගේ බල ලෝභීත්වයෙන් අන්ධ වූවාට ලැබෙන දඬුවමයි.

    රවාලා පැන පැන කඩේ යන්නේ මෙවන් කැරැට්ටුවක් ඇති කෙනෙක්ටය. හොරකම් කවුරුත් කරයි. අපි කිවුවේත් SF පවා හොරකම් කරන බවය. නමුත් SF හොරෙක් වීම අපට ප්‍රශ්නයක් නැත. නමුත් අපට ප්‍රශ්නය වූයෙ SF පරම පිවිතුර බව පෙන්නන්නට උත්සාහ කළ SF ගේ සට්ටම් රාළලා සමගය.

    ReplyDelete
  7. @ නෝ ෆ්‍රෙම්ස්
    //මේ පාවාදීම් දෙකම එස් එෆ් කුජිත කිරීමට ඇතිය//
    යුද අධිකරනයක් හමුවේ ඉදිරිපත් කල චෝදනා පත්‍රයේ හැබැයි නැත්තේද ඔය "පාවාදීම" ගැන ‍චෝදනායි!හරි පුදුමයි නේද?චෝදනා කොට තිබෙන්නේ යුද කාලයේ බැටරි කෑලි වගයක් මිලදී ගැනීම,විපක්ෂයේ අය සමග දේශපාලනය කතා කිරීම වැනි චෝදනාය.පාවාදීමක් ගැන නම් චෝදනා පත්‍රයේ නැහැ.
    පාවාදීම ගැන කරන ත්‍රාසජනක චෝදනාව වගේම ජනාධිපති ඝාතන ක්‍රමන්ත්‍රනයක් හා හමුදා කුමන්ත්‍රනයක් ගැනද මවිල් කෙලින් කරවන චෝදනාවක් පසුගිය කාලයේ නැගුනේය.ඔබවැනි අන්තර්ජාලයේ රාපක්ෂ ෆෑන්ස්ලා ඒ කතා රස කරමින් පුනරුච්චාරනය කල අන්දමද අපට මතකය.
    ඒකට මොකද වුනේ කියල කියමුද?
    ඇත්ත නම් පාවාදිම් හා හමුදා කුමන්ත්‍රන කතා මාධ්‍ය ඉදිරියේ හොද සංදර්ශන ටොපික්ස් වූවාට සාක්ෂි සහිතව අධිකරනයක් ඉදිරියේ ඔප්පු කල හැකි සත්‍යයන් නොවන බවයි.රටට එකක් කියමින් අධිකරනය ඉදිරියේ වෙන වෙන චෝදනා ගොනු කරන්නේ ඒ නිසාය.
    රාජපක්ෂ ෆෑන් කෙනෙක් සමග නිරර්ථක වාදයක පැටලීමේ ආසාවක් මට නැත.නමුත් අප ගෙනෙන ප්‍රධාන තර්කය අවධාරනය කිරීමට කැමැත්තෙමි.
    ෆොන්සේකා වරදක් කර "තිබුනා" වුවද ඔහු සම්බන්ධයෙන් යුක්තිය පසිදලීමේ සාමාන්‍ය පටිපාටිය ක්‍රියාත්මක කල යුතුය.ලෝකයට හොරා පවත්වන යුද අධිකරන කිසිසේත් අවශ්‍ය නැත.යුද අධිකරන සංකල්පයම සාමකාමි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට නොගැලපෙන අදුරු මූසල එකකි.සාධාරන විනිශ්චයක අයිතිය පුරවැසියෙක් ලෙස ඔහු සතු මූලික මානව අයිතියකි.සාධාරන වින්ශ්චයක අයිතිය සියලු දෙනා සතු වේ.
    මේ කඩවෙන්නේ ලෝකයම පිලිගත් ඒ මූලික අයිතියයි.
    යුක්තිය අගයන කවරෙකු වුව මෙයට විරුද්ධ විය යුත්තේ ඒ නිසාය.

    ReplyDelete
  8. @ රාමා

    ඉහත චෝදනා මත SF යුධ අධිකරණයට යැවිය යුතු බව කියා ඇතැයි ඔබට පෙණුනේ හීනෙන් විය යුතුය. රට පාවා දි කුජීත වීමත් යුධ අධිකරණයත් එකක නොව දෙකක්ය.

    රටට එකක් කියමින් අධිකරණය හමුවේ තව එකක් කියන්නේත් SF ය. කොම්පියුටර් ජිමාට් ගැන කතා කර සද්ද නොකරම ඒක ඡන්ද පෙත්සමෙන් කපා හැරියේත් SF මය. ආණ්ඩුව පරම පිවිතුරු නෙළුමක් වගේ උලව්වක් නෙවෙන බව හොඳින්ම දනිමු. ඒත් රාමා කඩේ යන ජ.වි.පෙ. හා SF ආවේ පරම පිවිතුරු නෙළුමක් වාගේ උලව්වක් ඉදිරියට දමාගෙනය. අපට කැසිල්ල ඇත්තේ එතැනය.

    SF යුධ අධිකරණයකට ගෙන නොයා යුතු බවට සාක්කි ඉදිරිපත් කරන්නට ඔය රාමා උඩ දමන පිරිසට ඹැරි වී ඇත. ඒ වගෙම, යුධ අධිකරණයෙන් ලැබෙන් තීන්දුවට කැමති නැත්නම් ඉහළ උසාවියට යන්නටද පුළුවන්ය. රාමා මේ ගැන කොලේ වසා ගසයි.

    යුධ අධිකරණය අඳුරු හා මූසල බව ඇත්තය. නමුත් රට පාවා දීම් ඊටත් අඳුරු, ඊටත් මූසල ක්‍රියාවකි. ඒ වගේ අයට හම්බව් විය යුත්තේ අඳුරු මූසල ඉරණමක් මිසක සොමි ඉරණමක් නෙවෙයි.

    ReplyDelete