Friday, February 5, 2010

ලංකා පුවත්පත සහ විශ්‍රාම ගිය කැරලිකරුවනගේ වත


ලංකා ඉරිදා පුවත්පත සීල් තැබීමට ආන්ඩුව ගත් තීරනය අධිකරනය විසින් ආපසු හරවා තිබෙන නමුත් ආරක්ෂක ලේකම්ගේ නියෝගය මත හදිසි නීතිය යටතේ එහි කර්තාවරයා දින 90 ක කාලයකට රදවා ගනු ලැබ තිබෙනවා.ලංකා පුවත්පත සීල් තැබීමේ සිදුවීම තරමක ඓතිහාසික සිද්දියක්.70 දශකයේ දවස කාර්යාලය සීල් තැබුවාට පසු මෑතකාලීන ඉතිහාසය තුල පුවත්පත් ආයතනයක් සීල් තැබුනු පලමු අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ.මාධ්‍ය නිදහස සම්බන්ධ මාරාන්තික කාලයක් යැයි සමාන්‍යයෙන් සැලකෙන ප්‍රේමදාස යුගයේදී හෝ පුවත්පත් ආයතන සීල් තැබීමක් පිලිබද වාර්තා වෙලා නැහැ.
කොහොම වුනත් මේ සංසිද්ධිය සම්බන්ධයෙන් එකදු බ්ලොග් සටහනක් හෝ ඇස නොගැටීම විස්මය දනවන්නක්.
වසර 40ට පමන පසු ලංකාවේ පුවත්පතක් වාරනය කොට සීල් තැබීම වැනි සිදුවිමක් ෆොන්සේකාගේ ඝාතන කුමන්ත්‍රන,රාජපක්ෂ පාලනයට එරෙහි ත්‍රාසජනක විදේශ කුමන්ත්‍රන වැනි ලෝකේ රටේ නැති අනේක විද අනෙකුත් කාරනා ගැන කතාකරන අපේ බ්ලොග්කරුවන්ට "මාතෘකාවක්" වත් නොවීම අප තේරුම් ගත යුත්තේ කොහොමද?

ලංකා පුවත්පත 2002 වසරේදී පමන කරලියට පැමිනියේ විකල්ප දහරාවේ පුවත්පතක් ලෙස."ජාතික" යැයි සම්මත පුවත්පත් වලට අමතරව විකල්ප දහරාවක් පිලිබද කතිකාවත ලංකාවේ ඇති වීමට විශාල ඉතිහාසයක් තිබෙනවා.සාමාන්‍යයෙන් ජාතික පුවත්පත් යැයි සැලකෙන පුවත් පත් ආන්දෝලනාත්මක කාරනා වලට අවතීර්නය වෙන්නට මැලිකමක් දක්වන අතර බොහෝ විට අදාල මොහොතේ පවතින අධිපති මතවාදය සමග සහජීවනයෙන් කල් ගෙවීමක් නිරික්ෂනය කල හැකියි.ප්‍රධාන දහරාවෙන් එලියට නොඑන විකල්ප මාධ්‍ය වලට ඉඩක් හැදෙන්නේ ප්‍රධාන පෙලේ මාධ්‍ය තුල තිබෙන අවදානමක් ගැනීමට ඇති මෙම මැලිකම හා බය නිසා.
60 70 හා 80 දශක වල පලවුන "ඇත්ත" පුවත් පත ඒ යුගයේ අර්ථයෙන් විකල්ප පුවත්පතක් ලෙස හැදින්වීමට පුලුවන්.දේශපාලන පක්ෂයක් විසින් ප්‍රකාශයට පත් කලත් හුදෙක් පක්ෂයක ප්‍රචාරක භාන්ඩයක් වෙනවාට වඩා වැඩි යමක් "ඇත්ත" තුලින් ඉටු වුන බව සැලකෙනවා.බී.ඒ.සිරිවර්ධන වැනි කර්තෘවරුන්ගේ ක්‍රියාකාරිත්වය ඒ කාලයේ ඊට පසුබිම් වුනා.

කෙහොම වුනත් විකල්ප පුවත්පත් යන්නට විශාල අගයක් ලැබෙන්නට පටන් ගන්නේ 80 දශකය අගභාගයේ හා 90 දශකය මුල්භාගයේ මහා භීෂනයකින් සමාජය ඇලලී යාමත් සමගයි.අතිශය මර්ධනකාරී වූ එවකට පාලනයන් තොරතුරු හුවමාරු වීමට තිබූ ප්‍රධාන අවකාශයන් නිර්දය ලෙස වසා දමන ලද නිසා විකල්ප මාධ්‍යයන් හරහා තොරතුරු සන්නිවේදනය වීමට නිරායාසයෙන්ම පසුබිමක් හැදෙනවා.වික්ටර් අයිවන් කතුකම කල රාවය,සුනිල් මාධව ප්‍රෙමතිලකගේ හිරු හා ලක්දිව,සුනන්ද දේශප්‍රියගේ යුක්තිය වැනි පුවත්පත් එකල විකල්ප පුවත්පත් ලෙස සමාජගත වෙන අතර ප්‍රධාන දහරාවේ බොහෝ දෙනා කතාකිරීමට මැලිවුන හා බය වුන දේවල් මේවා තුල කතාකෙරෙනවා.ඒ විදිහට කතාකෙරෙන අදහස් සමාජයට යාමේ ප්‍රතිඵලයක් විදිහට ඒ අදහස් උඩ සමාජ මතයන් හැදෙන්න ගත් බවත් ඒ මතයන් ප්‍රේමදාසගේ පාලනය දේශපාලනිකව විශාල අභියෝගයකට ලක්කල බවටත් ඉතිහාසය සාක්ෂි දරනවා.

වර්තමානය වන විට "ඇත්ත" හෝ "හිරු" වැනි පුවත්පත් දකින්නට නැහැ.එසේ වුවත් එම පුවත්පත් විසින් නියෝජනය කල විකල්ප දහරාව දිගටම සමාජය තුල ක්‍රියාත්මක වෙනවා.පාලකයාට ප්‍රශස්ති ලිවීම කතුවැකි ලිවීමක් යැයි වරදවා සිතාගෙන සිටින දිවයින කර්තෘ වැනි ජනමාධ්‍යවේදීන් ලැග සිටින ප්‍රධාන දහරාවේ මාධ්‍ය විසින් ඉටු නොකරන විශාල කාර්ය භාරයක් මෙම විකල්ප පුවත්පත් හරහා ඉටු වන බව පැහැදිලියි.
උදාහරනයක් විදිහට ජනාධිපතිවරනයේ කැපී පෙනෙන වැඩ කොටසක් කල තාරුන්‍යයට හෙටක් නම් ව්‍යාපාතිය ගැන කවුරු කවුරුත් කටේ සූප්පුව ගහගෙන ඉන්න වාතාවරනයක ඒ ව්‍යාපාතියේ සුජාතභාවය ප්‍රශ්න කරන්නේ රාවය පුවත්පතයි.
මග නැගුම මුදල් යොදාගෙන පුද්ගලික මන්දිර ඉදිවීම වැනි දිවයිනට හෝ රිවිරට විෂය නොවන ඇග රිදෙන මාතෘතා කතාකෙරෙන්නේත් ඒ ගැන අදහස් දැක්වෙන්නේත් ලංකා පුවත්පත තුල.ඒ වෙනුවෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිරගත වීම වැනි අවදානම් පවා එම ආයතන වල මාධ්‍යකරුවන්ට දරාගැනීමට සිදුවෙනවා.
දිවයින කර්තෘට අරලිය ගහ මන්දිරයේ තේ කෝප්ප පිරිනැමෙද්දී ලංකා වැනි පුවත්පත් වල මාධ්‍යකරුවන්ට හිමිවන්නේ ඉහත ආකාරයේ ඇගට අමාරුවක් ගෙන දෙන සැලකීලියි.
කොහොම වුනත් පාලක රෙජිමයේ අවලස්සන පැති ගැන කෙරෙන ගවේෂනාත්මක මාධ්‍යකරනයක් මේ වන විට ප්‍රධාන මාධ්‍ය තුල දකින්නටවත් නොලැබෙන අතර ඒ කාර්යය දැක ගත හැකි වන්නේ විකල්ප දහරාවේ මාධ්‍ය තුලින් බවට විවාදයක් නැහැ.

රජය විකල්ප මාධ්‍ය වලට අත තැබීම ඒ ඒ මාධ්‍යකරුවන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි.ඇත්ත වශයෙන්ම එය සමාජයට තොරතුරු දැන ගැනීමට තිබෙන අයිතිය පිලිබද බරපතල ගැටලුවක්.පල්ලෙකැලේ තිබෙන දැයට කිරුල ප්‍රදර්ශනයේ වැඩ කිඩ ගැන ලස්සන තොරතුරු වගේම රට පුරා ඉදිවෙන මාලිගා ගැන,වැලැක්විය හැකි රෝග වලින් මියයන අසරනයන් ගැන හා ඒ ගැන වගේ වගක් නැතිව පඩි ගනිමින් දිවිසරින ඇමති ගනයා ගැන,රාජ්‍ය ප්‍රචන්ඩත්වයේ පහර ලැබ මරා දැමෙන නාගරික මන්ත්‍රීවරුන් ගැන "ලස්සන නොවු" තොරතුරු දැනගැනීමටත් රටේ පුරවැසියන් විදිහට ඔබට හා මට අයිතියක් තිබෙනවා.
ආන්ඩුව විරුද්ධ අදහසක් ගෙනෙන මාධ්‍යකරුවන් "රාජ්‍යයට එරෙහි කුමන්ත්‍රනකරුවන්" ලෙස ලේබල් කරමින්,ඔවුන්ව දඩයම් කරන අතරේ සිය ඉදුල් බුදින්නන් පමනක් මාධ්‍යවේදීන් ලෙස අබිසෙස් කරමින් කරගෙන යන මේ විගඩම සරල කාරනයක් ලෙස බාර ගත නොහැක්කේ මේ නිසායි.

ප්‍රේමදාස යුගයේදී මාධ්‍ය වාරනයන්ට එරෙහිව මීට පෙර දැක්වූ පරිදි සටන්කාමී ලෙස "ලක්දිව" නැමැති විකල්ප පුවත්පත ක්‍රියා කලා.
එදා ප්‍රේමදාස මාධ්‍ය ආයතන වලට චන්ඩි පාට් දමද්දී ඊට එරෙහිව අරගල කල ලක්දිවෙහි ප්‍රවෘත්ති කර්තෘවරයාගේ නම ඩලස් අලහප්පෙරුමයි.
එදා ප්‍රේමදාසගේ මාධ්‍ය දඩයමට එරෙහිව ගැටුන ලක්දිවෙහි ලේඛක මන්ඩලයේ විමලසිරි ගම්ලත් නැමැති කෙනෙක් සේවය කලා.
ඒ කෙනාගේ වර්තමාන නම විමල් වීරවංශයි.
අද විකල්ප මාධ්‍යයන් දඩයමට දත කට නියවන්නේ එදා මාධ්‍ය මර්ධනයට එරෙහි "පොරවල්" මහ පුටු හොබවන ආන්ඩුවක් වීම හරිම හාස්‍යජනක උත්ප්‍රාසයක්.
එදා මාධ්‍ය මර්ධනයට එරෙහි සටන්කාමීන් වූ වික්ටර් අයිවන්,සුනිල් මාධව ප්‍රෙමතිලක වැනි මාධ්‍යවේදීන් වර්තමාන ආන්ඩුවේ මාධ්‍ය දඩයම නෑසූ නුදුටු ලෙස අලස සුවයේ පසුවෙනවා."සුබ අනාගතයක්" ගැන සුන්දර කතා කියමින් ඉන්නවා.
නපුරු දෙයක් අහන්නත් එපා!
නපුරු දෙයක් කියන්නත් එපා!
නපුරු දෙයක් දිහා බලන්නත් එපා!
ප්‍රෙමදාසගේ ආඥාදායකත්වයට එරෙහිව මොවුන් තුල එදා පැවැති කශේරුකාවන් අද වන විට දිරා ගොස් තිබේද?
එසේ නැතිනම් මුදල් හා සුව පහසුව වෙනුවෙන් කශේරුකා උගස් කොට තිබේද?
මාධ්‍ය පසුපස රජය පන්න පන්නා එලවන වර්තමාන අමිහිරි යථාර්තයට සිනා රසයක් යම්තමින් හෝ එකතු කිරීමට මේ විශ්‍රාම ගිය කැරලිකරුවන්ගේ විසූක දස්සන හේතු වී තිබෙනවා.

2 comments:

  1. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්ව අදට සති දෙකකි.
    චන්දන සිරිමල්වත්ත අත්අඩංගුවට ගෙන සතියකුත් ඉකුත්ව ඇත.
    එහෙත් පුදුමාකාර නිහඬ බවකි. එක්කෝ ඒ මට දැනෙන හැටිය. නැත්නම් සැබෑවටම නිහඬය.
    යුද්ධයක් පසුබිමෙහි පවතිද්දී පවා ලසන්ත ඝාතනය වූ අවස්ථාවේදී මීට වැඩි ජනමාධ්‍ය ඉඩක් සහ සමාජමය කතිකාවක් ඒ සම්බන්ධයෙන් ගොඩනැගිනි.
    එහෙත් අද මේ සිදුවන දෑ අතිශ්‍ය සාමාන්‍යකරණයට ලක්ව ඇත.

    මෙවැනි සමාජයක් පාලකයන්ට රිසි සේ පාලනය කිරීමට ආඥාදායක පාලනයක් අවැසි නැත. මිනිස්සු ස්ව-කැමැත්තෙන් මර්ධනය ඉල්ලා සිටියි.

    ReplyDelete
  2. කසුන්, රාමා,
    ඔබ කියන දේ සමග අපි මුළුමනින්ම එකඟ වන්නෙමු. නමුත් ජනතාව නෑසුනු කන්ව ඉන්නවා කියලා අප පිළිගන්නේ නෑ. අපි බලන්න ඕනේ මේ උද්ගත වී තිබෙන තත්වය සමග. විකල්ප අදහස් දැරූ ජනතාවගේ බලාපොරොත්තු මුළුමනින්ම බිඳ වැටිලා. ඔවුන් දුටු සත්‍යය කාගේ හෝ වැරැද්දෙන් හීනයක් වෙලා. ඉතිං ඔවුන් තාමත් ඉන්නේ වික්ෂිප්ත වෙලා. අපි පිළිගන්නවා තිස්සනායගම් ගැන කතා කළා වගේ අද ප‍්‍රගීත් ගැන හරි චන්දන ගැන හරි කතා වෙන්නෑ කියලා. එ්ත් මෙතන අපි තේරුම්ගත යුතු දෙයක් තියෙනවා. අපි සහ මේ ජනතාව මැරකම මුලිනුපුටා දමන්න අවශ්‍ය කටයුතු කළා. මැතිවරණයේදී එ්කට දරදිය ඇද්දා. එ්ත් නොසිතූ විදිහේ දෙයක් වෙලා. ඉතිං ජනතාව හා අපේ බ්ලොග් සගයෝ මේ විදිහට වික්ෂිප්ත වෙලා ඉන්න එක වෙන්න පුළුවං දෙයක්.

    ඉතිං රාමා අඩව්වේ අපි නං හිතන්නේ මේ වෙලාවේ අපිට ලොකු වගකීමක් තියෙනවා කියලා. මේ වේදනාවෙන් දේශපාලනයෙන් ඈත් වෙලා ඉන්න ජනතාව නැවත මේ ගමනට එකතු කළ යුතුයි. නැත්තං ජනතා විමසීමක් නැති තැන අභිමත පරිදි වැඩ කරන්න වත්මන් පාලන තන්ත‍්‍රයට ඉඩ ලැබෙනවා.

    ReplyDelete