Friday, February 19, 2010

මුල් පිටුවෙන් දේශපාලන ලිපි විසිවීම - 2


සිංහල බ්ලොග් කියවනයේ දේශපාලන ලිපි මුල් පිටුවෙන් ඉවත් කිරීම ගැන සරල අදහස් දැක්වීමක් මෙහි මුල් කොටසින් ඉදිරිපත් කල අතර එම සිදුවීම ගැන තරමක් වෙනත් මානයක අදහස් දැක්වීමක් වෙනුවෙන් මෙම සටහන තුල අවදානය යොමු කෙරෙනු ඇත.

සිංහල බ්ලොග් කියවනයේ පරිපාලකයන්ගේ “දේශපාලන විරෝධය” හුදෙකලා සිදුවීමක් විදිහට නොගෙන සමාජයීය ලෙස කියවිය යුතු යැයි මෙම බ්ලොග්කරු පලමුව යෝජනා කරන්න කැමතියි.
ලංකාවේ පුරවැසි සමාජය සමස්තයක් ලෙස අදේශපාලනිකයි.පුරවැසි සමාජය ඒ නිසා "දේශපාලනය" විදිහට හදුනගන්නා දේවල් ප්‍රමානයක් තියෙනවා.බ්ලොග් සංගමයේ පරිපාලකයන්ද ඇතුලුව ලංකාවේ පුරවැසි සමාජය දේශපාලනය කියල හදුනගන්නේ යූඇන්පී,තුලාව, සුදර්මන්ගේ රැවුල,ජනාධිපතිවරනය,මර්වින් සිල්වා,ෆොන්සේකා හා මහින්දගේ කුරහන් සාටකේ වගේ මතුපිට තලයේ දේවල් කිහිපයක් විතරයි.

නමුත් දේශපාලනය කියන්නේ ඇත්තටම ඕවාට විතරක් නොවෙයි.දේශපාලනය කියන්නේ සමාජයේ බලය පිලිබද කලාවයි.බලය පිලිබද විද්‍යාවයි.

"බලය" සමාජයේ හැමතැනම තියනවා.සමාජය නැමැති නහර පන ගන්වන රුධිරය වූ කලී බලයයි.
-අනේ මම නම් දේශපාලනය වගේ ජරාවක් ගැන කතා කරන් නැහැ- කියමින් පිරිසිදුවාදී ව්‍රතයක් පෙන්වන සිංහල බෞද්ධ අහිංසකයා බස් එකතුල නාදුනන ගැහැනියකට ජැක් එකක් ගහන කොට ඒකෙත් දේශපාලනයක් තියෙනවා.අසංවර යැයි සම්මත විදිහට මුහුනු පොතේ පින්තූරු දාගෙන ඉන්න තරුනියන්ගේ ඒ පින්තූර රසවිදින ගමන් -ඊයා මේ වගේ ගැහැනු- කියන නූතන යුගයේ ධර්මපාලලාගේ ප්‍රකාශයක් ගත්තම ඒකත් දේශපාලනිකයි.ගැහැනු පිරිමි සබදතාවයක් වගේ සරලම තැනකත්,සමාජ පංතීන් අතර සබදතාවයන් වැනි සංකීර්නම තැනකත් යන මේ හැම තැනෙකම දේශපාලනය තියෙනවා.රාජ්‍ය බලය පිලිබද කාරනයේදී දේශපාලනය උපරිම විදිහට ප්‍රකාශනය වෙන අතර අපේ පුද්ගලික ජීවිත වල එදිනෙදා සිදුවීම් වලිනුත් දේශපාලනය එලියට පනිනවා.

මේක නොදන්න ‍දේශපාලන විරෝධී උපාසක මහත්වරු දේශපාලනයට ඊයා කියනවා.
එසේ ඊයා කියන මහත්වරුන්ට අපිට කියන්න තියෙන‍්නේ මෙච්චරයි.
ඊයා කියද්දි බලාගෙන.ඔයාල ඔය ඊයා කියාගන්නෙ ඔයාලාටමයි.මොකද ඔයාල ඊයා කියන “දේශපාලනය” ඔයාලගේ ජීවිත වලත්,ඔයාලගේ ජීවන සම්බන්ධතා වලත් යස අගේට ගහට පොත්ත වගේ වෙලිල තියෙනවා.

-දේශපාලනය අපිට අදාල දෙයක් නෙමේ- කියන අදේශපාලනික අදහස පුරවැසි සමාජය තුල මුල්බැහැගෙන තිබෙන අතර මේ වගේ අදේශපාලනික සමාජයක් අන්දන එක සමාජ මත හැඩගස්වන මෙවලම් අයිති උදවියට ඉතාම ලෙහෙසි වැඩක්.
දේශපාලනය අපිට අයිති දෙයක් නෙමේ කියල හිතන අදේශපාලනික පුරවැසියා විධිමත් ලෙස දේශපාලනය ගැන හදාරන්නට උත්සාහයක් දරන්නේ නැහැ.මේ හින්ද වර්තමාන පුරවැසි ලාංකිකයා ඇරිස්ටෝටල්ගේ අර්ථයෙන් දේශපාලන මිනිසෙක්ද නැද්ද යන එක කොහොම වුනත් “දේශපාලනික” මිනිසෙක් නම් නෙමෙයි.ඒ කියන්නෙ දේශපාලනය ගැන විධිමත් කියැවීමක් ඔහු තුල නැහැ.
මේ වගේ අදේශපාලනික බබ්බුන්ට ටොෆී දීම ඉතාම ලෙහෙසි දෙයක්.
සිනමන් ලේක් සයිඩ් එකේ ඉදන් සංවිධානය කෙරුනු හමුදා කුමන්ත්‍රන,ෆොන්සේකාගේ මහා දේශපාලන පාවාදීම,කලගුන සැලකිමට චන්දය දීම වගේ ‍ලාභ ලොලි පොප් කිහිපයක් විසි කල විට මේ වගේ අදේශපාලනික සමාජයක් බොහොම කෑදරෙන් ඒවා ලෙව කන බවත් ලෙව කමින් ගෙදර දොරේ කඩමන්ඩියේ කද්දි බොද්දි රමනය කරද්දි වැසිකිලි යද්දි ආදි හැම අවස්තාවකදීම මේ ගැන තොරතෝංචියක් නැතිව කතා කරමින් කල් මරන බවත් සමාජයේ මත හසුරුවන්නන් දන්නවා.අදේශපාලනික සමාජයක් දේශපාලනය යනුවෙන් අන්තිමට හදුනාගන්නෙත් ඇත්තටම දේශපාලනය නෙමේ.දේශපාලනය යනුවෙන් අර්ථ ගැන්වුන ඒ වගේ ස්වරූපයක් සහිත විකෘතියක්.

උදාහරනයක් විදිහට මෑතකදී බ්ලොග් අවකාශය තුල වැඩියෙන්ම හිට් උන දේශපාලන බ්ලොග් අඩවියක් වුන නුවර පාර කියන බ්ලොග් අඩවිය ගනිමු.
මහින්ද රාජපක්ෂ වූ කලී නූතන ජාතික ගැලවුම්කාරයා යැයි විශ්වාස කරමින් පන කඩාගෙන පාලකයා වෙනුවෙන් කඩේ යන එක එම අඩවියේ තිබෙන ‍එකම දේශපාලනයයි.පාලකයා දෙන ඕනෑම පෙත්තක් මෙම බ්ලොග් අඩවිය විසින් ඒ විදිහටම ගිලිනවා.තමන් ඇසින් දුටුවා හා සමානව ජනාධිපති ඝාතන කුමන්ත්‍රන ගැන බඩ යන ගානට බ්ලොග් සටහන් දානවා.හොදම කාරනය වෙන්නේ මේ බඩ යන ගානට වැටෙන සිල්ලර පොලිටිකල් ප්‍රබන්ධ මාර විදිහට හිට් වීමයි!ඇත්තෙන්ම කිසිදු විචාරයක් හෝ අධ්‍යයනයක් නැතිව,සමාජ බලය සහිතවූවන් දක්කන තැනට දැක්කෙන ගවයන් රැලක් සහ අදේශපාලනික පුරවැසියන් සමූහයක් අතර වෙනසක් නැහැ.

බ්ලොග් සංසදයේ “දේශපාලනය අප්පිරියා වීමත්” මේ අදේශපාලනික පුරවැසි සමාජයේ අදේශපාලනික හැසිරීම පෙන්වන ඉතාම හොද සංසිද්ධියක්.මේ සිදුවීම වෙනම අර ගන්නේ නැතිව සංයුක්තව සමාජයීය විදිහට සාකච්ඡා කල යුතුයි කියල ආරම්භයේදීම ප්‍රකාශ කලේ එම නිසා.අදේශපාලනික පුරවැසි සමාජයක වෙසෙමින්,අදේශපාලනික ඔක්සිජන් වලින් පෙනහලු පුරවාගන්නන් සමූහයකින් -අපිට දේශපාලනය අප්පිරියයි- වැනි අදේශපාලනික තිරනයක් හැර වෙනත් කවරක් බලාපොරොත්තු විය හැකිද?

8 comments:

  1. ඇත්ත. ‍තාක්ෂණික කරුණු ගැනයි එදිනෙදා යන ට්‍රිප් ගැනයි ලියන මිනිස්සු ටිකක් මුලු බ්ලොග් සංස්කෘතිය ගැනම තීරණ ගැනීමට බලය ලබාගෙන ඉඳීමත් ඒ තීරණ කුමක් වුවත් ඒවාටම වැඳ වැටීගෙන රෙද්ද උස්සාගෙන කඩේ යාමට පිරිස් ඕනෑ තරම් සිටීමත් මේ තත්වයට වැඩියෙන් බලපාලා තියෙනවා.

    http://screwthesystem.wordpress.com/2010/02/17/apolitical-jokers/

    ReplyDelete
  2. සින්ඩිය "අදුරින් එළියට" අද හෙටම එතැයි මා බලාපොරොත්තු වෙනවා.

    පාලිතයන්ට දේශපාලනය "එපාවීම" තරම් ආතල් එකක් පාලකයින්ට නැත. දේශපාලනය යනු ජරා වලකි. අම්මෝ උඹලා නම් එන්න එපා. (අපි කරගන්නම්) යයි පාලකයෝ කියන්නේ එහෙයිනි. ඔවුන්

    ReplyDelete
  3. ප්‍රබුද්ධ දේශපාලන සංවාද පිළිබද බොහෝ දෙනෙකු‍ට ගැටලුවක් නෑ. නමුත් ඔබ සඳහන් කල අමුතු පාරක යන බ්ලොග් අඩවිය වගේ ගොන් පාට් නම් සින්ඩියෙන් ඉවත් වීම ගැන දුක නෑ..

    ReplyDelete
  4. රාමයා හෙමින්ම සිංහල බෞද්ධ සංස්කෘතියට ටොක්කකුත් ඇණ ගෙන යනවා. මහත්තයෝ, මොකද සිංහල බෞද්ධ උපාසක තැනම විතරක් ජැක් ගහන්නේ හැබෑට? මොකද ධර්මපාලම මේකට ඈඳා ගත්තේ?

    ReplyDelete
  5. රාමා මම ඔබට එකගයි. මේ ක‍්‍රියාව හරහා පෙන්වන්නේ සමස්ථ ජනසමාජයේම දේශපාලනික සවිඥනිකත්වයයි. ඉතිං අඩව්වට වෙලාවකට දුකත් හිතෙනවා අපි දේශපාලනය විග‍්‍රහ කරන්නේ මෙවුන්ටද කියලා. එ් තරමටම අහේතුකව දේශපාලනය පිළිකුල් කරන්න මොවුන් පෙළඹිලා.

    එ්ත් රාමා, අපි මෙහෙම දේකුත් දකිනවා. පහුගිය කාලේ දේශපාලනය ලියපු ටැබූ, බියෝන්ඞ් හා ඔබ වැන්නන්ගේ අඩවි ඉතාමත් ජනප‍්‍රිය වුණා. මේ නිසා තාක්ෂණික ලිපි ලියන්නන්ට ඉරිසියාවක් ඇති වුණා. එයාලාට ස්වයං වින්දන බ්ලොග් පවත්වා ගන්නටයි වුණේ. මේ නිසා ඔවුන්ගේ දැවැන්ත කේලම් ඉදිරියේ මේ තත්වය වුණා කියලයි අපි හිතන්නේ. එ් කියන්නේ මේ සිදුවීම එක් පාර්ශවයක වුවමනාවකට වුණ දෙයක් විතරයි. නමුත් ඔවුන් මේ තත්වයෙන් හිට්ස් ගන්න පෙළඹුණේ දේශපාලන ලිපි ලියු අපේ සගයන්ගේ දක්ෂතාවය නිසා කියලත් අපි අමතක කරන්න හොඳ නෑ.

    ReplyDelete
  6. mama hithanneth Hashan kiwwa de tamai wenna atte . . . . eth monaa wunath obalaage blog adavi wala janapriyathwaya ta haniyak nowana bawa stheerai . . ..

    ReplyDelete
  7. සිංඩියේ අයිතිකාරයා රෝයල් තොරම්බල් කාරයෙක්. මිනිහා හිතාගෙන ඉන්නේ බොලොග් වල ලියන්න ඕන ඔහේ සීතලට යන වැල් වටාරම් කියලා. මුලු මහත් සමාජය අතුලේම ඉන්නේ උන් වගේ පණ්ඩිත රත්නලා. ඔවුන්ට කවදාවත් දේශපාලනය කලාව තේරෙන්නෑ. ඔය මල යක්කුන්ට තේරැම් ගන්න උවමනාවකුත් නෑ. හරියට චීස් බටර් කාපු එවුන්ට කිතුල් තලප කවනවා වගේ වැඩක්. ඔවුන්ට ඕන මල්වැල් කොඩිවැල්. මේ වගේ එවුන් ගැන හරියටම කෙටියෙන් තේරැම් කරන්න හරි අමාරැයි. බාතිය සන්තුස් පැලැන්තියේ එවුන්.

    ReplyDelete