Friday, February 26, 2010

කේවල ඒජන්තයෙක් මත වගකිම පැවරීමේ න්‍යාය


මෙඩ්ගාර් එවර්ස් කියන අමෙරිකානු එක්සත් ජනපදයේ කලු ජාතික නායකයාව 60 දශකයේ එක්තරා දිනෙක වෙඩි තබා ඝාතනය කෙරුනා.පදුරක් පසු පස සැගව සිටි ඝාතකයා සුදු ජාතිකයෙක්.වර්නභේදවාදයට විරුද්ධ ව්‍යාපාරයේ නායකයෙක් වුන මෙඩ්ගාර් එවර්ස් වර්නභේදවාදයට පක්ෂ සුදු ජාතික කල්ලියක් විසින් කුලියට යොදවන ලද මැරයෙක් විසින් මරා දැමුන අතර එ ඝාතකයාව පසුව අත්අඩංගුවට ගැනුනා.
මේ සිද්ධිය අලලා ගීතයක් රචනා කල බොබ් ඩිලන් මෙඩ්ගාර් එවර්ස්ගේ ඝාතකයා ගැන මේ විදිහට සදහන් කලා.

But it ain't him to blame
He's only a pawn in their game

ඝාතකයාට දොස් පැවරිය නොහැක.ඝාතකයා "ඔවුන්ගේ" ක්‍රීඩාවේ ඉත්තෙක් පමනකි.
"ඔවුන්" යනුවෙන් ඩිලන් මෙතනදි අදහස් කලේ අමෙරිකාවේ දකුනු ප්‍රාන්ත වල එවකට ක්‍රියාත්මක වුන සිස්ටම් එක දුවවන අයයි.දක්ෂින අමෙරිකාවේ ප්‍රාන්ත ආන්ඩු බොහොමයක් 60 දශකය වන විටත් වර්නභේදවාදය ප්‍රතිපත්තියක් විදිහට පිලිගෙන තිබුනා.පාසල්,උද්‍යාන විතරක් නෙමෙයි බස් රථ පවා වර්නභේදවාදී ලෙස බෙදා තිබුනා.ප්‍රසිද්ධ කෝපි හල් වල "වර්නයන්ට තහනම්" යැයි බෝඩ් එල්ලා තිබුනා.සුද්දන් ගැවසෙන වරප්‍රසාදිත තැන් කල්ලන්ට තහනම් වුනා.සුදු අයගේ දරුවන් වෙනුවෙන් වෙන් කල පාසල් ඉස්තරම් වර්ගයේ පාසල් වශයෙන් පැවතුන අතර කල්ලන්ගේ දරුවන් අව වරප්‍රසාදිත පාසල්වලට යා යුතුව තිබුනා.
කල්ලන් සහ සුද්දන් වෙනස් බවත් සුදු හම සහිතව ඉපදීම ගෞරවයට හේතුවක් බවත් සමාජය තුල අධිපතිත්වය දැරුන මතවාදයයි.මේ දෘෂ්ටිය කුඩා කාලයේ සිටම සුදු හමැති දරුවන්ට වාගේම කලු හමැති දරුවන්ටත් කා වද්දනු ලැබුවා.සිය සුදු හම මේ අනුව උසස් දෙයක් විදිහට සුදු ජාතිකයන් සද්භාවයෙන්ම විශ්වාස කල අතර තමා කලු අයෙක් ලෙස ඉපදිම තමාගේ අඩුවක් ලෙස කලු අය සද්භාවයෙන්ම විශ්වාස කලා.
වර්නභේදවාදය නමැති සිස්ටම් එක ක්‍රියාත්මක උනේ මේ විදිහට.
සුද්දන් කල්ලන්ට වඩා උසස්ය යන්න මේ අනුව සුද්දන් දිව්‍යමය සත්‍යයක් ලෙස අදහගෙන සිටි අතර මේ දිව්‍යමය සත්‍යය අභියෝගයට ලක්වෙනවාට ඒ අය කැමති වුනේ නැහැ.එම දිව්‍යමය සත්‍යය ප්‍රශ්න කල මෙඩ්ගාර් එවරස් වැනි "නපුරන්" මේ අනුව වනසා දැමිය යුතුව තිබුනා.එහෙම වනසා දැමිය යුතුයි කියල සුදු සමාජයේ වඩාත්ම භක්තිවන්ත පිරිස් විශ්වාස කලා.KKK වගේ නොනිල ඝාතක කන්ඩායම් බිහි වන්නේ මේ තර්කය උඩ.මේ ඝාතක කන්ඩායම් වලින් කුලියට යෙදවුනු ඝාතකයන් මෙඩ්ගාර් එවර්ස්,මාටින් ලූතර් කිං වගේ කලු ජාතික නායකයන් ගනනාවක් ඝාතනය කලා.කලු ජාතික ව්‍යාපාරයට සහය දුන්න සුද්දන් ( ද්‍රෝහීන් ) වෙඩි තබා මරා දැමුනා.

දැන් ඇත්තටම මේ අපරාධ කලේ කවරෙක්ද?
මෙඩ්ගාර් එවර්ස් ඝාතනය කලේ කවුද?යි අසන විට බයිරන් ඩි ලා බෙක්විත් යැයි පිලිතුරු ලැබෙනවා.
මාටින් ලූතර් කිං ඝාතනය කලේ කවුද?යි අසන විට ජේම්ස් අර්ල් රේ යැයි පිලිතුරු ලැබෙනවා.
ඒ කියන්නේ ඝාතකයා යැයි පෙන්විය හැකි ඒජන්තයෙක්/නිශ්චිත පුද්ගලයෙක් සිටිනවා.මේ ඝාතන කලේ අසවල් අසවල් පුද්ගලයන් විසින් යැයි කියල සමාජය අත හෝදා ගන්නවා.මේ අදහසට අනුව එවර්ස් ව ඝාතනය කලේ බෙක්විත්.ඔහුට දඩුවම් කල විට හැමදේම හරියනවා.
මේ සරල අදහස තමන්ගේ ගීතය හරහා ප්‍රශ්න කරන බොබ් ඩිලන් මෙඩ්ගාර් එවරස්ව ඝාතනය කලේ වෙන කවරෙක් හෝ නොව වර්නභේදවාදී විදිහට සංවිධානය වුන,ඒ විදිහට මිනිසුන්ව හිතන්න පුරුදු කල,සමාජ දේශපාලන ක්‍රමය යැයි ප්‍රකාශ කරනවා.ඝාතකයා ඒ ක්‍රමයේ ඉත්තෙක් විතරයි.දේශපාලන ක්‍රමය මිනිස්සුන්ගේ ජීවිත ක්‍රීඩාවක් විදිහටයි භාරගන්නෙ.සුද්දන් වේවා කල්ලන් වේවා සිස්ටම් එකට ඒ හැමෝම දාම් පෙතක ඉන්නා ඉත්තන් ප්‍රමානයක් විතරයි.ඇවැසි විට ඉත්තා කොටුවෙන් කොටුව පන්නනවා.ඇවැසි වෙලාවට සියලු දොස් ඉත්තා මත ආරෝපනය කරලා ඉත්තාව බිලිදෙනවා.සමාජය මේක ඇතුලෙ හිංසනය සිස්ටම් එක තුල පවතින එකක් නෙමෙයි අදාල පුද්ගලයාගේ පුද්ගලික දෝෂයක් යැයි හිතල හිත හදාගන්නවා.කවුරුත් සිස්ටම් එක ප්‍රශ්න කරන්න පෙලඹෙන්නේ නැහැ.
බොබ් ඩිලන් සිය ගීතයෙන් ඒජන්තයාට ඇගිල්ල දිගු නොකර ඒජන්තයාව හසුරුවන අදෘශ්‍යමාන හිංසකයාට ඇගිල්ල දිගු කිරීමේ අවශ්‍යතාවය අවධාරනය කරනවා.

ලංකා පත්තරේ කර්තෘ අත්අඩංගුවට ගැනීම ගැන ජනාධිපතිවරයා පොලිස්පතිට "අවවාද" කරනවා.ඒ අනුව වරද තිබෙන්නේ නීතියේ විනිවිදභාවයක් නැතිවීම තුල නෙමෙයි.පොලිස්පති කියන "ඒජන්තයාගේ" පුද්ගලික ක්‍රියාකාරිත්වය තුලයි.ජනාධිපති මේ අනුව අහිංසකයෙක්.
මාධ්‍යවේදින්ට පහර දීම ගැන ජනාධිපතිවරයා මර්වින් සිල්වාට තරයේ අවවාද කරනවා.නපුරේ ඒජන්තයා = මර්වින් සිල්වා.
අලුත්ම කතිකාව අනුව යුද සමයේ මාධ්‍යවේදීන් ඝාතනය කල පාපයේ නියෝජිතයා සරත් ෆොන්සේකායි.ජනාධිපති හා ආරක්ෂක ලේකම් වැනි බලධරයන් අහිංසක බබ්බුය.
පොලිසිය බලාගෙන සිටියදී විරෝධතාකරුවන්ට සිවිල් ඇදුමෙන් විත් පහර දෙන එක කිච රුවන්ගේ පුද්ගලික වරදක්.මේ ගැන මහජන විරෝධය උග්‍ර වුනොත් කිච රුවන්ට දඩුවමක් දෙනු ඇති.නමුත් ඒ පසුපස තිබෙන නිතියේ සාධාරනභාවය ගැන ව්‍යුහාත්මක ප්‍රශ්නය කරලියට එන්නෙ නැහැ.
අත් අඩංගුවට ගැනෙන සැකකරුවන් පොලිසිය තුල පහර කනු ලැබ මියයනවා.ඒක අපි පොලිසියයි සමාජයයි අතර සමබන්ධතාවය හැදිල තියෙන "ක්‍රමයේ"( සිස්ටම් එකේ) වරදක් විදිහට දකින්නෙ නැහැ.අපිව පුරුදු කරවලා තියෙන්නෙ ඒ ඝාතන පොලිස්කාරයෙක්ගේ පුද්ගලික වරදක් විදිහට දැකල අමතක කරන්න.
මෙඩ්ගාර් එවර්ස් ඝාතනය වුන විට ඒ ඝාතනය කල ඝාතකයා හිර භාරයට අරන් එයා මත සම්පූර්න වගකීම පවරලා තමන් හරි පාරිශුද්ධ බව පෙන්නලා තමන්ට එරෙහිව ගොඩ නැගෙන්නට නියමිතව තිබුන මහජන විරෝධය පුද්ගල ඒජන්තයෙක් වෙත හැරවූ අමෙරිකාවේ වර්නභේදවාදී සිස්ටම් එක සිය පැවැත්ම ආරක්ෂා කර ගත්තා.
සමාජ ක්‍රමයේ තියෙන දුර්වලකම හින්ද වෙන ඛේදවාචකයන් වල පාපය පුද්ගල ඒජන්තයන් මත පවරා තමන් පාරිශුද්ධ ලෙස නිදහස් වීම වර්තමාන ලංකාවේ දේශපාලන සමාජ ආකෘතිය ඇතුලේ සිදුවෙනවා.වැරදි වලට වග කිව යුතු මර්වින් සිල්වා,බැද්දගානේ සංජීව,කුඩු නුවන්,කිච රුවන්,කුඩු ලාල් වැනි අය දඩු කදේ ගැසුවාම සියලු දේ හරියාවි යැයි සමාජය හිතාගෙන ඉන්නවා.
නමුත් ඇත්ත වශයෙන්ම මර්වින් සිල්වලා ජාතක කරන්නේ සිස්ටම් එක විසින්.මේ අය තමන්ට අනවශ්‍ය වූ විට දඩු කදේ ගසන සිස්ටම් එක ඒ අයට පසුව තමන්ගේ වැඩ ටිකට කරගහන්න තවත් මර්වින් සිල්වලා ඇති පදමින් අවශ්‍ය විදිහට ජාතක කරනවා.මර්වින් සිල්වලාත් ඇත්ත වශයෙන්ම අනුකම්පා කට යුතු සිස්ටම් එකේ victims ලා ලෙස තේරුම් ගැනීමයි වඩා නිවැරදි.
දඩුකදේ ගැසිය යුත්තේ ඒජන්තයා නෙමෙයි.
ඒජන්තයා පසුපස තිබෙන අදිසි හස්තයයි.

7 comments:

  1. සමස්තයක් ලෙස ගැටළුව විග්‍රහ කරගැනීමේ අවශ්‍යතාව ඔබ විසින් මනා කොට විග්‍රහ කොට ඇත. පුද්ගල කෙන්ද්‍රීයව ගැටළුව මාකට් කිරීම මගින් සෑබෑ සතුරන්හට ඉන් සැගවී සිටීමේ හැකියාවක් ඇත.(මර්වින් වැනි චරිත නිසා) මේ නිසා සමස්තයක් ලෙස ගැටළුව දැකිමේ වටිනාකම නැවත නැවතත් අවධාරණය කරමි.

    ReplyDelete
  2. දැන් කට්ටිය කියනවනේ රජතුමා කටක් ඇරලා වචනයක් නොකියන අහිංසකයෙක් කියලා. ඒකට හරියන්න නියෝජිතයො සෙට් එකක්ම ඉන්නවනේ නේද?

    ReplyDelete
  3. සිස්ටම් එකෙත් ඉන්නෙ,රන් කරන්නෙ ජනතාවයි... බහුතරයක් බහු භූතයො ඔහෙ කියන දෙට රැවටිලා තිරන් ගන්නවා. කිසිම දෙයක් හිතන්නෙ බලන්නෙ නැහැ.. ඔයා කියන එ දෙට ප්‍රති කර්මයක් කරන්න දෙශපාලනමය තිරන තින්දු වලින් බැහැ. මිනිස්සුන්ව නොමග යවන මාධ්‍ය හා මිනිස්සු තුල වෛරය පතුරවන දෙශපාලන පොරොන්දු නිසා මෙරට මෙතරම් පහල තැනකට ඇද වැටිලා. බලයෙ හිටපු නායකයො තමුන්ගෙ බලය රැක ගන්න කරපු නින්දිත වැඩ ටික ඉදිරි අනාගතෙදි හෙලි වෙවි. එක කලිනුත් උනා, දවසක සැබැ නායකයෙකු බලයට පත් වෙනකම් මෙ අද්භුත හස්තය අදිසි ලෙස සමාජෙ හොල්මන් කරයි.

    ReplyDelete
  4. රාමා,

    මමත් රවා ඒක්කයි, ඒත් රවාගෙ විග්‍රහයෙ අවසාන කොටසට මම එකග නෑ. "දවසක සැබැ නායකයෙකු බලයට පත් වෙනකම් මෙ අද්භුත හස්තය අදිසි ලෙස සමාජෙ හොල්මන් කරය"
    කවුද මේ සබෑ නායකයව ගේන්නෙ ? කවුද ඒයාව බලයට පත් කරන්නෙ ? ආයි ජනතාවම තමයි! ඉතින් ජනතාවට එහෙම දෙයක් කරන්න සබෑ උනන්දුවක් නැන්තිනම්, එහෙම උවමනාවක් ඇත්තේම නැතිනම් කොහොමද ඔය කියන දියසේන බිහිවෙන්නෙ ?
    ඕක වෙන්න පුලුවන් එකම අවස්තාවයි තීන්නෙ. ඒත් ඒක උදා වෙන්න මෙන්න මේ කරුනු දෙක සමපාත වෙන්න ඕනි.
    1. රට යන අත සහ යා යුතු අත පිලිබද නිවැරදි හැගීමක් බහුතර ජනතාවකට ඇති විය යුතුයි. ( පවතින තත්වයන් යටතේ "අප" මුහුනදෙන තත්වය පිලිබද ස්වයන් අවබෝදයක් මිස විරුද්ද පක්ශ මතවදයකට යටවීමක් නොවේ )
    2. එවන් අවස්තාවක අදේශකයක් හැටියට සුදුසු විශ්වාශදායී ( බලයට පත් වූ පසු වෙනස් නොවෙන ) නායකයකු සිටිය යුතුයි.
    ඉතින් අපේ ජීවිත කාලය තුල ඉහත අහම්බය සිදුවේවායි පැතීම හැර පුලුවන්නම් අඩුම ගනනේ තව එකෙකුගේ වත් ඇස් පෑදීමට වඩා අපිට කල යුත්තක් ඇතයි මට නම් සිතෙන්නේ නැත.

    ReplyDelete
  5. සිස්ටම් එක වෙනස් කිරීම ගැන-
    "අනුහස් සහිත නායකයෙක්ට" සිස්ටම් එක වෙනස් කරන්න පුලුවන් කියල මම හිතන් නැහැ.ක්‍රමයක් වෙනස් කරනව කියන්නෙ සාමූහික වැඩක්.ඒකට නායකයො වගේම පුරවැසියනුත් ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න ඕනෙ.
    ක්‍රමයන් වෙනස් වුන ඉතිහාසයක් ලෝකයේ තියෙනවා.
    දකුනු අප්‍රිකාවේ වර්නභේදවාදය ඉවර කරල වඩා හොද ක්‍රමයක් හදාගත්ත හැටි අධ්‍යනය කරන්න.ප්‍රංශයේ එංගලන්තයේ රාජාන්ඩු පෙරලලා වඩා ඉදිරිගාමී පද්ධතියක් හැදුන හැටි අධ්‍යනය කරද්දි මේ හැමතැනකදිම පුරවැසියන් එකතු කරපු ශක්තිමත් මතවාදයක් තිබුනා.ඒ මතවාදය උඩ ගොඩනැගුන සංවිධානය විමක් තිබුනා.
    වැදගත්ම දේ-ඒ සංවිධානය විම හරහා ක්‍රමයේ ව්‍යුහය වෙනස් කලා.සංවිධානය වෙලා කරන්නෙ නිකම් එක් අයෙක් වෙනුවට වෙනත් අයෙක් සිංහාසනාරූඩ කරනව වෙනුවට ආයතන වෙනස් කලා.අලුත් ආයතන හැදුවා.ඒ ආයතන ශක්තිමත් කලා.

    ReplyDelete
  6. අදිසි හස්තය ... එතකොට ලංකාවේ සියලුම දේශපාලන ක්රිවයාකාරකම් සිද්ධ වෙන්නේ මේ අදිසි හස්තය නිසා. (මහින්ද රාජපක්ෂ නැමැති)

    නමුත් මහින්ද රාජපක්ෂව බලයෙන් පහකිරීමට උත්සාහ කරන අදිසි හස්තය එහි අඬු පඬු අමෙරිකාවේ සෙනෙට් සභිකයන් ගේ සහාය දිනා ගැනීම දක්වාත්

    හිලරි ක්ලින්ටන්ට මූල්යද අනුග්‍රයහය දැක්වීම දක්වාත්

    එංගලන්තයේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂයේ පොදු එකඟතාව Tamil forum වෙත දිනා ගැනීම සඳහාත්

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට දෙමළ ජාතිකයෙක් රිංගවා තිබීම දක්වාත්

    ගෙන එන්නට තැත් කරන මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ ව්‍යාජ චෝදනා සඳහා රටවල් ගණනාවක සෘජු හා වක්‍ර සහයෝගය දිනා ගැනීම දක්වාත්

    කලකට ඉහත ශ්රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකම ත්‍රස්තවාදීන්ට කෙටි කලකට හෝ ස්වයං පාලන බලතල ලබාදී ඉන්පසු සාකච්ඡා මාර්ගයෙන් මේ ගැටලුව විසඳා ගත යුතුය යන ස්ථාවරය ‍ට ගෙන ඒම දක්වාත්

    ඒ සඳහා මානව හිමිකම් ක්‍රියාකාරීන් හා රාජ්‍ය නොවන සංවිධාන සෘජුව හා වක්‍රව භාවිතා කිරීම දක්වාත්

    ගෙන එන්නට ක්‍රියාත්මක වූ අදිසි හස්තය (මෙය කෙතරම් ප්‍රබලද ඉලවු රාජපක්ෂ අදිසි හස්තයට වඩා) ඔබට හඳුනා ගත හැකි ද?

    ළිං ගැට්ටෙන් මදක් ඉහළට ඔලුව දා බලන්න. අහස හිතුවට වැඩිය ලොකු බව පෙණේවි.

    ReplyDelete
  7. බණ්ඩාරනායක මැරුවෙ කවුද? සෝමාරාම කියල පිස්සු චීවරධාරියෙක්. හරි සරලයි. යුද්ධයට වගකිවයුත්තේ කවුද? ප්‍රභාකරන්. තවත් සරලයි.
    -Vipul

    ReplyDelete